"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Saturday, October 23, 2021

එන්ඩ් ඔෆ් ද ​ඩේ

දවසෙ අන්තිමට මං මොකෙක්ද? මං නිකංම නිකං මනුස්ස සතෙක්ද? ආදරවන්තයෙක්ද? පැවිද්දෙක්ද? තාත්තෙක්ද? හිතන්න බැරි තැනක හිර වෙලා ඉන්නෙ මං. වැඩ එකින් එක පහු වෙනව. දරුවගෙ ඉස්කෝලෙ හෝම්වර්ක් ටික මම කරල නෑ. ලබන බදාදා පෝය නිවාඩු​වෙ ඔෆිස් එකේ ටීම් අවුට් එක ඕගනයිස් කරන කිසිම දෙයක් කරල නෑ. අම්මා දීපු බඩු ලැයිස්තුවෙ තියෙන කිසිම දෙයක් ගෙනල්ල නෑ. හෙට ගෑනිගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් අරගෙන නෑ. අනිද්දා උදේ චෙයාමන් එක්ක මගේ ප්‍රමෝෂන් මීටිම. මේ ඔක්කොටම දාගත්තු රිමයින්ඩර් ටික විතරක් ෆෝන් එකේ බැබලි බැබලි තියෙනවා. ඒවා එහෙමම තියෙද්දි මම ටික්ටොක් එකට ගිහින් මං ආසා ගෑනුංගෙ ඇඟ දිහා බලාගෙන ඉන්නව. ඉන්ස්ටග්‍රැම් එකෙත් ආයෙ ඒ ටිකම බලනවා. යූටියුබ් එකේ සින්දුවක් දාගෙන ඇස් වහගෙන ඉන්නවා. ටීවී සීරීස් එක නවත්තපු තැනින් ආයෙ ටිකක් බලනවා. දැන් තවත් පැය එකහමාරක් ගිහින්. අර රිමයින්ඩර්ස් ටික ඒ විදියටම තියෙනවා. ඔය වෙද්දි ලාවට නිදිමතක් ඉහට ගහගෙන එන වෙලාව. එන්ඩ් ඔෆ් ද ඩේ ඔය වැඩ ඔක්කොම ටික මම හෙට උදේට රීෂෙඩූල් කරලා මම නිදාගන්නව.

උදේ ඇහැරෙද්දි අර පරණ රිමයින්ඩර්ස් ටිකම බැබලි බැබලි තියෙනව. ඒ අතරේ මිස්ඩ් කෝල් දෙකක් තියෙනව. ප්‍රිශාන්ගෙන්. ප්‍රිශාන් කියන්නෙ ඉස්සර යාළුවෙක්. ඉස්සර හොඳම යාළුවෙක් වුණත් දැන් ලොකු ආස්සරයක් නැති යාළුකං අපි හැමෝටම තියෙනව. මං ප්‍රිෂාන්ට කෝල් කරනව. ප්‍රිෂාන් ආන්සර් කරන්නෙ නෑ. ෆෝන් එක කොට්ටෙ යටට ඔබලා මං කල්පනා කරන්න ගන්නව. දුවට ගෑනි බනින සද්දෙ ඇහෙනව සාලෙ පැත්තෙන්. අම්මයි තාත්තයි සද්දයක් නෑ. පන්සල් ගිහින් වෙන්න පුළුවන් ඉරිදා නිසා. මං හීන මවනවා එංගලන්තෙ මං ගෙවන ජීවිතේ ගැන. ඒක තමයි මං දකින්න ආසම හීනෙ. මේ වේයංගොඩට වෙලා හිටපු කාලෙ ඇති. කවදහරි මං යනව එංගලන්තෙ. ගෑනි ආසම ස්විට්සර්ලන්තෙ. එයාව එහෙ යවනව. මං එංගලන්තෙට ගිහිල්ලා ඉඩක් ලැබෙන වෙලාවට යනව ස්විට්සර්ලන්තෙ. දුව එතකොට කසාද බැඳලා. දුවගෙ පවුලම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ. වේයංගොඩ වගේ නෙමෙයි එහෙ. මට ආයෙ කෝල් එකක් එනවා. මේ කෝල් එක එන්නෙ ප්‍රිෂාන්ගෙන් කියල මං දන්නව. මං ආන්සර් කරද්දිම දකිනව ඒ කතා කරන්නෙ කවුද කියලා. ඒ ප්‍රිෂාන්ගෙ කලින් කෙල්ල. උන් දෙන්නව සෙට් කළේ මම.

මේ සුමෝ...

ඕ කියන්න.

ප්‍රිෂාන්ගෙ වයිෆ් නැතිවෙලා කියන්නෙ ඇත්තද?

හුටා... මං බලන්නං

එහෙම්මම ඒ කෝල් එක කට් වෙනවා. මට කරගන්න දෙයක් හිතාගන්න බෑ. ප්‍රිෂාන්ගෙ බිරින්දෑයි මායි හිත් නොහොඳයි. ඒ මනුස්සයා හොඳට හිටපු මිනිහව වෙනස් කරනව වගේ මට දැණුනා. කසාද ගෑනි ගැන වැරදි කියන එක හරි නැති වුණත් මං දවසක් විහිළුවෙන් වගේ ප්‍රිෂාන්ගෙ ගෑනිට ඔය කතාව කිවුව. එයාට කේන්ති ගියා ඒකට. මට බැන්නා. එයාට ඇඬුනා. ප්‍රිෂාන් ඒ කතාව සමථයකට පත් කළා. ටික කාලයක් යද්දි රස්සාවල් සහ කසාද එක්ක අපි දුරස් වුණා. අතරින් පතර බර්ත්ඩේ විෂ් වගේ දේකට ඇරෙන්න ප්‍රිෂාන් මට කෝල් කරේ උගේ ගෑනි මැරුණු බව කියන්න. මට ඒ කෝල් එක මිස් වුණා. මට දැන් ආයෙ එංගලන්තෙ හීනෙට යන්නත් හිත දෙන්නෙ නෑ. මං කොට්ටෙට ඔළුව තියාගත්තා. ආයෙ කෝල් එකක්. මේක ප්‍රිෂාන්ගෙන් වෙන්න පුළුවන්. නෑ, ඒක ආවෙ මගෙ හොඳම යාළුවගෙන්. 

ඕයි

කියපං...

උඹෙ ගෑනිගෙ ෆෝන් එක වැඩ නෑ.

ආ... ඒ මොකෝ...

විෂ් කරන්න කතා කරේ

හුටා... මං බලන්නං

මට මගෙ ගෑනිගෙ බර්ත්ඩේ එක අමතක වෙලා. තෑග්ග දෙනකොට නං ඒකි කියනව අපරාදෙ ඔයා මේ හම්බුකරන සල්ලි මෙහෙම වියදං කරන්නෙ වගේ කතා. හැබැයි ඒ ඇස් ආසාවෙන් දිලිසෙනව. ඒක තෑග්ගෙ වටිනාකමට වඩා තෑග්ගක් දෙන්න මනුස්සයට මතක තිබීමේ සතුට කියලා මට දැනෙනවා. මොකද මට කවදාවත් ඔයා වගේ දවස් අමතක වෙන්නෙ නෑ. මගේ එහෙම හොඳකමක් නෙමෙයි. මං හැම පොඩි දේකටම රිමයින්ඩර් දාගෙන ඉන්නවා. ඉතිං උපන්දින, කසාද බැඳපු දවස්, මුලින්ම මුණගැහුනු දවස්, මුලින්ම ආදරේ කියපු දවස් මට සමරන්න අමතක වෙන්නෙ නෑ. කවදාවත් නැතුව ගෑනිගෙ උපන්දිනේ දවසෙ උදේ මගෙ අතේ ගෑනිට දෙන්න තෑග්ගක් නෑ. මට රෙදි නැති ගතියක් දැණුනා. මං එහෙමම කේක් එකක් ඕඩර් කරා ඌබර් එකෙන්. දැන් මොනවහරි දහංගැටයක් ගහන්න ඕන තෑග්ගට. ගෑනි කාමරේ ගාවට ඇවිදගෙන එන සද්දෙ ඇහුණා. මං බොරුවට නිදි වගේ ඇස් පියාගත්තා. කොහොමත් කේක් එකවත් එනකං මෙහෙම ඉන්න එක තමයි නම්බුව ලාවට හරි බේරගන්න තියෙන එකම විදිය. ගෑනි ඇවිල්ල ඔළුව අතගාලා ගියා. ඒකෙන් මට අමුතු පණක් ලැබුණා.

දවස පුරා තියෙන රිමයින්ඩර් ඉවර කරගන්න ඕන කියලා හිතුණා. මං ලඟ කඩේට කෝල් කරලා අම්මා ගේන්න කියපු බඩු ටික කිවුව. ඒ ටික ගෙනල්ලම දෙයි. අම්මලා පන්සල් ගිහින් එද්දි ඒ ටික ගේන්න පුළුවන්. ඌබර් ඇප් එකේ පෙන්නන විදියට කේක් එක තියෙන්නෙ ගෙදර ලඟ. පෑනකුයි කොළේකුයි අරං රිංගුවා වොෂ්රූම් එකට. ෂවර් එක ඇරල දාලා කොමෝඩ් එක උඩ වාඩි වෙලා ලිවුව කවියක් ගෑනිට. ඌබර් එක ඇවිල්ල කෝල් කරද්දි එළියට දිවුව. ගෑනි කුස්සියෙ. උයනව. දරුවා උදව් කරනවා. උදව් කරනවා කියල වචනෙට කිවුවට ඒක තරං උයන්න පරක්කු කරවන වාතයක් තවත් නෑ. මං ගේට්ටුව අරින සද්දෙ ඇහුණු ගමං කුස්සියෙන් ආවා "ඔයා ඇහැරුණාද?" කියල මහ හඬින් සද්දයක්. මං ඒකට ඔව් කියාගෙනම ගිහින් කේක් එක ගත්තා. පෙට්ටියෙ පැත්තක ලිවුම ගැහුවා. සාලෙ මේසෙන් කේක් එක තිබ්බා. ගෑනිට කේක් එක දැක්කම සතුටුයි. මේ තියෙන්නෙ අමතක වෙලා කියලා හිතුවට අමතක වෙලා නෑ කියලා දැනගත්තු සතුට. එතකොටම ගේට්ටුවට තට්ටුවක් වැදුනා.

