"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Saturday, October 23, 2021

එන්ඩ් ඔෆ් ද ​ඩේ

දවසෙ අන්තිමට මං මොකෙක්ද? මං නිකංම නිකං මනුස්ස සතෙක්ද? ආදරවන්තයෙක්ද? පැවිද්දෙක්ද? තාත්තෙක්ද? හිතන්න බැරි තැනක හිර වෙලා ඉන්නෙ මං. වැඩ එකින් එක පහු වෙනව. දරුවගෙ ඉස්කෝලෙ හෝම්වර්ක් ටික මම කරල නෑ. ලබන බදාදා පෝය නිවාඩු​වෙ ඔෆිස් එකේ ටීම් අවුට් එක ඕගනයිස් කරන කිසිම දෙයක් කරල නෑ. අම්මා දීපු බඩු ලැයිස්තුවෙ තියෙන කිසිම දෙයක් ගෙනල්ල නෑ. හෙට ගෑනිගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් අරගෙන නෑ. අනිද්දා උදේ චෙයාමන් එක්ක මගේ ප්‍රමෝෂන් මීටිම. මේ ඔක්කොටම දාගත්තු රිමයින්ඩර් ටික විතරක් ෆෝන් එකේ බැබලි බැබලි තියෙනවා. ඒවා එහෙමම තියෙද්දි මම ටික්ටොක් එකට ගිහින් මං ආසා ගෑනුංගෙ ඇඟ දිහා බලාගෙන ඉන්නව. ඉන්ස්ටග්‍රැම් එකෙත් ආයෙ ඒ ටිකම බලනවා. යූටියුබ් එකේ සින්දුවක් දාගෙන ඇස් වහගෙන ඉන්නවා. ටීවී සීරීස් එක නවත්තපු තැනින් ආයෙ ටිකක් බලනවා. දැන් තවත් පැය එකහමාරක් ගිහින්. අර රිමයින්ඩර්ස් ටික ඒ විදියටම තියෙනවා. ඔය වෙද්දි ලාවට නිදිමතක් ඉහට ගහගෙන එන වෙලාව. එන්ඩ් ඔෆ් ද ඩේ ඔය වැඩ ඔක්කොම ටික මම හෙට උදේට රීෂෙඩූල් කරලා මම නිදාගන්නව.

උදේ ඇහැරෙද්දි අර පරණ රිමයින්ඩර්ස් ටිකම බැබලි බැබලි තියෙනව. ඒ අතරේ මිස්ඩ් කෝල් දෙකක් තියෙනව. ප්‍රිශාන්ගෙන්. ප්‍රිශාන් කියන්නෙ ඉස්සර යාළුවෙක්. ඉස්සර හොඳම යාළුවෙක් වුණත් දැන් ලොකු ආස්සරයක් නැති යාළුකං අපි හැමෝටම තියෙනව. මං ප්‍රිෂාන්ට කෝල් කරනව. ප්‍රිෂාන් ආන්සර් කරන්නෙ නෑ. ෆෝන් එක කොට්ටෙ යටට ඔබලා මං කල්පනා කරන්න ගන්නව. දුවට ගෑනි බනින සද්දෙ ඇහෙනව සාලෙ පැත්තෙන්. අම්මයි තාත්තයි සද්දයක් නෑ. පන්සල් ගිහින් වෙන්න පුළුවන් ඉරිදා නිසා. මං හීන මවනවා එංගලන්තෙ මං ගෙවන ජීවිතේ ගැන. ඒක තමයි මං දකින්න ආසම හීනෙ. මේ වේයංගොඩට වෙලා හිටපු කාලෙ ඇති. කවදහරි මං යනව එංගලන්තෙ. ගෑනි ආසම ස්විට්සර්ලන්තෙ. එයාව එහෙ යවනව. මං එංගලන්තෙට ගිහිල්ලා ඉඩක් ලැබෙන වෙලාවට යනව ස්විට්සර්ලන්තෙ. දුව එතකොට කසාද බැඳලා. දුවගෙ පවුලම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ. වේයංගොඩ වගේ නෙමෙයි එහෙ. මට ආයෙ කෝල් එකක් එනවා. මේ කෝල් එක එන්නෙ ප්‍රිෂාන්ගෙන් කියල මං දන්නව. මං ආන්සර් කරද්දිම දකිනව ඒ කතා කරන්නෙ කවුද කියලා. ඒ ප්‍රිෂාන්ගෙ කලින් කෙල්ල. උන් දෙන්නව සෙට් කළේ මම.

