"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, November 28, 2018

ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය!


මා කියවමින් සිටිමි. එහි ලියැවී ඇත්තේ සිතිවිලි වෙයි. එය පොතක් යැයි කියා ඔබට සිතෙන්න​ට හැක. එසේ සිතුවාටද කම් නැත. නමුත් එය පොතක් නොවන බව මා දනිමි. මා එය දරා සිටිමි. පෙරලන්නට පිටු නැත. එය පෙට්ටියක් වැනිය. ඇතුළට බැසිය හැකි. පිටු නැත. පරිච්ඡේදද නැත. නමුත් කියවිය හැක. එහි ඇත්තේ අප සියල්ලන් මිය යාම පිළිබඳවය. මිය යාමෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද? මරණයෙන් මතු ආයෙත් අප මුණගැසෙයිද? එසේ වුවහොත් හඳුනාගන්නට හැකි යම් ක්‍රමයක් වේද?
යළිත් මුණගැසෙන මොහොතේදී ඔබව සිහිවනු පිණිස මා ඔබගෙන්ම මාගේ මතකය පුරවාගමි. මා මියෙමින් සිටිමි. මා කියවමින් සිටිමි. එනිසාම මා ඔබවම සිහියේ තබා ගනිමි. සෑම අංශුවකම ඔබම යැයි නිර්ණය කළ හැකි සාධක පමණක් මොළයේ බහාලමි. එයින් එකක් හෝ ප්‍රයෝජනවත් ලෙස ඉදිරියට විත් යළි අ​ප මුණගැසී ආගන්තුකයන් වන මොහොතේ මට ඔබව හඳුනාගන්නට උදවු වනු ඇත.
ඔබ ගැන සියල්ල මතකයේ සටහන් කරගත් පසු මිය යෑම යෝග්‍යය. ඔබද ඉක්මනින් මිය යා යුතුය. නැතිනම් අපගේ මුණගැසීම පමා වනු ඇත. අප ආසා කරන තැනක මිය ගියහොත් ආසා කරන තැනක උපදින්නට හැකිවග මා කියවීමි. මා මම ආසා කරන තැන වැති​ර සිටිමි. එය ඔබගේ කුටියයි. මා පානය කළෙමි. ඒ පානය කළ දේ ඔබට​ද ඉතිරි කර තබමි. මගේ කවන්ධය අසල ඇති බඳුන අවසන් වන තෙක් රසවිඳින්න සොඳුරිය!
ඉනික්බිති මා අසලින්ම වැතිරෙන්න. මියෙන්න​ට මොහොතකට පෙර මා මුවෙහි අද්දර සිඹින්න. ඒ මුවෙහි වඩාත් සංවේදී ඉසවුවයි. එකි පාණයෙන් මා නොමැරී උන්නානම් එම චුම්බනය මා මරණය කරා ගෙනයනු ඇත. නැවතත් ආස කරන තැනක ඉපදීමේ අරමුණම පමණක් ගෙන, යළිත් ඔබව හඳුනාගන්නට හැකි සළකුණක් සිහිපත් වෙතැයි විශ්වාසයෙන් මා වැතිර සිටිමි. ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය!
තවත් කල් ඇතැයි ඔබට සිතෙනු ඇත. තවත් කල් ඇතද අප මෙහි යන මග වෙනස් නොවෙයි. එනිසා අප මෙයින් යා යුතුය. එහි ගොස් බැලිය යුතුය. එහෙ සුබ විය හැක. දිගින් දිගටම මිනිසා තම සිරුර සිළට කිඳා බැසීම අවසන් වන්නේ අශූචි සමග පශ්චාත් භාගයෙන් හිස මතුවීමෙන්ය. එසේ වන්නට පෙර මෙම විවේකය ලබාගන්න. නැවත උත්සාහයක් දැරිය යුතුව ඇත. ඔබ මා ගැන මතකයේ තබාගත යුතුද නැත. මා ඇතිතරම් මතකයේ ඔබ​ව තබාගෙන ඇත. නැවත මෙය ඇරඹිය යුතුය. නැවතත් ඒ ප්‍රේමයෙන් දෑස් දල්වා රමණයේ යෙදිය යුතුය. ඉතින් ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය. සිරුර දැවෙනු දැනෙයි. ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය!

