"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Thursday, July 12, 2018

අම්මව දෙවැනි කළ ගැහැනියට සමුදීම

පුත්තම්මගෙයි මගෙයි කතාව පටන්ගන්නෙම පීක් එකෙන්. තේරෙන වයසකදි ළමයි වැඩිපුරම ආදරේ කරන්න පටන්ගන්නෙ අම්ම තාත්තට. ඒත් මම ආදරේ කළේ වැඩිපුරම පුත්තම්මට. එයාට පුත්තම්ම කියන නම දැම්මෙත් මම. පුතාගෙ අම්ම කියන එකයි ඒකෙ තේරුම.


පුත්තම්මගෙයි මගෙයි බැඳීම් අතරෙ රසබරම සිහිකිරීමක් විදියට කෑම හඳුන්වන්න පුළුවන්. පුත්තම්ම කියන්නෙ පුළුවන් හැම වෙලාවකම මං ආස කරන කෑම හදන්න උනන්දු වෙච්ච ගෑනියෙක්. පුත්තම්මගෙ අයිකනික් ඩිෂ්එක තමයි උම්බලකඩ රතුළූනු වැංජනේ. ඒ වගේම කැටවලට කපපු අල කෑල්ලෙත් රස ඉතිරෙන මස් පදම තිබ්බ බීෆ් කරිය. සහ මම කන්න ආස නැති කෑම උයපු දවසකට හදිස්සියෙන් හදල දෙන දුන් තෙල් බත. ඒ නැතත් පුත්තම්මගෙ තිබ්බ මනුස්සයෙක් තවත් කෙනෙක් ගැන නොහිතන කෙයාරින් පොයින්ට්ස්. පිට තැනකින් බෙදල ගේන බත් එකක මම ආස නැති දේ තිබුනනං එයා ඒ ටික මුලින්ම කාලා මට බත් එක දුන්න. මට ඉඳුල් කට ගාවල තියෙන්නෙත් මනුස්සය. මං මහත්වීම සම්බන්ධයෙන් පවුලේ දෝෂාරෝපණ ඇවිල්ල තියෙන්නෙත් මනුස්සයට. ඒක ඉඳුල් කටගාපු නැකතෙ ප්‍රබලකමක් නෙමෙයි. ඒක ඒ කෑමවල රස නිසා සිද්ධ වෙච්ච දෙයක්.


පුත්තම්ම ගැන මට මතක පරණම මතකය ටිකක් දඩබ්බර එකක්. මං පුංචි කාලෙ සෙල්ලං කරන්න ගෙනත් දීපු බිල්ඩිං බ්ලොක්ස්වලට කෙළ පුරවල නිදියගෙන හිටපු පුත්තම්මගෙ කනට දාලා තියෙනව. මනුස්සයට දවස් ගානක් යනකං කන කුරුකුරු ගෑවලු. මම තුන වසරෙ ඉද්දි සීය මැරුනෙ.

මට මතකයි සීය මැරිලා දානමාන ඉවර වුනාට පස්සෙ, මං ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙ මං ගෙදර එද්දි සාලෙන් මිදුලට තියෙන පඩියෙ වාඩි වෙලා හිටිය පුත්තම්ම කලබල වෙලා නැගිට්ට. එයාට මට බත් එක බෙදන්න අමතක වුනාලු. පුත්තම්මයි සීයයි හරිම ආදරෙන් හිටිය. මගේ අම්මයි තාත්තයි අතරෙ එතකොටත් බහින්බස් වීම් තිබුන. එනිසා මට පුත්තම්මයි සීයයි අතරෙ තිබ්බ බැඳීම කැපිලා පෙනුනා. සීයා බොන දවසට පුත්තම්ම රස බීෆ් ඉස්ටුවක් හදනව. මාළුමිරිස්, ළූනු රවුම් එක්ක තියෙන, හීනි දිග මස්කෑලි විනාකිරි ගම්මිරිස්වල පෙඟිලා පුදුමාකාර රසක් දුන්නෙ. සීයා දවසක පුත්තම්මට ආදරෙන් මගෙ අල්මාරිය කියල කිවුව. මං තාමත් අහල නෑ මිනිහෙක් තමුන්ගෙ ගෑනිට ආදරෙන් අල්මාරිය කියල කියනව. මගෙ සීයා පස්සෙ කාලෙක මට තේරෙන විදියටනං ලොකු දැණුමක් තිබුනු මහ හීනමාණ කාරයෙක්. පුත්තම්ම පියදාස සිරිසේනගෙ මිනිබිරී වුනාට මහා කියවීමක් තිබ්බ ගෑනියෙක් නෙමෙයි. හැබැයි එයා මාව පොතට පතට හුරුකරවන්න උත්සාහ කළා. හොඳ උගත්කමක් මනුස්සයට තිබුනා. ස්ටොක් මාකට් එක හැඬ්ල් කරන හැටි ගැන, ලෝකෙ සිද්ධ වෙන දේශපාලන විපරියාස ගැන පත්තරවලින් හොයලා කියවන පුරුද්දක් තිබුන.


