"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Wednesday, October 19, 2011

"කොස්ස නහන්න විස්සට තියට"



"අන්නාසේ... අන්නාසේ... කොස්ස නහන්න විස්සට තියට... විස්සට තියට"

හේ අන්නාසි වෙලෙන්දෙකි. ගාලු වුවදොර පිටියේ වෙලදාම් කරන්න්නෙකි. ඔහුගේ ලොකු පුතා ඉස්සො වඩේ විකුණයි. මා ඔහු ඇසෙන මානයේ ඔහු පිලිබඳ නිරීක්ෂණයෙන් උනිමි. ලොකු පුතා විටින් විට ගොස් මොහුගෙන් කැරට් අලයක්ළුණු ගෙඩියක් රැගෙන යයි. පසුව දැනගත් පරිදි ඒ ආරක්ෂාව පිණිසය. මහජනාරක්ෂාවට සිටින ඇත්තන් ඉස්සො වඩේ වෙලෙන්දන්ගේ කරට් අලයටළුණු ගෙඩියට බලහත්කාරයෙන් විදින බැවින් ඔවුන් ඒවා ආරක්ෂිතව ගබඩා කිරීමට ක්‍රම සොයාගෙන ඇත. අන්නසි වෙලෙන්දාගේ ලොකු පුතා ඒ සඳහා අන්නාසි වෙලෙන්දාගේ නොහොත් සිය පියාගේ රැකවරණය තෝරාගෙන ඇත. හේ තම අන්නාසි ජනාකීර්ණ ස්ථාන වල සිට මාකට් කරයි.
 
"නෝනල මහත්තයල කාලම බලන්න. අන්නාසි කියන්නේ ආහාර කපන අසිපත කියන එක. දිරවන්නේ නැති කෑම දිරවගන්නබඩේ අමාරුබඩේ පිපුම ඔක්කොටමඕන කොස්සකට හොඳයි. කෑමක් ගනිද්දි දේවල් තුනක් බලන්න ඕන. රහේ ගුණේ වගේම ලාබේ. තුනම මෙතන තියනව මහත්තයා. විස්සෙ පැකට්......තියේ පැකට්...... හරිම රසයි. ලුණු මිරිස් කුඩු පොඩ්ඩක් එක්ක උඩුතල්ලේ ගෑවිගෙන බඩට බහිද්දිඅමා රසේ පරාදයි." 
 
හේ අවට සිටින උන්ට කෙල ගිල්ලවයි. ඔහුගේ වදන් වලින් මැවූ අන්නාසි කැබලි අවට සිටින උන්ගේ දිව මත දඟ කරයි. මමද සන්තකයටම වූ අවසන් රුපියල් පනහ එලියට ඇද එයින් විස්සේ අන්නාසි පැකට් එකක් මිලට ගතිමි. "කෙට්ටු වෙනවා මහත්තයා මේවට" හේ මට ඉතිරි තිහ මිට මොලවන ගමන් කීය. ඒ මම මහත නිසා විය යුතුය. මා ඔහු අසලින් හිඳිමින් ඔහුගේ මාකටින් ස්ට්‍රැටජිය අධ්‍යනය කරමින් උනිමි. 
 
ලී බංකු පේලියේ එකක හේත්තු වී, දකුණු ඇලයට ඉහ අතකට බර කර හිදිනා තරුණයෙකි. ඔහු අනවරත රළ රටා දෙස හිස් දෑසින් බලා හිඳින අතර යමක් මුමුණයි. බොහෝ විට ඒ මිල්ටන් මල්ලවාරච්චි ගේ ගීතයක් විය හැක. අන්නාසි වෙලෙන්දා ඔහු වෙත ගොස් ඔහුගේ දැහන බින්දේය.  
 
