උඹෙයි මගෙයි යාළුකම ඇතිවුනේ කොහොමද කියන එක දන්නෙ උඹත් මමත් විතරක් වුනාට ඒක තාමත් කවුරුත් නොදන්නෙ උඹෙත් මගෙත් යාළුකම අප්‍රසිද්ධ නිසා වෙන්නැති. අපි ඉස්කෝලෙදි මුණගැහිච්ච යාළුවො නෙමෙයි. මොරටුවෙදි මරදානෙදි ටොරිංටන් වගේ කිසිම තැනකදි උඹත් මාත් මුණගැහිල නෑ. අවුරුදු තුනක් පරණ අපේ යාළුකං මේ විදියට එළියට ඇදෙන්නෙ, උඹත් "අටවක පුත්තු" ඇතුළෙදි ලියනගේ අමරකීර්ති දමයන්තගෙ ඔළුව ඇතුළෙ මවපු අඩහඳයා වගේමදෝ කියලා මට තාමත් හිතෙන නිසා. මගේ ජීවිතේට මෙච්චර අප්‍රසිද්ධ යාළුවෙක් මට ඉඳල නෑ වගේම උඹ තමයි මම මේ ජීවිතේ රැකපු ලොකුම රහස වෙන්නෙත්. මේ වෙද්දි උඹ මැරිල ගිහින්. ඉඩක් ලැබෙන මුල්ම මොහොතෙ මං උඹෙ පෙට්ටි ගත වෙච්ච රූපෙ බලන්න එනවා. මොකද්ද ගේන්න ඕන පොත? උඹට එහෙදි මෙහෙ වගේ නිහඬ විප්ලව කරන්න වෙන එකක් නැහැ. එනිසා ගෙනිහින් කියවපං! බුකොව්ස්කිගෙ "පෝස්ට් ඔෆිස්".
මං ගෑනුන්ට වටිනාකමක් දීල සැලකුවා. ඒත් උඹ ඒකට කැමතිවුන්නෑ. උඹ, උඹේ කෙටිකතා ඇතුළෙදි මගෙත් එක්ක ජීවත්වෙච්ච මං උඹට කියල තියෙන ගෑනුන්ගෙ චරිතවල කුණුම පැත්ත විතරක් වැමෑරුව. උඹට මතකද මං පපු කැවුත්ත හූරගෙන ආදරේ කරපු වෙනින් එකෙක්ට අයිති ගෑනි. මං ඒකිගේ පණිවිඩයක් නැති එක ගැන වද වෙද්දි "උන්ට ඕන ආදරේ විතරයි. මිනිහගෙන් අඩුවෙද්දි උඹෙන්. නැත්තං ආපහු මිනිහගෙන්. වැඩි ප්‍රතිශතේ නීත්‍යානුකූලෙට. උන් ආදරේට නෙමෙයි ආදරේ, ආරක්ෂාවට" උඹ මහ නැහැදිච්ච විදියට කිව්ව. උඹේ මහ දෙපිටකාට්ටු කතා තිබ්බ. මගේ ගෑනි මං අරක්කු බොනවට මොකුත් නොකිය හිටපු එකට උඹ බැන්න. "ඒකිට ඕනකමක් නෑ". ඒත් උඹ පොදුවේ ගෑනු වරිගෙටම බනිද්දි, ගෑනුන්ගෙ අරක්කු විරුද්ධෙ හේතුවක් කරගත්ත. උඹ හිතුවෙ මගේ පැත්තෙං විතරයිද? ඒවගේම, අහවල් එකටද? ආදරේට ඔච්චර බයින උඹ නන්දා මාලිනීගෙ හද විළ කළඹන, ආසම සින්දුව කරගත්තෙ.
අපේ ජීවිත වල අපි එක්කහු වෙලා කරපු බැරෑරුම්ම රාජකාරිය, උඹෙත් මගෙත් ජීවිත වල තනි තනියෙනුත් කරගහපු බැරෑරුම්ම ප්‍රශ්නෙ වෙන්නැති. ඒ රාජකාරිය කට්ටිය තවමත් හොයන, මිනිස්සු නාමමාත්‍රිකව තරහා වැඩක් වෙච්ච එක අපිට ඒ දේ දිගටම කරන්න කොච්චර හයියක් දුන්නද?. ඒකෙන් ආණ්ඩු හෙල්ලුනාද?, කට්ටිය තරහ උනාද කියන එක අපි තාම දන්නෙත් නෑ මචං. ඒක දැනටත් නැවතිලා නිසා, උඹේ මරණින් පස්සෙ ඒකට ආපහු අමුතුවෙන් නවතින්න දෙයක් නෑ. උඹේ මරණෙ අභිරහස් එකක් විත්තිය දන්නෙ උඹත්, උඹව මරවපු එකත් මමත් විතරයි. ඌ තාමත් නොදන්න දෙයක් තියෙන නිසා, ගිය සතියෙත් පුංචි බොරැල්ලෙදි ඌ මා එක්ක හිනාවුනා.