මේ සුමෝ...

ඕ කියන්න.

ප්‍රිෂාන්ගෙ වයිෆ් නැතිවෙලා කියන්නෙ ඇත්තද?

හුටා... මං බලන්නං

එහෙම්මම ඒ කෝල් එක කට් වෙනවා. මට කරගන්න දෙයක් හිතාගන්න බෑ. ප්‍රිෂාන්ගෙ බිරින්දෑයි මායි හිත් නොහොඳයි. ඒ මනුස්සයා හොඳට හිටපු මිනිහව වෙනස් කරනව වගේ මට දැණුනා. කසාද ගෑනි ගැන වැරදි කියන එක හරි නැති වුණත් මං දවසක් විහිළුවෙන් වගේ ප්‍රිෂාන්ගෙ ගෑනිට ඔය කතාව කිවුව. එයාට කේන්ති ගියා ඒකට. මට බැන්නා. එයාට ඇඬුනා. ප්‍රිෂාන් ඒ කතාව සමථයකට පත් කළා. ටික කාලයක් යද්දි රස්සාවල් සහ කසාද එක්ක අපි දුරස් වුණා. අතරින් පතර බර්ත්ඩේ විෂ් වගේ දේකට ඇරෙන්න ප්‍රිෂාන් මට කෝල් කරේ උගේ ගෑනි මැරුණු බව කියන්න. මට ඒ කෝල් එක මිස් වුණා. මට දැන් ආයෙ එංගලන්තෙ හීනෙට යන්නත් හිත දෙන්නෙ නෑ. මං කොට්ටෙට ඔළුව තියාගත්තා. ආයෙ කෝල් එකක්. මේක ප්‍රිෂාන්ගෙන් වෙන්න පුළුවන්. නෑ, ඒක ආවෙ මගෙ හොඳම යාළුවගෙන්. 

ඕයි

කියපං...

උඹෙ ගෑනිගෙ ෆෝන් එක වැඩ නෑ.

ආ... ඒ මොකෝ...

විෂ් කරන්න කතා කරේ

හුටා... මං බලන්නං

මට මගෙ ගෑනිගෙ බර්ත්ඩේ එක අමතක වෙලා. තෑග්ග දෙනකොට නං ඒකි කියනව අපරාදෙ ඔයා මේ හම්බුකරන සල්ලි මෙහෙම වියදං කරන්නෙ වගේ කතා. හැබැයි ඒ ඇස් ආසාවෙන් දිලිසෙනව. ඒක තෑග්ගෙ වටිනාකමට වඩා තෑග්ගක් දෙන්න මනුස්සයට මතක තිබීමේ සතුට කියලා මට දැනෙනවා. මොකද මට කවදාවත් ඔයා වගේ දවස් අමතක වෙන්නෙ නෑ. මගේ එහෙම හොඳකමක් නෙමෙයි. මං හැම පොඩි දේකටම රිමයින්ඩර් දාගෙන ඉන්නවා. ඉතිං උපන්දින, කසාද බැඳපු දවස්, මුලින්ම මුණගැහුනු දවස්, මුලින්ම ආදරේ කියපු දවස් මට සමරන්න අමතක වෙන්නෙ නෑ. කවදාවත් නැතුව ගෑනිගෙ උපන්දිනේ දවසෙ උදේ මගෙ අතේ ගෑනිට දෙන්න තෑග්ගක් නෑ. මට රෙදි නැති ගතියක් දැණුනා. මං එහෙමම කේක් එකක් ඕඩර් කරා ඌබර් එකෙන්. දැන් මොනවහරි දහංගැටයක් ගහන්න ඕන තෑග්ගට. ගෑනි කාමරේ ගාවට ඇවිදගෙන එන සද්දෙ ඇහුණා. මං බොරුවට නිදි වගේ ඇස් පියාගත්තා. කොහොමත් කේක් එකවත් එනකං මෙහෙම ඉන්න එක තමයි නම්බුව ලාවට හරි බේරගන්න තියෙන එකම විදිය. ගෑනි ඇවිල්ල ඔළුව අතගාලා ගියා. ඒකෙන් මට අමුතු පණක් ලැබුණා.