"පුතාහිතේ අමාරුවකින් වගෙයි. ඔහොම තමයි පුතා. ඔය වයසට සතුටු හිතෙන විදිහටම තමා දුකටත්. මං පොඩිකාලේ, මේ තැනම වාඩි වෙලා හිටිය ජෝඩුවල පොකට් එකට විදිනකොට මම කවදාවත් හිතුවේ නෑ මං මෙතනම සාධාරණ රස්සාවක් කරයි කියලා. මාව වෙනස් කරේ මගේ ගෑණි. කොයි මිනිහටත් ජීවිතේ හරියන කාලයක් වගේම හරියන්න ක්‍රමේකුත් එනවා. ඒ මිනිහට පුළුවන් වෙන්න ඕනඒ ගොඩ යාම අතුලේ නැගිටගන්න. කන්න පුතා අන්නාසි කෑල්ලක් දෙකක්. ඕවා අමතක වෙලා යයි."
 
තරුණයා අන්නාසි මල්ල ගෙනපසුම්බියෙන් ඉවතට ගත් මුදල් දිගු කල මුත් ඔහු එය පිලිගත්තේ නැත.

"සල්ලි එපා පුතා. මට අද සතුටු වෙන්න පුළුවන්. කැම්පස් කොල්ලෙක්ගෙ හිතෙන් පොඩ්ඩක් හරි දුක තුනී කරන්න පුලුවන් වෙච්ච එකට."

ක්ෂණයකින් තරුණයා හැඳ සිටින ජ'පුර විශ්වවිද්‍යාල ටී ෂර්ටයට මගේ ඇස ගියේය.

"අනිකපුතා ආපහු දවසක ගෑණු ලමයෙක් එක්ක ගෝල්ෆේස් ඇවිත් මගෙන් අන්නාසි මල්ලක් ගන්න. එදාට මම ඔයාගෙන් සල්ලි ගන්නම්."

හේ ඉදිරියට ඇවිද යයි. ඔහු කියවීමට වටින මිනිසෙකි.  මාකටින් යනු පෙලඹවීමක්ද රැවටීමක්ද යන ප්‍රස්ථාරය හේ ධනාත්මකව උත්තේජනය කරයි. බොහෝවිට ඔහු සිය අදහසක් වැපිරීමට තවකෙකු සොයනවා විය හැක. එතෙක් ඔහු "අන්නාසේ......අන්නාසේ......" යන වචනය අනවරතව පවසමින් ඉදිරියට ඇවිද යයි. මාඔහු පසු පසින් ඒම සම්බන්ධව ඔහුට නිනව්වක් නැතුවා විය හැක. හේ හුලං පෙති ඉල්ලන දැරියක් අසල නැවතුනි. මා ඒ අසලට ලං වන විටත් ඔහු දැරියගේ දෙමව්පියන් හා කතාබහට එලඹී ඇත. දැරිය මුහුදු හුලඟට ගැටෙන සේ ඇයගේ අභිමානවත් හුලං පෙත්ත අත දරා සිටී.
 
"මේ දැන් කාලෙ හැටිනෙ මහත්තයෝ. ගෑණු දරුවෙක් හම්බුනොත් "නරකක් වෙයි" හිතලා ආරක්ෂා කරන්න ඕන. පිරිමි දරුවෙක් හම්බුනොත් "නරකක් කරයි" කියල ආරක්ෂා කරන්න ඕන. හැබැයි ඕවැයෙ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. දැන් කාලේ ළමයෙක් හදන එක හරිම අමාරුයි ඉස්සරට වඩා. සමාජෙත් එක්ක ගැටෙන්න යවන්න බයයි. එහෙමයි කියලා නොයවත් බෑ. මොකද නැත්නම් ළමයාට දැනුමක් තේරුමක් නැති වෙනවා සමාජෙ ගැන. ඒක ඊටත් භයානකයි. මේවා තහංචි දාල හදන්නත් බෑ. මහත්තයලටත් තේරේවි මේ දූ සිඟිත්ත ලොකු වෙද්දි. ඉස්සර අපේ අම්මල අපිව වැලැක්කුවේ සිගරට් බොන්න යන එකෙන්. ඒත් දැන්සිගරට් බිව්වත් කමක් නෑ කුඩු ගහන්න එපා කියලයි කියන්න වෙන්නේ. ගෑණු ලමයින්ටත් ඒ සෙතේමයි. ඉස්සර කියන්න වුනේ නරක චිත්‍රපටි බලන්න එපා කියලා. ඒත් දැන් කියන්න වෙලා තියෙන්නෙ නරක චිත්‍රපටි වල රඟපාන්න එපා කියලා. මම මෙතන හැමදාම අන්නසි විකුණන නිසා දන්නවා මහත්තයෝ. එක ලඟ බංකුවල වාඩි වෙලා හිටි ජෝඩුසතියකින් එනවා එහා බංකුවේ කොල්ලයි මෙහා බංකුවේ කෙල්ලයි එකට. දැන් සමාජේ ඔක්කොම නරක ටික සුද්දෝ විදිහට ගිහින්. හැබැයි දියුණුව විතරයි සුද්දගේ විදියට නැත්තේ. දැන් මිනිස්සු අන්නාසි කන්නෙත් නෑ. ලොකු ලොකු ජාති. මහත්තයලා කනවද අන්නාසි පැකට් එකක්."

