"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Monday, December 27, 2010

අප්පා ඉප්ප සාප්පාටීංගලා?

මා හාන්සි පුටුවේ ඇලවී හිස ඒ මත කුෂන් කැබැල්ලට බර කලෙමි. මහත් සිසිලක් ගත මෙන්ම සිත පුරාද උඩුදුවමින් ඇත. එකල මගේ දෙමව්පියන්ද පැවසූ ලෙසක දරුවන්ගේ විවාහය දෙමව්පියනට කොතරම් අස්වැසිල්ලක්දැයි දැණුනි. මාගේ විවාහයෙන් පසු මාගේ දෙමව්පියන් කෙරෙන් දුටු ඒ සිහිලස මගෙන්ද විහිදෙනු මට දැණිනි. එහෙත් සිතෙහි යම් කුහුලක් දැනෙයි. ඒ කුහුලක්ද? මා සිස්ටම් එක සුණු විසුණු කරන්නට අණුබල දුනිද? මිතුරන් යමක් සිත්හී සඟවා මා සමග සාමීචියේ යෙදෙන්නේද? පියඹගේ මුහුණෙන් යම් උත්තේජිත තිතක් ඉවත්ව ඇති බවක් මා ඇය දෙස බලන සෑම මොහොතකම සිත කියන්නේ ඇයි? මගේ ලේලිය අඩු පාඩුද? නැත. ඇයට දරුවන් වැදිය නොහැකි බවක් වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත්ද? නැත. තිබූ කුහුලද සඟවමින් ඇය ලේලියක ලෙස මා ඍණෙන් ධනට ඇද ඇත.

ඒ සොඳුරු ආදරය ජාතියකින් යට නොවී මා පුතුට ලැබෙන අපූරුව මා හට සිහියට නංවන්නේ මා ජීවිතයේ වසත් කාලය නොවෙත්ද? රැකියාවට පිටවන මාඅ පුතුගේ අතක් වට කොට ඇගේ අතින් බදා උරිස්සට බරව තොඳොල් වන්නේ තවත් මොහොතක හෝ ලබන උණුසුම ඇයට මහෝඝයක් බැවින් නොවෙත්ද? මොණර නිලැති සාරියද, එය වට කල රත්‍රන් රේන්ද ගෙත්තමද ඇයගේ දිස්නයට වැඩිමනත් යමක් එක් කලේය. පතිනයක් බවට ආඩම්බරයෙන් ඇයගේ පුළුල් නළල් තලය මත වැජඹෙන රතු තිලකය ඒ ගර්වය මෙන්ම කෙතරම් ප්‍රියයක් සිතට නගනවාද? තබන තබන පියවරක් පාසා සළඹ නගන රාවය ඇය තරුණ ලැසි ගමනට කෙතරම් රිද්මයක් සපයනවාද? ඇගේ වැල ගැහෙන දෙකොපුල්, ඉරියව් සහ සුහදකම් මගින් මතු කරවන ලාලිත්‍ය මින් තිස් සතලිස් වසරකට පෙර මා පියඹගෙන් මා දුටු ඒ සොඳුරු ලාලිත්‍යම නොවේද? 

දිනෙක උළුවස්සෙන් මිදුල බලා සිටින මට ඉස්තෝප්පුවේ සොඳුරු රූ රටා දකිනු සිත් විය. මා ඒ ක්‍රමයට අනුගත වෙමින් පැවතීම පිලිබඳ මා හද සියුම් සතුටක් මිශ්‍ර වූ චකිතයක්ද ඇති විය. මීලඟ තෛපොංගල් දිනට පුතු අත එම යෝජනාව එක්කර බැලිය යුතුය. මා හට අවැසි දේ කියන්නට තවමත් සිතේ චකිතයක් ඇත. ඇගේ ඇඟිලි තුඩින් පනින පාට කල හාල් පිටි වලින් නැගෙන හැඩ රටා අප නෙතට සොඳුරු දසුනක් මෙන්ම ඈ සිතටද කෙතරම් සිහිලක් උපදවයිද? මදහසක් නගා ඇය මා වෙත පාන ඇඟිලි පුච්චන උළුඳු වඩේ මාගේ රස නහර පිනවන බව මා පෙර සතියේ ලද අත්දැකීමෙන්ම දනිමි. අද උදෑසන ඈ පිළිගැන්වූ පිඟාන මා පිළිගත්තේ එදාට වඩා ගර්වයෙනි. ඈ මා පුතුගේ බිරිඳයි. මාගේ දියණියක් තරමටම කුළුපග සොඳුරු ලේලියයි. දියණියයි.

ඈ මා පුතු සමග සයනේ සුරතල් වී ලොවට තිළිණ කරන අග්‍රඵලය, මුවින් නගන කිරිකැටි සිනහවක මා දෙමල කම සොයන්නේද? ඒ බිලිඳු කැත කුණු කිසිඳු පැකිලීමකින් තොරව මේ සීයා අත නොගාන්නේද? උප්පැණ්නයේ අග නම මගෙන් පුතුටද, පුතුගෙන් මුණුබුරුටද උරුම වීම මා හට කෙතරම් සතුටක් දනවන්නේද? මාගේ පියාද මේ සතුට විඳීමට සිටියානම් යෙහෙකැයි මට සිතිනි. පොඩ්ඩා විසින් මා හට සීයා කිව්වද, පෙරියප්පා කිව්වද එය මාහට සම සතුටක් කැඳවනු ඇත. මුල නම් සඳහා හුරුබුහුටි සිංහල නමකුත් දෙමල නම් පොඩියකුත් තිබීම ඉතා සුන්දර නොවන්නේද? කුමන නමක් යෙහෙක්දැයි සෙවීමට මා සිත උගහට විය.

  • මිත්‍ර රාජන් ජයවර්ධන
  • හිරූ නෙයොමාල් ජයවර්ධන
  • රචින්ත ශක්ති ජයවර්ධන
පෙරදින අමතකව ඇසුවා සේ "අප්පා ඉප්ප සාප්පාටීංගලා?" යැයි විමසන තෙක් මා ගත හාන්සි පුටුවේම තබා සිටියේය. "තාත්තා දැන් කමුද?" යැයි මෙවර පැණය නැගුනු සොඳුරු සිංහල ඌරුවට මද සිනහවක්ද කට කොනට නගාගෙන මා නැගිට්ටෙමි. ප්‍රියඹද පිටුපසින් විත් මා හා කෑම කාමරය දිහාවට යාමට එක්වූවාය. අතුරුදහන් වූ උත්තේජිත තිත ඇගේ මුහුණේ යලිඳු නැගී තිබුණි.

Friday, December 17, 2010

[ස්පර්ෂය+රසය+රිද්මය+සුවඳ+ආලෝකය]

මා දවසේ ප්‍රියතම කුල්මත්ම මොහොත ගත කරමින් සිටිමි. බිත්තියේ හරි මැදින් උඩ කොටස ළා කොල පැහැයකි. එහි යට කොටසට ළා නිල් පැහැ ටයිල් අල්ලා ඇත.බිම ක්‍රීම් පැහැති ටයිල් මත මාගේ අඩි සළකුණු රටා මවා ඇත. මෙය මා උපරිම නිහඬ බවකින් සහ සුවඳවත්ව ගත කරන කාලයයි. ඒ ලැවෙන්ඩර් සුවඳ විය යුතු යැයි මා සැක කලෙමි. හැඩ කැටයම් කපා ආලෝකයන් වට කර ඇති මැටි බඳුනෙන් සිවිලිම මත රටා මවා ඇත.
ජලය ප්‍රවාහයක් මෙන් නොව, සුමට පෘෂ්ඨයක් දිගේ විත් සිහින් හඬක් නංවමින් වැඩිමනත් ජලයට එක්වේ. සැහැල්ලු රිද්මයක් ලබාගනු වස් මා ෂවරය තුල එළි බසිනු තැතනූ ජල බිඳු නිදහස් කලෙමි. හුස්ම ඉහල පහල වැටෙන වාරයක් පාසා ඉන් ශරීරයට ලබා දෙන උත්තේජනය පවා මට දැනෙයි. මෙතුල එතරම් නිස්කලංකය. දැන් මා පිට විය යුතුය. මා මන්දිරයෙන් එළියට බැසීමි.

දොර හැර නිවසින් එළියට බට මා දෙවරක් නොහැරී යලිඳු කාමරයට දිව ගියෙමි. නැවත මා පැමිණියේ කැමරාව සමගිනි. එසේ සිදු වූයේ මිදුලේ වූ තුරුපත් මත පිණි නිසාවෙනි. තුරුපතක් මත පිණිබිඳක් එවන් හැඩයක් නගනු මා අතිශයින් වින්දෙමි. පිණි බිඳට එබී බැලූ මා එතුලින් දුටු ඡායාරූපය සටහන් කරගැනීමට මාගේ කැමරාව තරම් නොවීය.
කලකට පසු එලිමහනේ ඇඟ සෝදන්නට සිත් විය. ලොකු බාල්දියක වතුර පුරවා, එයින් කුඩා බාල්දියකින් වතුර ඇද ඇඟ සේදුවෙමි. පලමු දිය පහර දෙවුරිස් මත්තේ සිට බිමට වැටීම සිතට ලෝබය ඉපදවීය. එම ස්පර්ෂය මා ගැහැණියගේ ළය මත හිස හොවා ඇගේ දෑතෙන් ලත් රැකවරණයේ සහ උණුසුමේ පහසට පමණක් දෙවනි විය. ජලය අපතේ යමින් ඇත. එහෙත් එය නැවත නැවතත් විඳීමට යමක් ඉතිරි කලේය.
සරමක් හැඳ මිදුලට බැසීමි. වයස්ගත කොට්ටෝරුවෙකු ගසක් සමග පොරබදනවා විය යුතුය. මන්දයත් ක්ෂණයක් තුල තරුණ කොට්ටෝරු හොටෙන් ඇතිවන ශබ්දය සහ මා දැන් අත්විඳින ශබ්දය අතර වෙනසක් දැණුනි. නැත! හේ මිනිසෙකි. පවුල සහ තමන්ගේ පැවතීම හේතු කොට ගස් කපන්නෙකි. නිල් පැහැ අහස් කැන්වසය මත ඔහු මට චිත්‍රයක් විය. 
මා කුස්සියට වැදුනෙමි. මේසය මත දිගහැරුනු රතු දැල් මල්ලකි. මා ඒ තුල වූ දෑ මින් පෙරද රස විඳ ඇත. කොටුවේ එය විකුණන්නේ "මිනි මැන්ඩරින්" නමින්ය. ඒ කුඩා ප්‍රමාණයේ දොඩම් ගෙඩියකි.
මා විශාල ප්‍රමාණයේ දොඩම් නොකන මුත් මේවාට ආසාය. පලතුර සුද්ද කර බික් ගැලවීම මා ඉතා ආශාවෙන් කරන්නකි. කනට නෑසුනද මිනි මැන්ඩරින් ගෙඩියක බික දෙකක් ලෙහෙන විට "ශ්‍රීස්" ශබ්දයක් ඇති කරයි. එය මසිතින් ඇතිවන්නක්ද යන්න මා නොදනී. සමහරෙක් මිනි මැන්ඩරින් ගෙඩි වල බික් හී කවරය ඝනය. ඒවා ආහාරයට ගැනීම කුඩා කල බීම පැකට් සිහියට නංවයි. කෙසේවෙතත් මෙය විසින් මා හට විටමින් සී පෝෂණය සහ රස ලබා දීම හැරුණු කොට වැඩ රහිත පැයක කාලයක් ගෙවා දැමීමට උදව් කරයි.

මා ජීවත් වන්නේ රත්මලාන ගුවන් තොටුපල අසලය. එබැවින් මා කුඩා කල, ගුවන් යානා දකින අන් දරුවන් මෙන් මා කරේ තබාගෙන් ගුවන් යානා පෙන්වීම මාගේ දෙමාපියන්ට නොකල යුතු විය. අපමණ ගුවන් යානා ප්‍රමාණයක් දිනකට දකින බැවින් ඒවායේ ඡායාරූප ගැනීමක්ද මෙතෙක් සිදු නොවිනි. හදිසියේ උපන් සිතුවීල්ලකින් මා ඩිජියද උස්සාගෙන මිදුලට බැස අහස බලා සිටියෙමි. නිවස ඉදිරිපිටින් ඇදුනු කරන්ට් වයර් එක ඡායාරූපයට බාධාවක් නොකරාවි යැයි සිතුවද, එය එසේ නොවීය. සියයට සියයක්ම එය එසේ විය.
ආහාර වේල් ක්‍රමයට ආහාර ගන්නා සමාජයක, මටද එයට හැඩගැසෙන්නට සිදුව ඇත. නොයෙක්වර, සැඟව ඇති ගති පිටට එන නමුදු මමද වේල් ක්‍රමයට අනුගතව ඇත. ප්‍රධාන ව්‍යාංජන හතරක් තිබුනතර, මට ඉන් දෙකක් සෑහෙනුයේ ඒ මා ප්‍රියතම ඒවා බැවිනි.
ඒ උයන ලද රතු ළුනු සහ පොලොස් ය.

මා නැවතත් මිදුලේය. අම්මා වවන ලද මල් ගස් බොහෝමයක් වූ අතර ලියවැලක් මෙන් ඈරී තිබූ දම් පැහැ ඕකිඩ් රෑන කවදත් දෙවරක් මා හැරී බලවන්නට සමත්ය.

නැවතත් පටන්ගත් වැස්ස නිසාවෙන් මා කාමරයට වී සිටි අතර එහි වූ ජනේලයෙන් මට මැද මිදුල සහිත කොටස දිස් විය. එහෙත් එයට සියුම් බාධාවක් වූ අතර, ඒ අනෙකක් නොව මකුළු දැලකි. අපිරිසිදුකමද වාසනාවක් වන්නේ මෙවිටය.
සවස හයට පමණ වර්ෂාව නැවතුනු අතර , මා යලිඳු මිදුලට බැසීමි. අද සවස හය වෙනදා සවස හයට වඩා කලුවර විය. මේ හිරු බසින ඉම නොවෙත්දෝයි හැඟිනි. එහෙත් එය ස්ථීර කරන්නට හිරු නොසිටි අතර ඉතිරිව තිබුනු නිල් සහ කලු සුසංයෝගය මා සිත් ගත්තේය.
තවමත් වැස්ස අවසන් නැත. මා උළුවස්සට හේත්තු වී ඈත බලා සිටි අතර වැඩි ඈතක ඇස් නොගොස්ම තවත් දසුනක් ඇසට සමුවිය. ඒ එහා ගෙදර ඉදිරිපිට වූ ලයිට් කණුවයි. තවත් හතට විනාඩි දහයක් පමණ ඇති මුත් මේ ගෙන දුන් කලුවරම එම දර්ශනයට ආශිර්වාදයක් විය.
රාත්‍රී හතකුත් ගණනකට ඉටිපන්දම් අපගේ පිහිටට පැමිණියේ විදුලි විසන්ධිය නිසාවෙනි. දොර හැර තිබූ නිසාවෙන් වැස්සත් සමග පිටතින් පැමිණි සුලං කෝඩෙට ඉටිපන්දම් එළි නළියයි.
රාත්‍රී අටහමාරත් පසුව ඇත. රාත්‍රී ආහාරයද ගෙන හමාරය. තවමත් විදුලිය නොමැත. කැමරාවේ බැටරිද ඉතිරිව ඇත. මාගේ ආශාවද පෙරසේම දඟ කරයි. මේ Light Circus නම් වූ සොඳුරු රටාවන්ට වේලාවයි.
එතෙකින් නිමි!

Friday, November 26, 2010

තැඹිලි කීර්ති


දැන් හවස හයයි. ඇඳේ ඇලවුනේ දෙකයි තිහට උනාට නින්ද ගියේ නෑ. ඇහැ පියවගෙන එයා ගැන හිතුවා. අරයා ගැනත් හිතුවේ නැතුව නෙමෙයි. ඒ අස්සේ මෙයාවත් මතක් උනා. මම නැගිටලා සාලෙට යද්දී මේසේ මැද්දේ ෆ්ලාස්ක් එක තියලා තිබ්බා. අම්මා එහෙම තියලා යන්නේ මට තේක අමතක වෙනවට. "අද තනියම හින්දා වෙන්නැති", මෙච්චර වෙලාවක් මට නින්ද නොයන්න හේතුව හොයපු හිත කිව්වා. ඒ අඩහඳයද දන්නෙත් නෑ. සමහරවිට මගේ නිවුන්නා මගේ ඇතුලෙම ඉන්න නිසා වෙන්නැති මගේ මල්ලි ජීවයක් නැතුව උපන්නේ. බණ අහන්න ගෙදර මිනිස්සු ඔක්කොම ගියපු හින්දා රෑ දහය විතර වෙනකන් මොනවා කරනවද කියලා හිත හිත අම්මා හදලා ගිය කිරි තේක කෝප්පෙට වක්කලා. අම්මා ඒ විදියට කිරිතේක හදන්නේ මට විතරයි. කහට වැඩියෙන්, පිටියි සීනියි අඩුවෙන් තියෙන කිරිතේක අතේ තියෙද්දිත් මගේ කටට කෙල ඉනුවා.


පුරුදු විදියටම මම ඉස්සරහා දත් පේලි දෙක තද කරගත්තා. තොල් ලොකුවට ඇරලා තේ ටික දත් මූට්ටු වෙච්ච තැන් වලින් ඇතුලට යැව්වා. ඒක තමයි මම මෙතුවක් හොයාගත්තු හොඳම රසම තේ බොන විදිහ. ඒ අස්සේ ගේට්ටුවට තට්ටු කරන සද්දයක් ඇහුනා. හරි හෙමීට තට්ටු කලේ; මම ගේට්ටුවත් ඇරගෙන ගියා ඒ කීර්ති අන්කල්. ගේට්ටුවට උඩින් වවපු හාතවාරිය වැලේ කටු අත්තක් මගේ නළලේ ඇනුනා. ඒ කීර්ති අන්කල්. හන්දියේ තැඹිලි විකුණන මනුස්සයා.

අහ් පුතා. . . මේ බුලත් වල සල්ලි ගෙනාවා. බුලත් අත් දහනමයක් තිබ්බා. අත් දෙකක විතර බුලත් විසි කරන්නත් උනා. මෙතන තුන්සියාසූවක් තියෙනවා. මේක තාත්තට දීලා කියන්න අනිත් ටික කඩන්න මම බදාදට එන්නං කියලා.
හරි අන්කල්
ඒ කිව්වේ අපේ අම්මයි තාත්තයි හිටවපු බුලත් වැල් දෙකෙන් විකුණන බුලත් ගැන. ඒ සල්ලි අම්මා වෙන්කලේ පන්සල් වැඩ වලට. මම ඒවට පිං අතේ වැඩ කියන්න අකමැතියි. ඒවා පන්සල් වැඩ. පඬුරු දාන්න, තෙල් මල් ගන්න. වගේ දේ වලට. අපි ඒවා විකුණුවේ කීර්ති අන්කල්ට. නැති තැන තැඹිලි කීර්ති. තැඹිලි කීර්ති තමයි හන්දියේ තැඹිලියි, බුලතුයි විකුණුවේ. අසාධාරණයක් නැති හොඳ මිනිහෙක්. හැබැයි මම ඒ මනුස්සයට වෙන එක අසාධාරණයක් ගැන දුක් උනා.

