"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Wednesday, November 23, 2011

උල්කාපාතයක්..


උල්කාපාතයක්...
අහසේ ගිනි අරං
අළු වෙලා පොලොවට වැටෙනා
උල්කාපාතයක්...
ඉන්ද්‍රචාපගෙ අලුත් සින්දුව කන ගාව දෙදරනවා. මම කන්නාඩිය ඉස්සරාට ගියා. මගේ බෙල්ලේ දකුණු පැත්තෙ ජපන් අකුරක පච්චයක්. දකුණු ඇහි බැම හිල් කරගෙන ගිය අශ්ව ලාඩමක හැඩේ කරාබුවක්. හෙට ගැන නිශ්චිත බළාපොරොත්තුවක් හිතේ තියෙද්දිත් මට මේ මගුල් කරගන්න හිත ඉඩ දුන්නේ ඇයි කියන එක මම තාමත් හිතනවා. ඇඟ පුරාම දාඩිය. මම ඒ දාඩිය සුවඳ අස්සේ තිබ්බ ගෑණු සෙන්ට් සුවඳට ඉව කලා. ඒක මැලවිලා ගිහින්. මම මගේ ගෙදර. මෙලෝ බල්ලෙක් වෙන නැති, මගේ ගෙදර. මගේ කරේ නව ගුණ වැලක්. ඒකට මාව හීරෙනවා. ගෙදරටම එකම පුටුවක්ම විදියට තිබ්බ පුටුව වගේ එක හොයාගෙන මම ටොයිලට් එකට ගියා. ඉනේ මහතට රැඳිල තිබ්බ ඩෙනිම දෙතුන් පාරක් දඟලලා ගලවගෙන මම පුටුව වගේ එකේ වාඩි උනා. මම ඒ පුටුව වගේ එකේ වාඩියගෙන බිඩේ ෂවර් එකෙන් මූන හෝදගත්තා. මූනත් පුක වගේ හින්දා අවුලක් නෑ. මම මගේ සුපුරුදු විනෝදාංශෙ විදියට කරපු, නව ගුණ වැල හපන්න ගත්ත. ඒකෙ මෙලෝ ගුණයක් නෑ. රහකුත් නෑ. මම තනි කලු චරිතයක්. තනි සුදු ටොයිලට් එකක් ඇතුලෙ. කාලෙකට ඉස්සර තනි සුදු ටොයිලට් එකක් ඇතුලෙ..

ඇඳුමක් දාගෙන ලෑස්ති වෙයන්. දැන් පොලීසියෙන් ඒවි කුදලන් යන්න..
මගේ හිත මට කිව්ව. මම පුටුව වගේ එකෙන් නැගිට්ටා. පුරුද්දට ෆ්ලෂ් කලාට මොකද, ගිය දෙයක් තිබ්බෙ නෑ. අහිංසක පොලිසියෙ උන්ගෙ අත් වල, මගේ කුණු දාඩිය ගෑවෙන්න ඉඩ තියෙන හින්ද මම නාගත්ත. අහල පහල වේසිගෙ පුතාල මට හිනාවෙන්න ඉඩ තියෙන හින්ද උන් එක්ක හිනාවෙන්න මම දත් මැදගත්ත. ටූත් පේස්ට් කියන ජාතිය මහ වහතු රහයි. ඩෙනිම කුණු ගඳ ගගහ මෙහෙම්ම දාලා ගියොත්, මගෙන් ගෙවල් කුලී ගන්න එකා මගේ අම්ම මතක් කරල දෙස් තියන්න ඉඩ තියෙන හින්ද මම ඒ ඩෙනිමම ඇඳගත්ත. මගේ ගෑනි මම අඳිනවට කැමතිම, කලු ෂර්ට් එකත් ඇඳගෙන මම පුටුවෙ වාඩි වෙලා හිටියා. පුටුව වගේ එකේ. ගෑනි.. ඒකි මගේ ගෑණි..

ඒකි දේවතාවියක්!
මගේ හිත මට කිව්ව. නෑ වෙන්න බෑ. මම දේවතාවියො එක්ක නිදිවැදුන වෙන්න බෑ. හැබැයි ඒකි හරිම හොඳයි. මම වෙනින් එකියෙක් එක්ක හැමිනෙද්දිත් ඒකි අපේ ආදරේ වෙනුවෙන් ඉවසන් හිටියා. ඇත්තටම ආදරෙයි කාමෙයි දෙකක්. මේ ලෝකෙ ගෑණු පිරිමි වෙන්ව ඉපදිල තියෙන්නෙ, උන්ට හැමිනෙන්න ලේසිවෙන්න. අපි ඒ අස්සට ආදරේ ගාවගෙන, හොරෙන් අහු මුලු අස්සෙ හදිස්සියට හැමිනෙන නින්දිත ජාතියක්. ආදරේ ඇතුලේ සෙක්ස් කොච්චර පිරිල තිබ්බත්, එතන්දි ආදරේ හින්ද සෙක්ස් කරනව මිසක්, සෙක්ස් හින්ද ඇතිවෙන බම්බු ආදරයක් නෑ. ආදරේ අමුතුම දෙයක්. ඒකට මගේ වචනෙන් සුදිය කියන්නත් පුලුවන්. එනිසා මිනිස් හිතේ ඇතිවෙන කාමුක අසාවක් නිසා ආදරයක් නවත්තන්න ඕන නෑ. මම මාව සාධාරනය කරගත්ත.

අරකිට ඇනපු පිහිය හොයල තියාගනින්.. උසාවියට දෙන්න.
මගේ හිත මට කිව්ව. පට්ට බැල්ලි! මට හොඳ ගෑණියෙක් ඉඳලත් මම මේකි එක්ක හැමිණුනේ, ඒකිගෙ ඇස් වලින් මට කතා කරපු හින්ද. පව් මගේ ගෑණි. එහෙව් මම ඉඳලත් අර පරට්ටි නිදිවැද්දනෙ අරුත් එක්ක. මට ආපු කේන්තියට ඇනගෙන ඇනගෙන ගියා පිහියෙන්. පරට්ටි තුවාය ඔතාගෙන කාමරේ වටේ දිව්වා. ඒත් මං දිනුවා. "හම්මේ දැනිච්ච සනීපෙ.." හිත මට එවෙලේ එහෙම කිව්ව. මම මිණීමැරුම මතක හිටින්න ඒකිගෙ තනපටක් සාක්කුවෙ දාන් ආව. මම ඊටපහු කෙලින්ම ගි‍යෙ මයෙ ගෑණි ගාවට. ගෑණි මගේ පපුවට තුරුල් වෙලා හිටියා. "අරක ඉවරයි මැණිකේ".. කිව්වම ඒකිගෙ තුරුල තවත් තද වුනා. ඒක මට දැණුනා. "මම ඒ පරට්ටිව මැරුව මැණිකේ". ඒකි මට වංචා කලා.

ඒ පරට්ටි උඹට කරපු දේම නෙමෙයිද, උඹ උඹේ ගෑණිට කලේ පරයෝ..
මගේ හිත මට කිව්ව. මට ඇඬුනා..

එලියට වරෙන්! 
නවත්තපු ජීප් සද්දෙටයි, ජීප් දොර ඇරෙන වැහෙන සද්දෙටයි පස්සෙ මට ඇහුනා. මම පුටුව වගේ එකෙන් නැගිට්ටා.

Wednesday, November 9, 2011

මැණිකෙට



එදා අපි හිඳ
හිටිය විලසට
ජෝඩු ඇත අද
පෙමින් බැඳෙමින

එදා අපි සිටි
ගල් රවුම උඩ
තවම හිඩැසක්
ඉතිරි වී ඇත

අප විහිළු කල
පෙම් ජෝඩු වෙත
විහිළු කරනට
එකෙක් අද නැත

සිලි බෑග්කට
පුරෝලා දෙන
වෙරළු මලු අද
මග බලං ඇත

නරුම ලෙක්චර
ජොබ නිමාවී
එන තුරා අප
උන් බලං ඇත

ඉතිං සොඳුරිය
වෙහෙස දිවියට
අවැසි සුපහස
තුටින් විඳිනට

යමුද ආපහු
අලුත් දවසක
වෙලී ඉන්නට
පෙම් පුරය වෙත

Wednesday, November 2, 2011

මගේ මරණය



**********************************************
2010 නොවැම්බර් 18
බස් රියක් තුල/ කොළඹ
උදෑසන


ඌ මා පසුපසින් එලවා එමින් සිටියේය. මා තවමත් පෙර නැග්ග බසයේ එල්ලීගෙන උගෙන් පැන යන අතරතුරය. ත්‍රී රෝද රථයට සියල්ල යොදවා අත ඉතිරි කරගත්තේ රුපියල් 50ක් පමණි. එය මා හට බසයට ප්‍රවේෂ පතක්ද ගෙන සාමකාමී මරණයක් ලඟා කරගැනීමටද ප්‍රමාණවත්ය. අවසන් වරට උගේ බිරිඳ පැවසූ දෙය තවමත් මගේ දෙසවනේ රැව්දෙයි. "උඹ පර බල්ලෙක්.. උඹලා දෙන්නම එකයි.." මා එවෙලේ අවඥ්ඥාසහගත ලෙස සිනහ වූවා මට මතකය. අතීතයක් ආවර්ජනයෙන් ඵලක් නැත. ඌ පලිගැනීම වෙනුවෙන් කුමක් හෝ සිදුකරනු ඇත. එක්වරම බසය හරස් කර කැබ් රථ දෙකක් නැවැත්වූ අතර පසු පස දොරේ පාපුවරුවේ සිටගෙන සිටි මා එයින් බැස දිවීම අණුවන කමකැයි සිතුවෙමි. හැඩිදැඩියන් කිහිප දෙනෙකු බසය තුල සිටි කලු පැහැති ඇඳුම් හැඳගත් තරුණයින් කිහිප දෙනෙකුටම නොසෑහෙන ලෙස පහර දුන්හ. ඔවුන් බසයේ පසුපසට ලඟා වනවිට එවන් තරුණයන් තිදෙනෙකුම බසය තුල වැටී කෙඳිරිගාමින් සිටි අතර හැඩිදැඩියන්ගේ අවසන් තීරණය වූයේ කලු ඇඳ සිටි සියල්ලන්ටම වෙඩි තැබීමටය. මම කිසිඳු හැඟීමක් දැනීමක් නැත්තෙකු මෙන් ඔහේ බලාගත්වනම  බලා සිටියෙමි. මගේ ඉදිරියටම පැමිණ මුහුන දෙස බැලූ එක් මැරවරයෙක් තවකෙකු අසලට ගොස් ඔහු හා කතා කලේය. ඔහුගේ යම් ඉඟියකින් පසු මා දෙසට එල්ල වූ තුවක්කු කටින් උන්ඩ දෙකක් නිකුත් විය. සිරුර තුලින් දැනුනු දැවීයාමක් සමගම මා බිම ඇද වැටුනි. මා හැඳ සිටියේද කලු පැහැති ඇඳුමකි.

**********************************************

2010 නොවැම්බර් 15
නිවසක/ මීගමුව
සැඳෑව


මා වාහනයෙන් බැස නිවස දෙසට පිය නැගුවෙමි. බිරිඳ පිටතට යන බවක් මට දැන්වූවේ නැත. වේලාව සැඳෑවේ හය පසුවී මිනිත්තු තිහකි. තවමත් විදුලි පහන් දල්වා නැත. නිවස තුල අන්ධකාරය රජයයි. මා දෙගිඩියාවෙන් නිවසට ඇතුල් විය. රේඩියෝව වාදනය වේ.

"සිසිල දෙන මේ නදී තෙරේ... තුරුළු වුනු මාගේ හංසියේ
හැමදාම මේ ලෙසින් බැඳී... හිඳිමු යැයි කීව කුමරියේ
"
 "ම්හ්..." බිරිඳගේ සේයාවක්වත් නැත. තවමත් ගීතය වැයෙමින් පවතී. මා සාලය මැද සිටගෙන ඇය සෙවූවෙමි. විදුලි පහන් දල්වා සෙවුවෙමි. නැත. ඇය පෙනෙන මානයක නැත. මා නිදන කාමරයේ ඇය සෙවීමට ගියෙමි. ඈ ඇඳ විට්ටම අල්ලාගෙන ඇඳට ගොඩවීමට උත්සහ දරමින් සිටියාය. මා ඇය වෙත ඉක්මනින් ගොස් ඇයව ඇඳ මතින් තැබුවෙමි. ලේ විලකි. මගේ බිරිඳගේ උදර ප්‍රදේශය දරුණු ලෙස මුවහත් ආයුධයකින් කපා ඇත. ඇයගේ දෑස් අඩවන්ව ඇත. මා ඇය තුරුලට ගෙන සිද්ධිය විමසුවෙමි. නන්නාඳුනන කාන්තාවන් දෙදෙනෙකු පැමිණ ඇයට දරුණු ලෙස තුවාල සිදු කොට ඇත. ඇය මට අවසන් වරට පැවසුවේ "ඔයාට ඔය දළකාරයෝ එක්ක හැප්පෙන්නැතුව ඉන්න තිබ්බා" යනුවෙනි. මා හට එක්වරම සියල්ල සිහියට නැගුණ මුත් ක්ෂණයෙන් ඇයගේ දෙඇස් පියවීම සහ ගැස්ම නැවතීම හේතු කොටගෙන නැගුණු මතකයන් බිඳක්වත් ඉතිරි නොවුනතර, මා ඇය ඇඳ මතට අතහැර ඇඳ මෙට්ටයට බරදී බිම වාඩිවුනෙමි. මේ මාගේ අකීකරු සිතින්, අත මතට බලය යොදවා ලියැවුනු ලිපියක අවසාන ප්‍රථිඵලයයි. ඇමතිවරයෙකුගේ අත්තනෝමතික ක්‍රියා පිලිබඳ ලියූ ලිපියක් හේතුවෙන් මා ප්‍රිය බිරිඳ අවසන් හුස්ම හෙලා ඇත. ඒ තවත් ගැහැණුන් දෙදෙනෙකුගේම ගැහැණු වීරිය රැඳි පිහි පාරවල් වලිනි. සාක්ෂි නැත. නඩු කියා දිණිය නොහැක. මගේ ලිපියේ අවසාන ප්‍රථිඵලය තව දුරටත් ඉදිරියට ගෙන යාමට මා ඉටා ගතිමි. පිඹුරුපත් සැකසීම හෙටට යෙදිය යුතුය. මා බිරිඳව ඔසවා වාහනයට දාගතිමි. ගමනාන්තය ඉස්පිරිතාලය ලෙස සිතේ රඳවා ගතිමි.

**********************************************


2010 නොවැම්බර් 18
දැඩි සත්කාර ඒකකය/ ශ්‍රී ජයවර්ධනපුර රෝහල
සැඳෑව

මා දෙ ඇස් හරින විට සිටියේ ඉස්පිරිතාලයකය. එය දෙ ඇස් ඇරීම නිසා දැනගත්තක් නොව නහය වටා භ්‍රමණය වුනු ඖෂධ දුගඳ නිසා දැනගත්තකි. මා ඔහේ බලාගත් අත බලා ගෙන සිටියෙමි.  සිරුරේ අප්‍රාණික බව දැනේ. බෙල්ලෙන් පහලට කඳ ඔහේ කඩා වැටී ඇත. එය මාගේ පාලනයෙන් තොර යැයි සිතිනි. මා එය නිෂ්චය කරගනු වස් හරිබරි ගැසෙන්නට ගියෙමි. නමුත් එය වූයේ නැත. වෛද්‍යවරුන් ලේ පරීක්ෂා කරන්නට ඇත. හෙදියන් මා දෙස බැලුවේ පිළිකුලෙනි. HIV ආසාධිතයෙකු වීම සම්බන්ධයෙන් ඔවුන් දරණ මතය දෙස මා බලා සිටියෙමි. ඔහේ බලා සිටියෙමි. එක් උණ්ඩයක් සිරුරෙන් ඉවත් කර ඇත. අනෙක ඉවත් කිරීමට අවශ්‍ය ශාරීරික අවශ්‍යතාව සපිරෙන තෙක් බලා සිටිය යුතුව ඇත. උන් ඒවා කිසිවක් මට කීවේ නැත. මේ මා උන්ගේ හඳුනාගත නොහැකි අමුතු වචන සහ මිශ්‍ර වූ ඉංග්‍රීසි සිංහල සම්මිශ්‍රණයෙන් අහුලාගත් අර්ථයයි. මා කිසිඳු හැඟීමකින් තොරව බලා සිටියෙමි. කට උත්තරයක් ගැනීමට තරම් මා ප්‍රාණවත් වන තුරු පොලීසියෙන් දොර අසලය. හදිසියෙන් රෝගීන් කෙරෙහි බැඳුනු දයාණුකම්පිත සිතින් ඇමතිවරයෙක් රෝගීන් නැරඹීමට පැමිණ ඇත. නමුත් මේ සුවිශේෂී අවස්ථාව උදා වන්නේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ට පමණි. මා සමග බසය තුල වෙඩි කෑ සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු දැනටම මිය පරලොව ගොස් ඇත. මා ද තවකෙකුද ඉතිරිව ඇත. ඇමතියා මා දෙස හිස් බැල්මක් හෙලීය. ආරක්ෂකයින්ට මා හඳුන්වා අවසන් වත්ම ඇමතිගේ රෝගීන් නැරඹීම හදිසි රැස්වීමක් නිසා අවසන් වීය. මට මිය යෑමට ක්‍රම තුනක් ඇත. බොහෝවිට ඉතිරි උණ්ඩය ඉවතට ගතහොත් මා අවසන් ගමන් යනු ඇත. නැතහොත් ඒඩ්ස් රෝගය හේතුකොටගෙන මිය යනතෙක් මා බලා සිටිය යුතුය. නැතහොත් ඇමති සංඥාව ක්‍රියාත්මක විය යුතුය. එසැනින් මා හැර සියලු රෝගීන්ට සිහි නැති කිරීමේ එන්නත් ලැබුණු අතර දෝස්තරුන් සහ හෙදියන් ඒකකයෙන් ඉවත් විය. මද නිහඬතාවයකින් පසු පුද්ගලයෙකු දොර හැර ඇතුලු විය. ඔහු විසින් මගේ සේලයින් බෝතලයටම මොනවාහෝ එක්කෙරුනු අතර මා හිස් දෑසින් එදෙස බලා සිටියෙමි.