දැරියගේ පියා අන්නාසි මල්ලක් ගනී. දැරියට වෙනම අන්නාසි මල්ලක් ඉල්ලා සිටියා විය යුතුය. ඔහු ඇයටද අන්නාසි මල්ලක් ගෙන දෙයි. දැරිය හුලං පෙත්ත බිම අතහැර අන්නාසි කමින් සරුංගලය දෙස බලාසිටියි. ඇගේ දෙමව්පියන් අසල සිටි පෙම් යුවලක් දෙස බලාසිටියා විය යුතුය. ඔවුන්ගේ දැහැණ බිඳුනේ දියණිය අත දිගු කර පෙන්වූ සරුංගලයෙන් විය යුතුය. වැඩි වෙලාවක් නොසිට ඉදිරියට ඇදෙමින් සිටි අන්නාසි වෙළෙන්දා පසුපස මා ඇවිද ගියෙමි.


ඡායාරූපය මෙතනින්

Wednesday, October 12, 2011

ඉන්ද්‍රජාලිකයාගේ මරණය


මෙය මින් සති කිහිපයකට පෙර පැවති කෙටි කථා තරඟයකට ලියන ලද්දකි. පෙර කියවා ඇත්තෝ සමාවෙත්වා. මෙය එම කෙටි කථා තරඟයේ, අග සිට ජනප්‍රියම ස්ථාන පහ තුල සිටි සේම මුල සිට හොඳම තුන් වෙනි කතාව ලෙස තේරී පත්වුනි. මින් පෙර කියවූ සහ අඩු පාඩු සඳහන් කලවුනට ස්තූතිය!
අත්ලවල් එකට වදින දෙස ඔහු මොහොතක් බලා සිටියේය. ඒ ශබ්දයට ඔහු ආශා කල අතර එය නොතිත් ආශාවක් බවත්, තමාගේ ඉන්ද්‍රජාල උපදින්නේ මුදල් සහ අත්පොලසන් වෙනුවෙන් පමණක් බවත් ඔහු විශ්වාස කලේය. තිරය වැසුනතර, රතු තිරයෙන් ඔහු සැඟවී යන දෙස බලා සිටි පොඩිවුන්ගේ මුහුණේ වූ දුක්මුසු හැඟීම ඔහුට සතුටක් ගෙනාවේය. තිර වැසී, පහන් නිවී අවට අඳුරු වූ පසු ඔහු ක්ෂණයකින් ඔහුගේ අතීතයට ගියේය. හේ වලව් පැලැන්තියක එක් පරම්පරාවක් බඩ පිස්සෙකි. ඒ වනවිටත් අයියලා අක්කලා ස්වයං පාලනයක් යටතේ ජීවත්විය හැකි මට්ටමකට වැඩී තිබූ බැවින්, බඩපිස්සා වෙනුවෙන් තනි මෙහෙකරුවෙකු වෙන් විය. නෑවීම, කැවීම , සුරතල් කිරීම, නිදි කරවීමට අමතරව උරහිසේ පුංචි මහත්තයාගේ හිස හොවාගෙන පැදකුණු කිරීමද හේ සතුටින් ඉටු කලේය. කතා නායකයා දැණුම් තේරුම් යන වයසකට ආපසු, සවසක වලව්ව පසු පස මෙහෙකරුවා තම පුංචි හාම්පුතාට ඉන්ද්‍රජාල කිහිපයක් පෙන්වීය. අතේ වූ ටොපිය හැන්ගීම, වම් සාක්කුවට දැමූ රුපියල දකුණු සාක්කුවෙන් ගැනීම වැනි ඉන්ද්‍රජාල කිහිපයකට පසු තමා ඒ දෙස විශ්මයෙන් බලා සිටින විට, ඔහු තමා වෙත හෙළුවේ තමුන් මෙතෙක් වෙලා තම ප්‍රක්ෂකයන්ට දැක්වූ ගාම්භීර සිනහවම නොවේදැයි ඔහුට සිතිනි. ක්ෂණයකින් ඔහු නැවතත් වත්මනට පැමිණිතර හේ වේදිකාවෙන් ඉවත්ව සිය කුටියට ගියේය.

