"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, March 20, 2023

ඔයත් එනවද යන්න?

එයයි මායි පාරට බැස්සෙ එකට. එයාගෙ මූනෙ තිබ්බ හිනාවක්. මගේ මූනෙ තිබ්බෙ බලාපොරොත්තුවක්. අපි මග දිගට එනකං කතා කළේ එක දෙයක් ගැන. ඒ අපි දෙන්නම හොරෙන් හිනාවෙන තනි මිනිහෙක් ගැන. එයත් හිනා වුණා මං කියපු ඒවට. මාත් එයාගෙ උත්තරවලට හිනා වුණා බලාපොරොත්තුව දල්වාගන්න ඕන නිසා. අපි දෙන්නා ආවා බස් හෝල්ට් එකට. මං එතනින් නැවතුනු එකට එයාට පුදුමයි. එයා හිතුවෙ මං එයාව බස් හෝල්ට් එකට දාලා යන්න ආවා කියලා. මට පුළුවන්නං මං එයා එක්ක එයාගෙ ජීවිතේ යන තරං දුරක් යන්න බලාගෙන ඉන්නෙ. එහෙව් මම බස් හෝල්ට් එකක් ගාවින් හැරිලා එන්නෙ නෑ. 

මෙතනට එනවද හිස් බස්?

ඔව්...

ඩබල් සීට් හිස් තියෙයිද?

ඒ ඇයි?

මාත් යන්න හිතුවා.

ඔයා?

ඔව් ඇයි එපාද?

එහෙම යන්න ඔයාට කමක් නැද්ද?

කමක් නෑ.

එහෙමනං එන්න.

එයයි මායි ඒ දෙබසෙන් පස්සෙ ටික වෙලාවක් හිටියෙ දෙබසක් නැතුව. වෙලාවට බස් එකක් ආවා. අපි බස් එකට නැග්ගා. සෙනග නෑ. මං ඉස්සරහට යන්න හැදුවා. එයා අතින් මට පිටිපස්සෙ මුල්ලෙ සීට් එක පෙන්නුවා.

ඇයි මෙතන වාඩි වුණේ?

නිකං

නිකං වෙන්න බෑ

නෑ ඉතිං කාටවත් පේන්නෑනෙ

අපි අනිත් අය දැක්කම අවුල් දෙයක් කරන්නෑ නේද?

(එයාට ගියා හිනාවක්) නෑ මගෙ හිතට බයයි

එහෙමනං කමක් නෑ.

ඒකනං කිවුවෙ හොඳකින් නෙමෙයි.

නෑ ඉතිං...

නෑ ඉතිං මොකද්ද?

මෙතන වාඩි වෙන්නෙ ලව් කරන කපල්නෙ

ඉතිං?

ඉතිං අපි ලව් කරන්නෑනෙ.

එහෙමද?

මං කියන්නෙ මං ලව් කරාට ඔයා ලව් කරන්නෑනෙ.

මාත් කරන්නං....

එතනින් පස්සෙත් ආයෙ ගෙවුණෙ දෙබස් රහිත කාලයක්. ටික වෙලාවකින් මං ආසා විදියෙ දෙයක් වුණා. එයා දාගත්තා එයාගෙ අත මගෙ අත වටේට. අල්ලගත්තා මගේ ඇඟිලිවලින්. මගෙ හිතට දැණුන සතුට කියාගන්න විදියක් මට දැණුනෙ නෑ. මං බලං හිටියා එයා දිහා. එයාගෙ ග්‍රහණයේ නොතිබ්බ මගේ නිදහස් අතින් මං එයාගෙ කොණ්ඩෙ මූනෙන් අයින් කරලා ඒ ඔළුව මගෙ උරහිසට තියාගත්තා. එයා ලොකු හුස්මක් හෙළුවා. එයා බයෙන් ඇත්තෙ එයාගෙ මනුස්සයා දකියි කියලා. මාත් බයෙන් හිටියේ මගේ ගෑනි දකියි කියලා. හැබැයි ආදරෙන් ඒ බය වැහිලා ගිහින් වගේ. මගෙ මුළු හිත ම එයාගෙ. එයාගෙ ඇඟ ගැහෙනවා කියලා අතට තද වෙලා තිබ්බ පියයුරක උණුහුමට යටින් මට තේරුණා. මං ඒ අත තද කරගත්තා.

අපි කතා කළා අපි ඉස්සරහට මුණගැහෙන විදිය ගැන. අනිත් අයට සැක නොහිතෙන්න ඉන්න විදිය ගැන. අපේ ආදරණීයයන්ට අහු නොවෙන්න මෙසේජ් කරන විදිය ගැන. කොටිම්ම වෙන්න පුළුවන් නරකම දේ හිතලා, ඒ නරකම දේ හොඳම විදියට විසඳගන්න පුළුවන් විදියත් අපි හිතුවා. මගෙ පපුව පිච්චිලා යනවා ඒ මූනෙ හිනාව දැක්කම. ඒ අතරතුරදිත් එයාට ආවා කෝල් එයාව අයිති අයගෙන්. මටත් ආවා කෝල් මට අයිති අයගෙන්. ඒ හැම වෙලාවකම අපි හුස්මක්වත් නොගෙන වගේ නිහඬව හිටියා, මුළු බස් එකම සහරා ෆ්ලෑෂ් දෙදරවද්දිත්. 

මට මේක තේරෙන්නෑ

මොකද්ද?

ඇයි ඔයා මට ආදරේ වෙලත් ඒ ගැන නොකිවුවෙ?

මම දැනුයි දන්නෙ මම ඔයාට ආදරෙයි කියලා

මෙච්චරකල්?

මෙච්චරකල් අපි හිනා වෙලා කතා කළේ අරූ ගැනනෙ...

මගදි එයා මගේ මූන දිහා බැලුවා. අපි පහු කරමින් හිටියෙ බොරලැස්ගමුව. තව ටික දුරයි අපි වෙන්වෙන්න. ඒ ඇස් කිවුවෙ මං තව මදියි කියලා. මටත් තව හිතුනෙ එයා තව මදියි කියලා. බඩගිනියි වගේ නේද කියලා හිත් රවට්ටගෙන අපි බොරලැස්ගමුවෙන් බස් එකෙන් බැහැලා කඩයකට වැදුනා. තරමක් සෙනග පිරුණු අවන්හලක්. අපි කෑවා තනි පිඟානකින්. ගොඩක් වෙලා. හෙමින් හෙමින්. අතරින් පතර ඒ කකුලක් මගෙ කකුල දිගේ උඩට ගියා. එයා මට කවද්දි මගේ නිදහස් අතත් දඟ කළා කියල මට මතකයි. එයා කිවුවා එයා ගැන බර කතාවක්. මාත් කිවුවා මං ගැන ඊට නොදෙවෙනි කතාවක්. ඒ ඇස් අග කඳුළකුත් තිබුණා මතකයි. ආදරේ සතුට හිතේ තිබ්බ. කවුරුවත් දකියි කියන බය හිතේ තිබ්බා. අපිට අපි ගැන උපන්න දුකක් හිතේ තිබ්බා. සතුටයි බයයි දුකයි අතරමං වෙලා හිටියෙ ඊළඟට මොනවගේ හැඟීමක් අපිට දැනෙයිද කියල. අපි එතනින් නැගිට්ටා.

*************************************

එයාව ගෙදර ගාවින් දාලා මම ත්‍රීවීල් එකකට නැග්ගා. මග දිගට එයා මෙසේජ් එවුවා. ගෙදර ගියාම මෙසේජ් කරන්න බැරි බව මම එයාට කිවුවා. හෙට අපි මොකද කරන්නෙ කියලා එයා ඇහුවා. ගෙදර තත්ත්වෙ බලලා ඒකට උත්තරයක් කියන්නං කියලා මම කිවුවා. රෑට හොරෙන්වත් කතා කරන්න විදියක් නැද්ද කියලා එයා ඇහුවා. මොනවහරි ගේමක් ගහලා කෝල් එකක් ගන්නං එතකං ඇහැරිලා ඉන්න කියලා මම කිවුවා. මේ සිද්ධ වෙන්නෙ කාලෙකට කලින් තව කෙනෙක් එකක් ගිය දෙබසක්ම නේද කියලා මගේ හිත කිවුවා. ඒ හුරුපුරුද්ද හිතේ තියාගෙන මම මෙයාට උත්තර යැවුවා. එයත් ඒවට උත්තර එවුවා. උත්තර යවලා උත්තර ගන්න ප්‍රශ්න නැති ලෝකෙක ඉන්න අපේ හිත්වල, ඇයි බයයි දුකයි වගේ හැඟීම් තියෙන්නෙ කියලා හිත මගෙන් ඇහුවා. මට ඒක ගැන හිතට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ. මං සාමාන්‍යයෙන් බොරුවක් හෝ උත්තරයක් විදියට කියන මිනිහෙක්.

