"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, September 16, 2018

අම්මාගේ මරණයට දුක නොසිතීමේ විලාපය

ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට අනිත් මිනිස්සු කියන කතා ටිකක් තියෙනව. හැබැයි ඒ කතා ප්‍රශ්න තියෙන වෙලාවක තමුන්ට කියද්දි අර මිනිස්සු කනකට ගන්නෙ නෑ. ඒ අතරෙ තියෙනව මිනිස්සුන්ට ප්‍රශ්න එද්දි එන්නෙ එකපිටඑක, මිනිස්සුන්ට නරක කාල වගේම හොඳ කාලත් තියෙනවා, ප්‍රශ්නවලට විසඳුම් හොයන්න කාලයට ඉඩ දෙන්න ඕන, ප්‍රශ්න නැත්තං ජීවිතයක් නෑ, සල්ලි තිබ්බනං ඕන ප්‍රශ්නයක් ඉවරයි වගේ කතා. මටත් පහුගිය ටිකේ ප්‍රශ්න ගොඩක් තිබ්බ නිසා ඔය වගේ කතා ගොන්නක් අහන්න හම්බුනා. අම්මගෙ කකුල කැපුව, පුත්තම්ම මැරැණ, වම් කකුලෙ සැළකිය යුතු අවුලක් ගියා, අම්ම මැරුණ වගේ ප්‍රශ්න ගොඩකට පස්සෙත් මං ඉස්සර වගේම අරක්කු බොනව, බත් කනව, සල්ලි හම්බකරනව, හොඳට නිදාගන්නව. ඒත් මට අවුලක් තියෙනව. මේ හැම ප්‍රශ්නෙටම වඩා ලොකු ප්‍රශ්නයක්. හැම ලොකු ප්‍රශ්නයක්ම මගේ හිත ඇතුළට යද්දි පොඩි වෙලා හිතේ හොල්මන් කර කර ඉන්නව. විසඳුමක් නෑ. ප්‍රශ්නයෙන් මට අනන්ත කරදර වුනත් මට විසඳුමක් නෑ. හැබැයි ජීවිතේ වැටිලා විඳවන්න තරං ඒ කිසිම එකකට මාව වට්ටන්න පුළුවන් වුනේ නෑ.

එනිසා මට ජීවිතේ ලොකුම දුක දැනෙන්නෙ කොයි මොහොතෙද කියල මට විශ්වාස නෑ. තමුන්ගෙ අම්ම අසනීප වුනාමත් ඇස්වලට කඳුළු ඉනුව පුත්තුන්ව මම අඳුරනව. අම්මගෙ කකුල කැපුවමත් දැන් ඊලඟට එතනින් එන ප්‍රශ්න ටිකට විසඳුමක් හොයන්නෙ කොහොමද කියල හිතුව මිසක් මට දුකක් හිතුනෙ නෑ. අම්ම මැරුනු මොහොතෙ මට දුක හිතුනු අවස්ථා තුනක් තිබුන. මගේ තාත්ත අච්චර කැපවෙලත් අම්මගෙ මුරණ්ඩුකම හින්දා අම්මා මැරුනු එකට මට තාත්තා ගැන දුක හිතුන, අම්මා නරක විදියට සළකද්දි නිහඬ වෙච්ච මගෙ ගෑනි අම්ම මැරුණම අපරාදෙ එයාට අපි එක්ක මීට වඩා සතුටෙන් ඉන්න තිබුන කියල කියද්දි මට දුක හිතුන, අන්තිමටම මගේ පුතා අත්තම්ම දොයි නේද කියල මිණී පෙට්ටිය පෙන්නල අහද්දි මට දුක හිතුන. ඒ දුකවල් තුනම අම්මගෙ මිණිය නිසා උපන්නත් ඒ කිසිම දුකක් අම්ම ගැන උපන්න දුකක් නෙමෙයි.


