"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, March 16, 2023

කවදත් නිවාස අඩස්සියේ සිටින යාත්‍රිකයාගේ කතාව

යාත්‍රිකයෙක් වීම මගේ රස්සාව නෙමෙයි. යාත්‍රිකයෙක් වීම මගේ ආසාවත් නෙමෙයි. ඒ වගේම මම කිසිම දේකට විශේෂයෙන් ආසා මිනිහෙකුත් නෙමෙයි. සමහර මිනිස්සු නිදහසට ආසයි. මට නිදහස තිබ්බත් එකයි නැතත් එකයි. සමහර මිනිස්සු සල්ලි ගොඩක් තියෙනවට ආසයි. මට ඉහ ගහල ඉන්න ගානට සල්ලි තිබ්බනං ඇති. ඔය ඔක්කොටම වඩා මං යාත්‍රිකයෙක්. ඒත් නිවාස අඩස්සියේ ඉන්න එක, මං වගේ යාත්‍රිකයෙකුට කොයි තරම් කරදරයක්ද කියලා ඔයාලා දැනටමත් හිතනවා ඇති. කවදත් නිවාස අඩස්සියේ හිටියත් මං යාත්‍රිකයෙක්. ඒක තමයි මගේ මැජික් එක. හැමෝම අහන්නෙ ඒ ගැන. කොහොමද උඹ යාත්‍රිකයෙක් වුනේ? කොහේවත් නොගිහින්.

පැණි ටිකක් ගාපු කංසා කූරක මුල් උගුරු දෙක බරට අදින මගේ යාළුවො අතරෙ, සූස්ති​ය ෂොට් දෙකෙන් දෙකට අතින් අතට පාස් කරද්දි එතන පුදුම විනයක් සංවර කමක් තිබුනා. ආසාවට මුල්ම දුම් උගුර පෙනහළුවලට පුරවගෙන මම හිර කරගත්තා. හිර කරගෙන හීන් අරක්කු උගුරු තුනක් ඇඟ ඇතුළට දාගත්තා. ඒ වෙද්දි හිර කරගත්තු දුම් කැරලි පුදුම සංයමයකින් මගේ නහයෙන් කටින් පිටවෙමින් තිබුණෙ. ඒ මම කංසා බීපු පළවෙනි සහ එකම පාර. ඉස්ටු දාපු හරක් මස් කෑල්ලක් රහ බැලුව. පදමට ගම්මිරිස් විනාකිරි රස වගේම ඒ මස් පදමත් එක්ක ඒක අරං ඇතුළට ගිය අරක්කු රස පොඩි ගැස්මක් එක්ක නහයෙන් උඩට ආවා. නාස් තුඩු අගින් ඒ ගැස්ම පිටවුනාට පස්සෙ මගේ මොළය ඇතුළ හිරි වැටෙනව වගේ දැණුන. ඒක තමයි සනීපය. මං යාත්‍රා කරන්න ගත්ත. කම්මුල් උඩ ගල් ගැහුන වගේ දැණුනා. හකු දෙකේ දත් ඇඳි තද වුනා. කට ඇතුළෙ දිව තියෙනවද කියලවත් දැණුනෙ නෑ. මං ඇස් ඇරගෙන වුනත් හිතින් නිදියගෙන හිටියෙ. මං පුටුව උඩ හිටියත් යාත්‍රා කරමින් හිටියෙ.