මේ විදියට අපිට උත්තර විතරක් හුවමාරු කරගන්න තිබුණු දවස් කීපයක්ම පහු වුණා. ඒ ඇඟේ නිරුවත හරිම ලස්සනයි. එයාගෙ මූනත් ඒ වගෙයි. ඒකත් ඒ ඇඟ තරමටම හරිම ලස්සනයි. ඒ හිතේ නිරුවතත් හරිම ලස්සනයි. එයා ඒක මා ඉස්සරහා ලිහලා දාපු වෙලාවෙ මං ආසාවෙන් ඒ හිතේ නිරුවත වින්දා. යහනක මුනිං අතට බලාගෙන නිසොල්මනේ ඉන්න සමහර වෙලාවට මට දැනෙනවා එයාගෙ අත දඟ කරන හැටි. ඊටපස්සෙ අපිට නිසොල්මනේ ඉන්න බැරි වෙනවා. ලොකු සුසුමකට පස්සෙ එයා නිසොල්මනේ ඉන්න වෙලාවක මගේ අතත් මටත් හොරා දඟ කරනවා ඒ ලස්සන පියයුරක් එක්ක. ඒක මගේ අතට හරි හීලෑයි. ඒ හීලෑ ගතිය දැනුනෙ කාලෙකින්. මේ විදියට උදේට ටිකක් පරක්කු වෙලා ඔෆිස් ගියා. ඒ පොඩි පරක්කුව ෂෝට් ලීව් වුණා. ෂෝට් ලීව් හාෆ් ඩේ වුණා. හාෆ් ඩේ ෆුල් ඩේ වුණා. අන්තිමට ඇනුවල් ලීව් ගන්න තැනටම වැඩේ දුර දිග ගිහින් තිබ්බ කාලෙක, අපි කතා කරන්න පටන් ගත්තා ප්‍රශ්න ගැන. මෙච්චර කල් උත්තර විතරක් ෂෙයා කරගත්ත මිනිස්සුන්ට ප්‍රශ්න ෂෙයා කරගන්න එක අලුත් එක්ස්පීරියන්ස් එකක්. එයාගෙ සමහර ප්‍රශ්නවලට මම දීපු උත්තරවලට එයා හිනා වුණා. මං ඒ හිනාවට ආසා නිසාම වැඩි වැඩියෙන් ඒ විදියෙ උත්තර දුන්නා.

*************************************

අපි තාමත් අපේ ජීවිතේ වැඩිපුරම හිනාවෙන දෙයක් ගැන තමයි මම මේ කතාව පටන් ගද්දිම කිවුවෙ. අපි දෙන්නා වැඩිපුරම ළං වුණෙත් ඌ නිසා. තාමත් කතා කරන්නෙ ඌ ගැන. ඒ තරමට උගෙ ජීවිතේ හිනාවෙන්න දේවල් අපිට තිබ්බා. ඒ අපි නරක මිනිස්සු හින්දම නෙමෙයි. ඒ අපි කියන මනුස්සයා තරමක පම්පෝරිකාරයෙක් හින්දා. ඌ  වගේ පම්පෝරිකාර අවුල් දේකට වුණත්, මොනතරම් වටින හොඳ දෙයක් අපේ ජීවිතේට ගේන්න පුළුවන්ද? ඒක තමයි මම අරූ ගැන හිතන හැම පාරකදිම මට දැණුනු දේ. ඌ නොවෙන්න මේ ආදරේ මගේ ජීවිතේ නෑ. එහෙම ඉන්න දවසක තමයි ඌව ආයෙත් මට හම්බුණේ.

ඌ දැන් සෙට් වෙලා ඉන්නෙ සුද්දියෙක් එක්කලු. ලංකාව වටේ යනවලු. සුද්දියි ඌයි බොනවලු. බිවුවම සුද්දිට මොකුත් මතක නෑලු. වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙනවලු. දවසම සෙක්ස් කරන එකලු වෙන්නෙ. ඉඳලා හිටලා කන්දක් නගින්න යනවලු. මං අහගෙන හිටියා පුරුදු විදියට ම උගේ කතා. එක තැනකින් නොනවතින පම්පෝරි. ඒ කතන්දර අතරෙ ඌ කිවුවා මගේ කුතුහලය අවුස්සන කතාවක්. අපේ ඔෆිස් එකට අලුතෙන් ආපු කෙල්ලෙක් ගැන. ඌ කියපු විස්තර එක්ක ඒ කියන්නෙ මගේ අලුත් ආදරවන්තිය ගැන. ඌ කරන්න තියෙන ඔක්කොම කරාලු එයාට. කුතුහලය හිතේ තිබුණත් මං විස්තර අහන්න නොගියෙ, මූ සැක කරයි කියලා හිතිලාමයි.

මගේ හිතේ පිරුණු ආදරේ කියන නිම්න භූමිය නොහිතපු හැම පැත්තකින්ම දෙදරලා ගියේ අරූ කියපු කතා එක්ක මෙයා කියපු කතා මගේ හිතින් සම්බන්ධ කරගෙන. අරූ ගැන කියද්දි මෙයා හිනා වුණේ අනුකම්පාවක් හිතේ හංගාගෙන කියලා, අර දෙදරාගෙන ගිය පොළොව යටින් උඩට ආපු ඉරිසියාව කියන නාගයා මට තට්ටු කරලා කිවුවා. මං තවත් හෙව්වා මේ මට නොකියූ සම්බන්ධය ගැන සැක හිතන්න, ඒ සැකයෙන් දුක හිතන්න, ඒ දුකෙන් තරහ හිතන්න දේවල්. මොකුත්ම ඇහුවෙ නෑ මම කාගෙන්වත්. එයාත් මෙයාත් කියූ කතා ගලපමින් මම කාමරේ හිස් බිත්තියක් දිහා බලාගෙන බිවුවා. කසාද ගෑනි අහනවා මගෙන් බීලා ඉවරයි නං ඇඳට එන්නෙ නැත්තෙ ඇයි? කියලා. ඒ අස්සෙ මේ ඔක්කොටම හේතුව වුණු එයා ම අහනවා මගෙන් ඉස්සර වගේ දැන් වල්පල් කතා කරන්නෙ නැත්තෙ ඇයි? කියලා. බොස් අහනවා මගෙන් උඹේ වැඩ පරක්කු ඇයි? කියලා. යාළුවො අහනවා මගෙන් ෂොට් දෙකක් දාද්දි සික් එක ගහලා වගේ පැත්තක් බලාගෙන ඉන්නෙ ඇයි? කියලා. මම ඒ හැම වෙලාවකම කල්පනා කළා අරුන් දෙන්නා ගැන.

මුළු ජීවිතේම එපා වගේ දැනුනෙ නොහිතපු තරමේ ඉක්මනකින්. ඒ අතරෙ තමයි මගේ කසාද ගෑනි මගෙන් ඇවිත් සමාව ඉල්ලුවෙ. මං එයාගෙන් ඇහුවා ඇයි මගෙන් සමාව ඉල්ලන්නෙ කියල. එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තලු. ඒකට එයාට සමාව දෙන්නලු. මං සමාව දීලා එයාට යන්නත් දුන්නා. එයා ගියා. මගෙ කසාද ගෑනි පිට මිනිහෙක් එක්ක ගිය එකට වඩා දුකක්, මං ආසාවෙන් ඉන්න මගේ හොර ගෑනි කලින් මිනිහෙක් එක්ක හිටපු නිසා මගේ හිතට දැනෙන්නෙ ඇයි? මං ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න හිතුවා.

සමහරවිට ඒ අපි දෙන්නා වැඩිපුරම ලං වුණේ අරූ නිසා වෙන්නැති. මුළ ඉඳම්ම මේ කියන්නෙ කවුරු ගැනද කියලා දැන දැනත් එයා මට නොකියා හිටපු එකට මගේ හිතට දුක ඇති. අන්තිමට මේ ඔක්කොම මම දැනගත්තේ අපේ ආදරේ එකිනෙකාට ප්‍රත්‍යක්ෂ වුණාට පස්සෙ වෙන්නැති. මිනිස්සු කියන වචනවලින් නෙමෙයි අපි රිද්දගන්න ඕන. මිනිස්සු අපිට ඒ වචන කියන්න හේතු වුණු එයාලගේ හැඟීම නිසායි අපි රිද්දගන්න ඕන. එහෙමනං මුලින්ම අපිට ඒ හැඟීම තේරෙන්න ඕන. දරුවෙකුත් හිටියෙ නැති නිසා අපිට දික්කසාදය ඉක්මනින් ගන්න පුළුවන් වුණා. කසාද ගෑනිත් නැති මට, දැන් හොර ගෑනියෙකුත් ඕන නෑ කියලා හිතුනා. ඒ නිසාම මේ අවුල එයාට කියලම විසඳගන්න හිතුව ම​ම.

