"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Monday, February 27, 2012

පා පුවරුවක හිඳගෙන ගියෙමි



පා පුවරුවක ගමන් කරන එක ජීවිතේ ඇතුළෙදි සාමාන්‍යය දෙයක් වෙලා. ඒ ජීවිතේ ගැට්ට වෙන්න පුලුවන්. මම මැරෙන්න බය මිනිහෙක් වුනත්, ෆුට් බෝඩ් එකේ බය මට තවමත් දැනිලා නැහැ. මිනිස්සුන්ව වේගෙන් පහුවෙන හැටි, ඒ පහුවෙන මනුස්සයෝ කණ්ඩායම් ඇතුළේ ඉන්න ගෑනුන්ව බලන්න මගේ බෙල්ල බස් එකේ වේගෙට ප්‍රතිලෝමව සමානුපාතිකව ආපස්සට ගිය වේගේ.. උන්ගේ මූන බලලා මගේ මූනේ හිනාවක් ඇඳිච්ච හැටි. ඒ හිනාව උන්ට පෙනුනේ නැතුව ඇති කියලා හිතලා මට දුක හිතිච්ච හැටි. ඒක හරිම සංතෝස දෝමනස්සයක්.. මම කාලෙන් කාලෙට ගෑනු එක්ක කරන ගණුදෙණුවේ පොදු අරමුණ වෙනස් වෙද්දී, ඒත් සමගම පෙර ගණුදෙණු ගැන හිතට එන වරදකාරී හැඟීමේ අවසන් ඵලය වුනේ කවියක් දෙකක් විතරයි. මම ගෑනු දැනගෙන ඉඳලා තියෙනවා. මම ගෑනුන්ට ආදරය කරලා තියෙනවා, මම ගෑනුන්ට බොරු කරලා තියෙනවා. මම ගෑනු එක්ක ඉඳලා තියෙනවා. මම ගෑනුන්ට ආසා කරලා තියෙනවා. මම තවමත් ගෑනුන්ට ආසා කරනවා. මම ගෑනු ගැන හොයන තවත් එක් මිනිහෙක්.

මට ගමනක් යන්න වුනා සෙනග පිරිච්ච බස් එහෙක. මට ගමන ගිහින් එන්න වුනා සෙනග අඩු බස් එහෙක. මට වාඩිවෙන්න සීට් බස් එකේ ඕනතරම් තිබුනත් මම මගේ නිදහස උපරිමයෙන් රකින ෆුට් බෝඩ් එකට ගියා. මම ෆුට් බෝඩ් එකේ වාඩි වුනා. මගේ බෑග් එකේ කොල තිබුනා. කොල තියාගන්න පොතක් තිබුනා. කොල වල ලියන්න පෑනක් තිබුනා. රෑ දහයාමාරට මට ලියන්න එලිය දෙන්න ෆුට් බෝඩ් එකේ හයි කරපු කහ පාට ලයිට් එකක් තිබුනා. මම ලියන්න ගත්තා. ද ෆුට් බෝඩ් කතාව.


මට ලාවට ඇහෙන හීන් හිනා සද්ද එක්ක මම හිතුවේ ඒ පෙම්මුල්ලේ කෙල්ලෙක් කොල්ලෙක්ගේ පපු තුරුල්ලේ හුරතල් වෙන හැටි කියලයි. ඒත් මම වැරදියි. අවුරුදු අටක විතර පුංචි කෙල්ලෙක් තමන්ගේ අම්මා එක්ක හුරතල් වෙනවා. අම්ම කතා කලේ නැහැ. තමුන්ගේ දුවව දකුණු පැත්තෙන් පපුවට තුරුළු කරගෙන අම්මා දකුණතේ මහපටැඟිල්ලෙන් පොඩි එකීගේ හිස අතගාමින් සිටියා. පොඩි එකී හුරතල් වෙවී මිමිණුවේ අම්මගේ ඇඟිලි එක්කද? ඇඟිලි තුඩු අග අම්මගේ මුළු ආදරේම පිරිලා තිබුනද? අම්මෙක් තමන්ගේ දරුවව හුරතල් කරන තැන, භෞතික වුනත් අභෞතික වුනත් ඒ තැන තමයි මිනිහෙක්ව පාලනය කළ හැකි තැන. ඒ පාලනය ඕනම පැත්තකට හැරවෙන්න පුලුවන් නේද?

"දරුවනං දෙන දෙයක් කනවා.. හස්බන්ඩ් එක්කනේ බැරි.." ගැහැනියක් මිනිසෙකුගේ අතෙහි වෙලෙමින් කීවාය. ඔහු එයට සිනාසුනා පමණි. සටනකින් දිනූ සෙන්පතියෙකුගේ රුවක් ඔහු වෙතින් දිස් විය. ඇය ඔහුගේ උරය සපමින් උන්නාය. ඔහු දකුණත ඇයගේ අස්සක ඔබාගෙනය. ප්‍රශ්නය ගොඩනැගෙන්නේ හිමිකාරීත්වය තුළය. ඔබ මග දිගට දකින වස්තර හැඳි ගැහැනු දෙනෙතින් නිරුවත් කරමින් යද්දී, ඔබගේ බිරිඳට ඒ හිමි තැන නැතිද? අසම්බන්ධිත පර ජීවියෙකු හා ගැටීම තුළ පිළුනු වන්නේ ගැහැනිය පමණද? මා ඔවුන්ට ඇහුම්කන් නොදී ඔවුන් අතර හුවමාරු වන අදහස සිතුවෙමි. ඇය බොහෝ විට ඔහු මොහොතකට ආකර්ෂණීය වූ නිසා ඔහු වෙත පැමිණෙන්නට ඇත. මේ වන විට එය තවත් එක් පුස්සක් බව වැටහී අතැර යා නොහැකිව සිටිනවා විය හැක. ගැහැණියගේ සුන්දරත්වය සහ වදකාරීබව තුළ ඔබට සැරිසරන්නට වන්නේ එවිටය. ඇය ඇයගේ ඇරියස් එක විදහා දක්වන ආකාර ඔබට හඳුනාගත නොහැකි වූවා විය හැක. විටෙක එය සපා කෑමකින් එහා ගිය පහර දීමක් වූවා විය හැක. උක්ත මිනිසා සහ ගැහැනිය බසයෙන් බැස ගොස් ඇත.

