"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Friday, July 29, 2011

ආත්මීය සාහිත්‍යයේ පරස්පර දැක්වීම්


රසමසවුළු නැති මින් බත් පතට සරූ
නිසි සැලකුම් නැති ගෙරවිලි රැවිලි පිරූ
චන්ද්‍රෝ නුඹ වෙතට මගෙ පෙම මහත් සරූ
ඇතිමුත් යනෙමි බිඳි සිත මගෙ හදනු බොරූ

තිලක්! තිලක් මේ කතාවේ කථා නායකයා. තිලක් මේ කවිය ලියනව අන්තිමේ බාර් එකෙන් අතට ලැබිච්ච බිලේ. තිලක් පොරක්. තිලක් අඳින්නෙක්. රූප අඳින්නෙක්. ඉඳල හිටලා කවිත් ලියවෙන. වයලින් වාදකයෙක්. රැකියා නාමයට ක්ලාක් කෙනෙක්. තිලක් වෛද්‍ය විද්‍යාලෙ දෙවෙනි වසරට වෙනකං ශිෂ්‍යයෙක්. මනුස්සයට විශ්ව විද්‍යාල ජීවිතේ එපා වෙනව. වෙනදට අම්මලා ගෙදර නැති දවසට තේකෙ හිටන් හදලා දීපු නැන්දා මුව නොසෑහෙන්න බනිනවා. ගෙදර මිනිස්සුන්ගෙ කේන්තිත් අවුස්සනවා. තිලක්ගෙ ජීවිතේ සංක්‍රාන්ති කාලයක් තියෙනවා. උදේ ඇහැරෙන, තේකෙන්ම කට හෝදල බඩත් පුරවන, උදේට කාපං කියනකං ලියන, උදේට කන, දවල්ට කාපං කියනකං චිත්‍රයක් එක්ක හැප්පෙන, දවල්ට කන, බඩට එපාවෙච්චි කෑම පුකට ඕනිවෙච්චි වෙලාවට එලියට දාන, හිතට හරියනකං නිදියන, රෑට වොලී බැස්ටියන්ගෙ සින්දු ටිකක් වයලින් එකෙන් අතුල්ලලා නිදි ඇඳට වැටෙන තිලක් රෑට කන්න ඇහඇරෙන්නෙ රෑ දහයට. එහෙම්මම දවස ඉවර කරන තිලක්ට කාලෙන් කාලෙට ගෑනු පරාන සම්බන්ධ වෙනවා.


සීගිරිය! සීගිරිය මේ කතාවෙ කතා නායකයට, තමන්ගේ ජීවිතේ මුදල්මය වටිනාකමක් නැති එහෙත් සතුට උපරිම කරවන්න මග පාදවපු තමුන්ගේ නිර්මාණ වල උල්පත. තිලක් සීගිරිය ගැන හැදෑරුවෙ නෑ. ඒත් තිලක් සීගිරිය ගැන හිතුවා. තමුන් දන්න පොඩි පොඩි සීගිරිමය තොරතුරු ඇතුලේ තිලක් සීගිරි සාහිත්‍යයක් ගොඩනැගුවා. ඒක දවසින් දවස අලුත් උනා. තමුන්ගෙ සංක්‍රාන්ති අවධියේ ඒ ඒ ගෙවිච්ච දවස් වල ඒ ඒ හැඟීම තිලක්ගේ මනෝ මූලික සීගිරියේ පිට කවරය උනා. තිලක්ගේ කලිසං සාක්කුවේ තිබිච්ච නවපු කොලේක මෙහෙම තිබුනා.


-කාෂ්‍යප-                                                                            -අප්සරා-
සිත් තැවුල් හද ඉගිල යනු මිස                                             පිතු මරා දුරැරා සිතින් එය
ඇස් කෙවෙනි අග බිඳු තියා                                                සිටින මුත් නොසිඳුනු ලෙසේ
බොඳවූ දෑසින් විඳිමි මම රූ                                                රාගධික බැල්මන් විදියි මයෙ
ලඳුන් සෙල මත විහිදියා                                                     නිරුවත්වු දෙතනේ රසේ


-තිලකේ-
තම පියාගේ නික්ම යෑමෙන්
රිදුම් දෙන හද දර දරා
සිටින කුමරුට දෙතන් පෙන්වන
නොහික්මුණු වන අප්සරා

