"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Sunday, September 30, 2012

සුබ රාත්‍රියක් මිත්‍රයා!


උඹෙයි මගෙයි යාළුකම ඇතිවුනේ කොහොමද කියන එක දන්නෙ උඹත් මමත් විතරක් වුනාට ඒක තාමත් කවුරුත් නොදන්නෙ උඹෙත් මගෙත් යාළුකම අප්‍රසිද්ධ නිසා වෙන්නැති. අපි ඉස්කෝලෙදි මුණගැහිච්ච යාළුවො නෙමෙයි. මොරටුවෙදි මරදානෙදි ටොරිංටන් වගේ කිසිම තැනකදි උඹත් මාත් මුණගැහිල නෑ. අවුරුදු තුනක් පරණ අපේ යාළුකං මේ විදියට එළියට ඇදෙන්නෙ, උඹත් "අටවක පුත්තු" ඇතුළෙදි ලියනගේ අමරකීර්ති දමයන්තගෙ ඔළුව ඇතුළෙ මවපු අඩහඳයා වගේමදෝ කියලා මට තාමත් හිතෙන නිසා. මගේ ජීවිතේට මෙච්චර අප්‍රසිද්ධ යාළුවෙක් මට ඉඳල නෑ වගේම උඹ තමයි මම මේ ජීවිතේ රැකපු ලොකුම රහස වෙන්නෙත්. මේ වෙද්දි උඹ මැරිල ගිහින්. ඉඩක් ලැබෙන මුල්ම මොහොතෙ මං උඹෙ පෙට්ටි ගත වෙච්ච රූපෙ බලන්න එනවා. මොකද්ද ගේන්න ඕන පොත? උඹට එහෙදි මෙහෙ වගේ නිහඬ විප්ලව කරන්න වෙන එකක් නැහැ. එනිසා ගෙනිහින් කියවපං! බුකොව්ස්කිගෙ "පෝස්ට් ඔෆිස්".

මං ගෑනුන්ට වටිනාකමක් දීල සැලකුවා. ඒත් උඹ ඒකට කැමතිවුන්නෑ. උඹ, උඹේ කෙටිකතා ඇතුළෙදි මගෙත් එක්ක ජීවත්වෙච්ච මං උඹට කියල තියෙන ගෑනුන්ගෙ චරිතවල කුණුම පැත්ත විතරක් වැමෑරුව. උඹට මතකද මං පපු කැවුත්ත හූරගෙන ආදරේ කරපු වෙනින් එකෙක්ට අයිති ගෑනි. මං ඒකිගේ පණිවිඩයක් නැති එක ගැන වද වෙද්දි "උන්ට ඕන ආදරේ විතරයි. මිනිහගෙන් අඩුවෙද්දි උඹෙන්. නැත්තං ආපහු මිනිහගෙන්. වැඩි ප්‍රතිශතේ නීත්‍යානුකූලෙට. උන් ආදරේට නෙමෙයි ආදරේ, ආරක්ෂාවට"  උඹ මහ නැහැදිච්ච විදියට කිව්ව. උඹේ මහ දෙපිටකාට්ටු කතා තිබ්බ. මගේ ගෑනි මං අරක්කු බොනවට මොකුත් නොකිය හිටපු එකට උඹ බැන්න. "ඒකිට ඕනකමක් නෑ". ඒත් උඹ පොදුවේ ගෑනු වරිගෙටම බනිද්දි, ගෑනුන්ගෙ අරක්කු විරුද්ධෙ හේතුවක් කරගත්ත. උඹ හිතුවෙ මගේ පැත්තෙං විතරයිද? ඒවගේම, අහවල් එකටද? ආදරේට ඔච්චර බයින උඹ නන්දා මාලිනීගෙ හද විළ කළඹන, ආසම සින්දුව කරගත්තෙ.

අපේ ජීවිත වල අපි එක්කහු වෙලා කරපු බැරෑරුම්ම රාජකාරිය, උඹෙත් මගෙත් ජීවිත වල තනි තනියෙනුත් කරගහපු බැරෑරුම්ම ප්‍රශ්නෙ වෙන්නැති. ඒ රාජකාරිය කට්ටිය තවමත් හොයන, මිනිස්සු නාමමාත්‍රිකව තරහා වැඩක් වෙච්ච එක අපිට ඒ දේ දිගටම කරන්න කොච්චර හයියක් දුන්නද?. ඒකෙන් ආණ්ඩු හෙල්ලුනාද?, කට්ටිය තරහ උනාද කියන එක අපි තාම දන්නෙත් නෑ මචං. ඒක දැනටත් නැවතිලා නිසා, උඹේ මරණින් පස්සෙ ඒකට ආපහු අමුතුවෙන් නවතින්න දෙයක් නෑ. උඹේ මරණෙ අභිරහස් එකක් විත්තිය දන්නෙ උඹත්, උඹව මරවපු එකත් මමත් විතරයි. ඌ තාමත් නොදන්න දෙයක් තියෙන නිසා, ගිය සතියෙත් පුංචි බොරැල්ලෙදි ඌ මා එක්ක හිනාවුනා.