කොලු රංචුවක් බසයේ විය. රංචුවේ හතරකි. පෙම්වතුන් යුවලක් බසයට නැගි අතර පෙම්වතාගේ කරේ ගැහැනු බෑගයකි. පෙම්වතිය අත ප්‍රසිද්ද ඇඳුම් කඩයක බෑගයකි. පෙම්වතුන් පහු වනතුරු සිටි කොලු රංචුව ඒ සම්බන්ධයෙන් සිනහ වූයේ, පෙම්වතාට නාට්ටාමි යැයි කියමින්ය. අතිශය සුන්දර වන රමණීය සති අන්තයක් වෙනුවෙන් පොදුවේ පිරිමියා මෙන්ම ගැහැනියද කැමතිය. පිරිමියාට එය කියන පමා මෙන්ම ගැහැනියටද එසේමය. නමුත් ගැහැනිය තුළ වන පෙම්වතියට එය කොතරම් කැමති වුවත් අදිමදි කිරීමට කාරණාවකි. ඒ වෙනුවෙන් ඇඳුම් කිහිපයක්, රැජිනකට දිය යුතු ගෞරවාන්විත බවක්, ඉංග්‍රීසි කෑම වේලක් වැය කළ යුතුව ඇත. එය මුල් දෙතුන්වර පමණක් සිදුවුවත්, ඒ වැයකිරීම ඔබට මෙන්ම ඇයටද නිෂ්ඵල නොවනු ඇත. සිනාවූ වුන් බොහෝවිට ගැහැනියක සමග නිදිවැද නැතිවා විය හැක. නැතහොත් සිදුවූ නිදිවැදීම ඔවුන්ගේ නුවුවමනාවට වූවා විය හැක. ගැහැනියකගේ ඉඟටිය ඇල්ලීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඔබගේ ඉදිරි පියවර කුමක්ද?



ගැහැනු පිරුනු බස් නැවතුමකින් මම බැසීමි.

Sunday, February 12, 2012

සොමිය




පොරොන්දු ගොඩ ඇති මහ උත්තමයෙකි
පසෙකින් සොමි දෙන විපක්ෂ නයුවෙකි
ගල පිට උඩ ඇති මහා වරායකි
හයිවේ සොමියට තරලය පිටවෙති

දැයට කරුවලකි.. හැම්බොට එළියකි..
ජෙනා ඇතුලෙ ඇති.. කරුණ ඇවිද යති..
ජැක්සන් පිණැති.. ගුණ ගී වයති..
කිරිත් වතුර වෙති.. හංසයෝ පල් වෙති..

හිරුණි ආවොතින් අපි ගොඩ ගියා වෙතී
ප්‍රේමචන්ද්‍ර ටැටුවට අත හැඩට ඇතී
කරූට උඩින් පබා ආපු රටක නිතී
කොටට හැඳි කතට තත්වය නැටි වනතී

පෙට්‍රල් නං මොකද, හයිවේ සොමිය මදෑ
හොරකං අපිට මොක, රටටම සෙතක් වෙතෑ
ජෙනරල් ඇතුලෙ හිටියට, අනේ අපිට මොකෑ
රටක් කලම්බන මෙහෙයට දිණුම දෙතෑ


Wednesday, November 23, 2011

උල්කාපාතයක්..


උල්කාපාතයක්...
අහසේ ගිනි අරං
අළු වෙලා පොලොවට වැටෙනා
උල්කාපාතයක්...
ඉන්ද්‍රචාපගෙ අලුත් සින්දුව කන ගාව දෙදරනවා. මම කන්නාඩිය ඉස්සරාට ගියා. මගේ බෙල්ලේ දකුණු පැත්තෙ ජපන් අකුරක පච්චයක්. දකුණු ඇහි බැම හිල් කරගෙන ගිය අශ්ව ලාඩමක හැඩේ කරාබුවක්. හෙට ගැන නිශ්චිත බළාපොරොත්තුවක් හිතේ තියෙද්දිත් මට මේ මගුල් කරගන්න හිත ඉඩ දුන්නේ ඇයි කියන එක මම තාමත් හිතනවා. ඇඟ පුරාම දාඩිය. මම ඒ දාඩිය සුවඳ අස්සේ තිබ්බ ගෑණු සෙන්ට් සුවඳට ඉව කලා. ඒක මැලවිලා ගිහින්. මම මගේ ගෙදර. මෙලෝ බල්ලෙක් වෙන නැති, මගේ ගෙදර. මගේ කරේ නව ගුණ වැලක්. ඒකට මාව හීරෙනවා. ගෙදරටම එකම පුටුවක්ම විදියට තිබ්බ පුටුව වගේ එක හොයාගෙන මම ටොයිලට් එකට ගියා. ඉනේ මහතට රැඳිල තිබ්බ ඩෙනිම දෙතුන් පාරක් දඟලලා ගලවගෙන මම පුටුව වගේ එකේ වාඩි උනා. මම ඒ පුටුව වගේ එකේ වාඩියගෙන බිඩේ ෂවර් එකෙන් මූන හෝදගත්තා. මූනත් පුක වගේ හින්දා අවුලක් නෑ. මම මගේ සුපුරුදු විනෝදාංශෙ විදියට කරපු, නව ගුණ වැල හපන්න ගත්ත. ඒකෙ මෙලෝ ගුණයක් නෑ. රහකුත් නෑ. මම තනි කලු චරිතයක්. තනි සුදු ටොයිලට් එකක් ඇතුලෙ. කාලෙකට ඉස්සර තනි සුදු ටොයිලට් එකක් ඇතුලෙ..

ඇඳුමක් දාගෙන ලෑස්ති වෙයන්. දැන් පොලීසියෙන් ඒවි කුදලන් යන්න..
මගේ හිත මට කිව්ව. මම පුටුව වගේ එකෙන් නැගිට්ටා. පුරුද්දට ෆ්ලෂ් කලාට මොකද, ගිය දෙයක් තිබ්බෙ නෑ. අහිංසක පොලිසියෙ උන්ගෙ අත් වල, මගේ කුණු දාඩිය ගෑවෙන්න ඉඩ තියෙන හින්ද මම නාගත්ත. අහල පහල වේසිගෙ පුතාල මට හිනාවෙන්න ඉඩ තියෙන හින්ද උන් එක්ක හිනාවෙන්න මම දත් මැදගත්ත. ටූත් පේස්ට් කියන ජාතිය මහ වහතු රහයි. ඩෙනිම කුණු ගඳ ගගහ මෙහෙම්ම දාලා ගියොත්, මගෙන් ගෙවල් කුලී ගන්න එකා මගේ අම්ම මතක් කරල දෙස් තියන්න ඉඩ තියෙන හින්ද මම ඒ ඩෙනිමම ඇඳගත්ත. මගේ ගෑනි මම අඳිනවට කැමතිම, කලු ෂර්ට් එකත් ඇඳගෙන මම පුටුවෙ වාඩි වෙලා හිටියා. පුටුව වගේ එකේ. ගෑනි.. ඒකි මගේ ගෑණි..