*****************************************************************
මනුස්සයා නැහිලා නැහිලා සල්ලි හෙව්වේ පුතෙකුගෙනුයි දුවෙකුගෙනුයි ගෑනියෙකුගෙනුයි පිරිච්ච පවුලකට. තැඹිලි කීර්තිගේ දුවයි ගෑනියි මම කලින් ඉඳන් දැනන් හිටියා. හැමදාම උදේට තැඹිලි කීර්තිගේ එහා පැත්තේ කැඳ පොට් එක කලේ තැඹිලි කීර්තිගේ නෝනා. මම දුවව දැනගත්තේ මම උදේ බස් එකට නගින්න ඉන්නකොට කොන්ඩ කරල් දෙක ගොතපු ඉස්කෝල කෙල්ලෙක් තැඹිලි කීර්තිගේ ගෑනිගෙන් කැඳ එකක් බීලා තැඹිලි කීර්තිටත්, ගෑනිටත් වැඳලා යනවා මම පලවෙනියට දැක්ක දවසේ. ඒත් මම පුතෙක්ව නං දැකලා තිබ්බේ නෑ.

මේ මම එන්.අයි.බී.එම් එකෙන් කලින් ආව දවසක්. දෙකයි තිහ වෙද්දිම ගොළුමඩම හන්දියට බැහැලා හිටියා. පුරුදු රුපියල් විස්ස පර්ස් එකෙන් අරගෙන මම තැඹිලි කීර්තිගේ කරත්ත කඩේට ලං කලා. මම ලී තට්ටුව උඩින් විස්ස තියන්නත් කලීන් තැඹිලි කීර්ති මෝරපු නැති තැඹිලි ගෙඩියක කට කපලා අතට දුන්නා. මම පුරුදු විදියටම තනි අත පටලෝලා තැඹිලි ගෙඩිය මූන උඩ තියාගත්තත් ආපහු එකපාරටම බිම බැලුනේ තැඹිලි ගෙඩිය ඉස්මත්තෙන් ඉර එළිය මූනට ආපු නිසා. ඒ වෙද්දි දිලිසෙන බාච්චු ටී ෂර්ට් එකක් ගහලා කොල්ලෙක් ඇවිත් තැඹිලි ගෙඩියක් ඉල්ලුවා. මට සතුටුත් හිතුනා රැප් අහන කොල්ලොත් තැඹිලි බොන එකට. ඒ කොල්ලා තැඹිලි ගෙඩියකුත් බීලා තැඹිලි කීර්තිගෙන්ම රුපියල් දෙසීයකුත් අරගෙන යන දිහා මම බලන් හිටපු නිසා "ඒ මගේ පුතා" කියලා තැඹිලි කීර්ති අමාරුවෙන් වගේ කිව්වා.


එයා මට පිට මිනිස්සු ඉන්න තැන කතා කරන්න කැමති නෑ පුතේ. දන්නැද්ද දැන් කාලේ ළමයි හැදෙන හැටි..
 කියලා පැහැදිලි කරපු ටිකට මට ඒ වෙලාවේ කියවුනේ "හ්ම්ම්" කියලා විතරද කොහෙද.

මේ වෙනකොට බුලත් කීර්ති ගිහින් තිබුනා. මම ආපහු ගෙට යන්න හැරුනා. හාතවාරිය අත්ත ආපහු මගේ නළල හීරුවා. මම මිදුලට අඩිය තියලා ගේට්ටුව වහගත්තා. මම හිතන්නේ ඒ වෙනකොටත් කීර්ති අන්කල් හන්දියට ගිහින් ඇති.

Monday, November 22, 2010

දේශීයත්වය, දේසීයත්වය, දේෂිඃයත්වය

චොකලට් බිස්කට් මැද්දට හෙයා ජෙල් යොදා ආහාරයට ගෙන කටෙහි ඉතිරි වූ ජෙල් තට්ටු කොරෙක්ස් ඩී වලින් බඩ තුලට සෝදා හැර අතුරුපසට හාන්ස් ටිකක් තොල් වැටියේ තබාගෙන දේශානුරාගය සිත්හී උපදවා කියවනු මැනවි!


හවස හයටද පාන්දරටද පිරිත් අහන, කොටට ඇඳගත්තු බඩු උදේ පාන්දරට ටීවී එකේ ආයුභෝවණ් කියන දේශීයත්වයෙන් පිරිච්ච රටක කඩයකට වැද කන්නට ඉඹුල් කිරිබත්, වැලි තලප, අග්ගලා සෙවූ කලෙක. . . කොටුවට රුපියල් තිහක් ගාල්ල පැත්තට දුරින් තියෙන කඩවලත් පිරී තිබුනේ ඔම්ලට් බන් සහ චිකන් පේස්ට්‍රිය. මා පලමු වරට ඉඹුල් කිරිබත් කෑවේ මාගේ ගම වෙච්ච දෙනියායේදීය. සීනිසම්බෝලද, පැනි පොල්ද දමා දෙවිදියකට අපේ නැන්දා විසින් සාදා තිබූ ඒවා තරම් තවත් කෑමක් එදා මට නොමැති විය. එසේ වූයේ මා දේශීයත්වය අගය කරන්නෙකු නොව සිතට සරිලන්න අගයන්නෙකු බැවිනි. ඕනෑම මිනිසෙකුට තම දේශය සහ ඒ දේශීයත්ව පිලිබඳ ආඩම්බරයක් තිබිය යුතු නමුදු එය හත්පොලේ ගාගත යුතු නැත. තමන්ගේ අවශ්‍යතාවයට සරිලන විකල්ප දේශීයව ගොඩ නැගී ඇත්නම් යමෙකු ඒ කරා යා යුතු නමුදු දේශීයත්වය කරේ තබාගෙන වලේ වැටිය යුතු නැත.

කොන්ඩම් උදාහරණයක් වශයෙන් ගත්කල, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ආරක්ෂක උපත් පාලන ක්‍රමයක් නොමැතිනම් ඒ සඳහා අප විදේශීය නිෂ්පාදිතයක් භාවිතා කල යුතුය. මන්දයත් දේශීය නිෂ්පාදන කර ගසා ඒ තුල ඒඩ්ස් පිළිලයක් කරගත නොහැකි නිසාවෙනි. නොමැතිනම් අවුරුදු විස්සේදී ළමයෙකුත් සමග අවුරුදු තිහක ගැහැනියක් බාර ගත නොහැකි බැවිනි. මා කොන්ඩම් උදාහරණයකට පමණක් ගෙනහැර පෑ බැවින්, ලංකාවේ නිෂ්පාදිත කොන්ඩම් ගැන අදහස් තීරුවේ නිෂ්ඵල දේශන දී පිම්පියෙකු තත්වයට ඇද නොවැටීමට වග බලාගන්න.

එකල චමින්ද වාස් බෝලය දැමීමට පෙර හත් අට වරක් කලිසමේ බෝලය උලන බැවින්, මමද හත අට වසරේ ක්‍රිකට් ගසද්දී ටෙනිස් බෝලය තුන් හතර වරක් උලා එල්ල කල අතර එහෙ දෝලනයක් නොතිබිනි. එහෙත් අතිවිශිෂ්ඨ චමින්ද වාස් ආකාරයෙන් බෝල දැම්මා යැයි සිතා මා වාස් උස්මූර්තියට පත්විය. දැනුදු ශ්‍රී ලාංකීය රැප් කලාවේ සිදුවන්නේ එය වන අතර, අන්තර්ජාතික මට්ටමේ රැප් සංගීතකරුවන් අඳින පලඳින ආකාරයට ඇඳ, ඔවුන් ආකාරයට ඇඟිලි සකසා මෙලෝ රහක් නැති කුණුහරුප තොගයක් ඉරාජ් ප්‍රමුඛ ලංකාවේ අනෙකුත් සිපයි කණ්ඩායම් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කරමින් සිටියි.

එයට වරදක් නොකිව හැක්කේ මේ ගොලහන්ත ජාතිය සොයන්නේ වින්දනයක් නොව ඇමරිකන් උස්මූර්තියට පත්වීමක් පමණක් බැවිනි. උන්ට ඇමරිකාවට සාපේක්ෂව දළ ජාතික නිෂ්පාදිතය වැඩිකරගැනීමට උවමනාවක් නැත.


එසේ ගත්කල සලකා බැලිය යුතු දේශීයත්ව ඉදිම්මවීම් තවත් ඇත.
  • කැසිනෝ සූදුව නීතිගත වන රටේ, මළ ගෙවල් වල හීනියට තෙල් අංශයකුත් එක්ක යන බූරු පැදුර නීත්‍යානුකූල විය යුතුය.
  • A. සුනීත හිමි, B. සෝභිත හිමි සමග එක්ව ඇබ්බැහිය නවත්වන, කොටලා පැනපු එවුන් ගෙන්වන, කැඩිච්ච පෙට්ටි රීකන්ඩිෂන් කරන රටක මදක් පාවිච්චියට අබිං පොට්ද, මසාජ් සෙන්ටර් ද, ග්‍රාම සේවා වසමකට එක බැගින් ඉදි කල යුතුය.
  • විශේෂ අවස්තාවකදී පොඩ්ඩක් ගැනීම අනුමත කරන පුරාවිද්‍යා සුවාමීන් ඉන්න රටක වෙල් ෆැන්ටා නොහොත් සුදුවා නීතිගත විය යුතුය.
  • පෙට්ටි කඩාගත් සුද්දියන්ගේ පෙට්ටි ආපහු කැඩේයැයි බියෙන් ගාල්ලෙන් පෙම්වතුන් දුරු කරන උරුමයක් ඇති රටක, පත්තිනි විදෙශිකයන්ට නොපෙනෙන්ට පෙම්වතුන්ට නොමිලේ රිංගන්න තැන් පිහිටුවිය යුතුය.
සංස්කෘතික ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!
  • පත්තරේට මූනු දමා දේශීය වෙසඟනන් අල්ලන රටක , කොටු කාමරයක තනිව රැය ගෙවන පිරිමියෙකුට ස්වයං වින්දනය සඳහා නෝටි ඇමරිකාවට සරිලන දේශීය විකල්පයක් සාදා දෙනු මැනවි.
  • Iraj with ILL Noize සහ Fill-Tලට Fansලා වැඩිවන යුගයක "ස" ප්‍රසංගයට, "ශ්වේත රාත්‍රිය" ටද බලෙන් හෝ රසික පිරිසක් අද්දවා දෙනු මැනවි.
  • ලණුව පැන්නූ විට හෝ පොලු කැඩුනු විට ගජගා වයා කස්තිරම් අල්ලවන වෙස් Cheer Leadersලා වෙනුවට, පනින රිලව් කිහිප දෙනෙකු වත් ආදේශ කරනු මැනවි.

Tuesday, November 9, 2010

මට තනියක්! දැනෙනවා. . .

අමරදේවයන්ගේ මා වවුලන් ගීතය දෙකන් තුල දෙදරයි. තවමත් මා බොරැල්ලෙන් නැගි ගමන්මය. අතක් දිගුකරන් චම්ලි අයියා එහෙමත් නැත්තන් එකසිය පනස් හතරේ හිතවත් කොන්දයියා බෙරිහන් දෙනු පෙනේ. එහෙත් බෙරිහන් දෙනු නො ඇසේ. දෙකන් මෙන්ම සිතද මා වවුලන් හී අරුතට යොමුවී ඇත. එය ලීවේ කවුදැයි මා අසා නැත. අසා තිබුනද මේ වෙලාවේ මතක් වන්නේද නැත. එය පෞද්ගලික අත්දැකීමක් නම් අවම වශයෙන් රචකයාට ඈතකට ගොස් පාළුව දැනෙන්නට සහෝදරයෙකු හිඳ ඇත. එහෙමකටවත් මොකෙක්වත් නැති මම එය මෙතරම් විඳින්නේ ඇයි දැයි තවමත් සිතට නො ඒ. එතෙකුත් නොදැණුනු විඳීම තේරුම් ගියේ බසය තුම්මුල්ල ලක්සල පසු කරද්දීය. ඒ මටද උන්නු මලයා මීට දවස් සම්පූර්ණ නැතත් අවුරුදු විස්සකට පෙර ජනක මහබෙල්ලනට අනුව මහ දුරක ගියේය.

දු
අතේ වැඩිපුර සල්ලි ගැවසෙන දවසක පිටකට ගොස් කන්න බොන්නට ලිෂාන් ට ලොකු අයියෙකු ඇත. එසේ ගොස් නැවත නිවෙස්ගත වන විට රැගෙන එන දේ සොයා බලන්නට නංගියෙකු ලිෂාන්ට ඇත. ජංගමයට මුහුණ ඔබා සිටින කලක එයට ඔලුව ඔබා ඕපදූප සොයන්නට විසල්ට අක්කෙකු ඇත. කල කී දෑ සොයන්නට, බැණුම් අසන්නට, අතේ එල්ලී ෆොටෝවකට සිටින්නට ලසිතටද නංගියෙකු ඇත. කුඩාකල සිනාසෙමින් අඬමින්ද, වැඩිහිටි කල එකමුතුවෙන්ද ඉන්නට මෙන්ම කඳුළු උනන බ්ලොග් පුරවන්නට සුභාෂ් අයියට නංගිලා අක්කලා ඇත. තමන්ගේ වැරදි තුරුම්පු ලෙස තබාගෙන අවශ්‍ය කලට ප්‍රයෝජනයට ගන්නා මල්ලියෙකු සිටින බැවින් ගයාන් හැම විටම පරෙස්සම් විය. බසය වැල්ලවත්තේ නවතා ඇත.

ලඟක නැති කල මුන් හට දුක දැනුනද, දුටු කලෙක එම සතුට එසේම දෙගුණ තෙගුණ වන බැවින් උන් මා අතර වෙනසක් ඇත. මා හට "අ"යන්නක් නොතේරෙන කලෙක ඉපදී අඬන්නත් පෙර මිය ගිය මාගේ සහෝදරයා දුක දනවන්නේ වෙනකෙකුට නොවූ විලසිනි. වෙනකෙකුට මෙන් නොව මහ දුරක ගොස් සිටින ඔහුට කතා කිරීමට උපාංගයක් තවම සාදා නැත. කලක් ජීවත් වූවෙකු මෙන් නොව ඔහුගේ මතකයක් ඉතිරිව නැත. ඔහුගේ අහිමි වීමට වගකියන්නට එකෙකු නැත. අම්මාත් තාත්තාත් ඔහු ගැන මතකයක් අවදි කරන්නට කැමති නැත. ඔවුනටද අවදි කරන්නට ඒ හැටි මතකයක් නැත. ඒ ගැන ඇසීමද ඔවුන්ගේ සිතට දුකක් දනවනවා ඇත. තමන් තුල හැදී, තමන් තුල දඟ කල කිරි කැටියාගේ ජීවය දැකීමට මාගේ අම්මාට නොහැකි විය. තමන් ජාතක කල දෙවැනි ජීවියා හඬනු අසන්නට මාගේ තාත්තාට නොහැකි විය. ඉදින් මට ඔවුන්ගෙන් ඒ ගැන ඇසිය නොහැක. තවමත් මා දෙහිවලය. දැන් දෙකන් පුරවන්නේ වොලී බැස්ටියන්ගේ "අයිරින් ජොසපින්" ය. ඌ සිටියා නම් මා මෙන් ඌද මෙයට ආසා වනු ඇත. අම්මත් තාත්තාත් ගෙදර නැති කලෙක බියරයක් අත ලඟ තබාගෙන, ඌ අතට බොන්ගෝව දී මට අයිරින් ජොසපින් හඬ තලන්නට තිබිණි. මට අයිරින් ජොසපින් හී වචන පාඩම් අතර, මා හට බොන්ගෝවක්ද ඇත. අම්මත් තාත්තාත් ගෙදර නැති වෙලාවල් එමටව එලඹෙන අතර බියර් යනු සපයා ගත හැකි දෙයකි. ඒත් ඌ අඩුවක් වී ඇත. ඌ අඩුවක් වනු ඇත.

මා හට ආලපුරන්නට ආදරවන්තියක් ඇත. මිතුරන්ද බොහෝ ඇත. නිවෙස් අවට මිතුරන් ඇත. ආගිය තැන් වල මිතුරන් ඇත. පාසල් මිතුරන් එමටය. එයිනුත් කල්ලි ගැසුනු මිතුරන් සත් දෙනෙකුද ඇත. අන්තර්ජාලයේද මිතුරන් එමටය. එයිනුත් සැමදා සෙට් වෙන පුලුවන් සැමවිට කතා බහ කරන සෙට් එකක් ඇත. අනන්ත නෑදෑ කන්දරාවක් ඇත. එහෙත් ඌ නැත. ඌ කොහේ හෝ ඉපදී වන්නට හැක. ඌ මට මුනගැසෙනවාද විය හැක. මුනගැසුනත් වැඩක් නැත. ඒ ඌ නොවන බැවිනි. ඌ පෙර ආත්මයේවත් මා ගැන අසා නැත. ඌ නොආ අඩුව දරුණුව විඳින අයියෙකු ඌට සිටින බව ඌ නොදන්නවා ඇත. මා ඌ දැක නැති මුත් සිටියා යැයි අසා ඇත. එහෙත් ඌ එසේ අසා නැත. රත්මලාන ගුවන් තොටුපල පසුවන බැවින් මා බසයෙන් බැසිය යුතුව ඇත. ඌ මා අසලකම සිටිනවා විය හැක. සින්දු ගොඩේ සින්දු තවමත් ඔහේ වැයෙන අතර ඒ ගැන සොයන්නට මේ පැයක ගමනේ මට නොහැකි විය. මා බසයෙන් බැසීමි.

Friday, October 15, 2010

පෙරේරා තුන් හවුල සහ බයිලා

කතා කිරීමට අවැසි වූයේ සිංහල ගීතයට කෙල වන ආකාරය සහ මා අතිශයින් රස විඳින සහ ආශා කරන සැබෑ මානුෂීය හැඟුමින් සහ රසයෙන් පිරි බයිලා ප්‍රමුඛව ලාංකීය පෙරේරා වරුන්ගේ සංගීතය පිළිබඳවයි.

