"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Saturday, February 23, 2019

අම්මයි පුතයි

හීනෙ මුල් හරිය පටන්ගන්නෙම මම දුවනව පෙනි පෙනී. මට මුලින්ම පහු වුනේ මගේ අම්මව. අම්ම ඈත් වෙලා ගියත් මට හැරිලා බලන්නතවත් වෙලාවක් තිබුනෙ නෑ. මට හරියටම අරමුණ මොකද්ද කියල මතක නැතත් මට මේ හීනෙ හැම දර්ශනයක්ම මතකයි. සමහරවිටට මේක වෙන්නැති මට වැඩිපුරම මතක හීනෙ. බෙහෙත් ගහපු නැති ගෙදර වවපු ගංජා කොල ටිකක් හම්බුනා වගේම පුංචි කැන්ඩොස් චොකලට් එකක් දිය කරල ඒක වටේම ගාපු නිසා උරන දුම් උගුරක් ගානෙ ආවෙ ආනන්දනීය රසක්. වෙනදට උගුරු දෙක ගානෙ ඇදලා සූස්තිය වටේ යැවුවට අද එහෙම නෑ. තනියෙන් බිවුවෙ. බීලා කනකං බලාගෙන පැණි හොද්දෙ ගිලිච්ච ගුලාබ් ජමූන් ගෙඩියක් බලාගෙන හිටියා. එහෙම සැපක් හිතට ලැබුනම හීනෙත් මතක හිටිනවා වෙන්න පුළුවන්. උදේ ඇහැරිලා ඇඳ උඩ වාඩි වෙලා කල්පනා කළේ ඒ හීනෙ ගැන. ඒ තමයි මම ජොබ් එකක් නොකර ඉන්න තීරණය කරලා ගෙවෙන මුල්ම දවස. තාත්තට ඇදුනා ලොකු ලොතරුයියක්. මුල් දිනුම වෙච්ච කෝටි එකොළහම හම්බුනත් මනුස්සයා ඒකෙන් වියදං කළේ එයාගෙ හිත කැමතිම වාහනේ අරගන්න ලක්ෂ හතලිහක් විතරයි. ඊට අමතරව ණය තුරුස් ටිකකුත් ගෙවලා පෙන්ෂන් යන්න තියෙන අන්තිම කාලෙවත් සම්පූර්ණ පඩිය අතට ගන්න මනුස්සයා සල්ලි ටිකක් වියදං කළා. ඉකුරු ටික මට. ඉතිං මොකටද ජොබ් එකක්. ගෑනියෙක්වත් දරුවෙක් වත් නැති මං මොකටද ජොබ් කරන්නෙ.

හීනෙ මුලදිම අම්මව පහුවනාට පස්සෙවත් අම්මා දිහා හැරිලා බැලුවෙ නැති එක ගැන මට උදේ ඇහැරුනම දුක හිතුනා. මහ නරුම පුතෙක් කියන දුකත් දරාගෙනමයි මම උදේට කන්න මොනවහරි අරගෙන එන්න ගියේ. හීන මතක් කරනවට වඩා බඩගින්න ලොකුයිනෙ. ඒත් අතේ සල්ලි තිබුනෙ නැති නිසා මම මුලින්ම හන්දියට ගියා ඒටීඑම් එක හොයාගෙන. තාත්තා ගිහින් රස්සාවට. ඒටීඑම් එකෙන් රුපියල් දෙකක් කපාගෙන දීපු කොලේ මගේ එකවුන්ට් එකේ කෝටි දහයකුත් තවත් ගානක් තියෙන බව කිවුවත් මම අතට ගත්තෙ දෙදාහක් විතරයි. ​තාත්තා ලොතරුයිය දිනලා මාසයක් ගතවෙලත්, මම රස්සාවට රෙසිග්නේෂන් දීලා මාසයක් ගතවෙලත් තාමත් සල්ලි එහෙමමයි. තාත්තා ඒ ගැන හෙවුවෙත් නෑ. උදේට කන්න ගත්තු තෝසෙ කෑල්ලක් සම්බෝලෙ දවටලා ගනිද්දියි මට මගහැරිච්ච දෙවැනි දේ මතක් වුනේ. ඒ පහුවුනේ වඩේ කරත්තයක්. අම්මව පහුවුනේ උදෑසනක වුනත් වඩේ කරත්තෙ පහුවෙනකොට බිං කළුවර වැටිලා තිබුනා. ඒක මට හොඳටම මතක වඩේ කරත්තෙ එළිය දෙන්න ගහපු පන්දමේ රස්නය මට දැනිච්ච නිසායි. මට දැන් මතක් වෙනවා. ඒ කරත්තෙ වඩේ විකුණුවෙ මගෙ හොඳම යාලුවා. මම මගේ හොඳම යාලුවගෙන් වඩයක් අරං උදවුවක් නොකර දුවලා ගිය තක්කඩියෙක්ද කියන දුක මට තිබුනා. මේක පුදුම ජොයින්ට් එකක්නෙ. අරුම මතකයක් මගේ ඔලුව ඇතුළෙ ඉතුරු වෙලා තිබුනා.