ඒකි දේවතාවියක්!
මගේ හිත මට කිව්ව. නෑ වෙන්න බෑ. මම දේවතාවියො එක්ක නිදිවැදුන වෙන්න බෑ. හැබැයි ඒකි හරිම හොඳයි. මම වෙනින් එකියෙක් එක්ක හැමිනෙද්දිත් ඒකි අපේ ආදරේ වෙනුවෙන් ඉවසන් හිටියා. ඇත්තටම ආදරෙයි කාමෙයි දෙකක්. මේ ලෝකෙ ගෑණු පිරිමි වෙන්ව ඉපදිල තියෙන්නෙ, උන්ට හැමිනෙන්න ලේසිවෙන්න. අපි ඒ අස්සට ආදරේ ගාවගෙන, හොරෙන් අහු මුලු අස්සෙ හදිස්සියට හැමිනෙන නින්දිත ජාතියක්. ආදරේ ඇතුලේ සෙක්ස් කොච්චර පිරිල තිබ්බත්, එතන්දි ආදරේ හින්ද සෙක්ස් කරනව මිසක්, සෙක්ස් හින්ද ඇතිවෙන බම්බු ආදරයක් නෑ. ආදරේ අමුතුම දෙයක්. ඒකට මගේ වචනෙන් සුදිය කියන්නත් පුලුවන්. එනිසා මිනිස් හිතේ ඇතිවෙන කාමුක අසාවක් නිසා ආදරයක් නවත්තන්න ඕන නෑ. මම මාව සාධාරනය කරගත්ත.

අරකිට ඇනපු පිහිය හොයල තියාගනින්.. උසාවියට දෙන්න.
මගේ හිත මට කිව්ව. පට්ට බැල්ලි! මට හොඳ ගෑණියෙක් ඉඳලත් මම මේකි එක්ක හැමිණුනේ, ඒකිගෙ ඇස් වලින් මට කතා කරපු හින්ද. පව් මගේ ගෑණි. එහෙව් මම ඉඳලත් අර පරට්ටි නිදිවැද්දනෙ අරුත් එක්ක. මට ආපු කේන්තියට ඇනගෙන ඇනගෙන ගියා පිහියෙන්. පරට්ටි තුවාය ඔතාගෙන කාමරේ වටේ දිව්වා. ඒත් මං දිනුවා. "හම්මේ දැනිච්ච සනීපෙ.." හිත මට එවෙලේ එහෙම කිව්ව. මම මිණීමැරුම මතක හිටින්න ඒකිගෙ තනපටක් සාක්කුවෙ දාන් ආව. මම ඊටපහු කෙලින්ම ගි‍යෙ මයෙ ගෑණි ගාවට. ගෑණි මගේ පපුවට තුරුල් වෙලා හිටියා. "අරක ඉවරයි මැණිකේ".. කිව්වම ඒකිගෙ තුරුල තවත් තද වුනා. ඒක මට දැණුනා. "මම ඒ පරට්ටිව මැරුව මැණිකේ". ඒකි මට වංචා කලා.

ඒ පරට්ටි උඹට කරපු දේම නෙමෙයිද, උඹ උඹේ ගෑණිට කලේ පරයෝ..
මගේ හිත මට කිව්ව. මට ඇඬුනා..

එලියට වරෙන්! 
නවත්තපු ජීප් සද්දෙටයි, ජීප් දොර ඇරෙන වැහෙන සද්දෙටයි පස්සෙ මට ඇහුනා. මම පුටුව වගේ එකෙන් නැගිට්ටා.

Wednesday, November 9, 2011

මැණිකෙට



එදා අපි හිඳ
හිටිය විලසට
ජෝඩු ඇත අද
පෙමින් බැඳෙමින

එදා අපි සිටි
ගල් රවුම උඩ
තවම හිඩැසක්
ඉතිරි වී ඇත

අප විහිළු කල
පෙම් ජෝඩු වෙත
විහිළු කරනට
එකෙක් අද නැත

සිලි බෑග්කට
පුරෝලා දෙන
වෙරළු මලු අද
මග බලං ඇත

නරුම ලෙක්චර
ජොබ නිමාවී
එන තුරා අප
උන් බලං ඇත

ඉතිං සොඳුරිය
වෙහෙස දිවියට
අවැසි සුපහස
තුටින් විඳිනට

යමුද ආපහු
අලුත් දවසක
වෙලී ඉන්නට
පෙම් පුරය වෙත

Wednesday, November 2, 2011

මගේ මරණය



**********************************************
2010 නොවැම්බර් 18
බස් රියක් තුල/ කොළඹ
උදෑසන


ඌ මා පසුපසින් එලවා එමින් සිටියේය. මා තවමත් පෙර නැග්ග බසයේ එල්ලීගෙන උගෙන් පැන යන අතරතුරය. ත්‍රී රෝද රථයට සියල්ල යොදවා අත ඉතිරි කරගත්තේ රුපියල් 50ක් පමණි. එය මා හට බසයට ප්‍රවේෂ පතක්ද ගෙන සාමකාමී මරණයක් ලඟා කරගැනීමටද ප්‍රමාණවත්ය. අවසන් වරට උගේ බිරිඳ පැවසූ දෙය තවමත් මගේ දෙසවනේ රැව්දෙයි. "උඹ පර බල්ලෙක්.. උඹලා දෙන්නම එකයි.." මා එවෙලේ අවඥ්ඥාසහගත ලෙස සිනහ වූවා මට මතකය. අතීතයක් ආවර්ජනයෙන් ඵලක් නැත. ඌ පලිගැනීම වෙනුවෙන් කුමක් හෝ සිදුකරනු ඇත. එක්වරම බසය හරස් කර කැබ් රථ දෙකක් නැවැත්වූ අතර පසු පස දොරේ පාපුවරුවේ සිටගෙන සිටි මා එයින් බැස දිවීම අණුවන කමකැයි සිතුවෙමි. හැඩිදැඩියන් කිහිප දෙනෙකු බසය තුල සිටි කලු පැහැති ඇඳුම් හැඳගත් තරුණයින් කිහිප දෙනෙකුටම නොසෑහෙන ලෙස පහර දුන්හ. ඔවුන් බසයේ පසුපසට ලඟා වනවිට එවන් තරුණයන් තිදෙනෙකුම බසය තුල වැටී කෙඳිරිගාමින් සිටි අතර හැඩිදැඩියන්ගේ අවසන් තීරණය වූයේ කලු ඇඳ සිටි සියල්ලන්ටම වෙඩි තැබීමටය. මම කිසිඳු හැඟීමක් දැනීමක් නැත්තෙකු මෙන් ඔහේ බලාගත්වනම  බලා සිටියෙමි. මගේ ඉදිරියටම පැමිණ මුහුන දෙස බැලූ එක් මැරවරයෙක් තවකෙකු අසලට ගොස් ඔහු හා කතා කලේය. ඔහුගේ යම් ඉඟියකින් පසු මා දෙසට එල්ල වූ තුවක්කු කටින් උන්ඩ දෙකක් නිකුත් විය. සිරුර තුලින් දැනුනු දැවීයාමක් සමගම මා බිම ඇද වැටුනි. මා හැඳ සිටියේද කලු පැහැති ඇඳුමකි.