දවස පුරා තියෙන රිමයින්ඩර් ඉවර කරගන්න ඕන කියලා හිතුණා. මං ලඟ කඩේට කෝල් කරලා අම්මා ගේන්න කියපු බඩු ටික කිවුව. ඒ ටික ගෙනල්ලම දෙයි. අම්මලා පන්සල් ගිහින් එද්දි ඒ ටික ගේන්න පුළුවන්. ඌබර් ඇප් එකේ පෙන්නන විදියට කේක් එක තියෙන්නෙ ගෙදර ලඟ. පෑනකුයි කොළේකුයි අරං රිංගුවා වොෂ්රූම් එකට. ෂවර් එක ඇරල දාලා කොමෝඩ් එක උඩ වාඩි වෙලා ලිවුව කවියක් ගෑනිට. ඌබර් එක ඇවිල්ල කෝල් කරද්දි එළියට දිවුව. ගෑනි කුස්සියෙ. උයනව. දරුවා උදව් කරනවා. උදව් කරනවා කියල වචනෙට කිවුවට ඒක තරං උයන්න පරක්කු කරවන වාතයක් තවත් නෑ. මං ගේට්ටුව අරින සද්දෙ ඇහුණු ගමං කුස්සියෙන් ආවා "ඔයා ඇහැරුණාද?" කියල මහ හඬින් සද්දයක්. මං ඒකට ඔව් කියාගෙනම ගිහින් කේක් එක ගත්තා. පෙට්ටියෙ පැත්තක ලිවුම ගැහුවා. සාලෙ මේසෙන් කේක් එක තිබ්බා. ගෑනිට කේක් එක දැක්කම සතුටුයි. මේ තියෙන්නෙ අමතක වෙලා කියලා හිතුවට අමතක වෙලා නෑ කියලා දැනගත්තු සතුට. එතකොටම ගේට්ටුවට තට්ටුවක් වැදුනා.

ඒ පාර මොකද්ද?

ඔයාම ගිහින් බලන්නකො

ඒ ඇයි මම?

ඔයා බලන්නකො ගිහිල්ල පණ්ඩිත නැතුව.

බර්ත්ඩේ ප්‍රසන්ට් එක නේද?