තිලක්ට ගෙවෙන මොහොතක් ගැන පැති ගොඩකින් හිතන්න පුලුවන්. ඒක හොඳ දෙයක් කියලා කියවන ඔබට හිතුනට, එහෙම හිතෙන එකෙක්ට ඒක හරිම වදයක් වෙන්නත් පුලුවන්. තමුන් තනියෙන් රසවිඳපු අප්සරාවො දිහා වෙනින් ඇස් කන්දරාවක් පස්සෙ කාලෙක යොමු වෙයි කියලා කාෂ්‍යපට හිතෙන්නෙ නැතුව ඇති. තමුන්ගෙ රාජධානිය පින්තූර කරලා විකුනගෙන කයි කියලා කාෂ්‍යපට හිතෙන්නේ නැතුව ඇති. අප්සරාවන්ට වඩා ලස්සන ලැමක් තියෙන ගෑනු අප්සරාවන්ගෙ ලැමට ඊරිසියා කරයි කියලා කාෂ්‍යපට හිතුනෙ නැතුව ඇති. මෙව්වට මෙහෙව් උනැයි කියලා කාෂ්‍යප රජ්ජුරුවො දැනගත්තනං මනුස්සයට ලැජ්ජත් හිතෙයි. ඔබ හිතන්න කාමරේ දොර වහගෙන සෙක්ස් ෆිල්ම් එකක් බලද්දි තාත්ත කාමරේට ඔලුව දැම්මොත් ඔබේ මූනෙ හැඟීම. තමුන් බිව්වයි කියලා මතක් කරන්න දීපු බිලක පිටිපස්සේ තිලක් කුරුටු ගාපු කවි කෑල්ලක්, බ්ලොග් එහෙක යයි කියලා තිලක් හිතන්නැතුව ඇති. එහෙම උනානම් තිලක් තමුන්ගෙ නම තිලකේ කියලා නොලියයි. ඒ තිලක් තමුන් විඳින්න කැමති විදිය. ඒක අනෙකෙකුට කියලා විඳවගන්න බෑ. ඔබ විසින්ම මතක් කරගන්න කවුරුන්හෝ තමුන්ට මේ නමින් කතා කරන්නය කියලා වෙනස් නමක් කිව්වම් ඔබේ මුහුනට ආපු උපහාසාත්ම ඉඟිය. ඒක තමයි මිනිහගේ ඇතුල. ඒක රහසක් වෙන තරමට ඒක ඒ ඒ අදාල මිනිහට රහයි. තමන්ගෙ කවි කෑල්ලට මෙහෙව් වෙච්ච විත්තිය තිලක් දැණගත්තොත් තිලක්ට ලැජ්ජත් හිතේවි. මොකද කාෂ්‍යප වගේම තිලකුත් මේක බෙදාගෙන රසවිඳින්න කරපු දෙයක් නෙමෙයි.

ඔබ තාමත් හිතනවද ඔබ දෙයක් දිහා බලන විදිහේ ගැම්ම මදියි කියලා. ඔබ කුමක් හෝ අවස්ථාවකදි මුලදි ගත්තු තීරණයක් වෙනස් කරලා තියෙනවද? පිලිතුර "ඔව්" නම් ඔබ යම් අවස්ථාවක් දෙස අවම වශයෙන් දෙවිදිහකින් බලලා තියෙනවා. ඔබ ඒ මුලු සිද්ධිය ගැන පේලි හතරක් ලියන්න හිතුවද? ලියලා තියෙනවද? ඔබ මුලු සිද්ධිය විස්තර කරන්න තනි වාක්‍යයක් හිතුවද? ඔබ එය කොලේක ලියන්න බය හිතුනද, මිතුරන් එය දකීවියි සැකයට? ඔබට ලැජ්ජා හිතෙයිද? ඒ වෙනකොට ඔබේ ආත්මීය නිර්මාණය ඔබේ මතකෙන් ගිලිහිලා නේද? දැන් අපරාදෙ කියලා හිතුනද?

අවට වෙච්ච සිද්ධි ගැන ඔබේ ආත්මීය ප්‍රකාශන ඔබ විසින්ම එකතු කරන්න.
එය ඔබට මහත් සතුටක් වේවි. අස්වැසිල්ලක් දේවි.