දුවලා ගිහින් මම යන්තං හරි මගේ වේගය අඩු කළේ කහ ඉරක් ලඟ. ඒ මතින් එහා පැත්තට අරගෙන ගියේ මිනියක්. දකුණු අත පැත්තෙ ඉස්පිරිතාලෙ. මම මිනිය උස්සගෙන ගිය මිනිස්සුන්ගෙන් ඇහුවා කොහෙද යන්නෙ කියල. එයාලා මට ඔලුවෙන් පෙන්නුවෙ වම් අත පැත්තෙ තියෙන මෝචරියෙ බෝඩ් එක. මිනිය පිටිපස්සෙන් තාත්තා ගිය නිසා මම ආයෙත් මිනිය දිහා බැලුවා. ඒ හිටියෙ මගේ ආච්චි අම්මා. අම්මටත් වඩා මම ආදරය කරපු මනුස්සය. මට ඒත් නවතින්න විදියක් තිබුනෙ නෑ. තෝසේ ඉවරයි. ටීවී එක දානවද කියලත් කල්පනා කරලා ඊට වඩා හොඳ නිසා මම යූටියුබ් ගියා. සින්දු වැයෙනව ඉවක් බවක් නැතුව. ඔටෝ ප්ලේ හැකියාවෙ උපරිම ප්‍රයෝජනය යූටියුබ් අඩවිය අත්වින්දෙ එදා. මගේ කිසිම බාධාවකින් තොරව උන් කැමති සින්දු උන් කැමති ඇඩ් අස්සෙ දාලා මට පෙන්නුවා. මං බැලුවෙ නෑ. හැබැයි මම ඇහුවා. තව කන්න දෙයක් කුස්සියෙ හොයද්දි මට හම්බුනේ මුරුක්කු ටිකක්. මුරුක්කු ටිකට ගැලපෙන අරක්කු ටිකක් මගේ අල්මාරියෙ තිබුන නිසා මම යූටියුබ් එක ලඟට ඒකත් ලං කරගත්තා.

බිබී ඉන්න අත​රෙ මිල්ටන්ගෙ සින්දු එක පිට එක වැයෙද්දියි මෙවුවා මතක් වෙන්නෙ. ඒ අතරෙ ගියා මර්වින්ගෙ සින්දුවක්. ඒකෙ මැද්දෙ විවාහය කියන අකුරු හතර අර්ථ දක්වද්දි කියනව වායනු වාවන්නට පෙළඹුවා නිරතුරේ කියල. මං කොච්චර සතුටින් ඉන්න හැදුවත් මං වාවන්නම පුදුරු වෙච්ච සතෙක්. කොච්චර ලොකු දුකක් වුනත් වාවගන්න පුළුවන් තරං දැඩි හිතක් මට තිබුනත්, වාවලා ඉවර කරගන්න මට පුළුවන් වුනේ නෑ. එහෙම කියල මං දුකකින් හිටියෙත් නෑ. හැබැයි වාවලා ඉවර වුනෙත් නෑ. ඒකයි එතන තිබ්බ අවුල. ​මේ අරක්කු මතේ අස්සෙ මතක් වෙන්නෙ ඒ හීනෙ අන්තිම ටික. මං අන්තිමටම අච්චර අමාරුවෙන් දුවගෙන ගිය තැනට ලංවුනා. මට පැහැදිලිව ඇහුනෙ නැතත් මම එතන හිටපු ලොකු උස මහත මිනිස්සුන්ට මගේ දුක කිවුවා. අන්තිමට මම සාක්කුවෙන් අරගෙන දෙයක් පෙන්නුවා. දෙයියනේ මගේ ලොතරුයිය ඉරිලා. මේක තාත්තා ලොතරුයිය දිනපු දා ඉඳන් මාරු කරගන්නකංම මගේ හිතේ තිබ්බ බයක්. ඒ බය නිසා මම මගේ මැරිච්ච අම්ම ලඟවත් නතර වුනේ නෑ. මට යන්න කවුන්ටරයක් පෙන්නුවා. ඉරිච්ච එකනං ප්‍රශ්නයක් නෑලු. ඒත් එතන ඉස්සරහ හිටගෙන හිටියෙ පුංචි පුතෙකුයි අම්මෙකුයි. උන්ටත් තියෙනවාලු මගේ අංකෙම තියෙන ලොතරුයිය.

හුටා!