*************************************

අරූ මට කිවුව ඔයත් එක්ක උගේ සම්බන්ධයක් තිබ්බලු කාලයක්

ඉතිං?

ඇයි ඔයා අපි මෙච්චර ඌ ගැන කතා කරලත්, එහෙම දෙයක් ගැන කලින් මට නොකිවුවෙ?

කොච්චර කල්ද ඌ ඔයාට ඕක කියලා?

මාස දෙකක් විතර

මෙච්චර කල් හිතේ තියං හිටියද, තරහෙන් පුපුර පුපුර?

ඔව්! 

එයාගෙ මූනෙ හිනාවෙක්. හිත ගැස්සුනු බවක් පෙණුනෙ නෑ. මගේ හිතේ සැකේ වැරදිද? මං මෙච්චර කල් හිතෙන් විඳවලාද? මේ කතාවට ඌට ගහන්න විදියක් නැත්තෙ, එතකොට ඌ මේ සම්බන්ධෙ ගැන දැනගන්න නිසා. එහෙම වෙලාවක වෙන්න තියෙන නරක ම දේත් ඒක. එයා ෆෝන් එක බලනවා. මම හිතුවෙ මට හොරෙන් එයා අරූ එක්ක ගිය චැට් ටික මකනවා කියලා. එහෙම නැත්තං, එහෙම මොකුත් නෑ කියලා මට පෙන්නන්න හදනවද? එයා තරමක් ලොකු හුස්මක් හෙළුවා. මං ඒ ඇස් දිහා බැලුවා.

        මාස දෙකකට කලින් ඌ මට මෙසේජ් එකක් එවලා තිබ්බා

        මොනවා කියලද?

        එයා ඔයාගෙ හොඳ යාළුවෙක් කිවුවා. මම ඔයාගෙ පෝස්ට්වලට රියැක්ට් කරන නිසා තමයි රික්වෙස්ට් එකක්        දැම්මෙ කිවුවා.

        ඔයා මොකද කිවුවෙ?

        මම ඌව බ්ලොක් කළා.

        ඇයි මට නොකිවුවෙ?

        මං දැනගත්තා ඌ ඔයාට මෙහෙම කතාවක් හදලා කියයි කියලා. 

        ඉතිං...

        ඉතිං ඔයා ඒ කතාව මට කියනකං මං ආසාවෙන් බලං හිටියා.

        ඇයි ඒ?

        ඔයා ඉරිසියාවෙන් පිපිරෙනවා දකිද්දි මට යන්න හිතෙනව දුර ගමනක්.

        ඉතිං යන්න.

        ඔයත් එනවද යන්න?



Thursday, March 16, 2023

කවදත් නිවාස අඩස්සියේ සිටින යාත්‍රිකයාගේ කතාව

යාත්‍රිකයෙක් වීම මගේ රස්සාව නෙමෙයි. යාත්‍රිකයෙක් වීම මගේ ආසාවත් නෙමෙයි. ඒ වගේම මම කිසිම දේකට විශේෂයෙන් ආසා මිනිහෙකුත් නෙමෙයි. සමහර මිනිස්සු නිදහසට ආසයි. මට නිදහස තිබ්බත් එකයි නැතත් එකයි. සමහර මිනිස්සු සල්ලි ගොඩක් තියෙනවට ආසයි. මට ඉහ ගහල ඉන්න ගානට සල්ලි තිබ්බනං ඇති. ඔය ඔක්කොටම වඩා මං යාත්‍රිකයෙක්. ඒත් නිවාස අඩස්සියේ ඉන්න එක, මං වගේ යාත්‍රිකයෙකුට කොයි තරම් කරදරයක්ද කියලා ඔයාලා දැනටමත් හිතනවා ඇති. කවදත් නිවාස අඩස්සියේ හිටියත් මං යාත්‍රිකයෙක්. ඒක තමයි මගේ මැජික් එක. හැමෝම අහන්නෙ ඒ ගැන. කොහොමද උඹ යාත්‍රිකයෙක් වුනේ? කොහේවත් නොගිහින්.

පැණි ටිකක් ගාපු කංසා කූරක මුල් උගුරු දෙක බරට අදින මගේ යාළුවො අතරෙ, සූස්ති​ය ෂොට් දෙකෙන් දෙකට අතින් අතට පාස් කරද්දි එතන පුදුම විනයක් සංවර කමක් තිබුනා. ආසාවට මුල්ම දුම් උගුර පෙනහළුවලට පුරවගෙන මම හිර කරගත්තා. හිර කරගෙන හීන් අරක්කු උගුරු තුනක් ඇඟ ඇතුළට දාගත්තා. ඒ වෙද්දි හිර කරගත්තු දුම් කැරලි පුදුම සංයමයකින් මගේ නහයෙන් කටින් පිටවෙමින් තිබුණෙ. ඒ මම කංසා බීපු පළවෙනි සහ එකම පාර. ඉස්ටු දාපු හරක් මස් කෑල්ලක් රහ බැලුව. පදමට ගම්මිරිස් විනාකිරි රස වගේම ඒ මස් පදමත් එක්ක ඒක අරං ඇතුළට ගිය අරක්කු රස පොඩි ගැස්මක් එක්ක නහයෙන් උඩට ආවා. නාස් තුඩු අගින් ඒ ගැස්ම පිටවුනාට පස්සෙ මගේ මොළය ඇතුළ හිරි වැටෙනව වගේ දැණුන. ඒක තමයි සනීපය. මං යාත්‍රා කරන්න ගත්ත. කම්මුල් උඩ ගල් ගැහුන වගේ දැණුනා. හකු දෙකේ දත් ඇඳි තද වුනා. කට ඇතුළෙ දිව තියෙනවද කියලවත් දැණුනෙ නෑ. මං ඇස් ඇරගෙන වුනත් හිතින් නිදියගෙන හිටියෙ. මං පුටුව උඩ හිටියත් යාත්‍රා කරමින් හිටියෙ.

එදා තමයි මම තීරණය කරේ මම ආයෙ ගංජා බොන්නෙ නෑ කියල. එදා තමයි තීරණය කරේ මම ආසම බීම ඉන්ටර්නැෂනල් ඩිස්ටලරීස් ලිමිටඩ් නිපදවන ඕල්ඩ් රිසර්වු අරක්කු කියලා. එදා තමයි තීරණය කරේ මෙච්චර කල් ප්ලෑන් කළත් මම මේ මනුස්ස ජීවිත දෙක නැති කරන්නෙ නෑ කියල. ඉතුරු අයිස් කැට උඩට මම ආයෙ අරක්කු ටිකක් දාගත්ත. ආයෙ සෝඩා ටිකක් හලාගත්ත. නහයට අල්ලලා සුවඳ බලලා ආයෙ අරක්කු වීදුරුව මේසෙ උඩින් තිබ්බා. ඒ සුවඳට මගේ උරිස් ඇකිළුනා. ආයෙ ඒ වීදුරුවම අතට ගනිං කියල හිත කිවුව. මම එක පොරොන්දුවක් මගේ හිතට දුන්න. මට නැතිවෙන්න දෙයක් නෑ. එන විදියකට මුහුණ දෙනව. ඒ නිසා මං මේ ජීවිත දෙක නැති කරන්නෙ නෑ කියල හිතට පොරොන්දුවක් දුන්න. මං මගේ ඒ බළාපොරොත්තුව ශක්තිමත් කරන්න අරක්කු උගුරක් ආයෙ බිව්ව. උගුරක් බිවුවට පස්​සෙ වීදුරුවෙ ඉතුරු වුන අරක්කු ටිකත් එහෙමම බිවුව.  මට නැති වෙන්න දෙයක් නෑ. නැති වෙන්න දෙයක් නැති හිරකාරයො වගයක් ගැන දකුණු අප්‍රිකානු වේදිකා නාට්ටියක් මම යූටියුබ් එකේ බැලුව. ඒකෙ නම අසිනමාලි. අසිනමාලි ලංකාවෙදිත් වේදිකාගත වුනා. ධර්මප්‍රිය, ප්‍රියංකර, විශ්වජිත් ඒකෙ හිටිය මතකයි. තව නළුවො දෙන්නෙක් හිටිය. ඒක මීට අවුරුදු විස්සකට විතර කළින් රාජ්‍ය සම්මාන දිනුව. පූජිත තමයි නාට්ටිය කෙරුවෙ. කොට හාදය. මුහුණෙන් කිසිම භාවයක් නොපෙන්නා මනුස්සයෙක් මරන්න වුණත්
 පුළුවන් යකෙක් ඌ.