හැබැයි අවසාන වශයෙන්! එය ඔබ පමණක් රසවිඳින්න.

මගේ සිතුවිල්ල පරස්පර විරෝධීයි කියලා තිලක්, කාෂ්‍යප සහ ඔබ ඇසුරෙන් ඔබට සිතුනාද?

Monday, July 18, 2011

පරිපූර්ණත්වයේ අසම්පූර්ණ එකතුවක්


ඒ කර්කෂ වූ දේශයකි. සුලඟටද සිරුර රත්වේ. පාවහන් රහිත මිනිසුන් වේගයෙන් ඇවිද ගියේ දාච්ච පොලොව දෙපා දවන බැවිනි. සිඟනුන් සෙවනක් අයදිමින් සිටියහ. සිඟනුන්ට සෙවනක් දීමට ඉදිරිපත් වූ ධානපතියෙකු, ඒ සෙවනෙහි හිඳ සිඟන මුදලින් කොටසක් ඩැහැගත්තේය. පෙම්වතුන් අධික ලෙස චුම්බනයට හුරුව සිටියහ. තම අනාගත ගමන් සගයා කෙරෙහි වූ ආදරය හේතු කොට ඔවුනොවුන් ඔවුනොවුන්ගේ දෙතොල් නහවමින් සිටියහ. සියලු වාසීන්ගේ ගත පුරා වූ දුහුවිල්ල පෙම්වතුන්ගේ දෙතොලේ පමණක් නොවූ අතර, විෂබීජ හේතුවෙන් පෙම්වතුන්ගේ රෝගී වීමේ ප්‍රතිශතයද ඉහල අගයක් ගෙන තිබිණි. ලිපිකරුවන් කාර්‍යාල කෙරෙන් මිදීමට අකමැත්තක් දැක්වූ අතර, ඔවුන් ඒ සඳහා ඇඳිරි වැටෙන තෙක් ඉවසා සිටියහ. රස්නය ඉවසාගත නොහී පොලීසිය සහ සමහරෙක් රජයේ ආයතන තාප්ප කඩා සියලු දොරවල් හැර බලා සිටියහ. අතරින් පතර වැහි පොදක් වැටුනු දිනෙක සිඟනුන් තම උපරිම ආදායම ලැබූ අතර, චුම්බනයෙන් හෙම්බත් වූ පෙම්වතුන් පෙම්බස් දොඩන්නටද ඇරඹූහ. ලිපිකරුවන් වේලාසන නිවෙස් බලා ගිය අතර, තාප්ප කැඩුනු ආයතන වල දොරවල් වැසී තිබිනි.

එක්තරා රටක නිෂ්පාදනය උනා ගෑනු නැති චිත්‍රපටියක්. වෙනසක් බලාපොරොත්තුවෙන් හිටපු චිත්‍රපටකාමියෝ ඒ චිත්‍රපටය බලන්න ගියා. ඇත්තටම එය නවමු වෙනසක් උනා. ඒත් ඒ නවමු වෙනස නිසා ඇතිවෙච්ච සතුට චිත්‍රපටය පටන් අරං මිනිත්තු පහලොවක් ඇතුලත සිඳී ගියා. කර පළල් උඩුකය වස්ත්‍රයකින් දෙතනේ කැපුම දැකීම, වෙනසක්  බලාපොරොත්තුවෙන් එහි ගිය රසිකයන්ගේ සිත්වල හටගෙන තිබුනා. පිරුණු වටොරක් දැකීමේ නොතිත් ආශාව ඔවුන් කෙරෙන් ඉස්මතු වෙමින් තිබුනා. බොහෝමයක් ප්‍රේක්ෂකයින් මද අඳුරේ දෙ ඇස් වසාගෙන ඔවුන් පෙර අත්විඳි දෑ යලි යලිත් මවාගන්නට වුනා. ස්ත්‍රියකගේ සේයාවක්වත් නැති චිත්‍රපටයක් විසින් පිරිමි සිතෙහි රාගය ඇති කිරීමට සමත් උනා. චිත්‍රපටය නැරඹීමට ගැහැණුන් කණ්ඩායම් වශයෙන් පැමින සිටියා. ශාලාව අසලින් ගිය වැඩිහිටියන් ඔවුන්ට දෝෂාරෝපන එල්ල කරමින් උන්නා. පිරිමින් පමණක් රඟන චිත්‍රපටය නැරඹීමට පැමිණි බැවින් ඔවුන් ටිකට් කවුන්ටර පෝලිමේ ලේන්සුවෙන් මුහුන වසාගෙන සිටියා. ඔවුන්ගේ සිහින කුමරුන් සැම දෙනා පාහේ එකම චිත්‍රපටයක රඟමින් සිටියා. වෙනදා නිළියගේ දෙබස් කොටසේදී දෙ ඇස් වටපිටාවට යොමු වූවන්ගේ දෑසට අද නිදහසක් තිබුනේ නෑ. දර්ශනයෙන් දර්ශනය ඔවුන් ඒ කෙරේ වශීවෙමින් සිටියා. දෝෂාරෝපන මධ්‍යයේ වුවත් යලි යලිත් චිත්‍රපටය නැරඹීමට පැමිනෙන්නට මිතුරු කණ්ඩායම් අතරේ ඔවුන් ගිවිස ගත්තා. ඔවුන් රාගී දෑසින් ඒ දෙස බලා සිටියා. නොපවතින දේ සහ හිමිනොවන දේ එක හැඟුමක උත්පාදකයන් දැයි මොහොතකට හැඟුනා.