මට අන්තිමටම දුක හිතුනෙ මේ සටහන ලියැවෙන දවසට කලින් දවසෙ අපි ගිය නෑදෑ ගෙදරක හිටපු අපි එක්ක හොඳටම ෆිට් වෙච්ච බල්ලෙක් අපි යද්දි හිටපු මූඩ් එක දැකල. ඒක තාමත් මට අවුලක් දැනෙන තත්ත්වයක්. ගෙදරින් පිටවෙද්දි ඌව බදාගත්තම ඌ හිටියෙ පුදුම අවුලකින්. තවත් ජීවියෙක්ව දාලා යන දුක මට ලඟකදි ලොකුවටම දැනුනෙ ඒ මොහොතෙ.
අදට අම්ම මැරිල මාසයයි. මං මාසයක් බලං හිටියා කොයි මොහොතෙ හෝ මට මගෙ අම්ම නැතිවෙච්ච දුක දරාගන්න බැරි තරං ලොකු අවුලක් එක්ක හිතට දැනෙයි කියල. ඒත් ඒ දුක නොආපු නිසා මට ඉතුරු වෙනව අවුලක්. අම්මගෙ මරණෙන් මට ඉතුරු වුනේ ප්‍රශ්න ටිකක්. තාත්තව තනි නොකරන්නෙ කොහොමද? ඒකෙන් ඉතුරුවෙන ගෙදරට කරන්නෙ විකුණන එකද? රෙන්ට් කරන එකද? පළාත මාරු වීම දරුවට හොඳ විදියට බළපායිද? පො‌රගෙ මොන්ටිසෝරි මාරුව සිද්ධ කරන්නෙ කොහොමද? ඒත් තාම හිතේ අන්තිම කොනට වෙනකං මට ආදරේ කරපු ගෑනි වෙච්චි අම්ම මැරිච්ච එක ගැන මට දුකක් හිතුනෙ නෑ. මං කොච්චර කැරියෙක්ද කියන එකට එහා ගිය ප්‍රශ්නයක්, ඒක නිසා මගේ හිතේ ඉතුරු වෙලා තියෙනව. ලියන රස්සාවෙන් සල්ලි හොයන මට මෙහෙම අවුල් ටිකක් ඔලුව ඇතුළෙ කැරකෙන එකත් තව ප්‍රශ්නයක්.

ඒ නිසා ඒ ඔක්කොම අතෑරල දාලා මම මේ මොහොතෙ හිතන්නෙ මට කවදා ලොකු දුකක් දැනෙයිද කියල. මට කියල ඉතුරු මගේ ගෑනියි, තාත්තයි, පුතයි, යාලුවොයි විතරයි. එවුන්ගෙන් පුතා මැරෙන එක ගැන හිතන්නවත් මම කැමති නෑ. මගේ තාත්තා තාම මැරෙන්න තරමට වයස නෑ. අනික පොර ජොගින් පාරකුත් දාලා, අඩියකුත් ගහලා ඉන්න මැද මාවතේ ඩයල් එකක්. ඒත් මගේ හිත කියනව මම ලොකුවටම දුක් වෙන්නෙ මගේ ගෑනි මලොත් කියල. තාම මගෙ හිතේ තියෙන මට ගෑනිට කියාගන්න බැරිවෙච්ච දේවල්, කවදාවත් නොකියන්න හිටපු දේවල්, වැරදි තේරුම් ගැනීම්, අනවශ්‍ය ප්‍රතිචාර වගේ අවුල් ටිකක් ගෑනි මැරිච්ච ගමන් ෆ්‍රීස් වෙනවා. අන්න ඒ ෆ්‍රීස් වීම නිසා මගේ ගෑනි මලොත් ඒක මට ලොකුම දුක වේවි. මොකද කවදාවත් කියාගන්න බැරි වෙන දේවල්, නොකියන දේවල්, වැරදි වටහාගැනීම්, අනවශ්‍ය ප්‍රතිචාර වගේ අවුල් ඔක්කොම එකපොදියට වෙනිං කෙනෙක් එක්ක නොබැඳේවි. එතකොට මගේ අවුල තියෙන්නෙ එතන. ඇරියස් පුරවාගැනීමේ අවුල! එතකොට අම්මගෙ මරණෙන් මට දුක නැත්තෙ ඒකද? එයාගෙයි මගෙයි අතරෙ තිබ්බ හැම ඇරියස් එකක්ම මම විසඳගත්තු නිසාද? අපරාදෙ, පොඩ්ඩක් හරි දුක හිතෙන්න අපි අතරෙ එක ඇරියස් එකක්වත් තිබුනනං ‌නේද හොඳ?