**********************************************

2010 නොවැම්බර් 17
ඇමති නිල නිවස/ කොළඹ
රාත්‍රී කාලය

පෙරදින සැකසූ පිඹුරුපතෙහි ඉතිරිය ක්‍රියාත්මක කිරීමට කාලයයි. මා ඇමති බිරිඳට දුරකථනයෙන් අමතා කතිකා අරගත් පරිදි පෙරදින සවස ඇය හමුවට ගොස් ඇයගේ ඡායාරූප කිහිපයක් සහ සම්මුඛ සාකච්ඡාවක් පටිගත කොටගෙන පැමිණියෙමි. ඇමතිවරයා දින කිහිපයකට පිටතට ගොසිනි. උගේ සාක්ෂි නැසීමට පිටත සිටීමේ සංසිද්ධිය මා හොඳින්ම දැන සිටියෙමි. ඇමති නැවත කොළඹ පැමිනෙන්නේ 18 වෙනිදා යැයි ඇමති බිරිය මා හට පවසන ලදී. මා ඇයට වචනය දැමූ අතර ප්‍රතිචාරය සුබදායක විය. අද රාත්‍රියේ ඇය මා වෙනුවෙන් වෙහෙසීමට නියමිතය. මගේ බිරිඳගේ මිය යෑම මගේ ක්‍රියාවන් මග නවතා ඇත. තවත් ඉදිරියට ජීවත්වීමක් හෝ ඒ කෙරෙහි සේයාවක්වත් මා තුල නැත. මා, හිතවත් වෛශ්‍යාවකගෙන් ඉල්ලාගත් HIV ආසාධිත රුධිර සාම්පලය ශරීර ගත කරගතිමි. මා පලිගැනීමේ නොතිත් අරමුණින් ඇමති බිරිය වෙත ගියෙමි. ඇයගේ විශේෂ අවසරය මත මුරකුටියේ පොතෙහි මගේ නම නොලියවුනු අතර, නිවස තුලට ගිය මා වෙත කහ පැහැති දුහුල් රාත්‍රී ඇඳුමකින් සැරසී ඈ පැමිණියාය. දෙතුන් හෝරාවක කාලයක් අප කෙලිදෙලෙන් වෙසෙන්නට ඇත. මා ඇය වෙත මගේ සත්‍ය කතාව කීම ඇරඹුවාය. කියාගෙන සියෙමි. දිගටම..
"මේ ඒ ප්ලෑන් එකේම කෑල්ලක්. ඔයාගේ මිනිහට කොච්චර දැනෙයිද මම උගේ ලිංගික ආධිපත්‍ය ආක්‍රමණය කලැයි කිව්වහම. ආපහු ඌට ඔයත් එක්ක නිදහසේ ඉන්න බෑ කිව්වම. දැන් ඔයත් HIV පොසිටිව් කෙනෙක්. මට වෛර කරාට කමක් නෑ. හැබැ‍යි ඔයාගේ මිනිහගේ වැරැද්ද පාගගෙන මට වෛර කරන්න."
මගේ කතාවේ අවසානය එය විය.
"උඹ පරබල්ලෙක්.. උඹලා දෙන්නම එකයි" 
ඇය පැවසුවේ එපමණකි. මා අවඥ්ඥාසහගත සිනිහවකින් ඇයට සංග්‍රහ කලෙමි. ක්ෂණයෙන් ලාච්චුවක වූ පිහියක් ගෙන ඇගේ වමත කපාගත් අතර, අනෙක් අතට දුරකථනයෙන් ඇමතියා ඇමතුවාය. ඒ ඉතා අසරණ හඬකිනි. එසැණින් මා මගේ ඇඳුම හැඳගෙන පිටතට බැසීමි. වෙලාව පසුදා එනම් 18 වෙනිදා පාන්දර දෙකත් පසුවී ඇත. මා අත ඇති මුදල බජට් ටැක්සියකට පවසා, එපමණක් දුර ගෙන යන මෙන් පැවසූ අතර ඉබාගාතේ පාරවල් ඔස්සේ ගොස් උදෑසන හයට බොරැල්ලෙන් මා බසයකට ගොඩ විය.

 **********************************************


Wednesday, October 19, 2011

"කොස්ස නහන්න විස්සට තියට"



"අන්නාසේ... අන්නාසේ... කොස්ස නහන්න විස්සට තියට... විස්සට තියට"

හේ අන්නාසි වෙලෙන්දෙකි. ගාලු වුවදොර පිටියේ වෙලදාම් කරන්න්නෙකි. ඔහුගේ ලොකු පුතා ඉස්සො වඩේ විකුණයි. මා ඔහු ඇසෙන මානයේ ඔහු පිලිබඳ නිරීක්ෂණයෙන් උනිමි. ලොකු පුතා විටින් විට ගොස් මොහුගෙන් කැරට් අලයක්ළුණු ගෙඩියක් රැගෙන යයි. පසුව දැනගත් පරිදි ඒ ආරක්ෂාව පිණිසය. මහජනාරක්ෂාවට සිටින ඇත්තන් ඉස්සො වඩේ වෙලෙන්දන්ගේ කරට් අලයටළුණු ගෙඩියට බලහත්කාරයෙන් විදින බැවින් ඔවුන් ඒවා ආරක්ෂිතව ගබඩා කිරීමට ක්‍රම සොයාගෙන ඇත. අන්නසි වෙලෙන්දාගේ ලොකු පුතා ඒ සඳහා අන්නාසි වෙලෙන්දාගේ නොහොත් සිය පියාගේ රැකවරණය තෝරාගෙන ඇත. හේ තම අන්නාසි ජනාකීර්ණ ස්ථාන වල සිට මාකට් කරයි.
 
"නෝනල මහත්තයල කාලම බලන්න. අන්නාසි කියන්නේ ආහාර කපන අසිපත කියන එක. දිරවන්නේ නැති කෑම දිරවගන්නබඩේ අමාරුබඩේ පිපුම ඔක්කොටමඕන කොස්සකට හොඳයි. කෑමක් ගනිද්දි දේවල් තුනක් බලන්න ඕන. රහේ ගුණේ වගේම ලාබේ. තුනම මෙතන තියනව මහත්තයා. විස්සෙ පැකට්......තියේ පැකට්...... හරිම රසයි. ලුණු මිරිස් කුඩු පොඩ්ඩක් එක්ක උඩුතල්ලේ ගෑවිගෙන බඩට බහිද්දිඅමා රසේ පරාදයි." 
 
හේ අවට සිටින උන්ට කෙල ගිල්ලවයි. ඔහුගේ වදන් වලින් මැවූ අන්නාසි කැබලි අවට සිටින උන්ගේ දිව මත දඟ කරයි. මමද සන්තකයටම වූ අවසන් රුපියල් පනහ එලියට ඇද එයින් විස්සේ අන්නාසි පැකට් එකක් මිලට ගතිමි. "කෙට්ටු වෙනවා මහත්තයා මේවට" හේ මට ඉතිරි තිහ මිට මොලවන ගමන් කීය. ඒ මම මහත නිසා විය යුතුය. මා ඔහු අසලින් හිඳිමින් ඔහුගේ මාකටින් ස්ට්‍රැටජිය අධ්‍යනය කරමින් උනිමි. 
 
ලී බංකු පේලියේ එකක හේත්තු වී, දකුණු ඇලයට ඉහ අතකට බර කර හිදිනා තරුණයෙකි. ඔහු අනවරත රළ රටා දෙස හිස් දෑසින් බලා හිඳින අතර යමක් මුමුණයි. බොහෝ විට ඒ මිල්ටන් මල්ලවාරච්චි ගේ ගීතයක් විය හැක. අන්නාසි වෙලෙන්දා ඔහු වෙත ගොස් ඔහුගේ දැහන බින්දේය.  
 
"පුතාහිතේ අමාරුවකින් වගෙයි. ඔහොම තමයි පුතා. ඔය වයසට සතුටු හිතෙන විදිහටම තමා දුකටත්. මං පොඩිකාලේ, මේ තැනම වාඩි වෙලා හිටිය ජෝඩුවල පොකට් එකට විදිනකොට මම කවදාවත් හිතුවේ නෑ මං මෙතනම සාධාරණ රස්සාවක් කරයි කියලා. මාව වෙනස් කරේ මගේ ගෑණි. කොයි මිනිහටත් ජීවිතේ හරියන කාලයක් වගේම හරියන්න ක්‍රමේකුත් එනවා. ඒ මිනිහට පුළුවන් වෙන්න ඕනඒ ගොඩ යාම අතුලේ නැගිටගන්න. කන්න පුතා අන්නාසි කෑල්ලක් දෙකක්. ඕවා අමතක වෙලා යයි."
 
තරුණයා අන්නාසි මල්ල ගෙනපසුම්බියෙන් ඉවතට ගත් මුදල් දිගු කල මුත් ඔහු එය පිලිගත්තේ නැත.

"සල්ලි එපා පුතා. මට අද සතුටු වෙන්න පුළුවන්. කැම්පස් කොල්ලෙක්ගෙ හිතෙන් පොඩ්ඩක් හරි දුක තුනී කරන්න පුලුවන් වෙච්ච එකට."

ක්ෂණයකින් තරුණයා හැඳ සිටින ජ'පුර විශ්වවිද්‍යාල ටී ෂර්ටයට මගේ ඇස ගියේය.

"අනිකපුතා ආපහු දවසක ගෑණු ලමයෙක් එක්ක ගෝල්ෆේස් ඇවිත් මගෙන් අන්නාසි මල්ලක් ගන්න. එදාට මම ඔයාගෙන් සල්ලි ගන්නම්."

හේ ඉදිරියට ඇවිද යයි. ඔහු කියවීමට වටින මිනිසෙකි.  මාකටින් යනු පෙලඹවීමක්ද රැවටීමක්ද යන ප්‍රස්ථාරය හේ ධනාත්මකව උත්තේජනය කරයි. බොහෝවිට ඔහු සිය අදහසක් වැපිරීමට තවකෙකු සොයනවා විය හැක. එතෙක් ඔහු "අන්නාසේ......අන්නාසේ......" යන වචනය අනවරතව පවසමින් ඉදිරියට ඇවිද යයි. මාඔහු පසු පසින් ඒම සම්බන්ධව ඔහුට නිනව්වක් නැතුවා විය හැක. හේ හුලං පෙති ඉල්ලන දැරියක් අසල නැවතුනි. මා ඒ අසලට ලං වන විටත් ඔහු දැරියගේ දෙමව්පියන් හා කතාබහට එලඹී ඇත. දැරිය මුහුදු හුලඟට ගැටෙන සේ ඇයගේ අභිමානවත් හුලං පෙත්ත අත දරා සිටී.
 
"මේ දැන් කාලෙ හැටිනෙ මහත්තයෝ. ගෑණු දරුවෙක් හම්බුනොත් "නරකක් වෙයි" හිතලා ආරක්ෂා කරන්න ඕන. පිරිමි දරුවෙක් හම්බුනොත් "නරකක් කරයි" කියල ආරක්ෂා කරන්න ඕන. හැබැයි ඕවැයෙ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. දැන් කාලේ ළමයෙක් හදන එක හරිම අමාරුයි ඉස්සරට වඩා. සමාජෙත් එක්ක ගැටෙන්න යවන්න බයයි. එහෙමයි කියලා නොයවත් බෑ. මොකද නැත්නම් ළමයාට දැනුමක් තේරුමක් නැති වෙනවා සමාජෙ ගැන. ඒක ඊටත් භයානකයි. මේවා තහංචි දාල හදන්නත් බෑ. මහත්තයලටත් තේරේවි මේ දූ සිඟිත්ත ලොකු වෙද්දි. ඉස්සර අපේ අම්මල අපිව වැලැක්කුවේ සිගරට් බොන්න යන එකෙන්. ඒත් දැන්සිගරට් බිව්වත් කමක් නෑ කුඩු ගහන්න එපා කියලයි කියන්න වෙන්නේ. ගෑණු ලමයින්ටත් ඒ සෙතේමයි. ඉස්සර කියන්න වුනේ නරක චිත්‍රපටි බලන්න එපා කියලා. ඒත් දැන් කියන්න වෙලා තියෙන්නෙ නරක චිත්‍රපටි වල රඟපාන්න එපා කියලා. මම මෙතන හැමදාම අන්නසි විකුණන නිසා දන්නවා මහත්තයෝ. එක ලඟ බංකුවල වාඩි වෙලා හිටි ජෝඩුසතියකින් එනවා එහා බංකුවේ කොල්ලයි මෙහා බංකුවේ කෙල්ලයි එකට. දැන් සමාජේ ඔක්කොම නරක ටික සුද්දෝ විදිහට ගිහින්. හැබැයි දියුණුව විතරයි සුද්දගේ විදියට නැත්තේ. දැන් මිනිස්සු අන්නාසි කන්නෙත් නෑ. ලොකු ලොකු ජාති. මහත්තයලා කනවද අන්නාසි පැකට් එකක්."

දැරියගේ පියා අන්නාසි මල්ලක් ගනී. දැරියට වෙනම අන්නාසි මල්ලක් ඉල්ලා සිටියා විය යුතුය. ඔහු ඇයටද අන්නාසි මල්ලක් ගෙන දෙයි. දැරිය හුලං පෙත්ත බිම අතහැර අන්නාසි කමින් සරුංගලය දෙස බලාසිටියි. ඇගේ දෙමව්පියන් අසල සිටි පෙම් යුවලක් දෙස බලාසිටියා විය යුතුය. ඔවුන්ගේ දැහැණ බිඳුනේ දියණිය අත දිගු කර පෙන්වූ සරුංගලයෙන් විය යුතුය. වැඩි වෙලාවක් නොසිට ඉදිරියට ඇදෙමින් සිටි අන්නාසි වෙළෙන්දා පසුපස මා ඇවිද ගියෙමි.


ඡායාරූපය මෙතනින්

Wednesday, October 12, 2011

ඉන්ද්‍රජාලිකයාගේ මරණය


මෙය මින් සති කිහිපයකට පෙර පැවති කෙටි කථා තරඟයකට ලියන ලද්දකි. පෙර කියවා ඇත්තෝ සමාවෙත්වා. මෙය එම කෙටි කථා තරඟයේ, අග සිට ජනප්‍රියම ස්ථාන පහ තුල සිටි සේම මුල සිට හොඳම තුන් වෙනි කතාව ලෙස තේරී පත්වුනි. මින් පෙර කියවූ සහ අඩු පාඩු සඳහන් කලවුනට ස්තූතිය!
අත්ලවල් එකට වදින දෙස ඔහු මොහොතක් බලා සිටියේය. ඒ ශබ්දයට ඔහු ආශා කල අතර එය නොතිත් ආශාවක් බවත්, තමාගේ ඉන්ද්‍රජාල උපදින්නේ මුදල් සහ අත්පොලසන් වෙනුවෙන් පමණක් බවත් ඔහු විශ්වාස කලේය. තිරය වැසුනතර, රතු තිරයෙන් ඔහු සැඟවී යන දෙස බලා සිටි පොඩිවුන්ගේ මුහුණේ වූ දුක්මුසු හැඟීම ඔහුට සතුටක් ගෙනාවේය. තිර වැසී, පහන් නිවී අවට අඳුරු වූ පසු ඔහු ක්ෂණයකින් ඔහුගේ අතීතයට ගියේය. හේ වලව් පැලැන්තියක එක් පරම්පරාවක් බඩ පිස්සෙකි. ඒ වනවිටත් අයියලා අක්කලා ස්වයං පාලනයක් යටතේ ජීවත්විය හැකි මට්ටමකට වැඩී තිබූ බැවින්, බඩපිස්සා වෙනුවෙන් තනි මෙහෙකරුවෙකු වෙන් විය. නෑවීම, කැවීම , සුරතල් කිරීම, නිදි කරවීමට අමතරව උරහිසේ පුංචි මහත්තයාගේ හිස හොවාගෙන පැදකුණු කිරීමද හේ සතුටින් ඉටු කලේය. කතා නායකයා දැණුම් තේරුම් යන වයසකට ආපසු, සවසක වලව්ව පසු පස මෙහෙකරුවා තම පුංචි හාම්පුතාට ඉන්ද්‍රජාල කිහිපයක් පෙන්වීය. අතේ වූ ටොපිය හැන්ගීම, වම් සාක්කුවට දැමූ රුපියල දකුණු සාක්කුවෙන් ගැනීම වැනි ඉන්ද්‍රජාල කිහිපයකට පසු තමා ඒ දෙස විශ්මයෙන් බලා සිටින විට, ඔහු තමා වෙත හෙළුවේ තමුන් මෙතෙක් වෙලා තම ප්‍රක්ෂකයන්ට දැක්වූ ගාම්භීර සිනහවම නොවේදැයි ඔහුට සිතිනි. ක්ෂණයකින් ඔහු නැවතත් වත්මනට පැමිණිතර හේ වේදිකාවෙන් ඉවත්ව සිය කුටියට ගියේය.

