"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, October 9, 2022

අන්අවේලබල් මිනිස්සු

ඉස්සර මම හරි ආසයි අන්අවේලබල් වෙන්න. සිකුරාදා හවසකට ආදරේ කරන ගෑනු දෙන්නටම කතා කරලා මම ඒ විත්තිය කියන සතුට මට තාම මතකයි. එක ගෑනියෙක් නං රණ්ඩු කරනවා. අනිත් ගෑනි බය වෙනවා. මුල්ම කෝල් එක දෙන්නෙ අලුතෙන් ආදරේ කරන්න ගත්තු කෙනාට.

මේ අද හවස සෙට් වෙන්න යනව. පාටිය යනව ඉරිදා හවස් වෙනකං. මම කොහේ ඉඳියිද දන්නෑ. බය වෙන්න දෙයක් නෑ. අපි 6 දෙනෙක් ඉන්නව. මොනවහරි ලොකු අවුලක් තිබ්බොත් විතරක් කෝල් කරන්න.

ඊළඟ කෝල් එක දෙන්නෙ පරණ ම ආදරේට. ඒ කෝල් එක දැන් දෙන්න වෙන්නැති එක ගැනත් හිතේ යම් තරමක දුකක් තියෙනවා.

අම්මෙ, අද රෑ පාටියක්. ඒක ඉවර වෙලා හෙට පාන්දරින් එහෙම්මම අපි යනව මොණරාගල. ට්‍රිප් එකක්. වැව්වල බහින්නෙ නෑනෙ මං කොහොමත්. ඉරිදා හවසට එන්නෙ. වැඩිම වුණොත් ටිකක් බොයි. තාත්තටත් කියන්න. මෙහෙම්ම ඔෆිස් ඇරිලා යනව මං. ඇඳුම් අරං ආවෙ.

ඔය කෝල් දෙක දුන්න ම හිත නිදහස්. ඊටපස්සෙ ඔෆිස් එක පිටිපස්සෙ ෂවර් එකට ගිහින් නාලා, ෂෝටක් දාලා, ඔෆිස් එක ඉස්සරහ බලාගෙන ඉන්නව මාව අරගෙන යන උන් එනකං. ඒ එනකං සිකුරාදා හවස ඔෆිස් ඇරිලා යන උන්ට ඇයි මම අද මේ ෂෝටක් දාගෙන ඉන්නෙ කියන එකට විස්තරේ කියනව. 

තාමත් ඉඳල හිටල මට එහෙම අන්අවේලබල් වෙන්න වෙලාවල් එනවා. අවුරුදු හැටටත් කිට්ටු මිනිහෙකුට එහෙම බ්‍රහස්පතින්දා හවස් වරුවක් තියෙනවද? කියල හිතෙයි. ඔව් තියෙනව. ඇයි කියලා හිතුවද බ්‍රහස්පතින්දා? අවුරුදු විස්සෙදි රස්සාවට ගිය අලුත මම හිටියෙ කොළඹ. ටවුන්හෝල් කිට්ටුව ඔෆිස් එකක. දැන් ඉන්නෙ තෙල්වලින් දියුණු වෙච්ච වැලි පිරිච්චි කාන්තාර සහ ආසියාතිකයො පිරිච්ච බිල්ඩිං තියෙන රටක. තාමත් මම කෝල් දෙකක් ගන්නව ගෑනු දෙන්නෙකුට. ඔව් මගේ අම්මා මැරිලා. මගෙ චරිතෙ ගැන කතාවෙ මුල් හරියෙදි හදාගත්තු හොඳ හිත දැන් බිඳිලා වගේද? එහෙම කරගන්න එපා.

මම මුල්ම කෝල් එක ගන්නෙ දැන් මම අලුතෙන්ම ආදරේ කරන ගෑනු මනුස්සයට. මං පුත්තුන්ට දූලට කියල විශේෂයක් නොකළට මට දූට කියවුණේ පුතා කියලා. 

පුතේ, මං යනව ට්‍රිප් එකක්. අපි 11ක් යනවා. ඩෙසර්ට් සෆාරි එකකුයි, තව මොනව මොනවද කරයි. මං ආපු ගමං ඔයාලවත් එක්කගෙන යන්නං කොහෙහරි. අම්මටත් කියන්න. 

