ඔලුව නිදහස්. ඇඟටම හති. මම මුලින් හිතාගෙන හිටියෙ එහෙම වෙන්නෙ මීටර් සීය දුවලා දිනුවට පස්සෙ කියල. හැබැයි මනුස්සයෙක්ව මරලා ඉවර වුනාමත් එහෙම හැඟීමක් දැනෙන්න පුළුවන්. මුලින්ම හිතුනෙ ඇප් එකෙන් ත්‍රීවීල් එකක් දාගෙන ගෙදර යන්න. ඒත් ඒක මෝඩ වැඩක් කියල හිතුනා. ගෙදර යන එක නෙමෙයි. ඇප් එකෙන් ත්‍රීවීල් දාගෙන යන එකයි මෝඩකම. මාව ට්‍රැක් වෙන්න පුළුවන්. ඒ හින්දා පාරෙ යන ත්‍රීවීල් එකකට අත දාලා ගෙදර ගියා. ගාළු පාරෙන් හැරෙද්දි කුමාර කඩේ පහු වුනා. මම ත්‍රීවීල් එක නවත්තල ගිහින් චොකලට් කිරි බෝතලයක් බීල ආව. ඒ ඒකෙන් ඇඟට පොඩි සිහිල් ගතියක් ඒවි කියල හිතලයි. මනුස්සයෙක්ව මැරුනට පස්සෙ එහෙම සිහිල් ගති දැනෙන්නෙ නෑ. ගේ ගාවින් බහිද්දිත් මම අතට සල්ලි අරං ඉවරයි. පුළුවන් ඉක්මනට ගේ ඇතුළට රිංගගන්න මට ඕන වුනේ. මේ වෙලාවෙ ඇඟේ තියෙන ස්ට්‍රෙස් එක යවන්න තියෙන හොඳම විදිහ තමයි කොල්ල ගේ ඇතුළෙ ඉඳන් අප්පුච්චෝ කියල කෑ ගහන එක. ඒත් ඒක ඇහුනෙ නෑ. ඌ නිදි ඇති. ගෑනි ආව දොර ඇරගෙන එළියට.
අද කලින්? ඒක ප්‍රකාශයක්. සමහරවිට ඒක ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තං ඒක විශ්මය හඟවන්නක්. කොහොමහරි මට කියාගන්න වචන ආපු නැති හින්දා මම ගෑනිව බදාගත්තා. ඇඟේ තැන තැන විසිරි විසිරි තිබ්බ අංශු ඔක්කොම එක ඇලේකට පාවෙලා යනව වගේ ගතියක් දැනුනා. මං එහෙම්මම එයාව සෝෆා එකෙන් වාඩි කරවගත්ත. මට එයාට කතාව කියනවට වඩා ඉක්මනට වචන එළියට දෝරගැලුවා. මම එයා එක්ක මෙච්චර නිදහසේ කතා කළාමද කොහෙද? මම මුලින්ම ප්‍රශ්න අහන්න එපා කියපු නිසා එයා බාධාවක් කළේම නෑ.
මට හිතාගන්න බෑ මැණිකෙ. මං දර්ශනයව මැරුවා. මං කියල ඉවර වෙනකං අහං ඉන්න. මං ඌව හම්බෙන්න ගියේ ගහනව කියල හිතාගෙන. ඒත් මාව දැක්ක ගමන් ආ.. උඹ තව පොඩි එකෙක් හදන්න ප්ලෑන ගැහුවද? කියල ඌ ඇහුවම මට ඉවසුං නැති වුනා. මං ඌව මගේ කාර් එකට එක්ක ගෙන ආව කතා කර කර. පොඩි ප්‍රශ්නයක් කතා කරන්න තියෙනව කියලයි ගෙනාවෙ. කාරෙකේ වාඩි වෙද්දිම උට ආපු කෝල් එක ඌ ගන්නකං මං වතුර ටිකක් බොන්න බෝතලේ අතට ගත්ත. ඌ කෝල් එක ආපු යාලුවට කිවුව යාලුවෙක් උගෙන් ළමයි හදන එක ගැන උපදෙසක් ගන්න ඇවිත් ඉන්න විත්තිය. ඒක ඇහුනු ගමන් කේන්තියට මම උගෙ ඔලුවට මගේ වතුර බෝතලෙන් ගැහුව. පාරෙ වාහන නෑ. මං ආයෙ දර්ශනය දිහා බැලුව. ඌ ඔලුව බදාගෙන මං දිහා බලං ඉන්නව. ඌ සොරි බං