ඉන්ද්‍රජාල කිරීම් ඔහුගේ රැකියාව විය. විනෝදාංශය විය. ජීවිතය විය. වයස අවුරුදු නමය දහයේදී මෙහෙකරු විසින් තමා ඉදිරියේ ඉදිරිපත් කල මවා පෑම් කොතරම් ලාබාල අවධියක ඉන්ද්‍රජාලද යන්න ඔහුට පසක් වන සමයේදී සහ වර්තමානයේදීත් ඔහු ඒවා හට ගරු කලේය. මන්දයත් මුල් කාලයේ ඒ අවස්ථාවේ ලද ඉලිප්පීම නොවුනානම්, සීතල දේශයක කබා තුන හතරක් ඇඳගෙන සිය සහෝදර සහෝදරියන් මෙන්ම තමන්ටද උසස් මට්ටමේ ඒකාකාරී රැකියා කරන්නට සිදුවන්නට තිබුණු බැවිනි. ඊට අමතරව තම මෙහෙකරු ඉන්ද්‍රජාලික ගුරුතුමා හට ගෞරව කිරීමට ඔහුට තවත් හේතුවක් විය. මන්දයත් ඔහු තවමත් තමන්ගේ ගුරු මට්ටමේම රැඳී සිටින බැවිනි. මුල් කාලයෙන් පසු ගණිතය සහ ඇස් බැන්දුම් කෙරේ අතිශය ඥානයක් සහ පෙළඹවීමක් තිබූ තම මෙහෙකරුවාට ඉන්ද්‍රජාල පිළිබඳ දැණුම ලබාදීමට හේ උත්සුක විය. තමාට වඩා විසිවසකින් වැඩිමහලු මෙහෙකරුවාට ශාස්ත්‍රය දී ඒ හරහා තමාගේ සිහින වෘත්තිය වූ ඉන්ද්‍රජාලකරණය ඉදිරියට ගෙන යාම ඔහුගේ අපේක්ෂාව ඉව්ය. ප්‍රේක්ෂකයන් රැවටීම නොහොත් රඟපෑම පිලිබඳ තමන් වෙහෙසෙන අතරම , එම ඉන්ද්‍රජාලයෙහි යාන්ත්‍රණය නො එසේනම් රසායනය සිදුකිරීමට ඔහු සිය මෙහෙකරුවා යොදාගත්තේය. ඔහු තම පුංචි හාම්පුතාට හැකි උපරිමයෙන් සේවය කල අතර, මසකට එකක් බැගින් වූ නව ඉන්ද්‍රජාලයන් සොයා ගැනීමෙහිලා උපරිමයෙන් වෙහෙසීය. තම මෙහෙකරුගේ මෙහෙයටද මෙහෙකරුවෙකු ලබාදීමට කතා නායකයා උත්සුක වූ අතර, සියලු සැප සම්පත් මධ්‍යයේ සියල්ල සතුටින් ගලා ගිය සේම ඉන්ද්‍රජාල ශාලාවටද සෙනග ගලා ආවේය. ඔහු තමා වෙත යාන්ත්‍රණය නිමකොට දුන් ඉන්ද්‍රජාලයේ, කවරය සකසමින් සහ හැඩ කරමින් සිටියේය. යාන්ත්‍රණය පිටතට නොපෙනෙන ලෙස කවරගත කොට අවසන එහි රස වැඩි කිරීමට හැඩකිරීම් කල යුතුය. ඔහු දන්නා ඔහුගේ සමකාලීන ඉන්ද්‍රජාලිකයින් බොහෝමයක් සිය ඉන්ද්‍රජාලකරණයේ ඔහුට පසුපසින් වන්නට ප්‍රධානම හේතුවක් වූයේ ඔවුන්ගේ කවරය යෙදීම යම් දුර්වල මට්ටමක වූ නිසා එම යාන්තරණය දැනගැනීමට අනෙකුත් ඉන්ද්‍රජාලිකයන්ට පහසු වීමත්, බොහෝමයක් වුන්ගේ යාන්ත්‍රණය ප්‍රේක්ෂකයාට පවා හෙලි වීම නිසාත් මොහු පිලිබඳ ප්‍රසාදය වැඩි වීමය.

ඔහුගේ ජීවිතයද ඉන්ද්‍රජාල හේතුවෙන් නවමු මාවතකට ඇදී යමින් තිබූ කාලයකි. ඒ ඔහු සිය ඉන්ද්‍රජාල, හෝටල් තුල රඟවමින් තිබූ කාලයකි. ඔහුව ලබා ගැනීමට හෝටල්කරුවන් පොරකෑ අතර රාත්‍රී හත නවය කාල පරාසය හෝටල් වෙත විශාල ප්‍රේක්ෂක ප්‍රමානයක් ඇද්දවීමට සමත් විය. හෝටලය වෙත පිටින් ඇදී නො ආ, වටින් ගොඩින් එහෙන් මෙහෙන් බලා විශ්ම වන සොඳුරු මුහුණක් හේ සිත්ගත්තේය. සිය රංගනයේදී සිය ඉන්ද්‍රජාල යාන්ත්‍රනයේ විශ්මය එලිදැක්වීමට පෙර, ප්‍රෙක්ෂකයා සිය ඉන්ද්‍රජාලය කෙරේ උත්සුක කලද ඔහු සිය ආදරය ප්‍රකාශ කිරීමේදී ස්ථීරව සහ ස්ථාවරව තම කැමැත්ත ප්‍රකාෂ කිරීම සිදු කලේය. ඒ වටින් ගොඩින් බලා සිත් ගත් රුව හෝටල් හිමිකරුගේ දියණියගේ වූ අතර ඒ වෙනුවෙන් ප්‍රධානයක් ලෙස හෝටල් හිමිකරුට අයත් වූ විශාල ශාලාවක හේ සිය ඉන්ද්‍රජාල කටයුතු ආරම්භ කලේය. වෙන වෙනස් ශාලා, තම ඉන්ද්‍රජාල වෙනුවෙන් සකස් කිරීම සහ ඉවත් කිරීම කරදරකාරී සහ අනාරක්ෂිත විය. තම විවාහ දිවියේ සියලු රස, විඳිමින් සිය හැඩරුවම යුතු දියණියකගේ සුරතල්ද මැද ගෙවෙන සමයක සිය බිරිඳ නැවතත් ගැබ් ගෙන සිටියේය. ඒ හේතුවෙන් කතා නායකයාගේ සතුටක් එතරම් නොදැවුණු අතර අඩ දබර ගෙරවිලි රැවිලිද මැද කිසිඳු වැටීමකින් තොරව ඉන්ද්‍රජාලකරණය ඇදී ගියේය. පියාගේ නමට කතානායකයාගේ නම යෙදුනු උප්පැන්නයක් සමග තවත් දියණියක් මෙලොව එළිය දුටු අතර හද ගැස්ම වැඩි වූයේ සිය වලව් මෙහෙකරුගේ හඳුනාගැනීමේ සලකුණක් වූ පපුවේ දකුණු පැත්තේ පිහිටි උපන් ලපය සිය දියණියගේ එම ස්ථානයේම එයාකාරයෙන්ම තිබෙනු දැකීමත් සමගමය. තත්වය වඩාත් අයහපත් වූ අතර හේ එය යටපත් කිරීමට ඉන්ද්ය්‍රජාල කවරයක් යෙදවීමට සිත යෙදවුව මුත් එය අසාර්ථක වූ අතර ජනනය කල වුන් ඉවත් කරනවාද? ජනනය වූ දෙය ඉවත් කරනවාද? යන අවසන් විසඳුමක් සෙවීමෙහි එලබ සිට හේ අවසානයේ නිශ්චිත තීරණයක් ගෙන තිබිණ.

Wednesday, October 5, 2011

කැමරාවකින් පන්නරය ලදීමි.


අම්මාගේ සිත් සතුට වෙනුවෙන් බෙල්ලේ එල්ලාගෙන සිටි සුරය, මා ගලවා දැමීමි. බසයෙන් බසින විට එය බෙල්ලේ නොතිබූ බව මම ඇයට කිවූ අතර, එය බොරුවක් බව දැන දැනත් "තදට බැඳගන්න තිබුනනේ" යැයි කියා ඇය නිහඬ විය. සුරය මට හිසරදයක් විය. ඒ අනෙකක් නිසා නොව එය බැඳ තිබූ නූලේ වටප්‍රමානය වටා දුවමින් පවතින බැවිනි. කැමරාව බෙල්ලේ එල්ලා සිටින අතර, එය කැමරා පටියට තද වූ විට ඇතිවන වේදනාව මෙන්ම අවධානය ඉවත යාමද මා ඒ කෙරෙන් මිදීමට හේතුවක් විය. එවකට මා තරුණියන් දෙදෙනෙකු සමග පෙම්පලහිලව් ඇතිකරගෙන සිටි අතර කාලය විසින් මා හට වඩාත් සරිලන තරුණිය ඉස්මතු කොට තිබුණි. ඈ, මා බොහෝ සෙයින් තේරුම් ගෙන සිටි අතර, අප අතර වූ යම් යම් නොගැලපීම් වලට අප එක්ව පිළිතුරු සපයා ගනිමින් සිටි කාලයකි. හැකි වේලාවල මා අනෙක් තරුණියද මුණ ගැසීමට ගිය අතර ඈ හට සත්‍ය පැවසීමේ දෙගිඩියාවකින් මා ලතවෙමින් සිටියෙමි. එදින ඈ හට අලුත් මාතෘකාවක් විය. බාලිකා පාසලක උත්සවයක් ඡායාරූප ගත කිරීමට අහම්බෙන් ලැබුනු අවස්ථාව මා විසින් ප්‍රයෝජනයට ගැනීම ඇයට ප්‍රශ්නයක් විය. "ඔයා තවත් මෙහෙම තැන් වල පින්තූර ගන්න යනවනම් මට ඔයත් එක්ක ඉන්න බෑ." යනු ඇයගේ දෙලොවක් අතර ප්‍රකාශය විය. ඇයත් බාලිකා පාසලක උගත්තියක් වූවාය. ඒ සඳහා මා ඇස් උපයෝගී කොට ගෙන දුන් පිළිතුරෙන් පසු, නොසැනහුණු හුස්මක් පිට කල ඈ මා හැර ගියාය. මා ඇය ආපසු හැරී යනයුරු ඡායාරූප ගත කලෙමි. පසෙකින් පෙම් යුවලක්ද, අනෙක් පස සුරා සැලක්ද විය.


"අම්ම තාත්තගේ සල්ලි නාස්ති කරන්නෙපා. මෙව්වා අරං දෙනවට අම්මා තාත්තටයි ගහන්න ඕනා." ඒ දිනක් මා කැමරාවක් ගෙලෙහි ලා මාවතක ඇවිද යනු දුටු පිය පාර්ෂවයෙන් ඥාති ස්ත්‍රියක් කී කතාවකි. මා කැමරාවට ආදරය කරන තරමටම පියා ඒ වෙනුවෙන් සතුටු වන අතර, සැමදා මා නිශ්චල කරන ලද රූ රැගෙන ආ පසු ඒ දෙස බලා සිටින අම්මා කාමරයෙන් පිට වන්නේ සතුටු කඳුලකින් නෙත් සරසාගෙනය. මා ඒ ඥාතිවරිය ආශ්‍රයෙන් ඉවත් කර දැමුවෙමි. මාගේ පෙම්වතිය මවිසින් පලමු වරට දුටුවේ භක්ති ගීත තරඟයකිනි. මා එම උත්සවයේ ඡායාරූප ශිල්පියාව සිටි අතර, ඈ ඉදිරිපෙල ගායිකාවක් විය. උත්සවය අවසන තරුණයෙකුගේ කටින් පිටවූ "කැමතිද?" යන්නට, තරුණිය "හා" යැයි පවසා තිබිණි. ඉන් තුටුවූ මා උත්සවයෙන් මා හට ලැබීමට නියමිතව තිබූ මුත් නොලැබුනු ගෙවීම වෙනුවෙන්ද තර්ක නොකර ගෙදර ආමි. ඒ වන විටද පෙම්වතියක් මා ජීවිතයේ සිටි අතර, ඇයගෙත් මගෙත් නොගැලපීම මතු දිනයක කැමරාව විසින් පහදනු ඇතැයි මා කිසිවිටකත් නොසිතුවෙමි. මා උසස් පෙළ ගණිත අංශයෙන් අසමත් විය. දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් තැවුණු අතර, "දැන් මොකද්ද කරන්න හිතුවේ?" ඔවුන්ගෙන් මා වෙත එල්ල වූ ප්‍රශ්නය විය. මගේ මුවින් පිලිතුරක් නිකුත් වූ අතර වැඩිමනත් නොහිතා එයට හිස සැලූ ඔවුන් මගේ උසස් අධ්‍යාපනය සඳහා වෙන්කර තිබූ මුදලින් මාගේ කැමරාවක අවශ්‍යතාව සපිරවීය. මාගේ පලමු ඡායාරූපය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය සතුටුදායක වූ අතර, ගතවන දිනයක් පාසා මේ මොහොත තෙක් ඡායාරූපකරණයෙහි නව මානයක් සොයා ගැනීමෙහි මා නිරතව සිටියි. මීලඟ ඡායාරූප දස දහස තුල හෝ එම අරමුණ ඉටු කරගැනීමේ කාර්‍‍යයේ මා වෙහෙසෙමින් සිටිමි.

ෆෝකසින් මෝටරය ක්‍රියාකරන ශබ්දයෙහි දෙසවන් ගැලී ඇත. ඡායාරූපය තුල අවධානය රඳවා ගැනීමට එම අනවරත ශබ්ධය අතිශය පහසුවකි. මා ඡායාරූපයක ආලෝකය පිලිබඳ ප්‍රශ්නයකට මැදිව සිටි
යෙමි. ප්‍රශ්නය පසෙකලා ඊට අදාල ක්ෂේත්‍රයේම වෙනත් දෙසකට සිත යොමු කිරීම ප්‍රශ්නයට පිළිතුරක් ගෙන දේ යැයි විශ්වාස කිරීම මා කුඩා කල සිටම මවෙතින් සිදුවුනකි. මා මෙතෙක් දැක ඇති මතකයේ බැඳුනු ඡායාරූප දෙසට සිත යොමු කලෙමි. අතිශය විශාල ගසක් අභියස කුඩා ලමුන් කිහිප දෙනෙක් විය. ඔවුන් ඒ සෙවනේ කෙලිදෙලෙන් සිටින ආකාරය ඡායාරූපයේ සටහන්ව තිබිණි. ඡායාරූපයේ මාතෘකා "තාත්තා" විය. තවද, රෝහල් ඇඳක් මත සුදු රෙද්දකින් ආවරණය වූ දෙපා සහිතව, නිරාවරණය වූ යටි පතුල් වල ඡායාරූපයක් විය. එය ඇඳ මට්ටමින් පාදාන්තයේ සිට ගත් ඡායාරූපයකි. නිරාවරණය වූ රෝස පැහැති කුඩා යටි පතුල් වල ඉහල කෙලවරේ මහපටැඟිලි සුදු හුයකින් ගැට ගසා තිබුනතර රූපයේ මාතෘකාව "ඩෙංගු" නම් විය. තවද මූට්ටු කරන ලද ලෑලි අතර පරතරය බොහෝ වැඩි මේසයක් මත, කුප්පි ලාම්පුවක් දල්වා ගෙන පාඩමේ නිරත වන ලමයෙකුගේ රුවකි. ලාම්පු එලියෙන් ඡායාරූපයට කැපී පෙනුනේ වරිච්චි බිත්තියකි. ලමයාගේ මුහුනෙන් බාගයකටද එලිය වැටී තිබුනතර, ඔහුගේ නිකටේ රැඳී තිබුනේ දහඩිය බිඳකි. ඡායාරූපයේ නම "CFL" විය. මා හට අවශ්‍ය පිලිතුර සිහියට ආ අතර, එහාට මෙහාට මනාසේ හැරවිය හැකි විදුලි ලාම්පුවක් මාගේ ආලෝකකරණ ප්‍රශ්නය විසඳීය.

