"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Saturday, October 8, 2022

අත ගිලිහෙන තැන

මම ඒ මනුස්සයව මුලින් ම දැක්කෙ ඉස්කෝලෙදි. අපේ ඉස්කෝලෙ ස්පෝට්ස් මීට් එකට එක තරගයක් තියෙනවා ස​හෝදර පාසැල් අතරෙ. ඒ තරගෙ සහාය දිවීම දුවන්න අපේ අල්ලපු වැටේ ඉස්කෝලෙන් ආපු හතර දෙනාට ඒ මනුස්සයත් තේරිලා තිබුණා. හැමෝම කිවුවෙ මනුස්සයා මාර වේගෙන් දුවන නිසා උගේ ලැප් එකේදි ඕන ම ලීඩ් එකක් අල්ලලා දිනන්න ආනන්දෙට පුළුවන් කියලයි. ඉතිං මං ඌට සාප කරා. උගේ කකුල කොර වෙන්න. සාපෙ වැඩ කරාද නැද්ද කියන්න දන්නෙ නෑ. ඌට අන්තිම ලැප් එක හිතපු තරං වේගෙන් දුවන්න බැරි වුණා. අපේ ඉස්කෝලෙ එකාටත් බැරි වුණා. වෙනිං ඉස්කෝලෙක උන් තමයි ඒ තරගෙ දිණුවෙ. ඒ විදියට තමයි මට ඌ ගැන මුලින් ම මතකයක් හිතේ ඇති වුණේ. එදයින් එදා මං ඌව ඉස්කෝලෙ කාලෙ ඇතුළෙ දැක්කෙ නෑ.

ඊට පස්සෙ මං ගියා රස්සාවකට. මහා නම්බුකාර නැති, සමාජයෙත් මහා ලොකු පහත් බවකුත් නොදකින රස්සාවකට. ඒක කරගෙන හම්බුකරපු සල්ලි මම පුළුවන් තරම් ඉතුරු කරා. ආතල් එකක් කියලා ගත්තෙ හවසට වැල්ලවත්තෙ සෙල්ලං කරන්න ගියාම විතරයි. ඒ දවස්වල මම වැල්ලවත්තෙ සෙල්ලං කරේ දෙහිවල යාළුවො ටිකක් එක්ක. අපි වැඩිපුරම කරේ බීපු එක. ක්‍රිකට් ගහන එකත් අතරින් පතරෙ සිද්ධ වුණා. ක්‍රිකට් ගහන්න ගිය දවසකත් මම ඒ මනුස්සයව දැක්කා. ඒ යකා දැන් ඩිග්‍රියක් කරනවලු. වැල්ලවත්ත ළඟ පාත ප්‍රයිවට් කැම්පස් එකක. එතන ඩිග්‍රිය අස්සෙ ඒ කොල්ලො ටික ඇවිත් ක්‍රිකට් ගහනව. ඌට මතක නෑ මාව. හැබැයි මට මතකයි ඌව. මුල් දවස්වල ප්‍රයිවට් කැම්පස් එකේ බුවාලා එතන ඉද්දි මගේ හිතට ආවෙ කේන්තියක්. හැබැයි මූව දැකපු දා ඉඳන් ඒ කේන්තිය නැති වුණා. මගේ හිතේ ඌ ගැන අනුකම්පාවක් තියෙනවා. මොකද මම තාම හිතනවා එදා ඌට හිතපු තරං වේගෙන් දුවලා ගේම් එක දිනන්න බැරි වුණේ මගේ සාපෙ වැදිච්ච නිසා කියලා.