අපි දෙගොල්ලොන්ගෙම ලොතරුයි දෙක මණ්ඩලෙන් අරගත්තා. අරගෙන අපිට දුන්නා සර්ටිෆිකට් දෙකක්. එයාලා බලනවලු ව්‍යාජ එක මොකද්ද කියල. ව්‍යාජ එකාට පුස්ස. අපි දෙගොල්ලොම ගෙදර ආව. මට ඒ අම්මයි පුතයි ගැන තිබ්බෙ කේන්තියක්. ඒත් උන් මං දිහා බලල හිනාවුනා. මං කතා කළා උන් එක්ක. උන්ගෙ තාත්තා නෑලු. පොඩි එකයි අම්මයි විතරලු ඉන්නෙ. නෑයො සළකන්නෙ නෑලු. හැබැයි මේ දිණුම අරගෙන එනකං බලං ඉන්නවලු ඒක බෙදාගන්න. මට කේන්ති ගියා නෑයො එක්ක. හැබැයි දැන් එච්චර නෑයො ගොඩක් මරන්න බෑ. මං ඒ අම්මවයි පුතාවයි මැරුවා. උන් ඔය සල්ලි අරගෙන ගියත් නෑයො ටික කෙලින නිසා මං උන්ව ඒ කරුමෙන් බේරගත්තා. උන් දැන් උන්ට කලින් මැරුනු මහ එකා ඉන්න තැනට වෙලා සතුටින් ඇති. උන්ගෙ සල්ලිවලට කෙලින්න බලං හිටපු නෑයොන්ට හුප්පෙ. ඒ අම්මගෙ ෆෝන් එකට කෝල් එක ආවා. එයාටලු හරි ටිකට් එක ලැබුනෙ. එන්නලු සල්ලි අරගන්න. මං ඒ ෆෝන් එකෙන්ම බළධාරීන්ට කිවුව එයාලා මට ටිකට් එක විකුනපු විත්තිය. මම එහෙමයි ඒ හීනෙ මේ කෝටි එකොළහ හම්බුකරගත්තෙ.

අරක්කුත් ඉවරයි. හීනෙත් ඉවරයි. හීනෙදි මම මහ දුෂ්ටයෙක් වුනාට ඇත්ත ලෝකෙ සල්ලි ලැබුනෙ මගෙ තාත්තට. හැබැයි මට හිතෙන්නෙම මේ සල්ලි මම අර අම්මවයි පුතාවයි මරලා ගත්ත සල්ලි කියලයි. මට තාත්තගෙන් අහන්නත් හිතයි. තාත්තත් මේ ටිකට් එක දිනුවෙ අම්මෙක්වයි පුතෙක්වයි මරලද කියල. අරක්කු මත කන්ටිනියු කරන්න මම සිගරට් එකක් පත්තු කරගත්ත. ඕල්ඩ් ඇරැක් බෝතලේ ඇතුළටම මම අළු කැඩුවා. ගෙයින් එළියට බැස්සෙ බොන්න ​මොනවහරි බීම බෝතලයක් අරගෙන එන්න. ඒ යද්දි දැක්කෙ එහා පාරෙ ඉන්න මම කාලයක් තිස්සෙ දන්න සැමියා මැරිච්ච නිසා දුක් විඳින අම්මත් පුතත්. උන්ව දැක්ක ගමන් මට මතක් වුනේ මගේ කාලකන්නි හීනෙ. මේ විදියට උන්ව දකින දකින පාරට මට මෙවුව මතක් වෙන්න බෑ. කෝටි එකොළහක් හිමි මිනිහෙකුටත් විඳවන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මං උන් දෙන්නවත් මැරුවා. දැන් මේක හීනයක් නෙමෙයි. මං හීනෙං මිනී මැරුවා වගේ නෙමෙයි. මං ඇත්තටම දැන් මිනිස්සු දෙන්නක්ව මරලා තියෙනවා. කෝටි ගානක් මං ගාව තියෙන නිසා දක්ෂ ලෝයර් කෙනෙක් අල්ලලා මට මේකෙන් බේරෙන්න පුළුවන් වෙයි. හැබැයි මං කරේ වෙනිං දෙයක්. මං දන්න තවත් තනි වෙච්ච අම්මෙකුයි පුතෙකුයි ඉන්නව. උන්ගෙ තාත්තත් නෑ. උනුත් දුක් විඳිනව. උන්වත් යවන්නෝන එළොව. උන්ව මං මරද්දි, උන් මට බයෙන් හිටියට මං ඒ වැඩේ කරේ හිතේ කිසිම තරහක් නැතුව. හරිම පරිස්සමට. රිදෙයියදත් කියල බයෙන්. උන් දුක් විඳින්න ඕන නෑ. පවූ!



*********************************

කතාවෙන් පස්සෙ - මේ කතාව ලියවිලා මේ වෙද්දි තරමක් කල්. මේක ලියවිලා ඉවර වුනාම මටම හිතුනා මේකෙන් මිනිස්සු මං ගැන ජජ් කරයි කියලත්. ඒ වගේම මං මගේ හිතට මෙහෙම දෙයක් හිතුනද කියල හිතලම මාවම තරමක් පිළිකුල් වුනු තත්ත්වෙකුත් දැනුනා. කොහොම වුනත් මං හිතුව මේක කට්ටියට කියවන්න දාන්න. මට මුලින් මං ගැන දැනිච්ච ඒ නරක හැඟීම නං මේ වෙද්දි නැතිවෙලා ගිහින්. ජය!