මාතෘකාවට බයිලා ප්‍රමුඛ වුවද පෙරේරා අනු කොටසක් වුවද බයිලාවට නැති අතිශය සුන්දර කළාකරුවෙකු සිහියට නැගෙන්නේ එතෙක් මෙතෙක් සහ මා මියෙන තෙක් මා ප්‍රියතම ගායක ම'වින් පෙරේරා ය. මෙම ලිපියේ පලමු කොටස මොහුගෙන් පුරවන්නට සිත් වූයේ, පෙර දින මා කැමතිම ගීත එක ගොණුවකට ගෙන ඒමට යෑමේදී "ම'වින් පෙරේරා" නැමති ෆෝල්ඩරය තුල මා පත්වූ අසීරුවයි. ආදරේ රන් බිඟුන් නැසූ, අකුරු සතරකින්, දියළුම දිය ඇලි, කතරක තනිවී, මා සනසා, මේ නගරය, ඔබ දේදුන්න ආකාසයේ, රන් මීවිත පුරවා... වැනි සියල්ල එක්වර පැනනැග මා ප්‍රියතම ෆෝල්ඩරයට පැනීමට උත්සුක විය. එකෙකුගෙන් අනිකාට තම ප්‍රියතම ගායකයා බොහෝවිට වෙනස් වන අතර මා පෙරද අත්විඳි පරිදි කපුගේ සහ ම'වින් ඒ සැවොම අතර වැඩි ප්‍රතිශතයකින් සිත් විය. මා දැනට අවුරුද්දක පමන කාලයේ සිට ප්‍රියතම ගීය තත්වයා තබා ඇති ගීත අතර අකුරු සතරකින් මුල් තැන රැඳී සිටී.


""ආ"යන්නෙන් මා පැතු ආදරේ
"ද"යනු ගිනි තියාලා දව දවා ගින්දරේ
"ර"යනු රළු බැවින් සවන් යුග වසා
"ය"යනින් කීවේ යන්න ඔබ හැරා


"වි"යනු වියෝගේ මැව්වා සිතේ
"වා"යනු වාවන්නට පෙලඹුවා නිරතුරේ
"හ"යනු හසරැලී නගන්නෙමි කියා
"ය"යනින් යලි කීවේ එන්න ඔබ කරා"


බයිලාව තුලට ලිපිය හැරවීමට පෙර තවත් දෙදෙනෙකු මතක් කල යුතුව ඇත. ඒ අනිත් පෙරලි කල පෙරේරාවන් යුගලයයි. ඒ ජිප්සීස් සුනිල් සහ මේරියන්ස් නලීන් ය. මා දෙවනියට ආසාම කරන පිය ගුණ ගීය බොහෝවෙකු රස්තියාදු යැයි කියන සුනිල්ගේ "තාත්තා මට ඇනපු ටොක්කයි".

සුනිල් පෙරේරා, "සයිමා කට් වෙලා" සහ "ගිණි අඟුරු ගොඩේ" මා ප්‍රධාන වශයෙන්ම ආශා කරන සුනිල් පෙරේරා ගී යුගලයයි. බටහිර සංගීතය දැඩි හිතට වදින පිරිමි කටහඬකින් සහ තාලයකින් ගයනා සුනිල් පෙරේරා නොහොත් සුනිල් අයියා මේවායේ බටහිර ඌරුව අසන්නාට අමතක කරවයි. කළාකරුවෙකු සතුවිය යුතු නිහතමානී ගතිගුණ මෙන්ම සෘජු සහ අවංක අදහස් ඔහුගේ ගී කෘති තුල මෙන්ම සජීව සංවාද තුලද පැන නගින තර්ක තුලිනුත් ඔප්පු වේ.

නලින් පෙරේරා, අතිශය අමුවෙන් කතා කරන්නෙකු සහ අති සුන්දර තනු නිර්මාණකරුවෙකු මෙන්ම වසර විස්සක් වන මේරියන්ස් නම් මහා පවුලේ මූලිකයාද වේ. අංජලීකා, මුදුකෝමල ගෑණු ළමයිනේ, මරියසිලෝ, ආලේ සුන්දරයි සුන්දරී, සඳළු තලේ... එකකට එකක් බෙදිය නොහැකි සුන්දරත්වය, සොඳුරු ස්ත්‍රී රුව. . .

"බෝර්ච්චි හැට්ට දාලා
ඇට මාල කොට්ට බැඳලා
කම්බාය වටොර හැඩලා
යන උජාරු නලවාලා"

සංගීතය, කැපිලි, කුණු කතා, සල්ලි, සම්මාන, ගැරහිලි, විචාර, චරිත සහතික මැද පෙරේරා තුන් හවුල නොසැලී ස්ථාවරව සිටී.

අවසන ලිපියේ බයිලා කොටසට එළඹිය යුතුව ඇත. වොලී බැස්ටියන්, ඇන්ටන් ජෝන්ස්, එම්. එස්. ෆර්නෑන්ඩු, සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන් ගෙන් පසු ලංකාවේ බයිලා කලාව ලහිරු පෙරේරාට දිය යුතුද?

යන්න පලමුව ඇසීමට ඇති ප්‍රශ්නයයි. ඉහත පලමුව සඳහන් කල ශ්‍රේෂ්ඨයින් පස් දෙනා බයිලාව තුලින් ඉතිරි කල අර්ථ තාල සෘංගාරය කොපමණද?

"මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද බට නලාවේ
හමුවෙමූ අපි දෙන්නා ස්වර්ගේ
වියෝලේ වියෝලේ මාගේ"
-වොලී බැස්ටියන්-

"රම්‍ය මනහර දලදා මැදුරේ
අපි යමුකෝ සුමිතුර බලන්න නුවර පෙරහැරේ"
-ඇන්ටන් ජෝන්ස්-

"මුතු මැනික් ආදරේ නොවේ
මිල මුදල් ආදරේ නොවේ
ආදරේ මෙතරම් බාල නොවේ
ඔයා දන්නේ නෑ"
-එම්. එස්. ෆර්නෑන්ඩු-

"ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එළි වෙනකන් බජව් දැම්මා හිතේ ජොලියට"
-සුනිල් පෙරේරා-

"දන්නවා ගේමේ වතගොත
හරියට ජෙමා හිතවත
කවදාවත් පැරදිලා නැත


බූරුවා කුට්ටමේ පොත
තෝ මට පරාජය නැත
ගහන එවුන්ටයි හතේ හත"
-නිහාල් නෙල්සන්-

ඉහත බයිලා පහට සම කරන්නට බයිලාව මෙකල බිහිවී ඇත්දැයි සිතිය යුතුව ඇත. එය රම්බරීට හෝ එය කියන එකාගේ රට කජ්ජට සමාන වන්නේද නොවන්නේද යන්න ඔබට බාරය. තවද ඇල්බම් එකට සින්දු මදි වෙච්ච පිණිබාතිය සන්තුෂ්ඨිය වැන්නන්ට රීමිx කරන්නට ගත්තු සින්දු හිට් වෙන ලෝකෙක මෙව්වාට වන සෙතකුත් නැත. මින්පසු "බයිලා ගහන්නෙපා යකෝ" යැයි යමෙකුට දෙසන්නට පෙර දෙවරක් සිතන්න. මෙහෙව් ශ්‍රේෂ්ඨ බයිලාව වෙනුවෙන් කරන පුංචි ඉල්ලීමකි!

Wednesday, September 29, 2010

පිරුනු වසර


කියපු වැරදි වගේම නොකියපු වැරදිත් තොගයක් තියෙන මිනිහෙක් මම. නොකියපු වැරදි නොකියපු කැටගරියෙම තියෙන්නේ මතක් කරන්න, ඒ ගැන කතා කරන්න අකමැතිවට මිසක් හංගන්න ඕනවට නෙමෙයි.හිතන් හිටියා මේ ගැන ලියන්න බ්ලොග් එකක්. ඒක කවි සෙට් එකක් කරනවද, කතාවක් කරනවද කියලා හිත දෙගිඩියාවෙන් තාමත්. මෙතන ඉඳන් ලියවෙන්නේ හිතේ තියෙන ටික තමයි කතාවෙනුත් කවියෙනුත්.

මම තාමත් මතක් කරනවා. . .

මිනිස්සුන්ගේ පොරත්වයට අපි හිනා වෙච්ච හැටි

අපේ ලැජ්ජාවක් නැතිකමට මිනිස්සු හිනාවෙච්ච හැටි

කොල හැලිච්ච ගස් වල ලස්සන විඳපු හැටි

මූදු රළක් උඩ නගින හැටි බලන්න වරු ගානක් අපි මානගෙන හිටපු හැටි

සූස් සූස් ගගා දැවිල්ල කාපු හැටි

රබර් කුට්ටං, කිළුටු ඩෙනිම් දාගෙන ලොකු රෙස්ටූරන්ට් වලින් කාපු හැටි

විසි පහේ ටිකට් දෙකකට මියුසියම් එක ඇතුලේ පිළිම වලට මුවාවෙච්ච හැටි

පාක් ඇතුලේ විසිල් වලින් බේරිච්ච හැටි

කොටින්ම අද මෙහෙම දෙයක් කියන්න ඕන උනේ "ඈ"ත් "මා"ත් "අපි" වෙලා අවුරුද්දක් අදට. මම ආසා කරා. . .

ඒ සිම්පල් විදිහට

ඇඟට වඩා බර බඩු මුට්ටු අතේ පයේ නැති එකට

සත්තුන්ට තිබිච්ච ආදරේට

පොත් වලට තිබ්බ ආසාවට

පෙට්‍රල් සුවඳට ආසාවට

සල්ලි වියදම් කරන විදිහට

අහන්න කැමති පරණ ලස්සන හින්දි සින්දු වලට

මට කතා කරපු "අමු" විදිහට

මගේ ඉස්සරහා ලැජ්ජාවක් නැති කමට

ඒ ඉවසීමට

මගේ කඳුළු යට දාපු විදිහට

මිනිහෙක්ට තවත් මිනිහෙක් අඳුරගන්න අවුරුද්දක් මදිවෙන්න පුළුවන්. මාත් තාම අඳුරගෙන නැතුව ඇති. ඒත් මේ අඳුරගත්තු ටිකට මම කැමතියි! අද සමරන්න ගත්තු සැමරිල්ල තවත් පනස් වතාවක්වත් සමරන්න මම කැමතියි. එහෙම වෙන්නේ මමත් එයත් තව අවුරුදු පනහක් ජීවත් උනොත් විතරයි. ඒක විතරයි අවුරුදු පනහක අපේ ආදරේට යන්න නොදෙන්න තියෙන එකම බාධකේ. ඒ වෙනකං අපේ ආදරේ තියෙයි කියලා, අවුරුද්දක් තිස්සේ අඳුරගත්තු උඹ ගැන මට විශ්වාසයි.

තැනක් නොතැන නැති සිත්වුනු ඇසිල් ලේ
නුඹත් මමත් පිරි වසරක් මුළුල් ලේ
මොකා වෙතත් නුඹ මම ගැන විමසිල් ලේ
තවත් ගොඩක් දුර යමු නිවිහැනහිල් ලේ

Sunday, September 26, 2010

සරීර ශුවථා

මා නිදි අතර දරුණු අඩි තබන ශබ්දයක් ඇසී, ඇහැරී බැලූ අතර යෝද මකුළුවන් දෙදෙනෙකි. උන් ආවේ මාගේ එක්සයිස් මැසිම තිබූ කාමරයේ සිටය. උන්ගේ ආම්ස් හොඳින් වැඩී තිබූ අතර, මා ඇහැරවූ ශබ්දය පැමිණියේ ඒවා පොලොවේ ගැටීමෙන් බව උන්ගේ ගමන බලා සිටි මට සක්සුදක් සේ පැහැදිලි විය.

මේ සියල්ල පටන් ගත්තේ මා කෙට්ටුවීම අරබයා පියා විසින් එක්සසයිස් මැසිමක් නිවසට ගෙන ආ දිනයේ පටන්ය. එහි නම නොදන්නේ එහි නම මැකී ඇති බැවිනි. දෑවුරුද්දක් පුරා එහි ලූ මදක් වේලුනු රෙදි හේතුවෙනි. රෙදි වල තෙතට නම මැකී ගොස් ඇත. පලමු සතිය තුල මනාව කියූ පරිද්දෙන්ම වැඩකටයුතු සිදු වූ අතර. . . දෙවන සතිය තුල එය මත හිඳ ඉදිරිපිට තිබූ කන්නාඩියෙන්, ස්වකීය බේරෙන බඩ හුස්ම ඉහලට ගෙන කෙට්ටු කර බලා මාගේ මනෝ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ සතුටු වීමි. තෙවන සතියද එසේම ගෙවුනතර. . . මැසිම උඩ සිට කෙරුනු ස්වයං මෛථුන්‍යය නිසා හෝ කෙසේ හෝ ඉන අඟල් තුනක් අඩු වී තිබුනි. මේ මල වද තවත් දැරිය නොහැක.

සිව්වන සතිය ගෙවුනේ මැසිම එහා පැත්තේ තිබූ ඇඳ මතය. මා දොර වැසූ කාමරයේ සිට දොරත් හැර එලියට එන විට තාත්තා සතුටු විය. අම්මා ආඩම්බර විය. කාමරයෙන් එලියට එන විට දහඩිය පෙරාගෙන එනු පිණිස කාමරයේ විදුලි පංකාව නිවා දමා සිටීමට පුරුදු විය.

වේල් තුනක් කෑ පසු තව දෙකක්            ඇතී
අතර මැදදි බියරුත් එහි වැටෙනු            ඇතී
එක තැන හිඳ සිටීමෙන් බඩ වැඩෙනු     ඇතී
ගෑණිට සුව යහන මගේ උදරයම          වෙතී

මදුරු වදයට මදුරු දැල් උවමනා නැත. මදුරු කොයිල් පමණක් සෑහේ. මන්ද ලංකාවේ මදුරු කොයිල් බලපාන්නේ එය තබන මට්ටමේ සිට පහලට පමණක් බැවිනි. කොයිල් එක දෙපා ලඟින් තබාගත් පසු වැඩේ හරිය. මන්දයත් අප නිවසේ මදුරුවන්ට ඉහල පියෑඹිය නොහැකි බැවිනි. වේට්ස් කර උන්ගේ ඇඟ බර වැඩි වීම නිසා පියාපත් වලින් ඉහල පියෑඹිය නොහැක. උන් ඉහලට ආවත් එන්නේ පුටු කකුල්, මේස කකුල් වල එල්ලීගෙනය.

ගණනය කිරීම් වලට අනුව තවත් මසකින් පමණ සැට් එක ඩිරෙක්ට් බැලිය නොහැකි වනු ඇත. බැලිය යුතු වන්නේ කන්නාඩියෙනි. ඔලුව නවා පහල බැලූ පසු වර්ග අඩි කිහිපයක ප්‍රමාණයක් බඩෙන් වසාගෙන සිටී.  ඉතිරිව ඇත්තේ නැවතත් මකුණන් මදුරුවන් සහ මකුළුවන් එලවා දමා එක්සසයිස් පටන් ගැනුම පමණි.

මෙය කීවේ ස්වයං මඩකට නොව, ඔබට සිනා සීමටද නොව, යන්තමින් හෝ ඉදිරියට නෙරා එන බඩවල් අඩු කරගනු පිණිසය. ඒ අප අපගේ හොඳටම පමණි.

Friday, August 27, 2010

ඒ හින්දා යලි සෙනෙහේ සිතින් අපි. . .

වෙල්වට් රෙද්දට කොල ඇමිනූ ලකුණු පුවරුවේ එල්ලී සිටියේ දැක පුරුදු රුවකි. රුවැත්තියකි. එකල, එනම් වසර තුනකට පමණ පෙර එක පන්තියේ එකට උගත්තද වචනයකුදු කතා නොකල අප අපගේ වාචික මිතුරු සම්බන්ධය පටන්ගත්තේ සිනහවකින් සහ "හලෝ" යනුවෙනි.

මා: අපි කෝපි එකක් බොනගමන් කතාකරමු.

ඈ: මම කෝපි බොන්නේ නෑ.
මා: මමත් කැමති නෑ.

ඈ: එහෙනං ඇහුවේ ?
මා: මම අහලා තිබ්බා කෝපි බොන කට්ටිය ලස්සනයි කියලා. . . ඒකයි!

ඈ: බොරු. ..
මා: ඔව් බොරු.. දැන් මම දන්නවා කෝපි නොබොන කට්ටියත් ලස්සනයි කියලා.

ඈ: ඔයානං මොකුත් දන්නේ නෑ. .
මා: ඔයා මොකුත් නොදන්නෙත් නෑ.

මා: මේ !
ඈ: ම්ම්ම්. . .

මා: මම ඔයාගෙන් හෙන කට්ටක් කාලා නොම්බරේ ඉල්ලගන්නවට වඩා. . . ඔයා ඒක මට එක පාරින් දෙන එක ලේසියි නේද?
ඈ: ඒ මොකටද?

මා: ලේසි නිසා. ..
ඈ: ලේසි හැමදේම කරන්න ඕන නැහැනේ. .
මා: එහෙනං මං අමාරුවෙන් ගන්නං.. . ෂිහ්!

ඈ: ඇයි?
මා: හෙට විභාගෙකුත් තියෙනවා.

ඈ: ඉතින්?
මා: ඉතින් අද ඔයාගෙන් නම්බරේ ඉල්ල ඉල්ල ඉන්නකොට මට පාඩං කරපුවා අමතක වෙනවනේ.

ඈ: හාපෝ! හොරා..
මා: මට ඉස්සර එක්කෙනා කිව්වේනං හොරගෙඩියා කියලා!

ඈ: දැන් කෝ එයා?
මා: හොයාගන්න නෑ!

ඈ: ඇයි ඒ?
මා: මගේ හිතෙන් ගියාට පස්සේ කොහොම හොයන්නද?

ඈ: එහෙනං දැන් මතක් උනේ?
මා: ඒ ඔයා මතක් කරපු නිසානේ!

ඈ: හ්ම්ම්...
මා: ම්ම්හ්...

ඈ: ඇයි ඇස් වහගෙන; එයාව මතක් උනාද?
මා: නෑ මම ඉස්සරහට ඉන්න විදිහ ගැන හිතුනා!

ඈ: ඒ කොහොමද?
මා: ඒක ඔයාට Surprise එකක්!

ඈ: අනේ මන්දා මුචලින්ද
මා: මෙච්චර වෙලා වචන නාස්ති කරන්න මට මොකද්ද වගේ.

ඈ: ඒ කිව්වේ?
මා: මම කියන්න යන දෙයක් මෙච්චර වෙලා හිර කරං ඉඳලා මට පුරුදු නෑ.

ඈ: ඉතින් මොකද්ද? කියන්න!

සතුටින් නිමි.

Friday, August 6, 2010

මදහස

සැමදා මා ඇහැරවන තුනවන එලාමයට මා දිරිගෙන නැගී සිටියේ තවත් වරක් එය පස්සට යැවීමට සිත පස්ස ගැසූ බැවිනි. පෙරදින මත තවමත් මා පෙලන මුත් පෙරදින සිත් කාංසි දුරලීම හේතු කොට මත ගැන ඇත්තේ හිතකි.

මිල්ලේ සෙවිය යුතුව ඇත. කෙසේ හෝ සෙවිය යුතුව ඇත. අත් පා නොකඩා සෙවිය යුතුව ඇත. හිතකට දුකක් නොදී සෙවිය යුතුව ඇත. කොටින්ම පොලීසි ගත නොවී මිල්ලේ සෙවිය යුතුව ඇත. මගේ බල්ලත් නොයන පොලීසි. . . එහ්

අඳයට වැඩ කරන කොන්දෙකු බැවින් තවකෙකුට හදිසි වෙනකම්ම ඉවසිය යුතුය.