අම්මටත් කියන්න කියලා කියපු එක දූගෙ හිතට දෙන පොඩි අල්ලසක්. ඒක අප්පච්චි මට විතරයි ආදරේ කියලා දූගෙ හිතට හිතවන්න දාන පුංචි මැජික් එකක්. අනික කොහොමත් දූත් දැන් වැඩ කරන්නෙ කොළඹ. ටවුන්හෝල් කිට්ටුව ඔෆිස් එකක. අනිත් කෝල් එ​ක දැන් ඉන්න දෙන්නගෙන් පරණ ලවු එකට.

මේ මම, කට්ටිය එක්ක පොඩි ගමනක් යනවා. මුං ඉතිං කාලෙකට පාරක් ඕවා දාගන්නව. නොගිහින් බෑ. එකට ඉන්න එවුන්නෙ. කෝල් කරන්න තරං වෙලාවක් හම්බෙන එකක් නෑ. පරිස්සමෙන් ඉන්න. 

මම මේ අන්අවේලබල් වීමට නං කැමති නෑ. කොටිම්ම අවුරුදු විස්සෙන් පටන්ගත්තු මුල් දශකය ඇතුළෙ ජීවිතේ සිද්ධ වුණු නොයෙක් හැලහැප්පිලි එක්ක මං අවුරුදු 30 වෙද්දිම, බියර් එකක් බිබී මැච් එකක් බලන්න කැමති, ගෙයින් එළියට සැපක් දාන්න යන්න අකමැති, සෝෆා එක තරම් හිතටත් ඇඟටත් ෆිට් වෙන තැනක් තවත් නැති පිරිමියෙක් බවට පත් වුණා.  මම අවුරුදු තිහෙන් පස්සෙ වගේ ආසා වු​ණේ ඉස්සර ක්‍රමේට විරුද්ධ විදියට අන්අවේලබල් වෙන්න. යාළුවොන්ට කතා කරලා, මේ සතියෙ නං වැඩ දාගන්නෙපා මචං මට ෆ්‍රීලාන්ස් වැඩ ටිකක් සෙට් වෙලා තියෙන්නෙ... කියලා කියන්න. ට්‍රිප් එකක් ප්ලෑන් කරද්දි ම, ඉස්සරහ වීක් එන්ඩ් දෙකේම මම අන්අවේලබල් කියලා කියන්නයි කැමති. ඇති දැන් මට. 

ඉපයීම සහ නිදහස අතර​ මේ ලෝකෙ නොපෙනෙ​න වගුවක් තියෙනවා. ඒ වගුවෙ ඉපයීමෙත් නිදහසෙත් ධන වුණු සහ ධනේ උඩට ගිය උන් ඉන්නව. ඍණ වුණුත් ඉන්නව. සල්ලි හොයලා නිදහසේ ඉන්න මිනිස්සු, දිගටම සල්ලි හොයන නිසා නිදහසක් නැති මිනිස්සු, කලින් කෙනෙක් හොයාලා දීපු සල්ලි නිසා නිදහසේ ඉන්න මිනිස්සු, සල්ලි හොයන්නත් විදියක් නැති මිනිස්සු වගේ කොට්ටාස ගොඩක් මේ වගුවෙ එකේක පැත්තට, එකේක තැන්වල ඇලවිලා ඉන්නවා. මම දිගටම සල්ලි හොයන නිසා නිදහසක් නැති මිනිහෙක්. ෆයිනෑන්ෂලි නිදහස් වෙන්න නං, ජීවිතේ නිදහස නැති කරගත යුතු මිනිහෙක් මම. සහ එහෙම කරන මිනිහෙක් මම. අවුරුදු හැටටත් කිට්ටු වෙලා තාමත් මට නිදහසක් ගැන හිතන්න විදියක් නෑ. මං ඒකට ආසත් නෑ. හැබැයි මට වෙන කරන්න දේකුත් නෑ. කසාද බැන්දානං, ළමයි හැදුවා නං, උන්ව ​ගොඩ දාන්නම ඕන.