**********************************************

2010 නොවැම්බර් 15
නිවසක/ මීගමුව
සැඳෑව


මා වාහනයෙන් බැස නිවස දෙසට පිය නැගුවෙමි. බිරිඳ පිටතට යන බවක් මට දැන්වූවේ නැත. වේලාව සැඳෑවේ හය පසුවී මිනිත්තු තිහකි. තවමත් විදුලි පහන් දල්වා නැත. නිවස තුල අන්ධකාරය රජයයි. මා දෙගිඩියාවෙන් නිවසට ඇතුල් විය. රේඩියෝව වාදනය වේ.

"සිසිල දෙන මේ නදී තෙරේ... තුරුළු වුනු මාගේ හංසියේ
හැමදාම මේ ලෙසින් බැඳී... හිඳිමු යැයි කීව කුමරියේ
"
 "ම්හ්..." බිරිඳගේ සේයාවක්වත් නැත. තවමත් ගීතය වැයෙමින් පවතී. මා සාලය මැද සිටගෙන ඇය සෙවූවෙමි. විදුලි පහන් දල්වා සෙවුවෙමි. නැත. ඇය පෙනෙන මානයක නැත. මා නිදන කාමරයේ ඇය සෙවීමට ගියෙමි. ඈ ඇඳ විට්ටම අල්ලාගෙන ඇඳට ගොඩවීමට උත්සහ දරමින් සිටියාය. මා ඇය වෙත ඉක්මනින් ගොස් ඇයව ඇඳ මතින් තැබුවෙමි. ලේ විලකි. මගේ බිරිඳගේ උදර ප්‍රදේශය දරුණු ලෙස මුවහත් ආයුධයකින් කපා ඇත. ඇයගේ දෑස් අඩවන්ව ඇත. මා ඇය තුරුලට ගෙන සිද්ධිය විමසුවෙමි. නන්නාඳුනන කාන්තාවන් දෙදෙනෙකු පැමිණ ඇයට දරුණු ලෙස තුවාල සිදු කොට ඇත. ඇය මට අවසන් වරට පැවසුවේ "ඔයාට ඔය දළකාරයෝ එක්ක හැප්පෙන්නැතුව ඉන්න තිබ්බා" යනුවෙනි. මා හට එක්වරම සියල්ල සිහියට නැගුණ මුත් ක්ෂණයෙන් ඇයගේ දෙඇස් පියවීම සහ ගැස්ම නැවතීම හේතු කොටගෙන නැගුණු මතකයන් බිඳක්වත් ඉතිරි නොවුනතර, මා ඇය ඇඳ මතට අතහැර ඇඳ මෙට්ටයට බරදී බිම වාඩිවුනෙමි. මේ මාගේ අකීකරු සිතින්, අත මතට බලය යොදවා ලියැවුනු ලිපියක අවසාන ප්‍රථිඵලයයි. ඇමතිවරයෙකුගේ අත්තනෝමතික ක්‍රියා පිලිබඳ ලියූ ලිපියක් හේතුවෙන් මා ප්‍රිය බිරිඳ අවසන් හුස්ම හෙලා ඇත. ඒ තවත් ගැහැණුන් දෙදෙනෙකුගේම ගැහැණු වීරිය රැඳි පිහි පාරවල් වලිනි. සාක්ෂි නැත. නඩු කියා දිණිය නොහැක. මගේ ලිපියේ අවසාන ප්‍රථිඵලය තව දුරටත් ඉදිරියට ගෙන යාමට මා ඉටා ගතිමි. පිඹුරුපත් සැකසීම හෙටට යෙදිය යුතුය. මා බිරිඳව ඔසවා වාහනයට දාගතිමි. ගමනාන්තය ඉස්පිරිතාලය ලෙස සිතේ රඳවා ගතිමි.

**********************************************


2010 නොවැම්බර් 18
දැඩි සත්කාර ඒකකය/ ශ්‍රී ජයවර්ධනපුර රෝහල
සැඳෑව

මා දෙ ඇස් හරින විට සිටියේ ඉස්පිරිතාලයකය. එය දෙ ඇස් ඇරීම නිසා දැනගත්තක් නොව නහය වටා භ්‍රමණය වුනු ඖෂධ දුගඳ නිසා දැනගත්තකි. මා ඔහේ බලාගත් අත බලා ගෙන සිටියෙමි.  සිරුරේ අප්‍රාණික බව දැනේ. බෙල්ලෙන් පහලට කඳ ඔහේ කඩා වැටී ඇත. එය මාගේ පාලනයෙන් තොර යැයි සිතිනි. මා එය නිෂ්චය කරගනු වස් හරිබරි ගැසෙන්නට ගියෙමි. නමුත් එය වූයේ නැත. වෛද්‍යවරුන් ලේ පරීක්ෂා කරන්නට ඇත. හෙදියන් මා දෙස බැලුවේ පිළිකුලෙනි. HIV ආසාධිතයෙකු වීම සම්බන්ධයෙන් ඔවුන් දරණ මතය දෙස මා බලා සිටියෙමි. ඔහේ බලා සිටියෙමි. එක් උණ්ඩයක් සිරුරෙන් ඉවත් කර ඇත. අනෙක ඉවත් කිරීමට අවශ්‍ය ශාරීරික අවශ්‍යතාව සපිරෙන තෙක් බලා සිටිය යුතුව ඇත. උන් ඒවා කිසිවක් මට කීවේ නැත. මේ මා උන්ගේ හඳුනාගත නොහැකි අමුතු වචන සහ මිශ්‍ර වූ ඉංග්‍රීසි සිංහල සම්මිශ්‍රණයෙන් අහුලාගත් අර්ථයයි. මා කිසිඳු හැඟීමකින් තොරව බලා සිටියෙමි. කට උත්තරයක් ගැනීමට තරම් මා ප්‍රාණවත් වන තුරු පොලීසියෙන් දොර අසලය. හදිසියෙන් රෝගීන් කෙරෙහි බැඳුනු දයාණුකම්පිත සිතින් ඇමතිවරයෙක් රෝගීන් නැරඹීමට පැමිණ ඇත. නමුත් මේ සුවිශේෂී අවස්ථාව උදා වන්නේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ට පමණි. මා සමග බසය තුල වෙඩි කෑ සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු දැනටම මිය පරලොව ගොස් ඇත. මා ද තවකෙකුද ඉතිරිව ඇත. ඇමතියා මා දෙස හිස් බැල්මක් හෙලීය. ආරක්ෂකයින්ට මා හඳුන්වා අවසන් වත්ම ඇමතිගේ රෝගීන් නැරඹීම හදිසි රැස්වීමක් නිසා අවසන් වීය. මට මිය යෑමට ක්‍රම තුනක් ඇත. බොහෝවිට ඉතිරි උණ්ඩය ඉවතට ගතහොත් මා අවසන් ගමන් යනු ඇත. නැතහොත් ඒඩ්ස් රෝගය හේතුකොටගෙන මිය යනතෙක් මා බලා සිටිය යුතුය. නැතහොත් ඇමති සංඥාව ක්‍රියාත්මක විය යුතුය. එසැනින් මා හැර සියලු රෝගීන්ට සිහි නැති කිරීමේ එන්නත් ලැබුණු අතර දෝස්තරුන් සහ හෙදියන් ඒකකයෙන් ඉවත් විය. මද නිහඬතාවයකින් පසු පුද්ගලයෙකු දොර හැර ඇතුලු විය. ඔහු විසින් මගේ සේලයින් බෝතලයටම මොනවාහෝ එක්කෙරුනු අතර මා හිස් දෑසින් එදෙස බලා සිටියෙමි.

