කවුරුත් හිතං හිටියෙ මං ඒකිට ආදරෙයි කියල. ඔව් හැබැයි මං එයාට ආදරෙයිද කොහෙද. පිට ඉඳන් උකුසු ඇසින් බලං ඉන්න මිනිස්සුන්ට වරදින්න විදියක් තිබ්බෙ නෑ. ඉඳලා හිටලා මුණගැහෙන දවසට ආසාවෙන් එයා දිහා බලාගෙන හිටියා. කන්න ආසා ජාති අරගෙන දුන්නා. බොන්න ආසා ජාති ගෙනත් දුන්නා. ඒ සිනිඳු අත හෙමීට අතගාලා බැලුවා. මං වගේ ප්‍රශ්න කන්දක් කරගහං ඉන්න මිනිහෙක්ව මෙහෙම නලවන්න ගෑනියෙකුට පුළුවන් වෙයි කියලා මට හිතුණෙ නෑ. කම්මුල් පිරිලා. ඉඹිද්දි එයාගෙ ඇඟ කිතියෙන් ඇකිලෙනව. පළවෙනි පාරට තමයි මෙච්චර ලස්සන තොල් දෙකක්, බෙල්ලක් තියෙන ගෑනියෙකුගෙ කම්මුල් අත ගගා ඉඹ ඉඹ ඉන්න මට හිතුනෙ. තාලෙකට පැද්දිච්ච ඒ රතියෙ අග්ගිස්සෙදි එයා මගේ අත වට කරගෙන වැතිරිලා... සුදු කාමරේ සිවිලිමට මුහු කරපු සුසුම් දෙවැනි වුණේ, හති වැටිල්ලත් සැපක් වෙච්ච නිමේෂයක ඇස් වසාගෙන එයාගෙන් පිටවෙච්ච කෙඳිරිලිවලට විතරයි. මං එයාට ආදරෙයිද කොහෙද.
සල්ලිකාර පවුලක ගෑනියෙකුට ගෙදරකින් ලැබෙන්න ඕන වටිනම දේ තමයි නිදහස. ඒත් සිංහල චිත්‍රපටිවල අපි දැක්කෙ සල්ලිකාර පවුලෙ නීති ගොඩක් මැද්දෙ හදපු සබීතව. ඒ රැකවල් මැදින් සබීතව දිනන්න උත්සාහ කරපු, ගුටි කාපු සෂී විජේන්ද්‍රව, එහෙමත් නැත්තං විජයව. එහෙම ලෝකෙක මෙහෙම නිදහසක් තියෙන සල්ලිකාර පවුලක් කෙල්ලෙක් මම දැක්කමයි. අතරින් පතර මගෙත් එයාගෙත් අතර කතා බහ සිද්ධ වුණේ අපේ ජීවිත ගලාගෙන යන හැටි. ඒ අපි ආදරේ කරන්න කලින් කාලෙ. මගේ ජීවිතේ හැලහැප්පීම් ගැන මම කියද්දි, එයා මට කිවුවෙ එයාගෙ ජීවිතේ ආදරේ අහිමිවීම් ගැන. මං එච්චර සුදු ගෑනුන්ට ආසා නැති වුණත්, ඒ කතා හරිම අවංකයි කියලා මට හිතුණා. මට අවංකයි කියලා හිතෙන ගෑනු ළඟ මම ලිහෙන තරම වැඩියි. ඒ බව මට කිවුවෙ මගෙ ළඟම යාළුවෙක් විදියට ඉන්න ගෑනියෙක්. එයා කිවුවෙ ඒකෙන් අනුන් මගෙන් ප්‍රයෝජන ගනියි කියලා. එහෙමයි කියල මං වෙනිං ගෑනු ගාව ලිහෙන එක නැවැත්තුවෙ නෑ. ඉතිං මං මෙයාට මෙසේජ් කරා. මගේ සමහර යාළුවොත් එයාට මෙසේජ් කරලා තිබුණා. එයත් රිප්ලයි කරලා තිබුණා. හැබැයි මට ඉරිසියා හිතුණෙ නෑ. මොකද මං ඒ වෙද්දි බලාපොරොත්තු කියන දේ විශ්වාස නොකරන, හීනයක් හැබෑ වුණාම පුදුමයෙන් සතුටු වෙන මනෝ විකාරෙක ජීවත් වෙමින් හිටියෙ. ඉතිං මං නිකමට දවසක එයාගෙන් ඇහුවා කැමැත්ත. එදා තමයි මට මුලිම්ම හිතුනෙ මං එයාට ආදරෙයිද කොහෙද කියල.