Wednesday, November 21, 2018

සින්නවී​ම

ලෝකෙ කැරකෙන ස්පීඩ් එක එක මොහොතකට අඩු වෙලා ආයෙ යථා තත්වෙට ආවොත් අපි වැටෙයිද? එතකොට අපි හැමෝම එක පාර වැටෙයිද? කලින් දැනගෙන හිටියොත් නාසා එකේ මිනිස්සු වටේට කොට්ට තියාගෙන ඉඳියිද? රාජ්‍ය නායකයො තමන්ගෙ ආරක්ෂකයො වට කරගෙන මිනිස් පවුරකින් ආරක්ෂා වෙයිද? අපි අඩු තරමින් බිම වැටෙනකම්ම ඕක ගැන දැනගනියිද? අපි කැරකි කැරකි ඉර වටේ කැරකෙනවා. අපි වගේම අනිත් ග්‍රහලෝක නමයත් ඉර වටේ කැරකෙනවා. ඔය අස්සෙ දුරින් සහ ප්‍රමාණයෙන් අරන් බැලුවම බ්‍රහස්පති ඉර වටේ කැරකෙන්නෙ නෑ කියලත් කියනව. අපි ග්‍රහලෝක සෙට් එක චුන්ටං කෑල්ලක් විතරයි. කැරකි කැරකි ඉන්න අපිවත් අරං ඉරත් තව ලොකු එකක් වටේ කැරකෙනවා. හැමෝම ලොකු එක කැමති පදේටයි නටන්නෙ.  මට එයාව මුණගැහෙන්නෙ කැරකෙද්දි. ඒ ලොකු හෝටලේක ලොකු බෑන්ඩ් එකක් ප්ලේ කරපු සින්දුවකට කැරකි කැරකි බෝල්රූම් නටද්දි. මම මගේ වයිෆ් එක්ක කැරකුනා. එයා ඒ කැරකිලා තිබුනෙ එයාගෙ හස්බන්ඩ් එක්කලු. අපේ ඇස් හම්බුනා. බලං හිටියා. අහක බලාගත්තා. ආයෙ බලං හිටියා. හිනා වුනා. ආයෙත් තව ටිකක් හිනා වුනා. කැරකි කැරකිම හාදුවක් පා කරලා ඇරියා. එයා ඒක දැක්කා. හැබැයි නොරිස්සුම් බැල්මක් හෙළුවෙ නෑ. ඒ නිසා එයා හාද්ද භාරගත්තද කියල මං දන්නෙත් නෑ.

අපිව අයිති වෙලා තිබ්බෙ ලෝක දෙකකට. මගේ ලෝකෙ අයිතිකාරි ගෑනියෙක්. එයාගෙ ලෝකෙ අයිතිකාර​ය පිරිමියෙක්. අනුන්ගෙ අයිතිකාරකං යටතේ හිර වෙලා ඉන්න අපි දෙන්න ඒ ලෝක දෙකේ කැරකි කැරකි ඉන්නෙ නැතුව මුලින්ම මුණගැහුනෙ පිරිතකදි. ඒ අපි දෙන්නම ගිය ලොකු වෙඩින් එක ගත්තු අය, ලොකු ගෙදරකට යන එක වෙනුවෙන්, ​ලොකු මණ්ඩප්පයක් ගහලා, ලොකු පිරිතක් කියපු තැනදි. එයාගෙ ලෝකෙ අයිතිකාරයා පිරිත්වලට කැමති නැති නිසා ඇවිත් තිබුනෙ නෑ. යාලුවගෙ වැඩේනෙ, කට්ටියත් ඉන්නවනෙ, තනියක් නැහැනෙ, ඔයා යන්න කියලා එයාව එවලා තිබ්බා. මගේ ලෝකෙ අයිතිකාරිට පිරිත් අහන්න යන්න ඕන වුනත් අනිත් කිසිම යාලුවෙකුගෙ බිරින්දෑවක් නොඑන නිසාම එයා ආවෙ නෑ. යාලුවගෙ වැඩේ නිසා මම ගියා. එයයි මායි අපේ ලෝකවල අයිතිකාරයො නැතුව මුණගැහුනෙ එතනදි. අපේ ඇස් හම්බුනා. බලං හිටියා. අහක බලාගත්තා. ආයෙ බලං හිටියා. හිනා වුනා. ආයෙත් තව ටිකක් හිනා වුනා. මං කෙලින්ම ගිහින් කතා කළා.