කැමරාව හේතුකොට ගෙන එයට හිතැති සහ උනන්දු බොහෝ මිතුරු පිරිසක් ආශ්‍රයට ලැබුනු නමුත් ඔවුන් බොහෝමයකගේම සියල්ල ඒ වෙතම නොවීය. එයට හේතු ලෙස ඔවුනට පවුල, රැකියාව, තත්වය, ප්‍රේමය යනාදී බොහෝ දේ වූ අතර, ඔවුන් තමන්ගේම හෝ මින්පෙර වූවෙකුගේ යම් ආකෘතියක් තුල ඡායාරූපකණය සිටුවා තැබීය. තමන්ගේ ආකෘතියක් තුල පවා සැරි සැරීමේ නිදහසක් ඔවුන්ට හමු නොවූ අතර ඒ සඳහා කාලයක්ද ඔවුන්ට නොවීය. තවමත් මාගේම වූ ආකෘතීන් බිඳිමින් ඡායාරූපකරණය වෙහෙසවන, මා පියාගේ මුදලින් යැපෙන අතර අනෙකුන් විවිධ වූ රැකියා වල නිරත වෙමින් සිටියහ. ඔවුන් ආර්ථිකමය අතින් මා හට ඉදිරියෙන් වූ අතර ඡායාරූපකරණයට මා වෙතින් ඇති ආශාවම ඔවුනට ඊර්ෂ්‍යා කිරීමේ සහ ආර්ථිකමයව ඔවුන් අභිභවා යාමේ ආශාවේ අවධානමෙන් මා මිදවීය. සමහරවිට මෙය ඔබේ අතීත කතාව විය හැක. නොඑසේනම් අනාගතයේ මෙය විඳීමේ නොතිත් ආශාවකින් ඔබ පෙලෙනවා විය හැක. මා ජීවිතයේ බොහෝමයක් කඩයිම් කැමරාව තුලින් දිනා ඇත්තෙමි. එන්න! මේ ඉන්ද්‍රජාලිකය ස්පර්ෂ කර බලන්න. ඔබ තුල ඇති ආශාව මතින් නැගී එය ඔබව වසඟයට ගනු ඇත. වරදන්න.. හදාගන්න.. ගොඩනැගෙන්න.. ඔබගේ වටිනාකම තීරණය කරන්න.

Wednesday, September 28, 2011

ටොපිය

මේක පොඩි කතාවක්. හරියටම කිව්වොත් ටැබ්ලොයිඩ් වල කවරයේ කතාව කියලා ඉස්සරහා පිටුවේ පින්තූරය විස්තර කිරීමක්. මේ ටොපියේ කවරයේ කතාව. ඒකට ටොපියේ කවරය බලලා ඉන්න වෙනවා මුලින්.
මේ මම ටික කාලෙකට කලින් යොදාගත්තු කවරයක්. පැත්තෙන් ඉන්නේ වෙනස් විදිහක ගෑනියෙකුයි මිනිහෙකුයි. මෙතන රූපේ වෙනස් විදිහට තියෙන්නේ හිතන විදිහ ඇඳලා පෙන්නන්න බැරි නිසා. මට ඕන උනේ වෙනස් විදිහකට හිතන උන් මේක කියවන්න. එතකොට මටත් වෙනස් දෙයක් උන්ගෙන් දැනගන්න පුලුවන් වගේම, මම කියන දේත් උන් වෙනස්ම විදිහකට හිතාවි. එනිසා ඒ රූප දෙක මට අනුව ආරාධනාවක්. මේකේ නම ටොපිය උනේ නිකංම. ඒකට හේතුවක් නෑ. හැබැයි පහු කාලෙක ටොපිය කියන එකට අරුතක් සහ හේතුවක් ගොඩනගන්න මට ඕන උනා. ඒක තමයි ඔය හෙඩරයේ උඩින්ම තියෙන වචනය, TOPඊයඃ!. ටොප්+ඊයඃ, ටොප් එක, උඩ, මුල එහෙමත් නැත්තං ආරම්භය ඊයඃ කියලා හිතෙන්න පුලුවන්. හැබැයි "හරිහමන් හැඩයක් නැති උනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". මේ උදාහරණේ කියවපු ගමන් ඔලුවට එන කුණුහරුප හැඟීමෙන් නියෝගයක් කරන්නේ ගෑනුන්ට විතරක් කියලා කියවන උඹලට හිතුනට, මේක අර්ථයෙන් විතරක් ගත්තොත් පිරිමින්ටත් පොදුයි. එනිසා කවදාවත් උඩින් පල්ලෙන් බලලා දෙයක් ගැන තීරණය කරන්නවත්, ඒ ගැන විචාරයක් දෙන්නවත් එපා. මනුස්සයෝ වශයෙන් එහෙම දේවල් නොකරම ඉන්න බෑ. එනිසා පුලුවන් තරමකින් අඩු කරගන්න බලන්න වෙනවා. බ්ලොග් වලදිත් ඒ දේ එමමයි.

ටොපිය ලියන්නේ මම උනාට මේකේ තනිකරම ලියවෙන්නේ මගේ කතාම විතරක් නෙමෙයි. නිකමට හිතෙනා.. සවනට වැටෙනා.. දෑසින් දකිනා.. මවිසින් විඳිනා.. බොහෝවිට ඒ උඹලගේ සහ තවත් මිනිස්සුන්ගේ කතා. ඒත් ඒවයින් සමහරෙකගේ කතා වල මම මුල් වෙලා කතාව ලියවෙන කොට කමෙන්ට් වලින් දැණගන්න ලැබිච්ච දේ තමයි උඹලා ඒ කතාව මගේ ජීවිතේට ආදේශ කරගෙන කියවන එක. ඒකෙත් අවුලක් නෑ. ඒත් එහෙම සිද්ධියක් හරියට තේරුම් ගන්න ඒ ක්‍රමේ එච්චර සාර්ථකයි කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා කවුරු ලියපු කාගේ කතාවක උනත් ප්‍රධාන චරිතය යොදාගන්න ඩමියක් තමුන් විසින් හිත ඇතුලේ දාගන්න. උදාසීන මිනිස් ඇඟක්. දැන් උඹලට පුලුවන්, ඒ ඒ කතාවෙන් එලියට එන ගතිගුණ එක්ක අර චරිතාංග අර ඇඟට ඔබ්බගන්න. එතකොට මගේ හෝ වෙනින් ඕනම ලියන්නෙක්ගේ චරිතත් එක්ක උඹලා හිතේ ගොඩදාගන්න කතාව පැටලවීමක් වෙන්නේ නෑ.
මේ මම පටන් ගත්තු තුන්වෙනි බ්ලොග් එක. පලවෙනි එක 2008 අවුරුද්දේ අග අමුතු නමකින් පටන් ගැනුනත් දැන් ඒක නෑ. දෙවැන්න දැනට වේලෙමින් පවතින දේෂපාලණික බ්ලොගක්. ඒ කාලෙට වඩා මම ලියපු විදිය හුඟක් වෙනස් වෙලා. ඒකට හේතුවම මම එන්න එන්නම කියවපු දේවල් වෙනස් වෙලා. ඒ කාලේ තෝරාගත් පොත් ටිකක් කියවපු මම, දැන් හුඟක් පැති වල පොත් කියවනවා. ඒකට ඇත්තට ස්තූති වෙන්න ඕන මට බ්ලොග් වලින් හම්බෙච්ච යාලුවොන්ට. ඒ වටින යාලුකං හදලා දීපු නිසාම ටොපිය මට හුඟක් වටිනවා.

අවුරුදු දෙකකුත් මාස දෙකකට එහා පැත්තේ ලියලා, අදට ටොපියේ ලිපි සියයක් තියෙනවා.

Wednesday, September 14, 2011

පෝ දින සාකච්ඡා


අද දින මේ වාහිණිය ඇවිල්ලා මේ ගමේ සජීවීව කරන මේ පොහෝ දින ධර්ම සාකච්ඡාව ශ්‍රවනය කරන්න ආපු පිංවතුන්ව පිංවතියන්ව අපි බැති සිතින් පිලිගන්නවා. එසේනම් මා නමස්කාර පූර්වකව මයික්‍රෆෝනය භාර කරනවා අති පූජ්‍ය බඹරැන්දේ සුමනසාර නාහිමිපානන්ට අප ඔබ සැම තිසරණ සහිත පංච සීලයේ පිහිටුවීමට.

ස්.. සා.. ධූ... උපාසකම්මා දන්නවද අද හුඟක් උන් මෙතන ටැක් ගැහිලා ඉන්නේ බණකට දහමකට ආසාවකට නෙමෙයි. ටීවී එකේ මූන පෙන්න ගන්නනේ.

නොදකින්වත් මුං... මං අහගෙන සමහරක් කතාවෙනවා අද දවල් දානේ හුඟක් හොඳ තැනකින් කියලත්. ඇත්තටම උඹට ආරංචියක් නැද්ද උපාසකම්මේ කොහෙන්ද කියලා?

ඔය මහ හෝටලේකින් කියන්නේ. බත් පාර්සල්ලු දෙන්නේ. මං ලොකු කෙලීට කියලමයි ආවේ දවාලට මෙහාට වරෙන් පුලුවන් උනොත් තව පාර්සලයක් අරන් දෙන්නං කියලා.

නොලැබෙන දේ පසුපස එලවීමත්
ලැබෙන දෙයට සීමා නැති වීමත්
අන්සතු දේ නොකියා ඩැහැගැනුමත්
පව් පුරවයි මනු දිවියට කවදත්

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...

******************************************************

ආන් දැක්කැයි අද ජිනසීලී තනියෙං..

හ්ම්ම්ම්... මාත් අහන්නමයි හිටියේ. හැබෑටම කෝ රත්නවතී..

දන්නැතෙයි, උන්ගේ ලමයි පිටරට වල අරාබිකාරයොන්ට කඹුරලා කඹුරලා අම්මට ගෙනත් දීලා නෙව මහ විසාල ටීවී, රේඩියෝ. ඒ මදිවට හාමුදුරුවන්ගේ බණ තියෙන ටේප් රාසියක් ගෙනල්ලලු. මහ උන්දෑ දැන් ඒකෙන් බණ අහන්නේ. බිම ඉඳගන්න අමාරුයි කියලලුනේ ඒ අම්මණ්ඩි ගෙදරට වෙලා ඉන්නේ.

හැබෑටම නාකි වෙන්ඩ වෙන්ඩ මුංගේ මල කෝලං..
කොහෙදෑ හැබෑටම ඒ අම්මණ්ඩිගේ ලමයි ඉන්නවා කියන්නේ.

ඔය අරාබිකරේලු. බැංකුවක කියලා තමයි කියන්නේ. ඒ වුනාට අහල පහල නං කතා වෙන්නේ ඕකුන් ගෙවල් වල වැඩ කරනවය කියලයි.

කවුරු දන්නවද නංගියේ..

හැබැයි එකත් එකටම මෙහෙදි හරියට වැඩක් පලක් කරපු නැති උන්ව එහේ හොඳ රස්සා වලට ගනීවියැ. සමහර විට බැංකුවල උනත් හෝදන කරන වැඩ වෙන්නැති. රත්නවතී උඩ දාගෙන කියෙව්වට.


අනුන් ඇසෙහි රොඩු කුණු අවුලන්නේ
තමන් ඇසෙහි පොල් අතු නෑ දන්නේ
පිහාටුවක් පක්ෂි රැලක් කරන්නේ
පවක් කියා දුදනෝ නෑ දන්නේ

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...


******************************************************

හප්පේ දවාලෙ භෝජනේ නං පංකාදු පහයි.ඉස්මුරුත්තෙට එනකංම කෑවා. භාවනා වැඩසටහන වෙලාවේ සනීපෙට දෙහෝරාවක් විතර ඇහැත් පියවුනා ඕං. ඈ උපාසකම්මේ ඔහේගේ ඇහැ පියවුන්නැතෙයි?

කොහෙ පියවෙන්නද උපාසකම්මේ.. මේ ගැටිස්සියොන්ගේ සිරික්කිය දැකලා මට මාරයාවේස වෙලා උන්නේ..

අර මක්කෙයි... අපරාදේ මමගේ ඇහැ පියවුනේ නැත්තං..

හ්ම්ම්... දහම් පාසලේ කොල්ලෝ කෙල්ලෝ ටිකටත් දැන් මනමාල විසේ ඔලුවට ගහගෙන එනවා.
අඩු තරමේ සීල වියාපාරේ දවසටවත් මුං හැදෙන්න දැනගන්නෝන්නැද්ද මං අහන්නෙ?
එහෙං සිරික්කි.. මෙහෙන් සිරික්කි.. අර ගුණපාලයගේ ලොකු කෙලී මං දැක්කා අර සමන් කොලුවගේ පිටටත් ගහනවා

සමන් කොලුවා කිව්වේ?

අර ඉන්ද්‍රසිරියගේ මද්දුමයා. ඌ නං අහිංසකයා.

අහිංසක හොඳ අහිංසක. අප්පා වගේම නැතෑ පුතත්.
අපේ අල්ලපු වැටනේ ඕං. මම නොදන්නවැයි ඕකුන්ගේ කැරැට්ටුව. මහම මහ කුම්මැහියෙක්. උදේකට දැක්කොත් දවසම ඉවරයි.
එදා අපේ මද්දුමී අරාබි යන වැඩේ හබක් වුනෙත් ඕකුංගෙන් මොකෙක්හරි එකෙක් මුලිච්චි වෙලාම තමා මූනට... නෙද්දකින්වත් තුඃ!
අපේ ගහේ කොස් ගෙඩිය හොරාට කඩාගන්නවා.
තව කරන තරමක් තුච්ඡ වැඩ කරලා බබ්බු වගේ ඉන්න හැටි.
මං විස්තරේ නොකිව්වනං උඹ එහෙම හිතන්නෙත් නැහැනොව නංගියේ..
ඕකුංගේ කවරේනං සුදුයි..

වෛරෙට වෛරය නෑ යටවෙන්නේ
එරවිලි ගැරහිලි නෑ සැපදෙන්නේ
කියන කියුම් නිසි ලෙස හිතපන්නේ
බිඳෙන සිතක් නෑ සුවපත් වන්නේ

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...

හම්මේ යාන්තං පවාරණේට තව හෝරාවයි..



Wednesday, August 31, 2011

චිත්ත වංකගිරි නිර්මාණය


මිනිසුන් අතරමං කිරීම.  පලමු සහ සුවිශේෂම කාරණය, මෙය අන් මිනිසුන් අසරණ කිරීමක් නොවන බව. ඔබේ දැනීම උදෙසා, ඔබ අන්‍යන් තේරුම් ගැනීම උදෙසා ආත්මාර්ථය පෙරටු කොටගෙන අන්‍යන් අතරමං කිරීම. මේ තුල ඔබටත් සුවිශේෂ ආරක්ෂාවක් නෑ. මෙය සිදු කිරීමට ඔබද ඔබගේ චිත්ත වංකගිරිය තුල ජීවත් විය යුතුයි. එසේ නැති වුවහොත් වංකගිරිය නිර්මාණය කරන ඔබේ සැබෑ ජීවිතයේ බොහෝමයක් දේ බිලිදීමට සිදු වෙනවා. එනිසා මෙය ඔබ පිටත සිට ආරක්ෂිතව සිදු කරන ක්‍රියාවක් නොවෙයි. ඔබ වෙත තිබෙන එකම වාසිය ඔබ එහි නිර්මාතෘ වීමම පමණයි. ඔබ එම වංකගිරියේ සැලැස්ම හොඳින් දන්නවා. එසේ දැනගත්තා වුවත් ඔබට එයින් පිට විය නොහැකියි. මන්දයත් ඔබ වංකගිරියෙන් පිටවුනු වහා එහි නිර්මාතෘ හෙලි කරගැනීමට පහසු වෙනවා. එනිසා ඔබ එය ඇතුලත ජීවත් විය යුතුයි. ඔබ එහි ප්‍රධාන නළුවා. සිහි තබා ගත යුතු දෙවන කාරණය, වංකගිරියෙන් පිටතද මිනිසුන් සිටිනවා. එනිසා තාප්ප සහිත ඔබේ වංකගිරියට වහලයක් සාදාගන්නේ නම් මැනවි.

මින්පෙර මෙයාකාරයේම ලිපියක් වෙනත් අඩවියක පලවී තිබුනා. එම ලිපියේ ප්‍රධානතම අවබෝධය දෙනු ලබන්නේ "අනන්‍යතාවය" ගැන. මේ ලිපියේ ප්‍රධානතම අවබෝධය දෙනු ලබන්නේ "අවබෝධය" ගැන. එසේ අවබෝධය ලබා ගැනීමට අනන්‍යතාවය වැදගත්. චිත්ත වංකගිරි වැඩිපුරම නිර්මාණය කල යුත්තේ මුහුණට මුහුණ වැඩිපුර හමු නොවන චරිත සඳහා. පෙර කිවූ අඩවියේ පලවූ ලිපිය අනන්‍යතාව සම්බන්ධව තව දුරටත් තර්ක කිරීමෙන් මා ඈත් කලා. එම නිසා එහි තර්කය අඥාත වූ අනන්‍යතාවයකදී අතිශය සාර්ථකයි. සෙවීම් නිෂ්ඵල විය හැකියි. ඔබ තවත් වංකගිරියකට ඇතුල් වූවාද දන්නේ නෑ. සිහි තබා ගත යුතු තෙවන කාරණය, මේ නිර්මාණය ක්‍රියාත්මක කරන්නේ සිහිනයක් තුල නෙමෙයි. සිහිනයක් තුලදී එහි ක්‍රියාත්මක වීමේ කිසිඳු බලපෑමක් පියවි ලොවේදී බලපෑමක් වෙන්නේ නෑ. සාමාන්‍යයි. පියවි ලොවේ ඔබේ සතුරෙකු සමග සිහින ලොවේදී ඔබ එක්ව යම් ක්‍රියාවක් කලා විය හැකියි. නමුත් පියවි ලොවේදී නැවතත් ඔහු ඔබේ සතුරා. නොඑසේනම් පියවි ලොවේ මිතුරාට සිහින ලොවේදී ඔබ එලව එලවා පහර දුන්නා විය හැකියි. නමුත් නැවතත් පියවි ලොවේදී ඔහු ඔබේ හොඳම මිතුරා. යටි සිත තුල යමෙකු පිළිබඳ ඔබේ ඇති සත්‍ය හැඟීම පියවි ලොවේදී බලපෑම් කරනවා අඩුයි. මන්දයත් "ලෝකය රඟ මඩලකි. අප එහි රඟන නළුවෝ වෙමු."