ඒ කොණ්ඩෙ හරි අමුතුයි. අපේ තොල් පැටලෙද්දි ඒ කොණ්ඩෙන් ඇවිල්ල අපිව වහගන්නව. වෙන එවුන්ට නොපෙනෙන්න වගේ. මගේ එක අතක් හැම වෙලේම නැවතුනේ ඒ ලස්සන පස්සෙ දාර හොයන්න. අනිත් අත ඉනට තරමක් උඩින් මස් ගොබයක් මිරිකාගෙන තිබුණෙ. හදිස්සියකදි කාර්යාල වෙලාවෙ ඩෝපමීන් උත්තේජකයක් ඕන වුණාම අපි වහං වෙනවා මුළු අස්සෙ. ඒ වෙලාවට මං ඒ බෙල්ල දිගේ දඟ කරද්දි අර රත්තරං මාලෙ අහුවෙනවා. ඒක හරිම කරදරයි. සති අන්තයේ නිදහසේ රතියේ වෙලෙන ලෙලෙන දවසට එයා ඒක ගලවලා ගෙදර තියලා එන්නෙ. අපි කතා කරන්න ඉඩක් හදාගන්නෙ අඩුවෙන්. මොකද අපි කතා කරපු දවසට අපි දුක්වෙනවා. ඊටපස්සෙ අපිට හීනියට බොන්න හිතෙනව. අපේ හීනි බීම, ගත තිරස් වෙනකංම නවතින්නෙ නෑ. මගේ දුක වෙනුවෙන් දුක් වෙමින් තවකෙක් බොන එක, මට හරිම ආදරණීය දෙයක් විදියට දැණුනා. ඒකයි මං එයාට ආදරෙයිද කොහෙද කියල මට හිතෙන්නෙ.
හැම එකාම කියනවා සල්ලිවලට බෑ ප්‍රශ්න විසඳන්න කියලා. ඒ කතා ගොඩක් වෙලාවට කිවුවෙ සල්ලිකාරයො. එවුවත් හරියට සල්ලිවලට වඩා මනුස්සකං වටිනවා මහත්තයො කියලා කියන බ්‍රෝකර් කෙනෙකුගෙ කතා වගේ තමයි. තනි බොරුව. මට නං දැනට තියෙන ප්‍රශ්න ඔක්කොම වගේ විසඳන්න රුපියල් කෝටි 7කට විතර පුළුවන්. වැඩියි තමයි. හැබැයි පුළුවන්. ඔය කතාව මං එයා එක්ක කියපු දවසෙ එයා හිනා වුණා. මං හිතන්නෙ එයත් හිතං ඉන්නෙ සල්ලිවලට විසඳන්න බැරි ප්‍රශ්නත් තියෙනවද කොහෙද කියල. මං ඉතිං මගේ මනෝ විකාර වෙන මිනිස්සුන්ට තේරුං කරන්න යන්නෑ. විශේෂයෙන්ම මං ආදරේ කරන එවුන්ට. එහෙම හිතුනම තමයි මට දැනෙන්නෙ මං එයාට ආදරෙයිද කොහෙද කියල.