ඇයි?
පොඩිදෙයක් ඉල්ලගන්න කියල
ඒ මොකද්ද?
මං එදා ෆ්ලයි කරලා ඇරපු කිස් එකේ රිප්ලයි එක

අපි එතැන හිටි බව පෙන්වන්න පිරිත් මණ්ඩපේ අහුවෙන විදියට යාලුවො එක්ක සෙල්ෆි දෙක තුනක් ගහලා ෆේස්බුක් දාලා අපි දෙන්න එළියට පැන්නා. කිට්ටුවෙන්ම තියෙන දෙන්නටම වෙන් වෙච්ච ඉඩක් හොයාගෙන ගියා. අපිරිසිදු කාමරයක් වුනත් උමතුවෙන් හිටි යුවලකට එහි කිසිම අපිළිවෙලක් පෙනුනෙ නෑ. ඈ මා ඇද ගත්තා. බලහත්කාරයෙන් මෙන්. මා ඇදුනා. අතිශය ආශාවෙන්. කෙදිනකවත් එතරම් වේලාවක් පූර්ව ක්‍රියාකාරකම්වල නියැලී නැතත් සිරුරට කිසිඳු වෙහෙසක් දැනුනේ නෑ. ආශාවේ නොතිත් කෙනිත්තීමෙන් තවත්, තවතවත් වේලා මා ඇය වෙනුවෙන්ම සිටියා. ඇය මා වෙනුවෙන්ම සිටියා. හිසෙන් සහ ඇසෙන් කෙරුනු ඉඟියකින් පසු එතෙක් වේලා ඇලී තිබුනද යා නොවී තිබුනු සිරුරු යා වුනා. මා ඇතුළු වුනා. ඈ පිරවුනා. ඇය කරාබුවක් හෝ දමා සිටියේ නැහැ. ඇගේ කැරලි කෙහෙ යට උමතු සුවඳක් මනස කිති කැවූ බව රතියේ කෙලිලොල් බව මැදදිත් මනසේ තිබුනා. මා තවත් තවතවත් ඒ කැරලි කෙහෙ රැලින් වැසුනු ගෙලෙහි රැළිති දාර අතරේ සුවඳ සෙවුවා. ඉමහත් ආශ්වාදයක්. මනස සුවපත් වෙමින්ම ඈ නිය පහුරු ගාමින් නිසල වුනා. මා හටද තවදු ශක්ති අංශුවකුදු ඉතිරිව තිබුනේ නැහැ. අප වැටී වැතිරුනා.


මගේ දකුණත බදාගත් ඈ උරහිස ආදරයෙන් සිපගත්තා. ඒ වන විටත් නැවතත් ක්‍රියාත්මක වුනු ඇගේ දනහිස මටත් රහසේම වඩා සුවයක් දැනෙන පෙදෙසක අනවරතව පිරිමැදුනා. නැවත නැගී සිටින්නට හැකියාවක් ඒ මොහොතේ තිබුනේ නැහැ. උදෑසන හයේ එලාම් ඔරලෝසු ජංගම දුරකතන දෙකේම නාදදී අප කුටියෙන් පිටවින විටත් අප සිවුවන වරටත් එක්වී සිටියා. නැවතත් එදෙස හැරී බලා ඇය හඬන්නට වුනා. ඒ අප වරදක් කල නිසාද? නැතිනම් අප කළ වරද දමා එන්නට සිදුවූ නිසාද? කියා මා අදටත් දන්නේ නැහැ.