සිත පාලනය කිරීම මනුෂ්‍යයනට අපහසු දෙයක්. අන් අයට ඔවුන්ගේ සිත පාලනය කිරීම අපහසු බැවින් ඔබට එම වාසිය ඔබේ චිත්ත වංකගිරිය සඳහා යොදාගත හැකියි. සිව්වන කාරණය, ඔබ මනුෂ්‍යයෙකු බැවින් එය ඔබටත් බලපෑ හැකියි. චිත්ත වංකගිරි නිර්මාණයේ ඇතුලත, ඔබ හෝ ඔබ අතරමං කිරීමට සැලසුම් කරන පුද්ගලයා හෝ සමාජය උදෙසා නිර්මාණය කරන්න. ඔබට ප්‍රශ්නයක් මතු වේවි, ඔබට ආවේණික ආකාරයකට පසුබිම සකස් වීමේදී ඔබ දෙසට සැකයේ ඇඟිලි එල්ල වීමට ඉඩ ඇතියි කියා. ඔව්, ඒ සැකයක්. ඕනෑම අයෙකුට සැක කල හැකියි. නමුත් ඔවුනට සැකය ඔප්පු කරගත හැකි එකම මග ඔබගේම පාපොච්ඡාරණයකින් පමණයි. සිතට ගත යුතු පස් වන කාරණය, එය ඔප්පු කල හැකි වන්නේ ඔබෙන් සිදුවන "වාචික" පාපොච්ඡාරණයකින් පමණයි. මන්දයත් නූතන තාක්ෂණය තුල Photoshop මෘදුකාංග භාවිතය ඉතාමත්ම සරළ දෙයක් වීමයි. ආරක්ෂාව සඳහා වංකගිරිය සැලසුම් කිරීම ඒ ඒ මොහොතට සැලසුම් කරන්න. නැතහොත් ඔබේ ඉදිරි සැලැස්ම පිලිබඳ ඉඟියක් ඊට පෙර පිටවීමට පුලුවන්. ඔබත් මනුෂ්‍යයෙකු නිසාවෙන්.

වංකගිරි නිර්මාණයේ දක්ෂ වීමට එක්තරා මූලික අභ්‍යාසයක් තිබෙනවා. ඒ ඔබ අනුන්ගේ වංකගිරියක පැටලීමයි. පලමුව චිත්ත වංකගිරියක ඔබ පටලන්නට උත්සහ කරන්නෙකු සොයාගත යුතුයි. ඔව්, එවැන්නන් එමටයි. ඔවුන් සෙවීමට ඔබට යම් අවබෝධයක් තිබිය යුතුයි. ඉන්පසු ඔවුන් නොදැනෙන ලෙස ඔවුන් ගේ වංකගිරියේ සැරිසැරිය යුතුයි. එසේම ඔබ එම වංකගිරිය තුල පැටලී ඇති වග ඒ පුද්ගලයාට හැඟවිය යුතුයි. නමුත් අනුන්ගේ වංකගිරි තුල තමුන්ගේ අනන්‍ය ලක්ෂණ, රහස් සහ තොරතුරු පිටවීමේ අවධානම වැඩියි. එම නිසා ඒ වෙනුවට නියැලීමට ඔබට සරළ ජංගම දුරකථන ක්‍රීඩාවක් යොදාගත හැකියි. "Snakes", snakes ඕනෑම සරළ ජංගම දුරකථනයක ඇති ක්‍රීඩාවක්. Snakes හී විශේෂත්වය ඇම් යොදමින් ඔබ නම් වූ සර්පයා විනාශ කොට පරාජය කිරීමයි. එහි තත්වයන් ඉහල යාමේදී snakes ක්‍රීඩාවට mazes නොහොත් වංකගිරිද එක් වුනා. එය ක්‍රීඩා කරන්න. එම සියලු ඇමවල් ගිලින්න. ඒවා නොගිලන තාක් ඔබ එක තැන. ඇම සොයමින් යන්න. ඔබට ඇම යොදන පුද්ගලයාගේ සියලු ඇම් ඉවර කරන්න. ගඩොල් බිත්තියක ඔලුව හප්පා ගත්තද, තමුන් විසින් තමුන්ව නොකන තැනට වගබලා ගන්න. එහි සැරිසැරීමෙන් තමුන්ට ලැබෙන ඥානය අනුව ඒ තුල ඔබ වර්ධනය වනු ඇති. එම ක්‍රීඩාවේ මූලධර්ම ඔබ කරන චිත්ත වංකගිරියටද යොදාගන්න. එය මදක් සංකීර්ණ වන්නා සේම, එය මහත්සේ ප්‍රථිඵල ගෙනදෙනවා. එය පැරඩොක්සීය නැඹුරුවක්ම කර නොගන්න. මන්දයත් ජනප්‍රිය ක්‍රමයකට පිටුපෑවුන් ඔබට බොහෝමයක් හමු වනු ඇති.එය අන්‍යන්ට ප්‍රතිවිරුද්ධව සිත මෙහෙයවීමක් බවට පෙළඹවාගන්න. එවිට යම් මොහොතක ඔබට ජනප්‍රිය ක්‍රමයට පක්ෂව සිටීමටද සිදුවිය හැකියි. හයවන සහ අවසාන කාරණය, ඔබ නිර්මාණය කල වංකගිරිය ඔබට අවැසි වේලාවක, ඔබට හානියක් නොවී නැවැත්විය හැකියි. ජය වේවා!

ප.ලි: මේක Inception වගේ ගොබ්බ ෆිල්ම් එකකින් ගත්තු දෙයක් නෙමෙයි. මේක ඊට කලින් ඉඳන් තිබ්බ සිතුවිල්ලක්. මේකට චිත්‍රපටයකින් උදව්වක් ලැබුනනම් ඒ The Prestige චිත්‍රපටයෙන් පමණයි. Inception ඔස්සේ මේ ගැන හිතන්නෙපා!

Sunday, August 21, 2011

"ද සමනල කතාව" රෝස මල් රටාවෙන්...


ලිපියට පෙර ලියමි: මේකට අදහස් හෝ උපදෙස් වැඩක් නෑ.  විමසන්න ප්‍රශ්නයක් කියවන උඹලාට ඉතුරුත් නෑ. මේක ලියන්නේ එක සමනලයෙකුට වෙඩි තැබීමේ පරම අභිලාෂයෙන් පමණයි! මේක මෙච්චර සරලව ලියන්න හේතුවත් මේක වදින්න ඕන ගොබ්බ සමනලයට මේක නොතේරේවි කියලා හිතලයි.

තැනක් තිබ්බා බ්ලොග් කියලා.
එතන කියවන මිනිස්සුත් ලියන මිනිස්සුත් හිටියා.


ඔය අතරේ හිටපු එක ලියන්නෙක් කලක් තිස්සේ ඉඳන් ලියපු කෙනෙක්.

දවසක් මේ ලියන්නා තමන්ට හිතිච්ච දේ ඒ විදියටම ලියලා දැම්මා.
ඒක පොඩ්ඩක් සමහරුන්ට දරන්න බැරි උනාදත් මන්දා.


වෙනදා මේ ලියන්නව නොකියවපු උන් මෙදා මූව කියෙව්වා.

සමහරු ලියන්නාට ඒ ඒ දේ ගැන අලුත් අදහසුත් දුන්නා.

සමහරු හොඳ කිව්වා. සමහරු නරක කිව්වා.

එක පුද්ගලයෙක් නින්දා කලා.

නින්දා කලේ ලියන්නාට නෙමෙයි. ලියන්නාගේ ලෝකේ වීරයොන්ට. අන්න එතනදි මේ කතාව ඒ නින්දාව නොකල උන්ට නොතේරී යනවා.

නින්දා කරන්නා හිතුවා ලියන්නා තමන්ගේ වීරයෝ වගේ වෙන්න යනවයි කියලා. ලියන්නාගේ එකම උත්සහය එය උනත් මෙතරම් ඉක්මනින් එය ඉටු නොවන බවත්, මෙතරම් කෙටි කලකින් එතරම් යාන්ත්‍රනයක් හෝ තියරියක් තමන්ගේ වචන ගොඩක් ඇතුලෙන් එලියට දාන්න නොහැකි බවත් ලියන්නා දැන හිටියා.

තමන්ගේ ලෝකේ වීරයන්ව බාල්දු කිරීම සම්බන්ධයෙන් ලියන්නාගේ ඇතුලත කේන්තිය ලියන්නාගෙන් පිට වුනේ හිනාවකින්.

එනිසා ලියන්නා රෝස මල් වලට සමනල කතාවක් ලිව්වා.

නින්දාවට සෙනෙහසින් ඔහු සමනලුන්ට වෙඩි තිබ්බා.

හුකාගනින්!



Tuesday, August 16, 2011

මගේ තාත්තා


සදා තෙදැති ගත හෙටටම වෙහෙස වුනේ
පතා සුවහසම මා සහ මවුන් වෙනුවෙනේ
විටෙක උපදෙස්ද විටෙක රැවුම් රවමිනේ
තාත්තා හට අදට පනහක් සපිරවුනේ

දුරදිග සිතා මොනයම් කීවද කොතෙකුත්
නොඅසයි නම් මෙමා තව කීවද සැරෙනුත්
කෙදිනක හෝ ඔබ මා සිතුවිලි සමමුත්
කෙසේ එකඟ වෙද මුරණ්ඩු ලෙයෙහි අරුත්

රෑ තුරු මා එනතෙක්ම ඇහැ ඇරන් සිටිමිනේ
කිසිත් නොම කියා ඇයි ඔබ නින්දට යැවුනේ
මුවගට සිනා රැල්ලක් නොවැ ඇඳී තිබුනේ
"අති විශේෂ" සුවඳ දැණුනා නොවෙද පියාණනේ

මගේ පැරදුමට ඔය නෙත් හැඬූ බව දනිමී
එලෙස දිනුමටද නෙත් දිලිසෙනු දුටිමී
සියල් තැන්හී මා පසුපස ඔබ විඳීමී
පොඩි රහසක් පවා ඔබ හට නොසඟවමී

පරිපාලන මහ බිල්ඩිං තුල ජවයෙන් දිලිස වුනේ
දැණුම පුරවගන්නට නිති වෙහෙස වුනේ
නුඹෙන් සවිය ලද අත් දෙක එකතු වුනේ
මා පවතින ලොවට මහ රජ නුඹ පියාණනේ

තාත්තට ජයෙන් ජයම වෙන්න ඕන. සුබ උපන්දිනයක් ලොක්කා!

Wednesday, August 10, 2011

රතු ලේ පාරක්!


සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ගවුමටත් පාර වැදිලා ඇද්ද? තව කවුරුවත් දකින්නැද්ද? නිසලිගේ හිත ඇතුලේ තිබිච්ච ප්‍රශ්න වුනා. රෑට කෑම කනකනුත් ඇයට කල්පනා කරන්න ඒ ප්‍රශ්නය ප්‍රමානවත් වුනා. සායෙන් ලේ පාර හේදිලා ගියත්, ලේ පාර නිසලිගේ හිතෙන් හේදිලා ගියේ නෑ. ඒ දේ ගැනම කල්පනා කරපු නිසලි මහ රෑ දෙකට විතර ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ගේ අවසන් නිගමනේ කොලේක ලිව්වා.
හැමෝගෙම ලේ තියෙනවා. ඒත් පේන්නේ දුප්පතාගේ ලේ විතරයි.
නිසලිට එහෙම හිතන්න හේතුවක් තිබ්බා. දුක් මහන්සියෙන් ක්ලාක් රස්සාවෙන් ගෙදර රෝල ගහන තාත්තගෙන් "ලේ නොපෙන්නන්න" සල්ලි ගන්න නිසලිට හිතුනේ නෑ. ඈත් ඇගේ අම්මත් තීරණය කලා සනීපාරක්ෂක තුවායේ සනීපේ වෙනුවට නවපු කපු රෙද්දක් ඒ වෙනුවෙන් යොදාගන්න. එහෙත් අත්‍යවශ්‍ය දින වලින් සියේට බර ගානකම ලැජ්ජාව, කපු රෙද්ද විසින් නිරාවරණය කරනු ලදුව තිබුනා. අධ්‍යාපනයත් ක්‍රීඩාවත් දෙකම සම මට්ටමක තියාගෙන යන්න නිසලිට හැකි වීමම, ඇගේ උසස් පෙළ අධ්‍යාපනය "පුරාජේරු පාසලකින්" ලබන්නට පිටුවහලක් වුනා. 

සුදු ගවුමේ රතු ලේ පාරක්. "ඒකේ අමුතුම ලස්සනක් තියෙනවා.." සීට් එකේ ඇතුලට යන්නට නිසලිට ඉඩ දීපු තරුණයාගේ කටින් කියවුනා. නිසලිට අතීතය මතක් වෙච්ච නිසා ගවුම දිහා නොබලාම හිතට ලැජ්ජාව ආවා. තරුණයා ඇගෙන් සමාව ඉල්ලුවා. දෙන්නම කතා කලා. හිනත් වුනා. හිනා වෙවී කතා කලා. බස් එකෙන් බැහැලා ත්‍රී වීලරේක ලැජ්ජාව වහගෙන ගෙදර යන්න නිසලිට සල්ලිත් හම්බුනා. අන්තිමට ඔහු නිසලිගේ සුළැඟිල්ලත් තදට මිරිකලා තිබ්බා. එක දිගට ගත වෙච්ච පලවෙනි සතියෙදි නිසලිගේ හිත දිනාගන්න ඔහු සමත් වුනා. දෙවනි සතිය වෙද්දි ඔහුගේ භාවිතය අත් හල ජංගම දුරකතනයක් නිසලිට මහාර්ඝ වස්තුවක් වුනා. මිදුලේ අඹ ගහට පිටුපාලා ඉන්නකොට පේන දම් පාට ඕකිඩ් පොකුරු දිහා බලාගෙන නිසලි ඔහුත් එක්ක කතා කලා. නිසලි කතා කලා. දිගින් දිගටම. එහෙම කතා කරපු මුල් කාලයේ තමන්ගේ අනාගතේ හදාගන්න හැටි ගැන නිසලි ඔහුත් එක්ක හීන මැව්වා. මාස පහක් හයක් ගත වෙද්දි ඇහැට පෙන දම් පාට ඕකිඩ් පොකුරු වලින් හිත ඉවතට ගත්තු නිසලි ඔවුන්ගේ ප්‍රේම කතාවේ වර්තමානය ගැන කියමින් ඔහු හා වැලපුනා. අවසානයේ ඇය තම ප්‍රේමයේ අතීත ගුණ කියමින් ඔහුත් සමග රණ්ඩු කලා. ඒ වෙද්දිත් දම් පාට ඕකිඩ් මල් ඉස්සර විදිහටම පිපිලා තිබුනා. ප්‍රේමය අවසන් වුනා. ඒත් ප්‍රේමයෙන් ඉතිරි වුනු මතක සැමරුම් වෙච්ච විලාසිතා ඈත් සමග එහෙමම තිබුනා. ඈ ඩ්‍රෙස් මේකින් කර තිබුනා. කේක් බේකින් කර තිබුනා. අවසානයේ බියුටි කල්චරින් සමයේ දිවියට එකතු වූ නව මැදි වියේ පෙම්වතා හේතුවෙන් ඈ නිළි මාවතට පිවිසෙමින් සිටියා.

සුදු කලිසමේ රතු ලේ පාරක්. ඈ එය දුටුවේ නිවසට පැමිණියාට පසු. ඇයව නිවසට ගෙනත් ඇරලූ ඇගේ නවමු පෙම්වතා එය දුටුවා දැයි ඇයගේ සිතේ සැකයක් තිබුනා. ඔහුගේ රියේ අසුන් කවර වල රතු පැහැය රැඳී ඇත් දැයි ඇය කල්පනා කලා. එය වඩාත් කැපී පෙනේදැයි ඇය කල්පනා කලා. ඔහුගේ මෝටර් රියේ අසුන් කවර ලා දුඹුරු පැහැ බව ඇයට මතක් වුනේ, පාළු වීදියේ වාහනය නවතා පෙම්වතා ඇගේ දෙතොල් රිදවුව අවස්ථාවේ ඈ නිසොල්මනේ බලා සිටියේ ඔහුගේ හිසට පිටුපසින් වූ ඒ දෙස නිසාවෙන්. ඇගේ කලමණාකරු තනන ලද කාල සටහනේ ඈ දිව ගියා. නවීන පන්නයට ශරීර කවරයම වෙනස් කලත් පෙර පුරුදු කපු රෙද්ද ඉවත් කිරීමට ඇයට හැකි වුනේ නෑ. සනීපාරක්ෂක තුවායේ මහත් අඩු පාඩුවක් ඇයට දැණුනා. වෙනදා දැණුනු බරම ඇයට උවමනා උනා. ඇයට සැහැල්ලුවක් උවමනා වූයේ නෑ. ඇයගේ විලාසිතා උපදේෂකවරුන්ගෙන් එයට බාධාවක් වූයේද නෑ. ඈ පෙර පුරුදු කපු රෙද්දම භාවිතා කල අතර, පෙර ලෙසටම එය විසින් ඇගේ ලැජ්ජාව නිරාවරණය කරනු ලදුව තිබුනා. එක්තරා අමාත්‍යවරයෙකුගේ වක්‍ර අනුග්‍රහයෙන් පැවැත්වෙන සිනමා සම්මාන උළෙලක ඇය පිට පිටම දෙවරක් ජනප්‍රියම නිළිය වීමම සමහරුන්ගේ සැකයට හේතු වුනා. සියලු කසු කුසු එළි පිට කියවන්නට ඉඩ සලසමින් ඈ වේදිකාවක සාරියකින් සැරසී අමාත්‍යවරයාගේ දෑත් ශක්තිමත් කරමින් සිටියා.