කියාගෙන හිනා කටින් එළියට ගිය ගෑනි ආවෙ පත බඩු මළු දෙකක් උස්සගෙන. කඩේට සල්ලි දෙන්න ඕන හවසට. මගෙ අතේ තියෙන්නෙ කාඩ් විතරයි. කඩෙන් ගන්නෙ සල්ලි විතරයි. ඉතිං ඒක දෙන්නෙ හවස. මං ෆෝන් එකෙන් නොටිෆිකේෂන් දෙකක් අයින් කළා. දොර ලොක් කරලා, යතුර තිබ්බා කුරුල්ලන්ට බත් දාන කිරි හට්ටිය යටින්. දැන් ඉතිං ප්‍රශ්න කන්දයි. කොහෙද යන්නෙ අප්පච්චි? කියල, දුවත් අහනව. කොහෙද යන්නෙ අප්පච්චි? කියල ගෑනිත් අහනව. එයාලා දෙන්නා ඉතුරු වෙච්ච කේක් ටිකත් අරං ඒක කකා යනව. මං සද්ද වහලා වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. වයිෆ්ව මම පන්නගෙන ඇවිත් සාමාන්‍ය ජීවිතයක් ගෙවුවට, එයා පෝසත් පවුලක මහ ආසාවක් නැතුව ජීවත් වෙච්ච කෙල්ලෙක්. එයා මං පැනල යමුද කියල අහපු ගමං කැමති වුණා. මොකද මීට කලින් එයාගෙන් යාළුවෙන්න අහපු කවුරුත් පැනලා යන්න කැමති වුණේ නෑ, අර පෝසත් පවුලෙ දේපළ අහිමි වෙන හින්දා. වයිෆ් මට කැමති වෙලාම තියෙන්නෙ මම පැනලා යමුද අහපු නිසා. මම පැනලා යමුද ඇහුවෙ මට වෙඩින් එකක් ගන්න සල්ලි නැති වුණත් මං එයාට ආදරේ නිසා. වයිෆ් පැනලා යන්න කැමැත්තෙන් හිටියෙ, පුංචි කාලෙ ඉඳන් දණ්ඩ නීති දදා හිර කරගෙන හදපු පවුලෙ මහන්තත්තෙට පාඩමක් උගන්නන්න ඕන නිසා. හැබැයි එයා තාමත් ආසයි ඒ පරණ ගෙදරට. ඒ පරණ ගතියට. අපේ ගෙදර තියෙන්නෙ කොළඹ මධ්‍යම පාන්තික ගෙදරක තියෙන බඩු වුණාට එයා ආස කරන්නෙ ස්පේෂස් ගෙදරක තියෙන ලොකු ඇන්ටීක් ලීබඩුවලට. එයා ආසා ස්පේස්වලට. කොළඹ මධ්‍යම පාන්තික ගෙවල් ස්පේෂස් නෑ. ඒ ගෙවල්වල අම්මලා තමයි නෙස්ටමෝල්ට් ගද්දි පාට හයෙන්ම දීපු බෝතල් හය ගොඩ ගහපු, ලාබෙට දැකපු නිසා එකම විදියෙ සෝස්පෑන් 5ක් අරගෙන ආපු අය. ඉතිං ඒ ගෙවල් වල දකින්න පුළුවන් ලාබ බඩු ගොඩක් මිසක්, මිළ අධික බඩු ටිකක් නෙමෙයි.

මම මේ යන්නෙ ප්‍රිෂාන්ගෙ ගෙදර. ප්‍රිෂාන් ඉන්නෙ රත්නපු​රේ. ගෑනි දන්නෑ ප්‍රිෂාන් ගැන. එයාව මට හම්බෙද්දි ප්‍රිෂානුයි මායි ලොකු කතාවක් නෑ. දැන් මට ඔය සිද්ධි ඔක්කොම කියන්නත් බෑ. වයිෆ් මැරිලද කියල ෂුවර් නැති, කාලෙකින් ඇහැට දැකපු හෝ කතා කරපු නැති, අද උදේ විතරක් මිස්ඩ්කෝල් එකක් තියෙන යාළුවෙක් බලන්නයි මේ යන්නෙ කියල මට ගෑනිට කියන්න බෑ. මගේ අද දවසට තියෙනව ලොකුම ටාස්ක් එකක්. ඒ තමයි මම උදේ වෙද්දි දාලා තිබ්බ සියළු රිමයින්ඩර්ස් ටික ඉවර කරන එක. ඉතිං මං නැවැත්තුවා තරමක් මිළ අධික ඇන්ටික් ෂොප් එකක. 

ඒ මේකටද ආවෙ?

ඔව්

මෙතනින්ද මගෙ ගිෆ්ට් එක ගන්නෙ

ඔව්

අනේ...