ඒ පාර මොකද්ද?

ඔයාම ගිහින් බලන්නකො

ඒ ඇයි මම?

ඔයා බලන්නකො ගිහිල්ල පණ්ඩිත නැතුව.

බර්ත්ඩේ ප්‍රසන්ට් එක නේද?

කියාගෙන හිනා කටින් එළියට ගිය ගෑනි ආවෙ පත බඩු මළු දෙකක් උස්සගෙන. කඩේට සල්ලි දෙන්න ඕන හවසට. මගෙ අතේ තියෙන්නෙ කාඩ් විතරයි. කඩෙන් ගන්නෙ සල්ලි විතරයි. ඉතිං ඒක දෙන්නෙ හවස. මං ෆෝන් එකෙන් නොටිෆිකේෂන් දෙකක් අයින් කළා. දොර ලොක් කරලා, යතුර තිබ්බා කුරුල්ලන්ට බත් දාන කිරි හට්ටිය යටින්. දැන් ඉතිං ප්‍රශ්න කන්දයි. කොහෙද යන්නෙ අප්පච්චි? කියල, දුවත් අහනව. කොහෙද යන්නෙ අප්පච්චි? කියල ගෑනිත් අහනව. එයාලා දෙන්නා ඉතුරු වෙච්ච කේක් ටිකත් අරං ඒක කකා යනව. මං සද්ද වහලා වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. වයිෆ්ව මම පන්නගෙන ඇවිත් සාමාන්‍ය ජීවිතයක් ගෙවුවට, එයා පෝසත් පවුලක මහ ආසාවක් නැතුව ජීවත් වෙච්ච කෙල්ලෙක්. එයා මං පැනල යමුද කියල අහපු ගමං කැමති වුණා. මොකද මීට කලින් එයාගෙන් යාළුවෙන්න අහපු කවුරුත් පැනලා යන්න කැමති වුණේ නෑ, අර පෝසත් පවුලෙ දේපළ අහිමි වෙන හින්දා. වයිෆ් මට කැමති වෙලාම තියෙන්නෙ මම පැනලා යමුද අහපු නිසා. මම පැනලා යමුද ඇහුවෙ මට වෙඩින් එකක් ගන්න සල්ලි නැති වුණත් මං එයාට ආදරේ නිසා. වයිෆ් පැනලා යන්න කැමැත්තෙන් හිටියෙ, පුංචි කාලෙ ඉඳන් දණ්ඩ නීති දදා හිර කරගෙන හදපු පවුලෙ මහන්තත්තෙට පාඩමක් උගන්නන්න ඕන නිසා. හැබැයි එයා තාමත් ආසයි ඒ පරණ ගෙදරට. ඒ පරණ ගතියට. අපේ ගෙදර තියෙන්නෙ කොළඹ මධ්‍යම පාන්තික ගෙදරක තියෙන බඩු වුණාට එයා ආස කරන්නෙ ස්පේෂස් ගෙදරක තියෙන ලොකු ඇන්ටීක් ලීබඩුවලට. එයා ආසා ස්පේස්වලට. කොළඹ මධ්‍යම පාන්තික ගෙවල් ස්පේෂස් නෑ. ඒ ගෙවල්වල අම්මලා තමයි නෙස්ටමෝල්ට් ගද්දි පාට හයෙන්ම දීපු බෝතල් හය ගොඩ ගහපු, ලාබෙට දැකපු නිසා එකම විදියෙ සෝස්පෑන් 5ක් අරගෙන ආපු අය. ඉතිං ඒ ගෙවල් වල දකින්න පුළුවන් ලාබ බඩු ගොඩක් මිසක්, මිළ අධික බඩු ටිකක් නෙමෙයි.

මම මේ යන්නෙ ප්‍රිෂාන්ගෙ ගෙදර. ප්‍රිෂාන් ඉන්නෙ රත්නපු​රේ. ගෑනි දන්නෑ ප්‍රිෂාන් ගැන. එයාව මට හම්බෙද්දි ප්‍රිෂානුයි මායි ලොකු කතාවක් නෑ. දැන් මට ඔය සිද්ධි ඔක්කොම කියන්නත් බෑ. වයිෆ් මැරිලද කියල ෂුවර් නැති, කාලෙකින් ඇහැට දැකපු හෝ කතා කරපු නැති, අද උදේ විතරක් මිස්ඩ්කෝල් එකක් තියෙන යාළුවෙක් බලන්නයි මේ යන්නෙ කියල මට ගෑනිට කියන්න බෑ. මගේ අද දවසට තියෙනව ලොකුම ටාස්ක් එකක්. ඒ තමයි මම උදේ වෙද්දි දාලා තිබ්බ සියළු රිමයින්ඩර්ස් ටික ඉවර කරන එක. ඉතිං මං නැවැත්තුවා තරමක් මිළ අධික ඇන්ටික් ෂොප් එකක. 

ඒ මේකටද ආවෙ?

ඔව්

මෙතනින්ද මගෙ ගිෆ්ට් එක ගන්නෙ

ඔව්

අනේ...

ඇයි?

ඔයා දන්නවනෙ මං ඇන්ටික්වලට ආසයි කියල...

ඔව්

හ්ම්ම්ම්...

කැමති දෙයක් තෝරගන්න. ඒක තමයි තෑග්ග.

ගෑනිගෙ මූනෙ ලොකු හිනාවක්. හැබැයි දැන් මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනව. ඒක මං දැනගෙන කරපු දෙයක්. හැමදාම තෑග්ගක් දෙද්දි ගෑනි කියන දෙයක් තමයි අපරාදෙ සල්ලි කියන එක. මට ඒක තරං පේන්න බැරි කතාවක් තවත් නෑ. එනිසායි මං එයාව මේ විදියට අසරණ කරේ. දැන් එයාට අපරාදෙ සල්ලි වගේ නිසා ගන්නත් බෑ. හිත ආසම ඇන්ටික් කඩේක හිර වෙලා නොගෙනත් බෑ. දරුවා ගිය ගමං බදාගත්තා, ලස්සන ඩ්‍රෝවර් එකක්. ඒත් මං දුවට තෑගි ගන්න නෙමෙයි ආවෙ. මං ඒක දරුවට කෙලින්ම කිවුව. දරුවා මූණ ඇඹුල් කරගෙන එතනින් අයින් වුණා. අන්තිමට ගෑනි හොයල හොයලා සල්ලිවලටත් අපරාදෙ කියලා නොහිතෙන, අපේ ගෙදර නැති, තියන්නත් ඉඩක් හදාගන්න පුළුවන්, පෙට්ටගමක් අරගත්තා. පනස්දාහක පෙට්ටගමට සියේට විස්සක ඩිස්කවුන්ට් නිසා රුපියල් දහදාහක් අඩුවෙන් ලැබුණා. දැන් ඩිකියෙ තියෙනව හතලිස්දාහක පෙට්ටගමක්. ඒකත් පටවන් අපි ආයෙ ගමන යනව. දැන් ඉතිං ආයෙත් ප්‍රශ්න කන්දයි. කොහෙද යන්නෙ අප්පච්චි? කියල, දුවත් අහනව. කොහෙද යන්නෙ අප්පච්චි? කියල ගෑනිත් අහනව. 

ප්‍රිෂාන්ගෙ ගෑනිට හෙණට සල්ලි. තාත්තලා මැණික්කාරයොලු. ප්‍රිෂාන්ට කොහොමත් ඉස්සර ඉඳන්ම ඊසි මනී ආසාව ලොකුවටම තිබ්බ. ඒ හින්දා පොර පිරමිඩ් එහෙකටත් අහුවුණා. මං දැනගත්තු ගමං ගලවගත්තා. දුවගෙ ගෙදර වැඩට කරන්න තියෙන්නෙ පතල් කර්මාන්තය ගැන. ගනං, විද්‍යාව වගේ හෝම්වර්ක් කරන්නෙ වයිෆ්. සිංහල වගේම මේ වගේ රිසර්ච් ටයිප් හෝම්වර්ක් කරන්නෙ මං. මං ඉන්ටනෙට් එකෙන් විස්තර හොයලා පතල් බැහැපු ලයින් එකෙන් ලියන්නං කියල හිතං හිටියට මට අද මේ වෙනකංම ඒ ටික කරන්න වුණේ නෑ. ඇහැලියගොඩින් මං වාහනේ නවත්තලා ආයෙත් ප්‍රිෂාන්ට කෝල් එකක් ගත්තා. 

මචං

මචං මං උඹට ගත්තා. උඹ ආයෙ ගද්දි මට ආන්සර් කරන්න බැරි වුණා.

ඔව් බං.

මචං වයිෆ් නැති වුණා.

හුටා...