එයාගෙ මාලෙත්, ඒ පෙන්ඩන්ට් එකත් ගානක් විදියට කියවුණේ රුපියල් ලක්ෂ 11ක් විතර. මට සාමාන්‍යයෙන් රන් ආභරණ මුතු මැණික් කියන්නෙ මූල්‍යමය වටිනාකමක් තියෙන දෙයක් විතරයි. වෙන ගතියක් නෑ. ෂහ් මේක ලස්සනයි කියලා මම ගෑනුන්ට බොරුවට කියල තියෙනව. හැබැයි ඒ බොරුවට. උන්ට උන්ගෙ තෝරාගැනීම් ගැන යම් කිසි ආශ්වාදයක් දෙන්න විතරයි. එදා එයා ඒ මාලෙ ගලවලා මගෙ ගාවට ආවෙ. ඒ කියන්නෙ එදා අපි ගුහා ගත වෙන දවසක්. ඒ ගුහා ගතවීමෙන් ලබන අමාඵලය ලබලා බොහොතකට පස්සෙ මගේ අත උඩින්ම ඇඟ පැත්තට පෙරලිලා එයා මට කිවුවා කතාවක්.
"මං හිතන්නෙ මට ඔයාට කෝටි 7ක් දෙන්න පුළුවන්"
ඒ වෙලාවෙ මං කියාගන්න දෙයක් නැතුව එයා දිහා බැලුවා. මගෙ තියෙනවා තරමක් නගරං හිනාවක්. ඒක දාලා නිකං ඉන්නවද? කෝටි 7 ගැන වැඩිදුර විස්තර අහනවද? ඒ කියපු දේ නෑහුනු ගානට ඉන්නවද? ඒ කියපු දේ විහිළුවට ගන්නවද? කියලා හිතාගන්න බැරුව මං එයා දිහාම බලං හිටියා. එයා ආයෙත් ඒ වාක්‍යයම කිවුවම මම එයාව ඉම්බා. මට ඒ වෙලාවෙනං මං එයාට ආදරෙයිද කොහෙද කියලා වැඩි වැඩියෙන් දැණුනා.
එදා දවසේ රතිය සතුටත් සැනසීමත් පිරුණු එකක්. වෙනදට අපේ රතිය තරමක් ශෝකය මුසු හැඟුම්බර දෙයක්. කපල් එකක් තමුන්ට එකට එක් වෙන්න තියෙන අන්තිම දවස වගේ ශෝකයක් හදේ තියාගෙන තමයි අපි වෙනදා මෛථූන්‍යක්කාරෙ ගිලුනෙ. එදා තිබුණා මේ සල්ලි නිසා සියළු ප්‍රශ්න විසඳිලා අනාගතේ එකට එක් වෙනවා කියන බළාපොරොත්තුව එක්ක අලුතෙන් යාළුවෙච්ච කපල් එකක තිබුණු සුන්දරත්වයක්. බොරු කියන්න ඕන නෑනෙ ඔළුව ඇතුළෙ හීන ටිකකුත් හැදුනා. එදා ඉඳන් අපි හිටියෙ ඊලාම් යුද්දෙ අන්තිම කාලෙ ආමි එකට සපෝට් කරපු අය හිටපු තරමෙ ත්‍රිල් එකකින්. හෙට ප්‍රබාකරන් මැරෙයිද? කියන බළාපොරොත්තුවෙන්. ඒ තමයි අදටත් මං එයාට ආදරෙයිද කොහෙද කියලා වැඩිපුරම දැණුනු කාලෙ.
