"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Friday, October 15, 2010

පෙරේරා තුන් හවුල සහ බයිලා

කතා කිරීමට අවැසි වූයේ සිංහල ගීතයට කෙල වන ආකාරය සහ මා අතිශයින් රස විඳින සහ ආශා කරන සැබෑ මානුෂීය හැඟුමින් සහ රසයෙන් පිරි බයිලා ප්‍රමුඛව ලාංකීය පෙරේරා වරුන්ගේ සංගීතය පිළිබඳවයි.

මාතෘකාවට බයිලා ප්‍රමුඛ වුවද පෙරේරා අනු කොටසක් වුවද බයිලාවට නැති අතිශය සුන්දර කළාකරුවෙකු සිහියට නැගෙන්නේ එතෙක් මෙතෙක් සහ මා මියෙන තෙක් මා ප්‍රියතම ගායක ම'වින් පෙරේරා ය. මෙම ලිපියේ පලමු කොටස මොහුගෙන් පුරවන්නට සිත් වූයේ, පෙර දින මා කැමතිම ගීත එක ගොණුවකට ගෙන ඒමට යෑමේදී "ම'වින් පෙරේරා" නැමති ෆෝල්ඩරය තුල මා පත්වූ අසීරුවයි. ආදරේ රන් බිඟුන් නැසූ, අකුරු සතරකින්, දියළුම දිය ඇලි, කතරක තනිවී, මා සනසා, මේ නගරය, ඔබ දේදුන්න ආකාසයේ, රන් මීවිත පුරවා... වැනි සියල්ල එක්වර පැනනැග මා ප්‍රියතම ෆෝල්ඩරයට පැනීමට උත්සුක විය. එකෙකුගෙන් අනිකාට තම ප්‍රියතම ගායකයා බොහෝවිට වෙනස් වන අතර මා පෙරද අත්විඳි පරිදි කපුගේ සහ ම'වින් ඒ සැවොම අතර වැඩි ප්‍රතිශතයකින් සිත් විය. මා දැනට අවුරුද්දක පමන කාලයේ සිට ප්‍රියතම ගීය තත්වයා තබා ඇති ගීත අතර අකුරු සතරකින් මුල් තැන රැඳී සිටී.


""ආ"යන්නෙන් මා පැතු ආදරේ
"ද"යනු ගිනි තියාලා දව දවා ගින්දරේ
"ර"යනු රළු බැවින් සවන් යුග වසා
"ය"යනින් කීවේ යන්න ඔබ හැරා


"වි"යනු වියෝගේ මැව්වා සිතේ
"වා"යනු වාවන්නට පෙලඹුවා නිරතුරේ
"හ"යනු හසරැලී නගන්නෙමි කියා
"ය"යනින් යලි කීවේ එන්න ඔබ කරා"


බයිලාව තුලට ලිපිය හැරවීමට පෙර තවත් දෙදෙනෙකු මතක් කල යුතුව ඇත. ඒ අනිත් පෙරලි කල පෙරේරාවන් යුගලයයි. ඒ ජිප්සීස් සුනිල් සහ මේරියන්ස් නලීන් ය. මා දෙවනියට ආසාම කරන පිය ගුණ ගීය බොහෝවෙකු රස්තියාදු යැයි කියන සුනිල්ගේ "තාත්තා මට ඇනපු ටොක්කයි".

සුනිල් පෙරේරා, "සයිමා කට් වෙලා" සහ "ගිණි අඟුරු ගොඩේ" මා ප්‍රධාන වශයෙන්ම ආශා කරන සුනිල් පෙරේරා ගී යුගලයයි. බටහිර සංගීතය දැඩි හිතට වදින පිරිමි කටහඬකින් සහ තාලයකින් ගයනා සුනිල් පෙරේරා නොහොත් සුනිල් අයියා මේවායේ බටහිර ඌරුව අසන්නාට අමතක කරවයි. කළාකරුවෙකු සතුවිය යුතු නිහතමානී ගතිගුණ මෙන්ම සෘජු සහ අවංක අදහස් ඔහුගේ ගී කෘති තුල මෙන්ම සජීව සංවාද තුලද පැන නගින තර්ක තුලිනුත් ඔප්පු වේ.