බොන උන්ට බීපං කියල මම ආයෙ ගෙදර ගියේ නින්ද යන්න කළින් අසිනමාලි තිර පිටපත පොඩ්ඩක් හරි කියවන්න හිතාගෙන. මම යද්දි දරුවා මගේ ඇඳ සම්පූර්ණයෙන් අයිති කරගෙන නිදියගෙන හිටිය. බල්ල මම සාමාන්‍යයෙන් ඇඳට ගොඩ වෙන්න කලින් කකුල් පිහදාන පාපිස්ස අයිති කරගෙන නිදියගෙන හිටියා. ඒ තමයි මම නැති කරන්න හිතා උන්නු ජීවිත දෙක. මගෙ ගෑනි මීට මාස හයකට කලින් මැරෙද්දි ලඟ ඉන්න මට පුළුවන් වුනා. මගේ අම්ම මැරෙන මොහොතෙ අම්මව අන්තිමට දැක්කෙ මම වුනත් මට අම්මා ලඟ ඉන්න පුළුවන් වුනේ නෑ. ඒත් මට මගෙ ගෑනි මැරෙන මොහොතෙ ලඟ ඉන්න පුළුවන් වුනා. විනාඩි තිහකටත් වඩා එයා කියෙවුව. එයා යන බව එයාට දැනිලා තිබුන. ඒ ලෙඩේ මං දැනගන්න මාසෙකට විතර කලින් එයා දැනගෙන තිබුන. මං ඒ මොහොතෙත් හිටියෙ බීලා. එහෙම නොවුන නං මට ඒ මොහොතට ඒ තරං සැහැල්ලුවෙන් මුහුණ දෙන්න බැරි වෙයි. දරුවා හිටියෙ මොන්ටිසෝරියෙ. ගෑනි හිටියෙ ඉස්පිරිතාලෙ. කෝල් එක එද්දි මං හිටියෙ ඉස්ටේෂමේ. දරුවව මොන්ටිසෝරියට දාලා එද්දි තමයි අමාරුවෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරල තිබුනෙ. ඒ නිසා දරුව තාම දන්නෙ නෑ. දවස් ගානක් අම්ම ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තු වග දරුවා දන්නව. හැබැයි අම්ම මැරෙයි කියල කලින් දවසෙත් හවස කැඩිච්ච ප්ලේන් එකක් උරුක් කරගෙන අම්මගෙ ඔලුවටම වෙඩි තියපු දරුව දන්නෙ නෑ. ඉතිං එදා දවල් දරුවව මොන්ටිසෝරියෙන් අරං ඇවිත් මල් ශාලාවක පෙට්ටියක ඉන්න අම්මව පෙන්නුව. දරුව ඇඬුව. දරුව දන්නව මැරෙන එකේ අවුල. දරුවයි මායි මැරෙන එක ගැන කතා කරල තියෙනව.

මට විටෙන් විට පපුව රිදෙන ගතියක් තියෙනව. ඒක තමයි මට ජීවිතේ තිබ්බ ලොකුම බය. මම කලින් මැරුනොත් දරුවට මොකද වෙන්නෙ. මං ඒ නිසා ගොඩක් සල්ලි හම්බු කරා වගේම ඒ සල්ලි ඉතුරු කරා. ඉන්ෂුවරන්ස් දැම්මා. මහ රෑ වෙනකං වැඩ කළා. වැඩ කරන්න ගැම්ම ගන්න පුළුවන් හැම වෙලේම බිවුව. හැබැයි මං හිතුවෙ නෑ මගෙ ගෑනි මැරෙයි කියල. කවුද හිතන්නෙ ‍එහෙම. මං මැරුනොත් ගෑනි තනියෙන් කන කට්ට ගැන මට මතක් වුනා. ඒ නිසා මම සල්ලි හෙවුව ඒ වෙනුවෙන්. ගෑනි වෙනිං මිනිහෙක්ව බැඳල ඒ මිනිහා දරුවට නොසැළකුවොත් ඒ වෙනුවෙන් දරුවට විතරක් ගන්න පුළුවන් වෙන්න සල්ලි මම හෙවුව ඒ වෙනුවෙන්. මම ඒ සල්ලි මට විශ්වාසවන්තම යාලුවෙක්ගෙ භාරයෙ තිබ්බ. මම දන්නව කවදාවත් මගේ දරුවට විරුද්ධ දේකට මගේ ගෑනිව නම්මගන්න කිසිම ජගතෙකුට බැහැ කියල. ඒත් මට බය හිතුනා. ඉතිං මං උන් දෙන්නා වෙනුවෙන්ම වෙන වෙනම හම්බු කරා. අන්තිමේ ගෑනි මැරිලා ගියා. මං අසිනමාලි කියව කියව බියර් බොන්න පටන් ගත්ත.

දැන් මාස හයක් තිස්සෙ දරුවයි මායි තනියෙන්. අපේ තනියට තව තිරිසනෙක් හිටිය. මම එනකං දරුවව රැක්කෙ ඒ තිරිසනා. උදේට ඇහැරිලා දවල්ටත් එක්ක උයලා දරුවව මොන්ටිසෝරි දාලා මම ඔෆිස් යනව. ගිහින් ගෙදර එද්දි දරුවා ගෙදර ඇවිත් නිදි. එන්නෙ මගේ යාලුවෙකුගෙ බිරින්දෑත් ඒ වුන්ගේ දරුවාත් එක්ක. දරුවො දෙන්නම එකම පන්තියෙ. ගෙදර ඇවිත් මගේ යාලුවගේ බිරින්දෑ බෙදලා දෙන දේ කාලා බල්ලත් එක්ක සෙල්ලං කරලා නිදියන දරුව ආයෙ ඇහැරෙන්නෙ මං හවසට ආවම. මේ කෙරුවාව මාස හයක් වැඩි අපහසුවක් නැතුව මම කළත් මට දැන් ලොකු බයක් තියෙනව. දැන් මම කළින් බය වෙච්ච පපුවෙ අමාරුව ආවොත් දරුව තනිවෙනව. බලාගන්න මගෙ ගෑනිත් නෑ. ඒනිසා මං කාලයක් තිස්සෙ ප්ලෑන් කළා දරුව‍ාගෙත් බල්ලාගෙත් ජීවිත නැති කරන්න. දෙකම ලේසි නෑ. දරුවා මගේ ජීවිතේ. ඒ නිසා ඒ මූන බලාගෙන ඒක කරන්න බෑ. බල්ලා අහිංසක එකෙක්. මරණ එක ලේසි නැහැ. තව ගැහැනුන් එක්ක සම්බන්ධතා තිබුනත් උන් මගේ දරුවව සනීපෙට බලාගනියි කියන වගකීම මගේ හිතේ තිබුනෙ නෑ. හැබැයි මේ හිතේ තියෙන ආදරෙත් එක්ක මට දරුවව මරන්න බෑ. එහෙම වුනත් මගේ ජීවිතේ අවිශ්වාසය උඩ දරුවට දුකක් දෙන්නත් බෑ.