මුදලා. . ලී..

හ්ම්

ඒ අද වැඩ කරපන් යැයි විධානයයි. පෑ කාලක් යන්නට මත්තෙන් සිරි අයියා ගාල් කෙරූ 7538යේ වාඩි උනේ, ආපහු පුක තියාගන්න ඉඩක් ලැබෙන්නේ දවල් කෑමට බැවිනි.

**********************************************************************************

අයියේ ඉතුරු

දෙන්නං මල්ලී

ප්‍රේමදාස රුපියලකුත් රත්තරං රුපියලකුත් පමනක් ඉතිරිව තිබූ අත ඔහු වෙත පෑයේ පොඩි උන් නහයට නාහන බැවිනි. පිටිපස්සේ හීනියට උන්ගේ බජව්වකි. මගේ එකාද මෙලහට මේ බජව්වම දාගෙන යනවා විය හැකිය. දැන් මුන් මුමුනන්නේ රම්බරීය. මටත් යන්න ඉස්කෝලයක් තිබ්බනං එමෙස් ගේ මුතු මැණික් මුමුන මුමුන යන්න තිබිනි.

කේ හත්සියපනහ තියේද?

හ්ම්ම්

කීයද ?

හයාමාරක්

යකෝ උස්සපුවැයේ ගනං.

පෙරේදා කෝල් කරපු වෙලේ ලොක්කා නාහෙන් ඇඬුවේ කේ හත්සියපනහක ටය.කුඩ්ඩෝ දාහට හමාරට ගෙනත් දෙන එව්වා වෙලත් මුන් විකුනන්නේ පහක් වත් තියාගෙනය.

අම්මප මුන්ට ගහන හෙණත් අපරාදෙ!

**********************************************************************************


කොළඹ කැම්පස් බහින්ඩා. . . !

සිරි අයියා ඉස්සරහට එන්නට සන් කලේ මොකාක් හෝ ටිප් එහෙකට විය යුතුය.

එහ්! කෝට් එක දාගෙන ටිකට් කඩපං ඉක්මනටඃ. ජයසිංහ ලොක්ක ඊයේ කිව්වා අද ටික්කෝ සෙට් වෙනවැයි කියලඃ. මම තව ටිකක් ගහං ඉන්නං, උඹ කඩහං.

පැත්තාට වෙන්ඩා.. කෝ අයින් වෙන්ඩඃ.. ඔය නෝනට බහින්ඩ ඉඩ දෙන්ඩ මහත්තයා.. ටිකට් ගත්තනං ඉස්සරාට යන්ඩා.. මාරු නෑ මහත්තයා.. තව ඉස්සරහ නෝනඃ මම ආවම කියන්නං.. හරේඃ

**********************************************************************************

ටොරිංටන් බීඑමයිසීඑච් ටිකට් ගත්තාට්ටිය බහින්ඩා. . . !


ෂික් පොකට් කාරයෙක්. මේ හැතිකරෙත් සෙට් වෙන්නෙම මේ වෙලාවට. අම්මපා හොඳ හයිය කොල්ලෙක් හොයලා යකඩ පොල්ල අතට දුන්නනං නෙලවන්න තිබ්බා මුගේ ඔලුවේ කිරි කටට වැටෙන්න. තාම අතට හුරු නැති ටිකට් මැෂිම නොපිටට හැරෙයි.

බඩුවක් ටයි මහත්තයෙකුට හඳ පෙන්නන ගමන් ය. අවජාතක වලත්තයෙක් කිරි දෙන අම්මා දිහාට ඇහැ හරෝගෙනය. ජැකාලා වැඩට යන ගෑනු පස්සේ වැටීගෙනය.අම්මපා මේ පොල්ලක් හින්දනේ මුන්ට මේ කැසිල්ල!

බොරැල්ලෙන් සුදාගේ චකාට ටර්න් එකේ ගාන දික්කලේ, අද දවසට සුමේ ඉවර වෙච්ච එක ගැන සතුටු වෙමිනි.

**********************************************************************************


කිරිබත්ගොඩින් බසය බාරදී දෙදාස් පන්සීයත්, බෙදිච්ච මාටි දෙදාහත් ඔබාගෙන බෝඩිමට ගොස්. ෆෝන් එක චාජරයට ගසා ඉහට වතුර කෝප්ප දෙකක් හලාගෙන චොක්කාගේ ඉස්තරං මස් කොත්තුව ලං කරගත්තේ කලින්දා තියපු කාලට පොඩ්ඩක් වැඩි ගල් බෝතලෙත් සමගමිනි.

බොහෝ කලකට කලින් තාත්තා යාලුවෙකුට මිමිනූ පරිදි පලවෙනි ෂොට් එක රහට ගැසිය යුතුය. සෝඩා බිඳක් හලා හුස්මට ගිල දැමූ වීදුරු බාගය බඩ ලඟින් නතර වූයේ මා ඉඳ සිටි නිසා විය යුතුය.

හහ්. . .

මට මදහසක් නැගිනි!

Tuesday, August 3, 2010

මන්දිරය


වැසිකිලිය
Toilet, Wash Room, Bath Room
තුනම නුඹ මට

පුංචිම කාලේ "රිලා ගැටය"
පස්සේ පස්සේ "මඩොල් දූව"
ටිකකට කලින් "බත්තලංගුණ්ඩුව"
උඹ මට
ලියන්නෝ තොගයක් මුනගස්වලා ඇති

නිදහසේ මොනවාහරි හපන්න
බියර් බෝතලයක් එක්ක
මගේ අතින් ලියවෙච්ච දේවල්
ගොඩක්ම උඹ ඇතුලෙදි ඉපදිච්චා

වතුර බිංදු හරිහරියට
ටයිල් වල හැපිච්ච සද්දේ
අඩු කරන්නැති
හිතේ කේන්තිය වගේම දුක

ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ මිනිස්සු
පහත් හඬින් කියන
"ටොයිලට් එක"
මන්දිරයක් උඹ මට

Thursday, July 29, 2010

කොල ඇපල්, වැගන් පාක් සහ මහේල

කොල ඇපල්, මා ඉදුනු මී අඹයකට පසු වැඩියෙන්ම රස විඳින පලතුරයි.එහෙත් පහසුවෙන් ගන්නා ප්‍රනීතම පලතුර ලෙස කොල ඇපල් මගේ තීරුවේ ඉහලින්ම සිටී.මා ඇපල් ගෙඩියට හුරු වූයේ Apple a day keep the doctor away නිසා නොවේ.කොපමන ඇපල් කෑවද මා මසකට වරක් වත් බඩේ අමාරුව හේතු කොටගෙන දොස්තර හමු වෙමි.

ඇපල් ගෙඩියට මා ෂැන්ඩි ලෙස භාවිත කරන්නේ වැගන් පාක් ය.වැගන් පාක් වනාහී මා අතරැඳි මුවට දිවෙන ඇපලයේ සැර බාල කරන ඔසුවකි.කනට ඔබාගෙන සිටින ඇබ දෙක වැගන් පාක් සංගීතය එහි පුරවාලයි.එය කෙතරම් මිහිරිදැයි විඳින්නට නම් ඔබ අත කොල ඇපල් ගෙඩියක්ද, ඔබ ඉදිරිපිට මහේල ක්‍රීඩා කරමින් සිටිය යුතුය.වැගන් පාක් මා ජීවත් වන නො එසේනම් මා ආඩම්බරයෙන් ජීවත් වන මොරටු පුතෙකුගේ සහ ඔහු මිතුරු කැලකගේ වැඩකි.පාසල් ජීවිතය අවසන් කාලයේ මා අතිශය රොක් පිස්සෙකු විය.නොනැවතී උඩ බිම පැද්දුනු හිස නිසොල්මන් කලේ වැගන් පාක් හී බුද්ධි ඩිමෙල්ය.ඔහුට මෙන්ම ඔවුනට නීති නැත.නිශ්චිත ප්‍රක්ශක පිරිසක් නැත.හොඳ පැණි බේරෙන වචන නැත.ඇත්තේ හැකියාව සහ විඳීම් පමනකි.රොක් ඇන්ඩ් රෝල්/බ්ලූස් මා මොලය තුල පිරී ඇත.සින්දුවක් මවුත් ඕගනයෙන් සහ රිදම් එකට වදින බොක්ස් ගිටාරයෙන් කෙලින්නට බුද්ධිට හැක.තවත් ගිටාර, ඕගන් ඩ්‍රම්ස් සහ බේස් එක්වූ විට අපිත් දැන් ඇත්ත වෙනුවෙන් ඇත්ත හොයාගෙන ඇත්තට ජීවත් වනවා යන හැඟීම ඔබටද ඉපදිය හැක.
Now I walking down the street
යාලුවෙක්වත් නැද්ද මා ලඟ...
ඔන්න ඔහොම යනකොට
ලොල්ලෙක් දැම්මා සීන් එක
මං දුන්නා හක්කට...  
කැරකිලා බිමට වැටෙන්න
 ඔවුනට භාෂා ප්‍රශ්නයක් නැත. දෙමල පුලුවන් වූ කලෙක උන් දෙමලෙන්ද සින්දු කියනු ඇත.උන් රැඩිකල් නැත.නමුත් සිම්පල්ය.මා ඒ වචන ඒ විඳීම වලට ආසා වූයේ මා චාල්ස් බුකොව්ස්කි ගේ තැපල් කන්තෝරුව ප්‍රිය කරන්නෙක් නිසාවෙනි."වැගන් පාක්" කරත්ත නැවතුමේ නොනැවතී ඉදිරියටම යනු ඇත.බලන්න වැගන් පාක්!

අපි ඉන්නේ ලංකාවේ මොරටුව අපි ජයගත් නගරේ!
ජීවිතේ සුන්දරයි කියන්නේ ටීවී එකේ
අපේ මේ ජීවිතේ නෑ කිසිම හීනයක් දැක්කේ
සිහිනයෙනුත් අපි දුටුවේ සූස්තියක ආතල් එකනේ!
 මට වැගන් පාක් විඳිය හැක.මොරටුවේ අපට ඇති ආඩම්බරය, දේශපාලනය, ඇල්කොහොල් ගංජා සබ්ජෙක්ට් නොයෙකුත් දෙයින් වැගන් පාක් අප වින්දනය කරයි.නොකියා යැයි බ්‍රෑන්ඩ් කර ඇති ඇබ දෙකෙන් මාගේ කනට ඇතුල් වන වැගන් පාක්, මුවෙහි රැඳි කොල ඇපලය ඩයලූට් කරයි.මට ඉතිරිව ඇත්තේ බයිට් එකට අත පෙවීම පමනි.රිමෝටයේ අංක නමය එබූ විගස "සං" ගා පත්තු වූයේ වූයේ මාගේ බයිට් එකයි.මහේල ජයවර්ධන.මාද තවත් එක් ජයවර්ධනයෙකූ වීම පිළිබඳ ආඩම්බරයක් මාහට ඇති කරවයි.මහේල මෙන්ම මාද නාලන්දාව පාසල කොට ගත්හ.මහේල මෙන්ම මාගේද බාල සහෝදරයා කුඩා කලම මිය ගියේය.නමුත් මහේල මෙන් මට ක්‍රිකට කෙලිය නොහැක.කොටින්ම බ්‍රැඩ්මන් ටවත් මහේල මෙන් ක්‍රිකට් කෙලිය නොහැක.වාර්තා වලින් මට තඹයක වැඩක් නැත.ඔහු බිංදුවට ගියද දැවී යන්නේ ක්ලාස් එක තබාගෙනය.ෆොටෝ ගැහිල්ලට කැසිල්ල ඇත්තෙකු ලෙස මා දන්නා කරුණක් වෙයි.ඒ මාහට ෆොටෝ එකක් ගැසීමට හොඳම හැඩය ලබා දෙන්නේ මහේල ජයවර්ධන හෝ ජිම් කේරි බවයි.

මහේල ඉහල ඉමවල් කරා යනවාට මා කැමති නැත.ඒ මගේ බයිට් එක පල් වෙනවාට මා අකමැති හෙයිනි.ඔහුගේ ලකුනු පනහක් මගේ Don, මොරටුව, Cohomothe(Flat), කොහෙද යන්නේ මල්ලේ පොල් කියන වැගන් පාක් සින්දු හතරකට සහ කොල ඇපල් දෙකකට හොඳටම සෑහේ.

Friday, July 23, 2010

කුජීතයිද මන්දා?

කාලෙකින් පස්සේ ලියලා දාන්න හිතපු පෝස්ට් එකත් පහු කරලා දාලා ලියන්න හිතුනා අපි ගැන.මේක පහු කලොත් මේ තරම් ආවේගශීලීව නොලියවෙයි කියලා හිතිච්ච නිසා මේක දැන් ලියන්න තීරණය කලා.දැනටමත් පහු වෙලාද මන්දා.

ඒත් පලවෙනි දේ සමාජ ජාල ඇතුලේ ජීවිතය සාමන්‍ය ජීවිතයත් එක්ක පටලවගන්න එපා.කොටින්ම ෆේස් බුක්! ලංකාවේ මිනිස්සු පලු පැලෙන්න බැන බැන ඒත් හැමදාම ලොග් වෙන සමාජ ජාල අඩවියක්! අපි ෆේස් බුක් ඇතුලේ යාලුවෝ එකතු කරගන්න යාලුවෝ වෙන ක්‍රම ගොඩක් තියෙනව. ඒවා හොඳ පැත්තට විතරක් තියාගන්න.අපි ෆේස් බුක් ඇතුලේ යාලුවෝ උනේ බ්ලොග් හින්දා වෙන්න පුලුවන්, අපේ දේශපාලනික දැක්ම අනුව වෙන්නත් පුලුවන්, අපි ජීවත් වෙන පැති, අපි එක තැනක ඉගෙන ගත්තු නිසා, අපි ලංකාවේ නිසා, අපිට කවි ලියන්න පුලුවන් නිසා, අපිට ඉගෙන ගන්න පුලුවන් නිසා, අපිට පින්තූර ගන්න පුලුවන් නිසා, අපි සෙට් එක රොක් මියුසික් අහන නිසා, අපි රගර් ගහන නිසා, අපි ක්‍රිකට් ගහන නිසා, අපි ෆිල්ම් බලන නිසා මේ ඕනම හේතුවක් වෙන්න පුලුවන්.ඒත් අපි හතුරෝ විදිහට වෙන් වෙන්න මේ දේවල් කවදාවත් පාවිච්චි කරන්නෑපා.මම මහින්ද රාජපක්ෂගේය..., මම රනිල් වික්‍රමසිංහගේය, මම නාලන්දේය උඹ රෝයල්ය, උඹ දෙමලෙක් උනාට මම හොඳ සිංහල යි කියන හේතු හිතේ තියෙනවනං ඒවා මරලා දාන්න.මේක ලියන්න උනේ ඊයේ මගේ ස්ටේටස් එහෙක වෙච්ච බැන ගැනීමක් නිසා.මගේ ස්ටේටස් ඇතුලේ ඕන තරං මගේ යාලුවෝ මට බනිනවා.මමත් උන්ට බනිනවා.ඒවා එච්චරයි මූනට මුනගැහුනම හෝ ආපහු චැට් එහෙක සෙට් උනාම ඒ ඔක්කොම ඉවරයි කියලා අපි අපිම දන්නවා.අපි හැමෝම ආත්මාර්ථකාමී මිනිස්සු! ඒ නිසා අපි වෙනුවෙන් අපි ඉන්න ඕන කියන සත්‍ය පිලිගන්න හැමතිස්සෙම.මම මගේ හොඳම යාලුවොන්ට හුත්තිගේ පුතා කියලා බැනලා තියෙනවා.ඒත් ඒ නිමේශයකින් ඒවා අමතකයි.මම සමුගැනීමකදි ඒ යාලුවගෙම අම්මට වඳිනකොට මගේ හිතින්ම ඒ අම්මගෙන් සමාව ඉල්ලනවා.ඒකයි මිනිස්සුන්ගේ හැටි! (මෙතනට කුණුහරුපයක් දැම්මේ ඒක නොදැම්මොත් මේ පෝස්ට් එක අසම්පූර්ණ නිසා.සාධාරණ හේතුවක් ඇතුව.)ආවේග කියන දේවල් ආ වේගයෙන්ම යනවා කියන එක මිනිස්සු දැනගන්න ඕන.

අනිත් කාරණේ යාලුවෝ ආශ්‍රය කරද්දි.පලවෙනි කාරණේ තමුන්ගේ ඇත්ත ජීවිතේ තමුන් එක්ක එකට ඉන්න යාලුවෝ විශ්වාස කරන්න.සයිබරයේ මිතුරුකමුත් ඒ තත්වෙට පෙරලගන්න.ඒ මිතුරන්ගේ තත්වෙට ගන්න ඕන සයිබර් මිතුරුකම් තෝරාගන්න.මිතුරුකම ගොඩනැගිච්ච විදිහ බල්ලට දාන්න.මිතුරුකම විතරක් තද කරගන්න.උඩට එන්න ගේමක් දෙන හැම යාලුවෙක්ටම දිරියක් දෙන්න.තමුන් ඒ යාලුවට වඩා පහලින් හිටියත් ඒ උදව්ව ඒ විදිහටම දෙන්න.තමුන්ගේ යාලුවෝ දියුණු වෙනකොට ඒක ගැන මූනට නොකිව්වත් සන්තෝශ වෙන්න.නින්දට කලින් ඒ දේවල් ගැනත් හිතන්න.මටත් ඉන්නවා අනන්ත අප්‍රමාණ හැකියාවන් තියෙන යාලුවෝ.නැෂනල් ටීම් එකට ගහන්න ඉන්න යාලුවෝ, ප්‍රෝග්‍රැමින් හොඳටම පුලුවන් යාලුවෝ, උගන්නන්න පුලුවන් යාලුවෝ, ඉගෙනගන්න පුලුවන් යාලුවෝ, කවි ලියන්න පුලුවන් යාලුවෝ, ලස්සන ෆොටෝ ගන්න පුලුවන් යාලුවෝ මටත් අනන්ත අප්‍රමාණව ඉන්නවා.මම ඇත්තටම ආසයි මගේ ෆොටෝග්‍රැෆි ලෝකේ වීරයා පිට එකෙක් නොවී අංජා වෙනවනං.මම ඇත්තටම ආසයි මගේ මගේ ක්‍රිකට් ලෝකේ වීරයා පිට එකෙක් නොවී ගයියා වෙනවනං.මම ඇත්තටම ආසයි මගේ අයි.ටී ලෝකේ වීරයා පිට එකෙක් නොවී පහනා වෙනවනං. මම ඇත්තටම ආසයි මගේ සාහිත්‍ය ලෝකේ වීරයා පිට එකෙක් නොවී සඳුනා වෙනවනං.හැමතිස්සෙම තමුන්ගේ ලඟ යාලුවෙක්ව තමුන්ගේ රෝල් මොඩ්ල් එක කරගන්න උත්සහ කරන්න.ඒක තමුන්ටත් ඉස්සරහට යන්න හොඳ උත්සහයක් වෙයි.ඉස්සරහට යන්න බැරි උනත් "ඒ මගේ යාලුවෙක්" කියලා ගොත ගහන්නේ නැතුව පිරිසිදු හිතකින් කියන්න පුලුවන් වෙයි.