ඇයි?

ඔයා දන්නවනෙ මං ඇන්ටික්වලට ආසයි කියල...

ඔව්

හ්ම්ම්ම්...

කැමති දෙයක් තෝරගන්න. ඒක තමයි තෑග්ග.

ගෑනිගෙ මූනෙ ලොකු හිනාවක්. හැබැයි දැන් මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනව. ඒක මං දැනගෙන කරපු දෙයක්. හැමදාම තෑග්ගක් දෙද්දි ගෑනි කියන දෙයක් තමයි අපරාදෙ සල්ලි කියන එක. මට ඒක තරං පේන්න බැරි කතාවක් තවත් නෑ. එනිසායි මං එයාව මේ විදියට අසරණ කරේ. දැන් එයාට අපරාදෙ සල්ලි වගේ නිසා ගන්නත් බෑ. හිත ආසම ඇන්ටික් කඩේක හිර වෙලා නොගෙනත් බෑ. දරුවා ගිය ගමං බදාගත්තා, ලස්සන ඩ්‍රෝවර් එකක්. ඒත් මං දුවට තෑගි ගන්න නෙමෙයි ආවෙ. මං ඒක දරුවට කෙලින්ම කිවුව. දරුවා මූණ ඇඹුල් කරගෙන එතනින් අයින් වුණා. අන්තිමට ගෑනි හොයල හොයලා සල්ලිවලටත් අපරාදෙ කියලා නොහිතෙන, අපේ ගෙදර නැති, තියන්නත් ඉඩක් හදාගන්න පුළුවන්, පෙට්ටගමක් අරගත්තා. පනස්දාහක පෙට්ටගමට සියේට විස්සක ඩිස්කවුන්ට් නිසා රුපියල් දහදාහක් අඩුවෙන් ලැබුණා. දැන් ඩිකියෙ තියෙනව හතලිස්දාහක පෙට්ටගමක්. ඒකත් පටවන් අපි ආයෙ ගමන යනව. දැන් ඉතිං ආයෙත් ප්‍රශ්න කන්දයි. කොහෙද යන්නෙ අප්පච්චි? කියල, දුවත් අහනව. කොහෙද යන්නෙ අප්පච්චි? කියල ගෑනිත් අහනව. 

ප්‍රිෂාන්ගෙ ගෑනිට හෙණට සල්ලි. තාත්තලා මැණික්කාරයොලු. ප්‍රිෂාන්ට කොහොමත් ඉස්සර ඉඳන්ම ඊසි මනී ආසාව ලොකුවටම තිබ්බ. ඒ හින්දා පොර පිරමිඩ් එහෙකටත් අහුවුණා. මං දැනගත්තු ගමං ගලවගත්තා. දුවගෙ ගෙදර වැඩට කරන්න තියෙන්නෙ පතල් කර්මාන්තය ගැන. ගනං, විද්‍යාව වගේ හෝම්වර්ක් කරන්නෙ වයිෆ්. සිංහල වගේම මේ වගේ රිසර්ච් ටයිප් හෝම්වර්ක් කරන්නෙ මං. මං ඉන්ටනෙට් එකෙන් විස්තර හොයලා පතල් බැහැපු ලයින් එකෙන් ලියන්නං කියල හිතං හිටියට මට අද මේ වෙනකංම ඒ ටික කරන්න වුණේ නෑ. ඇහැලියගොඩින් මං වාහනේ නවත්තලා ආයෙත් ප්‍රිෂාන්ට කෝල් එකක් ගත්තා. 

මචං

මචං මං උඹට ගත්තා. උඹ ආයෙ ගද්දි මට ආන්සර් කරන්න බැරි වුණා.

ඔව් බං.

මචං වයිෆ් නැති වුණා.

හුටා...

මං උඹට ඒක කියන්න ගත්තෙ. උඹ කොහෙද ඉන්නෙ?