ඒ නිසා මං මගේ ජීවිතේ අවිශ්වාසය දුරු කරන්න තීරණය කරා. මම මේ ජීවිත දෙක නසන්නෙ නෑ කියල තීරණය කරා. කවදාවත් නොකරපු ටෙස්ට් කරන්න ගියා. අරක්කු බීම නැවැත්තුවා. කෑම පාලනය කළා. ජිම් ගියා. තව සල්ලි හොයන්න විදි හෙවුව. හැමදාම උදේට මම ඉන්න බස් හෝල්ට් එකේ තියලා තියන නීති විරෝධී පාර්සලයක්, කොළඹ අටේ වීදියක හිඟන්නෙකුට ගෙනිහින් දෙනවට මට මාසෙකට රුපියල් ලක්ෂයක් ලැබුනා. එක වතාවක් හදිසි ඔත්තුවක් මත ක්‍රියාත්මක වුනු හමුදාවෙ කෙනෙක් මගෙන් ඇහුව, "ඇයි මහත්තය කෑම පාර්ලස් දෙකක්?" කියල. උදේටයි දවල්ටයි කියන උත්තරේ මාව පරීක්ෂ‍ා නොකරන්න හේතුවක් වුනා. ඒ සිද්ධියෙන් පස්සෙ මට මාසෙකට ලක්ෂ දෙකක් ගෙවන්න ගත්තා. දැන් මම නිරෝගියි. හැමදාම හවසට මම ගෙදර ආවම ඇහැරෙන දරුවා එක්ක සෙල්ලම් කරලා, රෑට කඩෙන් ගෙන්නගෙන ඉඳිආප්ප කාලා, ඉස්කෝලෙ ගෙදර වැඩ කරලා දරුවව නිදි කරවන මම දරුවාගෙ අත්වැඩ කරන්න ගන්නව. ඒටික කරල පහුවදාට උයන්න දේවල් ලෑස්ති කරලා පෙම්වතියක් ඉදිරියේ ස්මාට්ෆෝනයෙන් නිරුවත් වෙනව. ඒක තමයි මටත් පුරුෂ ලිංගයක් තියෙනව කියල හිතෙන එකම මොහොත. මුත්‍රා කරද්දිවත් මගේ ලිංගය ස්පර්ෂ වෙන හැඟීමක් මගේ මතකයට එන්නෙ නෑ. ඉස්සර දවසට තුන් වතාවක් වත් උඩ පහළ හෙලවෙන හෝ පෙම්වතියක් නැතිනම් බිරින්දෑ හෝ එක්ක යුද්ධ කරන ඒ කාලවර්ණ වස්තුව දැන් ක්‍රියාන්විතය පටන්ගන්නෙ රෑ දොළහට විතර. එක පාරක්. ඉඳලා හිටලා ඒක අන් ලඳකට අහුවෙන්නෙ මාසෙකට පාරක් විතර.

මේ විදියට තවත් මාස තුනක් විතර ගෙවුනා. එදා මගේ උපන් දිනේ. ඒ නිසා පුතාටත් මටත් බල්ලටත් එදා රෑට ඉඳි ආප්ප වෙනුවට බිරියානි ලැබුනා. බිරියානිත් අරං මං එන මගට බල්ලා ආවෙ නෑ. ඒක පුදුමයක්. බල්ලට මං එන සද්දෙ නෑහුනා වෙන්න බෑ. ඒ නැතත් මේ බිරියානි සුවඳ? පුතානම් නිදි නිසා නෑහුනත්, බල්ලා නොආපු එක මගේ හිතට අවුලක් ගෙනාවා. ගේට්ටුව ඇරගෙන ඉස්සරහට යද්දි බල්ලා ගෙදර දොර ඉස්සරහා මැරිලා හිටියා. බල්ලාගෙ කටේ ලොකු මස්කෑල්ලක් තිබුනා. ලේ පෙරෙන. බල්ලාගෙ බෙල්ලෙ විශාල කැපුමක් තිබුනා. දොර අරිද්දි දරුවා දොරෙන් එපිට මැරිලා හිටියා. දරුවාගේ බෙල්ලෙත් විශාල කැපුමක් තිබුනා. මාව එතන තිබුනු පුටුවෙ ඉන්දුනා. මං යාලුවොන්ට කතා කළා. මට මැරෙන්න තිබ්බ එකම බය අයින් වුනේ ඒ විදියට. දැන් මට බයක් නැතුව නැතිවෙන්න දෙයක් නෑ කියල කියන්න පුළුවන් නේද?

ආයෙත් මගේ පරණ පුරුදු ආහාර පිළිවෙලත්, බීමත්කමත් ජීවිතේට ආව. සල්ලි දිගටම හෙවුවත් කුඩු පාර්සල් මාරු කරන වැඩේ නවත්තලා දැම්මා. ඒ ගැන තර්ජනය කරලා එක කෝල් එකකුත් පහුවදා ගේට්ටුව ඉස්සරහ මගේ නමට මල් වඩමකුත් තියලා ගියාට පස්සෙ මම ආයෙත් ඒක පටන්ගත්ත. දැන් උදේට කුඩු පාර්සලේ අතින් අත මාරු කරලා. රස්සාව කරනව. දවල්ට තේකක් බොනව. තේකෙ ඕල්ඩ් රිසර්වු මිලි ලීටර් පනහක් තියෙනව. හවසට බොන තේකටත් ඕල්ඩ් රිසර්වු පනහක් වැටෙනවා. දවල් කෑමක් නෑ. උදේට යාලුවො ගේන දෙයක් කනව. රෑට හොඳට කනව. කාලා ගෙදර ගිහින් හොඳට බොනව. කිසිම මිතුරු හමුවකට යැවෙන්නෙ නෑ. ගියාම අරක්කු වීදුරු තුනක් වැටිච්ච ගමන් උන් මගේ දරුවා ගැන කතා කරන්න ගන්නව. මම රෑට නීට් අරක්කු වීදුරු දෙකක් විතර බොද්දි ගෑනි මගේ හීන ලෝකෙට එනව. එයයි මායි දරුවට වෙච්ච දේ ගැන කතා කරලා කම්පා වෙනව. මම දරුවා ගැන කතා කරන්න කැමති වුනේ මගේ ගෑනි එක්ක විතරයි. සමහර සති අන්තවල අන් ලඳකගෙ තනයක පහස ලබන අතරෙ උනුත් දරුවා ගැන කතා කරන්න ගන්නව. මං අමාරුවෙන් ඒ වෙලාව ඉවසගෙන ඉන්නව. තව ටික දවසක් බලල වෙනිං ගෑනු ගාවට යන එකත් නවත්තල දානව.


බස් එකේ රුපියල් විසිඅටක දුර ගියාට දවසකට මම ලොකු දුරක් යාත්‍රා කරනව. රෑට ගෙදර ආවම මම කිසිම යාත්‍රිකයෙක් නොගිය තැන්වලට යනව. දැන් තනියෙන් ඉන්න එකේ රට තොට බලන්න පලයං, ට්‍රිප් පලයං, බාලි ටුවර් එකක් පලයං, ආයෙ කසාදයක් බැඳපං, බැඳලා ළමයෙක් හදපං, බිබී නාස්ති වෙන්නෙපා, කියල සමහරු ෆේස්බුක් එකේ මට කියනව. මම විනෝදාංශයක් විදියට උන්ව බ්ලොක් කරනව. ගෑනි මට රෑට කතා කරද්දි ඕව මතක් කරල අපි දෙන්න හිනාවෙනව. ආයෙත් දරුවා මතක් වෙලා අපි දෙන්නම අඬන්න ගන්නව. ඒ ඇඬිල්ලෙන්ම නින්ද යනව. උදේට ආයෙ මං ඔෆිස් යනව. කවදාවත් හති වැටෙන්නෙත් නෑ. මේ යාත්‍රා කිරිල්ල නැවතෙන්නෙත් නෑ. දැන් දැන් සමහර වෙලාවට දරුවත් මගෙත් එක්ක ඇවිත් කතා කරනව. හැබැයි අම්මයි දරුවයි එකම වෙලාවක කතා කරන්න එන්නෙ නෑ. දැන් මට එච්චර බොන්නත් බෑ. හැබැයි පුරුදු ට්‍රිප් එක නං සෑහෙන වෙලාවක් යනව. උඹලත් පරිස්සමෙන් ඉඳපං. නොහිතන තැන්වල නොහිතන වෙලාවට මං ඉන්නව.

2019 ඉල්

මං එයාට ආදරෙයිද කොහෙද

කවුරුත් හිතං හිටියෙ මං ඒකිට ආදරෙයි කියල. ඔව් හැබැයි මං එයාට ආදරෙයිද කොහෙද. පිට ඉඳන් උකුසු ඇසින් බලං ඉන්න මිනිස්සුන්ට වරදින්න විදියක් තිබ්බෙ නෑ. ඉඳලා හිටලා මුණගැහෙන දවසට ආසාවෙන් එයා දිහා බලාගෙන හිටියා. කන්න ආසා ජාති අරගෙන දුන්නා. බොන්න ආසා ජාති ගෙනත් දුන්නා. ඒ සිනිඳු අත හෙමීට අතගාලා බැලුවා. මං වගේ ප්‍රශ්න කන්දක් කරගහං ඉන්න මිනිහෙක්ව මෙහෙම නලවන්න ගෑනියෙකුට පුළුවන් වෙයි කියලා මට හිතුණෙ නෑ. කම්මුල් පිරිලා. ඉඹිද්දි එයාගෙ ඇඟ කිතියෙන් ඇකිලෙනව. පළවෙනි පාරට තමයි මෙච්චර ලස්සන තොල් දෙකක්, බෙල්ලක් තියෙන ගෑනියෙකුගෙ කම්මුල් අත ගගා ඉඹ ඉඹ ඉන්න මට හිතුනෙ. තාලෙකට පැද්දිච්ච ඒ රතියෙ අග්ගිස්සෙදි එයා මගේ අත වට කරගෙන වැතිරිලා... සුදු කාමරේ සිවිලිමට මුහු කරපු සුසුම් දෙවැනි වුණේ, හති වැටිල්ලත් සැපක් වෙච්ච නිමේෂයක ඇස් වසාගෙන එයාගෙන් පිටවෙච්ච කෙඳිරිලිවලට විතරයි. මං එයාට ආදරෙයිද කොහෙද.

