"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, September 28, 2011

ටොපිය

මේක පොඩි කතාවක්. හරියටම කිව්වොත් ටැබ්ලොයිඩ් වල කවරයේ කතාව කියලා ඉස්සරහා පිටුවේ පින්තූරය විස්තර කිරීමක්. මේ ටොපියේ කවරයේ කතාව. ඒකට ටොපියේ කවරය බලලා ඉන්න වෙනවා මුලින්.
මේ මම ටික කාලෙකට කලින් යොදාගත්තු කවරයක්. පැත්තෙන් ඉන්නේ වෙනස් විදිහක ගෑනියෙකුයි මිනිහෙකුයි. මෙතන රූපේ වෙනස් විදිහට තියෙන්නේ හිතන විදිහ ඇඳලා පෙන්නන්න බැරි නිසා. මට ඕන උනේ වෙනස් විදිහකට හිතන උන් මේක කියවන්න. එතකොට මටත් වෙනස් දෙයක් උන්ගෙන් දැනගන්න පුලුවන් වගේම, මම කියන දේත් උන් වෙනස්ම විදිහකට හිතාවි. එනිසා ඒ රූප දෙක මට අනුව ආරාධනාවක්. මේකේ නම ටොපිය උනේ නිකංම. ඒකට හේතුවක් නෑ. හැබැයි පහු කාලෙක ටොපිය කියන එකට අරුතක් සහ හේතුවක් ගොඩනගන්න මට ඕන උනා. ඒක තමයි ඔය හෙඩරයේ උඩින්ම තියෙන වචනය, TOPඊයඃ!. ටොප්+ඊයඃ, ටොප් එක, උඩ, මුල එහෙමත් නැත්තං ආරම්භය ඊයඃ කියලා හිතෙන්න පුලුවන්. හැබැයි "හරිහමන් හැඩයක් නැති උනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". මේ උදාහරණේ කියවපු ගමන් ඔලුවට එන කුණුහරුප හැඟීමෙන් නියෝගයක් කරන්නේ ගෑනුන්ට විතරක් කියලා කියවන උඹලට හිතුනට, මේක අර්ථයෙන් විතරක් ගත්තොත් පිරිමින්ටත් පොදුයි. එනිසා කවදාවත් උඩින් පල්ලෙන් බලලා දෙයක් ගැන තීරණය කරන්නවත්, ඒ ගැන විචාරයක් දෙන්නවත් එපා. මනුස්සයෝ වශයෙන් එහෙම දේවල් නොකරම ඉන්න බෑ. එනිසා පුලුවන් තරමකින් අඩු කරගන්න බලන්න වෙනවා. බ්ලොග් වලදිත් ඒ දේ එමමයි.

ටොපිය ලියන්නේ මම උනාට මේකේ තනිකරම ලියවෙන්නේ මගේ කතාම විතරක් නෙමෙයි. නිකමට හිතෙනා.. සවනට වැටෙනා.. දෑසින් දකිනා.. මවිසින් විඳිනා.. බොහෝවිට ඒ උඹලගේ සහ තවත් මිනිස්සුන්ගේ කතා. ඒත් ඒවයින් සමහරෙකගේ කතා වල මම මුල් වෙලා කතාව ලියවෙන කොට කමෙන්ට් වලින් දැණගන්න ලැබිච්ච දේ තමයි උඹලා ඒ කතාව මගේ ජීවිතේට ආදේශ කරගෙන කියවන එක. ඒකෙත් අවුලක් නෑ. ඒත් එහෙම සිද්ධියක් හරියට තේරුම් ගන්න ඒ ක්‍රමේ එච්චර සාර්ථකයි කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා කවුරු ලියපු කාගේ කතාවක උනත් ප්‍රධාන චරිතය යොදාගන්න ඩමියක් තමුන් විසින් හිත ඇතුලේ දාගන්න. උදාසීන මිනිස් ඇඟක්. දැන් උඹලට පුලුවන්, ඒ ඒ කතාවෙන් එලියට එන ගතිගුණ එක්ක අර චරිතාංග අර ඇඟට ඔබ්බගන්න. එතකොට මගේ හෝ වෙනින් ඕනම ලියන්නෙක්ගේ චරිතත් එක්ක උඹලා හිතේ ගොඩදාගන්න කතාව පැටලවීමක් වෙන්නේ නෑ.
මේ මම පටන් ගත්තු තුන්වෙනි බ්ලොග් එක. පලවෙනි එක 2008 අවුරුද්දේ අග අමුතු නමකින් පටන් ගැනුනත් දැන් ඒක නෑ. දෙවැන්න දැනට වේලෙමින් පවතින දේෂපාලණික බ්ලොගක්. ඒ කාලෙට වඩා මම ලියපු විදිය හුඟක් වෙනස් වෙලා. ඒකට හේතුවම මම එන්න එන්නම කියවපු දේවල් වෙනස් වෙලා. ඒ කාලේ තෝරාගත් පොත් ටිකක් කියවපු මම, දැන් හුඟක් පැති වල පොත් කියවනවා. ඒකට ඇත්තට ස්තූති වෙන්න ඕන මට බ්ලොග් වලින් හම්බෙච්ච යාලුවොන්ට. ඒ වටින යාලුකං හදලා දීපු නිසාම ටොපිය මට හුඟක් වටිනවා.