එදා තමයි මම තීරණය කරේ මම ආයෙ ගංජා බොන්නෙ නෑ කියල. එදා තමයි තීරණය කරේ මම ආසම බීම ඉන්ටර්නැෂනල් ඩිස්ටලරීස් ලිමිටඩ් නිපදවන ඕල්ඩ් රිසර්වු අරක්කු කියලා. එදා තමයි තීරණය කරේ මෙච්චර කල් ප්ලෑන් කළත් මම මේ මනුස්ස ජීවිත දෙක නැති කරන්නෙ නෑ කියල. ඉතුරු අයිස් කැට උඩට මම ආයෙ අරක්කු ටිකක් දාගත්ත. ආයෙ සෝඩා ටිකක් හලාගත්ත. නහයට අල්ලලා සුවඳ බලලා ආයෙ අරක්කු වීදුරුව මේසෙ උඩින් තිබ්බා. ඒ සුවඳට මගේ උරිස් ඇකිළුනා. ආයෙ ඒ වීදුරුවම අතට ගනිං කියල හිත කිවුව. මම එක පොරොන්දුවක් මගේ හිතට දුන්න. මට නැතිවෙන්න දෙයක් නෑ. එන විදියකට මුහුණ දෙනව. ඒ නිසා මං මේ ජීවිත දෙක නැති කරන්නෙ නෑ කියල හිතට පොරොන්දුවක් දුන්න. මං මගේ ඒ බළාපොරොත්තුව ශක්තිමත් කරන්න අරක්කු උගුරක් ආයෙ බිව්ව. උගුරක් බිවුවට පස්​සෙ වීදුරුවෙ ඉතුරු වුන අරක්කු ටිකත් එහෙමම බිවුව.  මට නැති වෙන්න දෙයක් නෑ. නැති වෙන්න දෙයක් නැති හිරකාරයො වගයක් ගැන දකුණු අප්‍රිකානු වේදිකා නාට්ටියක් මම යූටියුබ් එකේ බැලුව. ඒකෙ නම අසිනමාලි. අසිනමාලි ලංකාවෙදිත් වේදිකාගත වුනා. ධර්මප්‍රිය, ප්‍රියංකර, විශ්වජිත් ඒකෙ හිටිය මතකයි. තව නළුවො දෙන්නෙක් හිටිය. ඒක මීට අවුරුදු විස්සකට විතර කළින් රාජ්‍ය සම්මාන දිනුව. පූජිත තමයි නාට්ටිය කෙරුවෙ. කොට හාදය. මුහුණෙන් කිසිම භාවයක් නොපෙන්නා මනුස්සයෙක් මරන්න වුණත්
 පුළුවන් යකෙක් ඌ.

බොන උන්ට බීපං කියල මම ආයෙ ගෙදර ගියේ නින්ද යන්න කළින් අසිනමාලි තිර පිටපත පොඩ්ඩක් හරි කියවන්න හිතාගෙන. මම යද්දි දරුවා මගේ ඇඳ සම්පූර්ණයෙන් අයිති කරගෙන නිදියගෙන හිටිය. බල්ල මම සාමාන්‍යයෙන් ඇඳට ගොඩ වෙන්න කලින් කකුල් පිහදාන පාපිස්ස අයිති කරගෙන නිදියගෙන හිටියා. ඒ තමයි මම නැති කරන්න හිතා උන්නු ජීවිත දෙක. මගෙ ගෑනි මීට මාස හයකට කලින් මැරෙද්දි ලඟ ඉන්න මට පුළුවන් වුනා. මගේ අම්ම මැරෙන මොහොතෙ අම්මව අන්තිමට දැක්කෙ මම වුනත් මට අම්මා ලඟ ඉන්න පුළුවන් වුනේ නෑ. ඒත් මට මගෙ ගෑනි මැරෙන මොහොතෙ ලඟ ඉන්න පුළුවන් වුනා. විනාඩි තිහකටත් වඩා එයා කියෙවුව. එයා යන බව එයාට දැනිලා තිබුන. ඒ ලෙඩේ මං දැනගන්න මාසෙකට විතර කලින් එයා දැනගෙන තිබුන. මං ඒ මොහොතෙත් හිටියෙ බීලා. එහෙම නොවුන නං මට ඒ මොහොතට ඒ තරං සැහැල්ලුවෙන් මුහුණ දෙන්න බැරි වෙයි. දරුවා හිටියෙ මොන්ටිසෝරියෙ. ගෑනි හිටියෙ ඉස්පිරිතාලෙ. කෝල් එක එද්දි මං හිටියෙ ඉස්ටේෂමේ. දරුවව මොන්ටිසෝරියට දාලා එද්දි තමයි අමාරුවෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරල තිබුනෙ. ඒ නිසා දරුව තාම දන්නෙ නෑ. දවස් ගානක් අම්ම ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තු වග දරුවා දන්නව. හැබැයි අම්ම මැරෙයි කියල කලින් දවසෙත් හවස කැඩිච්ච ප්ලේන් එකක් උරුක් කරගෙන අම්මගෙ ඔලුවටම වෙඩි තියපු දරුව දන්නෙ නෑ. ඉතිං එදා දවල් දරුවව මොන්ටිසෝරියෙන් අරං ඇවිත් මල් ශාලාවක පෙට්ටියක ඉන්න අම්මව පෙන්නුව. දරුව ඇඬුව. දරුව දන්නව මැරෙන එකේ අවුල. දරුවයි මායි මැරෙන එක ගැන කතා කරල තියෙනව.