කිවුව. මං ආයිත් උට ගැහුව. උට සිහිය නැති වුනා. ඌව සීට් එක යටට දාලා දෙහිවලින් බීච් එක පැත්තට තියෙන පාරක ගියා. උගෙ නහය කාරෙකේ සර්වියට් එකෙන් හිර වෙන්න ගැටගැහුව. ඌ සද්ද නෑ. ටිකකින් ගැස්සුනා. මං ආයිත් වාහනේ නවත්තල බෝතල් පාරක් දුන්න. ඌ නිස්සද්ද වුනා. දෙහිවලින් වාහනේ දොර ඇරල දර්ශනයව එළියට දාලා මම රිවර්ස් එකක් ගහගත්ත. ඒත් මගේ හිතට මදියි. මං වාහනේ රිවර්ස් කරල උගෙ ඇඟ උඩින් ගෙනිච්ච. තාමත් පාරටම බල්ලො දෙන්නෙක් විතරයි. මං ලඟට ගිහිල්ල උඩ සාක්කුවෙ තිබ්බ පෑනෙන් උගෙ උගුරට ඇන්න. ඌ හෙල්ලුනේ නෑ. සද්ද නෑ. පෑන ඇදල අරං තව පාරක් ඇන්න. ඇනල වාහනේට නැගල වාහනේ අරං ආවා. ටිකකින් මට කණ්නාඩියෙන් පිටිපස්ස බැලුනා. ලාබ රූම් දෙන හෝටල් කෑල්ලකින් ජෝඩුවක් එළියට බැස්ස. උං දර්ශනයව දැක්කද දන්නෙ නෑ. උන් දෙන්න වෙලිල හිටියෙ.
*************************
දර්ශනයගෙයි මගෙයි කෝන්තරේ සිද්ධ වුනේ ඊයෙ රෑ. ඌයි උගෙ ගෑනියි, තව යාළුවෙකුයි උගෙ ගෑනියි අපේ ගෙදර ආවෙ ෂොට් එකක් දාන්න. දර්ශනයට කෙල්ලෙක් සෙට් කළේ මං. අවුරුදු 29ක් වෙලත් උට ගෑනියෙක් හිටියෙ නෑ. සෙට් වුනෙත් නෑ. මං තමයි නැහිලා නැහිලා එකක් සෙට් කලේ. මේ ගෝතයා ඒක මාස දෙකෙන් බැන්දා. ඉතිං මුං බැඳපු කාලෙ ඉඳන්ම මාසෙකට පාරක්වත් අපේ ගෙදර එනව. දර්ශනය හෙන ජාතිවාදියා. මට ඉතිං ඒක ගැන ගානක්වත් නෑ. හැබැයි උට මං ගැන ගානක් තිබ්බ. උගේ කටේම තිබ්බ ජාතිය බේරගන්න දරුවො හදපං කියල. මං හිනාවක් දාලා නිකං හිටියා. එදා ඌ ඒක ගැන දිගටම කිවුව. මං සාමාන්‍යයෙන් බීලා රණ්ඩු කරගන්න මිනිහෙක් නෙමෙයි. ඒත් එදා මූ සරුවත් බිබී අරක්කු බොන මට එකදිගටම දරුවෙක් හදපං ජාතිය ගොඩදාපං කියද්දි මං ගෑනිට එස්එම්එස් එකක් දැම්ම.
මට මූව මරන්න කේන්තියි කියල. මගෙ ගෑනි ඒක කියෝපු ගමන් එක පාරට මගේ දිහා හැරිල බලනව කවුරුත් දැක්කෙ නෑ. මුගෙ ගෑනිටත් තේරුනා මං ඒක ගැන අවුලෙන් ඉන්නෙ කියල. එයා මුගේ අත ඇල්ලුවාමත් මූ ඒ කතාව නැවැත්තුවෙ නෑ. මුං ගියාට පස්සෙත් මගේ හිතේ ඒ කේන්තිය ඉතුරු වෙලා තිබ්බ. ගෑනියි මායි කතා වුනා ඇයි මිනිස්සු මේ තරම් අනිත් මිනිස්සුන්ගෙ ජීවිතවලට එබිකං කරන්නෙ කියන එක ගැන. ඒත් කේන්තිය අඩුවුනේ නෑ. මං ගෑනිට කාමරේට යන්න කියල සෝෆා එකේම නිදාගත්තෙ. පහුවදා උදේට දර්ශනයගෙ කඩේට ගිහිල්ල උට පාරක් ගහල හරි මගේ හිත සැහැල්ලු කරගන්න හිතටම පොරොන්දුවක් වෙලා.