මං උඹට ඒක කියන්න ගත්තෙ. උඹ කොහෙද ඉන්නෙ?

මං ඉන්නෙ ඇහැලියගොඩ. ගෑණියි දරුවයි එක්ක ට්‍රිප් එකක් යන ගමං. අද ගෑනිගෙ බර්ත්ඩේ එකනෙ.

හප්පා... පුළුවන්නං අපෙ ගෙදර පොඩ්ඩක් ඇවිල්ල පලයං. මට උඹ එක්ක කතා කරන්න ඕන

හරි.

දැන් වැඩේ ලේසියි. මගේ වැඩ කල්දාන, ආයෙ ආයෙත් කල් දාන බොරුව ගොඩ දාගන්න මට හොඳම විදිය හම්බෙලා තියෙන්නෙ. ප්‍රිෂාන් ගැන මං ගෑනිට කිවුවෙ, ඉස්කෝලෙ යාළුවෙක් කියල විතරයි. හිටපු හොඳම යාළුව කියල කිවුවෙ නෑ. මං ගෑනිගෙ බර්ත්ඩේ එකට රත්නපුරේ හොටෙල් එකක ස්පෙන්ඩ් ද ඩේ කරන්​න යන්න කලින් ඉඳන් ප්ලෑන් කරපු හැටි, ඒ ගමං ගෑනිට ඇන්ටික් බඩුවක් තෑගි දෙන්න ප්ලෑන් කරපු හැටි, මේ යන ගමනෙන්ම දුවගෙ පතල් කර්මාන්තෙ විස්තර හොයලා ෆොටෝ ගහන්නත් හිතපු හැටි ගැන රෝලක් මම ගෑනිටයි දරුවටයි ගැහුවා. උන් දෙන්නගෙ ඇස්වල ආදරේ ඉතිරෙනව. ඒ අතරෙ මගෙ යාළුවගෙ ගෑනි මැරිලා කියල, පණිවුඩේ ලැබුණු හැටි, සහ දැන් එහෙ යන්න වෙන ගමන ගැන කිවුවම, ඒ දෙන්නට කිසිසේත්ම බළාපොරොත්තු කඩ වුණු දුකක් තිබුණෙ නෑ. ඒ දෙන්නටම දැනිලා තිබුනෙ තරුණ ජීවිතයක් නැති වෙච්ච දුක විතරයි. 

අපි ගියා ප්‍රිෂාන්ගෙ ගෙදර. ගෙදර ලොකු ඇඬිල්ලක් නෑ. කොවිඩ් වෙනුවෙන්ම දාපු නීති නිසා සෙනගත් අඩුයි. සාමාන්‍යයෙන් සල්ලිකාරයෙකුගෙ ගෙදර මළගෙයක් කියන්නෙ, ජෝති මළා වගේ තත්ත්වයක් වුණත් මෙතන පුටුත් හිස්. අපි ගියා ඇතුළට. ප්‍රිෂාන් ඇවිත් මාව බදාගත්තා. මං ගෑනිවයි දරුවවයි අඳුන්නලා දුන්නා. දරුවට ඒ ගෙදර උන් හෙණ ආදරේ වුණා. මොනව වුණත් පිට තැනකට ගියාම කියන දේ නාහන, ගෙවල් විනාසබාවං කරන, අහුවෙන හැම මගුලම කන, කාලා තවත් ඉල්ලන මජර ගති ඔක්කොම යටගහගන්න අපෙ කෙල්ලට තියෙන්නෙ පුදුම හැකියාවක්. මූන කට ගෑනි වගේ නිසාත්, කියවිල්ල මගෙ වගේ නිසාත්, කවුරුත් දූට ආදරේ බැන්දා. එයා අප්පච්චිගෙ ප්ලෑනිං ගැන මුළු ගෙදරටම ඇහෙන්න කිවුව. දැන් ගෙදර පිරිමි ටික ලෑස්ති වෙලා ඉන්නෙ දරුවව වඩාගෙන පතල් පෙන්නන්න යන්න. වෙන උන්ගෙ නෙමෙයි තමුන්ගෙම පතල්. සාමාන්‍යයෙන් මැණික් කාරයොන්ගෙ විශ්වාසයක් තියෙනව, පතල ගාවදි ගූ වගේ වචන කියන්නෙ නෑ, ගෙදර ගෑනියෙක්වත් පතලට ගෙනියන්නෙ නෑ වගේ සීන්. දැන් ඒ සාම්ප්‍රදායික බුවාලා ටික මගෙ දුවව පතල් පෙන්නන්න ගෙනිහින් විස්තර කරන්නයි ලෑස්තිය. මළගම නිසා අහිමි වුණු තාත්තගෙ හෝම්වර්ක් වගකීම ඉටු කරන්න ඉන්නව හෙණ සෙට් එකක්. ගෑනිත් ප්‍රිෂාන්ගෙ ගෑණිගෙ අම්මයි තාත්තයි එක්ක කතාවට සෙට් වෙලා. මං ප්‍රිෂාන් එක්ක කතාවට සෙට් වුණා. යාන්තං මළ ගෙදරකදි හොඳට කෝප්පෙ පිරෙන්න කිරි කෝපි හම්බුණාමයි මේ.

මොකද වුණේ?

ගෑනි සුයිසයිඩ් කරගත්තනෙ මචං

හුටා...

ඒ මොකද?

උඹ දන්නවද කවුද මුල් වුණේ කියල?

කවුද සචිනිද?

නෑ...

එහෙනං? උඹට කලින් වෙන ගෑනු හිටියෙ නෑනෙ. උඹෙ හොර බඩ්ඩක්ද?

නෑ... උඹ

යකෝ... මාව කොහොමද?

ඊයෙ රෑ වලියක් ගියානෙ.

එහෙමයි ප්‍රිෂාන් මට කතාව කියන්න ගත්තෙ. ප්‍රිෂාන්ගෙ ගෑනි කිවුවලු මම මොනව කරනවද දන්නෑ කියල හදිස්සියෙම. ප්‍රිෂාන් කිවුවලු ඔයා නොහිටියනං ඌයි මායි තාම හොඳම යාළුවො කියලා. ප්‍රිෂාන් ඒවෙලෙ මොකක්හරි ඇරියස් එකක ඉඳලා තියෙන්නෙ. එනිසා ඌට ඇත්ත කියවිලා. දැන් මේක තමයි වලියට මුළ. ගෑනි අඬනවලු පණ යන්ඩ. ඒ අස්සෙ ගෑනිගෙ ගෙදර එවුන් කාමරේ වටේ කැරකෙන සද්දෙත් ප්‍රිෂාන්ට ඇහෙනවලු. දැන් මේ ඔක්කොටම මූ හෙට උදේට උත්තර දෙන්න වෙන කේන්තියත් මූට තියෙනවලු. ඉතිං මූ මොකුත් නොවුණු ගානට නිදාගත්තලු. එතකොට ව​ටේට ඇහෙන දෙබස් අඩුයිනෙ. උදේ ඇහැරෙද්දි ගෑනි හිටියෙ නෑලු ගෙදර. අද උදේ මුංගෙම පතලකින් ගොඩ අරං තියෙන්නෙ. කට්ටිය ඇහුවම මොකද වුණේ ඊයෙ රෑ කියලා, මූ බොරුවක් ගොතලා කියලා මගේ යාළුවෙක් ඉන්නව වේයංගොඩ. ගෑනි එහෙ යං කිවුවම මේ දවස් ටිකේ වැඩ නිසා යන්න බෑ කියපු එකටයි දෙන්නා රණ්ඩු වුණේ කියලා. ඉතිං ඒ නිසා ගෙදර මිනිස්සුන්ගෙන් මූ ගැන තියෙන හිතේ සැකේ යවාගන්න සහ දේපල නැතුව ෆුල් ලොස් වෙන එක නවත්ත ගන්න තමයි මූ කවදාවත් කෝල් එකක් නොදෙන මට කතා කරලා තියෙන්නෙ. නැතුව මේ ගෑනි මැරිච්ච දුක කියන්න නෙමෙයි. ඒක තමයි අපි ආපු ගමං ගෙදර එවුන් අපිට උත්තම සැළකිල්ලක් දුන්නෙ. දැන් මට ප්‍රිෂාන් එක්ක කේන්තියි. මූ මුගේ වාසියට මාව තුරුම්පුවට පාවිච්චි කරා කියන කේන්තිය මගේ හිතේ තියෙනව. මං ඒකට මූට මූණටම බැන්නා. මූ මට කෑගහන්න එපා කියලා වැන්දා. මං සද්ද වහගත්තා. මං සාලෙට එද්දි දූ පතල් කර්මාණ්තෙ ගැන ලියන්න පටන් අරං තනියම. ගෙදර ම මිනිස්සු වට වෙලා දුවට විස්තර කියනවා. මිණිය දිහා බලං හිටියෙ මැස්සො විතරයි. 

