"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Tuesday, June 21, 2011

මට දැනෙන දේ ඔබට විඳිය හැකි නම්...

ඌ මා හා හුරතල් වීමට උත්සහ දරයි. උගේ වලිගය මා සිරුරේ දැවටෙන බැවින්, ඌ මා වටා සුපුරුදු දෛනික පැදකුනුව අරඹා ඇති බව මා දනිම්. ඌ උගේ සුපුරුදු උදෑසන හුරතලය අරඹන්නේ එලෙසය. බීරිඳ අත තබා ගිය තේ කෝප්පය මා බිම තැබුවෙමි. රේඩියෝවේ වාදනය වූයේ "පෙනුණු සුව දසුන්" ගීතයයි. බලු සුරතලය අමතකව ගියේ ඒ මා ප්‍රියතමයක් බැවිනි. ඒ අමතක වීම ඌ කෙරෙහි වූ නොසන්සුන්තාවයට හේතුව විය. හෙන්‍රි කල්දේරා මා ප්‍රියතම ගායකයෙකු විය. ඒ ඔහුද දෘෂ්‍යාබාධයකින් පෙළුනු නිසාම නොව, ඔහුට පද රචනය සහ තනු නිර්මාණයේද හැකියාවන් වූ බැවිනි. මර්වින් පෙරේරාත්, කපුගේ මහත්තයත්, වික්ටර් මහත්තයත් අන්ධ වූවා නම් මා ඔවුනට තවත් ආශා වන්නට තිබිණි. මා නැවත ඌ සුරතල් කරන්නට පටන් ගතිමි. ඌ මට බෙල්ල අත ගෑමට දී ඔහේ බලාගත් අත් බලාගත්වනම සිටියේය. ලේලිය ලඟට පැමිණි බව දැණුනතර, ඈ ආපසු හැරී ගියේ තේ කෝප්පය තවමත් හිස්ව නැති බැවින් විය යුතුය.

විවාහ වූ සමය ඉතා සොඳුරු පරාසයක් විය. පෙම්වතුන්ව හැසිරෙන සමයේ අප, ආදරය තුලින් නැගී සිටි ලිංගිකත්වයේ අත්දැකීම් ලබා තිබුණද, වැසුනු කුටීරයක් එකිනෙකා නග්නව දඟ කර තිබුනේ නැත. එහෙයින් මධුසමය කාලය සහ එයින් පසුවත් මා ඇය රුව අඳුනා ගැනීමට අනවරථ උත්සහයක යෙදුනෙමි. "මෙය නුඹලාගේ මධුසමය" යැයි නාමිකව වෙන්වූ සතියේ මා රාත්‍රීන් තුනක් පමණ ඇයගේ මුහුනේ ඉරියව් ඇඟිලි තුඩින් පිරික්සමින් සිටියෙමි. එසේ ගෙවුනු වරක ඈ මා ඇඟිල්ලක් සපා කෑ බව සිහියට නැගුනේ, දකුණත මැදඟිල්ලට සිහින් රිදුමක්ද දනවමිනි. මා ඇගේ ළමැදේ උණුසුමට ඉතා ආශා විය. තවමත් එසේමය. මා මවගේ උකුල් තලය මත වෙසීමටද ඉතා ප්‍රිය කල බව මට මතකය. එසේම අත්තම්මාගේ බොකු ගැහුනු විටෙක පිම්බෙන උදර කුහරයද මා හට ඉතාමත් සුවදාය විය. මා දෑතින් කියවා ඇති පරිදි, ඉතා සුන්දර මගේ බිරිඳ මා මහත් ආයාසයකින් දිනූවක් නොවීය. ඈ කිසිදා නොදුටු ප්‍රාණියෙකු සොයා පැමිණතර, කිසිදා ලොව නොදකින ඒ ප්‍රාණියා තම ආදරවන්තයා ලෙස තෝරාගැනීමට බාධාවක් කර නොගත්තේ සතිපතා නිකුත්වුනු කවිකම් කෙරෙන් මා හඳුනා සිටි බැවිනි.