පුත්තම්ම කුස්සියෙන් බැහැර වෙලා අම්මා මුල් තැන ගන්නෙ පුත්තම්මට ඔපරේෂන් එකක් කරපු අලුත මහන්සි වෙන්න එපා කියපු නිසා. එදා ඉඳන් පුත්තම්ම ටික ටික හොරවෙන්න ගත්ත. හැබැයි පුත්තම්ම මට තිබ්බ ආදරේ අඩු කළේ නෑ. මට කැමරාවක් ඕන කියල මම කියපු දවසෙ අම්ම තාත්තා සල්ලි හොලවන්න කලින් එයා කැමරාවක් අරන් දුන්න. මං ඒකෙන් ගන්න ෆොටෝ එකක් දිහාවත් එයා බැලුවෙ නෑ. මං පෙන්නන්න ගියෙත් නෑ. දවසක් මං තේරෙන වයසක ඉන්නකොට මගේ සහ නෑදෑයොන්ගෙ තියෙන දුරස්ථ බව ගැන අම්ම කියපු නරක කතාවක් හින්දා, මං මං පුංචි කාලෙ ඉඳන් ගෑවිච්ච මිනිස්සුන්ගෙන් ආද‌රේ පුත්තම්මට විතරයි. අනිත් එකෙකුටවත් මං ආදරේ නෑ කියල මට කියවුනා. ඒකට තාත්තට කේන්ති ගියෙ නෑ. ඒත් අම්මට කේන්ති ගියා තමුන්ගෙ අම්මත් එක්ක.

පුත්තම්ම හැම ඈන්ගල් එකකින්ම මගේ අම්මට වඩා හොඳ ගෑනියෙක් කියල මට තේරුනා. පුත්තම්ම මට අනන්ත ආදරේ කළා. ඒත් මට වැරදි මගක යන්න දුන්නෙ නෑ. ඒත් මගේ අම්ම හිටියෙ මං කුඩු ටිකක් ගහන්න ඕන කිවුවත් ගෙනත් දෙන තත්ත්වෙක. අම්මෙක් එහෙම වෙන්න හොඳ නෑ. ඒක ආදරයක් වුනාට මුලපුරන්නෙ විනාසෙකට. පුත්තම්ම හැම බෑඩ් සිටුවේෂන් එකක්ම නියම නිස්කලංක බවකින් ගොඩදැම්ම. හැබැයි පුත්තම්ම මගේ අම්මගෙයි තාත්තගෙයි ජීවිතේට නරක විදියට අත දැම්ම. ඒව තේරෙන්නෙ ටිකක් ලොකු වෙද්දි. ඒකෙන් මගේ හිත පුත්තම්ම ගැන තරමක් බිඳෙනව. පුත්තම්මයි මායි අතරෙ බැඳීම ගිලිහෙනව එක තැනකදි. එතකොටත් පෙර කියපු සිද්ධිය හින්දා මගේ හිත තරමකට බිඳිලා ඉවරයි. පුත්තම්ම ගෙයි පිටිපස්සෙ වැටිලා එකතැන් වෙනව. එදා ඉඳන් කාමරේ ඉඳන් පුත්තම්ම කියන දේවල් අහගෙන ඉන්න මට පුත්තම්ම මට‌ කොච්චර හොඳ වුනත්, මගේ අම්ම තාත්තගෙ ජීවිතේට නරක විදියට අත දැම්ම නේද කියල තේරුං යනව. එතන ඉඳන් අපි ඈත් වෙනව. මහා දුරකට.