*************************
මට ඉන්නව පොඩි එකෙක්. වයස අවුරුදු තුනයි. ඌ නිසා මමයි ගෑනියි අපේ ජීවිතෙන් සැළකිය යුතු කාලයක් විඳපු ආතල් එහෙම්පිටින්ම නැති කරගෙන තියෙනව. අපේ ආසාවට දරුවෙක් හැදුව කියල උට විඳවන්න දෙන්න බැහැනෙ. හැබැයි එහෙමයි කියල ආයෙත් මේ කට්ට කන්න අපි සූදානං නෑ. ඊට වඩා වාසක්තමී සැපක්. කොල්ල ඇහැරිලා ඉන්න කාලය පැය දහයක් නං ඌ ඒකෙන් දඟ නොකර ඉන්නෙ පැය බාගෙක වගේ කාලයක්. ඒ වෙලාවට ඌ ලඟට ඇවිත් හුරතල් වෙන හැටි තරං ජීවිතේට සිහිල ගේන දෙයක් තවත් මට නෑ. ඒක විතරයි ඌව හදන එකෙන් මමයි ගෑනියි ලබන සතුට. ඌ කවද්දි කන්නෙ නෑ. තැනකට ගෙනිච්චම ඉන්නෙ නෑ. ගෙදර පිළිවෙලට තියාගන්න දෙන්නෙ නෑ. තුවාල කරගන්නව. ගෙදර බඩු කඩනවා. අපි ඌ නිසා සාමාන්‍ය දරුවෙකුට දරනවට වඩා අනන්ත වියදමක් දරල තියෙනවා. ෆිල්ම් එකක් බලල නෑ, රෙස්ටුරන්ට් එකට ගිහින් කන්න නෑ. අපි දෙන්න රස්සාවලින් අස්වෙවී මාරුවෙන් මාරුවට බලාගත්තු දරුවව ඩේ කෙයා දාන්න වගේ අදහසකුත් අපිට නෑ. අපි තරං කාවවත් ෂුවර් නැති නිසා අම්මලට බලාගන්න දෙන්නෙත් නෑ. ඒ නිසා අපිට තව දරුවෙක් ඕන නෑ.
*************************
මං දර්ශනයව උගේ කඩෙන් එළියට එක්කගෙන එන වීඩියෝ ඕනතරං සීසීටීවීවල ඇති. ඒත් තාමත් පොලිසියෙන් ආවෙ නෑ. දැන් සති දෙකක්. දර්ශනයව මරල දාද්දි හිතට ආපු නිදහස්බර හැඟීම දැන් නැති වෙලා ගිහින්. කොහොමවුනත් දැන් මං මිනීමරුවෙක්. ඒත් මේ තරං සාධාරණ හේතුවක් නිසයි මං මිනීමරුවෙක් වුනේ කියල දන්නෙ මායි ගෑනියි විතරයි. ඒක මේ පොලොවෙ උන් පිළිගන්නෙ නැතිවෙයිද දන්නෙ නෑ. තව එකෙකුගෙ ජීවිතේට එබිකං කර කර බළපෑම් කරන එක කොච්චර ලොකු වරදක්ද? ඉස්සෙල්ල ගේ ඉස්සරහින් ජීප් එකක් ගියාම ගෑනි පුටුවෙන් නැගිට්ටෙ බය වෙලා. මං පුටුවෙන් නැගිට්ටෙ සතුටෙන්. ඒ දැන් පැයකට විතර කලින්. ඒත් තාමත් පොලිසියෙන් ආවෙ නෑ. දර්ශනයගෙ ඇහැ ගාවට මගෙන් තුන් වෙනි බෝතල් පාර වදිද්දි ඇහැ ගාව තැලුනා. වැරදිලාවත් ඇහැ එළියට පැන්නනං මං ඒ ඇහැ කකුලෙන් පාගලා පොඩි කරන්න හිතාගෙන හිටියෙ. එහෙම වුනානං තමයි හිතේ කේන්තිය යන්නෙ. තාමත් පොලිසිය නෑ. මං ගිහින් භාරවෙන්න කියල හිතුවා. මේ කාලකන්නි ලෝකෙට තවත් හේතු කියල වැඩක් නෑ. මං මූව මැරුවා කියල විතරක් කියනව. තවත් හේතු කියල වැඩක් නෑ!