සල්ලිකාර පවුලක ගෑනියෙකුට ගෙදරකින් ලැබෙන්න ඕන වටිනම දේ තමයි නිදහස. ඒත් සිංහල චිත්‍රපටිවල අපි දැක්කෙ සල්ලිකාර පවුලෙ නීති ගොඩක් මැද්දෙ හදපු සබීතව. ඒ රැකවල් මැදින් සබීතව දිනන්න උත්සාහ කරපු, ගුටි කාපු සෂී විජේන්ද්‍රව, එහෙමත් නැත්තං විජයව. එහෙම ලෝකෙක මෙහෙම නිදහසක් තියෙන සල්ලිකාර පවුලක් කෙල්ලෙක් මම දැක්කමයි. අතරින් පතර මගෙත් එයාගෙත් අතර කතා බහ සිද්ධ වුණේ අපේ ජීවිත ගලාගෙන යන හැටි. ඒ අපි ආදරේ කරන්න කලින් කාලෙ. මගේ ජීවිතේ හැලහැප්පීම් ගැන මම කියද්දි, එයා මට කිවුවෙ එයාගෙ ජීවිතේ ආදරේ අහිමිවීම් ගැන. මං එච්චර සුදු ගෑනුන්ට ආසා නැති වුණත්, ඒ කතා හරිම අවංකයි කියලා මට හිතුණා. මට අවංකයි කියලා හිතෙන ගෑනු ළඟ මම ලිහෙන තරම වැඩියි. ඒ බව මට කිවුවෙ මගෙ ළඟම යාළුවෙක් විදියට ඉන්න ගෑනියෙක්. එයා කිවුවෙ ඒකෙන් අනුන් මගෙන් ප්‍රයෝජන ගනියි කියලා. එහෙමයි කියල මං වෙනිං ගෑනු ගාව ලිහෙන එක නැවැත්තුවෙ නෑ. ඉතිං මං මෙයාට මෙසේජ් කරා. මගේ සමහර යාළුවොත් එයාට මෙසේජ් කරලා තිබුණා. එයත් රිප්ලයි කරලා තිබුණා. හැබැයි මට ඉරිසියා හිතුණෙ නෑ. මොකද මං ඒ වෙද්දි බලාපොරොත්තු කියන දේ විශ්වාස නොකරන, හීනයක් හැබෑ වුණාම පුදුමයෙන් සතුටු වෙන මනෝ විකාරෙක ජීවත් වෙමින් හිටියෙ. ඉතිං මං නිකමට දවසක එයාගෙන් ඇහුවා කැමැත්ත. එදා තමයි මට මුලිම්ම හිතුනෙ මං එයාට ආදරෙයිද කොහෙද කියල.

ඒ කොණ්ඩෙ හරි අමුතුයි. අපේ තොල් පැටලෙද්දි ඒ කොණ්ඩෙන් ඇවිල්ල අපිව වහගන්නව. වෙන එවුන්ට නොපෙනෙන්න වගේ. මගේ එක අතක් හැම වෙලේම නැවතුනේ ඒ ලස්සන පස්සෙ දාර හොයන්න. අනිත් අත ඉනට තරමක් උඩින් මස් ගොබයක් මිරිකාගෙන තිබුණෙ. හදිස්සියකදි කාර්යාල වෙලාවෙ ඩෝපමීන් උත්තේජකයක් ඕන වුණාම අපි වහං වෙනවා මුළු අස්සෙ. ඒ වෙලාවට මං ඒ බෙල්ල දිගේ දඟ කරද්දි අර රත්තරං මාලෙ අහුවෙනවා. ඒක හරිම කරදරයි. සති අන්තයේ නිදහසේ රතියේ වෙලෙන ලෙලෙන දවසට එයා ඒක ගලවලා ගෙදර තියලා එන්නෙ. අපි කතා කරන්න ඉඩක් හදාගන්නෙ අඩුවෙන්. මොකද අපි කතා කරපු දවසට අපි දුක්වෙනවා. ඊටපස්සෙ අපිට හීනියට බොන්න හිතෙනව. අපේ හීනි බීම, ගත තිරස් වෙනකංම නවතින්නෙ නෑ. මගේ දුක වෙනුවෙන් දුක් වෙමින් තවකෙක් බොන එක, මට හරිම ආදරණීය දෙයක් විදියට දැණුනා. ඒකයි මං එයාට ආදරෙයිද කොහෙද කියල මට හිතෙන්නෙ.

හැම එකාම කියනවා සල්ලිවලට බෑ ප්‍රශ්න විසඳන්න කියලා. ඒ කතා ගොඩක් වෙලාවට කිවුවෙ සල්ලිකාරයො. එවුවත් හරියට සල්ලිවලට වඩා මනුස්සකං වටිනවා මහත්තයො කියලා කියන බ්‍රෝකර් කෙනෙකුගෙ කතා වගේ තමයි. තනි බොරුව. මට නං දැනට තියෙන ප්‍රශ්න ඔක්කොම වගේ විසඳන්න රුපියල් කෝටි 7කට විතර පුළුවන්. වැඩියි තමයි. හැබැයි පුළුවන්. ඔය කතාව මං එයා එක්ක කියපු දවසෙ එයා හිනා වුණා. මං හිතන්නෙ එයත් හිතං ඉන්නෙ සල්ලිවලට විසඳන්න බැරි ප්‍රශ්නත් තියෙනවද කොහෙද කියල. මං ඉතිං මගේ මනෝ විකාර වෙන මිනිස්සුන්ට තේරුං කරන්න යන්නෑ. විශේෂයෙන්ම මං ආදරේ කරන එවුන්ට. එහෙම හිතුනම තමයි මට දැනෙන්නෙ මං එයාට ආදරෙයිද කොහෙද කියල.

එයාගෙ මාලෙත්, ඒ පෙන්ඩන්ට් එකත් ගානක් විදියට කියවුණේ රුපියල් ලක්ෂ 11ක් විතර. මට සාමාන්‍යයෙන් රන් ආභරණ මුතු මැණික් කියන්නෙ මූල්‍යමය වටිනාකමක් තියෙන දෙයක් විතරයි. වෙන ගතියක් නෑ. ෂහ් මේක ලස්සනයි කියලා මම ගෑනුන්ට බොරුවට කියල තියෙනව. හැබැයි ඒ බොරුවට. උන්ට උන්ගෙ තෝරාගැනීම් ගැන යම් කිසි ආශ්වාදයක් දෙන්න විතරයි. එදා එයා ඒ මාලෙ ගලවලා මගෙ ගාවට ආවෙ. ඒ කියන්නෙ එදා අපි ගුහා ගත වෙන දවසක්. ඒ ගුහා ගතවීමෙන් ලබන අමාඵලය ලබලා බොහොතකට පස්සෙ මගේ අත උඩින්ම ඇඟ පැත්තට පෙරලිලා එයා මට කිවුවා කතාවක්.

"මං හිතන්නෙ මට ඔයාට කෝටි 7ක් දෙන්න පුළුවන්"

 ඒ වෙලාවෙ මං කියාගන්න දෙයක් නැතුව එයා දිහා බැලුවා. මගෙ තියෙනවා තරමක් නගරං හිනාවක්. ඒක දාලා නිකං ඉන්නවද? කෝටි 7 ගැන වැඩිදුර විස්තර අහනවද? ඒ කියපු දේ නෑහුනු ගානට ඉන්නවද? ඒ කියපු දේ විහිළුවට ගන්නවද? කියලා හිතාගන්න බැරුව මං එයා දිහාම බලං හිටියා. එයා ආයෙත් ඒ වාක්‍යයම කිවුවම මම එයාව ඉම්බා. මට ඒ වෙලාවෙනං මං එයාට ආදරෙයිද කොහෙද කියලා වැඩි වැඩියෙන් දැණුනා.  