අපි ප්ලෑන් කළා එයාලගෙ ගෙදරට නොදැනෙන්න කෝටි 7ක් පන්නන විදිය. ඔව් ඉතිං ඒ ගෙදර එහෙම මැච් එකක් ගහගන්න පුළුවන් තරමට වත්කමක් තිබුණු තැනක්. ජොබ් එකකට එන්නෙ ජොලියට, මාලයක් දාන්නෙ ඒක එයාගෙ ආච්චිඅම්මා මැරෙන්න කලින් තෑගි දීපු දෙයක් නිසා, නිවාඩුවට යන්නෙ ග්‍රීසියට, මම වේගෙන් වේගෙන් ගලවලා දාන්නෙ ඩිසයිනර් මේඩ් ඇඳුම්, එයා කකුලෙන් ඇදලා දාන්නෙ කස්ටම් මේඩ් සෙරෙප්පු, ඒ නිසා කෝටි 7ක් වටින දෙයක් හොයාගන්න එක ඒ ගෙදරින් අමාරු නෑ. හැබැයි බඩු හොරකං කරලා ඒක විකුණන්න තරමේ හොර හැකියාවක් මට තිබුණෙ නෑ. එනිසායි අපි දෙන්නා සල්ලි හොරකං කරන්න විදියක් ප්ලෑන් කළේ. ඒ ප්ලෑන් එක මට කිවුවෙත් එයා. මොකද මං ඒ ගෙදර බිං අඟලක් ගැනවත් දැනං හිටියෙ නෑ. කොටිම්ම ඒ හොරකම කළෙත් එයා. මං ඉතිං කළේ පිටිපස්සෙ ඉඳන් උරිස් දිගට එයාව මසාජ් කරපු එක. ඇත්තටම මට වෙලාවකට හිතුනා මං මේ මනුස්සයට ආදරේ කරන්නෙ සල්ලි නිසාද කියලා. ඒ අතරෙත් මං එයාට ආදරෙයිද කොහෙද කියලා හිතුනු වාර අනන්තයි.
එයාගෙ තියෙනව මැජික් එකක්. නවත්තන්නැතුව එයා ජීවිතේ ගැන කතා කරද්දි මට හිතෙනව මං ආදරේම ඒ කියවිල්ලට කියල. රති කාර්යයේ තියෙන ලාලිත්‍යය මට කියන්නෙම මං මේ ගෑනිට ආසම මේක නිසා කියලා. සල්ලි හොරකම ගැන කතා කරන හැම වාරෙකම මම මෙයාට ආදරේ සල්ලි නිසා විතරයි කියලා මගෙ හිත මාව වැරදිකාරයෙක් කරනවා. ඔහොම මගේ සිතුවිලි මගේ හිත ඇතුළෙම හැප්පෙද්දි දවසක එයා මට දෙනවා සල්ලි. මාව තව නොදන්න මනුස්සයෙක් එක්ක අරගෙන ගිහින් මගේ බැංකුවෙ එකවුන්ට් එකට දාලා දුන්නෙ. එයා බැංකුවෙන් එළියට එද්දි මට කිවුවා එයාගෙ හිතට හරිම නිදහසක් දැනෙනවා කියලා. මටත් ආසයි කාටහරි කෝටි 7ක් දුන්නට පස්සෙ මගේ හිතටත් නිදහසක් දැනෙයිද කියලා දැනගන්න. මං නං කීයටවත් ඒ තරං අත්හැරීම පුරුදු නොකරන බව මං දැනගෙන හිටියා. මට පොදි ගහන්න ආසාවක් තිබුණෙ නෑ. හැබැයි මං තියෙන ඩිංග අතාරින්න කැමති වුණෙ නෑ. ඊටපස්සෙ කාලයක් මම ගෙවුවේ තනියම. ඒ කාලය පුරාවටත් මට මං එයාට ආදරෙයිද කොහෙද කියලා නිතර හිතුනා.