මට විටෙන් විට පපුව රිදෙන ගතියක් තියෙනව. ඒක තමයි මට ජීවිතේ තිබ්බ ලොකුම බය. මම කලින් මැරුනොත් දරුවට මොකද වෙන්නෙ. මං ඒ නිසා ගොඩක් සල්ලි හම්බු කරා වගේම ඒ සල්ලි ඉතුරු කරා. ඉන්ෂුවරන්ස් දැම්මා. මහ රෑ වෙනකං වැඩ කළා. වැඩ කරන්න ගැම්ම ගන්න පුළුවන් හැම වෙලේම බිවුව. හැබැයි මං හිතුවෙ නෑ මගෙ ගෑනි මැරෙයි කියල. කවුද හිතන්නෙ ‍එහෙම. මං මැරුනොත් ගෑනි තනියෙන් කන කට්ට ගැන මට මතක් වුනා. ඒ නිසා මම සල්ලි හෙවුව ඒ වෙනුවෙන්. ගෑනි වෙනිං මිනිහෙක්ව බැඳල ඒ මිනිහා දරුවට නොසැළකුවොත් ඒ වෙනුවෙන් දරුවට විතරක් ගන්න පුළුවන් වෙන්න සල්ලි මම හෙවුව ඒ වෙනුවෙන්. මම ඒ සල්ලි මට විශ්වාසවන්තම යාලුවෙක්ගෙ භාරයෙ තිබ්බ. මම දන්නව කවදාවත් මගේ දරුවට විරුද්ධ දේකට මගේ ගෑනිව නම්මගන්න කිසිම ජගතෙකුට බැහැ කියල. ඒත් මට බය හිතුනා. ඉතිං මං උන් දෙන්නා වෙනුවෙන්ම වෙන වෙනම හම්බු කරා. අන්තිමේ ගෑනි මැරිලා ගියා. මං අසිනමාලි කියව කියව බියර් බොන්න පටන් ගත්ත.

දැන් මාස හයක් තිස්සෙ දරුවයි මායි තනියෙන්. අපේ තනියට තව තිරිසනෙක් හිටිය. මම එනකං දරුවව රැක්කෙ ඒ තිරිසනා. උදේට ඇහැරිලා දවල්ටත් එක්ක උයලා දරුවව මොන්ටිසෝරි දාලා මම ඔෆිස් යනව. ගිහින් ගෙදර එද්දි දරුවා ගෙදර ඇවිත් නිදි. එන්නෙ මගේ යාලුවෙකුගෙ බිරින්දෑත් ඒ වුන්ගේ දරුවාත් එක්ක. දරුවො දෙන්නම එකම පන්තියෙ. ගෙදර ඇවිත් මගේ යාලුවගේ බිරින්දෑ බෙදලා දෙන දේ කාලා බල්ලත් එක්ක සෙල්ලං කරලා නිදියන දරුව ආයෙ ඇහැරෙන්නෙ මං හවසට ආවම. මේ කෙරුවාව මාස හයක් වැඩි අපහසුවක් නැතුව මම කළත් මට දැන් ලොකු බයක් තියෙනව. දැන් මම කළින් බය වෙච්ච පපුවෙ අමාරුව ආවොත් දරුව තනිවෙනව. බලාගන්න මගෙ ගෑනිත් නෑ. ඒනිසා මං කාලයක් තිස්සෙ ප්ලෑන් කළා දරුව‍ාගෙත් බල්ලාගෙත් ජීවිත නැති කරන්න. දෙකම ලේසි නෑ. දරුවා මගේ ජීවිතේ. ඒ නිසා ඒ මූන බලාගෙන ඒක කරන්න බෑ. බල්ලා අහිංසක එකෙක්. මරණ එක ලේසි නැහැ. තව ගැහැනුන් එක්ක සම්බන්ධතා තිබුනත් උන් මගේ දරුවව සනීපෙට බලාගනියි කියන වගකීම මගේ හිතේ තිබුනෙ නෑ. හැබැයි මේ හිතේ තියෙන ආදරෙත් එක්ක මට දරුවව මරන්න බෑ. එහෙම වුනත් මගේ ජීවිතේ අවිශ්වාසය උඩ දරුවට දුකක් දෙන්නත් බෑ.