ඉන්ද්‍රජාල කිරීම් ඔහුගේ රැකියාව විය. විනෝදාංශය විය. ජීවිතය විය. වයස අවුරුදු නමය දහයේදී මෙහෙකරු විසින් තමා ඉදිරියේ ඉදිරිපත් කල මවා පෑම් කොතරම් ලාබාල අවධියක ඉන්ද්‍රජාලද යන්න ඔහුට පසක් වන සමයේදී සහ වර්තමානයේදීත් ඔහු ඒවා හට ගරු කලේය. මන්දයත් මුල් කාලයේ ඒ අවස්ථාවේ ලද ඉලිප්පීම නොවුනානම්, සීතල දේශයක කබා තුන හතරක් ඇඳගෙන සිය සහෝදර සහෝදරියන් මෙන්ම තමන්ටද උසස් මට්ටමේ ඒකාකාරී රැකියා කරන්නට සිදුවන්නට තිබුණු බැවිනි. ඊට අමතරව තම මෙහෙකරු ඉන්ද්‍රජාලික ගුරුතුමා හට ගෞරව කිරීමට ඔහුට තවත් හේතුවක් විය. මන්දයත් ඔහු තවමත් තමන්ගේ ගුරු මට්ටමේම රැඳී සිටින බැවිනි. මුල් කාලයෙන් පසු ගණිතය සහ ඇස් බැන්දුම් කෙරේ අතිශය ඥානයක් සහ පෙළඹවීමක් තිබූ තම මෙහෙකරුවාට ඉන්ද්‍රජාල පිළිබඳ දැණුම ලබාදීමට හේ උත්සුක විය. තමාට වඩා විසිවසකින් වැඩිමහලු මෙහෙකරුවාට ශාස්ත්‍රය දී ඒ හරහා තමාගේ සිහින වෘත්තිය වූ ඉන්ද්‍රජාලකරණය ඉදිරියට ගෙන යාම ඔහුගේ අපේක්ෂාව ඉව්ය. ප්‍රේක්ෂකයන් රැවටීම නොහොත් රඟපෑම පිලිබඳ තමන් වෙහෙසෙන අතරම , එම ඉන්ද්‍රජාලයෙහි යාන්ත්‍රණය නො එසේනම් රසායනය සිදුකිරීමට ඔහු සිය මෙහෙකරුවා යොදාගත්තේය. ඔහු තම පුංචි හාම්පුතාට හැකි උපරිමයෙන් සේවය කල අතර, මසකට එකක් බැගින් වූ නව ඉන්ද්‍රජාලයන් සොයා ගැනීමෙහිලා උපරිමයෙන් වෙහෙසීය. තම මෙහෙකරුගේ මෙහෙයටද මෙහෙකරුවෙකු ලබාදීමට කතා නායකයා උත්සුක වූ අතර, සියලු සැප සම්පත් මධ්‍යයේ සියල්ල සතුටින් ගලා ගිය සේම ඉන්ද්‍රජාල ශාලාවටද සෙනග ගලා ආවේය. ඔහු තමා වෙත යාන්ත්‍රණය නිමකොට දුන් ඉන්ද්‍රජාලයේ, කවරය සකසමින් සහ හැඩ කරමින් සිටියේය. යාන්ත්‍රණය පිටතට නොපෙනෙන ලෙස කවරගත කොට අවසන එහි රස වැඩි කිරීමට හැඩකිරීම් කල යුතුය. ඔහු දන්නා ඔහුගේ සමකාලීන ඉන්ද්‍රජාලිකයින් බොහෝමයක් සිය ඉන්ද්‍රජාලකරණයේ ඔහුට පසුපසින් වන්නට ප්‍රධානම හේතුවක් වූයේ ඔවුන්ගේ කවරය යෙදීම යම් දුර්වල මට්ටමක වූ නිසා එම යාන්තරණය දැනගැනීමට අනෙකුත් ඉන්ද්‍රජාලිකයන්ට පහසු වීමත්, බොහෝමයක් වුන්ගේ යාන්ත්‍රණය ප්‍රේක්ෂකයාට පවා හෙලි වීම නිසාත් මොහු පිලිබඳ ප්‍රසාදය වැඩි වීමය.