ඔය අවුඅස්සෙ තමයි මගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙ. මිනිස් ආශ්‍රය අවම කරනවා. හොඳ ම යාළුවොත් දුරස් කරනවා. ගෑනු එක්ක ආස්සරේ තියාගෙන හිටියට ඉස්සර තරම්ම උන් ළඟ දිය නොවී ඉන්න මම උත්සාහ කරනවා. ඒ අතරෙ තමයි මේ සල්ලි ගහට කරගහන්නෙ. ඒක වේලකට ග්‍රීක් යෝගට් එක්ක ස්ට්‍රෝබෙරි කන, විවේකයක් ගන්න ප්‍රංසෙට යන ජාතියෙ ගෑනියෙක් මට ඉඳලම නෑ. ඒකි මට කැමති වුණේ මං වැඩිය සද්ද බද්ද නැති එකෙක් නිසාලු. මාත් ඉතිං ගෙම්බා වගේ හිටියා. එයා තමයි මාව ලංකාව ගහන වන් ඩේ සීරීස් එකක් බලන්න ඕස්ට්‍රේලියා​වෙ එක්කගෙන ගියේ. ඒක ලංකාවේ එවුන් කුණුහරුප පලපු මැච් එකක්. මුලින් කේන්තියට. පස්සෙ සන්තෝසෙට. මං එදාත් අරූව දැක්කා. මුලු ප්‍රේක්ෂකාගාරෙම නැගිටලා යද්දි මාලිංගවයි මැතිවුස්වයි විශ්වාස කරලා ඌ වාඩි වෙලා හිටියා. මුරලි අන්තිම ලකුණ ගැහුවම තමයි ඌ පුටුවෙන් නැගිට්ටෙ. ඌ සන්තෝසෙන් අප්පුඩි ගැහුවා. මං ඌ දිහා බලාගෙන හිටියෙ. ගෑනි මගෙ කලිසමට උඩින් අත තියාගෙන මිරික මිරික හිටියෙ. ඒකිට බියර් දෙකක් ගහපු ගමං කුලප්පුවක් හැදෙනවා. මට එදා හිතුනා අරූ එක්ක කතා කරන්න. ඒත් ගෑනි ඇඳට පනින්න බලං හිටපු නිසා මට ඒකට වෙලාවක් ආවෙ නෑ.

මට මූව පුදුමාකාර විදියට තැන් තුනකදි මුණගැහෙනවා. ඒක හිතට පුදුමයක්. මං ගෑනිත් එක්ක වැඩිය ​දේවල් ෂෙයා කරගන්නෙ නැති නිසා මං ඒකිට මූ ගැන මොකුත් කියන්න ගියේ නෑ. එදා මැච් එක දවසෙ ගොඩක් ලංකාවෙ එවුන් ලංකාවෙ ටීෂර්ට් ඇඳගෙන ඇවිත් හිටියට මූ ඇඳන් හිටියෙ සුපර්මාකට් එකක ටීෂර්ට් එකක්. මං ඉතිං මැච් නැති දවසෙ මේ සුපර්මාකට් චේන් එකේ දෙක තුනකටවත් ඔළුව දාන්න හිතුවා. මට ඌ එක්ක කතා කරන්න ඕන වුණා. මං ගෑනිව හොටේල් එකේ තියලා ගියේ. මං සුපර්මාකට් එකට ඇතුළු වෙද්දිම දැක්කා ගෑනියෙක්ව. ඇස් නැවතුනා. මං සාමාන්‍යයෙන් සුදු ගෑනුන්ට ආසා නැති වුණත් මේක නං හිත කෙනිත්තුවා. ලස්සන පස්සක්, පිරිච්ච දෙතනක්, කොට කොණ්ඩයක් එක්ක ලස්සන බුරියක් තිබුණා එයාට. කරුමෙට ම මගේ ටීෂර්ට් අනුමානය හරි වුණා. ඒක ඇතුළෙ මූ ඉන්නවා. මට ඌට කියන්න දෙයක් හිතාගන්න බෑ. "මචං මං උඹ අපේ ඉස්කෝලෙ දුවද්දි උඹව පරදින්න සාප කළා" කියලා කියන්න මට හිතෙන්නෑ. මං බලං හිටියා. මූ අර ගෑනිට චිට් එකක් දුන්නා. ඒකිත් වල් හිනාවක් දාලා ඒක ගත්තා. මට උන් දෙන්නගෙ දැහැනට බාධා කරන්න ඕන වුණේ නෑ. මං ගියා හොටේල් රූම් එකට. එදා අර ගෑනිව හිතේ මවාගෙන මං මගෙ පෙම්වතියව පෙරළගත්තා.