සුදු සාරියේ රතු ලේ පාරක්. සාරිය රත් පැහැ වීමට තරම් විශාල වැගිරීමක් ඇතුලතින් සිදු විය නොහැකියැයි ඔබ සිතන්නට ඇති. ඔව් එයින් ඇයත් පුදුම වන්නට තිබුනා. නමුත් ඇයට පුදුම වන්නට හැකියාවක් නුවූයේ ඈ ඒ බව නුදුටූ බැවින්. ඇයට එය විඳීමට හැකියාවක් වූයේ නෑ. ඈ මියැදෙමින් සිටියා. ඈ විසින් දෑත් ශක්තිමත් කල අමාත්‍යවරයාගේ බිරිය යෙදවූ නාඳුනන වෙඩික්කරුවෙකු නිසලිගේ යෝනිය පසා කරමින් වෙඩි තබා තිබුනා. ඇයට එය කණ්නාඩියෙන් බැලීමට නොහැකි වුනා. කවුරුත් එය පෙන්වා ඇයට විහිළු කලෙත් නෑ. ඇයට ඒ පිළිබඳ ලැජ්ජාවක් ඇති වූයෙත් නෑ.

Friday, July 29, 2011

ආත්මීය සාහිත්‍යයේ පරස්පර දැක්වීම්


රසමසවුළු නැති මින් බත් පතට සරූ
නිසි සැලකුම් නැති ගෙරවිලි රැවිලි පිරූ
චන්ද්‍රෝ නුඹ වෙතට මගෙ පෙම මහත් සරූ
ඇතිමුත් යනෙමි බිඳි සිත මගෙ හදනු බොරූ

තිලක්! තිලක් මේ කතාවේ කථා නායකයා. තිලක් මේ කවිය ලියනව අන්තිමේ බාර් එකෙන් අතට ලැබිච්ච බිලේ. තිලක් පොරක්. තිලක් අඳින්නෙක්. රූප අඳින්නෙක්. ඉඳල හිටලා කවිත් ලියවෙන. වයලින් වාදකයෙක්. රැකියා නාමයට ක්ලාක් කෙනෙක්. තිලක් වෛද්‍ය විද්‍යාලෙ දෙවෙනි වසරට වෙනකං ශිෂ්‍යයෙක්. මනුස්සයට විශ්ව විද්‍යාල ජීවිතේ එපා වෙනව. වෙනදට අම්මලා ගෙදර නැති දවසට තේකෙ හිටන් හදලා දීපු නැන්දා මුව නොසෑහෙන්න බනිනවා. ගෙදර මිනිස්සුන්ගෙ කේන්තිත් අවුස්සනවා. තිලක්ගෙ ජීවිතේ සංක්‍රාන්ති කාලයක් තියෙනවා. උදේ ඇහැරෙන, තේකෙන්ම කට හෝදල බඩත් පුරවන, උදේට කාපං කියනකං ලියන, උදේට කන, දවල්ට කාපං කියනකං චිත්‍රයක් එක්ක හැප්පෙන, දවල්ට කන, බඩට එපාවෙච්චි කෑම පුකට ඕනිවෙච්චි වෙලාවට එලියට දාන, හිතට හරියනකං නිදියන, රෑට වොලී බැස්ටියන්ගෙ සින්දු ටිකක් වයලින් එකෙන් අතුල්ලලා නිදි ඇඳට වැටෙන තිලක් රෑට කන්න ඇහඇරෙන්නෙ රෑ දහයට. එහෙම්මම දවස ඉවර කරන තිලක්ට කාලෙන් කාලෙට ගෑනු පරාන සම්බන්ධ වෙනවා.


සීගිරිය! සීගිරිය මේ කතාවෙ කතා නායකයට, තමන්ගේ ජීවිතේ මුදල්මය වටිනාකමක් නැති එහෙත් සතුට උපරිම කරවන්න මග පාදවපු තමුන්ගේ නිර්මාණ වල උල්පත. තිලක් සීගිරිය ගැන හැදෑරුවෙ නෑ. ඒත් තිලක් සීගිරිය ගැන හිතුවා. තමුන් දන්න පොඩි පොඩි සීගිරිමය තොරතුරු ඇතුලේ තිලක් සීගිරි සාහිත්‍යයක් ගොඩනැගුවා. ඒක දවසින් දවස අලුත් උනා. තමුන්ගෙ සංක්‍රාන්ති අවධියේ ඒ ඒ ගෙවිච්ච දවස් වල ඒ ඒ හැඟීම තිලක්ගේ මනෝ මූලික සීගිරියේ පිට කවරය උනා. තිලක්ගේ කලිසං සාක්කුවේ තිබිච්ච නවපු කොලේක මෙහෙම තිබුනා.


-කාෂ්‍යප-                                                                            -අප්සරා-
සිත් තැවුල් හද ඉගිල යනු මිස                                             පිතු මරා දුරැරා සිතින් එය
ඇස් කෙවෙනි අග බිඳු තියා                                                සිටින මුත් නොසිඳුනු ලෙසේ
බොඳවූ දෑසින් විඳිමි මම රූ                                                රාගධික බැල්මන් විදියි මයෙ
ලඳුන් සෙල මත විහිදියා                                                     නිරුවත්වු දෙතනේ රසේ


-තිලකේ-
තම පියාගේ නික්ම යෑමෙන්
රිදුම් දෙන හද දර දරා
සිටින කුමරුට දෙතන් පෙන්වන
නොහික්මුණු වන අප්සරා

තිලක්ට ගෙවෙන මොහොතක් ගැන පැති ගොඩකින් හිතන්න පුලුවන්. ඒක හොඳ දෙයක් කියලා කියවන ඔබට හිතුනට, එහෙම හිතෙන එකෙක්ට ඒක හරිම වදයක් වෙන්නත් පුලුවන්. තමුන් තනියෙන් රසවිඳපු අප්සරාවො දිහා වෙනින් ඇස් කන්දරාවක් පස්සෙ කාලෙක යොමු වෙයි කියලා කාෂ්‍යපට හිතෙන්නෙ නැතුව ඇති. තමුන්ගෙ රාජධානිය පින්තූර කරලා විකුනගෙන කයි කියලා කාෂ්‍යපට හිතෙන්නේ නැතුව ඇති. අප්සරාවන්ට වඩා ලස්සන ලැමක් තියෙන ගෑනු අප්සරාවන්ගෙ ලැමට ඊරිසියා කරයි කියලා කාෂ්‍යපට හිතුනෙ නැතුව ඇති. මෙව්වට මෙහෙව් උනැයි කියලා කාෂ්‍යප රජ්ජුරුවො දැනගත්තනං මනුස්සයට ලැජ්ජත් හිතෙයි. ඔබ හිතන්න කාමරේ දොර වහගෙන සෙක්ස් ෆිල්ම් එකක් බලද්දි තාත්ත කාමරේට ඔලුව දැම්මොත් ඔබේ මූනෙ හැඟීම. තමුන් බිව්වයි කියලා මතක් කරන්න දීපු බිලක පිටිපස්සේ තිලක් කුරුටු ගාපු කවි කෑල්ලක්, බ්ලොග් එහෙක යයි කියලා තිලක් හිතන්නැතුව ඇති. එහෙම උනානම් තිලක් තමුන්ගෙ නම තිලකේ කියලා නොලියයි. ඒ තිලක් තමුන් විඳින්න කැමති විදිය. ඒක අනෙකෙකුට කියලා විඳවගන්න බෑ. ඔබ විසින්ම මතක් කරගන්න කවුරුන්හෝ තමුන්ට මේ නමින් කතා කරන්නය කියලා වෙනස් නමක් කිව්වම් ඔබේ මුහුනට ආපු උපහාසාත්ම ඉඟිය. ඒක තමයි මිනිහගේ ඇතුල. ඒක රහසක් වෙන තරමට ඒක ඒ ඒ අදාල මිනිහට රහයි. තමන්ගෙ කවි කෑල්ලට මෙහෙව් වෙච්ච විත්තිය තිලක් දැණගත්තොත් තිලක්ට ලැජ්ජත් හිතේවි. මොකද කාෂ්‍යප වගේම තිලකුත් මේක බෙදාගෙන රසවිඳින්න කරපු දෙයක් නෙමෙයි.

ඔබ තාමත් හිතනවද ඔබ දෙයක් දිහා බලන විදිහේ ගැම්ම මදියි කියලා. ඔබ කුමක් හෝ අවස්ථාවකදි මුලදි ගත්තු තීරණයක් වෙනස් කරලා තියෙනවද? පිලිතුර "ඔව්" නම් ඔබ යම් අවස්ථාවක් දෙස අවම වශයෙන් දෙවිදිහකින් බලලා තියෙනවා. ඔබ ඒ මුලු සිද්ධිය ගැන පේලි හතරක් ලියන්න හිතුවද? ලියලා තියෙනවද? ඔබ මුලු සිද්ධිය විස්තර කරන්න තනි වාක්‍යයක් හිතුවද? ඔබ එය කොලේක ලියන්න බය හිතුනද, මිතුරන් එය දකීවියි සැකයට? ඔබට ලැජ්ජා හිතෙයිද? ඒ වෙනකොට ඔබේ ආත්මීය නිර්මාණය ඔබේ මතකෙන් ගිලිහිලා නේද? දැන් අපරාදෙ කියලා හිතුනද?

අවට වෙච්ච සිද්ධි ගැන ඔබේ ආත්මීය ප්‍රකාශන ඔබ විසින්ම එකතු කරන්න.
එය ඔබට මහත් සතුටක් වේවි. අස්වැසිල්ලක් දේවි.

හැබැයි අවසාන වශයෙන්! එය ඔබ පමණක් රසවිඳින්න.

මගේ සිතුවිල්ල පරස්පර විරෝධීයි කියලා තිලක්, කාෂ්‍යප සහ ඔබ ඇසුරෙන් ඔබට සිතුනාද?

Monday, July 18, 2011

පරිපූර්ණත්වයේ අසම්පූර්ණ එකතුවක්


ඒ කර්කෂ වූ දේශයකි. සුලඟටද සිරුර රත්වේ. පාවහන් රහිත මිනිසුන් වේගයෙන් ඇවිද ගියේ දාච්ච පොලොව දෙපා දවන බැවිනි. සිඟනුන් සෙවනක් අයදිමින් සිටියහ. සිඟනුන්ට සෙවනක් දීමට ඉදිරිපත් වූ ධානපතියෙකු, ඒ සෙවනෙහි හිඳ සිඟන මුදලින් කොටසක් ඩැහැගත්තේය. පෙම්වතුන් අධික ලෙස චුම්බනයට හුරුව සිටියහ. තම අනාගත ගමන් සගයා කෙරෙහි වූ ආදරය හේතු කොට ඔවුනොවුන් ඔවුනොවුන්ගේ දෙතොල් නහවමින් සිටියහ. සියලු වාසීන්ගේ ගත පුරා වූ දුහුවිල්ල පෙම්වතුන්ගේ දෙතොලේ පමණක් නොවූ අතර, විෂබීජ හේතුවෙන් පෙම්වතුන්ගේ රෝගී වීමේ ප්‍රතිශතයද ඉහල අගයක් ගෙන තිබිණි. ලිපිකරුවන් කාර්‍යාල කෙරෙන් මිදීමට අකමැත්තක් දැක්වූ අතර, ඔවුන් ඒ සඳහා ඇඳිරි වැටෙන තෙක් ඉවසා සිටියහ. රස්නය ඉවසාගත නොහී පොලීසිය සහ සමහරෙක් රජයේ ආයතන තාප්ප කඩා සියලු දොරවල් හැර බලා සිටියහ. අතරින් පතර වැහි පොදක් වැටුනු දිනෙක සිඟනුන් තම උපරිම ආදායම ලැබූ අතර, චුම්බනයෙන් හෙම්බත් වූ පෙම්වතුන් පෙම්බස් දොඩන්නටද ඇරඹූහ. ලිපිකරුවන් වේලාසන නිවෙස් බලා ගිය අතර, තාප්ප කැඩුනු ආයතන වල දොරවල් වැසී තිබිනි.

එක්තරා රටක නිෂ්පාදනය උනා ගෑනු නැති චිත්‍රපටියක්. වෙනසක් බලාපොරොත්තුවෙන් හිටපු චිත්‍රපටකාමියෝ ඒ චිත්‍රපටය බලන්න ගියා. ඇත්තටම එය නවමු වෙනසක් උනා. ඒත් ඒ නවමු වෙනස නිසා ඇතිවෙච්ච සතුට චිත්‍රපටය පටන් අරං මිනිත්තු පහලොවක් ඇතුලත සිඳී ගියා. කර පළල් උඩුකය වස්ත්‍රයකින් දෙතනේ කැපුම දැකීම, වෙනසක්  බලාපොරොත්තුවෙන් එහි ගිය රසිකයන්ගේ සිත්වල හටගෙන තිබුනා. පිරුණු වටොරක් දැකීමේ නොතිත් ආශාව ඔවුන් කෙරෙන් ඉස්මතු වෙමින් තිබුනා. බොහෝමයක් ප්‍රේක්ෂකයින් මද අඳුරේ දෙ ඇස් වසාගෙන ඔවුන් පෙර අත්විඳි දෑ යලි යලිත් මවාගන්නට වුනා. ස්ත්‍රියකගේ සේයාවක්වත් නැති චිත්‍රපටයක් විසින් පිරිමි සිතෙහි රාගය ඇති කිරීමට සමත් උනා. චිත්‍රපටය නැරඹීමට ගැහැණුන් කණ්ඩායම් වශයෙන් පැමින සිටියා. ශාලාව අසලින් ගිය වැඩිහිටියන් ඔවුන්ට දෝෂාරෝපන එල්ල කරමින් උන්නා. පිරිමින් පමණක් රඟන චිත්‍රපටය නැරඹීමට පැමිණි බැවින් ඔවුන් ටිකට් කවුන්ටර පෝලිමේ ලේන්සුවෙන් මුහුන වසාගෙන සිටියා. ඔවුන්ගේ සිහින කුමරුන් සැම දෙනා පාහේ එකම චිත්‍රපටයක රඟමින් සිටියා. වෙනදා නිළියගේ දෙබස් කොටසේදී දෙ ඇස් වටපිටාවට යොමු වූවන්ගේ දෑසට අද නිදහසක් තිබුනේ නෑ. දර්ශනයෙන් දර්ශනය ඔවුන් ඒ කෙරේ වශීවෙමින් සිටියා. දෝෂාරෝපන මධ්‍යයේ වුවත් යලි යලිත් චිත්‍රපටය නැරඹීමට පැමිනෙන්නට මිතුරු කණ්ඩායම් අතරේ ඔවුන් ගිවිස ගත්තා. ඔවුන් රාගී දෑසින් ඒ දෙස බලා සිටියා. නොපවතින දේ සහ හිමිනොවන දේ එක හැඟුමක උත්පාදකයන් දැයි මොහොතකට හැඟුනා.

දරුවන් සමාජයේ බොහෝ අවධානයක් ලබන පිරිසක් වෙලා. වයසත් සමග දරුවා ඉදිරියට යාමේදී, අවධානය පමණක් තිබූ තැනම තිබීම හේතුකොට ගෙන "අවධානය" නැමති ඊතලය ඉදිරියට ඊලඟට පැමිණි පිරිස දරුවන් ලෙස අභිෂේක ලැබ වරප්‍රසාද ලත් පිරිසක් බවට පත් කෙරුනා. දරුවන් කෙරෙහි වන අසාධාරණයන්ට විරුද්ධව සංවිධාන බිහිවුනා. වෙනම අමාත්‍යාංශයක්ද වෙන්වුනු අතර එහි ප්‍රධාන ඇමතිනිය ආඩම්බරකාර අම්මා කෙනෙක් වුනා. දිනක් බාලාංශ පන්තියක් අසල ගැවසෙමින් සිටි නන්නාඳුනන්නෙකු ලමෝ සෙල්ලම් කරන දෙස ආශාවෙන් බලා සිටියා. හේ අත තිබූ අවසන් රුපියල් විස්සෙන් දහයක් වියදම්කොට ලබාගත් ටොපි ලමුන් වෙත දුන්නා. ලමෝ ඔහුගෙන් "අයිස් ක්‍රීම්" ඉල්ලා සිටියා. ඔහු අසරණ සිනාවක් මුහුණතට නගාගෙන ලමයින්ගේ මුහුණු අතගා නැගිට යන්නට සූදානම් වුනා. නන්නාඳුනන්නාගේ හැසිරීම දුටු පාලු කපන මව්වරුන් පිරිසක් ඔහුට අභූත චෝදනා එල්ල කලා. ඔහු බාල අපරාධාකාරයෙක් ලෙස හංවඩු ගැහුනා. දිනක් දරුවෙකු තනිවම නිවසේ සිටින මොහොතක එහි පැමිණි දරුවාගේ මවගේ යෙහෙලියක, ඕපාදූප මල්ල එලෙසම තබාගෙන ආපසු යන්නට පිටත් වුනා. එහෙත් දරුවාගෙන් ඊට ඉඩක් නොලැබුණු අතර, එම ගැහැණිය තම යෙහෙලියගේ දරුවාගෙන් අපයෝජනයට ලක්වුනා. මුල පමණක් දැන සිටි දරුවා අගට යන තෙක් උගෙන තිබුනා. එය දරුවාගේ නොදැනුවත්කමට සිදුවූවක් ලෙස සමාජයෙන් ප්‍රත්‍යක්ෂ වූ අතර, දුසිරිත අඩංගු බ්ලොග් අඩවි කිහිපයක්ද සමග ස්ත්‍රීන්ට මාසයක් යන තුරු කොටට ඇඳීමද තහනම් වුනා.

