කාලෙකට පස්සෙ එයයි මායි හම්බුණේ ඊයෙ වේදිකා නාට්‍යය ඉවර වෙලා එද්දි දොර ගාවදි. මං හිතන්නෙ මාස තුනකට විතර පස්සෙ. හිනා වුණා එයත්. මාත් හිනා වුණා. ඒ හිනාව දැක්ක ගමං මට හිතුණේ මෙයා නාට්‍යය පටන් ගන්න කලින් මාව දැක්කා නම් ළඟින් වාඩි වෙන්න හිතාගෙන ටිකට් ගන්න තිබුණු බව, නාට්‍යය පටන් ගන්නකං කතා කරන්න තිබුණු බව, නාට්‍යය අතරේ හෙමින් අත අල්ලන්න තිබුණු බව, ඉවර වෙන වෙලාවෙදි මොනවාහරි කන්න යමුද කියලා අහන්න තිබුණු බව, කාලා බීලා ගෙදරට ගෙනියගන්න වචනයක් දාන්න තිබුණු බව. ඒ ලස්සන හීන ඔක්කොම කැඩිලා බිම වැටෙද්දි එයා හිටියා මගේ ගාව. තාමත් ඒ මම ආසා කරන හිනාව ඒ විදියටම. මුලින්ම ප්‍රශ්නෙ ඇහුවෙ මම.
මං හිතුවෙ නෑ ඔයා මේ වගේ ඩ්‍රමා එකකට කැමති වෙයි කියල.
කැමති දේවල් ම නෙමෙයිනෙ අපි බලන්න ඕන
හ්ම්ම්ම්... හැමදෙයක් ගැනම ඔහොම හිතනවනං කොච්චර ෂෝක්ද?
අනේ පරණ රණ්ඩු ඇදලා ගන්න එපා!
හරි හරි...
මොකද දැන් කරන්නෙ?
බඩගිනියි මොකුත් කාලා නෑ. මොනවහරි කන්න යමුද?
අන්තිමට සිද්ධ වුණේ මම මෙයාව ඩ්‍රාමා එක පටන්ගන්න කලින් දැක්කනං, මේ කතාව අද දවසෙ නවතියි කියලා හිතපු තැනකටම මේ කතාව තල්ලු වෙච්ච එක. හිතට අප්‍රමාණ සතුටක් දැණුනා. හැමදාමත් මගේ ආසාව විදියට මම එයාගේ ආසාව ප්‍රකාශ කළා. ඒනිසා අපි ගියා කන්න මසාල තෝසෙ. ඒ එයා ආසම කෑම. කඩලසෝයාමීට්අල දාපු මිරිස් හොද්දත්, කැරට්වට්ටක්කාපරිප්පු දාපු කිරි හොද්දත්, කොළ පොල් චට්නියත්, රතු ළූනු චට්නියත් පිඟානට හලාගත්තා. කර-කර ගෑවෙන්න සද්දෙ දෙන පේපර් තෝසෙ එක මැද අල බැදුම තිබ්බා දුං දදා. අපි මුලින්ම අල නැති තෝසෙ කෑල්ලක් කොළ සහ රතු පොල් චට්නි අනුපානුවෙන් කෑවා. දෙවැනි කට අල නැති පේපර් තෝසය ගිල්ලපු කිරි සහ මිරිස් හොදි අනුපානුවට. තුන්වැනි කටේ ඉඳන් මේ හැමදේම එකේක සංකලන විදියට පේපර් තෝසෙ මැද හිර වෙලා තිබ්බ අලත් එක්ක බඩට වැටුනා. අතරින් පතර පරිප්පු වඩයක් මසාල තෝසෙ කටේ "මවුත්ෆීල්" එකට වෙනසක් ගෙනාවා. අතරින් පතර ගිනි ගහන ප්ලේන්ටි උගුරක් මේ ඔක්කොම හෝදලා දිව නැවුම් කළා. සම්පූර්ණයෙන් කාලා ඉවර වෙලා උල් වච්ච බඩෙන් නැගෙන අපහසුවේ පහසුව සහ දිව ඉල්ලන පිපාසය නිවන්න අපි මිරින්ඩා බිවුවා. එයා මං දිහා හිනාවෙලා බැලුවා. බඩ පිරුණම ගෑනුන්ට දැනෙනව අමුතු සන්තෝසයක් කියලා මට ඉස්සර හිතිලා තිබුණා. පසුකාලෙක මම තේරුං ගත්තා, බඩ පිරුණම ගෑනුන්ගෙ හිතේ තියෙන ස්ට්‍රෙස් එකක් අයින් වෙන බව. මගේ අදහස ඉස්සරහ කාලෙක තවත් වෙනස් වෙන්න පුළුවන්.