හොඳ විවේක කාලයක් අරගෙන ලංකාවට ඇවිත් මං සුපුරුදු සල්ලි පොරේට වැටුනා. රස්සාවෙත් ලොකු අවුලක් නෑ. සල්ලිත් තියෙනවා. ගෑනුත් ඉන්නවා. යාළුවො දුරස් කරපු නිසා එක එකාගෙ හිත හදන්න නෑ. කැමති විදියට කැමති තැනක බොන්නයි තියෙන්නෙ. ඔය විදියට අවුරුදු දෙකක්වත් යන්නැති. ගෑනු දාලා ගියා. තව එවුන් යන පාටක් පේන්නවත් තිබ්බෙ නෑ. ඔය අතරෙ තමයි ලොකු තාත්තා නැති වුණේ. තාත්තා හිටියේ ලොකුවටම අවුලෙන්. එයාගෙ අයියනෙ. මාත් වැඩිය නෑදෑ ආස්සරේ නැති වුණත් ගිහින් ලොකු තාත්තගෙ මිනිය දිහා බලං හිටියා. උන්නා වගේමයි. පොර ජීවත් වෙච්ච කාලෙත්, වැඩි කතා බහක් නැතුව හිටපු නිවිච්ච මිනිහෙක්. එහෙම එකක් මැරුණමත් ඉතිං ඒ වගේ. අරක්කු ඉවරයි. කැස්බෑවෙ බාර් එක වහලා. මට එතන සෙනග මැද්දෙ පොර ටෝක් දෙන්න බැරි වුණත් මං අඳුරන එකක් හිටපු නිසා ත්‍රීවීල් එකක් දාගෙන ඌව හම්බෙන්න ගියා මිරිස්වත්තට. මිරිස්වත්තෙන් මට ඕල්ඩ් බෝතල් දෙකක් ඩැහැගන්න පුළුවන් වුණා. බෝතල් දෙක බෑග් එකක දාගෙන හැරෙද්දි අරූ ඉන්නවා. මිරිස්වත්තෙ හන්දියෙ ෆ්‍රයිඩ්රයිස් එකක් ගන්න පෝලිමේ. දෙකක් දාගෙනත් හිටියෙ. තව දාගන්නත් බඩු අතේ තියෙන නිසා මූට කතා කරන්නම හිතුනා. ඒත් ත්‍රීවිල් එක අරං ආපු එකාට ආයෙ ගිහින් බොන්න හදිස්සිය. එනිසා එදාත් ඌව මගහැරුණා.

අවුරුදු දහයක්ම එකම රස්සාව කරාට පස්සෙ වෙනසක් ඕන වෙනවා. කතාවට කියන්නෙ තමුන් කැමති ෆීල්ඩ් එක තෝරගන්න එක අවුරුදු 27ට කලින්වත් කරන්න කියලයි. 27න් පස්සෙ ඒ ෆීල්ඩ් එකේ වෙනිං රස්සා කරනවා මිසක් ෆීල්ඩ් එක වෙනස් කරන්න එපා කියලයි කියන්නෙ. මං අවුරුදු 31දි ෆීල්ඩ් එක වෙනස් කරනවා. ඊටපස්සෙ ඉන්නෙ වෙනිං පොරේක.   