එක්තරා රටක පාවිච්චියට ගැණුනු පොතක වෙන වෙනම පිටු තුනක ලිවීම් තුනක් තිබුනා. මැදියම් රැයත් පසුවී හෝරාවක් දෙකක් යන තුරු පෑනක්ද අතැතිව එම ලිවීම් හී අයිතිකාර ලියන්නා ඒවා දෙස බලා උන්නා. ඒ ලිවීම් තුන එක්කිරීමට ගත් උත්සහයකදී, පරිපූර්ණ දෑයින් තැනුනද ඵලය අසම්පූර්ණ විය හැකි බව ඔහුට සඵථ වුනා. ඔබ කියවා අවසන් කලේ ඒ අසම්පූර්ණ ලියමනයි. ජය!

Thursday, July 7, 2011

කාල රේඛාව අස හිඳ හුන්නෙමි.

12 ශ්‍රී නිසාන් මෝටර් රියක පිටුපස අසුනේ හිඳි තරුණියට, චැලියක අන්තරායේ ගමන් කල තරුනයෙකු ඉඟි කරන්නට විය. ඇගේ පිළිතුරු ඉඟිය ඔහුගේ මනස සුවපත් කලා විය හැක. මා ඌ කෙරේ සතුටු වුනෙමි. ඌ කෙරෙහි වූ අන්තරාය ඇගේ ඉඟියෙන් තවත් වැඩි වූවා විය හැක. ඔවුන් ඉදිරියට ගිය අතර මා කාල රේඛාව අසල හිඳ බලා හුන්නෙමි. දුහුවිලි සුලං හමා ගිය අතර සංස්කරණ ශිල්පියා උදාසීන බවින් යුතුව කැරකෙන පුටුවේ කැරකෙමින් සිටියේය. චලිත පටයේ පාලුව ඉවසාගත නොහී මා, ගෝල්ඩ්ලීෆ් ඇසුරුමේ රන් පත්‍රයේ පසුපස පෑනකින් කුරුටු ගාන්නට විය.

මලින් පිරිනු තුරුනු වතේ
හලින් හලත රසය වෙතේ
තුඩින් තුඩඟ මුව පහසේ
වෙසෙත් සොඳුර නුඹම වෙතේ

චාන්දනී සෙනෙවිරත්න ඇස් මානයට පිවිසියේය. කලු පැහැති කොට්න් උඩ ඇඳුමක් සහ තද පැහැති ඩෙනිමක් හැඳ සිටි ඇය රබර් සෙරෙප්පු කුට්ටමකින් දෙපා සරසා සිටියේය. ඈ, පසුපසින් පැමිණි යමෙකුට බැන වදිමින් සිටියේය. ඒ හඬ තුල ආදරයක් විය. චාන්දනී විශිෂ්ඨත්වය මා දෙ ඇස් ඉදිරියේ පිම්බෙමින් තිබිනි.

"එන්න බදාගන්න"

මෙතෙක් වෙලා පසුපස හිඳ ආදර බැණුම් රස විඳිමින් හුන් ඒ මහත තරුනයා ඈ තුරුලට විය. ඒ කෙට්ටු අස්ථි වටා පිරුනු මහත් වූ ආදරය එම තරුනයා මත දඟලන්නට විය. චාන්දනී සෙනෙවිරත්න මා ප්‍රියතම නිළිය විය.  ඇගේ දක්ෂතාවයට අමතරව, මා ප්‍රියතම රුව ඈ කෙරේ විය. දිගැති කෙට්ටු ශරීරයක් ඇති, පිට මැදට කොණ්ඩයක් වූ, මුහුනු ඉරියව්වෙන් වැඩිපුර කියවන, සරල සුන්දරත්වයෙන් ඇඳිවත පහසුව සලසා ගත්, ආදරය පිරි ගැහැනු රුව චාන්දනීට සහ මා ආදරවන්තියට පොදු විය. මා ආදරවන්තියගේ සුපහස මට දැනෙන්නට විය. රන් පත්‍රයේ පසුපස තවත් ඉඩ ඉතුරුව තිබිනි.

කලට සැලකුම්ද නිසි ආදර පෑය
මලට බඳු පෙම්ද රුව රූසිරු බෝය
නිතර සිටියෙම්ද මගෙ සරි මග ඈය
සොඳුර නුඹ වෙතම පෙම් කෙරුවේ මාය

තරුනයෙකු බිම වැටී කෙඳිරිගාමිනි. ඔහුගේ හිස පසාරු කරගෙන නයින් මිලිමීටර් උන්ඩයක් ගමන් කර තිබිනි. හේ ලේ විලක් මැද මරණාසන්නව සිටියේය. හේ යමක් මුමුණනු මට ඇසිනි. නමුදු මට කාල රේඛාව මතින් පැන එහි යාමට නොහැකි බාධකයක් විය. සංස්කරණ ශිල්පියා දෙ ඇස් දුනි. මරණාසන්න තරුනයා ඉතාලි බසින් කල මිමිනිල්ල සිංහල උපසිරැසි ලෙස චලන පටය මත ඇඳී තිබිනි.

"ම්හ්... මේ මාස හයටම උඹ මට දීපු එකම සැනසීම.. බැල්ලි!"

අඳුරු පසුබිමක යමෙකු නැගී සිටියි. ඔහු වෙත ඉහලින් එල්ල වූ ආලෝක ධාරාවකි. ඔහුගේ අතපය හැසිරවීම, සාත්වික අභිනයන් සහ සියල්ල ජයලත් මනෝරත්න අනුගමනයකි. හඬ පවා එමමය. මතකයට නැගුනේ "සුද්දෙක් ඔ අමතයි" හී මනෝරත්නයන්ගේ භූමිකාවයි. හේ කතාවක් කල අතර කාල රේඛාව අස හුන් මා සමග කැරකෙන පුටුවේ සිටි සංස්කරණ ශිල්පියාද දෙ ඇස් නොහෙලා දෙකන් අයා එය විඳිමින් සිටියෙමු.

"මිනිස්සු! ලංකාවේ චැලියේ ගිය කොල්ලටත්, චාන්දනී එක්ක රඟපාපු තඩියටත්, මැරිච්ච ඉතාලි කාරයටත් ආසාව පොදුයි. කොටින්ම බුදුන්ටත්. සිදුහතුන් ගිහිගෙය හැරියෙත් ආධ්‍යාත්මික සුවයට තිබිච්ච ආසාව නිසා. කටට රහට කෑම කන්න, අරක්කු බොන්න, නිදිවදින්න, ජීවිතේ විඳින්න මිනිස්සු ආසයි. සල්ලි! ඒ ආසාවට මිනිස්සු යා කරන ඊ තලේ වෙලා. හැමදාම හන්දියෙන් කොත්තු නොකා ඇමරිකන් බ'ගර් කන්න, ගල් වෙනුවට ග්‍රීන් ලේබල් වඩියක රහ බලන්න, කොටට අඳින එච්.එස්.බී.සී වැඩ කරන කෑල්ලක් කරන්න, දිලිසෙන්න. බස් දොරෙන්ම බැහැපු උන් ආසයි, බෙන්ස් දොරක් ඇරෙන "ක්ලක්" ගාන සද්දෙ අහන්න. අඩු තරමේ දවස් දහයකටවත් රෝද හතරක් ගෙදරට ගේන්න. එදාටවත් ගෙදර ගෑනි නෑ බෑ නොකියා නයිටිය ගලවයි.. නැද්ද?"

"පයිසෙ හොයන්න මිණී මරන, මරවන, රවට්ටන, කොල්ලකන, නැහෙන, පිච්චෙන එවුන් කියන්නෙ මිනිස්සුන්ට. තිරිසන්නුන්ට සල්ලි වැඩක් නැහැනෙ. අඩුම තරමෙ අත්සනක්වත් නොගහා සල්ලි හොයන්න බෑ; ඒ කියන්නෙ කන්නත් බෑ, බොන්නත් බෑ, නිදිවදින්නත් බෑ. ඒක මටත් පොදුයි. මාත් මට හිතෙන දේවල් මෙතන වපුරන්නේ ගෙදට්ට සල්ලි ටිකක් ගෙනියන්න. නැතුව මේක අහන තමුසෙලට ආදරේට නෙමෙයි."

සියල්ල මැකී යයි. මා පසුපසින් හඬක් ඇසේ.

"සමාවෙයන්. මම උඹව මකනවා. උඹ කියපුවත් එක්කම. උඹේ සද්දෙ එලියට ගියොත් මටත් පයිසෙ නෑ.ලමයින්ට කෑමත් නෑ. ගෑනි ලඟට එන්නෙත් නෑ."

සංස්කරණ ශිල්පියා කැරකෙන පුටුවෙන් නැගිට පිටවිය.

Tuesday, June 21, 2011

මට දැනෙන දේ ඔබට විඳිය හැකි නම්...

ඌ මා හා හුරතල් වීමට උත්සහ දරයි. උගේ වලිගය මා සිරුරේ දැවටෙන බැවින්, ඌ මා වටා සුපුරුදු දෛනික පැදකුනුව අරඹා ඇති බව මා දනිම්. ඌ උගේ සුපුරුදු උදෑසන හුරතලය අරඹන්නේ එලෙසය. බීරිඳ අත තබා ගිය තේ කෝප්පය මා බිම තැබුවෙමි. රේඩියෝවේ වාදනය වූයේ "පෙනුණු සුව දසුන්" ගීතයයි. බලු සුරතලය අමතකව ගියේ ඒ මා ප්‍රියතමයක් බැවිනි. ඒ අමතක වීම ඌ කෙරෙහි වූ නොසන්සුන්තාවයට හේතුව විය. හෙන්‍රි කල්දේරා මා ප්‍රියතම ගායකයෙකු විය. ඒ ඔහුද දෘෂ්‍යාබාධයකින් පෙළුනු නිසාම නොව, ඔහුට පද රචනය සහ තනු නිර්මාණයේද හැකියාවන් වූ බැවිනි. මර්වින් පෙරේරාත්, කපුගේ මහත්තයත්, වික්ටර් මහත්තයත් අන්ධ වූවා නම් මා ඔවුනට තවත් ආශා වන්නට තිබිණි. මා නැවත ඌ සුරතල් කරන්නට පටන් ගතිමි. ඌ මට බෙල්ල අත ගෑමට දී ඔහේ බලාගත් අත් බලාගත්වනම සිටියේය. ලේලිය ලඟට පැමිණි බව දැණුනතර, ඈ ආපසු හැරී ගියේ තේ කෝප්පය තවමත් හිස්ව නැති බැවින් විය යුතුය.

විවාහ වූ සමය ඉතා සොඳුරු පරාසයක් විය. පෙම්වතුන්ව හැසිරෙන සමයේ අප, ආදරය තුලින් නැගී සිටි ලිංගිකත්වයේ අත්දැකීම් ලබා තිබුණද, වැසුනු කුටීරයක් එකිනෙකා නග්නව දඟ කර තිබුනේ නැත. එහෙයින් මධුසමය කාලය සහ එයින් පසුවත් මා ඇය රුව අඳුනා ගැනීමට අනවරථ උත්සහයක යෙදුනෙමි. "මෙය නුඹලාගේ මධුසමය" යැයි නාමිකව වෙන්වූ සතියේ මා රාත්‍රීන් තුනක් පමණ ඇයගේ මුහුනේ ඉරියව් ඇඟිලි තුඩින් පිරික්සමින් සිටියෙමි. එසේ ගෙවුනු වරක ඈ මා ඇඟිල්ලක් සපා කෑ බව සිහියට නැගුනේ, දකුණත මැදඟිල්ලට සිහින් රිදුමක්ද දනවමිනි. මා ඇගේ ළමැදේ උණුසුමට ඉතා ආශා විය. තවමත් එසේමය. මා මවගේ උකුල් තලය මත වෙසීමටද ඉතා ප්‍රිය කල බව මට මතකය. එසේම අත්තම්මාගේ බොකු ගැහුනු විටෙක පිම්බෙන උදර කුහරයද මා හට ඉතාමත් සුවදාය විය. මා දෑතින් කියවා ඇති පරිදි, ඉතා සුන්දර මගේ බිරිඳ මා මහත් ආයාසයකින් දිනූවක් නොවීය. ඈ කිසිදා නොදුටු ප්‍රාණියෙකු සොයා පැමිණතර, කිසිදා ලොව නොදකින ඒ ප්‍රාණියා තම ආදරවන්තයා ලෙස තෝරාගැනීමට බාධාවක් කර නොගත්තේ සතිපතා නිකුත්වුනු කවිකම් කෙරෙන් මා හඳුනා සිටි බැවිනි.

මා නිරතවෙමින් සිටියේ දුලබ රැකියාවකය. මා හට සතියකට කවි හතක් ලිවීමට තිබිණි. ඒවා එකම සඟරාවේ විවිධ නම් වලින් පලවී තිබිණි. මාසික වේතනය වූයේ රුපියල් දසදහසකි. තවමත් පුරුද්දට කවි ලියවෙන මුත් පුතු දෙදෙනා රැකියා වල නිරත වෙන බැවින්, වෙනදා මෙන් ඒ කවි බිරිඳ තැපැල් නොකරයි. මුල් කාලයේ කතෲ තුමා නිවසට පැමිණ මෑණියන්ගෙන් මා කවි ලියූ කඩදාසි ඉල්ලාගෙන ගිය අතර, සඟරාව ප්‍රසිද්ධ වූ පසු මවට ඒවා තැපැල් කරන්නට සිදු විය. ලොකු පුතු මා ලේලියගේ සිත දිනාගෙන තිබුනේද මාගේ කවියක් ඈ වෙත ඊ මේල් කිරීමෙනි. මාධ්‍ය කුමක් වුව ඈ ද කවියට මහත්වූ බන්ධූතාවයන් ඇත්තියක් විය. මා ඇයගේ සුහදත්වය මහත් ආහ්ලාදයකින් පිලිගතිමි. ඇයට තිබුනේ මා මවගේ කටහඬයි. ඒ බව ඈ දැනගත්දා සිට ඈ මා අමතන්නේ "ලොකු පුතා" ලෙසිනි. එය ඇසෙන ඇසෙනවර මට, මා මවගේ සුවැති උකුල සිහිපත් වෙයි. ඈ ආහාර පිසින විට ඇඳිවතට උඩින් හැඳි චීත්තයේ වූ මිහිරි ඉඳුල් සුවඳ නැවතත් දැනෙයි. මගේ කවි කියවා සතුටු වන ඇගේ ගතේ වූ වෙව්ලීම සිහිවෙයි.

මා මතට හුරු වූයේ සඟරාවේ කතෘතුමා නිසාවෙනි. මා පිළිබඳ මිතුරෙකුගෙන් දැනගත් ඔහු, නිවසට පැමිණ මා කටුව ඔහුගේ කාරයෙන් අවන්හලකට සේන්දු වූයෙමු. එහිදී මා පලමු වරට විස්කි බිවූ අතර සංවාදය අවසන් වන විට මා විස්කි වඩි හතරකින් පමණ මත්වී සිටීමි. තවමත් බ්ලැක් ලේබල් බෝතලයක් තුල සතියක කාලයක් සැරිසරණ මා ඒ තුල මහත් ආශ්වාදයක් ලබයි. මුල් පාවිච්චි කල පානයන් අතරින් රෙඩ් ලේබල් පානය නවතා තිබිණි. එහි වූ වහතු රහ "මා නොදකින" ශෘංඝාරාත්මක රතු පැහැයටද නිගාවක් විය. "රතු, රත, නොරත, විරිත, රතිය" උච්ඡාරණයට මා ඉතා ආශා කල බැවින් එම වචනය සහ එම ඌරුවේ වචන මට ශෘංඝාරාත්මක විය.

දැහැන බිඳුනේ තේ කෝප්පය පෙරලෙන හඬිනි. ලේලිය ලඟට දිව ආ අතර, ඈ "ෂීබා"ට බනිනු ඇසිනි. උගේ අන්ධ බව තවමත් ඌට හුරු නැතුවා විය හැක. මා ඌ උකුලට ගතිමි.

Friday, June 10, 2011

අමරණීයත්වය නිශ්ප්‍රභා වීමට පෙර...

ආදම් සපමින් සිටි ඇපලය අතට ගෙන බැලීය. හේ ඊඩ්න් උයණේ පණුවන් කෙරෙහි උපන් කුසගිනි ශෝකයෙන් එය බිම දැමීය. එහෙත් ඒ වන විට ඒ ඇපල් ගෙඩියේ වූ දත් පහරවල් වලින් කැපුනු ඇපල්, තවමත් ආදම්ගේ දත් අතර සිරව තිබූ අතර ඉතිරිය හේ ආමාශයේ තැම්පත්ව තිබිණි. පණුවන් වූ කලී ආදම් ඇපල් ගෙඩියේ රස බැලූ බවට සර්ව බලධාරී දෙවියනට සපථ කිරීමට සිටි සපථ කරුවන්ය.  පණුවන් තමන් ගැන දයාව දැක්වූ ආදම් කෙරේ අනුකම්පා කොට, සාක්ෂි නසනු වස් ඇපල් ගෙඩිය ටයිග්‍රීස් ගංගාවට තල්ලු කර දැමීය. එය ටයිග්‍රීස් නිල් දිය මත පොලා පනිමින් අපූරු සලරූ දර්ශන මවන්නට විය. මේ සියල්ල දෙවියන් වහන්සේ නිලැති වළාකුලට ඉහලින් වූ හිරු මත හිඳ බලා සිටින්නට විය.