එයින් පසුවත් අප හමුවුනා. එන්න එන්නම යම් වෙනසක් අප අතරේ සිදුවන බව දැනෙන්නට වුනා. ඒ වෙනස කුමක්ද? දැඩි කාමුකත්වයකින් අපේ බැඳීම ආදරයකට පෙරැලි තිබුනා. අප මුණගැසුනාට, කුටියක තනි වුනාට, නිරුවත් වුනාට, ලිංගිකව එක් වූයේ නැති නරම්. එහෙත් කුටියෙන් පිටවෙන විට පළමු දිනටත් වඩා ප්‍රමෝදයක් සිත්හී රැඳී තිබුනා. ඇය පුදුමයෙන් මදෙස බලා සිටියා. සෑම දිනකම ඇඳ සිටි ඇඳුම් ගලවද්දී ඇයට හැඬුම් ආවා. ඒ ඇයට මට ආදරය කරන්නට සිදුවීමේ පාපය නිසා යැයි ඇය කිවුවා. එවන් දුකක් ලිංගිකව එක්වද්දී අපට තිබුනේ නැහැ. අනෙකුන්ට අයිති ලෝකයක සිට අපි වෙනකුන්ට ආදරය කරමින් සිටියා. සම්බන්ධයේ තෙමස් පූර්ණය වන විටත් අප දෙමසකින් ලිංගිකව එක්ව තිබුනේ නැහැ. දිගු වේලාවක් දෙතොල් ගෙල අතරේ ඇලී තිබුනු හාදුවක් හැරෙන්නට රාගය මනස් ක්‍රියාවලියක්ම පමණක් වී තිබුනා. තවමත් ඇගේ ගෙල යට සුවඳ මා ආශක්ත කළා. ඈ මගේ සිතුවිලිවලට ආශා කළා.

අපි මොහොතකුදු අපේ ලෝකවල හිමිකරුවන් සහ අයිතිකාරියන් හැර ගියේ නැහැ. ඔවුන් හා ගෙවුනු යාන්ත්‍රික ජීවිතය අතරේ පොදු අවකාශීය ගැබක වැඩුනු ආදරයක් අප දෙදෙනාට දාව ඉපදුනා. සෑම උදෑසනකම සුවදුක් විමසන්නට අපට හැකිවුනේ නැහැ. එක්ව අහරක් ගන්නට, එක්ව දරුවෙකු සුරතල් කරන්නට අපට හැකිවූයේ නැහැ. නමුත් අප එක්ව ආදරය කළා. අපට දාව මහා ආදරයක් බිහිවී තිබුනා. කලක් තිස්සේ මහා රැයක් වන තුරුත් ස්මාට්ෆෝන් තිරය දෙස බලමින් අතට ගත් අතීතයේ සෙක්ස් ඇරියස් පහව ගොස් තිබුනා. එකල තරම්වත් ආලිංගනයේ නොයෙදුනත් ඇය මනසට එන මොහොතක් පාසා මොලය පුපුරවන තරම් සංඥා එහෙ මෙහෙ වුනා. ආදරය පුපුරා ගියා.

පුපරා යෑමෙන් පවා එය නැතිවුනේ නැහැ. ආදරයක් කියා යමක් අපට ඇති යැයි ලෝකය සිතුවේ නැහැ. අප එක් යහනක උඩුබැලිව කෙහෙ රැලි අතගාමින් ආදරය කරන බව ඇගේ සැමියාත් මගේ බිරින්දෑත් දැන සිටියේ නැහැ. එක කුටියක සිට පැමිණ නිවෙස් දෙකකට අප ඇරලවන කෙසක්රිය කරුවන් අප කොටු පනින යුවලක් ලෙස මිල ආදරය කරන යුවලක් ලෙස දැක්කේ නැහැ. එනිසා ලෝකයට අනුව අපට මේ යැයි කියා ආදර බන්ධනයක් තිබුනේ නැහැ. නමුත් අප අපේම ආදරය වුනු අරුමය අමතක කරන්නට නොහැකියි. එය ඇරඹියේ කොයි මොහොතේද කියා විශ්වාසයක් නැතත්, දෙපසක දුර ඈත සිටියදී හෝ එය පවතින බවට විශ්වාසයක් අප සතුව තිබුනා. ආදරය කරනවා නම් යන්නට දෙන්න වැනි ඕෂෝමය පරාර්ථයක් අප තුළ තිබුනේ නැහැ. කයින් දුරස්තව සිටියත් අප කිසිම මොහොතක එකිනෙකාගෙන් ගිලිහුනේ නැහැ.

කැරකි කැරකි හිටපු මිනිස්සු දෙන්නෙකුගෙ හදිසි යහන්ගතවීමක් නවතින්න පුළුවන් හොඳම තැන මොකද්ද?

Tuesday, November 13, 2018

ටොපිය දිය වී යෑ​ම

පූර්ව සටහනක් - මේක උඹලට නිකං කතාවක් වුනාට මට ෂොක් එකක්. ඒ නිසා මේක ඉවර වෙනකං මේක කතාවක් කියල මම දැනගෙන උන්නෙත් නෑ. එනිසා මම දවසක ලියලා නවත්තපු තැනින් පහුවදා ලියන්න පටන්ගත්ත. එනිසා හැමදාටම අද කියලා පාවිච්චි කරලා තිබුනට මේවා දවසක් ගානකදි සිද්ධ වෙච්ච කාලකන්නි වැඩ.