දරුවන් සමාජයේ බොහෝ අවධානයක් ලබන පිරිසක් වෙලා. වයසත් සමග දරුවා ඉදිරියට යාමේදී, අවධානය පමණක් තිබූ තැනම තිබීම හේතුකොට ගෙන "අවධානය" නැමති ඊතලය ඉදිරියට ඊලඟට පැමිණි පිරිස දරුවන් ලෙස අභිෂේක ලැබ වරප්‍රසාද ලත් පිරිසක් බවට පත් කෙරුනා. දරුවන් කෙරෙහි වන අසාධාරණයන්ට විරුද්ධව සංවිධාන බිහිවුනා. වෙනම අමාත්‍යාංශයක්ද වෙන්වුනු අතර එහි ප්‍රධාන ඇමතිනිය ආඩම්බරකාර අම්මා කෙනෙක් වුනා. දිනක් බාලාංශ පන්තියක් අසල ගැවසෙමින් සිටි නන්නාඳුනන්නෙකු ලමෝ සෙල්ලම් කරන දෙස ආශාවෙන් බලා සිටියා. හේ අත තිබූ අවසන් රුපියල් විස්සෙන් දහයක් වියදම්කොට ලබාගත් ටොපි ලමුන් වෙත දුන්නා. ලමෝ ඔහුගෙන් "අයිස් ක්‍රීම්" ඉල්ලා සිටියා. ඔහු අසරණ සිනාවක් මුහුණතට නගාගෙන ලමයින්ගේ මුහුණු අතගා නැගිට යන්නට සූදානම් වුනා. නන්නාඳුනන්නාගේ හැසිරීම දුටු පාලු කපන මව්වරුන් පිරිසක් ඔහුට අභූත චෝදනා එල්ල කලා. ඔහු බාල අපරාධාකාරයෙක් ලෙස හංවඩු ගැහුනා. දිනක් දරුවෙකු තනිවම නිවසේ සිටින මොහොතක එහි පැමිණි දරුවාගේ මවගේ යෙහෙලියක, ඕපාදූප මල්ල එලෙසම තබාගෙන ආපසු යන්නට පිටත් වුනා. එහෙත් දරුවාගෙන් ඊට ඉඩක් නොලැබුණු අතර, එම ගැහැණිය තම යෙහෙලියගේ දරුවාගෙන් අපයෝජනයට ලක්වුනා. මුල පමණක් දැන සිටි දරුවා අගට යන තෙක් උගෙන තිබුනා. එය දරුවාගේ නොදැනුවත්කමට සිදුවූවක් ලෙස සමාජයෙන් ප්‍රත්‍යක්ෂ වූ අතර, දුසිරිත අඩංගු බ්ලොග් අඩවි කිහිපයක්ද සමග ස්ත්‍රීන්ට මාසයක් යන තුරු කොටට ඇඳීමද තහනම් වුනා.