**********************************************

2010 නොවැම්බර් 17
ඇමති නිල නිවස/ කොළඹ
රාත්‍රී කාලය

පෙරදින සැකසූ පිඹුරුපතෙහි ඉතිරිය ක්‍රියාත්මක කිරීමට කාලයයි. මා ඇමති බිරිඳට දුරකථනයෙන් අමතා කතිකා අරගත් පරිදි පෙරදින සවස ඇය හමුවට ගොස් ඇයගේ ඡායාරූප කිහිපයක් සහ සම්මුඛ සාකච්ඡාවක් පටිගත කොටගෙන පැමිණියෙමි. ඇමතිවරයා දින කිහිපයකට පිටතට ගොසිනි. උගේ සාක්ෂි නැසීමට පිටත සිටීමේ සංසිද්ධිය මා හොඳින්ම දැන සිටියෙමි. ඇමති නැවත කොළඹ පැමිනෙන්නේ 18 වෙනිදා යැයි ඇමති බිරිය මා හට පවසන ලදී. මා ඇයට වචනය දැමූ අතර ප්‍රතිචාරය සුබදායක විය. අද රාත්‍රියේ ඇය මා වෙනුවෙන් වෙහෙසීමට නියමිතය. මගේ බිරිඳගේ මිය යෑම මගේ ක්‍රියාවන් මග නවතා ඇත. තවත් ඉදිරියට ජීවත්වීමක් හෝ ඒ කෙරෙහි සේයාවක්වත් මා තුල නැත. මා, හිතවත් වෛශ්‍යාවකගෙන් ඉල්ලාගත් HIV ආසාධිත රුධිර සාම්පලය ශරීර ගත කරගතිමි. මා පලිගැනීමේ නොතිත් අරමුණින් ඇමති බිරිය වෙත ගියෙමි. ඇයගේ විශේෂ අවසරය මත මුරකුටියේ පොතෙහි මගේ නම නොලියවුනු අතර, නිවස තුලට ගිය මා වෙත කහ පැහැති දුහුල් රාත්‍රී ඇඳුමකින් සැරසී ඈ පැමිණියාය. දෙතුන් හෝරාවක කාලයක් අප කෙලිදෙලෙන් වෙසෙන්නට ඇත. මා ඇය වෙත මගේ සත්‍ය කතාව කීම ඇරඹුවාය. කියාගෙන සියෙමි. දිගටම..
"මේ ඒ ප්ලෑන් එකේම කෑල්ලක්. ඔයාගේ මිනිහට කොච්චර දැනෙයිද මම උගේ ලිංගික ආධිපත්‍ය ආක්‍රමණය කලැයි කිව්වහම. ආපහු ඌට ඔයත් එක්ක නිදහසේ ඉන්න බෑ කිව්වම. දැන් ඔයත් HIV පොසිටිව් කෙනෙක්. මට වෛර කරාට කමක් නෑ. හැබැ‍යි ඔයාගේ මිනිහගේ වැරැද්ද පාගගෙන මට වෛර කරන්න."
මගේ කතාවේ අවසානය එය විය.
"උඹ පරබල්ලෙක්.. උඹලා දෙන්නම එකයි" 
ඇය පැවසුවේ එපමණකි. මා අවඥ්ඥාසහගත සිනිහවකින් ඇයට සංග්‍රහ කලෙමි. ක්ෂණයෙන් ලාච්චුවක වූ පිහියක් ගෙන ඇගේ වමත කපාගත් අතර, අනෙක් අතට දුරකථනයෙන් ඇමතියා ඇමතුවාය. ඒ ඉතා අසරණ හඬකිනි. එසැණින් මා මගේ ඇඳුම හැඳගෙන පිටතට බැසීමි. වෙලාව පසුදා එනම් 18 වෙනිදා පාන්දර දෙකත් පසුවී ඇත. මා අත ඇති මුදල බජට් ටැක්සියකට පවසා, එපමණක් දුර ගෙන යන මෙන් පැවසූ අතර ඉබාගාතේ පාරවල් ඔස්සේ ගොස් උදෑසන හයට බොරැල්ලෙන් මා බසයකට ගොඩ විය.

 **********************************************


Wednesday, October 19, 2011

"කොස්ස නහන්න විස්සට තියට"



"අන්නාසේ... අන්නාසේ... කොස්ස නහන්න විස්සට තියට... විස්සට තියට"

හේ අන්නාසි වෙලෙන්දෙකි. ගාලු වුවදොර පිටියේ වෙලදාම් කරන්න්නෙකි. ඔහුගේ ලොකු පුතා ඉස්සො වඩේ විකුණයි. මා ඔහු ඇසෙන මානයේ ඔහු පිලිබඳ නිරීක්ෂණයෙන් උනිමි. ලොකු පුතා විටින් විට ගොස් මොහුගෙන් කැරට් අලයක්ළුණු ගෙඩියක් රැගෙන යයි. පසුව දැනගත් පරිදි ඒ ආරක්ෂාව පිණිසය. මහජනාරක්ෂාවට සිටින ඇත්තන් ඉස්සො වඩේ වෙලෙන්දන්ගේ කරට් අලයටළුණු ගෙඩියට බලහත්කාරයෙන් විදින බැවින් ඔවුන් ඒවා ආරක්ෂිතව ගබඩා කිරීමට ක්‍රම සොයාගෙන ඇත. අන්නසි වෙලෙන්දාගේ ලොකු පුතා ඒ සඳහා අන්නාසි වෙලෙන්දාගේ නොහොත් සිය පියාගේ රැකවරණය තෝරාගෙන ඇත. හේ තම අන්නාසි ජනාකීර්ණ ස්ථාන වල සිට මාකට් කරයි.
 