මං ඉන්නෙ ඇහැලියගොඩ. ගෑණියි දරුවයි එක්ක ට්‍රිප් එකක් යන ගමං. අද ගෑනිගෙ බර්ත්ඩේ එකනෙ.

හප්පා... පුළුවන්නං අපෙ ගෙදර පොඩ්ඩක් ඇවිල්ල පලයං. මට උඹ එක්ක කතා කරන්න ඕන

හරි.

දැන් වැඩේ ලේසියි. මගේ වැඩ කල්දාන, ආයෙ ආයෙත් කල් දාන බොරුව ගොඩ දාගන්න මට හොඳම විදිය හම්බෙලා තියෙන්නෙ. ප්‍රිෂාන් ගැන මං ගෑනිට කිවුවෙ, ඉස්කෝලෙ යාළුවෙක් කියල විතරයි. හිටපු හොඳම යාළුව කියල කිවුවෙ නෑ. මං ගෑනිගෙ බර්ත්ඩේ එකට රත්නපුරේ හොටෙල් එකක ස්පෙන්ඩ් ද ඩේ කරන්​න යන්න කලින් ඉඳන් ප්ලෑන් කරපු හැටි, ඒ ගමං ගෑනිට ඇන්ටික් බඩුවක් තෑගි දෙන්න ප්ලෑන් කරපු හැටි, මේ යන ගමනෙන්ම දුවගෙ පතල් කර්මාන්තෙ විස්තර හොයලා ෆොටෝ ගහන්නත් හිතපු හැටි ගැන රෝලක් මම ගෑනිටයි දරුවටයි ගැහුවා. උන් දෙන්නගෙ ඇස්වල ආදරේ ඉතිරෙනව. ඒ අතරෙ මගෙ යාළුවගෙ ගෑනි මැරිලා කියල, පණිවුඩේ ලැබුණු හැටි, සහ දැන් එහෙ යන්න වෙන ගමන ගැන කිවුවම, ඒ දෙන්නට කිසිසේත්ම බළාපොරොත්තු කඩ වුණු දුකක් තිබුණෙ නෑ. ඒ දෙන්නටම දැනිලා තිබුනෙ තරුණ ජීවිතයක් නැති වෙච්ච දුක විතරයි. 

අපි ගියා ප්‍රිෂාන්ගෙ ගෙදර. ගෙදර ලොකු ඇඬිල්ලක් නෑ. කොවිඩ් වෙනුවෙන්ම දාපු නීති නිසා සෙනගත් අඩුයි. සාමාන්‍යයෙන් සල්ලිකාරයෙකුගෙ ගෙදර මළගෙයක් කියන්නෙ, ජෝති මළා වගේ තත්ත්වයක් වුණත් මෙතන පුටුත් හිස්. අපි ගියා ඇතුළට. ප්‍රිෂාන් ඇවිත් මාව බදාගත්තා. මං ගෑනිවයි දරුවවයි අඳුන්නලා දුන්නා. දරුවට ඒ ගෙදර උන් හෙණ ආදරේ වුණා. මොනව වුණත් පිට තැනකට ගියාම කියන දේ නාහන, ගෙවල් විනාසබාවං කරන, අහුවෙන හැම මගුලම කන, කාලා තවත් ඉල්ලන මජර ගති ඔක්කොම යටගහගන්න අපෙ කෙල්ලට තියෙන්නෙ පුදුම හැකියාවක්. මූන කට ගෑනි වගේ නිසාත්, කියවිල්ල මගෙ වගේ නිසාත්, කවුරුත් දූට ආදරේ බැන්දා. එයා අප්පච්චිගෙ ප්ලෑනිං ගැන මුළු ගෙදරටම ඇහෙන්න කිවුව. දැන් ගෙදර පිරිමි ටික ලෑස්ති වෙලා ඉන්නෙ දරුවව වඩාගෙන පතල් පෙන්නන්න යන්න. වෙන උන්ගෙ නෙමෙයි තමුන්ගෙම පතල්. සාමාන්‍යයෙන් මැණික් කාරයොන්ගෙ විශ්වාසයක් තියෙනව, පතල ගාවදි ගූ වගේ වචන කියන්නෙ නෑ, ගෙදර ගෑනියෙක්වත් පතලට ගෙනියන්නෙ නෑ වගේ සීන්. දැන් ඒ සාම්ප්‍රදායික බුවාලා ටික මගෙ දුවව පතල් පෙන්නන්න ගෙනිහින් විස්තර කරන්නයි ලෑස්තිය. මළගම නිසා අහිමි වුණු තාත්තගෙ හෝම්වර්ක් වගකීම ඉටු කරන්න ඉන්නව හෙණ සෙට් එකක්. ගෑනිත් ප්‍රිෂාන්ගෙ ගෑණිගෙ අම්මයි තාත්තයි එක්ක කතාවට සෙට් වෙලා. මං ප්‍රිෂාන් එක්ක කතාවට සෙට් වුණා. යාන්තං මළ ගෙදරකදි හොඳට කෝප්පෙ පිරෙන්න කිරි කෝපි හම්බුණාමයි මේ.