කකා යන්න පැණිරස දෙයක් ගමු කියලා හිතුවත්, කඩේ කැෂියර් කූඩුව ගාවට එද්දි ගොඩගහලා තිබ්බ උඳු මුරුක්කු පැකට් දැක්කම පැණිරහ ආසාව නැති වුණා. එයා ගත්තා හාරසීයෙ ලොකු මුරුක්කු පැකට් දෙකක්.
එකක් මට එකක් ඔයාට
මං හිතුවා දෙකම අපි දෙන්නට කියලා
ඒකෙ වෙනස මොකද්ද?
වෙනස තමයි ඉතිං, මං හිතුවා අපි අද ඕක කයි කියලා
තව කන්න බඩේ ඉඩ තියෙනවද?
බඩේ ඉඩ එනකං ටිකක් ඉමු
කොහෙද?
අපේ ගෙදර යං. ජින් බෝතලේකුත් තියෙනව කඩපු නැති.
මේක මට බෑ කියන්න බැරි විදියට ඔයා ඇහුවෙ
ඒ විදියට තමයි එයයි මායි අපේ ගෙදර ආවෙ. ජින් බෝතලේ කැඩුවා. ඒක නිල් පැහැ රට ජින් බෝතලයක්. අපි ඉතිං ඔය ජින්වලට ටොනික් දාන්න තරං රසවන්තයො නෙමෙයි. දෙහි පෙත්තයි අයිස් වතුරයි විතරයි අපි ඉස්සර ඉඳන්ම ජින්වලට දැම්මෙ. බයිට් එකට ගත්තෙ ලුණු සහ ගම්මිරිස් වතුරේ ගිල්ලා තියපු, දිගු තීරු කපපු පිපිඥ්ඥා. අඩුපාඩුවට සද්දෙට හපන්න අපිට උඳු මුරුක්කු පැකට් දෙකකුත් තිබ්බා. ලෑම්ප්ෂේඩ් එක යට නයිට්ස්ටෑන්ඩ් එකේ තිබ්බ කොන්ඩම් පැකට් එකේ තනි කොණ්ඩම් එකක් ඉතුරු වෙලා තිබුණු බව මම සැකහැර දැනගෙනම තමයි, ජින් බෝතලේ කැඩුවෙ. එදා රෑ ගැන මට ලොකු බළාපොරොත්තු තිබුණා.
ජින් බෝතලේ මැදක් යද්දි අපි හිටියෙ මර්වින් පෙරේරා කියන උත්තමයාගෙ "කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී" අහන ගමං. ඒ වෙලාවෙ මේ ලෝකෙ මං වැඩිපුරම ආදරේ කරපු සහ කරන සහ කරන්න බළාපොරොත්තුවෙන් ඉන්න ගෑනිගෙ ඔළුව තිබ්බෙ මගේ වම් උරිස්ස උඩ. මගෙ දකුණු අත ඇයගෙ පොල්කා ඩොට් ගවුම අතරින් රිංගලා සිනිඳු කලව අතගාන ගමං. මගේ වම් අතේ තිබුණු අඩක් කාපු පිපිඥ්ඥා කෑල්ලෙන් මං එයාගෙ නිරුවත් අත් බාහුවේ සීතල රටා අඳින ගමං හිටියෙ. මගේ මුව රස දුන්නෙ මං කැමතිම මධු රසයෙන්. මගෙ හිතේ තිබ්බෙ මම කැමතිම මත් ගතිය. ඒ වගේ මොහොතක හිමසිල මුදුනත සිටියත් මහද ගිනිගන්නවා තමයි.