"නෝනල මහත්තයල කාලම බලන්න. අන්නාසි කියන්නේ ආහාර කපන අසිපත කියන එක. දිරවන්නේ නැති කෑම දිරවගන්නබඩේ අමාරුබඩේ පිපුම ඔක්කොටමඕන කොස්සකට හොඳයි. කෑමක් ගනිද්දි දේවල් තුනක් බලන්න ඕන. රහේ ගුණේ වගේම ලාබේ. තුනම මෙතන තියනව මහත්තයා. විස්සෙ පැකට්......තියේ පැකට්...... හරිම රසයි. ලුණු මිරිස් කුඩු පොඩ්ඩක් එක්ක උඩුතල්ලේ ගෑවිගෙන බඩට බහිද්දිඅමා රසේ පරාදයි." 
 
හේ අවට සිටින උන්ට කෙල ගිල්ලවයි. ඔහුගේ වදන් වලින් මැවූ අන්නාසි කැබලි අවට සිටින උන්ගේ දිව මත දඟ කරයි. මමද සන්තකයටම වූ අවසන් රුපියල් පනහ එලියට ඇද එයින් විස්සේ අන්නාසි පැකට් එකක් මිලට ගතිමි. "කෙට්ටු වෙනවා මහත්තයා මේවට" හේ මට ඉතිරි තිහ මිට මොලවන ගමන් කීය. ඒ මම මහත නිසා විය යුතුය. මා ඔහු අසලින් හිඳිමින් ඔහුගේ මාකටින් ස්ට්‍රැටජිය අධ්‍යනය කරමින් උනිමි. 
 
ලී බංකු පේලියේ එකක හේත්තු වී, දකුණු ඇලයට ඉහ අතකට බර කර හිදිනා තරුණයෙකි. ඔහු අනවරත රළ රටා දෙස හිස් දෑසින් බලා හිඳින අතර යමක් මුමුණයි. බොහෝ විට ඒ මිල්ටන් මල්ලවාරච්චි ගේ ගීතයක් විය හැක. අන්නාසි වෙලෙන්දා ඔහු වෙත ගොස් ඔහුගේ දැහන බින්දේය.  
 
"පුතාහිතේ අමාරුවකින් වගෙයි. ඔහොම තමයි පුතා. ඔය වයසට සතුටු හිතෙන විදිහටම තමා දුකටත්. මං පොඩිකාලේ, මේ තැනම වාඩි වෙලා හිටිය ජෝඩුවල පොකට් එකට විදිනකොට මම කවදාවත් හිතුවේ නෑ මං මෙතනම සාධාරණ රස්සාවක් කරයි කියලා. මාව වෙනස් කරේ මගේ ගෑණි. කොයි මිනිහටත් ජීවිතේ හරියන කාලයක් වගේම හරියන්න ක්‍රමේකුත් එනවා. ඒ මිනිහට පුළුවන් වෙන්න ඕනඒ ගොඩ යාම අතුලේ නැගිටගන්න. කන්න පුතා අන්නාසි කෑල්ලක් දෙකක්. ඕවා අමතක වෙලා යයි."
 
තරුණයා අන්නාසි මල්ල ගෙනපසුම්බියෙන් ඉවතට ගත් මුදල් දිගු කල මුත් ඔහු එය පිලිගත්තේ නැත.

"සල්ලි එපා පුතා. මට අද සතුටු වෙන්න පුළුවන්. කැම්පස් කොල්ලෙක්ගෙ හිතෙන් පොඩ්ඩක් හරි දුක තුනී කරන්න පුලුවන් වෙච්ච එකට."

ක්ෂණයකින් තරුණයා හැඳ සිටින ජ'පුර විශ්වවිද්‍යාල ටී ෂර්ටයට මගේ ඇස ගියේය.

"අනිකපුතා ආපහු දවසක ගෑණු ලමයෙක් එක්ක ගෝල්ෆේස් ඇවිත් මගෙන් අන්නාසි මල්ලක් ගන්න. එදාට මම ඔයාගෙන් සල්ලි ගන්නම්."

හේ ඉදිරියට ඇවිද යයි. ඔහු කියවීමට වටින මිනිසෙකි.  මාකටින් යනු පෙලඹවීමක්ද රැවටීමක්ද යන ප්‍රස්ථාරය හේ ධනාත්මකව උත්තේජනය කරයි. බොහෝවිට ඔහු සිය අදහසක් වැපිරීමට තවකෙකු සොයනවා විය හැක. එතෙක් ඔහු "අන්නාසේ......අන්නාසේ......" යන වචනය අනවරතව පවසමින් ඉදිරියට ඇවිද යයි. මාඔහු පසු පසින් ඒම සම්බන්ධව ඔහුට නිනව්වක් නැතුවා විය හැක. හේ හුලං පෙති ඉල්ලන දැරියක් අසල නැවතුනි. මා ඒ අසලට ලං වන විටත් ඔහු දැරියගේ දෙමව්පියන් හා කතාබහට එලඹී ඇත. දැරිය මුහුදු හුලඟට ගැටෙන සේ ඇයගේ අභිමානවත් හුලං පෙත්ත අත දරා සිටී.
 