ඒ නිසා මං මගේ ජීවිතේ අවිශ්වාසය දුරු කරන්න තීරණය කරා. මම මේ ජීවිත දෙක නසන්නෙ නෑ කියල තීරණය කරා. කවදාවත් නොකරපු ටෙස්ට් කරන්න ගියා. අරක්කු බීම නැවැත්තුවා. කෑම පාලනය කළා. ජිම් ගියා. තව සල්ලි හොයන්න විදි හෙවුව. හැමදාම උදේට මම ඉන්න බස් හෝල්ට් එකේ තියලා තියන නීති විරෝධී පාර්සලයක්, කොළඹ අටේ වීදියක හිඟන්නෙකුට ගෙනිහින් දෙනවට මට මාසෙකට රුපියල් ලක්ෂයක් ලැබුනා. එක වතාවක් හදිසි ඔත්තුවක් මත ක්‍රියාත්මක වුනු හමුදාවෙ කෙනෙක් මගෙන් ඇහුව, "ඇයි මහත්තය කෑම පාර්ලස් දෙකක්?" කියල. උදේටයි දවල්ටයි කියන උත්තරේ මාව පරීක්ෂ‍ා නොකරන්න හේතුවක් වුනා. ඒ සිද්ධියෙන් පස්සෙ මට මාසෙකට ලක්ෂ දෙකක් ගෙවන්න ගත්තා. දැන් මම නිරෝගියි. හැමදාම හවසට මම ගෙදර ආවම ඇහැරෙන දරුවා එක්ක සෙල්ලම් කරලා, රෑට කඩෙන් ගෙන්නගෙන ඉඳිආප්ප කාලා, ඉස්කෝලෙ ගෙදර වැඩ කරලා දරුවව නිදි කරවන මම දරුවාගෙ අත්වැඩ කරන්න ගන්නව. ඒටික කරල පහුවදාට උයන්න දේවල් ලෑස්ති කරලා පෙම්වතියක් ඉදිරියේ ස්මාට්ෆෝනයෙන් නිරුවත් වෙනව. ඒක තමයි මටත් පුරුෂ ලිංගයක් තියෙනව කියල හිතෙන එකම මොහොත. මුත්‍රා කරද්දිවත් මගේ ලිංගය ස්පර්ෂ වෙන හැඟීමක් මගේ මතකයට එන්නෙ නෑ. ඉස්සර දවසට තුන් වතාවක් වත් උඩ පහළ හෙලවෙන හෝ පෙම්වතියක් නැතිනම් බිරින්දෑ හෝ එක්ක යුද්ධ කරන ඒ කාලවර්ණ වස්තුව දැන් ක්‍රියාන්විතය පටන්ගන්නෙ රෑ දොළහට විතර. එක පාරක්. ඉඳලා හිටලා ඒක අන් ලඳකට අහුවෙන්නෙ මාසෙකට පාරක් විතර.

මේ විදියට තවත් මාස තුනක් විතර ගෙවුනා. එදා මගේ උපන් දිනේ. ඒ නිසා පුතාටත් මටත් බල්ලටත් එදා රෑට ඉඳි ආප්ප වෙනුවට බිරියානි ලැබුනා. බිරියානිත් අරං මං එන මගට බල්ලා ආවෙ නෑ. ඒක පුදුමයක්. බල්ලට මං එන සද්දෙ නෑහුනා වෙන්න බෑ. ඒ නැතත් මේ බිරියානි සුවඳ? පුතානම් නිදි නිසා නෑහුනත්, බල්ලා නොආපු එක මගේ හිතට අවුලක් ගෙනාවා. ගේට්ටුව ඇරගෙන ඉස්සරහට යද්දි බල්ලා ගෙදර දොර ඉස්සරහා මැරිලා හිටියා. බල්ලාගෙ කටේ ලොකු මස්කෑල්ලක් තිබුනා. ලේ පෙරෙන. බල්ලාගෙ බෙල්ලෙ විශාල කැපුමක් තිබුනා. දොර අරිද්දි දරුවා දොරෙන් එපිට මැරිලා හිටියා. දරුවාගේ බෙල්ලෙත් විශාල කැපුමක් තිබුනා. මාව එතන තිබුනු පුටුවෙ ඉන්දුනා. මං යාලුවොන්ට කතා කළා. මට මැරෙන්න තිබ්බ එකම බය අයින් වුනේ ඒ විදියට. දැන් මට බයක් නැතුව නැතිවෙන්න දෙයක් නෑ කියල කියන්න පුළුවන් නේද?