මොකද වුණේ?

ගෑනි සුයිසයිඩ් කරගත්තනෙ මචං

හුටා...

ඒ මොකද?

උඹ දන්නවද කවුද මුල් වුණේ කියල?

කවුද සචිනිද?

නෑ...

එහෙනං? උඹට කලින් වෙන ගෑනු හිටියෙ නෑනෙ. උඹෙ හොර බඩ්ඩක්ද?

නෑ... උඹ

යකෝ... මාව කොහොමද?

ඊයෙ රෑ වලියක් ගියානෙ.

එහෙමයි ප්‍රිෂාන් මට කතාව කියන්න ගත්තෙ. ප්‍රිෂාන්ගෙ ගෑනි කිවුවලු මම මොනව කරනවද දන්නෑ කියල හදිස්සියෙම. ප්‍රිෂාන් කිවුවලු ඔයා නොහිටියනං ඌයි මායි තාම හොඳම යාළුවො කියලා. ප්‍රිෂාන් ඒවෙලෙ මොකක්හරි ඇරියස් එකක ඉඳලා තියෙන්නෙ. එනිසා ඌට ඇත්ත කියවිලා. දැන් මේක තමයි වලියට මුළ. ගෑනි අඬනවලු පණ යන්ඩ. ඒ අස්සෙ ගෑනිගෙ ගෙදර එවුන් කාමරේ වටේ කැරකෙන සද්දෙත් ප්‍රිෂාන්ට ඇහෙනවලු. දැන් මේ ඔක්කොටම මූ හෙට උදේට උත්තර දෙන්න වෙන කේන්තියත් මූට තියෙනවලු. ඉතිං මූ මොකුත් නොවුණු ගානට නිදාගත්තලු. එතකොට ව​ටේට ඇහෙන දෙබස් අඩුයිනෙ. උදේ ඇහැරෙද්දි ගෑනි හිටියෙ නෑලු ගෙදර. අද උදේ මුංගෙම පතලකින් ගොඩ අරං තියෙන්නෙ. කට්ටිය ඇහුවම මොකද වුණේ ඊයෙ රෑ කියලා, මූ බොරුවක් ගොතලා කියලා මගේ යාළුවෙක් ඉන්නව වේයංගොඩ. ගෑනි එහෙ යං කිවුවම මේ දවස් ටිකේ වැඩ නිසා යන්න බෑ කියපු එකටයි දෙන්නා රණ්ඩු වුණේ කියලා. ඉතිං ඒ නිසා ගෙදර මිනිස්සුන්ගෙන් මූ ගැන තියෙන හිතේ සැකේ යවාගන්න සහ දේපල නැතුව ෆුල් ලොස් වෙන එක නවත්ත ගන්න තමයි මූ කවදාවත් කෝල් එකක් නොදෙන මට කතා කරලා තියෙන්නෙ. නැතුව මේ ගෑනි මැරිච්ච දුක කියන්න නෙමෙයි. ඒක තමයි අපි ආපු ගමං ගෙදර එවුන් අපිට උත්තම සැළකිල්ලක් දුන්නෙ. දැන් මට ප්‍රිෂාන් එක්ක කේන්තියි. මූ මුගේ වාසියට මාව තුරුම්පුවට පාවිච්චි කරා කියන කේන්තිය මගේ හිතේ තියෙනව. මං ඒකට මූට මූණටම බැන්නා. මූ මට කෑගහන්න එපා කියලා වැන්දා. මං සද්ද වහගත්තා. මං සාලෙට එද්දි දූ පතල් කර්මාණ්තෙ ගැන ලියන්න පටන් අරං තනියම. ගෙදර ම මිනිස්සු වට වෙලා දුවට විස්තර කියනවා. මිණිය දිහා බලං හිටියෙ මැස්සො විතරයි. 