අපි මේ ආයෙ යන්න හදන්නෙ නවත්තපු ගමනක් නේද?
ගමන් නවතින්නෑ. පෙට්‍රල් ඉවර වෙනව, වාහන කැඩෙනව, මිනිස්සු බහිනවා.
පණ්ඩිත වෙන්නෙපා ඔච්චර
මගෙ මොන පණ්ඩිතකමක්ද මැණිකෙ?
හරි දැන් ඔයා හිතේ හිරකරං ඉන්න දේ අහන්න මගෙන්
කුක්කු චුට්ටක් බිවුවට කමක් නැද්ද?
ඔයාගෙ ජීවිතේ ඔයා හුරතල් විදියට කියන එකම දේ ඕකම විතරයිද කොහෙද?
ජින් මතින් එන පිපාසයෙන් රෑ මැද ඇහැරෙන්න හදද්දි ඇගෙ කකුලක් මගේ නිරුවත් යටිකය වෙලාගෙන තිබුණා. මගේ නිරුවත් උඩුකය ඇගේ සිනිඳු අත්බාහුවලින් බැඳගෙන තිබුණා. මම හෙල්ලුණේ නෑ. පිපාසයෙන්, මත් බවින්, ප්‍රීතියෙන් මම මගේ කාමරේ ලී පටි සිවිලිම දිහා බලාගෙන හිටියා නිසොල්මනේ. අත දාලා ඇඳ කොණේ තිබ්බ නයිට්ස්ටෑන්ඩ් එකෙන් ෆෝන් එක ගත්තා. මෙසේජ් තිබ්බා ගොඩක්. සාමාන්‍යයෙන් මම කොයිතරම් වැඩ රාජකාරි සහ කොයිතරම් වැදගත් දේ මැද හිටියත් නොටිෆිකේෂන් පැනල් එක හිස් වෙනවට කැමති මිනිහෙක්. එනිසා මම එකින්එක කියවන්න බලන්න ගත්තා. කෝල් මොකුත් නෑවිත් තිබීම හිතට සැහැල්ලුවක්. ගෘප් මෙසේජ් කීපයක් උඩින් යටින් බලලා අයින් කළා. ඉඩං විකුණන, ඔෆර් දෙන මෙසේජ් ටිකත් නොබලම තල්ලු කළා. ඉතුරු වුණේ යාළුවොන්ගෙ ආතල් ටිකක් එක්ක නොදන්න නම්බර් එකකින් මෙසේජ් එකක්.
තව මාස තුනක් ඇතුළත අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවානං, ඔයා පුරුදු වෙන ස්කිල් එක මොකද්ද?