ඔහුගේ ජීවිතයද ඉන්ද්‍රජාල හේතුවෙන් නවමු මාවතකට ඇදී යමින් තිබූ කාලයකි. ඒ ඔහු සිය ඉන්ද්‍රජාල, හෝටල් තුල රඟවමින් තිබූ කාලයකි. ඔහුව ලබා ගැනීමට හෝටල්කරුවන් පොරකෑ අතර රාත්‍රී හත නවය කාල පරාසය හෝටල් වෙත විශාල ප්‍රේක්ෂක ප්‍රමානයක් ඇද්දවීමට සමත් විය. හෝටලය වෙත පිටින් ඇදී නො ආ, වටින් ගොඩින් එහෙන් මෙහෙන් බලා විශ්ම වන සොඳුරු මුහුණක් හේ සිත්ගත්තේය. සිය රංගනයේදී සිය ඉන්ද්‍රජාල යාන්ත්‍රනයේ විශ්මය එලිදැක්වීමට පෙර, ප්‍රෙක්ෂකයා සිය ඉන්ද්‍රජාලය කෙරේ උත්සුක කලද ඔහු සිය ආදරය ප්‍රකාශ කිරීමේදී ස්ථීරව සහ ස්ථාවරව තම කැමැත්ත ප්‍රකාෂ කිරීම සිදු කලේය. ඒ වටින් ගොඩින් බලා සිත් ගත් රුව හෝටල් හිමිකරුගේ දියණියගේ වූ අතර ඒ වෙනුවෙන් ප්‍රධානයක් ලෙස හෝටල් හිමිකරුට අයත් වූ විශාල ශාලාවක හේ සිය ඉන්ද්‍රජාල කටයුතු ආරම්භ කලේය. වෙන වෙනස් ශාලා, තම ඉන්ද්‍රජාල වෙනුවෙන් සකස් කිරීම සහ ඉවත් කිරීම කරදරකාරී සහ අනාරක්ෂිත විය. තම විවාහ දිවියේ සියලු රස, විඳිමින් සිය හැඩරුවම යුතු දියණියකගේ සුරතල්ද මැද ගෙවෙන සමයක සිය බිරිඳ නැවතත් ගැබ් ගෙන සිටියේය. ඒ හේතුවෙන් කතා නායකයාගේ සතුටක් එතරම් නොදැවුණු අතර අඩ දබර ගෙරවිලි රැවිලිද මැද කිසිඳු වැටීමකින් තොරව ඉන්ද්‍රජාලකරණය ඇදී ගියේය. පියාගේ නමට කතානායකයාගේ නම යෙදුනු උප්පැන්නයක් සමග තවත් දියණියක් මෙලොව එළිය දුටු අතර හද ගැස්ම වැඩි වූයේ සිය වලව් මෙහෙකරුගේ හඳුනාගැනීමේ සලකුණක් වූ පපුවේ දකුණු පැත්තේ පිහිටි උපන් ලපය සිය දියණියගේ එම ස්ථානයේම එයාකාරයෙන්ම තිබෙනු දැකීමත් සමගමය. තත්වය වඩාත් අයහපත් වූ අතර හේ එය යටපත් කිරීමට ඉන්ද්ය්‍රජාල කවරයක් යෙදවීමට සිත යෙදවුව මුත් එය අසාර්ථක වූ අතර ජනනය කල වුන් ඉවත් කරනවාද? ජනනය වූ දෙය ඉවත් කරනවාද? යන අවසන් විසඳුමක් සෙවීමෙහි එලබ සිට හේ අවසානයේ නිශ්චිත තීරණයක් ගෙන තිබිණ.