මං මගේ හිතේ කේන්තියට ප්‍රිෂාන්ගෙන් පළිගන්න හොඳම විදිය ප්ලෑන් කරා. හෙට උදේ දූ ඉස්කෝලෙ යන්නෙ පතල් කර්මාන්තෙ ගැන එයාම ලියපු විස්තර එක්ක. ෆොටෝ පවා ඉන්ටනෙට් එකෙන් නෙමෙයි. එයා ඇහැට දැකපු තැන්. ගෑනිගෙ බර්ත්ඩේ ප්‍රසන්ට් එක ඩිකියෙ. ට්‍රිප් එකේ කතාවත් හරි. රෑට මෙහෙන් පිටත් වෙනවා. ටීම් අවුටින් එක එන්න රත්නපුරෙන්ම දිය ඇල්ලක්, ඒ කිට්ටුවෙන් අපිට ඩ්‍රින්ක් එකක් දාන්න, කන්න බොන්න තැන් ඔක්කොම හරි. ඒ අවු අස්සෙ, මගේ එකවුන්ට් එකට ලක්ෂ අටක් වැටිලා. ආවෙ එස්එම්එස් එකක්. මම ඇප් එකට ගිහින් චෙක් කරා. නමක් ගමක් නෑ. හැබැයි මනුස්සයෙක්. ප්‍රිෂාන් මට ඇහැක් ගැහුවා. මම ඌ ගාවට ගියා. 

මගේ රහස රැකපං. හැම මාසෙම ඔය ගාන වැටෙයි. උඹ තාමත් මගෙ හොඳම යාළුව බං.

මටනං දැන් උඹ හොඳම යාළුවා නෙමෙයි. බිස්නස් පාට්නර් විතරයි.

රිමයින්ඩර් ඇප් එකේ ඉතුරු වෙලා තිබ්බෙ තවත් එකම එක ටාස්ක් එකක් විතරයි. සඳුදා උදේ ප්‍රමෝෂන් මීටිම. මම ඒකටත් ටික් එකක් දැම්මා. එදාට චෙයාමන්ගෙ අතට දෙනවා රෙසිග්නේෂන් එක. බදාදා පෝය නිවාඩුවෙ ටීම් අවුටින් එක මගේ ගානෙ. ඒක තමයි ෆෙයාවෙල් පාටිය. 

එන්ඩ් ඔෆ් ද ​ඩේ කල්ප කාලෙකට පස්සෙ මං රිමයින්ඩර්ස් ඔක්කොම ක්ලියර් කරපු මිනිහෙක්!



 

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

2 ක්ම තියෙනවා අදහස්:

චතුවා said...

එන්ඩ් ඔෆ් ද ඩේ ඒක නම් ටොපියක්ම තමා!

සූටික්කා said...

ඒක මරු ...........

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!