ඔක්කොම ඉවර වෙලා මචං. මිනිස්සු දැන් හිනාවෙවී. මාත් උං එක්ක හිනාවුනා. මං ටිකක් බිවුව. මේ කතාව ලිව්වෙ දවස් දෙහෙකට. ඩී නයින්ටියෙන් වැඩක්ගන්න ඕන. සල්ලි වලට එහා වැඩක්. මගේ ගෑනිගෙ ආදරේ ඇතුළෙ ගිළිල ඉන්න එක මේ දුක ඈතින් තියාවි. ඒත් ඒකිටත් මටත් කසාද සහතිකයක් නැති නිසා මේ දුක ආපහු ආපහු ලඟට එනව මචං. හීනි අරක්කු වඩියක් ඒ දුක වැඩි කරපුදෙං. උඹට සුබ රාත්‍රියක් මිත්‍රයා!

Wednesday, September 26, 2012

හොර ගෑනියෙක්ට



පෙම් දළු අගිසි හිත් කොණින් දිදුලන කලට
එහි වර වඩන හිරුටද
කොල ඇබින්දක හිත් කවි ලියන
විකල් වුනු කුරුල්ලා අමතකද?

වින්ද සැප කඳ සිතින් මගහැර‍
උඹ ගිහින් මට ගන්ඩ බැරි දුර‍
කොලය මත බත් කන්ද මහමෙර
පිච්චියන් බත් යටින් ගින්දර

තෙරක් හොර කරත් හිත වට
ගියත් පෙම බැදන් හිත මට‍
හංගපන් උඩින් පිටතට
ඉන්ඩවෙයි නැතොත් අකලට

Sunday, August 26, 2012

සඳ ගිනිගත් මහ දවාලෙ..


වැහි වළාකුළු බොරව ගිය
බොරව ගිය මුත් නොවසින
නොවසින මුත් කඳුළු වැසි මත
මත මතින් ප්‍රේමයකි දළුලන


නුඹත් මා ප්‍රේමයෙන් වෙලෙමින්
ගතෙහි ඉඳුරන් සනහනු පිණිස
එක්ව ගිය මහ ගිනි දවාලක්
නුඹට මතකද සොඳුරිය


ප්‍රේමයේ සුපහසින් දළුලා
නුඹත් මා බැඳි අත්පසුරින් වෙලිලා
රවුම් තල මත ඇඟිලි ඉරි අඳිමින්
අපට හස නැඟුනු සැටි මතකද සොඳුරිය


දැන් මා නුඹට, 'උඹ'
පසක් කරමින් නුඹත් මට
ගෙවෙන්නේ සංක්‍රාන්තියක්මද?
මමත් නුඹ මෙන් සිතමි සොඳුරිය...


Friday, August 24, 2012

Friends With Benifits

නින්ද නොගිය හද ගත නිදි කඩන සඳ
කැන්ද නොගිය දුක හිත වට දුවන ලෙද
වින්ද සෙනෙහසට පිරි දෙහදකින් වට
යන්ද සුරපුරට ඝන කඳු රුපුන් මැද

පීලි තුනක රැඳි අප ජීවිත අතරේ
ඔබ මම පීලි දෙකකය හද බැඳි අතුරේ
තෙවැනි පීල්ලේ සහකරුවන් විතරේ
පෙම යට කර නුඹ හට පවසමි 'මිතුරේ'

විසල් හදක බර මුළු සිරුරටම බෙදා
තුරු මල් පිරි සැලෙන හැඟුමක සුවය බදා
අනඟ රජ අපට මල් හී සැරය විදා
එක් කළෙහිය නොනිමෙන ගිනි හදෙහි සදා

Thursday, August 16, 2012

මැහැල්ල මියැදෙන්ට මැලිවෙත්

උන්න හැටියට සසර නොමදැන
වින්ද සැපකඳ සිතින් මදිවද
කන්ද උඩ අප වින්ද පෙම් සඳ
සබඳ දැන් මා කෙසේ විඳිමිද?

අරුනෝදයේ හිඳ පෙමින් බරවෙන
සියළු දේ අනියතැයි දනිමින
දරුමළුන් එහෙ මෙහේ දුවමින
අපේ සිත් සැනහුවා මතකද?