මා නිරතවෙමින් සිටියේ දුලබ රැකියාවකය. මා හට සතියකට කවි හතක් ලිවීමට තිබිණි. ඒවා එකම සඟරාවේ විවිධ නම් වලින් පලවී තිබිණි. මාසික වේතනය වූයේ රුපියල් දසදහසකි. තවමත් පුරුද්දට කවි ලියවෙන මුත් පුතු දෙදෙනා රැකියා වල නිරත වෙන බැවින්, වෙනදා මෙන් ඒ කවි බිරිඳ තැපැල් නොකරයි. මුල් කාලයේ කතෲ තුමා නිවසට පැමිණ මෑණියන්ගෙන් මා කවි ලියූ කඩදාසි ඉල්ලාගෙන ගිය අතර, සඟරාව ප්‍රසිද්ධ වූ පසු මවට ඒවා තැපැල් කරන්නට සිදු විය. ලොකු පුතු මා ලේලියගේ සිත දිනාගෙන තිබුනේද මාගේ කවියක් ඈ වෙත ඊ මේල් කිරීමෙනි. මාධ්‍ය කුමක් වුව ඈ ද කවියට මහත්වූ බන්ධූතාවයන් ඇත්තියක් විය. මා ඇයගේ සුහදත්වය මහත් ආහ්ලාදයකින් පිලිගතිමි. ඇයට තිබුනේ මා මවගේ කටහඬයි. ඒ බව ඈ දැනගත්දා සිට ඈ මා අමතන්නේ "ලොකු පුතා" ලෙසිනි. එය ඇසෙන ඇසෙනවර මට, මා මවගේ සුවැති උකුල සිහිපත් වෙයි. ඈ ආහාර පිසින විට ඇඳිවතට උඩින් හැඳි චීත්තයේ වූ මිහිරි ඉඳුල් සුවඳ නැවතත් දැනෙයි. මගේ කවි කියවා සතුටු වන ඇගේ ගතේ වූ වෙව්ලීම සිහිවෙයි.

මා මතට හුරු වූයේ සඟරාවේ කතෘතුමා නිසාවෙනි. මා පිළිබඳ මිතුරෙකුගෙන් දැනගත් ඔහු, නිවසට පැමිණ මා කටුව ඔහුගේ කාරයෙන් අවන්හලකට සේන්දු වූයෙමු. එහිදී මා පලමු වරට විස්කි බිවූ අතර සංවාදය අවසන් වන විට මා විස්කි වඩි හතරකින් පමණ මත්වී සිටීමි. තවමත් බ්ලැක් ලේබල් බෝතලයක් තුල සතියක කාලයක් සැරිසරණ මා ඒ තුල මහත් ආශ්වාදයක් ලබයි. මුල් පාවිච්චි කල පානයන් අතරින් රෙඩ් ලේබල් පානය නවතා තිබිණි. එහි වූ වහතු රහ "මා නොදකින" ශෘංඝාරාත්මක රතු පැහැයටද නිගාවක් විය. "රතු, රත, නොරත, විරිත, රතිය" උච්ඡාරණයට මා ඉතා ආශා කල බැවින් එම වචනය සහ එම ඌරුවේ වචන මට ශෘංඝාරාත්මක විය.

දැහැන බිඳුනේ තේ කෝප්පය පෙරලෙන හඬිනි. ලේලිය ලඟට දිව ආ අතර, ඈ "ෂීබා"ට බනිනු ඇසිනි. උගේ අන්ධ බව තවමත් ඌට හුරු නැතුවා විය හැක. මා ඌ උකුලට ගතිමි.

Friday, June 10, 2011

අමරණීයත්වය නිශ්ප්‍රභා වීමට පෙර...

ආදම් සපමින් සිටි ඇපලය අතට ගෙන බැලීය. හේ ඊඩ්න් උයණේ පණුවන් කෙරෙහි උපන් කුසගිනි ශෝකයෙන් එය බිම දැමීය. එහෙත් ඒ වන විට ඒ ඇපල් ගෙඩියේ වූ දත් පහරවල් වලින් කැපුනු ඇපල්, තවමත් ආදම්ගේ දත් අතර සිරව තිබූ අතර ඉතිරිය හේ ආමාශයේ තැම්පත්ව තිබිණි. පණුවන් වූ කලී ආදම් ඇපල් ගෙඩියේ රස බැලූ බවට සර්ව බලධාරී දෙවියනට සපථ කිරීමට සිටි සපථ කරුවන්ය.  පණුවන් තමන් ගැන දයාව දැක්වූ ආදම් කෙරේ අනුකම්පා කොට, සාක්ෂි නසනු වස් ඇපල් ගෙඩිය ටයිග්‍රීස් ගංගාවට තල්ලු කර දැමීය. එය ටයිග්‍රීස් නිල් දිය මත පොලා පනිමින් අපූරු සලරූ දර්ශන මවන්නට විය. මේ සියල්ල දෙවියන් වහන්සේ නිලැති වළාකුලට ඉහලින් වූ හිරු මත හිඳ බලා සිටින්නට විය.