 එදා දවසේ රතිය සතුටත් සැනසීමත් පිරුණු එකක්. වෙනදට අපේ රතිය තරමක් ශෝකය මුසු හැඟුම්බර දෙයක්. කපල් එකක් තමුන්ට එකට එක් වෙන්න තියෙන අන්තිම දවස වගේ ශෝකයක් හදේ තියාගෙන තමයි අපි වෙනදා මෛථූන්‍යක්කාරෙ ගිලුනෙ. එදා තිබුණා මේ සල්ලි නිසා සියළු ප්‍රශ්න විසඳිලා අනාගතේ එකට එක් වෙනවා කියන බළාපොරොත්තුව එක්ක අලුතෙන් යාළුවෙච්ච කපල් එකක තිබුණු සුන්දරත්වයක්. බොරු කියන්න ඕන නෑනෙ ඔළුව ඇතුළෙ හීන ටිකකුත් හැදුනා. එදා ඉඳන් අපි හිටියෙ ඊලාම් යුද්දෙ අන්තිම කාලෙ ආමි එකට සපෝට් කරපු අය හිටපු තරමෙ ත්‍රිල් එකකින්. හෙට ප්‍රබාකරන් මැරෙයිද? කියන බළාපොරොත්තුවෙන්. ඒ තමයි අදටත් මං එයාට ආදරෙයිද කොහෙද කියලා වැඩිපුරම දැණුනු කාලෙ.

අපි ප්ලෑන් කළා එයාලගෙ ගෙදරට නොදැනෙන්න කෝටි 7ක් පන්නන විදිය. ඔව් ඉතිං ඒ ගෙදර එහෙම මැච් එකක් ගහගන්න පුළුවන් තරමට වත්කමක් තිබුණු තැනක්. ජොබ් එකකට එන්නෙ ජොලියට, මාලයක් දාන්නෙ ඒක එයාගෙ ආච්චිඅම්මා මැරෙන්න කලින් තෑගි දීපු දෙයක් නිසා, නිවාඩුවට යන්නෙ ග්‍රීසියට, මම වේගෙන් වේගෙන් ගලවලා දාන්නෙ ඩිසයිනර් මේඩ් ඇඳුම්, එයා කකුලෙන් ඇදලා දාන්නෙ කස්ටම් මේඩ් සෙරෙප්පු, ඒ නිසා කෝටි 7ක් වටින දෙයක් හොයාගන්න එක ඒ ගෙදරින් අමාරු නෑ. හැබැයි බඩු හොරකං කරලා ඒක විකුණන්න තරමේ හොර හැකියාවක් මට තිබුණෙ නෑ. එනිසායි අපි දෙන්නා සල්ලි හොරකං කරන්න විදියක් ප්ලෑන් කළේ. ඒ ප්ලෑන් එක මට කිවුවෙත් එයා. මොකද මං ඒ ගෙදර බිං අඟලක් ගැනවත් දැනං හිටියෙ නෑ. කොටිම්ම ඒ හොරකම කළෙත් එයා. මං ඉතිං කළේ පිටිපස්සෙ ඉඳන් උරිස් දිගට එයාව මසාජ් කරපු එක. ඇත්තටම මට වෙලාවකට හිතුනා මං මේ මනුස්සයට ආදරේ කරන්නෙ සල්ලි නිසාද කියලා. ඒ අතරෙත් මං එයාට ආදරෙයිද කොහෙද කියලා හිතුනු වාර අනන්තයි.

එයාගෙ තියෙනව මැජික් එකක්. නවත්තන්නැතුව එයා ජීවිතේ ගැන කතා කරද්දි මට හිතෙනව මං ආදරේම ඒ කියවිල්ලට කියල. රති කාර්යයේ තියෙන ලාලිත්‍යය මට කියන්නෙම මං මේ ගෑනිට ආසම මේක නිසා කියලා. සල්ලි හොරකම ගැන කතා කරන හැම වාරෙකම මම මෙයාට ආදරේ සල්ලි නිසා විතරයි කියලා මගෙ හිත මාව වැරදිකාරයෙක් කරනවා. ඔහොම මගේ සිතුවිලි මගේ හිත ඇතුළෙම හැප්පෙද්දි දවසක එයා මට දෙනවා සල්ලි. මාව තව නොදන්න මනුස්සයෙක් එක්ක අරගෙන ගිහින් මගේ බැංකුවෙ එකවුන්ට් එකට දාලා දුන්නෙ. එයා බැංකුවෙන් එළියට එද්දි මට කිවුවා එයාගෙ හිතට හරිම නිදහසක් දැනෙනවා කියලා. මටත් ආසයි කාටහරි කෝටි 7ක් දුන්නට පස්සෙ මගේ හිතටත් නිදහසක් දැනෙයිද කියලා දැනගන්න. මං නං කීයටවත් ඒ තරං අත්හැරීම පුරුදු නොකරන බව මං දැනගෙන හිටියා. මට පොදි ගහන්න ආසාවක් තිබුණෙ නෑ. හැබැයි මං තියෙන ඩිංග අතාරින්න කැමති වුණෙ නෑ. ඊටපස්සෙ කාලයක් මම ගෙවුවේ තනියම. ඒ කාලය පුරාවටත් මට මං එයාට ආදරෙයිද කොහෙද කියලා නිතර හිතුනා. 

හැබැයි ඊට වඩා වගකීම් තිබුණා අර කෝටි 7න් ඉෂ්ට කරන්න. ආයෙත් මගේ පරණ පුරුදු ආහාර පිළිවෙලත්, බීමත්කමත් ජීවිතේට ආව. වගකීම් ඉෂ්ට කළාට පස්සෙත් ජීවිතේ ගේමක් ගහගන්න තරමට සල්ලි අතේ තිබුණා. ඒත් මම රස්සාව දිගටම කළා. රස්සාව කරනව. උදේට කළු කෝපි එකක් බොනව. දවල්ට කිරි තේකක් බොනව. තේකෙ ඕල්ඩ් රිසර්වු මිලි ලීටර් පනහක් තියෙනව. හවසට බොන තේකටත් ඕල්ඩ් රිසර්වු පනහක් වැටෙනවා. දවල් කෑමක් නෑ. උදේට යාලුවො ගේන දෙයක් කනව. රෑට ගෙදර යන ගමං හොඳට කනව. කාලා ගෙදර ගිහින් හොඳට බොනව. කිසිම මිතුරු හමුවකට යැවෙන්නෙ නෑ. ගියාම අරක්කු වීදුරු තුනක් වැටිච්ච ගමන් උන් මගේ දරුවා ගැන කතා කරන්න ගන්නව. මම කැමති වුණෙ නෑ මගෙ කසාද ජීවිතේ ගැන, මගෙ දරුවා ගැන කතා කරන්න. මම රෑට නීට් අරක්කු වීදුරු දෙකක් විතර බොද්දි ගෑනි මගේ හීන ලෝකෙට එනව. එයයි මායි දරුවට වෙච්ච දේ ගැන කතා කරලා කම්පා වෙනව. මම දරුවා ගැන කතා කරන්න කැමති වුණේ මගේ ගෑනි එක්ක විතරයි. කොටිම්ම මම ඒ කාලකන්නි කතාව ලියලා තිබ්බට උඹලට වත් පෙන්නන්නෑ. කොච්චරවත් මං එයාට ආදරෙයිද කොහෙද කියලා හිතුනත් මං එයාටවත් දිගින් දිගට මේ දේවල් කිවුවෙ නෑ.

එදා මට මගදිම ජින් චුට්ටක් බොන්න හිතුණු දවසක්. බම්බලපිටියෙ ඇට්ලැන්ටික් එකෙන් ඩ්‍රයි නූඩ්ල්ස් එකක් දාගෙන ජින් බාගයක් ගහලා එළියට බහිද්දිම තමයි උන් මාව ඉස්සුවෙ. ගැහුවා මට නොසෑහෙන්න. වාහනේ අරගෙන යද්දිත්, නොදන්න තැනකට ගෙනිච්චට පස්සෙත්. වෙන උන්ව උස්සන්නෙ කප්පං ගන්න, විස්තර දැනගන්න. මාව උස්සලා තියෙන්නෙ ගහන්නද කොහෙද? ඒ තරමට ගැහුවා. රිදුනා හොඳටම. අටෝරාසියක් වැරදි කරලා තියෙන නිසා මේ මොන වැරැද්දට ගහනවද කියන සිතුවිල්ල විතරයි මගේ හිතේ තිබුණෙ. ජින් බාගෙ සොමියත් මේ තරමට හිත පාලනය කරගන්න හේතුවක් වුණා වෙන්න පුළුවන්. ගානකට බිවුවම මට එනවා මුළු ලෝකය ගැන ම මහා ආදරයක්. ඒ ආදරය පිටින්ම මං උන් දිහා බැලුවා. උන් මගෙන් ප්‍රශ්න ඇහුවා ගොඩක්. මං ඒවට ඇත්ත කිවුවා. මොකද මට හරිම අමාරුයි. තවත් ගුටි කන්න බෑ. මුලින්ම ප්‍රශ්න ඇහුවනං මං මුලින්ම ඇත්ත කියනවා. මං දෙන උත්තර එකෙක් වීඩියෝ කළා. 