තඩි ගවුමකිය උපන් දිනයට
නෙත සුසුම්ලයි සිතින් හඬමින
සිත් සියළු දේ මිටට මොලවන්
මැරෙන්නත් කම්මැලියි පෙම්වත


Monday, February 27, 2012

පා පුවරුවක හිඳගෙන ගියෙමි



පා පුවරුවක ගමන් කරන එක ජීවිතේ ඇතුළෙදි සාමාන්‍යය දෙයක් වෙලා. ඒ ජීවිතේ ගැට්ට වෙන්න පුලුවන්. මම මැරෙන්න බය මිනිහෙක් වුනත්, ෆුට් බෝඩ් එකේ බය මට තවමත් දැනිලා නැහැ. මිනිස්සුන්ව වේගෙන් පහුවෙන හැටි, ඒ පහුවෙන මනුස්සයෝ කණ්ඩායම් ඇතුළේ ඉන්න ගෑනුන්ව බලන්න මගේ බෙල්ල බස් එකේ වේගෙට ප්‍රතිලෝමව සමානුපාතිකව ආපස්සට ගිය වේගේ.. උන්ගේ මූන බලලා මගේ මූනේ හිනාවක් ඇඳිච්ච හැටි. ඒ හිනාව උන්ට පෙනුනේ නැතුව ඇති කියලා හිතලා මට දුක හිතිච්ච හැටි. ඒක හරිම සංතෝස දෝමනස්සයක්.. මම කාලෙන් කාලෙට ගෑනු එක්ක කරන ගණුදෙණුවේ පොදු අරමුණ වෙනස් වෙද්දී, ඒත් සමගම පෙර ගණුදෙණු ගැන හිතට එන වරදකාරී හැඟීමේ අවසන් ඵලය වුනේ කවියක් දෙකක් විතරයි. මම ගෑනු දැනගෙන ඉඳලා තියෙනවා. මම ගෑනුන්ට ආදරය කරලා තියෙනවා, මම ගෑනුන්ට බොරු කරලා තියෙනවා. මම ගෑනු එක්ක ඉඳලා තියෙනවා. මම ගෑනුන්ට ආසා කරලා තියෙනවා. මම තවමත් ගෑනුන්ට ආසා කරනවා. මම ගෑනු ගැන හොයන තවත් එක් මිනිහෙක්.

මට ගමනක් යන්න වුනා සෙනග පිරිච්ච බස් එහෙක. මට ගමන ගිහින් එන්න වුනා සෙනග අඩු බස් එහෙක. මට වාඩිවෙන්න සීට් බස් එකේ ඕනතරම් තිබුනත් මම මගේ නිදහස උපරිමයෙන් රකින ෆුට් බෝඩ් එකට ගියා. මම ෆුට් බෝඩ් එකේ වාඩි වුනා. මගේ බෑග් එකේ කොල තිබුනා. කොල තියාගන්න පොතක් තිබුනා. කොල වල ලියන්න පෑනක් තිබුනා. රෑ දහයාමාරට මට ලියන්න එලිය දෙන්න ෆුට් බෝඩ් එකේ හයි කරපු කහ පාට ලයිට් එකක් තිබුනා. මම ලියන්න ගත්තා. ද ෆුට් බෝඩ් කතාව.


මට ලාවට ඇහෙන හීන් හිනා සද්ද එක්ක මම හිතුවේ ඒ පෙම්මුල්ලේ කෙල්ලෙක් කොල්ලෙක්ගේ පපු තුරුල්ලේ හුරතල් වෙන හැටි කියලයි. ඒත් මම වැරදියි. අවුරුදු අටක විතර පුංචි කෙල්ලෙක් තමන්ගේ අම්මා එක්ක හුරතල් වෙනවා. අම්ම කතා කලේ නැහැ. තමුන්ගේ දුවව දකුණු පැත්තෙන් පපුවට තුරුළු කරගෙන අම්මා දකුණතේ මහපටැඟිල්ලෙන් පොඩි එකීගේ හිස අතගාමින් සිටියා. පොඩි එකී හුරතල් වෙවී මිමිණුවේ අම්මගේ ඇඟිලි එක්කද? ඇඟිලි තුඩු අග අම්මගේ මුළු ආදරේම පිරිලා තිබුනද? අම්මෙක් තමන්ගේ දරුවව හුරතල් කරන තැන, භෞතික වුනත් අභෞතික වුනත් ඒ තැන තමයි මිනිහෙක්ව පාලනය කළ හැකි තැන. ඒ පාලනය ඕනම පැත්තකට හැරවෙන්න පුලුවන් නේද?