වේගය එන්න එන්නම වැඩිවූ අතර කෙදිනකවත් මෙතරම් චණ්ඩ නොවූ ගං දියේ බැස්ම, පෙරලි ගසමින් දෙවරක් සැපුම් පහර ලත් ඇපල් ගෙඩිය මුහුද දෙසට ඇදගෙන ගියේය. තමන්ගේ රැහේ පව්කාර පණුවන් කිහිප දෙනෙකු ගංදියේ මාලුන්ට බිළි දුන් පණුවන්, ඊට සලකා සපන ලද ඇපල් ගෙඩිය නොහොත් මනුෂ්‍යයාගේ අමරණීය බව නසන සාක්ෂිය විනාශ කරන ලෙස මාලුන්ගෙන් ඉල්ලූහ. එහෙත් මේ සියලු බලයන් නස්න කරමින් හිරු මත හිඳ සර්ව බලධාරී දෙවියන් වහන්සේ, සාක්ෂිය බේරා ගැනීමේ උත්සහයක නිරත විය. කෙසේ හෝ එය සාගර ගත විය. එය ලොව පලමු ඇපල් ගෙඩිය වූ අතර, සියලු මුහුදු ජීවීන් බියෙන් ඒ දෙස බලා සිටියහ. ලොව පලමු ඇපල් ගෙඩිය වූ එය අපරිමිත බලයකින් යුක්ත විය. එය මුහුදු රළ මත සෙමෙන් පැද්දෙමින් තිබූ අතර, හදිසියේ ඉහල නැගි වේගවත් රළ අතර දෝලනය වෙමින් දුරින් දුරට යන්නට විය. එය ඉන්දියන් සාගරය වෙත ලඟා වෙමින් තිබිණි. ඒ සඳහා ඒ රතු ඇපල් ගෙඩිය දිය මත නොගිණිය හැකි තරම් බොහෝ කාලයක් පෙරලි කල අතර, එහි වූ අසීමිත බලය හේතු කරගෙන ඇපල් ගෙඩියට කිසිඳු හානියක් නොවී තිබිණි.

එය තවත් ඉන්දියන් සාගරය වෙත ලඟා වෙමින් තිබිණි. අවසානයේ එය ඉන්දියන් සාගරයේ රළ සුව විඳින්නට විය. ඒ රාහුල උපත සිදුවූ සමයයි. උදෑසනම ඉන්දියන් සාගරයේ සොඳුරු සුව රැළි මත දිය කෙළියට පැමිණි මල්වර වියෙහි වූ කුමාරිකාවන් විය. බොහෝ දුරට ඒ සුද්ධෝදන රාජ සභාවේ අමාත්‍ය පුරෝහිතයන්ගේ දියණියන් වීමට පුලුවන. ඔවුන් සයුරු දියේ ඔවුන් දෙසට ඇදී එන රතු පැහැති වස්තුව දෙස උද්යෝගයෙන් බැලූහ. රංචුවේ විසේකාරම කුමරිය එය වෙත ගොස් එය රැගෙන බැලූ අතර එහි ඇති මිනිස් දත් පහරවල් දෙක දෙස විමසිලිමත්ව බැලූහ. මේ විශ්මිත සොබාදහම් නිෂ්පාදනයෙන් කුතුහලයට පත් කුමරියන් එය රෙදි කඩක ඔතාගෙන සයුරු දියේ ගොඩට පැමිණ නගරය වෙත පිටත් වූහ. ඒ වනවිටත් කිඹුල්වත් නුවර දෙදුරුම් කවන සිද්ධියක් සිදුව තිබුනා. පෙරදින රාත්‍රියේ සිද්ධාර්ථයන් ගිහිගෙය හැරගොස් තිබුනා. ඇපල් ගෙඩියද අතැතිව කිඹුල්වත් නුවරට යන කුමරියනට අනෝමා ගංතෙර ලය පැලී මියගොස් හුන් කන්ථක අසු හමුවුනා. තවමත් කිරිපිඬු පූජා කරන ලද තලිය උඩුගං බලා යමින් තිබුනා. එය කුඩා තිතක්ව කුමරියනට පෙනුනා. කුමරියන්ගේ ආදරය දිනූ හැඩැති සවියැති කන්ථක අසුගේ වියෝව කුමරියනට දරාගත නොහැකි උනා. සිහිසුන් වූ කුමරිය අතින් ඇපල් ගෙඩිය අනෝමා ගං දියට වැටුනා.