මහ ලොකු වෙනසකුත් නෙමෙයි. පුරුදු රස්සාවම වෙනිං ප්ලැට්ෆෝම් එකකට කරන්න ගන්නවා. පඩිය වැඩියි, නිදහස අඩුයි පන්නයේ රස්සාවක්. සාමාන්‍යයෙන් මං මුලින් ගෙවපු රස්සාවට වඩා තරමක පොෂ් කල්චර් එකක් තියෙන රස්සාවක්. මේකට මට හැඩ ගැහෙන්න පුළුවන් වෙයිද කියලා දෙතුන් වතාවක් හිතුණු රස්සාවක්. ගිහින් පළවෙනි දවසෙ පුටුවෙ වාඩි වෙලා බලං හිටියා. මාව අඳුනගන්න එවුන් ආවා. උන්ටත් මම මාව හඳුන්වලා දුන්නා. ඒ අතරෙ මූ ආපි. "මචං මං..." කියලා ඌ කියන්න පටන්ගත්තු විස්තරේ දිහා මං අහං හිටියා. මට පුදුමයි මේ හමුවීම ගැන. අවුරුදු පහළොවකට විතර පස්සෙ ඌයි මායි මුලින්ම අතට අත දුන්නා. මට කියන්න හිතුනා මම තමයි උඹෙ කකුල කොර වෙන්න කියලා මීට අවුරුදු පහළොවකට කලින් සාප කරේ කියලා. ඊටපස්සෙ මට හිතුනා වැල්ලවත්තෙ ක්‍රිකට් ගහන කාලෙත් උඹ හොඳ විකට් කීපර් කෙනෙක් කියලා කියන්න. ඊටපස්සෙ මට හිතුනා මෙල්බන්වල සුපර්මාකට් එකට ආපු ගෑනිව උඹට දීලා මම නිදහස් වුණු විත්තිය කියන්න. අන්තිමට ම ලොකු තාත්තගෙ මළ ගෙදර දවසෙ උඹ ෆ්‍රයිඩ් රයිස් පෝළිමේ හිටිය බව දැක්කා කියල කියන්න. මං ඒ මොකුත් කිවුවෙ නෑ. මේ ඔක්කොම හිතනකනුත් ඌ පිස්සෙක් වගේ කතා කරගෙන ගියා.

ඌයි මායි එකම ප්‍රොජෙක්ට් වෙනුවෙන් වැඩ කරන එවුන්. ඌයි මායි යාළුවො වුණා. ඌයි මායි කන්න බොන්න ආසා ගොඩක් වෙලාවට එකම දේ. ආසා කරේම එකම විදියෙ ගෑනුන්ට. හම දුඹුරු, තරමක් මහත, කොණ්ඩෙ ක්‍රේල් ගෑනු. ඌ අරක්කු බොන්නෙ නෑ. උටත් එක්ක හරියන්න මං බිවුවා. දවසක් ඌ මට කිවුව ඌ බොනව කියල. ඌ ප්‍රසිද්ධියේ නොබොන්න හේතුවත් ඌ කිවුවා. ඌ වැඩිය කැමති නෑ මිනිස්සුන්ට. මට ඒක තේරෙනව. මාත් කැමති නෑ මිනිස්සුන්ට වැඩිය. මං ආසා තනියම ඉන්න. ඉතිං ඌයි මායි බොන්න පටන්ගත්ත. මං මේ වෙද්දිවත් ඌට කියලා නෑ මම ඌ ඉස්කෝලෙ යන කාලෙ දුවද්දි කකුල කොරවෙන්න ප්‍රාර්ථනා කරා කියලා. යාළුකමේ බැඳීම ගොඩක් වැඩිවෙන්නෙ මට ප්‍රශ්නයක් ආපු වෙලාවෙ. 