ආයෙත් මගේ පරණ පුරුදු ආහාර පිළිවෙලත්, බීමත්කමත් ජීවිතේට ආව. සල්ලි දිගටම හෙවුවත් කුඩු පාර්සල් මාරු කරන වැඩේ නවත්තලා දැම්මා. ඒ ගැන තර්ජනය කරලා එක කෝල් එකකුත් පහුවදා ගේට්ටුව ඉස්සරහ මගේ නමට මල් වඩමකුත් තියලා ගියාට පස්සෙ මම ආයෙත් ඒක පටන්ගත්ත. දැන් උදේට කුඩු පාර්සලේ අතින් අත මාරු කරලා. රස්සාව කරනව. දවල්ට තේකක් බොනව. තේකෙ ඕල්ඩ් රිසර්වු මිලි ලීටර් පනහක් තියෙනව. හවසට බොන තේකටත් ඕල්ඩ් රිසර්වු පනහක් වැටෙනවා. දවල් කෑමක් නෑ. උදේට යාලුවො ගේන දෙයක් කනව. රෑට හොඳට කනව. කාලා ගෙදර ගිහින් හොඳට බොනව. කිසිම මිතුරු හමුවකට යැවෙන්නෙ නෑ. ගියාම අරක්කු වීදුරු තුනක් වැටිච්ච ගමන් උන් මගේ දරුවා ගැන කතා කරන්න ගන්නව. මම රෑට නීට් අරක්කු වීදුරු දෙකක් විතර බොද්දි ගෑනි මගේ හීන ලෝකෙට එනව. එයයි මායි දරුවට වෙච්ච දේ ගැන කතා කරලා කම්පා වෙනව. මම දරුවා ගැන කතා කරන්න කැමති වුනේ මගේ ගෑනි එක්ක විතරයි. සමහර සති අන්තවල අන් ලඳකගෙ තනයක පහස ලබන අතරෙ උනුත් දරුවා ගැන කතා කරන්න ගන්නව. මං අමාරුවෙන් ඒ වෙලාව ඉවසගෙන ඉන්නව. තව ටික දවසක් බලල වෙනිං ගෑනු ගාවට යන එකත් නවත්තල දානව.


බස් එකේ රුපියල් විසිඅටක දුර ගියාට දවසකට මම ලොකු දුරක් යාත්‍රා කරනව. රෑට ගෙදර ආවම මම කිසිම යාත්‍රිකයෙක් නොගිය තැන්වලට යනව. දැන් තනියෙන් ඉන්න එකේ රට තොට බලන්න පලයං, ට්‍රිප් පලයං, බාලි ටුවර් එකක් පලයං, ආයෙ කසාදයක් බැඳපං, බැඳලා ළමයෙක් හදපං, බිබී නාස්ති වෙන්නෙපා, කියල සමහරු ෆේස්බුක් එකේ මට කියනව. මම විනෝදාංශයක් විදියට උන්ව බ්ලොක් කරනව. ගෑනි මට රෑට කතා කරද්දි ඕව මතක් කරල අපි දෙන්න හිනාවෙනව. ආයෙත් දරුවා මතක් වෙලා අපි දෙන්නම අඬන්න ගන්නව. ඒ ඇඬිල්ලෙන්ම නින්ද යනව. උදේට ආයෙ මං ඔෆිස් යනව. කවදාවත් හති වැටෙන්නෙත් නෑ. මේ යාත්‍රා කිරිල්ල නැවතෙන්නෙත් නෑ. දැන් දැන් සමහර වෙලාවට දරුවත් මගෙත් එක්ක ඇවිත් කතා කරනව. හැබැයි අම්මයි දරුවයි එකම වෙලාවක කතා කරන්න එන්නෙ නෑ. දැන් මට එච්චර බොන්නත් බෑ. හැබැයි පුරුදු ට්‍රිප් එක නං සෑහෙන වෙලාවක් යනව. උඹලත් පරිස්සමෙන් ඉඳපං. නොහිතන තැන්වල නොහිතන වෙලාවට මං ඉන්නව.

2019 ඉල්
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

3 ක්ම තියෙනවා අදහස්:

Anonymous said...

බෝතලයක් ගහලා හාන්සි වෙමු

Anonymous said...

😶

Anonymous said...

පපුව රිදෙන අකුරු

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!