මං මගේ හිතේ කේන්තියට ප්‍රිෂාන්ගෙන් පළිගන්න හොඳම විදිය ප්ලෑන් කරා. හෙට උදේ දූ ඉස්කෝලෙ යන්නෙ පතල් කර්මාන්තෙ ගැන එයාම ලියපු විස්තර එක්ක. ෆොටෝ පවා ඉන්ටනෙට් එකෙන් නෙමෙයි. එයා ඇහැට දැකපු තැන්. ගෑනිගෙ බර්ත්ඩේ ප්‍රසන්ට් එක ඩිකියෙ. ට්‍රිප් එකේ කතාවත් හරි. රෑට මෙහෙන් පිටත් වෙනවා. ටීම් අවුටින් එක එන්න රත්නපුරෙන්ම දිය ඇල්ලක්, ඒ කිට්ටුවෙන් අපිට ඩ්‍රින්ක් එකක් දාන්න, කන්න බොන්න තැන් ඔක්කොම හරි. ඒ අවු අස්සෙ, මගේ එකවුන්ට් එකට ලක්ෂ අටක් වැටිලා. ආවෙ එස්එම්එස් එකක්. මම ඇප් එකට ගිහින් චෙක් කරා. නමක් ගමක් නෑ. හැබැයි මනුස්සයෙක්. ප්‍රිෂාන් මට ඇහැක් ගැහුවා. මම ඌ ගාවට ගියා. 

මගේ රහස රැකපං. හැම මාසෙම ඔය ගාන වැටෙයි. උඹ තාමත් මගෙ හොඳම යාළුව බං.

මටනං දැන් උඹ හොඳම යාළුවා නෙමෙයි. බිස්නස් පාට්නර් විතරයි.

රිමයින්ඩර් ඇප් එකේ ඉතුරු වෙලා තිබ්බෙ තවත් එකම එක ටාස්ක් එකක් විතරයි. සඳුදා උදේ ප්‍රමෝෂන් මීටිම. මම ඒකටත් ටික් එකක් දැම්මා. එදාට චෙයාමන්ගෙ අතට දෙනවා රෙසිග්නේෂන් එක. බදාදා පෝය නිවාඩුවෙ ටීම් අවුටින් එක මගේ ගානෙ. ඒක තමයි ෆෙයාවෙල් පාටිය. 

එන්ඩ් ඔෆ් ද ​ඩේ කල්ප කාලෙකට පස්සෙ මං රිමයින්ඩර්ස් ඔක්කොම ක්ලියර් කරපු මිනිහෙක්!



 

Monday, June 14, 2021

වංගුවේ ගෙදර අක්කාගේ කතා​ව

අන්තිමට අපි යාල කැලෙන් එළියට එද්දි දැකලා තිබුනෙ එක නරියයි, මොණරු රෑනකුයි විතරයි. වාහනේ හැම මනුස්සයටම ඒක ගැන අවුලක් තිබුනත්, මූනෙන් ලොකු අවුලක් පෙණුනෙ නෑ. මොකද කාටවත් යාල යන්න, අලි බලන්න, කිඹුල්ලු බලන්න ඕන කමක් තිබුනෙ නෑ. ඒ ආසාව තිබුනු එකම මනුස්සය තමයි ජීවා. ජීවාට ඒක ඕන වෙන්න තිබුනු එකම හේතුව තමයි ඌ අලුතෙන් ගත්තු ලොකු කැමරාව. ඉතිං ඒ වෙනුවෙන් මේ ගමන යොදාගන්න තෝරගත්තු ජීවා, අපිට යාල අලි බලන්නට යෑමේ වැදගත්කම ගැන ලොකු අවබෝධයක් කාලයක් තිස්සෙ ලබා දුන්නා. එක සතෙක්වත් නැති වෙද්දි ජීවාගෙ මූන අවුල් වුනත්, අපි ජීවාට හිනාවෙන්න බලං ඉන්න විත්තිය දන්න නිසාම ජීවා කිසිම අවුලක් නොවුනු ගානට ජීප් මුල්ලකට ඇලවෙලා විටෝ කොර්ලියෝනී පූසව අල්ලගෙන ඉන්නව වගේ ගාම්භීර ලීලාවට කැමරාව අතේ තියං හිටිය. යාල කැලෙන් පිට වුනු ගමං අපි උත්සහ කළේ ඉක්මනට හෝටලේට යන්න. ආයෙ බොන්න පටන්ගන්න. ඊයෙ නවත්තපු තැන ඉඳන් අද ආයෙ බීම කන්ටිනියු කරන්න.

කාමරවලට ගිහින් නාලා, බොන්න පටන්ගන්න හදද්දිම ජීවාත් ආවා. කැමරාවත් තිබුනා. හැබැයි වෙනිං පොඩි ලෙන්ස් එකක් එක්ක. අපි බොන්න පටන්ගත්තෙම දේශපාලන මගුලකින් වුනත් ජීවා කතාව අනිත් පැත්ත හැරෙවුව.

උඹල දන්නවද? යාල ගිහින් නරියෙක් දකින්න ලැබෙන්නෑ ලේසියෙන්..

සමහරුන්ගෙ නොදනිත් විස්කිය මුඛයෙන් වැටුනා. ජීවගෙ හිත රිදෙයි කියලයි කවුරුත් මේ සත්ව කාරණේ ගැන කතා නොකරෙ. මොකද හැමෝගෙම හිතේ ජීවා ගැන කේන්තියක් තිබුනා. නිදහසේ ඉන්න තිබ්බ පැය තුන හතරක් කැලේකට නාස්ති කරාට. ජීවාගෙ හිතේ ඒ ගැන තිබුනු ගිල්ටිය තමයි අර විදියට එළියට ආවෙ.

අනේ මේ උඹේ නරියව නවල ගහගනිං...

එහෙම තමයි කට්ටියගෙ හිතේ ජීවගෙ යාල ගමන ගැන කේන්තිය එළියට ආවෙ. අපි හැමෝම එකම ගමේ අහල පහල පාරවල් ටිකක උන්. වයස අතරෙ පොඩි පොඩි උස් පහත් බේධ තිබුනට අපි සෙල්ලං කළේ, මැච් බැලුවෙ, බිවුවෙ එකට. ඔය බොන වැඩේ නං සතිපතා සිද්ධ වුණා. හැබැයි හැඳුනුම්කං තියෙන අවුරුදු විස්සටම අපි ට්‍රිප් ගිහින් ඇත්තෙ පහක් විතර. ඔය හැම එකටම ඉස්සර ඉඳම්ම බාල්දිය දැම්මෙ ජීවා. 

පිස්සුද බං මේ සැපට ගෙදර ඉඳන් බයිට් හදාගෙන බොන්න තියෙන එකේ ආයෙ ඔය ඩොටේ ගිහින් බොන්න. 

ඒක තමයි ජීවා හැමදාම කියපු පේළිය. කට්ටියත් ඒකට එකඟ වුණා. මොකද අපේ සෙට් එකේ හිටියෙ කිසිම සොබා සෞන්දර්‍යයක් ගැන අගයක් නැති එවුන්. උන්ට ඕන වුණේ සීතල විතරයි. මොකක්හරි සීතල තැනකට වෙලා බොන්න විතරක් උවමනාව තියෙන උන්ට මෙහෙම වචනයක් එනව කියන්නෙ ආයෙ ඒකට එකඟ වෙලා නිකං ඉන්නව මිසක් තර්ක කරන්න යන්නෙ නෑ. ඇත්තටම අපි කලින් ගිහින් තියෙන ට්‍රිප් පහ වුණත් ගියේ සෙට් එකක් වුණාම ට්‍රිප් යන්න ඕන නිසා වගේ හැඟීමකින් මිසක් ඇත්තටම එහෙම මහා උන්මාදයකින් නෙමෙයි. ඒ ගියෙත් හෝටල්වලට. ගිහිල්ලා හෝටලෙන් එළියටවත් බහින්නෙ නැතුව බිව්ව මිසක් කිසිම ක්‍රියාශීලී කටයුත්තක අපි නියැලුනේ නෑ.

ඔය අස්සෙ ජීවා ගියා අලුතෙන් රස්සාවකට. එතනින් තමයි ජීවට මේ ට්‍රිප් පිස්සුව ආවෙ. එතන කොල්ලො කෙල්ලො මාස දෙකකට පාරක් විතර ට්‍රිප් ගියා. අලුත් ඔෆිස් එකකට ගිය ගමන් කට්ටියගෙන් හැලෙන්න බැරි නිසා ජීවාත් ඒ ට්‍රිප් ගියා. ඒ ගැන අපි ඔය බොන අතරෙ විහිළුත් කරා. ජීවා ඒවා ගනං ගත්තෙ නෑ. ඔය අස්සෙ ජීවට පෙම්වතියකුත් හම්බුණා. ඒ කාලෙදි අපේ වයස් සීමාවල් අලුත් රස්සාවලට යන, කෙල්ලො සෙට් කරගන්න, විරහවට බොන කාලෙ. ඉතිං ජීවගෙ කෙල්ල ගැනත් අපි බොන අතරෙ කතා වුණා. ජීවා ඒකට ගහනවා වීඩියෝ කරලා තිබුණා. ඌ පෙන්නන්නත් හැදුවා. ඒත් අපි ජීවාව හෙළුවෙන් දකින්න කැමති වුණේ නෑ.

ජීවට දැන් අපි එක්ක කේන්තියි. ඇයි අපි උගෙ නරියව නවල ගහගන්න කියල කිවුවනෙ. ඉතිං ඒක උනේ ඉවසගෙන හිටපු අපිට නරියෙකුගෙ වටිනාකම කියල දෙන්න ජීවා උත්සාහ කරපු නිසා. දැන් බයිට් එක වුණේ ජීවා. ජීවාට ඕන වුණා බයිට් එක මගේ පැත්තට හරවන්න.

තොට ඉතිං හැමදාම අර වංගුවෙ ගෙදර අක්කගෙ නරියව දැකලා ඇති වෙලා ඇතිනෙ.