ජීවිතේට ඔප්ෂන්ස් තියාගන්න.තමුන්ට එක දෙයක් හොඳටම බැරි උනත් ජීවිතේ ගෙනියන්න පුලුවන් විදිහට වෙනින් දෙයක් හරි හොයාගන්න.උදාහරණයක් විදිහට මම කොච්චර අයි.ටී ඉගෙන ගත්තත් මට අයි.ටී දිරවන්නේ නැත්තන් මම දැනගන්න ඕන මට දිරවන පැත්තකට හැරෙන්න.එහෙම හැරෙන එක ලේසි නෑ.ඒ නිසා ජීවිතේ මුල ඉඳන්ම ඔප්ෂන්ස් තියාගන්න.බැරි මරගාතෙන්වත් මොනවා හරි පොඩි පොඩි දේවල් ලියන්න.කෑමක් හදන්න ඉගෙන ගන්න.මහන්න ඉගෙන ගන්න.ෆොටෝ එකක් ගන්න ඉගෙන ගන්න.ග්‍රැෆික් ටිකක් ඉගෙන ගන්න.අඩු තරමින් සින්දුවක් කියන්න, සෙල්ලමක් කරන්න, මැත්ස් පොතක් අරගෙන පොඩි එකෙක්ට අමාරු දේවල් කියාදෙන්න, කැඩිච්ච දෙයක් හදාගන්න පුරුදු වෙන්න.ඒක කවදාහරි තමුන් ජීවිතෙන් දිනවන්න මගපෙන්නයි.

ඒ වගේම කවදාවත්ම දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න එපා.මම දැකලා තියෙනවා සමහරු ෆේස්බුක් එකේ Political View එකට දාන්නේ I Hate Politics කියලා.ඒක හරිම ගොන් කතාවක්.ලංකාවේ දේශපාලනය කොච්චර මඩ ගොහොරුවක් උනත්, ඒක නැතුව සතෙකුටවත් ජීවත් වෙන්න බෑ.කොටින්ම ගෑනියෙක්ටයි මිනිහෙක්ටයි නිදහසේ රමණයේ යෙදෙන්නත් දේශපාලනය බලපානවා.

ආදරය ගැනත් එක වැදගත් පේලියක් කියන්න ඕන. සියයට සීයක විශ්වාසයක් තියෙනවනං විතරක් ආදරය කරන්න.ඒක සියේට අනූ නමයක් වෙච්ච දවසට අතෑරලා දාන්න.මාව විශ්වාස කරන්න ආදරය කරන කෙනා ගැන විශ්වාසය සියේට අනූනමයක් වෙච්ච දවසටත් ඔබ ආදරය කරමින් සිටියොත් එදාට ඔබට හිත නිදහසෙන් නිදාගන්න බෑ!

අනිත් දේ සල්ලි! හැමතිස්සෙම අතට හම්බුවෙන රුපියලක පවා වටිනාකමක් තියන්න.මහ බැංකුව ඇතුලෙන් සල්ලි කොල එලියට එන්නේ මහ බැංකුවෙන් එලියේ මිනිස්සු තොගයක් ඒ වෙනුවෙන් මහන්සි වෙන නිසා.සමහරු මැරෙන්නේ සල්ලි නැති නිසා.නොහොත් දුප්පත් නිසා.ඒ වගේම තවත් සමහරු මැරෙන්නේ සල්ලි වැඩි නිසා.ඇඟ විකුනලා ගත්තත් සල්ලි.බිම තිබිලා ඇහින්දත් සල්ලි.ජීවිතය වගේම සල්ලිත් මැදුම් පිළිවෙතේම ගෙනියන්න.

"අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු" කියලා ආඩම්බර වෙන්න.සතුටු වෙන්න.ඒත් "පර ඉන්දියන්කාරයෝ" කියලා ගහගන්න යන්න එපා.අපි ඇමරිකාවට ජැමෙයිකාවට බනින්නේ නෑ.ඒ උන්ගේ මළල ක්‍රීඩකයෝ තරන් අපේ උන් දක්ෂ නැති නිසා.අපි ජපානෙට බනින්නේ නෑ.ඒ උන්ට තරන් අපේ උන්ට නව නිර්මාණ බැරි නිසා.අපි බ්‍රසීලෙට බනින්නේ නෑ.ඒ උන්ට තරන් හොඳට අපිට ෆුට්බෝල් බැරි නිසා.ඒත් අපි ඕස්ට්‍රේලියාවට බනිනවා.ඒ උන්ට ගේමක් දෙන්න තරන් හොඳ, ඒත් පරාද වෙයි කියලා බය ක්‍රිකට් ටීම් එකක් අපිට ඉන්න නිසා.අපි ෂේන් වෝන්ගේ දැකපු නැති අම්මට බනිනවා.ඒ අපේ මුරලිට ගේමට ඉන්නේ එයා නිසා.ඒකයි ඇත්ත! හුඟ දෙනෙක්ගේ හිත් ඇතුලේ කොන් වල පල් වෙවී තියෙන ඇත්ත.ඔබට උයන්න බැරිනං හැමදාම කඩෙන් ගෙනත් කන්න එපා.එක සතියක් එක දිගට නූඩ්ල්ස් තම්බගෙන කන්න.සතියකින් ඔබට උයන්න ඉගෙනගන්න හිතේවි!

අපි අපි හැමෝගෙම ජීවිතේ රහසින්වත් පවු කරලා ඇති.මමත් මගේ ජීවිතේ අනන්තවත් පව් කරලා තියෙනවා.මම විශ්වාස කරන්නේ නෑ දහස් වාරයක් කැළණි විහාරෙට ගියා කියලා ඒ පව් මැකේවි කියලා.ඒ වගේම මම විශ්වාස කරනවා මැරෙන්න මොහොතකට කලින් හරි ඕනම මිනිහෙක්ට තමුන්ගේ ජීවිතේ තමුන් කරපු හොඳ නොහොඳ මතක් වෙනවා.මම මැරෙන්න මොහොතකට කලින් මගේ ඇස් ඉස්සරහා මැවෙන මම කරපු දරුණුම පව් පහ මම තෝරලා ඉවරයි.මට ඒක ගැන බයකුත් නැතුවම නෙවෙයි.ඒත් මගේ ලොකුම බලාපොරොත්තුව ඉස්සරහට ඊට වඩා ලොකු පව් නොකර ඉන්නත් පුලුවන් තරමක් පිං කරන්නත්.තමුන් පිනක් කරනකොට ඒක තමුන්ගේ හිතට සතුටු හිතෙන පිනක් කරගන්න.ථූපාරාමෙට ආලෝක පූජා කරන්න රුපියල් පන්සීයක් දෙනවට වඩා මම ඇත්තට සතුටු වෙනවා ගොළුමඩම හන්දියේ සපත්තු මහන අන්කල් ට බත් එකක් අරන් දෙන්න පුලුවන්නන්.ඔබත් ආගම ප්‍රශ්නයක් කරගන්න එපා! කොච්චිකඩේ පල්ලියෙදි තමන්ගේ උසට ඉටි පන්දමක් පත්තු කරනවට වඩා තමුන් දන්න දෙයක් කාටහරි උගන්නන්න.අපි මැරුනම අලුත් ජීවිතයක් ලැබෙනවනං ඒ ලැබෙන තෙක් අපි කතාකරන්නේ සිංහලෙන් නොවෙන්න පුලුවන්.මොකද සුද්දොත් මැරෙන නිසා.වගේම මැරුනම කොහෙත් එක නිසා.අපි මැරුනම අපිට තියෙන්නේ සිතුවිල්ලක් විතරක් වෙන්න පුලුවන්.ඒ නිසා ආගම් ප්‍රශ්නයක් කරගන්න එපා.විඳව විඳව ජීවත් නොවී. . . විඳ විඳ ජීවත් වෙන්න.ඔබ ඉස්ලාම් භක්තිකයෙක් නං ඔබ මත් පැන් පානය හෝ ඌරු මස් අනුභවය ගැන දෙගිඩියාවකින් ඉන්නවානං හිතන්න කුකුලත් සතෙක් නොවෙයිද කියලා.ඉස්ලාම් ජාතිකයෙක් විදිහට අන්තිම මොහොතේ කලීමාව නිවැරදිව කියන්න පුලුවන් වෙන්න කියලා පතන්න.ඒක ඔබේ හිතට දෙන්න පුලුවන් උපරිම ශාන්තිය ලඟා කර දේවි.ඔබ මස් ජාති වලට බැන බැන මාලු ගිලිනවානං හිතන්න මාලුත් ජීවියෝ නෙවෙයිද කියලා.පවු පිං ආගම් අනුව බලපාන්නේ නෑ.ඔබ කරපු අනියම් දේකින් තවකෙක් පීඩා විඳිනවනම් ඔබ පවක් කරලා.ඔබ හිතට එකඟව සතුටෙන් කරපු දේකින් තවකෙක් සතුටු වෙනවානං ඒක පිනක්.

මගේ අතින් වෙනමම ආකාරයක ලිපියක් ලියවිච්ච එක ගැන මට සතුටුයි.ඒ සිතිවිල්ල හරි එකක්ද නැද්ද කියන එක මට දැනගන්න උවමනාවක් නෑ.මොකද හරි උනත් නැතත් මේ මගේ හිතට එකඟ විදිහ.ඒක මැරෙනකම්ම එහෙමයි.මේකට කමෙන්ට් කරත් නොකරත් මට එකයි.මම දවස තිස්සේ ඇවිත් කමෙන්ට් ගනන් කර කර විඳවන්නේ නැති නිසා.මට ඕගොල්ලෝ මේක කියෙව්වොත් ඇති.මොකද වැරදි දේවල් අනන්ත තිබුනත් එක හොඳ දෙයක් හරි කාගේ හරි ජීවිතේකට ආවොත් ඒක මට පිනක් නිසා! එතනත් ආත්මාර්ථකාමීත්වය. ජය!

Tuesday, July 6, 2010

දෙබස

........
ඈ: කොන්ඩේ කැටි ගැහිලා.නාගන්න තිබ්බානං!

මා: ඔය දවසට නාන්න එපා!

ඈ: ආ. . .!

මා: ආ. . . තමයි.ඇඟ සීතල උනාම හොඳ නෑ.යන එක නවතියි.

ඈ: පණ්ඩිතයා

මා: පණ්ඩිතකමක් නෙමෙයි.දවස් තුනයිනේ ඉවසලා ඉන්න.

ඈ: දන්න දේවල්.. .

මා: එහෙම තමයි!

ඈ: කොහොමද ඔච්චර දන්නේ ?

මා: පොත් කියවලා (ඉඟි මරමින්)

ඈ: පොත්? කීයක්ද?? (දෙතොලග සිනහවක්)

මා: ගොඩක්! පුස්තකාලයක්ම

ඈ: හ්ම්ම්ම්... දැන් කියවන්නේ මොකද්ද?

මා: මගේම පොතක්. ..කියවන්නෙත් මම ම විතරයි
මගේම විතරයි. පුස්තකාල පොත් වගේ නෙමෙයි.

ඈ: පොතත් එහෙමයි.
වෙන කට්ටියට කියවන්න බෑ.

මා: අහලා නැද්ද ශ්ලෝකේ ??

ඈ: අහ්. . . මොන?

මා: ස්ත්‍රී රත්නං
පුස්තක රත්නං
පරහස්ත ගතං
ගතං ගතං

ඈ: තේරුම?

මා: ගැහැනුන් මෙන්ම පොත් අන් අය අතට පත් උනොත් ආපහු ලැබීමක් නෑ!

Thursday, July 1, 2010

කපුටොත් ආදරෙයි

පැය කාලක් විතර තිස්සේ මිලාගිරියේ ඉඳන් අද්ද අද්ද ආපු කකුලත් එක්කම බස් හෝල්ට් එකට රිංගුවේ වැල්ලවත්තේ ෆ්ලැට්ස් ඉස්සරහා ගස් වල කපුටොන්ට බඩේ අමාරුව හින්දා.

අහ්. . වැඩේට හරියනම මිනිහා!

බස් හෝල්ට් එක යට ඉඳන්ම මගේ අලුත ගත්තු සැන්ඩ්ල්ස් කුට්ටමේ වම් පතුල දික්කරේ එතනට ගියානං ඔලුවට බෙටි පූජාව වැටේවි කියලා හිතපු නිසා.මැද්දෙන් මැද්දෙන් කහට පිරිච්ච දත් ටික එලියට දාලා අවංක මුහුනකින් හිනා වුනේ ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් එකේ ෆ්ලේවියස් සහ මැරලස් ට සපත්තු මහන්නා දීපු උත්තරේ මගේ ඔලුවට ඔබ්බන ගමන්.

ෆ්ලේවියස්: මොකද්ද තොගේ රස්සාව ගොනෝ?
මොකද්ද උඹ කරන රස්සාව නිකමෝ?

සපත්තු මහන්නා: අනේ මං එක්ක කේන්ති ගන්නෙපා මහත්තයෝ.
හැබැයි මහත්තයා හරි සවුත්තු උනොත් මට හදන්න පුලුවන්.

මැරලස්: මාව හදන්න ජඩයෝ.තෝ මොකාටද එන්ඩ හදන්නේ?

සපත්තු මහන්නා: මහත්තයාගේ සපත්තු සවුත්තු උනොත් මට ඒවා මහලා දුන්නැහැකි.


මමත් කවදාහරි ඩිග්‍රියක් ගන්න ඉන්න එකෙක්! ෂික්! ඔය හිතුවිල්ල හිතට ඇවිත් පපු කැනැත්තටම ගහන්න මට ඕන උනේ ඒ අහින්සක මනුස්සයගේ හිනාවයි, මට මගේ වම් පතුල ගලවලා දික්කරන්න ගිය වෙලාවයි විතරයි!
ටික වෙලාවකින් ගාලු පාරේ ජනාකීර්ණම නගරයක් මැද්දේ හිත හෙල්ලුම් කාලා තිබ්බ නිහැඬියාව බින්දේ මනුස්සයාමයි.

මහත්තයා පන්ති යන ගමන්ද? හදිස්සිද?

අපෝ නෑ අයියේ. . . මේ වැඩ ඔක්කෝම ඉවර කරගෙන ගෙදර යන ගමන්. තකහනියක් මේ හෝල්ට් එක පයින් එන්න උනේ මේක හින්දා. දැන් එව්වැයේ කිසිම කොලිටියක් නෑ.

මොකේ කියලවත් කොලිටියක් තියෙනවද මහත්තයෝ. හැබැයි අපිට තමයි වාසි. දැන් මිනිස්සු අලුත්වා ගන්නෑ. පරන එකම හදෝනවා.

කකුල දෙදුරුම් කාගෙන ෆෝන් එක රිං උනේ, මගේ ගෑනිගෙන් වෙන්නැතියි කියලා හිතලා අතට අරගෙන බලනකොට මගේ හිතට හිනහ ගියේ මට කෝල් එක එන්නේ "ආදරේ" කියන කන්ටෑක්ට් එකෙන් නිසා. ලලිත් අයියා පතුල මහනකං මම ආන්සර් කලේ එයාට ලෙක්චර් ඉවර ඇති කියල හිතිච්ච නිසා.විනාඩි දෙකෙන් ඕන කරන ඔව් නෑ බෑ උත්තර ටික කියලා ෆෝන් එක තිබ්බේ ලලිත් අයියා සපත්තුව මහලා ඉවර වෙන්න ලං වෙලා නිසා.

මං ලලිත්.

කෝල් එකට කලින් මම නම අහපු වෙලේ මනුස්සයා මට කිව්වේ එහෙමයි.මම ඔක්කොම ඉවර කරලා බලද්දි මනුස්සයා චැරියට් එකෙන් ගත්තු සමෝසා එකක් කනවා.

කපුටොන්ගෙන් කරදරයක් නැද්ද අයියේ. .

ඇයි මහත්තයෝ ඒ ?? පුදුමෙන් වගේ මං දිහා බැලුවේ තොල උඩ නැවතිච්ච සමෝසා කෑල්ලක් දිවෙන් ඇතුලට වට්ට ගන්න ගමන්.

නෑ ඉතින් කුඩයක්වත් ඉහලගෙන නැති නිසා.මෙතන වටේම කාක් බෙටි නේ.අනික කනකොට වත් ලඟට එන්නේ නැද්ද?

මුං දන්නවා මහත්තයෝ මාත් නැති බැරි එකා කියලා.විස්සක් ඇති. . සල්ලිත් ගන්න ගමන්
අනික මුන් මට ආදරෙයිනේ. මේං උන්ගේ පංගුව. කියලා මට තවත් චැරියට් බෑග් එහෙක සමෝසාවක් පෙන්නුවේ එක හිතුවිල්ලක් දෙදුරුං කවන ගමන්!

කපුටොත් ආදරෙයි.

"චස්" ගාලා ආපු සද්දෙත් එක්ක, එහා පැත්තෙන් මොනර නිලට හුරු සාරියක් ඇඳන් ගිය ගෑනියෙක් වාතවෙවී ගියේ කපුටු වර්චසයක් නිසා කියල හිතිච්cඉ මට උඩ බැලුනම තේරුනේ මමත් දැන් පැය කාලක් විතර තිස්සේ ඉඳලා තියෙන්නේ ආවරනය නොවී විත්තිය.

කපුටොත් මරු ජාතිය!

Tuesday, June 22, 2010

ලඳුන් මැද "ඔ"යන්න "බ"යන්න

පහුගිය කාලෙම ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒ ඔක්කොම හරියටම කිව්වොත් ඉවර උනේ ඊයේ. මගේ කම්පියුටරේ මාසයක් තිස්සේ මගේ ගාව නැතුව තිබුනා.එක ෆෝන් එකක් කැඩුනා.ප්‍රොජෙක්ට් ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, එක්සෑම් ප්‍රශ්න වගේ ප්‍රශ්න අස්සේ වෙනින් එවුන්ට මුලින්ම කියවෙන ලව් එකේ ප්‍රශ්නේ විතරක් මට තිබුනේ නෑ. ඒකට මගේ ගෑණිට පිං. මගේ ගෑණිගේ තාත්තගේ ඔපරේෂන් එක ඊයෙයි කරලා ඉවර උනේ. ඒකත් සාර්ථක නිසා දැන් ඔලුව නිදහස්. ලියන්න අදහසකුත් නැතුව මොලේ අල වෙලා ඉන්නකොට මං වෙනුවෙන් මෙච්චර මෙහෙව් කැපකිරීම් කරපු ගෑණි ගැන ලියන්න හිතුනා. මට උඩින් කඩා පාත් වෙච්ච පාඨක පිරිසක් නෑ. මට ඉන්නේ යාලුවෝ ටිකක් විතරයි. මාසයක් විතර තිස්සේ නෙට් එකේ සද්ද නැතුව හිටපු මම ගැන හෙව්ව උඹලට පිං. ගෑණි ගැන කතාවක් ලියන එක දිග වැඩි හින්දා ලියන්නම් කවියක්!