ඔක්කොම ඉවර වෙලා මචං. මිනිස්සු දැන් හිනාවෙවී. මාත් උං එක්ක හිනාවුනා. මං ටිකක් බිවුව. මේ කතාව ලිව්වෙ දවස් දෙහෙකට. ඩී නයින්ටියෙන් වැඩක්ගන්න ඕන. සල්ලි වලට එහා වැඩක්. මගේ ගෑනිගෙ ආදරේ ඇතුළෙ ගිළිල ඉන්න එක මේ දුක ඈතින් තියාවි. ඒත් ඒකිටත් මටත් කසාද සහතිකයක් නැති නිසා මේ දුක ආපහු ආපහු ලඟට එනව මචං. හීනි අරක්කු වඩියක් ඒ දුක වැඩි කරපුදෙං. උඹට සුබ රාත්‍රියක් මිත්‍රයා!
7 ක්ම තියෙනවා අදහස්:
හිතට තදින්ම දැනුන ලිපියක් සහෝ....
http://samakayawate.blogspot.com/
තරමක් වෙනස් කාවක් වගේ.ලියලා තියෙන විදිහ නම් අපූරුයි.
මට මේක ඇත්තටම හරියට තේරුනේ නෑ,. මේ ඇත්තටම කතා කරන්නේ අඩ හදයා වගේ තමන්ගෙම පලුවකටද නැත්තං එළියෙ ඉන්න තමන්ගේ පලුවක් වගේ හිතෙන යාළුවෙකුටද? තේරෙන්නේ නෑ.. තේරෙන්නේ නෑ...!
එක කුස උපන් එකෙකුට වඩා ප්‍රාණසමාන යාලුකං දැනෙනවා..,
මගදි ඇලීලා මගදිම හැලෙන කූඩැල්ලන්ට වඩා ඒ තමංගේ කම දැනෙන්නේ ඒකයි..!
මුලින්ම මේක කියෙව්ව වෙලාවේ මේක තේරුණේ නෑ.., ඒත් මේ අකුරු අස්සේ මට දැනුනේ වෙන එකෙක්ව.
,,,,,,,,,,,,,,,,
මටත් මේ අකුරු ටික අස්සේ දැනුනේ වෙන එකෙක්ව. හැබැයි ඔය ලඟම එවුන් කියන එවුන් කීප දෙනයි ඉන්නේ උන් එකෙක් හරි නැතිවුනොත් හරි තරහාවුනොත් හරි උන්ට වඩා පාඩුව තියෙන්නේ අපිට
මුලින්ම උඹෙන් මම කියවපු දැනෙන කතන්දරයක්. උඹ දන්නවා මම මුලින් මේක කියෙව්වෙ එකෙක්ව ඔලුවෙ තියාගෙන කියලා. සමහරවිට මම හරි වෙන්නත් පුලුවන්, වැරදි වෙන්නත් පුලුවන්. ඒක කොහොම වුනත් වැදගත් දේ තමයි උඹ මෙතනින් පිට දාලා තියෙන්නේ උඹේ අවංක හැඟීම්. ඒක දැනෙනවා මේක කියවනකොට. ඒකයි මේක මාර වෙන්නේ.
අනෙක උඹ දන්නවද, මේක කියවල ඉවර කරනකොට මට දැනුන දේ තමයි මොනව කළත් අපි අපි අතරේ තියෙන යාලුකම ඉවරවෙන මොහොතක් ආවොත් ඒක කොයි තරම් වේදනාකාරී වෙයිද කියලා. අපි හිතනවට වඩා අපි තදින් එක එකාගේ ජීවිත වලට බැඳිලා මචන්. උඹටත් සුබ රාත්‍රියක් මිත්‍රයා!
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!