Wednesday, October 5, 2011

කැමරාවකින් පන්නරය ලදීමි.


අම්මාගේ සිත් සතුට වෙනුවෙන් බෙල්ලේ එල්ලාගෙන සිටි සුරය, මා ගලවා දැමීමි. බසයෙන් බසින විට එය බෙල්ලේ නොතිබූ බව මම ඇයට කිවූ අතර, එය බොරුවක් බව දැන දැනත් "තදට බැඳගන්න තිබුනනේ" යැයි කියා ඇය නිහඬ විය. සුරය මට හිසරදයක් විය. ඒ අනෙකක් නිසා නොව එය බැඳ තිබූ නූලේ වටප්‍රමානය වටා දුවමින් පවතින බැවිනි. කැමරාව බෙල්ලේ එල්ලා සිටින අතර, එය කැමරා පටියට තද වූ විට ඇතිවන වේදනාව මෙන්ම අවධානය ඉවත යාමද මා ඒ කෙරෙන් මිදීමට හේතුවක් විය. එවකට මා තරුණියන් දෙදෙනෙකු සමග පෙම්පලහිලව් ඇතිකරගෙන සිටි අතර කාලය විසින් මා හට වඩාත් සරිලන තරුණිය ඉස්මතු කොට තිබුණි. ඈ, මා බොහෝ සෙයින් තේරුම් ගෙන සිටි අතර, අප අතර වූ යම් යම් නොගැලපීම් වලට අප එක්ව පිළිතුරු සපයා ගනිමින් සිටි කාලයකි. හැකි වේලාවල මා අනෙක් තරුණියද මුණ ගැසීමට ගිය අතර ඈ හට සත්‍ය පැවසීමේ දෙගිඩියාවකින් මා ලතවෙමින් සිටියෙමි. එදින ඈ හට අලුත් මාතෘකාවක් විය. බාලිකා පාසලක උත්සවයක් ඡායාරූප ගත කිරීමට අහම්බෙන් ලැබුනු අවස්ථාව මා විසින් ප්‍රයෝජනයට ගැනීම ඇයට ප්‍රශ්නයක් විය. "ඔයා තවත් මෙහෙම තැන් වල පින්තූර ගන්න යනවනම් මට ඔයත් එක්ක ඉන්න බෑ." යනු ඇයගේ දෙලොවක් අතර ප්‍රකාශය විය. ඇයත් බාලිකා පාසලක උගත්තියක් වූවාය. ඒ සඳහා මා ඇස් උපයෝගී කොට ගෙන දුන් පිළිතුරෙන් පසු, නොසැනහුණු හුස්මක් පිට කල ඈ මා හැර ගියාය. මා ඇය ආපසු හැරී යනයුරු ඡායාරූප ගත කලෙමි. පසෙකින් පෙම් යුවලක්ද, අනෙක් පස සුරා සැලක්ද විය.