තවමත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නෙත් ඇපල් ගෙඩියෙන් ඉවත්ව තිබුනේ නෑ. එසේම අපරිමිත බලයක් ගැබ්ව තිබූ රක්ත වර්ණ පලතුර පුෂ්ඨිමත්ව නිසොල්මනේ ගං දියේ පාවී ගියා. නැවත සාගර ගත වූවාට සැක නැහැ. තවත් වසර දෙදහස් හයසිය හයක් ගත වුනා. ඒ වන විට ඇපල් ගෙඩිය මදක් අව පැහැ ගැන්වී තිබුනා. ඒ, ලෝකයෙහි ඇපල් බහුල කාලයක්. අත්තික්කා කොලයෙන් විළි වසාගනු වෙනුවට, ගොරෝසු රෙදි කඩක් ඇඟ දවටා ගනු වෙනුවට, දුහුල් රෙද්දෙන් මසා නිමකල ඇඳුම් බොහෝ තිබුනා.

එකෙකුට බාගයක් සේ සරිලන ලෙස මිලදී ගෙන තිබූ අරක්කු නිමවී තිබුනා. මා සහ අනෙකුන් පස් දෙනා ගල්කිස්සේ අපේ මුහුදු වාඩියෙන් නික්ම වෙරළේ ඉබාගාතේ ඇවිදිමින් සිටියා. සැන්දෑවේ හතර පසුවෙමින් තිබුනා. වෙරිය වැඩි කරගනු වස් සියල්ලෝ දුම් උරමින් උන්නා. බාගෙට හප කල පුහුල් දෝසි කැබලි සියල්ලෝ අතේ උනා. රතු පැහැති යමක් මා වෙත මුහුද දිගේ ඇදී එමින් තිබුනා. එය මා වෙත ඇදී එමින් තිබුනා. මා බමණ මතින් මුහුදේ ඉදිරියට ඇවිද ගොස් එය අතට ගත්තා. ඇපල් ගෙඩියක්! හපාපු ඇපල් ගෙඩියක්! රක්ත වර්ණ සරල වටපිටාවේ නිල් පැහැයක් මවමින් සර්ව බලධාරී දෙවියන් වහන්සේ මතු වුනා. ඒ වන විට මා අතේ කූරක් දැල්වෙමින් තිබුනා. තැම්බූ සෝගම් දේව පානය බව බමණ මත ඔස්සේත් මට සිහියට නැගුනා. මා අත තිබූ රසෝඝය දෙස අවඥ්ඥාවෙන් බැලුවා. මා නැවත වෙරළ දෙස හැරී බැලුවා. සගයින්ගෙන් එකෙකු මා දෙස බලමින් කෝපාග්නිය පිට වෙන දෑසින් සිනහා වෙමින් උන්නා. තවකෙකු මා පසුපසින් ඇවිත් සිටි අතර ඌ මුහුදු ජීවියෙකු හා කතා කරමින් උන්නා. දෙදෙනෙක් අනවරත රිද්මයකට ගල් තලාවකට පිටදී වෙරළට සිනහා වෙමින් සිටියා. අනෙකෙක් ගල් බෝතලයක අවසන් බිඳු දාහතර එක්කරමින් සිටියා. නැවත දෙවියන් දෙසට හැරුණු මා අව පැහැ ඇපල් ගෙඩිය දෙවියන් වහන්සේ දෙසට විසි කලා. එය, මාගේ රක්ත වර්ණ ලෝකය මැද වූ නිල් පැහැ දුමාරයේ සැඟව ගියා. අවසානයේ සාක්ෂිය විනිසුරුතුමා අතට පත් වුනා.

ජීවීන්ගේ අමරණීයත්වය ගිලිහෙමින් තිබුනා. අමරණීයත්වය නිෂ්ප්‍රභා වීමට පෙර සිටම මාගේ මලණුවන් මිය ගොස් සිටි අතර, මාගේ අම්මාගේ එකම සහෝදරයා ඝාතනය කරනු ලැබ තිබුනා. මා කේන්තියෙන් නිල් පැහැ දුමාරය සොයමින් සිටියා... කේන්තියෙන්!