ජීවා දැම්මා දෙබස. මට කේන්ති ගියේ නෑ. කට්ටියත් ඒකට හිනා වුණා. ඒක හැමෝම දන්න, මං නිහඬ කරවන කාරණයක්. වංගුවෙ ගෙදර අක්කට ඒ නම කියන්නෙ ඒ අක්ක ඉන්න ගෙදරට කියන්නෙ වංගුවෙ ගෙදර හින්දා. වංගුවෙ ගෙදර අක්ක බැන්දෙ සමන්ත අයියව. වංගුවෙ ගෙදර අක්කට ළමයි හදන්න බැහැලු. ඒ නිසා සමන්ත අයියා රට රස්සාවකට ගිය අතරෙ එහෙ ගෑණියෙක් එක්ක පැනලා ගියාලු. මෙහෙම වෙලාවක දරුවො නොලැබෙන ගෑනිට ගොඩක් කතාවල කෙනෙහෙලි කං සිද්ධ වුණත්, මේ කතාවෙ නං එහෙම වුණේ නෑ. සමන්ත අයියගෙ අම්මයි තාත්තයි වංගුවෙ ගෙදර අක්කව බලාගත්තෙ තමුන්ගෙම දරුවෙක් වගේ. කොටිම්ම සමන්ත අයියට එයාගෙ අම්ම කෝල් කරල කියල තිබ්බ, උඹෙයි මගෙයි අම්ම-පුතා කං අදින් ඉවරයි කියලත්. මට වරුණි අක්කව මුලින්ම හම්බුණේ එහෙ කම්පියුටරේ කැඩිච්ච කාලෙ. ඒ සමන්ත අයිය රට ගිය අලුත. එතකොටත් දෙන්න දුරින් ඈත හිටියත් හිතින් ලඟින් හිටියා. ස්මාට්ෆෝන් තිබුණෙ නෑ. කම්පියුටරේට වෙබ් කැම් ගහගෙන ස්කයිප්වලින් තමයි කෝල් එක ගත්තෙ. ඔහොම පටන් ගත්තු ඇයි හොඳැයිය තමයි අයියා දාලා ගියාට පස්සෙ මට ම සින්න වුණේ. සමන්ත අයියගෙ අම්මයි තාත්තයි මහ වයසක අය නෙමෙයි. එයාලට පරම්පරා සල්ලි තිබුණා. ලොකු පුරාජේරුකාරයොත් නෙමෙයි. එයාලා හැම සති අන්තයකම වගේ ගියා එකේක ගමන් බිමන්. මුලින් මුලින් අක්කත් ගියා. මාව එයාට සින්න වුණාට පස්සෙ නැවතුනා. මම එහෙ පැළ වුණා. දවසට තුන් හතර වතාවෙ ඇඳ විට්ටමට කොට්ටෙ හේත්තු කරන්න වුණත් මට එයා​ව එපා වුණේ නෑ. අක්කගෙයි මගෙයි ආදරේ ඇත්තටම අක්කයි මල්ලියි කියාගෙන ගිය එකක්. හැබැයි එයා මට වඩා මාස එකොළහයි වැඩිමල්.

උඹට මොකද බං වංගුවෙ ගෙදර අක්කටම හිත ගියේ? එයිට වඩා ගෑනු උඹට හිටිය නේද?

කලින් බයිට් එකේ හිනාව අඩු වේගන යද්දි ජීවා දැම්මා ආයෙ දෙබසක්. මට කේන්ති ගියේ නෑ. ජීවාට ඕන වුණේ යාල ගිහින් කාලෙ කාපු හැටි කට්ටියට අමතක කරවන්න. ජීවගෙ දෙවනි කතාවෙන් ආයෙ කට්ටියගෙ මූනට හිනාවක් ආවා. මොන මොනවද කතා වුණා කට්ටිය. ඇත්තටම හිටියා මටත් එක එක ගෑනු. අක්කා හම්බෙන්න කලිනුත්, අක්කා හම්බුනාට පස්සෙත්. ඇත්තටම ඒ දවස්වලම මම අක්කට සින්න වුණා කියල කිවුවට, මාව හරියට​ම අක්කට සින්න වුණේ දැන් මාස දෙකකට කලින්. අක්ක නං මට සින්න වෙලා තිබුණෙ ඒ කාලෙම. මට හිටපු පෙම්වතියොන්ගෙ එක එක අවුල් අඩුපාඩු පෙනෙද්දි මං කළේ අත්තෙන් අත්තට මාරු වෙන එක. ඒත් අක්කා හැමදාම නොවෙනස්ව මගේ එක්ක හිටියා. මං සමහරුන්ව නළවන්න මහ රෑ කෝල් එක ගන්නෙ අක්කගෙ උකුලෙ ඔළුව තියාගෙන. අක්කා ඒ කියන දේවල් අහගෙන බර හුස්මක් එක්ක තාලෙට මගෙ ඔළුව අතගෑවා. 

කවුද බං උඹ දවසක් අර බීලා කියවපු කෙල්ල? උඹ වෙනිං කෙල්ලො ගැන කියවල නෑනෙ අපි එක්ක...

ආයෙත් ජීවා උගෙ දෙබස දැම්මා. මට කේන්ති ගියේ නෑ. මේ පාර නං ඒකට කවුරුත් හිනා වුණේ නෑ. හැමෝම දන්නවා ඒක සීරියස් කතාවක් කියල. ඒ කෙල්ල තමයි මේ කපේට මං වැඩිපුරම ආදරේ කරපු, මට වැඩිපුරම ගැලපුනු කෙල්ල. හැබැයි මං කවදාවත් එයාට ආදරෙයි කිවුවෙ නෑ. මං එයාට ආදරෙයි නොකියපු හේතුවක් තිබුණා. ඒ තමයි එයාත් මට ආදරෙයි කියල මට දැණුන එ​ක. ඇයි මටත් ආදරෙයි කියල දැණුනු ගෑනියෙකුට මං ආදරෙයි නොකිව්වෙ. ඒකට ලොකු හේතුවක් තිබුණ. එයාගෙ පෙම්වතාට හොඳට සල්ලි තිබුණ. මං ආදරේ කරලා එයා මගේ පැත්තට හැරුණා නම්, එයාට මගෙත් එක්ක ආවොත් ඒ මනුස්සයා එක්ක ඉද්දි ලැබෙන සුඛ විහරණය ලැබෙන්නෙ නෑ. එයාගෙ පෙම්වතා අරක්කු නොබොන, ලොකු ගෙයක්, ලොකු වාහනයක්, ලොකු ව්‍යාපාරයක් තියෙන, එයාටත් හුඟක් ආදරේ කෙනෙක්. එහෙම ආදරයක් ඩැහැගෙන මට මං ආදරේ ගෑනිට දුකක් දෙන්න ඕන වුණේ නෑ. ඒ කියන්නෙ මං හිත හොඳ මිනිහෙක්ද? නෑ. මං මට ආසා හිතුනු ගෑනු කීයක් මගේ පැත්තට හරවගෙන තියෙනවද? මට සද්දයක් දාපු මගෙ කලින් ලොක්කගෙ වයිෆ් නැවතුනෙත් මගෙ ඇඳේ. එහෙවු මම ඇයි මේ ගෑනි ගැන විතරක් මෙහෙම හිතන්නෙ. මං හොඳ නිසා නෙමෙයි. මං මේකිට ආදරේ නිසා. මේකි මං නිසා දුක් වින්දොත් ඒක මට කිසිම දවසක අමතක කරන්න බැරි කැළලක් වෙන නිසා. ඒ නිසා මම ඒකිට ආදරෙයි නොකියා ඉන්න තීරණය කරා.

උඹට තියෙන්නෙ ඒ කෙල්ලවත් එක්කගෙන ඇවිත් අක්කලගෙ ගෙදර පදිංචි​​ වෙන්න. දෙන්නම ඉන්නව​නෙ මාරුවෙන් මාරුවට ගහන්න.

ජීවා ආයෙත් උගෙ දෙබස දැම්මා. ඒකටත් කවුරුත් හිනා වුණේ නෑ. සමහරුන්ට ජීවාගෙ මේ වෑයම නොරුස්සන ගතියක් තිබුණෙ. ඒ කෙල්​ල ගැන මගේ හිතේ ලොකු ආදරයක් වගේම ආසාවකුත් තිබුණා. හැබැයි ඒ ආසාව කවදාවත් ආදරේ කඩාගෙන උඩට ආවෙ නෑ. මං එයාව හිතින් නිරුවත් කරලා බලලා තියෙනව. හැබැයි මං එයා ගැන මතක් කරලා අතේ ගහල නෑ. ඒක මහ අමුතුයි. මං අක්කට මේ ගැන කිවුවම, අක්ක තවත් බර හුස්මක් හෙළුවා. ඒ කියන්නෙ මට වඩා ආදරේ ගෑනියෙක් ඔයාට ඉන්නවද? අක්කට මගෙන් අහන්න තිබ්බ එකම ප්‍රශ්නෙ ඒක. මං ඔව් කිවුව. මීට කලින් හිටපු කිසිම කෙනෙකුට ඔයා මට තරං ආදරේ කළේ නෑ? ප්‍රශ්නාර්ථයක් දාපු දැඩි ප්‍රකාශයක් අක්කා නිකුත් කළා. මං ඒකටත් ඔව් කිවුව. ඔයා හිතනවද එයා ඔයා ගාවට ආවොත් ජීවිතේ විඳවයි කියල? ආයෙත් අක්කගෙන් ප්‍රශ්නයක්. මගේ හිතේ ඒකට තනි උත්තරයක් තිබුණා. ඔව්. මං විශ්වාසයෙන් කිවුව. එහෙනං ඉතිං එයාට හිතින් විතරක් ආදරේ කරලා, ඔයා මගේ ගාවට වෙලා මෙහෙම ඉන්න... නේද? අක්කා ආදරෙන් මගෙ ඔළුව අතගගා මට දෙන්න තියෙන හොඳම උපදෙස දීලා, ඒකට මගේ හිතේ තියෙන අවසරය ඉල්ලුවා. මං ඒකටත් ඔව් කිවුව.