ටොපි දිය වෙන්න ඕන තමයි. හැබැයි ටොපි දිය වෙන්න ඕන දිවක් මත කටක් ඇතුළෙදි. එහෙම දිය නොවෙන ටොපි කාලකන්නි ටොපි. දැන් මගේ ජීවිතෙත් කාලකන්නි ටොපියක් වගේ. පිරිමියක් දියවෙන්න ඕන ගෑනියෙක් ඇතුළෙ. ඒ ඇතුළෙ තියන රහට සුවඳට තියෙන පෙරේත කමෙන් පිරිමියෙක් දියවෙන්න ඕන. දිගින් දිගටම එකින් එකට දිව යටට එක්වෙන ලුමිනස් පැහැ කොටහකට මේ පිරිමි ජීවිතේ දිය වේවී යනවා. හීන පේනව. ඇඟ ඇතුළෙ එලියක් යනව වගේ. ගොඩාක් ඈත තියෙන දේවල් ලඟින් පේනව. ඇය​ගේ මාසික ඔසප් චක්‍රය සති තුනක් තිස්සෙත් නැවතිලා නැහැ කියලයි මතක. දරුවො නැති නිසා අපි ගත්තු බෙහෙතක් නරක විදියට ඇඟ ඇතුළෙ වැඩ කරනවද? කියල එයා හිතුවෙ. හැබැයි එයා දොස්තරල ගාවට යන්න කැමති වුනේ නැහැ. නැත්තං ඇය මැරෙන්න ලං වෙනවද? ඇගේ මුහුනෙන් ඒ බවක් පෙනෙන්නෙ නෑ, වෙනදටත් වඩා ක්‍රියාශීලියි. වෙනදටත් වඩා මට ආදරෙයි. හැබැයි පහනක් වැඩියෙම්ම දීප්තිමත්ව දැල්වෙන්නෙ නිවෙන්න ලංවුනාම නිසා මං දුක්වෙන්න පටන් අරගෙන.


පිටවෙන ලේ ගුලියක් ගානෙ ඇයවත් මාවත් දුරස් වුනා. අපි අතරෙ බන්ධනයක් හදන්න දරුවෙක් හිටියෙ නැහැ. එයා කවදාවත් මගෙත් එක්ක බීලත් නැහැ. මම බොනවට එයා මොකුත් කිවුවෙත් නෑ. ඒ අහලකවත් හිටියෙත් නැහැ. ඒ නිසා මම දිගටම බිවුවා. එයා මගෙන් තවත් දුරස් වුනා. මං කලින් කසාද බැඳපු එකෙක් නිසා අපිට පැනලා එන්න සිද්ධ වුනා. එයා ප්ලෑන් කරලා පැනලා ආවෙම දරුවෙක් හදාගෙන ගිහින් ගෙදර කට්ටියව ෂේප් කරගමු කියල හිතලා. ඒ වෙද්දි කලින් කසාදෙ මට නැතිවුනේ මට ළමයි හදන්න බැරි නිසා බව මම එයාට කිවුවෙ නැහැ. අපිට දරුවෙක් හදන්න බැරි බව තීන්දු කරන ටෙස්ට් රිපෝට්ස් ආපු දවසෙ එයා ඇඬුවා. මං කල්පනා කරා. මං සාමාන්‍යයෙන් කල්පනා කරොත් කරන්නෙ ඔය විදියෙ උත්තර නැති ප්‍රශ්නවලට. හොඳට හිතලා මතලා විකල්ප තෝරලා ගන්න ඕන තීරණ මම කල්පනා නොකර කරලා වැඩ වරද්දගන්නව. අපිට දරුවො නැත්තං.. හරිම සරළයි. අපිට දරුවො ඕන නැහැ. හදනව බල්ලෙක්.