**************************************
මගේ හිතට බයක් නං දැනුනෙ නෑ. ඒත් මං කල්පනා කළා ටිකක් ඒ ආපු මෙසේජ් එක ගැන. තව ජීවත් වෙන්න තියෙන්නෙ මාස තුනයිනං මට ඒකට ඇතිවෙන්න සල්ලි තිබුණා. ඒ කියන්නෙ ඉස්සරහා මාස තුන මං හම්බුකරන්න ඕන නෑ. මෙයත් මාත් එක්ක තව මාස තුනක්වත් යනකං තරහා වෙන එකක් නං නෑ. කොහොමත් අපිට රණ්ඩු නොවී මාස පහක් විතර ඉන්න පුළුවන් කියල මීට කලින් රණ්ඩු වෙවී... යාළු වෙවී... දුව පැන හිටපු කාලෙ ඉඳන් මං තේරුං අරං තිබ්බා. මං මේ ඉගෙනගන්න ස්කිල් එක ඉක්මනට ඉගෙනගන්න පුළුවන් වෙන්නත් ඕන. මොකද මට ඉතුරු මාස තුනක් විතරයි. ස්කිල් එකෙන් වැඩක් ගන්න කාලයක් තියෙන්නත් එපැයි. ඒ මාස තුන ඇතුළෙ උපරිම ආනන්දයක් විඳිය හැකි ස්කිල් එකක් වෙන්නත් ඕන. නැත්තං මගෙ මහන්සිය අපරාදෙ. මට හිතුනෙ නෑ හොඳ උත්තරයක්. ඉතිං මං ඒ මෙසේජ් එකට රිප්ලයි එකක් දැම්මෙ නෑ. රිප්ලයි දාන්නත් මං ඒ කවුද කියලා දන්නෙත් නෑ. ඒ මනුස්සයා අහපු දේ වටිනාකම නිසාම, මට ඒ මනුස්සයා කවුද කියල හොයන්නත් අමතක වුණා.
උදෑසන ගෙවුනෙ රෑ නවත්තපු තැනින්. එතනින් දවස පටන්ගත්තම ඇඟට තිබ්බෙ පුදුම උපදවන සුළු නිදහසක් එක්ක උද්යෝගයක්. කෑම හදන්න පටන්ගද්දි තමයි UFC මැච් පටන්ගන්නව කියල මතක් වුණේ. දෙන්නම ආසා නිසා මැච් බලන්න වාඩි වුණාම කෑම උයන්නැතුව ඕඩර් එකක් දාන්න හිතුවා. ඉන්දියන් කෑම ඊයෙත් කාපු නිසා අපි අද උදේට ගත්තෙ රතු බත් පාර්සල් දෙකක්. බත් කන ගමං මත්බව කන්ටිනියු කරන්න බියර් ටිකක් ෆ්‍රිජ් එකෙන් ගත්තා. එයා බෑග් එකෙන් ඔතපු ජොයින්ට් එකක් ගත්තා. බාගෙට කාලා ෆ්‍රිජ් එකට දාපු පුහුල් දෝසි පැකට් එකකුත් ළඟට ආවා. මේ ඔක්කොම වෙද්දිත් මගේ හිතේ තිබ්බෙ ඊයෙ ආපු මෙසේජ් එක ගැන. මම එයාට ඒක කිවුව. එයාගෙ මූනෙ බයක්වත් පුදුමයක්වත් නෑ. එයාගෙ මූනෙ තිබ්බෙ හිනාවක්.
ඊයෙද ඕක දැක්කෙ?
ඊයෙ තමයි ඕක ආවෙ
බොරු! ඕක මමනෙ එවුවෙ
ඒ නම්බර් එක?
මගෙ අලුත් ඔෆිස් නම්බර් එක ඒ...
මම අතට ගත්තා ෆෝන් එක. ඒ නම්බර් එකට කෝල් කරද්දි එයාගෙ බෑග් එක ඇතුළෙන් ෆෝන් එකක් රිං වුණා. ඒ මෙසේජ් එක ඇවිත් මාස 3ක්. හැම මොහොතෙම නොටිෆිකේෂන් හිස් කරන මට ඇයි මේක නොපෙනුනේ. නොපෙනී අයින් වෙලා තිබිලා මෙයා ගෙදර ආපු දවසෙම මේක මතු වුණේ කොහොමද? මගේ හිතේ ප්‍රශ්න ගොඩක් තිබ්බා. මං ඒවා එයාගෙන් අහලා නිකං හිටියෙ. එයා දුන්නා පිළිගන්න පුළුවන් විදියෙ උත්තරයක්.