අවුරුදු දෙකකුත් මාස දෙකකට එහා පැත්තේ ලියලා, අදට ටොපියේ ලිපි සියයක් තියෙනවා.

Wednesday, September 14, 2011

පෝ දින සාකච්ඡා


අද දින මේ වාහිණිය ඇවිල්ලා මේ ගමේ සජීවීව කරන මේ පොහෝ දින ධර්ම සාකච්ඡාව ශ්‍රවනය කරන්න ආපු පිංවතුන්ව පිංවතියන්ව අපි බැති සිතින් පිලිගන්නවා. එසේනම් මා නමස්කාර පූර්වකව මයික්‍රෆෝනය භාර කරනවා අති පූජ්‍ය බඹරැන්දේ සුමනසාර නාහිමිපානන්ට අප ඔබ සැම තිසරණ සහිත පංච සීලයේ පිහිටුවීමට.

ස්.. සා.. ධූ... උපාසකම්මා දන්නවද අද හුඟක් උන් මෙතන ටැක් ගැහිලා ඉන්නේ බණකට දහමකට ආසාවකට නෙමෙයි. ටීවී එකේ මූන පෙන්න ගන්නනේ.

නොදකින්වත් මුං... මං අහගෙන සමහරක් කතාවෙනවා අද දවල් දානේ හුඟක් හොඳ තැනකින් කියලත්. ඇත්තටම උඹට ආරංචියක් නැද්ද උපාසකම්මේ කොහෙන්ද කියලා?

ඔය මහ හෝටලේකින් කියන්නේ. බත් පාර්සල්ලු දෙන්නේ. මං ලොකු කෙලීට කියලමයි ආවේ දවාලට මෙහාට වරෙන් පුලුවන් උනොත් තව පාර්සලයක් අරන් දෙන්නං කියලා.

නොලැබෙන දේ පසුපස එලවීමත්
ලැබෙන දෙයට සීමා නැති වීමත්
අන්සතු දේ නොකියා ඩැහැගැනුමත්
පව් පුරවයි මනු දිවියට කවදත්

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...

******************************************************

ආන් දැක්කැයි අද ජිනසීලී තනියෙං..

හ්ම්ම්ම්... මාත් අහන්නමයි හිටියේ. හැබෑටම කෝ රත්නවතී..

දන්නැතෙයි, උන්ගේ ලමයි පිටරට වල අරාබිකාරයොන්ට කඹුරලා කඹුරලා අම්මට ගෙනත් දීලා නෙව මහ විසාල ටීවී, රේඩියෝ. ඒ මදිවට හාමුදුරුවන්ගේ බණ තියෙන ටේප් රාසියක් ගෙනල්ලලු. මහ උන්දෑ දැන් ඒකෙන් බණ අහන්නේ. බිම ඉඳගන්න අමාරුයි කියලලුනේ ඒ අම්මණ්ඩි ගෙදරට වෙලා ඉන්නේ.