නලින් පෙරේරා, අතිශය අමුවෙන් කතා කරන්නෙකු සහ අති සුන්දර තනු නිර්මාණකරුවෙකු මෙන්ම වසර විස්සක් වන මේරියන්ස් නම් මහා පවුලේ මූලිකයාද වේ. අංජලීකා, මුදුකෝමල ගෑණු ළමයිනේ, මරියසිලෝ, ආලේ සුන්දරයි සුන්දරී, සඳළු තලේ... එකකට එකක් බෙදිය නොහැකි සුන්දරත්වය, සොඳුරු ස්ත්‍රී රුව. . .

"බෝර්ච්චි හැට්ට දාලා
ඇට මාල කොට්ට බැඳලා
කම්බාය වටොර හැඩලා
යන උජාරු නලවාලා"

සංගීතය, කැපිලි, කුණු කතා, සල්ලි, සම්මාන, ගැරහිලි, විචාර, චරිත සහතික මැද පෙරේරා තුන් හවුල නොසැලී ස්ථාවරව සිටී.

අවසන ලිපියේ බයිලා කොටසට එළඹිය යුතුව ඇත. වොලී බැස්ටියන්, ඇන්ටන් ජෝන්ස්, එම්. එස්. ෆර්නෑන්ඩු, සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන් ගෙන් පසු ලංකාවේ බයිලා කලාව ලහිරු පෙරේරාට දිය යුතුද?

යන්න පලමුව ඇසීමට ඇති ප්‍රශ්නයයි. ඉහත පලමුව සඳහන් කල ශ්‍රේෂ්ඨයින් පස් දෙනා බයිලාව තුලින් ඉතිරි කල අර්ථ තාල සෘංගාරය කොපමණද?

"මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද බට නලාවේ
හමුවෙමූ අපි දෙන්නා ස්වර්ගේ
වියෝලේ වියෝලේ මාගේ"
-වොලී බැස්ටියන්-

"රම්‍ය මනහර දලදා මැදුරේ
අපි යමුකෝ සුමිතුර බලන්න නුවර පෙරහැරේ"
-ඇන්ටන් ජෝන්ස්-

"මුතු මැනික් ආදරේ නොවේ
මිල මුදල් ආදරේ නොවේ
ආදරේ මෙතරම් බාල නොවේ
ඔයා දන්නේ නෑ"
-එම්. එස්. ෆර්නෑන්ඩු-

"ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එළි වෙනකන් බජව් දැම්මා හිතේ ජොලියට"
-සුනිල් පෙරේරා-

"දන්නවා ගේමේ වතගොත
හරියට ජෙමා හිතවත
කවදාවත් පැරදිලා නැත


බූරුවා කුට්ටමේ පොත
තෝ මට පරාජය නැත
ගහන එවුන්ටයි හතේ හත"
-නිහාල් නෙල්සන්-

ඉහත බයිලා පහට සම කරන්නට බයිලාව මෙකල බිහිවී ඇත්දැයි සිතිය යුතුව ඇත. එය රම්බරීට හෝ එය කියන එකාගේ රට කජ්ජට සමාන වන්නේද නොවන්නේද යන්න ඔබට බාරය. තවද ඇල්බම් එකට සින්දු මදි වෙච්ච පිණිබාතිය සන්තුෂ්ඨිය වැන්නන්ට රීමිx කරන්නට ගත්තු සින්දු හිට් වෙන ලෝකෙක මෙව්වාට වන සෙතකුත් නැත. මින්පසු "බයිලා ගහන්නෙපා යකෝ" යැයි යමෙකුට දෙසන්නට පෙර දෙවරක් සිතන්න. මෙහෙව් ශ්‍රේෂ්ඨ බයිලාව වෙනුවෙන් කරන පුංචි ඉල්ලීමකි!