උදේ මං වෙරි බහිනකං බාත් ටබ් එකේ කල්පනා කර කර හිටියෙ. මගේ කාමරේ හිටිය අනිත් එකා ඒ වෙනකනුත් නිදි. කවුරුහරි දොරට පත බානවා. රූම්ස් හතක් තිබ්බ මුළු හොටෙල් එකට​ම හිටියෙ අපි විතරයි. මං බාත් ටබ් එකේ ඉඳගෙනම ඇයි බං? කියල ඇහුව. හුත්තො ජීවා නෑ! කැමරාව නං කාම​රේ තියෙනව. දොරෙන් එහා පැත්තෙන් උත්තර ආවා. කැමරාවත් නොතිබ්බා නං ජීවා උදේම ෆොටෝ ගන්න යන්නැති කියලා අපිට හිතෙනවා. ඇත්තටම එහෙම කෑගහපු එකෙන් හොඳක් වුණා. මම පිහියෙ ලේ බාත් ටබ් එකෙන්ම හේදුවා.



Sunday, June 13, 2021

එයයි මායි අහසට පො​ළොව වගේ වෙනස්

එයයි මායි අහසට පො​ළොව වගේ වෙනස්. එයා ආසම පැණි රස කන්න. මම ආසම දැවිල්ල කන්න. එයා ආසම වතුරෙ පීනන්න. මම වතුරට බයයි ෂවර් එකක් යටදි ඇරෙන්න. එයා ආසම ඇවිදින්න. මං ආසම ගුලි වෙලා නිදියන්න. එයාට හිටියා යාළුවො ගොඩක්. මට හිටියෙ එයා විතරයි. එයා හැම තිස්සෙම හිනා වෙලා හිටියෙ. මගේ මූන හරිම උදාසීනයි. එයා කැමති නෑ කාටවත් බනින්න. මං නං නොදන්න මිනිහෙකුට හරි බනින්න බලාගෙන හිටියෙ. එයා ආසා තේවලට. මං ආසා කෝපිවලට. එයා ආසම ළා පාටවල් ​වලට. මම ආසම කළු පාටට. එයා අහස වගේ ඉමක් නෑ. යන්න යන්න තව දුරයි. හැබැයි තියෙනව කියල පේනව. මම පොළව වගේ; ටොයිලට් වලවල්, නෙළුම් කුළුණු, පුංචි ගෙවල්, රජ මාලිග මගෙ උඩ. අල්ලන්න පුළුවන්. දණ ගහලා ඉඹින්න පුළුවන්. ඉඹලා විකුණන්න පුළුවන්. එයයි මායි අහසට පොළොව වගේ වෙනස්.

එයාට දවසක් මං ඉස්සරහ ඇඬුනා. එදා තමයි මට එයාගෙ හිතේ මට පොඩියට හරි ආදරයක් තියෙනව කියල තේරුංගත්තෙ. මට පුදුම අස්වැසිල්ලක් දැණුනා. මාත් ආදරේ කරපු ගෑනි, මටත් ආදරෙයිනෙ. එයා තමයි මං කැමැත්තෙන් ඉඳලත්, මතක් කරගෙන අතට ගත්තු නැති එකම ගෑනි. සමහරු කියනව වගේ ප්‍රේමය රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයිද කියලත් හිතුණා මට. හැබැයි එහෙම නෑ. මගෙ හිතේ එයා ගැන අනුරාගයක් තියෙනවා. මං එයා ගැන හීන දැකලා තියෙනව. එයා මාව ඉඹිනවා. එයා මගේ ඔළුව අතගානවා. එතන තිබුණෙ ප්‍රේමයට වඩා බර දෙයක්. ඒක රාගයම වෙන්න ඕන. ආසාවක් නැතුව කොහෙද ආදරයක් උපදින්නෙ. මං මගෙ හිත හදාගත්තා. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය නෑ. හැබැයි මම එයා ගැන මතක් කරලා ස්වයං මෛථුන්‍ය කරේ නෑ. කවදාහරි එයා ලඟින්ම ඇඳට වැටෙන්න මට ඕන වුණා. එතන ලෝකෙ නිදහස්ම තැන වෙයි කියල මට හිතුණා. මං මෙච්චර හීන දැක්කට එයා එහෙම හිතන්නෑ නේද කියල මතක් වෙනවා ඒ වෙලාවට. මොකද එයයි මායි අහසට පොළොව වගේ වෙනස්.

මට හිතාගන්න බෑ දවසක එයා මේක කියවයි කියල. එහෙම වුණොත් කියාගෙන කියාගෙන යයි එයාගෙයි මගෙයි සමානකං. මට බයයි ඒවා අහන්න. ඒවා මතක් වෙන පාරක් ගානෙ මට එයාව දාලා යන්න බැරි කමක් දැනෙනවා. ලොකු බැඳීමක් දැනෙනවා. මං ඒ නිසා ඒවා අමතක කරලා එයාගෙයි මගෙයි වෙනස් ගති ගැන විතරක් හිතනවා. කොටිම්ම මං ඒවා ඔයාලටවත් කියන්නෙ නෑ. කවදාක හරි එයා මට ලැබෙයිද? එහෙම හිතුණු කාලයකුත් මට තිබුණා. ඒ මේ මාසෙකට විතර කලින්. එහෙම ලැබෙන්න නං මේ​ ලෝකෙ හුඟක් වෙනස් වෙන්න ඕන. අපිට දැනට ලඟ ගොඩක් දෙනෙක් අපේ ඇහැට දකින්න නැති වෙන්න ඕන. අපි වෙනස් වෙන්නෝන. එයයි මායි ඉන්නෙ දුර. ඒත් හිතාගන්න බැරි තරං ලඟ. 

දවසක් මං එයාව දකිද්දි එයා තුවාල වෙලා. මට රිදුනා වගේ වුණා. මං ආදරේ කරන ගෑනිට තුවාල වෙලා. මං පෙන්නුවෙ නෑ එයාට ඒ දුක. මං පුළුවන් තරං එයාගෙන් හැංගුවා එයාට ආදරේ බව. සමහරවිට තරමක් හරි මගෙ හිතේ තියෙන දේවල් පෙන්නුව නං එයා වුණත් විවෘත වෙන්න ඉඩක් තිබුණා. ඒත් මං හැංගුවා. මොකද මං බයයි. මං ඒකයි මේ කතාව බ්ලොග් එකක් ඇතුළෙ හංගන්නෙ. මං බයයි එයා මේක දකිනවට. මේ කියන්නෙ එයා ගැනද කියල හිතනවට. හිතලා මගෙන් ඒ ගැන අහනවට. අහද්දි මට දෙන්න උත්තරයක් නැති වෙනවට. ඊටපස්සෙ මට එයාට බොරු කියන්න වෙනවට. මං බයයි. 

කවදාකහරි එයා දැකලා මේ ගැන ඇහුවොත් මං එයාට කියනව ෆික්ෂන් කියල දෙයක් තාම ලෝකෙ තියෙන විත්තිය. දවසක් එයයි මායි ඇවිදගෙන ගියා පාර දිගේ. මට වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ. මං ඇවිදගෙන ගියා. වාහන අපිව පහුකරගෙන ගියා. මම වාහන දිහා බල බල ගියා. එයා දිහා දකින්න දකින්න ආසාව දැනෙනව වැඩියි. එයා යන්නෙ ගෙදර. මාත් යන්නෙ ගෙදර. මං මගදි හම්බෙන්න හිටියෙ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව. එයාත් හම්බෙයි එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව. ඒකට ඉරිසියා කර කර මං එයා එක්ක යනව ඉස්සරහට. එයාගෙ කටට නිවනක් නෑ. කියවනව ගොඩක් ජාති. එයාගෙ යාළුවො ගැන, එයාගෙ කැම්පස් එක ගැන. අතොරක් නැති විස්තර. මට දරාගන්නම බැරි තරමට එයා ලං වෙනවා මගේ හිතට. මේක ඉක්මනටම නවත්තගන්න ඕන. හිත කියනව මට. මං එයා එක්ක යන්න හිටපු දුරට කලින් මගින් හැරෙනව. බොරුවක් කියල. එයා හා කියනව. මං එයා පස්ස වන වන ඇවිදගෙන යන දිහා බලං ඉන්නව. ලෑලි පස්සක් ඒක. ඒත් මට හරිම ලස්සන.

ඊට මොහොතකට පස්සෙ මට මුණගැහෙනව මගෙ පෙම්වතියව. මට බඳින්න ඕන ඔයාව. මේ මොකද හදිස්සියෙම. එයා කලබල වෙනව. එයා වද දෙනවා මට ඇයි කියල අහගන්න. එදා මගේ ඒ ආදර සම්බන්ධෙ ඉවර වෙනවා. හිතට පිස්සු වැටෙන්න දෙන්න බෑ. ආදරේ කරන්න කෙනෙක් හොයාගන්නෝන ඉක්මනටම. ඒත් කාවද? මං හිතින් තවත් පෙම්වතියක් ලං කරගන්නවා. එයා මගෙ හිතේ පෙරළි කරනව නිතරම. රෑට රෑටත් කතාබහ. උදේට ගුඩ් මෝනිං එක්ක අලුත් පෙම් හබයක තියෙන විකාර ඔක්කොම. හැබැයි මං බඳින්න අහන්නෑ එයාව. එයා හරියටම හරියනව මගෙ වැඩේට. මෙයාව අමතක කරන වැඩේට. ඒත් පැය ගානක පරතරයකින් ආයෙත් මුළු හිතම අයිති කරගන්නවා එයා ම. මං අසරණයි ඒ හැම වෙලාවෙම. 