එක්තරා රටක පාවිච්චියට ගැණුනු පොතක වෙන වෙනම පිටු තුනක ලිවීම් තුනක් තිබුනා. මැදියම් රැයත් පසුවී හෝරාවක් දෙකක් යන තුරු පෑනක්ද අතැතිව එම ලිවීම් හී අයිතිකාර ලියන්නා ඒවා දෙස බලා උන්නා. ඒ ලිවීම් තුන එක්කිරීමට ගත් උත්සහයකදී, පරිපූර්ණ දෑයින් තැනුනද ඵලය අසම්පූර්ණ විය හැකි බව ඔහුට සඵථ වුනා. ඔබ කියවා අවසන් කලේ ඒ අසම්පූර්ණ ලියමනයි. ජය!

Thursday, July 7, 2011

කාල රේඛාව අස හිඳ හුන්නෙමි.

12 ශ්‍රී නිසාන් මෝටර් රියක පිටුපස අසුනේ හිඳි තරුණියට, චැලියක අන්තරායේ ගමන් කල තරුනයෙකු ඉඟි කරන්නට විය. ඇගේ පිළිතුරු ඉඟිය ඔහුගේ මනස සුවපත් කලා විය හැක. මා ඌ කෙරේ සතුටු වුනෙමි. ඌ කෙරෙහි වූ අන්තරාය ඇගේ ඉඟියෙන් තවත් වැඩි වූවා විය හැක. ඔවුන් ඉදිරියට ගිය අතර මා කාල රේඛාව අසල හිඳ බලා හුන්නෙමි. දුහුවිලි සුලං හමා ගිය අතර සංස්කරණ ශිල්පියා උදාසීන බවින් යුතුව කැරකෙන පුටුවේ කැරකෙමින් සිටියේය. චලිත පටයේ පාලුව ඉවසාගත නොහී මා, ගෝල්ඩ්ලීෆ් ඇසුරුමේ රන් පත්‍රයේ පසුපස පෑනකින් කුරුටු ගාන්නට විය.

මලින් පිරිනු තුරුනු වතේ
හලින් හලත රසය වෙතේ
තුඩින් තුඩඟ මුව පහසේ
වෙසෙත් සොඳුර නුඹම වෙතේ

චාන්දනී සෙනෙවිරත්න ඇස් මානයට පිවිසියේය. කලු පැහැති කොට්න් උඩ ඇඳුමක් සහ තද පැහැති ඩෙනිමක් හැඳ සිටි ඇය රබර් සෙරෙප්පු කුට්ටමකින් දෙපා සරසා සිටියේය. ඈ, පසුපසින් පැමිණි යමෙකුට බැන වදිමින් සිටියේය. ඒ හඬ තුල ආදරයක් විය. චාන්දනී විශිෂ්ඨත්වය මා දෙ ඇස් ඉදිරියේ පිම්බෙමින් තිබිනි.

"එන්න බදාගන්න"

මෙතෙක් වෙලා පසුපස හිඳ ආදර බැණුම් රස විඳිමින් හුන් ඒ මහත තරුනයා ඈ තුරුලට විය. ඒ කෙට්ටු අස්ථි වටා පිරුනු මහත් වූ ආදරය එම තරුනයා මත දඟලන්නට විය. චාන්දනී සෙනෙවිරත්න මා ප්‍රියතම නිළිය විය.  ඇගේ දක්ෂතාවයට අමතරව, මා ප්‍රියතම රුව ඈ කෙරේ විය. දිගැති කෙට්ටු ශරීරයක් ඇති, පිට මැදට කොණ්ඩයක් වූ, මුහුනු ඉරියව්වෙන් වැඩිපුර කියවන, සරල සුන්දරත්වයෙන් ඇඳිවත පහසුව සලසා ගත්, ආදරය පිරි ගැහැනු රුව චාන්දනීට සහ මා ආදරවන්තියට පොදු විය. මා ආදරවන්තියගේ සුපහස මට දැනෙන්නට විය. රන් පත්‍රයේ පසුපස තවත් ඉඩ ඉතුරුව තිබිනි.