"මේ දැන් කාලෙ හැටිනෙ මහත්තයෝ. ගෑණු දරුවෙක් හම්බුනොත් "නරකක් වෙයි" හිතලා ආරක්ෂා කරන්න ඕන. පිරිමි දරුවෙක් හම්බුනොත් "නරකක් කරයි" කියල ආරක්ෂා කරන්න ඕන. හැබැයි ඕවැයෙ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. දැන් කාලේ ළමයෙක් හදන එක හරිම අමාරුයි ඉස්සරට වඩා. සමාජෙත් එක්ක ගැටෙන්න යවන්න බයයි. එහෙමයි කියලා නොයවත් බෑ. මොකද නැත්නම් ළමයාට දැනුමක් තේරුමක් නැති වෙනවා සමාජෙ ගැන. ඒක ඊටත් භයානකයි. මේවා තහංචි දාල හදන්නත් බෑ. මහත්තයලටත් තේරේවි මේ දූ සිඟිත්ත ලොකු වෙද්දි. ඉස්සර අපේ අම්මල අපිව වැලැක්කුවේ සිගරට් බොන්න යන එකෙන්. ඒත් දැන්සිගරට් බිව්වත් කමක් නෑ කුඩු ගහන්න එපා කියලයි කියන්න වෙන්නේ. ගෑණු ලමයින්ටත් ඒ සෙතේමයි. ඉස්සර කියන්න වුනේ නරක චිත්‍රපටි බලන්න එපා කියලා. ඒත් දැන් කියන්න වෙලා තියෙන්නෙ නරක චිත්‍රපටි වල රඟපාන්න එපා කියලා. මම මෙතන හැමදාම අන්නසි විකුණන නිසා දන්නවා මහත්තයෝ. එක ලඟ බංකුවල වාඩි වෙලා හිටි ජෝඩුසතියකින් එනවා එහා බංකුවේ කොල්ලයි මෙහා බංකුවේ කෙල්ලයි එකට. දැන් සමාජේ ඔක්කොම නරක ටික සුද්දෝ විදිහට ගිහින්. හැබැයි දියුණුව විතරයි සුද්දගේ විදියට නැත්තේ. දැන් මිනිස්සු අන්නාසි කන්නෙත් නෑ. ලොකු ලොකු ජාති. මහත්තයලා කනවද අන්නාසි පැකට් එකක්."

දැරියගේ පියා අන්නාසි මල්ලක් ගනී. දැරියට වෙනම අන්නාසි මල්ලක් ඉල්ලා සිටියා විය යුතුය. ඔහු ඇයටද අන්නාසි මල්ලක් ගෙන දෙයි. දැරිය හුලං පෙත්ත බිම අතහැර අන්නාසි කමින් සරුංගලය දෙස බලාසිටියි. ඇගේ දෙමව්පියන් අසල සිටි පෙම් යුවලක් දෙස බලාසිටියා විය යුතුය. ඔවුන්ගේ දැහැණ බිඳුනේ දියණිය අත දිගු කර පෙන්වූ සරුංගලයෙන් විය යුතුය. වැඩි වෙලාවක් නොසිට ඉදිරියට ඇදෙමින් සිටි අන්නාසි වෙළෙන්දා පසුපස මා ඇවිද ගියෙමි.


ඡායාරූපය මෙතනින්

Wednesday, October 12, 2011

ඉන්ද්‍රජාලිකයාගේ මරණය


මෙය මින් සති කිහිපයකට පෙර පැවති කෙටි කථා තරඟයකට ලියන ලද්දකි. පෙර කියවා ඇත්තෝ සමාවෙත්වා. මෙය එම කෙටි කථා තරඟයේ, අග සිට ජනප්‍රියම ස්ථාන පහ තුල සිටි සේම මුල සිට හොඳම තුන් වෙනි කතාව ලෙස තේරී පත්වුනි. මින් පෙර කියවූ සහ අඩු පාඩු සඳහන් කලවුනට ස්තූතිය!
අත්ලවල් එකට වදින දෙස ඔහු මොහොතක් බලා සිටියේය. ඒ ශබ්දයට ඔහු ආශා කල අතර එය නොතිත් ආශාවක් බවත්, තමාගේ ඉන්ද්‍රජාල උපදින්නේ මුදල් සහ අත්පොලසන් වෙනුවෙන් පමණක් බවත් ඔහු විශ්වාස කලේය. තිරය වැසුනතර, රතු තිරයෙන් ඔහු සැඟවී යන දෙස බලා සිටි පොඩිවුන්ගේ මුහුණේ වූ දුක්මුසු හැඟීම ඔහුට සතුටක් ගෙනාවේය. තිර වැසී, පහන් නිවී අවට අඳුරු වූ පසු ඔහු ක්ෂණයකින් ඔහුගේ අතීතයට ගියේය. හේ වලව් පැලැන්තියක එක් පරම්පරාවක් බඩ පිස්සෙකි. ඒ වනවිටත් අයියලා අක්කලා ස්වයං පාලනයක් යටතේ ජීවත්විය හැකි මට්ටමකට වැඩී තිබූ බැවින්, බඩපිස්සා වෙනුවෙන් තනි මෙහෙකරුවෙකු වෙන් විය. නෑවීම, කැවීම , සුරතල් කිරීම, නිදි කරවීමට අමතරව උරහිසේ පුංචි මහත්තයාගේ හිස හොවාගෙන පැදකුණු කිරීමද හේ සතුටින් ඉටු කලේය. කතා නායකයා දැණුම් තේරුම් යන වයසකට ආපසු, සවසක වලව්ව පසු පස මෙහෙකරුවා තම පුංචි හාම්පුතාට ඉන්ද්‍රජාල කිහිපයක් පෙන්වීය. අතේ වූ ටොපිය හැන්ගීම, වම් සාක්කුවට දැමූ රුපියල දකුණු සාක්කුවෙන් ගැනීම වැනි ඉන්ද්‍රජාල කිහිපයකට පසු තමා ඒ දෙස විශ්මයෙන් බලා සිටින විට, ඔහු තමා වෙත හෙළුවේ තමුන් මෙතෙක් වෙලා තම ප්‍රක්ෂකයන්ට දැක්වූ ගාම්භීර සිනහවම නොවේදැයි ඔහුට සිතිනි. ක්ෂණයකින් ඔහු නැවතත් වත්මනට පැමිණිතර හේ වේදිකාවෙන් ඉවත්ව සිය කුටියට ගියේය.