හැබැයි ඊට වඩා වගකීම් තිබුණා අර කෝටි 7න් ඉෂ්ට කරන්න. ආයෙත් මගේ පරණ පුරුදු ආහාර පිළිවෙලත්, බීමත්කමත් ජීවිතේට ආව. වගකීම් ඉෂ්ට කළාට පස්සෙත් ජීවිතේ ගේමක් ගහගන්න තරමට සල්ලි අතේ තිබුණා. ඒත් මම රස්සාව දිගටම කළා. රස්සාව කරනව. උදේට කළු කෝපි එකක් බොනව. දවල්ට කිරි තේකක් බොනව. තේකෙ ඕල්ඩ් රිසර්වු මිලි ලීටර් පනහක් තියෙනව. හවසට බොන තේකටත් ඕල්ඩ් රිසර්වු පනහක් වැටෙනවා. දවල් කෑමක් නෑ. උදේට යාලුවො ගේන දෙයක් කනව. රෑට ගෙදර යන ගමං හොඳට කනව. කාලා ගෙදර ගිහින් හොඳට බොනව. කිසිම මිතුරු හමුවකට යැවෙන්නෙ නෑ. ගියාම අරක්කු වීදුරු තුනක් වැටිච්ච ගමන් උන් මගේ දරුවා ගැන කතා කරන්න ගන්නව. මම කැමති වුණෙ නෑ මගෙ කසාද ජීවිතේ ගැන, මගෙ දරුවා ගැන කතා කරන්න. මම රෑට නීට් අරක්කු වීදුරු දෙකක් විතර බොද්දි ගෑනි මගේ හීන ලෝකෙට එනව. එයයි මායි දරුවට වෙච්ච දේ ගැන කතා කරලා කම්පා වෙනව. මම දරුවා ගැන කතා කරන්න කැමති වුණේ මගේ ගෑනි එක්ක විතරයි. කොටිම්ම මම ඒ කාලකන්නි කතාව ලියලා තිබ්බට උඹලට වත් පෙන්නන්නෑ. කොච්චරවත් මං එයාට ආදරෙයිද කොහෙද කියලා හිතුනත් මං එයාටවත් දිගින් දිගට මේ දේවල් කිවුවෙ නෑ.
එදා මට මගදිම ජින් චුට්ටක් බොන්න හිතුණු දවසක්. බම්බලපිටියෙ ඇට්ලැන්ටික් එකෙන් ඩ්‍රයි නූඩ්ල්ස් එකක් දාගෙන ජින් බාගයක් ගහලා එළියට බහිද්දිම තමයි උන් මාව ඉස්සුවෙ. ගැහුවා මට නොසෑහෙන්න. වාහනේ අරගෙන යද්දිත්, නොදන්න තැනකට ගෙනිච්චට පස්සෙත්. වෙන උන්ව උස්සන්නෙ කප්පං ගන්න, විස්තර දැනගන්න. මාව උස්සලා තියෙන්නෙ ගහන්නද කොහෙද? ඒ තරමට ගැහුවා. රිදුනා හොඳටම. අටෝරාසියක් වැරදි කරලා තියෙන නිසා මේ මොන වැරැද්දට ගහනවද කියන සිතුවිල්ල විතරයි මගේ හිතේ තිබුණෙ. ජින් බාගෙ සොමියත් මේ තරමට හිත පාලනය කරගන්න හේතුවක් වුණා වෙන්න පුළුවන්. ගානකට බිවුවම මට එනවා මුළු ලෝකය ගැන ම මහා ආදරයක්. ඒ ආදරය පිටින්ම මං උන් දිහා බැලුවා. උන් මගෙන් ප්‍රශ්න ඇහුවා ගොඩක්. මං ඒවට ඇත්ත කිවුවා. මොකද මට හරිම අමාරුයි. තවත් ගුටි කන්න බෑ. මුලින්ම ප්‍රශ්න ඇහුවනං මං මුලින්ම ඇත්ත කියනවා. මං දෙන උත්තර එකෙක් වීඩියෝ කළා.
උන් - ඇයි කෝටි 7 හොරකං කළේ?
මං - සල්ලි ඕන වුණා මට වැඩකට.
උන් - කෝටි 7ක්?
මං - ඔව්.
උන් - මොකද්ද වැඩේ?
මං - ඒ කතාව මං කාටවත් කියන්න කැමති නෑ.
ඊටපස්සෙ මට ආයෙ ගැහුවා. මං පුළුවන් තරමක් උන්ට පැහැදිලි කරන්න හැදුවා කොච්චර ගැහුවත් මං ඒක කියන්නෙ නෑ කියලා. මං උඹලටත් කිවුවනෙ උඩදි. මං ඒක කියන්නෑ. ඒක තේරුං අරගෙනද මන්දා උන් මට ගහන එක ටිකකට නවත්තලා ආයෙ බිම ඉන්දුවා. ආයෙත් කැමරාව මගෙ මූනෙ.
