"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, February 27, 2012

පා පුවරුවක හිඳගෙන ගියෙමි



පා පුවරුවක ගමන් කරන එක ජීවිතේ ඇතුළෙදි සාමාන්‍යය දෙයක් වෙලා. ඒ ජීවිතේ ගැට්ට වෙන්න පුලුවන්. මම මැරෙන්න බය මිනිහෙක් වුනත්, ෆුට් බෝඩ් එකේ බය මට තවමත් දැනිලා නැහැ. මිනිස්සුන්ව වේගෙන් පහුවෙන හැටි, ඒ පහුවෙන මනුස්සයෝ කණ්ඩායම් ඇතුළේ ඉන්න ගෑනුන්ව බලන්න මගේ බෙල්ල බස් එකේ වේගෙට ප්‍රතිලෝමව සමානුපාතිකව ආපස්සට ගිය වේගේ.. උන්ගේ මූන බලලා මගේ මූනේ හිනාවක් ඇඳිච්ච හැටි. ඒ හිනාව උන්ට පෙනුනේ නැතුව ඇති කියලා හිතලා මට දුක හිතිච්ච හැටි. ඒක හරිම සංතෝස දෝමනස්සයක්.. මම කාලෙන් කාලෙට ගෑනු එක්ක කරන ගණුදෙණුවේ පොදු අරමුණ වෙනස් වෙද්දී, ඒත් සමගම පෙර ගණුදෙණු ගැන හිතට එන වරදකාරී හැඟීමේ අවසන් ඵලය වුනේ කවියක් දෙකක් විතරයි. මම ගෑනු දැනගෙන ඉඳලා තියෙනවා. මම ගෑනුන්ට ආදරය කරලා තියෙනවා, මම ගෑනුන්ට බොරු කරලා තියෙනවා. මම ගෑනු එක්ක ඉඳලා තියෙනවා. මම ගෑනුන්ට ආසා කරලා තියෙනවා. මම තවමත් ගෑනුන්ට ආසා කරනවා. මම ගෑනු ගැන හොයන තවත් එක් මිනිහෙක්.

මට ගමනක් යන්න වුනා සෙනග පිරිච්ච බස් එහෙක. මට ගමන ගිහින් එන්න වුනා සෙනග අඩු බස් එහෙක. මට වාඩිවෙන්න සීට් බස් එකේ ඕනතරම් තිබුනත් මම මගේ නිදහස උපරිමයෙන් රකින ෆුට් බෝඩ් එකට ගියා. මම ෆුට් බෝඩ් එකේ වාඩි වුනා. මගේ බෑග් එකේ කොල තිබුනා. කොල තියාගන්න පොතක් තිබුනා. කොල වල ලියන්න පෑනක් තිබුනා. රෑ දහයාමාරට මට ලියන්න එලිය දෙන්න ෆුට් බෝඩ් එකේ හයි කරපු කහ පාට ලයිට් එකක් තිබුනා. මම ලියන්න ගත්තා. ද ෆුට් බෝඩ් කතාව.


මට ලාවට ඇහෙන හීන් හිනා සද්ද එක්ක මම හිතුවේ ඒ පෙම්මුල්ලේ කෙල්ලෙක් කොල්ලෙක්ගේ පපු තුරුල්ලේ හුරතල් වෙන හැටි කියලයි. ඒත් මම වැරදියි. අවුරුදු අටක විතර පුංචි කෙල්ලෙක් තමන්ගේ අම්මා එක්ක හුරතල් වෙනවා. අම්ම කතා කලේ නැහැ. තමුන්ගේ දුවව දකුණු පැත්තෙන් පපුවට තුරුළු කරගෙන අම්මා දකුණතේ මහපටැඟිල්ලෙන් පොඩි එකීගේ හිස අතගාමින් සිටියා. පොඩි එකී හුරතල් වෙවී මිමිණුවේ අම්මගේ ඇඟිලි එක්කද? ඇඟිලි තුඩු අග අම්මගේ මුළු ආදරේම පිරිලා තිබුනද? අම්මෙක් තමන්ගේ දරුවව හුරතල් කරන තැන, භෞතික වුනත් අභෞතික වුනත් ඒ තැන තමයි මිනිහෙක්ව පාලනය කළ හැකි තැන. ඒ පාලනය ඕනම පැත්තකට හැරවෙන්න පුලුවන් නේද?