    උන් - ඇයි කෝටි 7 හොරකං කළේ?

    මං - සල්ලි ඕන වුණා මට වැඩකට.

    උන් - කෝටි 7ක්?

    මං - ඔව්.

    උන් - මොකද්ද වැඩේ?

    මං - ඒ කතාව මං කාටවත් කියන්න කැමති නෑ.

ඊටපස්සෙ මට ආයෙ ගැහුවා. මං පුළුවන් තරමක් උන්ට පැහැදිලි කරන්න හැදුවා කොච්චර ගැහුවත් මං ඒක කියන්නෙ නෑ කියලා. මං උඹලටත් කිවුවනෙ උඩදි. මං ඒක කියන්නෑ. ඒක තේරුං අරගෙනද මන්දා උන් මට ගහන එක ටිකකට නවත්තලා ආයෙ බිම ඉන්දුවා. ආයෙත් කැමරාව මගෙ මූනෙ.

උන් - ඇයි ඒ හේතුව නොකියන්නෙ?

මං - ඊටපස්සෙ මාව හිරේ දාවි.

උන් - හිරේ යන්න බය උඹද සල්ලි හොරකං කළේ?

මං - නොකර බැරි වුණා

එතනින් පස්සෙ උන් මට ගැහුවෙ නෑ. මාව අරගෙන ගියා ආයෙ වෙනිං තැනකට. එහෙ ගිහින් පැයක් විතර යද්දි උස මහත මනුස්සයෙක් ආවා. ඒ අරයගෙ තාත්තා. මට කෝටි 7ක් දන් දීලා මාව මේ කාලකන්නි හීනෙන් බේරගත්තු දෙයියා. එයා ඇහුවෙ කෝටි 7 කෝ? කියලා. ඒකට උත්තර නොදුන්නොත් ගුටි කාගෙන ඉවසන් ඉන්න තරමට ජින් ඇඟේ තිබ්බෙ නෑ. හොඳටම රිදෙනව ඇඟ. ඒ කෝටි 7 අදාළ තැන් කිහිපයකට බෙදලා, මටත් තරමක් වෙන් කරගෙන, ඒක මාස් පතා මගේ අතට පොළියක් එන විදියට ඉන්වෙස්ට් කරලා, ජීවිත ගේම ජයගෙන දවස් තුනකුත් ගියාට පස්සෙ තමයි මුං මාව ඉස්සුවෙ. කොටිම්ම මට මේ මනුස්සයගෙ දුව හම්බුණේ නෑ සතියකින්. අනේ ඒ ලස්සන තන් ආයෙ ඇත්තං කියලා හිතුණා මට ඒ වෙලාවෙත්. මං එයාට ආදරෙයිද කොහෙද කියලා හිතුන මට ඒ වෙලාවෙත්.

 


කෝටි 7 ගැන ඇත්ත කියලා බෑ. මං ජීවිතේ නිදහස ලබාගත්තෙ ඒ කෝටි 7න්. දැන් ඒක කිවුවොත් ඉතුරු ටිකක්වත් මුංට දෙන්න වෙයි කියන බය මගෙ හිතේ තිබුණා. නොකිවුවොත් ගුටි කන්න වෙනවා. එනිසා මම ඇත්ත බව හිතෙන බොරුවක් කියන්න උත්සාහ කළා. අපි දෙන්නට සාමාන්‍ය කපල් එකක් වගේ හෝටල් කාමර ගානෙ යන්න පුළුවන් වුණෙ නෑ. ඒවා තමයි සල්ලිකාර කෙල්ලෙකුට ආදරේ කරද්දි තියෙන ප්‍රශ්න. අපි ගියේ එයාගෙ කසින් කෙනෙකුගෙ වහලා දාල තිබුණු අපාට්මන්ට් එකකට. ඒ ගෙදර සෝෆා, පෑන්ට්‍රි ටොප්, ඇඳන්, බිම, බිත්ති දිගේ අපේ ආදරේ දෝරෙ ගලලා තිබුණා. දවසක් එයා මට කනට කරලා කිවුවා, මට ඔයාව හම්බුණේ නැත්තං මං ඔයාව මරලා, කෑලි කපලා, පුච්චලා, ඒ අළු ටික මේ කොණේ කබඩ් එකේ හංගලා තියනවා කියලා. මට හිනාවක් ගියා. මං කිවුවා අර මනුස්සයට එයාගෙ කෝටි 7 හංගපු තැන. දැන් ඉතිං පැය දෙක තුනකටවත් ගුටි නොකා ඉන්න පුළුවන්. ඒ වගේම එතන කබඩ් එකේ සල්ලි නෑ කියලා දැනගත්තම, අනුන්ගෙ තැනක් නිසා කවුරුහරි ගන්න ඇති කියල කියන්නත් පුළුවන්. එහෙම හිතලා අනුකම්පා කරලා මුං මාව අතෑරියොත් මට ගිහින් නිදහසේ ජීවත් වෙන්නත් පුළුවන්. මරලා දැම්මොත් මේ ජීවිතෙන්ම නිදහස් වෙන්නත් පුළුවන්. ඒත් ඒ විදි දෙකෙන්ම මට එයාව නැති වෙනවා. මට මං එයාට ආදරෙයිද කොහෙද කියලා ආයෙත් හිතුනා.

පැය දෙකක් විතර මට නින්ද යන්න ඇති. මාව ඇහැරුවා. බැමි ලිහුවා. වතුර දුන්නා. මරන්න වෙන්නැති යන්නෙ කියලා මගෙ හිත කිවුවා. කොහොමත් මං හැමදාම නරකම දේට හිත හදාගෙන ඉන්න මිනිහෙක්. මාව අරගෙන ගියා. මට ඇඳගන්න මගේම ඇඳුමක් දුන්නා. ඒ කියන්නෙ මුං මගේ ගෙටත් පැනලා. මං ඇඳුමක් දාගෙන ගියේ හැමදාම ඈතින් බලලා ගියපු ලොකු කළු ගේට්ටුවක් තියෙන එයාගෙ ගෙදරට. එයත් හිටියා. මං හිතුවා ගුටි කාලා තඩිස්සි වෙලා තිබ්බ මගෙ මූන දැක්කම එයාට දුක හිතෙයි කියලා. එයා හිටියෙ තරමක ආඩම්බරකාර හිනාවකින්. මං හිතින් වැටුනා ඒ හිනාව දැකලා. දුව කිවුවලු, එයයි මායි ආදරෙයි කියලා. දුව කිවුවලු කෝටි 7ක් හොරකං කළේ, බැඳලා ගියාට පස්සෙ එයාට මේ තිබ්බ සැප ජීවිතේ තරමක් දුරට හරි ලං කරන්න හිතාගෙන හිටපු හින්දලු. මට එයාට තරං සල්ලි නැති නිසාත්, මට දැන් ගෑනියි දරුවයි නැතත් මං කසාද බැඳපු මිනිහෙක් නිසාත්, මට දුවව බඳින්න නොදේවි කියලා අපි දෙන්නා කතා වුණාලු. ඒකලු මේක කළේ. මං ඒ බොරුව ඇත්ත කියලා පිළිගන්න ඔළුව වැනුවා. වනලා බොර වෙච්ච උගුරෙන් වතුර ටිකක් ඉල්ලුවා. එයා මට වතුර එකක් ගෙනත් දුන්නෙ නෑ. එන්න කියලා වතුර බොන්න එක්කගෙන ගියා.

එයා - අර ඔයාට දැන් කියපු ටිකට තාත්තා මගෙන් උත්තර ගත්තු දවසෙම තමයි, මම ඉතුරු කෝටි 7 ගෙනිහින් අර කබඩ් එකේ හැංගුවේ. මං හිතුවා ඔයාගෙන් තැනක් ඇහුවොත් ඔයාත් එතන ම කියයි කියලා. මොකද මට ඔයාව හම්බුණේ නැත්තං ඔයා නවතින්නෙත් ඒ කබඩ් එකේනෙ.

මම - එතකොට තව කෝටි 7ක් කොහෙන්ද ඔයාට?

එයා - කෝටි 7ක් නැති වුණාට ගානක් නැති ගෙදරකට, කෝටි 14ක් දැනෙන්නෙත් නෑ. කෝටි 7 නැති වුණා කියලා එයාලට දැනෙන්න ඇරියෙත් මම ම තමයි. ඔයාව මගෙ ළඟට ගන්න වෙන විදියක් මට දැණුනෙ නෑ. ගොඩක් ගැහුවද ඔයාට?

 

2023 මැදින්