උන් - ඇයි ඒ හේතුව නොකියන්නෙ?
මං - ඊටපස්සෙ මාව හිරේ දාවි.
උන් - හිරේ යන්න බය උඹද සල්ලි හොරකං කළේ?
මං - නොකර බැරි වුණා
එතනින් පස්සෙ උන් මට ගැහුවෙ නෑ. මාව අරගෙන ගියා ආයෙ වෙනිං තැනකට. එහෙ ගිහින් පැයක් විතර යද්දි උස මහත මනුස්සයෙක් ආවා. ඒ අරයගෙ තාත්තා. මට කෝටි 7ක් දන් දීලා මාව මේ කාලකන්නි හීනෙන් බේරගත්තු දෙයියා. එයා ඇහුවෙ කෝටි 7 කෝ? කියලා. ඒකට උත්තර නොදුන්නොත් ගුටි කාගෙන ඉවසන් ඉන්න තරමට ජින් ඇඟේ තිබ්බෙ නෑ. හොඳටම රිදෙනව ඇඟ. ඒ කෝටි 7 අදාළ තැන් කිහිපයකට බෙදලා, මටත් තරමක් වෙන් කරගෙන, ඒක මාස් පතා මගේ අතට පොළියක් එන විදියට ඉන්වෙස්ට් කරලා, ජීවිත ගේම ජයගෙන දවස් තුනකුත් ගියාට පස්සෙ තමයි මුං මාව ඉස්සුවෙ. කොටිම්ම මට මේ මනුස්සයගෙ දුව හම්බුණේ නෑ සතියකින්. අනේ ඒ ලස්සන තන් ආයෙ ඇත්තං කියලා හිතුණා මට ඒ වෙලාවෙත්. මං එයාට ආදරෙයිද කොහෙද කියලා හිතුන මට ඒ වෙලාවෙත්.
කෝටි 7 ගැන ඇත්ත කියලා බෑ. මං ජීවිතේ නිදහස ලබාගත්තෙ ඒ කෝටි 7න්. දැන් ඒක කිවුවොත් ඉතුරු ටිකක්වත් මුංට දෙන්න වෙයි කියන බය මගෙ හිතේ තිබුණා. නොකිවුවොත් ගුටි කන්න වෙනවා. එනිසා මම ඇත්ත බව හිතෙන බොරුවක් කියන්න උත්සාහ කළා. අපි දෙන්නට සාමාන්‍ය කපල් එකක් වගේ හෝටල් කාමර ගානෙ යන්න පුළුවන් වුණෙ නෑ. ඒවා තමයි සල්ලිකාර කෙල්ලෙකුට ආදරේ කරද්දි තියෙන ප්‍රශ්න. අපි ගියේ එයාගෙ කසින් කෙනෙකුගෙ වහලා දාල තිබුණු අපාට්මන්ට් එකකට. ඒ ගෙදර සෝෆා, පෑන්ට්‍රි ටොප්, ඇඳන්, බිම, බිත්ති දිගේ අපේ ආදරේ දෝරෙ ගලලා තිබුණා. දවසක් එයා මට කනට කරලා කිවුවා, මට ඔයාව හම්බුණේ නැත්තං මං ඔයාව මරලා, කෑලි කපලා, පුච්චලා, ඒ අළු ටික මේ කොණේ කබඩ් එකේ හංගලා තියනවා කියලා. මට හිනාවක් ගියා. මං කිවුවා අර මනුස්සයට එයාගෙ කෝටි 7 හංගපු තැන. දැන් ඉතිං පැය දෙක තුනකටවත් ගුටි නොකා ඉන්න පුළුවන්. ඒ වගේම එතන කබඩ් එකේ සල්ලි නෑ කියලා දැනගත්තම, අනුන්ගෙ තැනක් නිසා කවුරුහරි ගන්න ඇති කියල කියන්නත් පුළුවන්. එහෙම හිතලා අනුකම්පා කරලා මුං මාව අතෑරියොත් මට ගිහින් නිදහසේ ජීවත් වෙන්නත් පුළුවන්. මරලා දැම්මොත් මේ ජීවිතෙන්ම නිදහස් වෙන්නත් පුළුවන්. ඒත් ඒ විදි දෙකෙන්ම මට එයාව නැති වෙනවා. මට මං එයාට ආදරෙයිද කොහෙද කියලා ආයෙත් හිතුනා.