මේක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැම මොහොතකම මේ විදියට වෙද්දි මං තේරුං ගන්නව ඇත්ත. තවත් මේක නවත්තන්න ඕන නෑ. මං ආදරේ කරනව එයාටම. වෙනදා වගේම එයාට නොකියම. එයත් ඒ මොකුත් නොදැනම ඉන්නව මගෙ ලඟින් හිනැහීගෙන. දැන් වෙනිං පෙම්වතියො නෑ මට. ඉන්නෙ එයා විතරයි සන්තකේටම. හැබැයි මං එයාට කියන්නෑ කවදාවත්ම. එයා හිනාවෙන දිහාම බලං ඉන්නයි අදහස. මට මගෙ හිත හගිස්සවන්න පුළුවන්. කාලෙකින් මං නොවෙනස්ව ආදරේ කරපු ඉස්කුරුප්පුව තමයි ඇය. මට බයයි දවසක එයාට මාව නොරිස්සයිද කියල. මොකද එයයි මායි අහසට පොළොව වගේ වෙනස්.




සීතලට ඇති ඇහැක බිහිවුණු කඳුලක

නිහඬ නිසසල හුලඟකින් පිරි තරුවක

තරමට ම නිස්සද්ද ගුණය පිරි ඔළුවක

ජල කලතමින් ලඳක් යනවා ඔරුවක


ලොක්ඩවුන් කළ රටක පන්සලේ මළුවක

මහ රෑක රැහැයියන් සද්ද දෙන වරුවක

සද්ද ගොඩ මැද වුණත් නිස්සද්ද අඳුරක

ජල කලතමින් ලඳක් යනවා ඔරුවක


උණු වෙන්නෙ නෑමයි කියූ රළු පපුවක

සීරුවට හීනි වෙන මත පිරුණු උගුරක

මත් ගතිය බිඳලමින් නොදැනීම තරමක

ජල කලතමින් ලඳක් යනවා ඔරුවක






Thursday, March 11, 2021

ප්‍රියයන්ගෙන් වෙන් වීම සැපයකි!

කතාව පටන්ගන්නෙ මාතරින්. මාතරින් අපි එන්න හ​දද්දි හවස් වුනා. කෝච්චියට විතරක් සල්ලි ඉතුරු කරගත්තම අපි තුන්දෙනාටම කන්න සල්ලි තිබුනෙ නෑ. ඉතිං දුවට විතරක් බත් එකක් අරං දීලා වයිෆ් මාත් එක්ක ෆෘට් සැලඩ් එකක් ෂෙයා කරගෙන කෑවා. කොහොමත් බත් කන්න ලොකු ආසාවක් නැති දූ මගෙන් ඇහුව "ඇයි තාත්ති බත් නොකන්නෙ?" කියල. "කෙට්ටු වෙන්න ඕන නිසා" කියල අපි බොරු කිවුව. ඇත්තටම වුණේ මේකයි.

මාතරට ආවෙ ගිය සතියෙ. එයාබීන්බී එකෙන් විලා එකක් බුක් කරලා කාලෙකින් හම්බෙන නිවාඩුව නිදහසේ ඉන්නයි ආවෙ. මාතරදි වාහනේ කැඩුනා. වාහනේ හදන්න දැම්මම ඒක හදන්න සතියක්වත් යයි කිවුව. කොහොමත් මට ඔය සර්විස් කිරිලි ගැන ඒ තරං නිච්චියක් නෑ. ඒ වගේම එතනට වාහන ගැන හොඳට දන්න මගේ යාළුවෙකුත් ආපු නිසා ගැරෑජ් එකෙන් මාව ඇන්දුවා වෙන්නත් බෑ. ඉතිං අපි ඒ සතියම මාතර ඉන්න තීරණය කරා. දවස් දෙකකට බුක් කරපු විලා එකේ පීරියඩ් එක එක්ස්ටෙන්ඩ් කරා. ආයෙ එයාබීඑන්බී එකට ගාණක් නොකැපෙන නිසා අපිට අඩු රේට් එකකට ඉතුරු දවස් පහ දෙන්න මැනේජර් කැමති වුනා. ඊයෙ කෝල් කරාම වාහනේ හදන්න තව දවස් තුනක් යයි කිවුව. ඉතිං වාහනේ හැදුවම යාළුවට අරගන්න කියලා අද අපි ආපහු කොළඹ එන්න තීරණය කරා. දවල් ස්ටේෂන් එකට ගියාම කෝච්චියක් තියෙන්නෙ තව පැයකින් කිවුව. ඒ නිසා අපි හවස් වෙනකං ඉන්න හිතාගෙන ටිකක් ෂේප් රෙස්ටුරන්ට් එකකට යන්නයි ගියේ. ඒ වෙද්දි ම​ගෙ අතේ සල්ලි තිබුනෙ රුපියල් හත්සීයයි. කොහොමත් ක්‍රෙඩිට් කාඩ් පිහිටෙන් ඉන්න හිතාගෙනයි ගියේ. රෙස්ටුරන්ට් එකට යන්න ටුක් එකක් හොයන්න හදන ඩිංගට එකෙක් අපේ බෑග් එක උස්සගෙන ගියා. ඒ පස්සෙන් දුවලා මහන්සි වෙලා වැඩේ අතෑරලා දාලා රෙස්ටුරන්ට් එකකට යන්න ටුක් එකක් නවත්තද්දි පිටිපස්සෙ සාක්කුවෙ පර්ස් එක නෑ කියල මතක් වුනා. පර්ස් එකත් බෑග් එකේ නිසා අතේ සල්ලිත් නෑ. වයිෆ්ගෙ සාක්කුවෙ නවපු රුපියල් දාහක් තිබුනා. මාතරට තර්ඩ් ක්ලාස් ටිකට් අරගෙන, එතනින් ගෙදරට යන්න ත්‍රීවීලරේට සල්ලි තියාගත්තම අපිට බත් කන්න සල්ලි ඉතුරු වුනේ නෑ.

ඊට පස්සෙයි අපි කාලා ස්ටේෂන් එකට ආවෙ. ඒ වෙද්දි අපි කෝල් දීලා ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් කැන්සල් කරලා තිබුනෙ. බෑග් එකේ තිබුනෙ අපේ ඇඳුම් විතරයි. "හොඳ වෙලාවට ඔයාගෙ ලැප්ටොප් ගෙදර දාලා ආවෙ." වයිෆ් මගේ හිත හදන්න කිවුව. මාත් ඔළුව වැනුවා. මම ලැප්ටොප් දාලා ආවෙ මේ දවසෙත් වැඩ කරන්න ඕන නැති නිසා. ඒත් දවස් දෙකේ නිවාඩුව දවස් හතක් වුනු නිසා මට ෆෝන් එකෙන් වැඩ ටිකක් කරන්න වුනා. එක්කෙනෙකුගෙ චාජර් විතරයි බෑග් එකට දාගෙන ආවෙත්. ඒ නිසා නැති වුනාට දුක තියෙන්නෙ පර්ස් එකේ නවලා දාගෙන තිබුනු පෝස්ට් කාඩ් එකක් විතරයි.

ඒක මගේ අම්මයි තාත්තයි ඉන්දියාවෙ ගිහින් එවපු පෝස්ට් කාඩ් එකක්. ඒ පෝස්ට් කාඩ් එක තමයි එයාලගෙයි මගෙයි තිබුනු අන්තිම සම්බන්ධය. ඒ මං ඒ ලෙවල් ලියන දවස්. එයාලා ඒ ගමනෙදි ඉන්දියාවෙදි ජීවිතෙන් අයින් වුනා. අක්කා මාව බලාගත්තෙ අක්කගෙ රස්සාවෙන්. මං ඒලෙවල් ඉවර වෙලා රස්සාවකට ගියා. දැන් අක්කා ඔස්ට්‍රේලියාවෙ. මං කසාද බැඳලා අවුරුදුම 5ක්. අක්කව දැකල නෑ අවුරුදු දෙකකින්. මං කෝච්චිය එනකං කල්පනාවට වැටිලා හිටියෙ. මොකද දැන් බෑග් උස්සන් යන්න දෙයක් නෑ. දූව වඩාගෙන කෝච්චි සීට් එකක් අල්ලගත්තොත් ඇති. ඒක වයිෆ්ට දීලා මට හිටගෙන යන්න පුළුවන්. යාළුවා හෙට අනිද්දට කොළඹ එන නිසා, එද්දි වාහනේ අරගෙන එයි. එතකොට ආයෙ මෙහෙම පොදු ප්‍රවාහනේ කටු කන්න ඕන නෑ දුවට. මගේ කල්පනාව බිඳුනෙ වයිෆ් කෑගහපු සද්දෙට. මං හිතුවෙ කෝච්චිය එනව කියල. ඔවු ඇත්තටම කෝච්චිය එනව.