වේගය එන්න එන්නම වැඩිවූ අතර කෙදිනකවත් මෙතරම් චණ්ඩ නොවූ ගං දියේ බැස්ම, පෙරලි ගසමින් දෙවරක් සැපුම් පහර ලත් ඇපල් ගෙඩිය මුහුද දෙසට ඇදගෙන ගියේය. තමන්ගේ රැහේ පව්කාර පණුවන් කිහිප දෙනෙකු ගංදියේ මාලුන්ට බිළි දුන් පණුවන්, ඊට සලකා සපන ලද ඇපල් ගෙඩිය නොහොත් මනුෂ්‍යයාගේ අමරණීය බව නසන සාක්ෂිය විනාශ කරන ලෙස මාලුන්ගෙන් ඉල්ලූහ. එහෙත් මේ සියලු බලයන් නස්න කරමින් හිරු මත හිඳ සර්ව බලධාරී දෙවියන් වහන්සේ, සාක්ෂිය බේරා ගැනීමේ උත්සහයක නිරත විය. කෙසේ හෝ එය සාගර ගත විය. එය ලොව පලමු ඇපල් ගෙඩිය වූ අතර, සියලු මුහුදු ජීවීන් බියෙන් ඒ දෙස බලා සිටියහ. ලොව පලමු ඇපල් ගෙඩිය වූ එය අපරිමිත බලයකින් යුක්ත විය. එය මුහුදු රළ මත සෙමෙන් පැද්දෙමින් තිබූ අතර, හදිසියේ ඉහල නැගි වේගවත් රළ අතර දෝලනය වෙමින් දුරින් දුරට යන්නට විය. එය ඉන්දියන් සාගරය වෙත ලඟා වෙමින් තිබිණි. ඒ සඳහා ඒ රතු ඇපල් ගෙඩිය දිය මත නොගිණිය හැකි තරම් බොහෝ කාලයක් පෙරලි කල අතර, එහි වූ අසීමිත බලය හේතු කරගෙන ඇපල් ගෙඩියට කිසිඳු හානියක් නොවී තිබිණි.

එය තවත් ඉන්දියන් සාගරය වෙත ලඟා වෙමින් තිබිණි. අවසානයේ එය ඉන්දියන් සාගරයේ රළ සුව විඳින්නට විය. ඒ රාහුල උපත සිදුවූ සමයයි. උදෑසනම ඉන්දියන් සාගරයේ සොඳුරු සුව රැළි මත දිය කෙළියට පැමිණි මල්වර වියෙහි වූ කුමාරිකාවන් විය. බොහෝ දුරට ඒ සුද්ධෝදන රාජ සභාවේ අමාත්‍ය පුරෝහිතයන්ගේ දියණියන් වීමට පුලුවන. ඔවුන් සයුරු දියේ ඔවුන් දෙසට ඇදී එන රතු පැහැති වස්තුව දෙස උද්යෝගයෙන් බැලූහ. රංචුවේ විසේකාරම කුමරිය එය වෙත ගොස් එය රැගෙන බැලූ අතර එහි ඇති මිනිස් දත් පහරවල් දෙක දෙස විමසිලිමත්ව බැලූහ. මේ විශ්මිත සොබාදහම් නිෂ්පාදනයෙන් කුතුහලයට පත් කුමරියන් එය රෙදි කඩක ඔතාගෙන සයුරු දියේ ගොඩට පැමිණ නගරය වෙත පිටත් වූහ. ඒ වනවිටත් කිඹුල්වත් නුවර දෙදුරුම් කවන සිද්ධියක් සිදුව තිබුනා. පෙරදින රාත්‍රියේ සිද්ධාර්ථයන් ගිහිගෙය හැරගොස් තිබුනා. ඇපල් ගෙඩියද අතැතිව කිඹුල්වත් නුවරට යන කුමරියනට අනෝමා ගංතෙර ලය පැලී මියගොස් හුන් කන්ථක අසු හමුවුනා. තවමත් කිරිපිඬු පූජා කරන ලද තලිය උඩුගං බලා යමින් තිබුනා. එය කුඩා තිතක්ව කුමරියනට පෙනුනා. කුමරියන්ගේ ආදරය දිනූ හැඩැති සවියැති කන්ථක අසුගේ වියෝව කුමරියනට දරාගත නොහැකි උනා. සිහිසුන් වූ කුමරිය අතින් ඇපල් ගෙඩිය අනෝමා ගං දියට වැටුනා.

තවමත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නෙත් ඇපල් ගෙඩියෙන් ඉවත්ව තිබුනේ නෑ. එසේම අපරිමිත බලයක් ගැබ්ව තිබූ රක්ත වර්ණ පලතුර පුෂ්ඨිමත්ව නිසොල්මනේ ගං දියේ පාවී ගියා. නැවත සාගර ගත වූවාට සැක නැහැ. තවත් වසර දෙදහස් හයසිය හයක් ගත වුනා. ඒ වන විට ඇපල් ගෙඩිය මදක් අව පැහැ ගැන්වී තිබුනා. ඒ, ලෝකයෙහි ඇපල් බහුල කාලයක්. අත්තික්කා කොලයෙන් විළි වසාගනු වෙනුවට, ගොරෝසු රෙදි කඩක් ඇඟ දවටා ගනු වෙනුවට, දුහුල් රෙද්දෙන් මසා නිමකල ඇඳුම් බොහෝ තිබුනා.

එකෙකුට බාගයක් සේ සරිලන ලෙස මිලදී ගෙන තිබූ අරක්කු නිමවී තිබුනා. මා සහ අනෙකුන් පස් දෙනා ගල්කිස්සේ අපේ මුහුදු වාඩියෙන් නික්ම වෙරළේ ඉබාගාතේ ඇවිදිමින් සිටියා. සැන්දෑවේ හතර පසුවෙමින් තිබුනා. වෙරිය වැඩි කරගනු වස් සියල්ලෝ දුම් උරමින් උන්නා. බාගෙට හප කල පුහුල් දෝසි කැබලි සියල්ලෝ අතේ උනා. රතු පැහැති යමක් මා වෙත මුහුද දිගේ ඇදී එමින් තිබුනා. එය මා වෙත ඇදී එමින් තිබුනා. මා බමණ මතින් මුහුදේ ඉදිරියට ඇවිද ගොස් එය අතට ගත්තා. ඇපල් ගෙඩියක්! හපාපු ඇපල් ගෙඩියක්! රක්ත වර්ණ සරල වටපිටාවේ නිල් පැහැයක් මවමින් සර්ව බලධාරී දෙවියන් වහන්සේ මතු වුනා. ඒ වන විට මා අතේ කූරක් දැල්වෙමින් තිබුනා. තැම්බූ සෝගම් දේව පානය බව බමණ මත ඔස්සේත් මට සිහියට නැගුනා. මා අත තිබූ රසෝඝය දෙස අවඥ්ඥාවෙන් බැලුවා. මා නැවත වෙරළ දෙස හැරී බැලුවා. සගයින්ගෙන් එකෙකු මා දෙස බලමින් කෝපාග්නිය පිට වෙන දෑසින් සිනහා වෙමින් උන්නා. තවකෙකු මා පසුපසින් ඇවිත් සිටි අතර ඌ මුහුදු ජීවියෙකු හා කතා කරමින් උන්නා. දෙදෙනෙක් අනවරත රිද්මයකට ගල් තලාවකට පිටදී වෙරළට සිනහා වෙමින් සිටියා. අනෙකෙක් ගල් බෝතලයක අවසන් බිඳු දාහතර එක්කරමින් සිටියා. නැවත දෙවියන් දෙසට හැරුණු මා අව පැහැ ඇපල් ගෙඩිය දෙවියන් වහන්සේ දෙසට විසි කලා. එය, මාගේ රක්ත වර්ණ ලෝකය මැද වූ නිල් පැහැ දුමාරයේ සැඟව ගියා. අවසානයේ සාක්ෂිය විනිසුරුතුමා අතට පත් වුනා.

ජීවීන්ගේ අමරණීයත්වය ගිලිහෙමින් තිබුනා. අමරණීයත්වය නිෂ්ප්‍රභා වීමට පෙර සිටම මාගේ මලණුවන් මිය ගොස් සිටි අතර, මාගේ අම්මාගේ එකම සහෝදරයා ඝාතනය කරනු ලැබ තිබුනා. මා කේන්තියෙන් නිල් පැහැ දුමාරය සොයමින් සිටියා... කේන්තියෙන්!

Thursday, May 26, 2011

නුඹටත් දැනුනාද සකියනේ


සදා දුඹුරු වත මගටම සසල වුණේ
පතා සුවහසම තම තමන් වෙනුවෙනේ
විටෙක විරිඳු තවිටෙක කවි ගයමිනේ
සිඟනුන් වීදියේ වැඩි කිමද නිරිඳුනේ

දෑසේ දුක මවා රැවටුවද කෙනෙකුත්
දෙකකුල් කොර කරං නැම්මුවද හිතකුත්
දරුවෙකු වඩං යහමින් හැඬුවද කොතෙකුත්
කෙසේ පුදනු වෙද මගියා නොහැකි මුකුත්

තේකට පෙඟුණු පාන් වේල සරිද සිරිනිණේ
දා පෙරුණු මිණිසුන් ලුහු අතින් නෙවෙද විසිරුණේ
බැලුවත් නොදුටු මෙන් උඩ බලනවාද සිඟනුනේ
මරණයෙහි සුවඳ නුඹටත් දැනුනාද සකියනේ

ටයි පොලු දමා යටි මඩිකම් තොරක් නැතී
සළුපට ලිහා දෙන වත වෙත අධි මිලැතී
කාකි ඇඳුම වෙත පගාව ඇවිද එතී
සිඟමන උඩට ඔය පක්කලි යටට යතී

පන්සල් රෝහල්ද මහ සැල් අසල හිනැහුණේ
දුකම උරුමයද යට ගිලි නෙතු තුල තිබුණේ
රුපියල දෙකට එක්වුණු අත් බිම නැමුණේ
හෙටක් නැති රටක ධජය නුඹලාද සිඟනුනේ


"මංජුල වෙඩිවර්ධන කවියක්" පාදක විය.
ඡායාරුව අයත් වෙබ් අඩවියට යෑමට ඒ මත ක්ලික් කරන්න.

Saturday, May 14, 2011

ලස්සන නගරය

සාෂා: කෝ ඉඩ දෙන්න මේ මේසේ ගන්න.

දිමිත්‍රි: මම වැඩකට ආවොත් ඔහොම්මමයි.

සාෂා: මම මේසේ ඉල්ලුවේ රෑ කෑම මේසෙට අරින්න.
         දැන් දුයිෂෙන් පහලට එනවත් ඇති.

දිමිත්‍රි: මමත් "ලස්සන" නගරේ රස්සාවකට ෆෝම් පුරවන ගමන්.
         ඒක වැදගත් නැද්ද?
         ලස්සන නගරයේ ගන්න රෑ කෑම වේලක් කොච්චර ලස්සනද කියලා දන්නවද?


තරප්පු පෙලෙහි ලී කිරි කිරිය ඇසේ. දුයිෂෙන් පහල තට්ටුවට පැමිණේ.

දිමිත්‍රි: ආහ් දුයිෂෙන්, අද රෑ කෑම පරක්කුදත් මන්දා..
         සමාවෙන්න ඒ ගැන.

දුයිෂෙන්: අහ්, ඒකට කමක් නෑ.
              මොකෝ දිමිත්‍රි මහත්තයා හැමතැනම කොල දිගෑරලා.
              වැදගත් වැඩක් වගේ.

දිමිත්‍රි: ඔව්... මේ "ලස්සන" නගරේ රස්සාවකට යන්න කියලා.

දුයිෂෙන්: "ලස්සන" නගරේ?

දිමිත්‍රි: ඔව්! ඇයි දුයිෂෙන් අහලා නැද්ද ඒ ගැන?
         ලස්සන ගෙවල්.. ලස්සන වාහන වලින් උඩට යන දුම් රොටු..
         ලස්සන කුමාරවරු කුමාරියෝ ඉන්න.
         එහේ කපුටොත් සුදුයි ලස්සනයි.

දුයිෂෙන්: අහන්නත් සතුටුයි! එහේ මිනිස්සු සතුටෙන්ද?

දිමිත්‍රි: නැත්තං තමා පුදුමෙ. දුයිෂෙන් දකින්න තිබ්බේ මිනිස්සු එහේ යන්න වෙන මහන්සිය.
         ඒක නෙමෙයි කොහොමද කෑම?

දුයිෂෙන්: වෙනදා වගේමයි. හොඳයි!
              එහෙනම් දිමිත්‍රි මහත්තයා මම උඩට යන්නම්.
              මෙන්න මේ මාසෙ කුලී සල්ලි. දවස් තුනක් පහු උනාට සමා වෙන්න ඕන.

දුයිෂෙන් පිටව යයි. සාෂා දෙ අත් පිසදමමින් පැමිණෙයි.



සාෂා: මොකෝ දුයිෂෙන් කියන්නේ?

දිමිත්‍රි: මම මිනිහට ලස්සන නගරේ ගැන කිව්වා.
          මිනිහගේ ඇස් ආශාවෙන් දිලිසුනා.

සාෂා: නෑ... මම කියලා තියෙනවා හිතට එන හැම අදහසම පිට උන්ට කියන්නෙපා කියලා.

දිමිත්‍රි: ඔව් මටත් එහෙම හිතුනා.
         මිනිහත් එහේ ගියොත් අපිට කුළී කාරයෝ නැතිවෙනවා.

සාෂා: ඒකනේ. මිනිහා උත්සහවන්තයා. රස්සාවත් හොඳයි.
         තාම සම්බන්ධෙකුත් නෑ මයෙ හිතේ.
         දැන් එතකොට ඔයා වැඩට ගියොත් ඒ මිනිහයි මායි මෙහේ තනියමද?


සාෂා දොර වසාගෙන පිටව යයි. දිමිත්‍රි මේසය මත හිඳගෙන දෙ අත් වාරුවට හිස බර කරගනී.


ඇඳ: මෙච්චරකල් ඔයාගේ වෙහෙසිල්ලට ලී අතුල්ලපු මට ඔයා නගරෙට ගියාට පස්සේ,
        වෙනින් එකෙක්ට හයියට හිටින්න වේවිද?
        ඒකත් කමක් නෑ කියමුකෝ.
        එතකොටත් මගේ උඩ ඉන්නේ කලින් හිටපු සාෂාමනේ.
        සාෂාගේ උඩ ඉන්න කෙනා විතරයි වෙනස්.

දිමිත්‍රි: මොකක්?

පොත් රාක්කය: මොකක් තමයි.
                         කොහොමද ඔයා අමාරුවෙන් එකතු කරං මගේ අතුරපු පොත්,
                         වෙන උන්ගේ ළමයි කියවනකොට.
                         ප්‍රශ්නයක් නෑ ඒ සාෂාගෙත් ළමයි නේ.

දිමිත්‍රි: නෑ..!

මේසය: නැතිවෙන්නේ කොහොමද?
           මගේ උඩ තියෙන බන්දේසි වලින් අරගෙන ඔයා කැමතිම බටු මෝජු,
           සාෂා අතින් දුයිෂෙන් ගේ පිඟානට බෙදද්දි මට උහුලන්න බැරි වේවි.

දිමිත්‍රි තවමත් එලෙසමය. සාෂා මගුල් පින්තූරය පිස දමයි. දිමිත්‍රි හදිසියේ මේසය මත විසිරි කොල එක් රැස් කරයි. දුයිෂෙන් දොර හැර පැමිණේ.



දිමිත්‍රි: ආහ්.. දුයිෂෙන්! අදනම් මහන්සි පාටයි මිත්‍රයා.

දුයිෂෙන්: දන්නැද්ද හවසට බස් වල එන එක ඉතිං!

දිමිත්‍රි: වද වින්දා ඇති නැද්ද? මට ඔයාටම හරියන රස්සාවක් හම්බුනා.

දුයිෂෙන්: මොකද්ද? පඩි කොහොමද? කොහේද?

දිමිත්‍රි: දෑතේ වැඩ තමා.
         ගෙවීම් හොඳයි කියලයි ආරංචිය.
         වෙන කොහෙද "ලස්සන" නගරේ මිසක්!

දුයිෂෙන්: අහ්.. මාත් ආසාවෙන් හිටියේ.. ස්තුතියි දිමිත්‍රි මහත්තයා.

දිමිත්‍රි: මෙතන තියෙනවා තොරතුරු.
           ඔය පහල නොම්බරේට sms එකක් ගැහුවම ඒ මිනිස්සු අපිට කෝල් කරනවා.
           අන්න එහෙමයි "ලස්සන" නගරේ වැඩ.

දුයිෂෙන්: ඉතින් දිමිත්‍රි මහත්තයා නොයන්නේ?

දිමිත්‍රි: කොහේ යන්නද අයිසේ..
         සාෂා කැමති නැහැනේ මොහොතක්වත් මම නැතුව ඉන්න.


නිමි.