හැබෑටම නාකි වෙන්ඩ වෙන්ඩ මුංගේ මල කෝලං..
කොහෙදෑ හැබෑටම ඒ අම්මණ්ඩිගේ ලමයි ඉන්නවා කියන්නේ.

ඔය අරාබිකරේලු. බැංකුවක කියලා තමයි කියන්නේ. ඒ වුනාට අහල පහල නං කතා වෙන්නේ ඕකුන් ගෙවල් වල වැඩ කරනවය කියලයි.

කවුරු දන්නවද නංගියේ..

හැබැයි එකත් එකටම මෙහෙදි හරියට වැඩක් පලක් කරපු නැති උන්ව එහේ හොඳ රස්සා වලට ගනීවියැ. සමහර විට බැංකුවල උනත් හෝදන කරන වැඩ වෙන්නැති. රත්නවතී උඩ දාගෙන කියෙව්වට.


අනුන් ඇසෙහි රොඩු කුණු අවුලන්නේ
තමන් ඇසෙහි පොල් අතු නෑ දන්නේ
පිහාටුවක් පක්ෂි රැලක් කරන්නේ
පවක් කියා දුදනෝ නෑ දන්නේ

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...


******************************************************

හප්පේ දවාලෙ භෝජනේ නං පංකාදු පහයි.ඉස්මුරුත්තෙට එනකංම කෑවා. භාවනා වැඩසටහන වෙලාවේ සනීපෙට දෙහෝරාවක් විතර ඇහැත් පියවුනා ඕං. ඈ උපාසකම්මේ ඔහේගේ ඇහැ පියවුන්නැතෙයි?

කොහෙ පියවෙන්නද උපාසකම්මේ.. මේ ගැටිස්සියොන්ගේ සිරික්කිය දැකලා මට මාරයාවේස වෙලා උන්නේ..

අර මක්කෙයි... අපරාදේ මමගේ ඇහැ පියවුනේ නැත්තං..

හ්ම්ම්... දහම් පාසලේ කොල්ලෝ කෙල්ලෝ ටිකටත් දැන් මනමාල විසේ ඔලුවට ගහගෙන එනවා.
අඩු තරමේ සීල වියාපාරේ දවසටවත් මුං හැදෙන්න දැනගන්නෝන්නැද්ද මං අහන්නෙ?
එහෙං සිරික්කි.. මෙහෙන් සිරික්කි.. අර ගුණපාලයගේ ලොකු කෙලී මං දැක්කා අර සමන් කොලුවගේ පිටටත් ගහනවා

සමන් කොලුවා කිව්වේ?

අර ඉන්ද්‍රසිරියගේ මද්දුමයා. ඌ නං අහිංසකයා.

අහිංසක හොඳ අහිංසක. අප්පා වගේම නැතෑ පුතත්.
අපේ අල්ලපු වැටනේ ඕං. මම නොදන්නවැයි ඕකුන්ගේ කැරැට්ටුව. මහම මහ කුම්මැහියෙක්. උදේකට දැක්කොත් දවසම ඉවරයි.
එදා අපේ මද්දුමී අරාබි යන වැඩේ හබක් වුනෙත් ඕකුංගෙන් මොකෙක්හරි එකෙක් මුලිච්චි වෙලාම තමා මූනට... නෙද්දකින්වත් තුඃ!
අපේ ගහේ කොස් ගෙඩිය හොරාට කඩාගන්නවා.
තව කරන තරමක් තුච්ඡ වැඩ කරලා බබ්බු වගේ ඉන්න හැටි.
මං විස්තරේ නොකිව්වනං උඹ එහෙම හිතන්නෙත් නැහැනොව නංගියේ..
ඕකුංගේ කවරේනං සුදුයි..

වෛරෙට වෛරය නෑ යටවෙන්නේ
එරවිලි ගැරහිලි නෑ සැපදෙන්නේ
කියන කියුම් නිසි ලෙස හිතපන්නේ
බිඳෙන සිතක් නෑ සුවපත් වන්නේ

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...

හම්මේ යාන්තං පවාරණේට තව හෝරාවයි..