සපිරිවර ලඳුන් මැද ඔබ දුටුවේයා
කුළුනු ගුණෙන් පිරි මුහුනට සිත්වූයා
මෙතෙකැයි කියා නොගිනි ලඳුන් මට වීයා
එනමුදු වදන් නොමැතිව සිත ස්ටක් වූයා

කලුවට දිගට මහතට ගෙතූ කොන්ඩයෙනී
දත් පොඩි පෙලින් පිරිපුන් ඒ සිනහයෙනී
මිටට ගත හැකිවූ උකුලට ප්‍රියාවෙනී
අඩුවක් නොමැති කමටම හිත පිනායෙනී

වරදක් කල කලට උරහිස ඇදුම් කතී
ලැජ්ජා සිතුනු විට හෘදය විකා යතී
ආදර පිරී විටදී කට කොන හපා කතී
ඒ මද රිදුමකට මම කෑදරෙන් වෙතී

හිරට කොටට නැති ලේසිය විළි වහනා
කන බිම නොඇදෙන්න අබරණ එල්ලන්නා
තද රතු නැතුව රෝසට තොල හැපවෙන්නා
මේකප් නොමැති දුඹුරට සිත ඈඳෙන්නා

දහසක් වැරදි ඇති මට වූ ආදරෙනී
"බබා" "ස්වීට්" නැති ආදර ඇමතුමෙනී
ලෙහෙසි පහසු ජීවිතයට ප්‍රියාවෙනී
"මගේ ආදරේ" හට සිත පිරි ආදරෙනී

ලඟට ගෙන බදන්නට සිත ආසාය
කවියට දෙකට ඔබ ගැන ගුණ දෙනු බෑ ය
හමු වුනු විටක දෙන්නට තව ඇතිවාය
ඔබට සම වෙන්න වෙන කෙනෙකුට බෑ ය

Tuesday, June 1, 2010

බූරු කුට්ටමේ බණ

අද කියන්න යන්නේ ජන කතාවක්.කතාව ආතල් නිසාත් හුඟ කාලෙකට කලින් මම අහලා තිබුනු නිසාත් කතාව ඕගොල්ලොන්ටත් කියන්න හිතුනා.මේක කියවන කතාව කලින් අහපු කට්ටිය ඉන්නවානං සොරී වෙන්න ඕන.

එක ගමක හිටියා උපාසක මහත්තයෙක්.හතර පෝයටම සිල් ගත්ත ඒ උපාසක මහත්තයට බණ දහම් ගැන පුදුම දැණුමක් තිබුනා.

මේ උපාසක මහත්තයාගේ පොඩි අඩුපාඩුවකට තිබුනේ සූදුවට තිබුණ් ගිජුකම විතරයි.ඒත් ගමේ හරි ලඟපාත හරි සූදුවට යන්නේ නෑ.කවදාවත් පොලීසියට අහුවෙලත් නෑ.දිනුවත් එකයි පැරදුනත් එකයි.කොහොමහරි ගමේ මිනිස්සු මේක දැනගෙන හිටියේ නෑ.එක දවසක් ඈත ගමක සූදුවට ගිය වෙලාවේ සූදු පොල්‍ර හිටිය අනිත් අයත් එක්ක උපාසක මහත්තයත් පොලීසියට අහුවුනා.පොලීසියේ ලොක්කා හරි සැරයි.කාටවත් ඇප දුන්නෙත් නෑ.

එදා හැන්දෑවේ කූඩුවේ හිටිය බූරු නඩේ එලියට අරගෙන "උඹලා බූරුවා ගැහුවා නේද?" කියලා ඇහුවා.අනිත් අය කතා කරන්න කලින් "අනේ නැහැ ආයිබෝවන්ඩ මම බණ කිව්වා, මේගොල්ලෝ බණ අහගෙන හිටියා.මේ රාළහාමිලා අපිව අල්ලගෙන ඇවිත් කූඩුවට දැම්මා." කියනකොට සූදු කාරයෝ මූණට මූණ බලාගත්තා.

මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියා ලොක්කගේ හැටි..සූදුව අල්ලපු රාළහාමිලා කිව්වා මේගොල්ලෝ සූදු කෙලියා කියලා."නෑ මේ අය වටේ තියාගෙන මම බණ කිව්වා.අපි වරදක් කරලා නැහැ." කියලා උපාසක මහත්තයා කියනකොටම රාළහාමි කෙනෙක් බූරු කුට්ටම ලොකු මහත්තයා අතට දුන්නා."ඔව් අයිබෝවං ඕකෙන් තමයි බණ කිව්වේ" කියලා උපාසක මහත්තයා කිව්වා.කියනකොට පොලීසියේ ලොක්කා "හොඳයි උඹේ බණ ආයිත් කියපං."කිව්වා.උපාසක තැන කට්ටියම බිම ඉඳවලා සාදුකාරයක් දෙන්න කිව්වා.ඊළඟට නමස්කාරය දෙන්න කිව්වා.එහෙම කියලා පන්සිල් දීලා මේ ගාථාව කිව්වා.

ආසි හේරෝ පොරෝ ලංචැ - බූරූ දහයේ නමේ අටඃ
හතේ හයේ පහං චෙයිය - හතරේ තුනේ දෙකේ කොලඃ
ඊළඟට කොල ගොඩේ ආසි හතර පෙන්වමින් "මේ වනාහී පූර්ව විදේහය, අපරගොයානය, උතුරුකුරු දිවයින, ජම්බුද්වීපය යන හතර මහා ද්වීපයයි." ඊඑට පස්සේ හේරුන් හතර දෙනා පෙන්වමින් "ඒ දීප හතරේ රජකම් කරපු රජවරුන් හතර දෙනා මේ තමා.ඒ රජවරුන්ගේ අග බිසෝවුන් හතර දෙනා බලාගන්න" කියලා කුට්ටමේ පොරොව හතර අරගෙන පෙන්නුවා."හතර මහා රජවරුන්ට පුරෝහිත කම් කරන්නේ මේ හතර දෙනා" කියලා බූරු කොල හතර ඉදිරිපත් කලා.දහය කොලෙන් දස රාජ ධර්මයත් නවයේ කොලෙන් නව අරහාදී බුදු ගුණත් අට සිල් අටේ කොලෙනුත් හතේ කොලෙන් සත් සතියත් මේ විදිහට ඉදිරිපත් කලා.උතුරු දකුණු නැගෙනහිර බස්නාහිර උඩ යට සදිසාවන්ට අරක්ගත් ගුරු දෙමාපිය හිතමිතුරන්ට වැඳුම් පිදුම් ගරු සත්කාර කරමින් පන්සිල් රකිමින් මේ සතර මහාද්වීප වැසියෝ සාමයෙන් හා සතුටෙන් විසූ බව කියමින් හයේ පහේ කොල පෙන්නුවා.හතරේ කොලයෙන් එම රජුන්ට හා රට වැස්සන්ට සෙත් පතන සතර වරම් දෙවියනුත් තුන්තරා බෝධිය තුනේ කොලෙනුත් දෙදෙව් ලොවට අධිපති සක් දෙවියන් දෙකේ කොලෙනුත් පැහැදිලි වන්නේ යැයි" කියනකොට අහගෙන හිටිය පිරිස මහ හයියෙන් සාදුකාර දෙන්න උනා.

ඊට පස්සේ වෙච්ච දේවල් බොරුවට කියලා වැඩක් නෑනේ.හැම ජනකතාවකටම සුපුරුදු පරිදි ඒගොල්ලෝ සාමයෙන් සතුටෙන් ජීවත් උනාලු.

Monday, May 10, 2010

පුංචි විසි දෙකේ මං

මේක ටිකක් පහු වෙලා දැම්මා උනත් මේක දාන්නේ පහුගිය අප්‍රේල් තිස් වෙනිදට ලබපු මගේ විසි දෙවෙනි උපන්දිනේ නිමිත්තෙන්.හොඳ වෙලාවට අප්‍රේල් තිහ ඉපදුනේ.බැරිවෙලාවත් මැයි පලවෙනදා ඉපදුනානං මටත් ඉපදෙන්න වෙන්නේ "ලෝක වාසී කාන්තාවන්ගේ ශෝක දිනය" දවසෙයි.ඒක ශෝක දිනය වෙන්න හේතුව දැනගන්න "මැයි පලවනදා" අනිත් පැත්ත හරවලා බලන්නකෝ.සහෝදරියෝ ටික කේන්ති ගන්න එපෝ.කේන්ති යන්නත් එක්ක කියවන්නකෝ මේක.

සපුරත් දෙවිසි වසරක් ගිහි ජීවිතයේ
නොතිත් කම්කටොළු ඇති වුනි එක කලයේ
අතහැර නොදා මා සමගම සිටි තලයේ
දිරි දුන් සැමට තුති පුදනෙමි මෙම කවියේ

ගෙදර වටපිටද නාලන්දය මෙන්ම
වෑන් එකට, බස් එකටත් පිං වෙන්න
NIBM ද වලකිය සෙට් වෙන්න
සෙට් වුනු බොක්කවල් හට තුති පුදනෙමි ඔන්න

සාපෙට උපෙට සහ අනෙකුත් විෂයන්ට
ටියුටරි තොගයකට ගිය හේතුව වන්ට
ලකුණු නැතත් මා හට ඉන් ගොඩ යන්ට
මිතුරන් පිරී ඇත දිවි මං ගොඩවන්ට

මූණු පොතත්, ට්වීටරයත් සමගින්නා
සයිබර් මිතුරු කැල මා සමගම ඉන්නා
බ්ලොගින් ජීවිතෙත් යහමින් ගතවෙන්නා
උඹලා නැති කලට මට විපතක් වෙන්නා

සොඳුරු කොනිති, ගුටි, බැණුමුත් පිරී ඇතී
මැරියන් නමට මා හද ආදරෙන් වෙතී
මෙතෙකැයි කියා නැති අපේ ආදර කැටිතී
නොදරුවා මෙන්ම දවසක හිර කෙරෙනු ඇතී

අදරින් ලඟට ගෙන මා සනසන අම්මා
සිතින් පමණකිය අපේ අප්පගේ පෙම්මා
දිවිතුරු රැකගතිය ආදර පුත්තම්මා
විසිදෙක සපුරන්න දිරිදුන්නේ සැවොමා

Monday, April 26, 2010

වායු"හුඃ"මීකරනය

මේකට පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරන්න උනා.ඒ ගැන සමාවෙන්න.
මේක හුඟාක් කාලෙකට කලින් මම පොතක ලියපු සිද්ධියක්.මම හිතන්නේ අවුරුද්දකට විතර කලින්.මේ සිද්ධිය මම කම්මැලි කමට නිකන් පොතක ලිව්වේ.තද පැහැයෙන් ලියපුවා පලකරන අවස්ථාවේ එක් කරන ලද ඒවා බව කරුණාවෙන් සලකන්න.කතාව ටිකක් දිගයි!

අද කියන්න යන්නේ මට මෙතුවක් කලක් සිදු වුනු,දැනුත් සිදුවෙන, ඉදිරියටත් සිදුවේ යැයි බලාපොරොත්තු වෙන ලොකු අසාධාරණයක් ගැනයි.

වේලාව: දහවල අහාරයෙන් පසු
ස්ථානය: නිකන් ඉන්න බැරි මෝඩයෝ
අවස්ථාව: ලෙක්චර්ස්

ලෙක්චර් එක කරන්නේ "කොලොම්බා" ලෙස අන්වර්ථ නාම ලත් ගුරුවරයෙකි.දැනට ආයතනයෙන් විශ්‍රාම ගොස් තවමත් සිසුන්ට උගන්වන්නෙක්.සමහරුනට ඔහු කොලොම්බා වන්නේ ඔහුගේ නාමයෙන් බිඳී ආ දෙයක් ලෙසයි. එහෙත් තවත් සමහරෙකුට ඔහු කොලොම්බා වන්නේ කොලොම්බියාවේ සිදුවූ ජන්ම විපර්යාසයකින් ඇති වූවෙකු ලෙසයි.කෙසේ වෙතත් ජීවිතයේ මාහට හමුවූ ගුරුන් අතරින් වඩාත්ම නිද්‍රාශීලී ගුරුවරයා ලෙස මොහු හඳුන්වන්න පුලුවන්.මෙය වඩාත් සාක්ශාත් වන්නේ ඔහුගේ හැසිරීමේ ආකාරයටම ඔහුට ඉගැන්වීමට සිදුවන විෂයයන් නිසාවෙන්.නමුදු ඔහුගේ ඉගැන්වීම ආයතනයේ සිටින එකම එක ගුරුවරියකට පමණයි දෙවනි වෙන්නේ.ඔහු ගැන යම් හැඳින්වීමක් කලහොත් දැනටද ඉදිරියේ සිටිමින් මෙලෝ රහක් නැති දේවල් මුමුණමින් සිටින අතර, තමන් පිලිබඳ අතිශය පොර ටෝක් දෙන්නෙකි.

මාතෘකාවට අනුව මා මේ කියනා දෙය වැරදිය.එහෙත් මා අතිශය නිද්‍රාශීලීව සිටින නිසාවෙන් මාගේ මේ මොන්ගල් ගද්‍යකරණය ඉවසන ලෙස ඉල්ලමි.මට ඇත්තටම රතුඉර දම් වෙන තෙක් මල පැන තිබුනද, එයට ප්‍රධාන හේතුව කොලොම්බා නොවන්නේය.එයට ප්‍රධාන හේතුව අපෙ හෝල් එකේ හතර වටින් එල්ලී සිටින මේ කරුම වායුසමීකරන යන්ත්‍රයි.හෙයා ඩ්‍රයර් එකකින් මෙන් "හෝස් හෝස්" ගාමින් මාගේ මුහුනටම,එසේත් නැත්නම් කුඩා මොලයටම ඉලක්ක කර මෙය වදින්නට හේතු මම කල්පනා කර බැලුවෙමි.මා මුලින්ම සිතුවේ සිය පුත්‍රයාගේ සුව පහසුව තකා අප්පිලා ඇත්තෝ පැමිණිල්ලක් කරන්නට ඇතැයි කියාය.මන්දයත් මෙයට ඇතුළු වූ දා පටන් මෙලෝ සමීකරනයක් නැති පංකාවක් ඔහේ කැරකෙන ශාලාවක ආතල් එකේ සන්තෝසෙන් සිටි අපව,ටික දිනකින් නව ගොඩනැගිල්ලක් සාදා එහි ලැග්ගවීම සම්බන්ධවය.සමහර විටෙක මෙයින් අත්මිදෙන්නට නොහැකිව මවිසින් වායුහුඃමීකරනය යට ස්ථානයක වාඩිවී බැලූ අතර, එය එතරම් නරක නැතිමුත් මගේ කරුමෙට සමහර වෙලාවට වතුර බිංදු හිසට සහ පොතට වැටීම හේතු කොටගෙන එයද අසාර්ථක විය.මෙහි බිංදු යනු සෝමේ මාමි ගේ බිංදු නොවන බැවින් "කවුද යකෝ බිංදු?" කියා නොවිමසන මෙන් ඉල්ලමි.

මට ගුරුවරයෙකුට අපහාස කිරීමට කිසිම හිතක් නොමැත.මෙම කොටස එකතු කලේ මම මෙය පලකරන අවස්ථාවේදීය.මන්දයත් මා ලෙක්චරයක සිටිනා විට මාගේ අපහාස සිත ඉතාමත් දියුණු මට්ටමක සිටින ලෙසක් මට හැඟේ.තවද මෙය කියවීමෙන් පසු මාහට බැන, තමන් හොඳ දරුවන් වීමට බලා සිටිනා පිරිසක්ද ඇති හෙයින් මා පවසන්නේ, මේ කිසිවකුත් මා හොඳ සිහියෙන් නොසිටි අවස්ථාවකදී ලියන ලද ඒවා බවය.නැවතත් කතාවට. . .

උක්ත පුද්ගලයා මේ දැන් පිටුපස අසුන් අසලට පැමිණ නැවත ඉදිරියට ගියේය.මටනං මොහු පේන්නෙම මඩොල්දූවේ ධර්මසිංහ මහතා මෙනි.උපාලි ගිනිවැල්ලේට අනුව මොහුත් ගුඩු පොල් ගෙඩියකි.මම මොහු ගැන සිතුවෙමි.මට සිතාගත හැකිය.මොහුගේ ගෙවල් පැත්තේ මදුරුවන් මිය යන ක්‍රම දෙකකි.එකක් මොහුගේ ලේ බී නිදිමත වැඩිවී, බිත්ති වල හැප්පීමෙනි.අනෙක් ආකාරය නම් ලේ බිවු සැනින් ඇඳ උඩම නින්ද ගොස්, ඇඟට යටවීමෙනි.මට එක්වරම ඔහුගේ පසුගිය උපන්දින සාදය සිහිවිය.එක්පසක දනහිස ගාවට ගවුම් ඇඳ එය ඉන ගාවට පලාගෙන සිටින යුවතියන් පිරිසකි.ඒ ඔහුගේ මී මිණිබිරියන් වියහැක.මොහොතකින් සාදය ඇති ශාලාව වෙත මිනිසුන් අටදෙනෙකු විසින් වසන ලද යම් දෙයක් ගෙනෙන ලදී.මා මුලින් සිතුවේ උපන්දින ත්‍යාගය වශයෙන් නුදුරේදී ප්‍රයෝජනයට ගැනීමට ගෙන ආ මිණී පෙට්ටියක් විය හැකි බවයි.නැත එය උපන්දින කේක් ගෙඩියකි.මීමිණිබිරියන් වන තෙක් පරම්පරාවක් පැමිණ සිටියද මේ සා විශාල කේක් ගෙඩියක් කෑ නොහැක.ආසන්න වශයෙන් පර්චසයක් පමණය.කාරණය වැටහුනේ මදකිනි.අවුරුදු ගනණට ඉටිපන්දම් ගැසීමට හැකි වනසේ කේක් ගෙඩිය සාදා තිබිණි.මා දැන් මහළු වියේ කියා ගීතය ගැයීමෙන් පසු ගිනි නිවන හමුදාව පැමිණියේ ඉටිපන්දම් නිවීමටය.මටත් මේ වෙලාවට එන්නේ මහා කරුම අදහස්ය.වයිට් බෝඩ් මාකර් එකක් හොයාගෙන පොර එලියට ගියේය.එහා පැත්තේ සිටිනා කැනහිලා මාගේ දකුණු බාහුවට මහ හයියෙන් ගසා අහක බලාගත්තේය.ඌ මා උගන්නා අතරතුර එක එක දේවල් ලියනවාට අමුම මළය.ඌටද කුණුහරුපයක් කියා ඊලඟ ඡේදය ලියමි.