"දරුවනං දෙන දෙයක් කනවා.. හස්බන්ඩ් එක්කනේ බැරි.." ගැහැනියක් මිනිසෙකුගේ අතෙහි වෙලෙමින් කීවාය. ඔහු එයට සිනාසුනා පමණි. සටනකින් දිනූ සෙන්පතියෙකුගේ රුවක් ඔහු වෙතින් දිස් විය. ඇය ඔහුගේ උරය සපමින් උන්නාය. ඔහු දකුණත ඇයගේ අස්සක ඔබාගෙනය. ප්‍රශ්නය ගොඩනැගෙන්නේ හිමිකාරීත්වය තුළය. ඔබ මග දිගට දකින වස්තර හැඳි ගැහැනු දෙනෙතින් නිරුවත් කරමින් යද්දී, ඔබගේ බිරිඳට ඒ හිමි තැන නැතිද? අසම්බන්ධිත පර ජීවියෙකු හා ගැටීම තුළ පිළුනු වන්නේ ගැහැනිය පමණද? මා ඔවුන්ට ඇහුම්කන් නොදී ඔවුන් අතර හුවමාරු වන අදහස සිතුවෙමි. ඇය බොහෝ විට ඔහු මොහොතකට ආකර්ෂණීය වූ නිසා ඔහු වෙත පැමිණෙන්නට ඇත. මේ වන විට එය තවත් එක් පුස්සක් බව වැටහී අතැර යා නොහැකිව සිටිනවා විය හැක. ගැහැණියගේ සුන්දරත්වය සහ වදකාරීබව තුළ ඔබට සැරිසරන්නට වන්නේ එවිටය. ඇය ඇයගේ ඇරියස් එක විදහා දක්වන ආකාර ඔබට හඳුනාගත නොහැකි වූවා විය හැක. විටෙක එය සපා කෑමකින් එහා ගිය පහර දීමක් වූවා විය හැක. උක්ත මිනිසා සහ ගැහැනිය බසයෙන් බැස ගොස් ඇත.

කොලු රංචුවක් බසයේ විය. රංචුවේ හතරකි. පෙම්වතුන් යුවලක් බසයට නැගි අතර පෙම්වතාගේ කරේ ගැහැනු බෑගයකි. පෙම්වතිය අත ප්‍රසිද්ද ඇඳුම් කඩයක බෑගයකි. පෙම්වතුන් පහු වනතුරු සිටි කොලු රංචුව ඒ සම්බන්ධයෙන් සිනහ වූයේ, පෙම්වතාට නාට්ටාමි යැයි කියමින්ය. අතිශය සුන්දර වන රමණීය සති අන්තයක් වෙනුවෙන් පොදුවේ පිරිමියා මෙන්ම ගැහැනියද කැමතිය. පිරිමියාට එය කියන පමා මෙන්ම ගැහැනියටද එසේමය. නමුත් ගැහැනිය තුළ වන පෙම්වතියට එය කොතරම් කැමති වුවත් අදිමදි කිරීමට කාරණාවකි. ඒ වෙනුවෙන් ඇඳුම් කිහිපයක්, රැජිනකට දිය යුතු ගෞරවාන්විත බවක්, ඉංග්‍රීසි කෑම වේලක් වැය කළ යුතුව ඇත. එය මුල් දෙතුන්වර පමණක් සිදුවුවත්, ඒ වැයකිරීම ඔබට මෙන්ම ඇයටද නිෂ්ඵල නොවනු ඇත. සිනාවූ වුන් බොහෝවිට ගැහැනියක සමග නිදිවැද නැතිවා විය හැක. නැතහොත් සිදුවූ නිදිවැදීම ඔවුන්ගේ නුවුවමනාවට වූවා විය හැක. ගැහැනියකගේ ඉඟටිය ඇල්ලීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඔබගේ ඉදිරි පියවර කුමක්ද?




ගැහැනු පිරුනු බස් නැවතුමකින් මම බැසීමි.


Sunday, February 12, 2012

සොමිය




පොරොන්දු ගොඩ ඇති මහ උත්තමයෙකි
පසෙකින් සොමි දෙන විපක්ෂ නයුවෙකි
ගල පිට උඩ ඇති මහා වරායකි
හයිවේ සොමියට තරලය පිටවෙති

දැයට කරුවලකි.. හැම්බොට එළියකි..
ජෙනා ඇතුලෙ ඇති.. කරුණ ඇවිද යති..
ජැක්සන් පිණැති.. ගුණ ගී වයති..
කිරිත් වතුර වෙති.. හංසයෝ පල් වෙති..

හිරුණි ආවොතින් අපි ගොඩ ගියා වෙතී
ප්‍රේමචන්ද්‍ර ටැටුවට අත හැඩට ඇතී
කරූට උඩින් පබා ආපු රටක නිතී
කොටට හැඳි කතට තත්වය නැටි වනතී

පෙට්‍රල් නං මොකද, හයිවේ සොමිය මදෑ
හොරකං අපිට මොක, රටටම සෙතක් වෙතෑ
ජෙනරල් ඇතුලෙ හිටියට, අනේ අපිට මොකෑ
රටක් කලම්බන මෙහෙයට දිණුම දෙතෑ