"අම්ම තාත්තගේ සල්ලි නාස්ති කරන්නෙපා. මෙව්වා අරං දෙනවට අම්මා තාත්තටයි ගහන්න ඕනා." ඒ දිනක් මා කැමරාවක් ගෙලෙහි ලා මාවතක ඇවිද යනු දුටු පිය පාර්ෂවයෙන් ඥාති ස්ත්‍රියක් කී කතාවකි. මා කැමරාවට ආදරය කරන තරමටම පියා ඒ වෙනුවෙන් සතුටු වන අතර, සැමදා මා නිශ්චල කරන ලද රූ රැගෙන ආ පසු ඒ දෙස බලා සිටින අම්මා කාමරයෙන් පිට වන්නේ සතුටු කඳුලකින් නෙත් සරසාගෙනය. මා ඒ ඥාතිවරිය ආශ්‍රයෙන් ඉවත් කර දැමුවෙමි. මාගේ පෙම්වතිය මවිසින් පලමු වරට දුටුවේ භක්ති ගීත තරඟයකිනි. මා එම උත්සවයේ ඡායාරූප ශිල්පියාව සිටි අතර, ඈ ඉදිරිපෙල ගායිකාවක් විය. උත්සවය අවසන තරුණයෙකුගේ කටින් පිටවූ "කැමතිද?" යන්නට, තරුණිය "හා" යැයි පවසා තිබිණි. ඉන් තුටුවූ මා උත්සවයෙන් මා හට ලැබීමට නියමිතව තිබූ මුත් නොලැබුනු ගෙවීම වෙනුවෙන්ද තර්ක නොකර ගෙදර ආමි. ඒ වන විටද පෙම්වතියක් මා ජීවිතයේ සිටි අතර, ඇයගෙත් මගෙත් නොගැලපීම මතු දිනයක කැමරාව විසින් පහදනු ඇතැයි මා කිසිවිටකත් නොසිතුවෙමි. මා උසස් පෙළ ගණිත අංශයෙන් අසමත් විය. දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් තැවුණු අතර, "දැන් මොකද්ද කරන්න හිතුවේ?" ඔවුන්ගෙන් මා වෙත එල්ල වූ ප්‍රශ්නය විය. මගේ මුවින් පිලිතුරක් නිකුත් වූ අතර වැඩිමනත් නොහිතා එයට හිස සැලූ ඔවුන් මගේ උසස් අධ්‍යාපනය සඳහා වෙන්කර තිබූ මුදලින් මාගේ කැමරාවක අවශ්‍යතාව සපිරවීය. මාගේ පලමු ඡායාරූපය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය සතුටුදායක වූ අතර, ගතවන දිනයක් පාසා මේ මොහොත තෙක් ඡායාරූපකරණයෙහි නව මානයක් සොයා ගැනීමෙහි මා නිරතව සිටියි. මීලඟ ඡායාරූප දස දහස තුල හෝ එම අරමුණ ඉටු කරගැනීමේ කාර්‍‍යයේ මා වෙහෙසෙමින් සිටිමි.