ඉන්ද්‍රජාල කිරීම් ඔහුගේ රැකියාව විය. විනෝදාංශය විය. ජීවිතය විය. වයස අවුරුදු නමය දහයේදී මෙහෙකරු විසින් තමා ඉදිරියේ ඉදිරිපත් කල මවා පෑම් කොතරම් ලාබාල අවධියක ඉන්ද්‍රජාලද යන්න ඔහුට පසක් වන සමයේදී සහ වර්තමානයේදීත් ඔහු ඒවා හට ගරු කලේය. මන්දයත් මුල් කාලයේ ඒ අවස්ථාවේ ලද ඉලිප්පීම නොවුනානම්, සීතල දේශයක කබා තුන හතරක් ඇඳගෙන සිය සහෝදර සහෝදරියන් මෙන්ම තමන්ටද උසස් මට්ටමේ ඒකාකාරී රැකියා කරන්නට සිදුවන්නට තිබුණු බැවිනි. ඊට අමතරව තම මෙහෙකරු ඉන්ද්‍රජාලික ගුරුතුමා හට ගෞරව කිරීමට ඔහුට තවත් හේතුවක් විය. මන්දයත් ඔහු තවමත් තමන්ගේ ගුරු මට්ටමේම රැඳී සිටින බැවිනි. මුල් කාලයෙන් පසු ගණිතය සහ ඇස් බැන්දුම් කෙරේ අතිශය ඥානයක් සහ පෙළඹවීමක් තිබූ තම මෙහෙකරුවාට ඉන්ද්‍රජාල පිළිබඳ දැණුම ලබාදීමට හේ උත්සුක විය. තමාට වඩා විසිවසකින් වැඩිමහලු මෙහෙකරුවාට ශාස්ත්‍රය දී ඒ හරහා තමාගේ සිහින වෘත්තිය වූ ඉන්ද්‍රජාලකරණය ඉදිරියට ගෙන යාම ඔහුගේ අපේක්ෂාව ඉව්ය. ප්‍රේක්ෂකයන් රැවටීම නොහොත් රඟපෑම පිලිබඳ තමන් වෙහෙසෙන අතරම , එම ඉන්ද්‍රජාලයෙහි යාන්ත්‍රණය නො එසේනම් රසායනය සිදුකිරීමට ඔහු සිය මෙහෙකරුවා යොදාගත්තේය. ඔහු තම පුංචි හාම්පුතාට හැකි උපරිමයෙන් සේවය කල අතර, මසකට එකක් බැගින් වූ නව ඉන්ද්‍රජාලයන් සොයා ගැනීමෙහිලා උපරිමයෙන් වෙහෙසීය. තම මෙහෙකරුගේ මෙහෙයටද මෙහෙකරුවෙකු ලබාදීමට කතා නායකයා උත්සුක වූ අතර, සියලු සැප සම්පත් මධ්‍යයේ සියල්ල සතුටින් ගලා ගිය සේම ඉන්ද්‍රජාල ශාලාවටද සෙනග ගලා ආවේය. ඔහු තමා වෙත යාන්ත්‍රණය නිමකොට දුන් ඉන්ද්‍රජාලයේ, කවරය සකසමින් සහ හැඩ කරමින් සිටියේය. යාන්ත්‍රණය පිටතට නොපෙනෙන ලෙස කවරගත කොට අවසන එහි රස වැඩි කිරීමට හැඩකිරීම් කල යුතුය. ඔහු දන්නා ඔහුගේ සමකාලීන ඉන්ද්‍රජාලිකයින් බොහෝමයක් සිය ඉන්ද්‍රජාලකරණයේ ඔහුට පසුපසින් වන්නට ප්‍රධානම හේතුවක් වූයේ ඔවුන්ගේ කවරය යෙදීම යම් දුර්වල මට්ටමක වූ නිසා එම යාන්තරණය දැනගැනීමට අනෙකුත් ඉන්ද්‍රජාලිකයන්ට පහසු වීමත්, බොහෝමයක් වුන්ගේ යාන්ත්‍රණය ප්‍රේක්ෂකයාට පවා හෙලි වීම නිසාත් මොහු පිලිබඳ ප්‍රසාදය වැඩි වීමය.

ඔහුගේ ජීවිතයද ඉන්ද්‍රජාල හේතුවෙන් නවමු මාවතකට ඇදී යමින් තිබූ කාලයකි. ඒ ඔහු සිය ඉන්ද්‍රජාල, හෝටල් තුල රඟවමින් තිබූ කාලයකි. ඔහුව ලබා ගැනීමට හෝටල්කරුවන් පොරකෑ අතර රාත්‍රී හත නවය කාල පරාසය හෝටල් වෙත විශාල ප්‍රේක්ෂක ප්‍රමානයක් ඇද්දවීමට සමත් විය. හෝටලය වෙත පිටින් ඇදී නො ආ, වටින් ගොඩින් එහෙන් මෙහෙන් බලා විශ්ම වන සොඳුරු මුහුණක් හේ සිත්ගත්තේය. සිය රංගනයේදී සිය ඉන්ද්‍රජාල යාන්ත්‍රනයේ විශ්මය එලිදැක්වීමට පෙර, ප්‍රෙක්ෂකයා සිය ඉන්ද්‍රජාලය කෙරේ උත්සුක කලද ඔහු සිය ආදරය ප්‍රකාශ කිරීමේදී ස්ථීරව සහ ස්ථාවරව තම කැමැත්ත ප්‍රකාෂ කිරීම සිදු කලේය. ඒ වටින් ගොඩින් බලා සිත් ගත් රුව හෝටල් හිමිකරුගේ දියණියගේ වූ අතර ඒ වෙනුවෙන් ප්‍රධානයක් ලෙස හෝටල් හිමිකරුට අයත් වූ විශාල ශාලාවක හේ සිය ඉන්ද්‍රජාල කටයුතු ආරම්භ කලේය. වෙන වෙනස් ශාලා, තම ඉන්ද්‍රජාල වෙනුවෙන් සකස් කිරීම සහ ඉවත් කිරීම කරදරකාරී සහ අනාරක්ෂිත විය. තම විවාහ දිවියේ සියලු රස, විඳිමින් සිය හැඩරුවම යුතු දියණියකගේ සුරතල්ද මැද ගෙවෙන සමයක සිය බිරිඳ නැවතත් ගැබ් ගෙන සිටියේය. ඒ හේතුවෙන් කතා නායකයාගේ සතුටක් එතරම් නොදැවුණු අතර අඩ දබර ගෙරවිලි රැවිලිද මැද කිසිඳු වැටීමකින් තොරව ඉන්ද්‍රජාලකරණය ඇදී ගියේය. පියාගේ නමට කතානායකයාගේ නම යෙදුනු උප්පැන්නයක් සමග තවත් දියණියක් මෙලොව එළිය දුටු අතර හද ගැස්ම වැඩි වූයේ සිය වලව් මෙහෙකරුගේ හඳුනාගැනීමේ සලකුණක් වූ පපුවේ දකුණු පැත්තේ පිහිටි උපන් ලපය සිය දියණියගේ එම ස්ථානයේම එයාකාරයෙන්ම තිබෙනු දැකීමත් සමගමය. තත්වය වඩාත් අයහපත් වූ අතර හේ එය යටපත් කිරීමට ඉන්ද්ය්‍රජාල කවරයක් යෙදවීමට සිත යෙදවුව මුත් එය අසාර්ථක වූ අතර ජනනය කල වුන් ඉවත් කරනවාද? ජනනය වූ දෙය ඉවත් කරනවාද? යන අවසන් විසඳුමක් සෙවීමෙහි එලබ සිට හේ අවසානයේ නිශ්චිත තීරණයක් ගෙන තිබිණ.