හදිස්සියේ බඩගින්නක් ආවේය.වෙලාව බැලුනි.දෙකයි කාළය.අවසන් වතාවට බත් චුට්ටක් බඩට දාගත්තේ දොලහයි හතලිස් පහටය.පැය එකහමාරකින් මෙලෝ දෙයක් බඩට නැත.මට බඩගිනිය.අම්මාගේ "පවුල් අලුවා" මතක් විය.පවුල් අලුවා යන නම තබන ලද්දේ අප්පිලා ඇත්තෝය.අපේ අම්මා හදන අලුවා අතිශය රසය.බොරු නොවේය.අම්මපා ය (මෙච්චර දිවුරලාත් විශ්වාස නොකරන උන්ට කුද ගහගන්නා ලෙස කියමි.).රස උනාට ලොකුය.පවුලකට එකක් කෑ හැකි බැවින් අප්පොච්චියා එයට පවුල් අලුවා කියයි.මා වතුර චුට්ටක් ඉල්ලගෙන මුවේ ලාගතිමි.අපේ එවුන් කසිකබල් පුටු උඩ ආපිෆෝම් සුවය ලබති.මේ සියල්ල වන් ඇන්ඩ් ඔන්ලි කොලොම්බා නිසාය.ශාලාවේ ජනේලයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පෙනුනි.එය දුර්වර්ණ වී ගොසිනි.මා එහිදී ඩිග්‍රිය ගැනීමට පෙර ආණ්ඩුවට කෝල් එකක් දමා එය සුද්ධ කරන ලෙස කිව යුතුය.හැබෑවටම එයට බොහෝකල් ඇත.මට නිකමට මගේ රිපීට් ෆෝම් එක මතක් විය.එය ඇත්තේ රහසිගත ස්ථානයකය.ඒ අම්මිලා ඇත්තන්ගෙනුයි, අප්පිලා ඇත්තන්ගෙනුයි වහන් කරන්නටය.නිකමට හෝ බලා පිළිකුල් භාවනාව කිරීමට ගෙදර ගිය වහාම එය සෙවිය යුතුය.ඊටත් පෙර මොනවාහරි බඩට දමා ගත යුතුය.පාණ්ඩුව සෑදීම නිසා මාගේ බඩ ඉදිරියට නෙරා ඇත.

මහ මුචලින්දට මාගේ ඇඳුම් ගැන දුක හිතී ඩෙනිමක් ගැනීමට රුපියල් දෙදාහක්ම පුදකලේය.ගෙදර ගොහින් මොනවාහරි කන විට මා මිය යා සිටින්නට පුලුවන.එහෙයින් බම්බලපිටියෙන් මොනවාහරි බඩට දමාගැනීමට රුපියල් දෙසීයක් බැහැර කලේය.ඩෙනිමකට රුපියල් එක්දාස් පන්සීයකට වඩා කිසිසේත් නොසෑහේ.ඒ නිසා තවත් තුන්සීයක් ඉතිරිය.යනගමන් සරසවියට ගොඩවැදුනොත් ඒ තුන්සීයද මහා ධානපතියෙකුට පුදකල හැක.මගේ අප්පොච්චියාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනය.ඒ වැඩි වැඩියෙන් ලැබෙන සියල්ල මට ලැබෙන්න ඕනය.ඉදිරියෙන්ම ඉන්න උන්ටික බොරුවට ඔලුව වනමින් සිටී.උන්ටද නිදිමත වැඩිවී විය හැක.මැද පේලි වල උන්ගේ නලළ බිම ගෑවෙන අතර මගේ මෙහා පැත්තේ එකා ස්කයිප් එකේ ගෑනිත් එක්ක මල් කඩයි.උගේ ගෑනි රටය.අනිත් පැත්තේ එකා කරන්නේ තනි ප්‍රෝඩාවය.ඊටත් එහා පැත්තේ එකා පෙරවගෙන බුදිය.මට තවත් ලියන්නට නොහැකි අතර, මාත් ඔහේ සැතපෙමි.

අනේමන්දා. . .මම නිදිමතේ ලියපුවා පසුව කියවද්දී මටම මොන්ගල් සෙයක් හැඟේ.ඔබටත් ඔලුව කැරකෙන්න ගත්තානම් ගැත්තාට සමාවන්න.

Monday, April 19, 2010

ග්‍රහ පාලනය


මා පුංචි පහේදී
මහා හපනෙකු විය
ඒ ග්‍රහ බලපෑම
හොඳ නිසාවෙනි

දහය එකොලහේදී
තවත් බ්‍රයිට් වීමට පටන් ගති
ඒද දෙයියන්ට
පිංසිද්ධ වෙන්නය

අහේතුක ලෙස
ප්‍රතිඵල අල විය
ගණිත සිහල ඉංගිරිස් සාහිත්‍යය
හා ඉංග්‍රීසි පමණක්
මුලකුර අතගෑවේය
එකල ග්‍රහයන් කිපීය

ජ්‍යෙෂ්ඨ කල
ග්‍රහයන් කිපෙන බව මා
හොඳාකාරවම දැනසිටි!
එනමුදු,
ජෝති ට අනුව
මා නිසැක සමතෙකි

උ/පෙ ට කෙළ විය
මම බුදු විය
ජෝති ගොළු විය
මව දුක් විය
පියා කිපීය

මට ගැහැණියක හමු විය
එහෙමත් නැත්තං
කෑල්ලක් සෙට් විය
අප දෙදෙන ගුණ අපටය.
කට්ටිය වටවී ග්‍රහ ගුණ සෙවූහ.

පුතාට වතුරෙන් අපලය
මා පුරුදු ලෙසම නොනා සිටිමි.

වාහන වලින් අපලය
ගෙදර සිටිමි.

රාහු නිසා
බල්ලන්ගෙන් අපලය
මිතුරන් ඉවත් කරමි.

පවුල් කන්නේ ග්‍රහයන්ය;
අප රමණයේ යෙදීමට පමණක්
කතිකා වුනෙමු.

සටහන දිගය.
එයින්ද
දෙයියෙකුට කෙළවීමට පෙර
මා නවතිමි.

මෙහි "ජෝති" යනු, ජ්‍යෝතිෂයවේදියාය.

Wednesday, April 14, 2010

Instant අවුරුද්ද


සූරිය මංගල්‍යය ජන කවි සමග තෙද
අවුරුදු කූජනය නැවුමකි ඉතා සොඳ
කොහා නැතත් හඬනට සිට කොළඹ බද
ටෙලියෙන් වැයෙයි ඒ මංගල්‍යයේ නද

විද්වත් මඩුලු රට හැමතැන පොකුරු පිටින්
කියයි අසිරි ඉතිරෙන කිරි මුට්ටි වෙතින්
"වන් ටූ ත්‍රී බම්බල් බී" කියූ කටින්
"එළුවන් කයි" ඊයේ පුරුදුවූ ලෙසින්

බැලු බැලූ අතට ගැමි ජන කෙලි උළෙල් ඇත
ඒවට තෑගි දෙන්නන් තොග පිටින් ඇත
ලාඕජී සමග අලියා බීම මැත
දොඩවයි උනුන් ගුණ කලඳක් නැතුව කැත

තරු පිරිවර නටවති ටෙලියට ගෙන්නා
පොඩි උන්, නටන උන්, ගයනා උනුත් වෙනා
කලාබරිත සංවේදී සියළු දනා
අපිත් බොමුකෝ වීවා සිත් සනසමිනා

පිටි උවමනා නැත තම්බන්නට කැවුම
රබං ඕන නැත සීඩී එක දැම්ම
උණ වෙඩි, කැට ගැහිලි වැනි බොරු ගොං වැඩම
ටෙලියට මූණු දාගෙන ඉමු විසිපැයම

නෑගම් ඕන නැත පෙට්‍රල් පිච්චේයා
ස්කයිප් එකෙන් දිව දිව ගෑ හැක්කේයා
නානු නුවමනයි අපි හර්බල් ගෑයා
අවුරුදු කුමරු හෙට පොලේදි විකිනේයා

Dreaming Star | සිහින දකින තාරකාව

ඒහ්. . . මුචා! කී දවසද මල්ලී තියෙන්නේ. . .
ඇවිද ඇවිද ඉඳලා හරියනවද? නරකද ප්‍රැක්ටිස් පාරක් දැම්මොත්?

එළ එළ. . .කොහොමහරි ගොඩ දාල දෙන්නංකෝ අයියා!

මදක් බොඳවී ඇත.වටපිට ඝෝෂාව ද ඇසේ.රැහැයි හඬක් මෙනි.දොරක් ඇරගෙන එළියට ආපු ගමන් යාළුවෝ සෙට් එක චූන් විය.

එළනේ ඩෝ. . . මම දන්නව උඹ කොහොමත් ඕකෙන් ගොඩයනවා කියලා.ඊලඟ ටික තමා ගේම.

බොලා කොහොමද දැනගත්තේ මම ගොඩ කියලාහ්?

ඇයි බොල රට මී හරකෝ! ඔය කොලේ දෙන්නේ වටේ ඔතාගෙන දකුණු අත හොල්ලන්නද? තෝ හිතුවද අපිත් තෝ වගේ රට මී හරක් කියලා. . . කොලේ අරං එළියට එන එකා පාස් කියලා අපි දන්නවා බොලඃ.

හම්මෙඃ . . . සීයට පැනගත්තොත් ඇති.එතනින් එහා ගමේ එවුන්ට ගේම බාරදෙන්න පුළුවන්.මදි පාඩුවට ඉස්කෝලේ මනාප ටිකත් කඩාගත්තනං. . .! මටත් ඕන ජිලක් ප්‍රීති වෙසක් තමයි.

ෂඃ නදිනි බදාගත්තම තියෙන සනීපේඃ

ඔව් මුචලින්ද, ඔයා අද තෝරගෙන තියෙන්නේ නිහාල් නෙල්සන් මහත්තයාගේ, "රෝස මලකුයි නෙළුම් මලකුයි" ගීතය.අද අපගේ ගීත තේමාව වන බයිලා ගීත යටතේ, ඔබ හිතනවාද ඔබට මේ ගීතය සාර්ථකව ගායනා කරන්න හැකිවේවි කියලා.

ඔව්.

කන් කඩාගෙන යන විසිල් පාරකුත් එක්ක, කෙල්ලෝ සන්තෝසේ එළියට දාගන්න බැරුව පොරකනවා.රිතික් රෝෂන් ටී ෂර්ට් එක ගැලෙව්වා වගේ.

ඔව් චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය.
මයේ පුතේ,මගේ පුතා මේ රට වාසනාවක්. ලක් එකක්. පුතා මේ පඩි පෙලේ ඉහලටම යන්න ඕන. මයේ පුතාට ජයෙන් ජය!

ඉත්තූතියි මැඩම්!

ඔව් සමිතා මුදුන්කොටුව මහත්මිය.
ඇත්තටම මුචලින්ද, ඔයා අද ඔප්පු කලා ඔයා කව්ද කියලා. ඔයාට කොච්චර හැකියාවක් තියෙනවද කියලා. මට කියාගන්න වචන නෑ මුචලින්ද. . . මට කියාගන්න වචන නෑ. මට කරන්න තියෙන්නේ මෙච්චරයි.

පුටුවෙන් නැගී සිට ආයුබෝවන් කියයි. සභාවේ විසිල් හඬ දෙගුණ තෙගුණ වෙයි.පස්සෙයි දැනගත්තේ හේතුව සමිතගේ සල්වාර් එක පිටිපස්සේ හිලක් ලු!

ඉත්තූතියි මැඩම්!

ඔව් අවසාන වශයෙන් ඔබතුමා.
මුචලින්ද ඔබගේ වයස කීයද?

විසි එකයි බුදු සිංහල සර්!

ඇත්තටම මුචලින්ද, මේ පශ්චාත් නූතන සංධර්භය තුල එය ඇදහිය නොහැකි කරුණක් වගේම; ධනවාදයේ තුන්වෙනි කාර්තුවේ විභේදනයන්ගෙන් විශ්ලේෂණය වන ව්‍යුත්පන්නයන්ගෙන් සහ භාව්‍යමය ප්‍රපංචියන්ගේ අනුභූතීන්ගෙන්. . .

ඇති සර්! ඉත්තූතියි සර්!

ඔව් මුචලින්ද, ඔබට මේ වෙලාවේ මොනවාද හිතෙන්නේ?

හ්ම්ම්ම්. . .. චූ බරයි

ඔව්ව්ව්ව්. . .අවසන් පස්දෙනාගේ වටය සඳහා ඉදිරියට යන්නේ මුචා ද? ශිහාන් ද? අපි කෙටි විරාමයකට ගිහින් එමු.

ඔව් නැවතත් කෙටි විරාමයෙන් අනතුරුව.මෙතෙක් කල් මෙම වේදිකාවේ කරටකර තරඟ වැදුනි අතිදක්ෂ ගායකයින් දෙදෙනෙක්.ඔබ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි ඉදිරි වටයට යා හැකි වන්නේ ශිහාන් ද? මුචාද? ඔව්ව්ව්ව්ව් මුචා!

අප්පටඉඩි මොකෝ මචං ශිහාන්.අඬන්නෙපා යකෝ.මොකෝ බඩ අවුල්ද? මලහත්ඉල්ලව්වයි! අන්න ශිහාන්ගේ අම්මත් අපේ අම්මව බදං අඬනවා. හුටාඃ! සමිතාට කලන්තේ දාලා.

හඃ. . .යාන්තන් අන්තිම වටේ!

ඔව් මුචලින්ද, ඔබ මේ අවසන් තර්ඟයෙන් ජයග්‍රහණය නොකෙරුවොත්; ඔබටත් මතක් කිරීමට උදව් කල පිරිසක් ඇති.අප මේ අවස්ථාව ඔබට ඒ සඳා ඔවුන් වෙනුවෙන් ස්තූති කරන්නට උදාකර දෙනවා.

ඔව්ව්. . .මේ තාක් දුරට මා ගෙන ආ ලක්වසී සහ ලෝක වාසී ඔබ සැමට ස්තූතියි.පළමුව මෙම රූපවාහිනී ආයතනය වෙනුවෙන් මා ස්තූති කරනවා,මෙම රූපවාහිනී ආයතනයේ ප්‍රචාරක කටයුතු සඳහා පෝස්ටර් ප්‍රචාරය ගෙන ගිය සුදු නිමල් අයියාව.

ඒ වගේම දේශ දීපංකර වල මාගේ හැකියාව පිළිබඳ ජනතාව උනන්දු කල හෂිත අබේවර්ධන අයියාට, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී පුෂ්පා රම්ලනී මහත්මියට, රංගි හැරිස් අක්කට, බින්කු නාරද තෝමස්, දිනුෂ්ක උදාර, සුභාෂ් ගුණවර්ධන සහ රසික සූරියාරච්චි මහතාට.

මාගේ ප්‍රචාරණ කටයුතු සඳහා දැඩි ලෙස කැපකිරීම් කල ලඟදී විවාහ වීමට සිටින සඳුන් ලක්මාල්ට සහ උදේ හයයි පහට රාත්‍රියට දත් මදින ලිෂාන් පුවකෝවිට ට.

එමෙන්ම විශ්ව විද්‍යාල තුල, මනාප මෙහෙයුමෙහි නියැළුනු ලසිතට සහ උගේ කන් ගොඩ කරන දම්මිනීට, චමිලට, නිලැස්ට, දීපිකා සහ අරවින්දට.

තවද අන්තර්ජාලය තුල මා හට විශාල රසික පිරිසක් ඇති කරමින් සහයෝගය දුන් මලී අක්කා,මගේ මරණය,රවා සහ බ්ලොග් කරුවන්ගේ එකී මෙකී නොකී හැම එකාටම.

තවද කෙදිනකවත් මා අත් නොහැර ගිය මගේ මිතුරු කැල සහ නෑදෑ පරපුරට.

ඔව් අපි දැන් මද විරාමයකට යමු.

ෆුඃ

ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .!

හුටාඃ. Alarm එකෙත් Snooze එක. හයහමාරට ලෑස්තිවෙලා එලියට බැස්සේ නැත්තං ට්‍රැෆික් තමයි. ෂික්! කෝ යකෝ මගේ සරම. සරම නැතත් කමක් නෑ; කෝ යකෝ මගේ සම්මානේ??? කමක් නෑ අද රෑටම ඇවිල්ලා හොයනව එක්කෝ.

Wednesday, April 7, 2010

සර්පයා

මෙච්චර ගස් ගොඩ මැද්දේ හිටියත්
කොලයක් ඔළුවට වැටුන්නැතී
කපුටෝ හතර වටේටම
ඒත් වසුරු පිඩක් හෙලුන්නැතී

ගස්මුල පස් කාගෙන ඉන්න මාව
හොරැහින් බලලා හිනැහුන
ඔයාගේ කෙහෙ රොදක්
කන වටේට අහක් කරලා
ලස්සන තලෙළු හම මැද්දේ
එම්බොස් වෙච්ච රෝස තොල් පට
හපන්න හදනකොටම

කොල ගොඩක් අස්සෙන්
ඔළුව උස්සලා
ගෑණිව බය කරපු
මාවත් ගස්සපු
සර්පයා
උඹයි ගැරඬි පැටියෝ. . .

Sunday, April 4, 2010

කෙළගැණුම අවසන කෙළවීම.

දෙදෙනෙකු කෙලගති
මයික් එකෙන් කියවති
වටේ පිටේ උන්ටද කෙලවති
ටයිටල් හම්බෙති
උඩින් පනිති
පයින් ගසති
හොර කරති
කර අරින්නෝද වෙති
ලොක්කෝද සෙට් වෙති
සල්ලි දමති
ගේම නැගලා යති.
මේ ලාංකීය දේශපාලනය නොවේ.

පහේ එකා ටූම්බ්ස්ටෝන් ගසති
තීන්ත ගෑ ගමන් බිත්තියේ
ඔරලෝසුවටත් කලින් පෝස්ටර් වදිති
පච්ච කොටා ඇත.
නෙක නෙක ඇඟිලි හැඩය.
ජෝන් සීනා පොඩි එකාගේ ඔලුවට ගහලාය.

බයිට් වෙති
කොමඩිද ඇත
තොග පිටිං අසාධාරණකංය
බයද හිතෙයි
නාට්‍යමයයි
හැබැයි මෙගා නොවෙයි.

උන්ට ඩොලර් පෙරෙති
නෙට් බිලයි, විදුලි බිලයි,
අපිට වින්දනයයි.
ඒත් ඩවුන්ලෝඩ් වෙති.
ස්‍රීස්...!
දැන්ත් සී.ඩී එකක් පයට පෑගුනි.