මට එනවා කෝල් එකක්. ඒක තරමක් භයානකයි. මගෙත් මගේ ආදරවන්තියකගෙත් නිරුවත් වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට එකතු වෙලා. ඒ දේ කරේ මම කියලා තමයි මට කෝල් එක එන්නෙ. ඒ ආදරවන්තියගේ වර්තමාන ස්වාමිපුරුෂයා තමයි මේ චෝදනාවත් ඒකට සමගාමී තර්ජනයත් මට එල්ල කරන්නෙ. ඒත් මං එහෙම දෙයක් කරේ නෑ. ඒක ඇත්තටම එහෙමයි කියලා පිළිගත්තේ මමයි මගේ මිත්‍රයයි විතරයි. අනිත් හැමෝම හිතුවා මම ඒ දේ කරපු විත්තිය. ඒ වීඩියෝ තිබුණෙත් මගේ කලින් පෙම්වතියගේ සතුව බවත්, මෙය ඇයට වැරදීමක් සිද්ධ වුණු දෙයක් බවත්, ඇය වෙන කරන්නට දෙයක් නොතිබූ නිසා මා මේ දැලට හසු කළ බවත් මට පැහැදිලියි. මම පැහැදිලි ලෙස විශ්වාස කරන දේ උට පැහැදිලියි. රැකියාවෙන් ඉවත් වෙන තැනටම වැඩ සිද්ධ වෙද්දි, අන්ත අසරණ වෙද්දි, මං බිබී කියවන මනස්ගාත අහගෙන හිටියෙ ඌ විතරයි. දවසක් ඌ කිවුවා මේකට ඌ ගේමක් ගහන්නං කියලා. මම දන්න තරමින් ඌ ගේම් ගහන එකෙක් නෙමෙයි. 

මං එවෙලෙ ඉගෙනගත්තා දෙයක්. මිනිහෙකුට අත ගිලිහෙන තැන අත දෙන්න ඉතුරු වෙන්නෙ යාළුවෙක් විතරයි කියන එක. සාමාන්‍යයෙන් අපිට හිතෙන්න පුළුවන් අම්මා හෝ තාත්තා ගැන. සහෝදර සහෝදරියො ගැන. නැත්තං ආදරය කරන සහකරුවා හෝ සහකාරිය ගැන. නමුත් අත ගිලිහෙන තැන එන්නෙ ඒ සියල්ල පසු වුණාට පස්සෙ. එනිසා අත ගිලිහෙන තැනට ආවම අත දෙන්න ඉතුරු වෙන්නෙ යාළුවෙක් විතරයි.

ජීවිතේ අපි අලුතෙන් දේවල් ඉගෙනගන්නවා. දැනට ඉගෙනගත්තු දේවල් එක්ක මේ මොහොතෙදි හොඳට ම හරි කියලා හිතට හිතෙන දේ අපි කරනවා. යාළුවෙක් තෝරගනිද්දි අවුරුදු විස්සෙදි හිතුවට වඩා දේවල් විසිපහේදි හිතනවා. තිහේදි ඊටත් වඩා හිතනවා. වයස අවුරුදු තිස්පහේදි හිතට අවංකව යාළුවෙක් තෝරගන්නවා කියන්නෙ ඒ මනුස්සයා මේ ලෝකෙ ඉන්න හොඳම ජාතියෙ එකෙක් වෙන්න ඕන. මම මේ කිවුවෙ අපි අවංකව යාළුවො කියලා පිළිගන්න අය ගැන මිසක්, හවසට අඩියක් ගහන, එක පාරෙ ඉන්න, එක ඔෆිස් එකේ ඉන්න අය නිසා ෆිට් වෙච්ච උන් ගැන නෙමෙයි. මගේ යාළුවට තියෙනවා මට නොකියපු රහසක්. ඌ තාම මට කිවුවෙ නෑ මාව මේ මර උගුලෙන් බේරගන්න ඌ ගහපු ගේම මොකද්ද කියලා. මටත් තියෙනවා මම උට නොකියපු රහසක්. මම තාම ඌට කිවුවෙ නෑ, ඌව දැකපු පළවෙනි දවසෙ මම උගේ කකුල කොරවෙන්න කියලා ප්‍රාර්ථනා කරපු විත්තිය.



Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

1 ක්ම තියෙනවා අදහස්:

Anonymous said...

මටත් තියෙනව කාටවත්ම නොකියපු රහසක්

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!