ෆෝකසින් මෝටරය ක්‍රියාකරන ශබ්දයෙහි දෙසවන් ගැලී ඇත. ඡායාරූපය තුල අවධානය රඳවා ගැනීමට එම අනවරත ශබ්ධය අතිශය පහසුවකි. මා ඡායාරූපයක ආලෝකය පිලිබඳ ප්‍රශ්නයකට මැදිව සිටි
යෙමි. ප්‍රශ්නය පසෙකලා ඊට අදාල ක්ෂේත්‍රයේම වෙනත් දෙසකට සිත යොමු කිරීම ප්‍රශ්නයට පිළිතුරක් ගෙන දේ යැයි විශ්වාස කිරීම මා කුඩා කල සිටම මවෙතින් සිදුවුනකි. මා මෙතෙක් දැක ඇති මතකයේ බැඳුනු ඡායාරූප දෙසට සිත යොමු කලෙමි. අතිශය විශාල ගසක් අභියස කුඩා ලමුන් කිහිප දෙනෙක් විය. ඔවුන් ඒ සෙවනේ කෙලිදෙලෙන් සිටින ආකාරය ඡායාරූපයේ සටහන්ව තිබිණි. ඡායාරූපයේ මාතෘකා "තාත්තා" විය. තවද, රෝහල් ඇඳක් මත සුදු රෙද්දකින් ආවරණය වූ දෙපා සහිතව, නිරාවරණය වූ යටි පතුල් වල ඡායාරූපයක් විය. එය ඇඳ මට්ටමින් පාදාන්තයේ සිට ගත් ඡායාරූපයකි. නිරාවරණය වූ රෝස පැහැති කුඩා යටි පතුල් වල ඉහල කෙලවරේ මහපටැඟිලි සුදු හුයකින් ගැට ගසා තිබුනතර රූපයේ මාතෘකාව "ඩෙංගු" නම් විය. තවද මූට්ටු කරන ලද ලෑලි අතර පරතරය බොහෝ වැඩි මේසයක් මත, කුප්පි ලාම්පුවක් දල්වා ගෙන පාඩමේ නිරත වන ලමයෙකුගේ රුවකි. ලාම්පු එලියෙන් ඡායාරූපයට කැපී පෙනුනේ වරිච්චි බිත්තියකි. ලමයාගේ මුහුනෙන් බාගයකටද එලිය වැටී තිබුනතර, ඔහුගේ නිකටේ රැඳී තිබුනේ දහඩිය බිඳකි. ඡායාරූපයේ නම "CFL" විය. මා හට අවශ්‍ය පිලිතුර සිහියට ආ අතර, එහාට මෙහාට මනාසේ හැරවිය හැකි විදුලි ලාම්පුවක් මාගේ ආලෝකකරණ ප්‍රශ්නය විසඳීය.

කැමරාව හේතුකොට ගෙන එයට හිතැති සහ උනන්දු බොහෝ මිතුරු පිරිසක් ආශ්‍රයට ලැබුනු නමුත් ඔවුන් බොහෝමයකගේම සියල්ල ඒ වෙතම නොවීය. එයට හේතු ලෙස ඔවුනට පවුල, රැකියාව, තත්වය, ප්‍රේමය යනාදී බොහෝ දේ වූ අතර, ඔවුන් තමන්ගේම හෝ මින්පෙර වූවෙකුගේ යම් ආකෘතියක් තුල ඡායාරූපකණය සිටුවා තැබීය. තමන්ගේ ආකෘතියක් තුල පවා සැරි සැරීමේ නිදහසක් ඔවුන්ට හමු නොවූ අතර ඒ සඳහා කාලයක්ද ඔවුන්ට නොවීය. තවමත් මාගේම වූ ආකෘතීන් බිඳිමින් ඡායාරූපකරණය වෙහෙසවන, මා පියාගේ මුදලින් යැපෙන අතර අනෙකුන් විවිධ වූ රැකියා වල නිරත වෙමින් සිටියහ. ඔවුන් ආර්ථිකමය අතින් මා හට ඉදිරියෙන් වූ අතර ඡායාරූපකරණයට මා වෙතින් ඇති ආශාවම ඔවුනට ඊර්ෂ්‍යා කිරීමේ සහ ආර්ථිකමයව ඔවුන් අභිභවා යාමේ ආශාවේ අවධානමෙන් මා මිදවීය. සමහරවිට මෙය ඔබේ අතීත කතාව විය හැක. නොඑසේනම් අනාගතයේ මෙය විඳීමේ නොතිත් ආශාවකින් ඔබ පෙලෙනවා විය හැක. මා ජීවිතයේ බොහෝමයක් කඩයිම් කැමරාව තුලින් දිනා ඇත්තෙමි. එන්න! මේ ඉන්ද්‍රජාලිකය ස්පර්ෂ කර බලන්න. ඔබ තුල ඇති ආශාව මතින් නැගී එය ඔබව වසඟයට ගනු ඇත. වරදන්න.. හදාගන්න.. ගොඩනැගෙන්න.. ඔබගේ වටිනාකම තීරණය කරන්න.