දුව කෝච්චිය පැත්තට යනව. දුවට ඉස්සරහින් දුවගෙ අතේ තිබුනු ෆුට්බෝලයක් කීටැග් එකට දාපු ගෙදර යතුර පෙරලි පෙරලි යනව. දුව ඒක පස්සෙන් යනව. වයිෆ් දුව පස්සෙන් යනව. මිනිස්සු කෑගහනව. වයිෆ් කෑගහනව. කෝච්චියත් කෑගහනව. මාව ගල්ගැහුනා. යකඩ රාමුව ගහල ස්ටේෂමේ තිබ්බ ලී බංකුවෙන් නැගිටින්න හදද්දිත් එයාලා හැප්පිලා ඉවරයි. මට නැගිටගන්න බැරව ආයෙ පුටුවෙම වාඩි වුනා. මිනිස්සු වට වුනා. ප්ලැට්ෆෝම් එක අයිනෙ ගෙදර යතුර නැවතිලා තිබුනා. දුව ගෙදර යතුරත් පහු කරගෙන ගිහින්. එයාලා දිහා බලන්නවත් මට පුළුවන් වුනේ නෑ. කෝච්චිය තව ගොඩක් ඉස්සරහට ගිහින් නැවතුනේ. මිනිස්සු එයාලව උස්සලා අරගත්තා. එයාලා දෙන්නටම පණ තිබුනෙ නෑ. මං යතුර අරගෙන සාක්කුවෙ දාගත්ත.

මාතරදිම වැඩ කටයුතු අවසන් කරන්න හිත හදාගත්තා. සීල් කරපු පෙට්ටිවල දාලා, සෙනග නැති මල් ශාලාවක පහුවදා හවස් වෙනකං තිබ්බෙ වයිෆ්ගෙ සහෝදරයොන්ට එන්න ලේසි වෙන්න. එයාලා ඇවිත් ගියා. මං යාළුවගෙ ගෙදර ගියා. වාහනෙත් අරගෙනම යමු කියලයි යාළුවා කිවුවෙ. "අපරාදෙ උඹ වැඩිපුර දවස් පහක් සල්ලි ගෙවල ඉන්නෙ නැතුව අපිත් එක්ක අපේ ගෙදර ඉන්න තිබුනා. එහෙම වුනානං උඹල වාහනෙත් අරගෙනම ගෙදර යනව. මෙහෙම දෙයක් වෙන්නෙත් නෑ." යාළුවා පසුතැවිලි වුනා. යාළුවා මුලින් කතා කරද්දි වයිෆ් එහෙම කරන්න අකමැති වුනා. වයිෆ් මට කිවුවෙ "එයාලට අපිව කරදරයක් වෙන්න ඕන නෑ" කියල. හැබැයි වයිෆ්ට හිත යටින් යාළුවගෙ වයිෆ් ගැන නොකමැත්තක් තියෙනව කියල මට තේරුණා.

යාළුවට ළමයි නෑ. උන් ට්‍රයි කළා. ඒත් ළමයි නෑ. ඉතිං හොඳට සල්ලි තියෙනව. වයිෆ් ලස්සනට ඇඟ මේන්ටේන් කරගෙන ඉන්නව. හිතෙන හිතෙන දවසට දෙන්න එක්ක ඇවිදින්න යනව. මට කතාවලින් තේරුනු විදියට ඔවුව තමයි ඉරිසියාව​ට හේතු. මං ඔවුව හාරවුස්සන්න ගියේ නෑ. 

වයිෆ්ගෙ අයියල තුන්දෙනා ඇවිල්ල පෙට්ටි දෙකට වැඳලා, මාව බදාගෙන ඉ​ඹල ගියා. මං යාළුවගෙ ගෙදර ගිහින් ආපහු එදාම යනව කියල කිවුව. මං ඇඳන් ඉන්නෙත් යාළුවගෙ ඇඳුමක්. යාළුවා මාව නවත්තන්න හැදුවෙ නෑ. එයා වාහනේ අරගෙන එන්නං කිවුව. මගේ අතට සල්ලිත් දුන්නා. යන ගමං බඩගින්නක් ආවොත් කන්න කියල යාළුවගෙ වයිෆ් රෝල්ස් වගයක් බෑග් එකක දාලා දුන්නා. ඒ බෑග් එක ඇතුළෙ ලොකු නාරං ජූස් බෝතලේකුත් තිබුන. යාළුවගෙ ෂර්ට් සාක්කුවෙ යාළුවා දීපු සල්ලි දාගත්ත. අතට රෝල්ස් බෑග් එක ගත්ත. දකුණු සාක්කුවෙ ෆෝන් එක තිබ්බා. වම් සාක්කුවෙ ගෙදර යතුර තිබ්බ. මං ආයෙත් ස්ටේෂම ගාවට ආව. කෝච්චියට තව වෙලාව තියෙනව.

මං ස්ටේෂම ගාවින් සිගරට් පැකට් එකක් අරගෙන, ලයිටරේකුත්, බ්‍රෙත්ග මින්ට් පැකට් එකකුත් ගත්​ත. අන්තිම පැය විසිහතරටම දුමක් නොදා හිටිය කියලත් නිච්චි නැතුව තිබ්බෙ. මං සෙනග අඩු පාරක, තාප්පෙකට හේත්තු වෙලා ඩන්හිල් ස්විච් එක පත්තු කළා. පළවෙනි දුම් උගුර පපුවට බහිද්දිම අමුතු සෙනෙහසක් දැණුනා. මගේ මැරිච්ච ගෑනිගෙ තුරුළෙ ඉන්නව වගේ දැණුනා. මං ඒක පපුවෙ ටික වෙලාවක් තියාගෙන හිටියා. වෙනදට වඩා තියාගෙන හිටියා. මට එයා කෑගහනව ආයෙ ඇහුනා. කැස්සකුත් එක්ක දුම් ටික නාහෙන් කටින් එළියට පැන්න. මං පාර දිගේ ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා. පා​ර අයිනෙ අ​පේ බෑග් එක. ඒක ඇතුළෙ මොකුත් තිබුනෙ නෑ. ඊට එහායින් මගේ පර්ස් එක තිබුන. සල්ලි තිබුනෙ නෑ. ක්‍රෙඩිට් කාඩ් තිබුනෙත් නෑ. හැබැයි අම්මල එවපු නවපු පෝස්ට් කාඩ් එක තිබුන. අයිඩෙන්ටිය, ලයිසන් එක, ඔෆිස් අයිඩෙන්ටිය තිබුන. මං පර්ස් එකට යාළුවා දීපු සල්ලිවලින් ඉතුරු ටික දාගෙන පර්ස් එක පිටිපස්සෙ සාක්කුවෙ ඔබාගත්තා. එතන බිම තව පර්ස් තිබුනා. සමහරවිට මුං පොකට් ගහපුවා සල්ලි අරං විසිකරන්නෙ මේ පාළු පාරට වෙන්නැති. මං ආයෙ ස්ටේෂමට ගියා.

මං ගත්තෙ සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක්. මූද පැත්තෙ ජනෙල් අයිනක් හම්බුනා මට. දුම්බීම තහනම් නිසා බ්‍රෙත් මින්ට් එකක් හපන්න ගත්ත මම. දැන් මට කවුද ඉතුරු? කියන එකම ප්‍රශ්නයක්. ඊයෙ මුළු රෑම අක්ක එක්ක කතා කරා. අක්ක කිවුවෙ මට එහෙ එන්න කියල. මට එහෙ ගිහින් කරන්න රස්සාවක් නෑ වගේම මට දැන් ලොකු ආසාවල් නැති නිසා මං ඒකට බෑ කිවුව. දැන් ගෙදර ගිහින් ගෙදර අස් කරන්න ඕන. දරුවගෙයි වයිෆ්ගෙයි ඇඳුම් බඩු මුට්ටු සේරම අස්කරන්න ඕන. හිතුනොත් ගෙදරත් විකුණලා දානව. යනව පොඩි ඇනෙක්ස් එකකට රෙන්ට් එකට. ඔෆිස් එකට පයින් යන දුරින් තියෙන එකක් සෙට් වුනොත් හොඳයි. හොරෙන් ගගහ හිටපු ඔෆිස් එකේ නංගියව ඇනෙක්ස් එකට ගෙන්න ගන්නත් පුළුවන්. රස්සාව කරල පොඩි ෂොට් එකක් දාලා නිදහසේ ඉන්නව කියල හිතුව. 

මං නිකමට එහා පැත්ත බැලුවා. දරුවයි ගෑනියි ඉන්නව ප්ලැට්ෆෝම් එකේ. මේක මගේ හිතට මැවිලා පේන දෙයක් කියල මම දන්නව. එයාලව වල දැම්මෙ අද. හැබැයි මගේ හිතත් පොඩ්ඩක් ගැස්සුනා. පොඩි ගැස්සිල්ලක් එක්ක කෝච්චියත් ඇද්දුව ඉස්සරහට. දුව ආවා කෝච්චිය පැත්තට. වයිෆ් ආවා ඒ පිටිපස්සෙන්. දුව ආවෙ පෙරලි පෙරලි ඉස්සරහට එන ෆුට්බෝලයක් දාපු කීටැග් එක අල්ලන්න නෙමෙයි. දුව ආවෙ මාව නවත්තගන්න. මං සාක්කුව උඩින් අල්ලල බැලුව. කීටැග් එක අහුවුනා. ​ප්ලැට්ෆෝම් එකේ සෙනග පිරිලා; මට දුවයි වයිෆුයි දැන් පේන්නෙ නෑ. 

කතාව පටන්ගන්නෙ මාතරින්. මාතරින් අපි එන්න හ​දද්දි හවස් වුනා.