අද කලින්? ඒක ප්‍රකාශයක්. සමහරවිට ඒක ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තං ඒක විශ්මය හඟවන්නක්. කොහොමහරි මට කියාගන්න වචන ආපු නැති හින්දා මම ගෑනිව බදාගත්තා. ඇඟේ තැන තැන විසිරි විසිරි තිබ්බ අංශු ඔක්කොම එක ඇලේකට පාවෙලා යනව වගේ ගතියක් දැනුනා. මං එහෙම්මම එයාව සෝෆා එකෙන් වාඩි කරවගත්ත. මට එයාට කතාව කියනවට වඩා ඉක්මනට වචන එළියට දෝරගැලුවා. මම එයා එක්ක මෙච්චර නිදහසේ කතා කළාමද කොහෙද? මම මුලින්ම ප්‍රශ්න අහන්න එපා කියපු නිසා එයා බාධාවක් කළේම නෑ.
මට හිතාගන්න බෑ මැණිකෙ. මං දර්ශනයව මැරුවා. මං කියල ඉවර වෙනකං අහං ඉන්න. මං ඌව හම්බෙන්න ගියේ ගහනව කියල හිතාගෙන. ඒත් මාව දැක්ක ගමන් ආ.. උඹ තව පොඩි එකෙක් හදන්න ප්ලෑන ගැහුවද? කියල ඌ ඇහුවම මට ඉවසුං නැති වුනා. මං ඌව මගේ කාර් එකට එක්ක ගෙන ආව කතා කර කර. පොඩි ප්‍රශ්නයක් කතා කරන්න තියෙනව කියලයි ගෙනාවෙ. කාරෙකේ වාඩි වෙද්දිම උට ආපු කෝල් එක ඌ ගන්නකං මං වතුර ටිකක් බොන්න බෝතලේ අතට ගත්ත. ඌ කෝල් එක ආපු යාලුවට කිවුව යාලුවෙක් උගෙන් ළමයි හදන එක ගැන උපදෙසක් ගන්න ඇවිත් ඉන්න විත්තිය. ඒක ඇහුනු ගමන් කේන්තියට මම උගෙ ඔලුවට මගේ වතුර බෝතලෙන් ගැහුව. පාරෙ වාහන නෑ. මං ආයෙ දර්ශනය දිහා බැලුව. ඌ ඔලුව බදාගෙන මං දිහා බලං ඉන්නව. ඌ සොරි බං කිවුව. මං ආයිත් උට ගැහුව. උට සිහිය නැති වුනා. ඌව සීට් එක යටට දාලා දෙහිවලින් බීච් එක පැත්තට තියෙන පාරක ගියා. උගෙ නහය කාරෙකේ සර්වියට් එකෙන් හිර වෙන්න ගැටගැහුව. ඌ සද්ද නෑ. ටිකකින් ගැස්සුනා. මං ආයිත් වාහනේ නවත්තල බෝතල් පාරක් දුන්න. ඌ නිස්සද්ද වුනා. දෙහිවලින් වාහනේ දොර ඇරල දර්ශනයව එළියට දාලා මම රිවර්ස් එකක් ගහගත්ත. ඒත් මගේ හිතට මදියි. මං වාහනේ රිවර්ස් කරල උගෙ ඇඟ උඩින් ගෙනිච්ච. තාමත් පාරටම බල්ලො දෙන්නෙක් විතරයි. මං ලඟට ගිහිල්ල උඩ සාක්කුවෙ තිබ්බ පෑනෙන් උගෙ උගුරට ඇන්න. ඌ හෙල්ලුනේ නෑ. සද්ද නෑ. පෑන ඇදල අරං තව පාරක් ඇන්න. ඇනල වාහනේට නැගල වාහනේ අරං ආවා. ටිකකින් මට කණ්නාඩියෙන් පිටිපස්ස බැලුනා. ලාබ රූම් දෙන හෝටල් කෑල්ලකින් ජෝඩුවක් එළියට බැස්ස. උං දර්ශනයව දැක්කද දන්නෙ නෑ. උන් දෙන්න වෙලිල හිටියෙ.
*************************
*************************
*************************
මං දර්ශනයව උගේ කඩෙන් එළියට එක්කගෙන එන වීඩියෝ ඕනතරං සීසීටීවීවල ඇති. ඒත් තාමත් පොලිසියෙන් ආවෙ නෑ. දැන් සති දෙකක්. දර්ශනයව මරල දාද්දි හිතට ආපු නිදහස්බර හැඟීම දැන් නැති වෙලා ගිහින්. කොහොමවුනත් දැන් මං මිනීමරුවෙක්. ඒත් මේ තරං සාධාරණ හේතුවක් නිසයි මං මිනීමරුවෙක් වුනේ කියල දන්නෙ මායි ගෑනියි විතරයි. ඒක මේ පොලොවෙ උන් පිළිගන්නෙ නැතිවෙයිද දන්නෙ නෑ. තව එකෙකුගෙ ජීවිතේට එබිකං කර කර බළපෑම් කරන එක කොච්චර ලොකු වරදක්ද? ඉස්සෙල්ල ගේ ඉස්සරහින් ජීප් එකක් ගියාම ගෑනි පුටුවෙන් නැගිට්ටෙ බය වෙලා. මං පුටුවෙන් නැගිට්ටෙ සතුටෙන්. ඒ දැන් පැයකට විතර කලින්. ඒත් තාමත් පොලිසියෙන් ආවෙ නෑ. දර්ශනයගෙ ඇහැ ගාවට මගෙන් තුන් වෙනි බෝතල් පාර වදිද්දි ඇහැ ගාව තැලුනා. වැරදිලාවත් ඇහැ එළියට පැන්නනං මං ඒ ඇහැ කකුලෙන් පාගලා පොඩි කරන්න හිතාගෙන හිටියෙ. එහෙම වුනානං තමයි හිතේ කේන්තිය යන්නෙ. තාමත් පොලිසිය නෑ. මං ගිහින් භාරවෙන්න කියල හිතුවා. මේ කාලකන්නි ලෝකෙට තවත් හේතු කියල වැඩක් නෑ. මං මූව මැරුවා කියල විතරක් කියනව. තවත් හේතු කියල වැඩක් නෑ!