අන්තිම ස්ටෑම්ප්ස් ඕඩර් එක මගේ අතට ආවෙ පොතක් ඇතුළෙ. ඒ පොත දැන් මගේ ගාව තියෙනව. ඒකෙ තියෙන්නෙත් බල්ලො ගැන. බල්ලො ගැන හැම දෙයක්ම. ඒත් බල්ලෙක් හැදුවොත් හිත නිදහසේ ට්‍රිප් එකක්වත් යන්න වෙන්නැති නිසා මං ඒ අදහසත් අතෑරියා. දැන් ඒ පොතෙන් වැඩකුත් නෑ. සෑට්ම්ප් එකෙන් මුළු ඇඟම නිශ්ක්‍රීය කරලා. ජේසු මරියාගෙ අත් උඩ වැටිලා හිටියා වගේ මං සෝෆාව උඩ දියවෙලා. මං කේන්තියෙන් පොත විසික් කළා. විසික් වුනේ නෑ. සමහරවිට විසික් වෙන්න ඇති. මට දුර දේවල් ලඟට පේන නිසා විසික් වුනා කියල නොතේරෙනව ඇති. අරක්කු බොන එක නැවැත්තුවෙ සති තුනක​ට කලින්. ආයෙ බොන්නෙ නෑ. බොන එක නවත්තනව කියල හිතපු දවසෙම කෝල් එකක් ආව අඩියක් ගහමුද කියල අහල. මං බොරුවක් කිවුව. පහුවදා මගේ දික්කසාද වෙච්ච කලින් ගෑනිගෙ මිනිහා කතා කළා අඩියක් ගහන්න. ඌත් ඒකිව දික්කසාද කරනවලු. දික්කසාද පෙම්බරීද මං... තමයි.


කලින් කසාදෙ ගෑනි මාව දික්කසාද කළේ මට දරුවො හදන්න බෑ කියල. ඒ කාලෙ මං අරක්කු බිවුවෙ. දැන් වගේ මයික්‍රො ඩෝපින් නෙමෙයි. මයික්‍රො ඩෝපින් මට හුරු කළේ සිලිකන්වැලීවල මාස දෙකක් රස්සාව කරල ආපු මගේ යාලුවෙක්. එහෙ ටෙක් බුවා​ලගෙ ජනප්‍රියම ඩෝපිං මෙතඩ් එක ස්ටෑම්ප් එක කෑලි විසිපහකට කපලා චුට්ට චුට්ට අහසෙ ඉන්න එකලු. මං අද දිවේ මුළු කෑල්ලම සතපවාගෙන හිටියට පුරුද්දට කරන්නෙ මයික්‍රො ඩෝපිං. කොහොමහරි මාව දික්කසාද කරන්න ඕන නිසාම කලින් ගෑනි මගේ රිපෝට්ස් බොරු කළාද කියල හිතෙන්නෙ දැන් මට ළමයි හදන්න පුළුවන් වුනාට මගේ දැන් ගෑනිට බැහැ කියලා රිපෝට්ස් ආපු නිසා. එදා වැරදුනාද? අද වැරදුනාද? දෙපාරම වැරදුනාද? ඔහොමත් බොරු රිපෝට්ස් දෙන්න හොඳයිද?


එයා අද මට ලියුමක් තියලා ගිහින්. එයාගෙ සයිකල් එක හරි දවසටම සිද්ධ වුනාට එයා ලේ එලියට අරගත්තෙ මට හොරෙන් එයාවම තුවාල කරගෙනලු. ඒක කියෙවුවම ඔලුවම කැරකෙන්න ගත්ත. ඒ මොහොත මං හිටියෙ ඩෝප් පිට නෙමෙයි. ජනෙල් කන්ඩිය උඩ ඔතල තිබ්බ ජොයින්ට් එකෙන් පෆ් එකෙන් ගහල ආයෙ මම ඒ කොලේ කියෙවුව. ඇස් බොර වෙලා කොලේ පේන්නෙ අඩුවෙන් වගේ. මට ඇඬෙනවද? එයා මාව දාලා යනවලු. කලින් ගෑනි මාව දාලා ගියේ මට දරුවො හදන්න බැරි නිසා. මෙයා මාව දාලා යන්නෙ මෙයාට ළමයි හදන්න බැරි නිසා. මොක්කු මොකාව දාලා ගියත් අන්තිම​ට මම මාව දාලා යන තැනට එයි කියල මම හිතුවෙ නෑ. ඒකයි මම කලින් දවසකත් මෙහෙමම කිවුවෙ. ටොපි දිය වෙන්න ඕන තමයි. හැබැයි ටොපි දිය වෙන්න ඕන දිවක් මත කටක් ඇතුළෙදි. එහෙම දිය නොවෙන ටොපි කාලකන්නි ටොපි. දැන් මගේ ජීවිතෙත් කාලකන්නි ටොපියක් වගේ. 