මාස තුනකට කලින් මම ඔයා ළඟ ඉද්දිමයි ඔය මෙසේජ් එක එවුවෙ. ඉතිං මම ම ඒ මෙසේජ් එක අන්රීඩ් විදියට ම හයිඩ් කළා. නොදන්න නම්බර් එකක් නිසා ඕක ඔයාට නෝට් වෙන්නෙත් නෑනෙ. ඊයෙ ගෙදර ආවම රෑ මං ඒ චැට් එකට ම රිප්ලයි එකක් දාලා ඩිලීට් කළා. එතකොටයි ඔයා ඒක පොපප් වුණු නිසා බැලුවෙ. මගේ ළඟින් බැහැලා ගිහින් ඒ නම්බර් එකට කෝල් කරයි කියලා තමයි මම ඔයාව රෑ බදාගෙන හිටියෙ.
ඇයි ඉතිං මෙහෙම දෙයක් කළේ? කියලා මං ඇහුවම එයා හිනාවුණා. එතකොට ටීවී එකේ පොර බදන්නෙ නම නොදන්න අලුත් කොල්ලො දෙන්නෙක්. එයා මොකුත් නොකියා බෑග් එක බැලුවා. බෑග් එකේ වැස්ලීන් දාන පොඩිබෝතලේ මගෙ අතට දීලා එයා ආයෙත් හිනා වුණා. ඊයෙ දවසම කන බොන වෙලාවට මේක තිබ්බෙ එයා ගාව.
ඔයා දැන් ඉගෙනගන්න ස්කිල් එකක් හිතුවද?
මට ඉගෙනගන්න තරං ස්කිල් එකක් මොකද්ද කියලා හිතුනෙ නෑ.
ආයෙත් එයා හිනා වුණා. ඒක මහ නරුම හිනාවක් කියලා දැන් තමයි මට තේරෙන්නෙ. මට හිතාගන්න බෑ. ජොයින්ට් එකයි බියර් එකයි, ඊයෙ රෑ ජින් එක්ක වැඩ කරලා ඔළුව බර කරලා වගේ. එයා නං සැහැල්ලුවෙන් හිටියා කියලා තේරුණෙ. ඒ මදිවට මේ ප්‍රශ්නෙ මගේ හිත පුච්චනව. ඒකයි ඒකටත් එයාටම උත්තර දෙන්න ඉඩ දුන්නෙ.
ඔයාට ඉගෙනගන්න තිබ්බ ස්කිල් එක තමයි මගෙත් එක්ක ඉන්න තරං සැහැල්ලුවෙන් අනිත් ගෑනු එක්ක ඉන්න එක. ඒක ඔයාට කියන්න මට ඕන වුණා. ඒත් ඔයා අනිත් ගෑනු එක්කත් මෙහෙම ඉන්න හුරු වෙයි කියල මට ම පස්සෙ ඊරිසියා හිතුනා. අනික මටත් දැන් හිටියා ඇති වගේ. ඔයාත් ඒක නිතරම කියනවනෙ. ඔයාටත් හිටියා ඇති කියලා. ඔයාට ඉගෙනගන්න ඉතුරු ස්කිල් එක මම ඔයාට මාස තුනකට කලින් කිවුවා. ඔයා ඒක දැනගනිද්දි ඒකට පරක්කු වැඩියි. දැන් ඉතිං අපි හිටියා ඇති. ඔහොම ඇළවෙන්න මගෙ උකුලෙන්. ඔයාට තව ටික වෙලාවක් තියෙනව ඕන නං තව එක කතාවක් ලියන්න.
එයා වැස්ලින් බෝතලෙන් ක්‍රීම් ටිකක් අරං මගේ යටි තොලේ ගෑවා.
කැමති නං රහ බලන්න.
2 ක්ම තියෙනවා අදහස්:
Its a good one mate...
🤗💕👌
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!