Tuesday, March 30, 2010

මහිත හා එහිත

ඒ හඬ දුක්මුසුය
පොතෙහි වෙලෙන්නට එළියක් නොමැතී
මාමයිට් බෝතල් අඩිය
බූමි තෙලෙන් සිඹියි

මටද අද දවස හරි නැත
ෆිට් නැත
කමෙන්ට්ස් බලන්නට
කරන්ට් නොමැතී

ඈ මුහුණතද
ඇඹුලක් දිව ගෑ සේය
වැඩි ගානට ගත්තු උඩ කෑල්ල
අනිත් එකියෙක් ඇඟලාගෙන වගේ එකක්

Wednesday, March 17, 2010

බයටයි ලියවුනේ. . .!


කරනට දෙයක් නැත සිත මා ඇත සෙල්ලී
මොකක් ලියන්නද උත්තර ඇත ගල්වී
තව පැය විසිපහක් ඉක්මුනු තැන කල්හී
කොලේ තුලින් මාරයා අත වනනු ඇතී

මගුල්, උපන් දින සාදය සතර අත
මැරියන් සමග රාජ්‍යයේ සරණ වැද
මිතුරන් එකතු වී කල කෙළි මතකේ ඇත
හෙට පලදේවි මේ සියලට තබා තිත

පේළි සතරකී මහ ලොකු කාමරයේ
උඩ බිම බලනු තහනම් වෙයි එම තලයේ
පෑනක් කටේ රඳවාගෙන සිටින පැයේ
උත්තර මතක් වේදැයි මට බියක් තියේ

Friday, March 12, 2010

නෝ ප්‍රොබ්ලම්

අතේ දිලෙන
රාහු අපල මුද්ද

බෙල්ලේ ඔතපු
යන්තරේකුත් එක්ක

උදේ පාන්දරත්
දේව ආශිර්වාදේ ලබලා

එළියට බැස්සේ
හිතේ නිදහසෙන්
ඒත්. . .

උඹට පිං
මට ඇත්ත කියලා දීපු
ඩ්‍රයිවර් මහත්තයෝ. . .!

Thursday, February 25, 2010

මැරිච්ච වීරයා

මම ෂාරුක් ඛාන් වෙමි.
මම කමල් අද්දරාරච්චි වෙමි.
මම ජෝ, ජිම් කේරි හෝ ගාමිණී වෙමි.

කය සහ රුව එයාකාර නොවුවද
මට ඔවුනට වඩා හැකියාවක් ඇත.

ප්ලාස්ටික් ස'ජරි නොකලත්
මා සිනාසෙන මුහුණක් සාදා ඇත.

කුණු කතා, කුප්ප කතා, විහිළු කතා කියමින්
ඉලිප්පෙන හෙල්ලෙන මුචාගේ මූණත්තහඩුව
යට කඳුළු බිඳු ගැලීමට තැන් නොමැතිව සිටී.

නැවතත් මා සොයාගත යුතුව ඇත.
මීලඟ බ්ලොගට පෙර මම විසින් මා උපද්දවමි.

Thursday, February 18, 2010

. . ..ට්ටාඋඩු බස් එක.

මේ මාතෘකාව මෙලෝ රහක් නැති උනාට වෙනදා වගේම ගත යුත්තකුත් නැති උනාට,මේක නොලියම බැරි නිසයි මම ලියන්නෙත්.අනිත් එක ඉතින්,මගේම කියලා ඩොමේන් එකක් නැති උනාට මගේ බ්ලොග් එකනේ.මම ලියන්නන් ඕගොල්ලෝ කියවන්න.ඊට පස්සේ ඕගොල්ලෝ කමෙන්ට් ලියන්න මම කියවන්නන් :-දිව දොට්ට .මේක විනාඩි හතලිස් පහක විතර සිද්ධියක්.ඒ තමයි මම අද ආපු බස් එක.ඉතින් ඔය කියන බස් එක තමා මම ආසම වගේම මම දෙවනියට වැඩිපුරම යන එන බස් එක.වැඩිපුරම යන්නේ 154 උනාට,මම මේ කියන්න 255 සම්බන්ධව මට හරිම ප්‍රේමණීය සම්බන්ධෙකුත් නැතුව නෙමෙයි <තුන.


ඔන්න ඉතින් අද මම කොට්ටාවෙන් 255ක නැග්ගා වැඩ වගයක් ඉවර කරලා.හත්තිකේ ඒකේ පට්ටෙට සෙනග.වෙනදට එහෙම නෑ.ඒකත් එතන ඉඳන්ම කතාව අමුතුයි.මුලින්ම දැක්කේ සුද්දියෙක්ව.ඒකි බස් එක ඇතුලේ මිනිස්සුන්ගේ ෆොටෝ ගන්නවා.ගෑනුනන් ඇඹරි ඇඹරී හිටියා,හරියට කැමරාව කොන්ඩම් එකක් වගේ හිතාගෙන.පිරිම ටික නං කැමරාව ඇතුලට බහින්න උනත් ලැහැස්තිය.ඒ ඔක්කොම අස්සේ කොන්දා සහෝ කෑගැහුවා "ටිකට් ගන්න බලන්න" කියලා.එතකොටම පොඩි එකෙක් කියපි "ඉතින් දෙන්න" කියලා.ඒක උනා විතරයි උගේ අම්මත් ඇඹරෙනවා.ඒ අස්සේ අර සුද්දි අර පොඩි එකාගෙත් ෆොටෝ එකක් ගත්තා.මගෙත් එකක් ගත්තා."අලි ඇඟක් තියෙන නයෙක්" කියලා හිතලා වෙන්නැති.ඔන්න ඉතින් බස් එක යන්න පටන් ගත්තා.මූ මුලින්නං හෙන හෙමින් ගියේ.බස් එකේ හෙවනට වෙලා මිනිස්සු පයින් ඇවිදගෙන ආවා.ඒ තරමට හෙමින් ;-හිනා .මෙන්න බොලේ එක පාරට රියදුරු මහත්තයගේ කලිසම අස්සට කඩියෙක් රිංගලාද කොහෙද මූ හෙන ගහන්න වගේ ඒක එලවන්න පටන්ගත්තා.ඒ එලවිල්ල නං අර කපුගේ මහත්තයගේ පාරේ වත් එලවන්න බෑ.ඒ කිව්වේ මේ "කවුරුත් එන්නැති,කවුරුත් දන්නැති,මල් පෙති ඉහිරුනු මල් පාර".බස් එකට කිලෝමීටරයක් ඉස්සරහ ඉඳන් මිනිහෙක් අත දැම්මොත් ඌට නගින්න තව කිලෝමීටරයක් දුවගෙන එන්න වෙනවා.ඊටත් වඩා වැදගත් සතෙක් තමයි ඒකේ හිටපු කොන්දා සහෝදරයා.මිනිහට නං තිබ්බේ අමුතුම තදියමක්.ඉක්මනට ටිකට් ගන්න, ඉක්මනටනගින්න, ඉක්මනට ඉස්සරහට යන්න. . .ඒ මදිවට ඌ මාර ඇඩ්මන්.ඌ හෙන එක්ස්පීරියන්සඩ් කියලා පෙන්නන්න මූ හෙන වේගෙන් වැඩ කරන්නේ.කොත්තු ගහනවා වගේ ටිකට් මැෂිමට ගහන්නේ.ඌ තිහක් ඉතුරු දෙනකොට හතලිහක් බිම වැටෙනවා.ඔය ඔක්කොම අස්සේ මාත් ගිනි බයෙන් අල්ලගෙන බස් එක පිළියන්දලට ආවා.

ඔන්න ඉතින් හෝස් ගාලා සද්දයකුත් දාලා ඒක නැවැත්තුවා.ඒකත් කොටුව ඉස්ටේෂම වගේ හැම හත් ඉල්ලව්වම එතන නවත්තනවා පැය ගනං.ඉතින් ඔන්න මිනිස්සුත් ගොඩක් බැහැලා ගිහින් නිදහසේ වාඩි උනාම බස් එකට නැග්ගා සින්දු කියන ඩයල් එකක්.මෑන් අමුතුයි.ලස්සන ඩීසන්ට් පාත්තු දෙකක් දාලා ගිටාර් එකකුත් අරගෙන (ආහ්..වැරැදියට හිතන්නෙපා මිනිහා අනික් ඇඳුනුත් ඇඳලයි හිටියේ).ඔන්න මිනිහා කිව්වේ මම ආසම ඒත් ඉක්මනටම අමතක වෙන,වගේම මෙලෝ වචනයක් මතක හිටින්නැති සින්දුවක්.මට දැනුත් ඒක මතක නෑ.ඉස්සරත් මට එහෙම සින්දුවක් තිබ්බා.සමන් ද සිල්වා ගේ "නියරේ පියනගලා".ඉතින් ඔය විදිහට මේකත් කවදාහරි මතක හිටීවි.මිනිහා ඒක මාරම ලස්සනට කිව්වා.ඇත්තම කියනවානන් සමිතා මුදුන්කොටුව හිටියා නං බිම පෙරලිලා වඳින සයිස් එකට සින්දුව කිව්වා :-දිව දොට්ට .මම කවදාවත් ඔය හොර හිඟන්නොට සල්ලි දෙන එකෙක් නෙමෙයි.ඇත්තටම මේ විදිහ හැකියාවක් තියෙන මිනිහෙක්ට සල්ලි නොදී හරි නෑ.කොහොම උනත් බස් එකේ හිටපු ගොඩක් මිනිස්සු හුගක් හොඳට මිනිහගේ හැකියාව ඇගයුවා.ඇත්තටම ඔය විදිහේ ටැලන්ට් එකක් තියෙන මිනිස්සු. . .සිහින තරු,සුපිරි තරු වෙන්න හදන්නේ නැතුව මේ වගේ එකක් කලා නං අඩු තරමේ බස් එකෙක් යන මිනිස්සු ටිකවත් හොඳින් සතුටෙන් යනවා.ඊට පස්සේ බස් එකට නැග්ගා කකුල ගැලවිලා අතට සෙට් වෙච්ච එකෙක්.නියම ඇම්ඩන් කැරැක්ටර් එකක්.ඌ කතා කරන්නෙත් නෑ.සල්ලි දෙනකන් යන්නෙත් නෑ.ඌත් මොකද්ද මන්දා හත්ඉල්ලව්වක් කරලා බැහැලා ගියා.

ඔන්න ඒ වෙලාවේ තමයි එතන සන්ටෙල් එකක් වහලා ඒකේ කෙල්ලෝ දෙන්නා බස් එකට නැග්ගේ.උන් වතුර බොන්නෙත් පපුව අල්ලගෙන.අහවල් එක දකීවි කියලා.මට ඉතින් කියන්න හිතුනා ඔය දොඹ ගෙඩි දෙක බලලා වැඩක් නෑ.මං වෙනුවෙන් රන් තැඹිළි ගෙඩි දෙකක් තියෙනවා කියලා ;-හිනා .එතකොටයි දැක්කේ උන්ගෙන් එකෙක්ගේ ටී ෂර්ට් එහෙක ගහලා තිබ්බා "Face Ass Twins" කියලා.ඒක නං හැබැයි ඒ කෙල්ලට අනුව ඇත්ත.ඒකිගේ මූනත් පශ්චාත් ප්‍රදේශය වගේම ඇති.හැබැයි පශ්චාත් ප්‍රදේශය ඊට වැඩිය ලස්සනදත් මන්දා :-දිව දොට්ට .ඔන්න ඔව්වත් බලාගෙන මම ආවා මොරටුව යුනිය ගාවට.එනකොටම එකෙක් පාර පනිනවා.ඌත් ඇම්ඩන් ලුක් එක තියෙන එකෙක්.උගේ දකුණු අතයි, දකුණු කනයි ෆෝන් එහෙකට බද්ධ වෙලා.උගේ වම් පැත්තම ඔත්පල වෙච්ච ලුක් එකක් තිබ්බේ (ඒ පැත්තටත් ෆෝන් එකක් නැති හින්දා වෙන්නැති ).මම ඌට ධනික කියලා තමයි කතාකරේ.අනේ වාසනාවන් ඌ මෙලෝ සද්දයක් නැතුව රඹුටන් ගහ දැකපු වවුලා වගේ ඇවිල්ල බස් එකේ එල්ලුනා (අඩෝ ධනිකයා,තෝ මේක කියවනවානං මම තොට හොඳවැයින් කුණුහරුප තුනක් කිව්වා කියලා හිතාගනින්.)මීට පස්සෙවත් හරියට පාරේ පලයං.මම වගේ(නැතුව).කොහොමින් කොහොමින් හරි ඔය විගඩම් බලාගෙන මම ආවා කටුබැද්ද හන්දියට.එතනින් නැග්ගා මාර අක්කා කෙනෙක්.එයාගේ මූණ එම්බාම් කරපු ලුක් එකක් තිබ්බේ.සුදූ වෙලා.බෙල්ල කලුයි.වඩාත්ම වැදගත් එයාගේ ඇඳුම.ඒක මාර ඇඳුමක්.මම හිතන්නේ ඒක මොකක් හරි ලොකු කොම්පැනියකින් ඇනිවසරියට මහපු එකක් :-දිව දොට්ට .ඒ අක්කගේ....... .අනේ මන්දා ඕවා කියලා මේක කියවන අහින්සක හිත් තියෙන, පෝය දවසට දකුණු අත පාවිච්චි කරන්නේ නැති, කොකාකෝලත් ෂැන්ඩි කරලා බොන (අරක්කු වලින්) පොඩි උන් නරක් වෙන හින්දා මම නොකියා ඉන්නං.ඔන්න ඔය වගේ සර්ව ආතල් බස් ගමනකින් පස්සේ මම ඒකෙන් බැස්සා.

Sunday, February 14, 2010

වික්ටර්. . .සියල් සපිරි හඬ

චාරිකාවෙන් පසු ඇහැරුනේ දැන්ය.
ගී තාලයන් තවමත් සිතේ ඇත.
ගිගිරි ගීත රාවයෙන් තලන්න ගත් බෙරය
හිත මිතුරු සුළඟින් තලා නිමකලෙමු.

මවකගේ මළගමකි.
හීන් මියුරු හඬක් ඇතුලින් ඇසුනි
ඇඬුම් දුක් සුසුම් වලට මුසුව
"ආදරයේ උල්පත වූ අම්මා"ය.

ඒ සොඳුරු ගැහැණිය සහ මම
දෙනෝදහක් මැද අතරමංව ඇත.
ආදරය ගෙන යන නහර ගොඩ මැද
බිය සැක නහරද යයි.
සිත දෙඩූයේ. . .
ඉඳුල් නොවේ නම් රුදු මිනිස් ඇසින්

වෙසඟ පැමිණ ඇත.
සුපිරි සිහින තාරකාවෝ වෙසඟ තේමා කරති.
සුරේන්ද්‍රට "දෙවුරම් වෙහෙරේ" දී
ෂාන් "බුදු හාමුදුරුවො" ගයයි.

උස් නිදහසය.
වාහන පේළි,ලොක්කන්ගේ ආගමන
සහ බඩු විකිනිල්ලට අමතරව
දෑ බැති ගීයටද අඩහෝරාවක් ටෙලියේ වෙන්විය.
ගොළු මුහුදේ මුතු ඇටේ තුල
අපි ඔක්කොම රජවරු වූයෙමු.

වැලන්ටයිනට සතයක් අතේ නොතිබිච්ච මං
ලාබ කොලයක රනින් වටින පෙළක් ලීමි.
"හිනැහෙන්න රෝමියෝ මමයි"
නමුත් ඇයට මා රාමරාජයෙකි.

ඔබ සහ ඔබගේ සදා තරුණ හඬ සදා කල් අප අතර පවතින්නට පතමි!

වැලන්ටයින් පැතුම්


හිතට සැනසුම දෙන
ඔබගෙ නමටම අදරින
හදපිරි සතුටකින
වැලන්ටයිනෙට පැතුම් ගෙන එන

කන්නට නිවන තෙක් පවුල්
තොසින් නොමව සිත් තැවුල්
වෙන්නට අවුල් නිරවුල්
මත්වෙමි ඔබටම තුරුල්

සුන්දර සිරුර මත්කර රාගික රසයෙන්
තුරුළුව සිතින් ගිලෙමින් ආදර හැඟුමෙන්
ලෝ සැම දනා විඳිනා මෙය රිසි අයුරෙන්
තොසින් විඳින්නෙමි අදරින් සහ සෙනෙහෙන්

දෙනෝදහක් මැද රස තොල් සිපගනිමින්
පෙම්වත් යුවල් මැද විළිබිය තොර කරමින්
විඳිනෙමි ඔබව ඒ අන් හැමටම වැඩියෙන්
තව එක් වරක් අතගෑනම් හිස අදරින්

එක්වුනි, සතුටු වූයෙමු ගැලපෙන සිත් වූයෙන්
විටෙක වැළපුනෙමු ගිලිහෙනු නොහී කෙරෙන්
සෙව්වේ බැලුවෙහිය කරදර නොවන සෙයින්
මට නුඹ, නුඹට මම වෙන්නට පතා යෙහෙන්

Friday, February 5, 2010

ගම අවුලඥ්ඥං. . .හබ පටලඥ්ඥං. . .

මේක ලිව්වේ ගොඩ කාලෙකට කලින් වගේම මේක තැන් ගොඩක එළි දක්වලත් ඉවරයි.ඒත් මේක ටොපියෙ මගේ අලුත්ම ලේබල් එක වෙච්ච "සින්දු විකෘති" එකට ගැලපේවි කියල මතක් උන හින්දයි මේකට දැම්මේ.

ගම අවුලඥ්ඥං
හබ පටලඥ්ඥං
ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං //

වැලි වල පාටට ඇඳගෙන ඒන්නේ. ..
රජාගේ වැඩකට මුලටම ඉන්නේ. . .
රජාගේ වැඩකට මුලටම ඉන්නේ. . .

එස් එල් බී සී පෙරමුණ ගන්නේ. ..
කට වට කර වැට කොහොම බඳින්නේ. . .
කට වට කර වැට කොහොම බඳින්නේ. . .

දොමිකිට කිට දොම් දොම් //

ගම අවුලඥ්ඥං
හබ පටලඥ්ඥං
ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං //

සුදු සරමක් සේදීම. ..
කරමින් සැමදා උදේම. ..
සතුටකි නුඹට කදීම. ..
අපේ හඩ්ඩෝ. . .හෙහෙහෙහේ අපේ හඩ්ඩෝ. ..

ගම අවුලඥ්ඥං
හබ පටලඥ්ඥං
ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං //

වැලි වල පාටට ඇඳගෙන ඒන්නේ. ..
රජාගේ වැඩකට මුලටම ඉන්නේ. . .
රජාගේ වැඩකට මුලටම ඉන්නේ. . .

එස් එල් බී සී පෙරමුණ ගන්නේ. ..
කට වට කර වැට කොහොම බඳින්නේ. . .
කට වට කර වැට කොහොම බඳින්නේ. . .

දොමිකිට කිට දොම් දොම් //

හුණු පත්තර කියවීම. ..
රජාට කඩේම යෑම. ..
විපක්සෙ අල්ලං කෑම. ..
නවතීදෝ. . .හෙහෙහෙහේ නවතීදෝ. ..

ගම අවුලඥ්ඥං
හබ පටලඥ්ඥං
ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං //

දොමිකිට කිට දොම් දොම් //