අද මම දියවෙන්නෙ ගෑනියෙක් ඇතුළෙ නෙමෙයි. මම මං ඇතුළෙම දියවෙනවා. ගෑනියෙක් ඉස්සරහ නිරුවත් නොවී මම මටම නිරුවත් වෙනවා. අදහස් වලින් නිරුවත් වීම ඩෙනිමක් ගලවනව තරං ලේසි නෑ. ඒකෙ අමුත්තක් නෑ. මගේ නිරුවත ගැන මම නොදන්න දෙයක් නෑ. කවුද තමුන්ගෙ නිරුවත ගැන නොදන්නෙ. තමුන්වම රවට්ටගන්න මිනිහෙක් පවා එක් මොහොතක පොඩ්ඩක් සැලෙනවා. මේ බොරුව කරගන්නෙ මටම නේද කියල මතක් වෙලා. කරන්න දෙයක් නෑ. හැබැයි නිරුවත් වීම දිය වීමම නෙමෙයි. දියවීම කියන්නෙ බාර වීමක් වගේ දෙයක්. ඔය සරණ යනව කියන්නෙ එහෙම දේකට. කොච්චර කිවුවත් මොන පකයද බුදුන්ගෙ සරණ ගියේ. සූර් වෙච්ච එකෙකුගේ කාලකන්නි කතා කියල උඹල අමතක කලත්, කන්න හම්බෙන නිසා, ලවු කේස් නිසා, ඉගෙනගන්න ලේසි නිසා යනව මිසක බුදුන්ගෙ සරණ ගිය උන් ඉන්නවද? ඒත් අපි කවුරුත් සරණ යනව. මම ආසම ගෑනියෙකුගෙ සරණ යන්න. හැම ගෑනිම හරියන්නෙ නෑ. එක ගැහැනියක්. ඇය දෙවඟනක් වගේ. ජීවිතයම ඈ තුළ සතපවන්න පුළුවන්.

ම​ගේ කතාවෙ පළවෙනි ඡේදෙට වගේම අන්තිම ඡේදෙටත් හැඟීම විස්තර කරවන්න පුළුවන් පින්තූරයක් නෑ. ඒක අරුමයක් නෙමෙයි. මේ කාලකන්නිකම වෙනිං කෙනෙකුට මීට කලින් අත්දකින්න නොලැබිලා ඇති. ගැහැනියක් තමුන්ගෙ පිරිමියා වෙනුවෙන් දරුවෙක් දෙන්නට බැරි නිසා තමුන්ගෙ ලිංගය තුවාල කරගන්නව. ඒ තුවාලය නිසාම දුරස් වෙන ඔවුන් දරුවෙකුටත් වඩා වටින ආදරේ දුරස් කරගන්නව. දිගින් දිගටම දකින ලෙයින් ඔද්දල් වුනු ඔලුවක් වැඩ කරන්නෙ මොනවගේද කියල හිතාගන්න බැහැ. තව ටික දවසකින් අපි ඩිවෝස් වෙනව. ඒක එයාගෙ තීරණයක්. එතකොට මාත් නිදහස් වෙනවද? තව කෙනෙක්ව හොයනවද? තාමත් ලයිටරේ මං ගාව. ඈත තිබ්බ බල්ලො ගැන පොතක් ඇතුළට ඉතුරු ස්ටෑම්ප්ස් ටික දාලා මං ලයිටරේ පත්තු කළා. කවරෙ හිටපු බල්ලගෙ ලස්සන ඇස් ගාවින් තමයි උගේ ඇඟට ගින්න ඇතුළු වුනේ. පිච්චිලා ඉවරවෙනකංම බල්ලා බිරුවෙ නැහැ. ආයෙ බොන්නෙ නෑ කියල ටෙස්ට් රිපෝට්ස් ආපු එදා එයාගෙ පරණ හෑන්ඩ්බෑග් එක​කට දාපු ඩීඩී බෝතලේ මගේ අතට ගත්ත. මුල්ම රත්තරං වතුර ඩිංග උගුර දිගේ බහිද්දිත් මං හිටියෙ සරණ යන්න හිතෙන ගෑනියෙක්ව ෆේස්බුක් එකේ හොයන ගමන්.