කලට සැලකුම්ද නිසි ආදර පෑය
මලට බඳු පෙම්ද රුව රූසිරු බෝය
නිතර සිටියෙම්ද මගෙ සරි මග ඈය
සොඳුර නුඹ වෙතම පෙම් කෙරුවේ මාය

තරුනයෙකු බිම වැටී කෙඳිරිගාමිනි. ඔහුගේ හිස පසාරු කරගෙන නයින් මිලිමීටර් උන්ඩයක් ගමන් කර තිබිනි. හේ ලේ විලක් මැද මරණාසන්නව සිටියේය. හේ යමක් මුමුණනු මට ඇසිනි. නමුදු මට කාල රේඛාව මතින් පැන එහි යාමට නොහැකි බාධකයක් විය. සංස්කරණ ශිල්පියා දෙ ඇස් දුනි. මරණාසන්න තරුනයා ඉතාලි බසින් කල මිමිනිල්ල සිංහල උපසිරැසි ලෙස චලන පටය මත ඇඳී තිබිනි.

"ම්හ්... මේ මාස හයටම උඹ මට දීපු එකම සැනසීම.. බැල්ලි!"

අඳුරු පසුබිමක යමෙකු නැගී සිටියි. ඔහු වෙත ඉහලින් එල්ල වූ ආලෝක ධාරාවකි. ඔහුගේ අතපය හැසිරවීම, සාත්වික අභිනයන් සහ සියල්ල ජයලත් මනෝරත්න අනුගමනයකි. හඬ පවා එමමය. මතකයට නැගුනේ "සුද්දෙක් ඔ අමතයි" හී මනෝරත්නයන්ගේ භූමිකාවයි. හේ කතාවක් කල අතර කාල රේඛාව අස හුන් මා සමග කැරකෙන පුටුවේ සිටි සංස්කරණ ශිල්පියාද දෙ ඇස් නොහෙලා දෙකන් අයා එය විඳිමින් සිටියෙමු.

"මිනිස්සු! ලංකාවේ චැලියේ ගිය කොල්ලටත්, චාන්දනී එක්ක රඟපාපු තඩියටත්, මැරිච්ච ඉතාලි කාරයටත් ආසාව පොදුයි. කොටින්ම බුදුන්ටත්. සිදුහතුන් ගිහිගෙය හැරියෙත් ආධ්‍යාත්මික සුවයට තිබිච්ච ආසාව නිසා. කටට රහට කෑම කන්න, අරක්කු බොන්න, නිදිවදින්න, ජීවිතේ විඳින්න මිනිස්සු ආසයි. සල්ලි! ඒ ආසාවට මිනිස්සු යා කරන ඊ තලේ වෙලා. හැමදාම හන්දියෙන් කොත්තු නොකා ඇමරිකන් බ'ගර් කන්න, ගල් වෙනුවට ග්‍රීන් ලේබල් වඩියක රහ බලන්න, කොටට අඳින එච්.එස්.බී.සී වැඩ කරන කෑල්ලක් කරන්න, දිලිසෙන්න. බස් දොරෙන්ම බැහැපු උන් ආසයි, බෙන්ස් දොරක් ඇරෙන "ක්ලක්" ගාන සද්දෙ අහන්න. අඩු තරමේ දවස් දහයකටවත් රෝද හතරක් ගෙදරට ගේන්න. එදාටවත් ගෙදර ගෑනි නෑ බෑ නොකියා නයිටිය ගලවයි.. නැද්ද?"

"පයිසෙ හොයන්න මිණී මරන, මරවන, රවට්ටන, කොල්ලකන, නැහෙන, පිච්චෙන එවුන් කියන්නෙ මිනිස්සුන්ට. තිරිසන්නුන්ට සල්ලි වැඩක් නැහැනෙ. අඩුම තරමෙ අත්සනක්වත් නොගහා සල්ලි හොයන්න බෑ; ඒ කියන්නෙ කන්නත් බෑ, බොන්නත් බෑ, නිදිවදින්නත් බෑ. ඒක මටත් පොදුයි. මාත් මට හිතෙන දේවල් මෙතන වපුරන්නේ ගෙදට්ට සල්ලි ටිකක් ගෙනියන්න. නැතුව මේක අහන තමුසෙලට ආදරේට නෙමෙයි."

සියල්ල මැකී යයි. මා පසුපසින් හඬක් ඇසේ.

"සමාවෙයන්. මම උඹව මකනවා. උඹ කියපුවත් එක්කම. උඹේ සද්දෙ එලියට ගියොත් මටත් පයිසෙ නෑ.ලමයින්ට කෑමත් නෑ. ගෑනි ලඟට එන්නෙත් නෑ."

සංස්කරණ ශිල්පියා කැරකෙන පුටුවෙන් නැගිට පිටවිය.