"දරුවනං දෙන දෙයක් කනවා.. හස්බන්ඩ් එක්කනේ බැරි.." ගැහැනියක් මිනිසෙකුගේ අතෙහි වෙලෙමින් කීවාය. ඔහු එයට සිනාසුනා පමණි. සටනකින් දිනූ සෙන්පතියෙකුගේ රුවක් ඔහු වෙතින් දිස් විය. ඇය ඔහුගේ උරය සපමින් උන්නාය. ඔහු දකුණත ඇයගේ අස්සක ඔබාගෙනය. ප්‍රශ්නය ගොඩනැගෙන්නේ හිමිකාරීත්වය තුළය. ඔබ මග දිගට දකින වස්තර හැඳි ගැහැනු දෙනෙතින් නිරුවත් කරමින් යද්දී, ඔබගේ බිරිඳට ඒ හිමි තැන නැතිද? අසම්බන්ධිත පර ජීවියෙකු හා ගැටීම තුළ පිළුනු වන්නේ ගැහැනිය පමණද? මා ඔවුන්ට ඇහුම්කන් නොදී ඔවුන් අතර හුවමාරු වන අදහස සිතුවෙමි. ඇය බොහෝ විට ඔහු මොහොතකට ආකර්ෂණීය වූ නිසා ඔහු වෙත පැමිණෙන්නට ඇත. මේ වන විට එය තවත් එක් පුස්සක් බව වැටහී අතැර යා නොහැකිව සිටිනවා විය හැක. ගැහැණියගේ සුන්දරත්වය සහ වදකාරීබව තුළ ඔබට සැරිසරන්නට වන්නේ එවිටය. ඇය ඇයගේ ඇරියස් එක විදහා දක්වන ආකාර ඔබට හඳුනාගත නොහැකි වූවා විය හැක. විටෙක එය සපා කෑමකින් එහා ගිය පහර දීමක් වූවා විය හැක. උක්ත මිනිසා සහ ගැහැනිය බසයෙන් බැස ගොස් ඇත.

කොලු රංචුවක් බසයේ විය. රංචුවේ හතරකි. පෙම්වතුන් යුවලක් බසයට නැගි අතර පෙම්වතාගේ කරේ ගැහැනු බෑගයකි. පෙම්වතිය අත ප්‍රසිද්ද ඇඳුම් කඩයක බෑගයකි. පෙම්වතුන් පහු වනතුරු සිටි කොලු රංචුව ඒ සම්බන්ධයෙන් සිනහ වූයේ, පෙම්වතාට නාට්ටාමි යැයි කියමින්ය. අතිශය සුන්දර වන රමණීය සති අන්තයක් වෙනුවෙන් පොදුවේ පිරිමියා මෙන්ම ගැහැනියද කැමතිය. පිරිමියාට එය කියන පමා මෙන්ම ගැහැනියටද එසේමය. නමුත් ගැහැනිය තුළ වන පෙම්වතියට එය කොතරම් කැමති වුවත් අදිමදි කිරීමට කාරණාවකි. ඒ වෙනුවෙන් ඇඳුම් කිහිපයක්, රැජිනකට දිය යුතු ගෞරවාන්විත බවක්, ඉංග්‍රීසි කෑම වේලක් වැය කළ යුතුව ඇත. එය මුල් දෙතුන්වර පමණක් සිදුවුවත්, ඒ වැයකිරීම ඔබට මෙන්ම ඇයටද නිෂ්ඵල නොවනු ඇත. සිනාවූ වුන් බොහෝවිට ගැහැනියක සමග නිදිවැද නැතිවා විය හැක. නැතහොත් සිදුවූ නිදිවැදීම ඔවුන්ගේ නුවුවමනාවට වූවා විය හැක. ගැහැනියකගේ ඉඟටිය ඇල්ලීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඔබගේ ඉදිරි පියවර කුමක්ද?




ගැහැනු පිරුනු බස් නැවතුමකින් මම බැසීමි.


Sunday, February 12, 2012

සොමිය




පොරොන්දු ගොඩ ඇති මහ උත්තමයෙකි
පසෙකින් සොමි දෙන විපක්ෂ නයුවෙකි
ගල පිට උඩ ඇති මහා වරායකි
හයිවේ සොමියට තරලය පිටවෙති

දැයට කරුවලකි.. හැම්බොට එළියකි..
ජෙනා ඇතුලෙ ඇති.. කරුණ ඇවිද යති..
ජැක්සන් පිණැති.. ගුණ ගී වයති..
කිරිත් වතුර වෙති.. හංසයෝ පල් වෙති..

හිරුණි ආවොතින් අපි ගොඩ ගියා වෙතී
ප්‍රේමචන්ද්‍ර ටැටුවට අත හැඩට ඇතී
කරූට උඩින් පබා ආපු රටක නිතී
කොටට හැඳි කතට තත්වය නැටි වනතී

පෙට්‍රල් නං මොකද, හයිවේ සොමිය මදෑ
හොරකං අපිට මොක, රටටම සෙතක් වෙතෑ
ජෙනරල් ඇතුලෙ හිටියට, අනේ අපිට මොකෑ
රටක් කලම්බන මෙහෙයට දිණුම දෙතෑ