පැය දෙකක් විතර මට නින්ද යන්න ඇති. මාව ඇහැරුවා. බැමි ලිහුවා. වතුර දුන්නා. මරන්න වෙන්නැති යන්නෙ කියලා මගෙ හිත කිවුවා. කොහොමත් මං හැමදාම නරකම දේට හිත හදාගෙන ඉන්න මිනිහෙක්. මාව අරගෙන ගියා. මට ඇඳගන්න මගේම ඇඳුමක් දුන්නා. ඒ කියන්නෙ මුං මගේ ගෙටත් පැනලා. මං ඇඳුමක් දාගෙන ගියේ හැමදාම ඈතින් බලලා ගියපු ලොකු කළු ගේට්ටුවක් තියෙන එයාගෙ ගෙදරට. එයත් හිටියා. මං හිතුවා ගුටි කාලා තඩිස්සි වෙලා තිබ්බ මගෙ මූන දැක්කම එයාට දුක හිතෙයි කියලා. එයා හිටියෙ තරමක ආඩම්බරකාර හිනාවකින්. මං හිතින් වැටුනා ඒ හිනාව දැකලා. දුව කිවුවලු, එයයි මායි ආදරෙයි කියලා. දුව කිවුවලු කෝටි 7ක් හොරකං කළේ, බැඳලා ගියාට පස්සෙ එයාට මේ තිබ්බ සැප ජීවිතේ තරමක් දුරට හරි ලං කරන්න හිතාගෙන හිටපු හින්දලු. මට එයාට තරං සල්ලි නැති නිසාත්, මට දැන් ගෑනියි දරුවයි නැතත් මං කසාද බැඳපු මිනිහෙක් නිසාත්, මට දුවව බඳින්න නොදේවි කියලා අපි දෙන්නා කතා වුණාලු. ඒකලු මේක කළේ. මං ඒ බොරුව ඇත්ත කියලා පිළිගන්න ඔළුව වැනුවා. වනලා බොර වෙච්ච උගුරෙන් වතුර ටිකක් ඉල්ලුවා. එයා මට වතුර එකක් ගෙනත් දුන්නෙ නෑ. එන්න කියලා වතුර බොන්න එක්කගෙන ගියා.
එයා - අර ඔයාට දැන් කියපු ටිකට තාත්තා මගෙන් උත්තර ගත්තු දවසෙම තමයි, මම ඉතුරු කෝටි 7 ගෙනිහින් අර කබඩ් එකේ හැංගුවේ. මං හිතුවා ඔයාගෙන් තැනක් ඇහුවොත් ඔයාත් එතන ම කියයි කියලා. මොකද මට ඔයාව හම්බුණේ නැත්තං ඔයා නවතින්නෙත් ඒ කබඩ් එකේනෙ.
මම - එතකොට තව කෝටි 7ක් කොහෙන්ද ඔයාට?
එයා - කෝටි 7ක් නැති වුණාට ගානක් නැති ගෙදරකට, කෝටි 14ක් දැනෙන්නෙත් නෑ. කෝටි 7 නැති වුණා කියලා එයාලට දැනෙන්න ඇරියෙත් මම ම තමයි. ඔයාව මගෙ ළඟට ගන්න වෙන විදියක් මට දැණුනෙ නෑ. ගොඩක් ගැහුවද ඔයාට?
2023 මැදින්
0 ක්ම තියෙනවා අදහස්:
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!