පුත්තම්ම අම්මගෙ කසාද ජීවිතේට කරපු දේ අම්ම මගේ කසාද ජීවිතේට කරන්න පටන්ගන්නව. තාත්ත මට අනතුරු අඟෝනව කෙලවෙන්න කලින් පලයං කියල. මං මාර කේන්තියකින් මං ආදරේ කරපු සැපට කන බොන සද්දෙට සින්දු කියන මිනිස්සු ඉන්න මොරටුව දාලා, හොරෙන් හොරෙන් කනින් කනට කේලං කියන හුත්තිගෙ පුතාලා ඉන්න, බාර් එකක් නැති, පෝක් ටිකක් නැති  මත්තෙගොඩට එනව. මං ඒකට තාමත් මගේ අම්මට වෛර කරනව.

හිත යටින් කොච්චර ලොකු ආදරයක් තිබුනත් මගේ අම්ම ගැන මට ලොකු කේන්තියක් දැනෙන දේවල් මහ ගොඩක් තියෙනව. ඒකට මුල්ම හේතුව වෙන්නෙ පුත්තම්ම. ඇත්තටම අම්මෙක් ඉන්න ඕන කොහොමද කියන දේ පුත්තම්ම මට පෙන්නනව. එනිසයි එයා පුතාගෙම අම්ම වෙන්නෙ.

පුත්තම්ම ගිය සඳුදා මැරුන. එයාගෙ මිනිය දිහා බලං ඉද්දි මට ලොකුවට කෑගැහුනෙ නෑ, මං මිනිය බදාගෙන හිටියෙ නෑ, හැබැයි මට කඳුලු ආව. ඒ මම මේ උඩ කියපු මතකයන් ටික හින්දා. එයා අන්තිම අවුරුදු පහළොවේදි මගෙ ජීවිතෙන් ඈත්වුනාට මගේ ජීවිතේ මුල් අවුරුදු පහළොවම ලස්සන කළේ පුත්තම්ම. එයා අන්තිම ටිකේ අමාරුවෙන් දුක් විඳිමින් හිටපු හින්දා එයා මැරිච්ච එක හොඳයි. ඒ තමයි මගේ ජීවිතේ යම් මොහොතක මං වැඩිපුරම ආදරේ කරපු ගෑනි. මං තාමත් කාටවත් එයාට තරං ආදරේ කරලා නෑ. මේ මොහොතෙදි මං වැඩිපුරම ආදරේ මගෙ ගෑනිට. දෙවනියට මගෙ පුතාට. ඒත් මං කවදාවත් ඒ දෙන්නටවත් මම ඉස්සර පුත්තම්මට ආදරේ කරපු තරං ආදරේ කරල නෑ. වයසින් වැඩිවෙන්න වෙන්න හිත්වල තියෙන ආත්මාර්ථකාමී ගති උඩ ගහද්දි, අවුරුදු දහයෙදි විතර ලෝකෙ ගැන වැඩි දැනීමක් නැති කොල්ලෙකුගෙ හිතින් කරපු ආදරේ ප්‍රබලකම ආයෙ හිතක් ඇතුළෙ ඇති වෙනවද කියන්න මම දන්නෙ නැහැ. හැබැයි මං පුත්තම්මට, මට අවුරුදු දහයෙදි  ආදරේ කරපු තරං ආයෙත් වෙනිං කාටවත් ආදරේ කරන එකක් නෑ. මට පුත්තම්මා නැතිවුනා කියල මහලොකු දුකක් නැහැ. හැබැයි එයාගෙයි මගෙයි මතකයන් මහා දැඩියි. ගුඩ් නයිට්, සුබ ගමන් වගේ ගොන් හුත්තෙ වචන එයා වෙනුවෙන් කියන්න මං සූදානං නෑ. එයා මවපු සුන්දර ලස්සන ලෝකෙ මට කවදාවත් අමතක වෙන්නෙත් නෑ. එහෙමයි කියල ලබන ආත්මෙත් එයා මගේ පුත්තම්ම වෙන්න ඕනෙත් නෑ.