දුවට දැන් 26ක්. දූ කසාද බඳින දාට මේ මගුල් නවත්තලා යනව ගෙදර. ගිහින් ගෑනිත් එක්ක ඉන්නව සතුටෙන්. එහෙම හිතුනු දවස් තියෙනවා. නැත්තෙ නෑ. දුවවත් දරුවො හැදුවෙ නැත්තං හොඳයි. මං කැමති නෑ, ආයෙත් පොඩි උන් හුරතල් කරන්න. ඊටත් වඩා මං කැමති නෑ මගේ දරුවො, මං මෙච්චර මහන්සි වුණාට පස්සෙත් ආයෙත් වගකීම් කර ගහගන්නවට. මේ හොයපු සල්ලි දුවටත්, දුවව බඳින කෙනාටත් හොඳටම ඇති ජීවත් වෙන්න. මට ජීවිතේ අන්තිම අවුරුදු විසි පහක් විතර කිසිම ඇගයීමක් නොලැබුනු මිනිහෙක්. මම ආසයි මම මේ කරන කැපකිරීම අගයනවට. ඒත් ඒක අගයන්න සමිතියක් වගේ දෙයක් හොයාගන්න නෑ. "පවුල වෙනුවෙන් මහන්සි වෙන පිරිමින් අගය කරන සමිතිය" කියලා එකක් නෑ. ඇගයුවේ නැතත් මේ වගකීමෙන් ගැලවෙන්නත් බෑ. දුක් වෙවී හරි කරන්න ඕන. අන්න එහෙම දුකක් දැණුනු වෙලාවට, මට හිතෙනව ජීවිතෙන්ම අන්අවේලබල් වෙන්න. මිනිහෙකුට නොමැරී ඒක කරන්න පුළුවන්ද? මොකද මම ආසා නෑ මැරෙන්න.

මට ජීවත් වෙන්න ඕන මගේ පවුල වෙනුවෙන් හෝ මගේ හිතමිතුරො, නෑදෑයො, මගේ ගම රට වෙනුවෙන් නෙමෙයි. මට දැන් ජීවත් වෙන්න ඕන මං වෙනුවෙන්. කිසිම ප්‍රශ්නයක් කිසිවෙක් නොඅහන, මං ආසා සින්දු, ෆිල්ම්, මැච්, කෑම, බීම, ගෑනු පිරිච්ච ලෝකෙක තනි වෙන්නයි මට ඕන. ඒත් ඒ වෙනුවෙන් මට කීදෙනෙකුට අන්අවේලබල් කියන්න වෙයිද? මට බෑ ඒක කියන්න. ඒ තරං හයියක් නෑ. එක්කො ඒ මිනිස්සු ඔක්කොම මැරෙන්න ඕන. මගේ සතුට වෙනුවෙන් කී දෙනෙක් කියලා මැරෙන්නද? ඒ ඔක්කොම එක පාර මැරිලා වැටෙන එක ඇත්ත නොවෙන හීනයක්. ඒ වෙනුවෙන් මම මැරෙන එක අන්අවේලබල් වෙනවා වගේම වැඩක් වුණත්, මට ඒ අන්අවේලබල් ගතිය විඳින්න විදියක් නැති වෙනවා. එනිසා ඒක කරන්නත් බෑ. මට දරුණු සමාජ රෝගයක් හැදුනොත්, මගෙ වටේ ඉන්න මිනිස්සු දාලා යාවි කියලා වතාවක් මට හිතුනා. ඒත් ඉතිං එහෙම වුණා කියලත් මට අන්අවේලබල් වෙන්න බෑ. පුදුම කරුමයක් මේක. ඒ හින්දයි මම මේ ප්ලෑන ගැහුවෙ. හිතේ ගිල්ටියටයි මේක මෙතන ලියල තියන්නෙ. මොකෙක්හරි මේක අනාගතේ දවසක කියවලා මාව හොයන්න හිතුවොත් හොයන්නෙ නැතුව ඉන්න. මොකද මට ඕන අන්අවේලබල් වෙන්න.

අරාබිකරේ මේ රටේ නීති තදයි. ඒකෙ මට ලොකු බලපෑමක් නෑ මොකද මං නීති විරෝධී වැඩ කරන මිනිහෙක් නෙමෙයි. හැබැයි නීති විරෝධී වැඩ කරන එවුන් නැතුවමත් නෙමෙයි. මං එහෙම එකෙක්ව අඳුනනවා. උගෙයි මගෙයි හමුවීම සිද්ධ වෙන්නෙ අමුතු ම විදියකට. අපේ පෙණුම බොහෝදුරට සමානයි. ඌ කොණ්ඩෙ තරමක් වවලා ඉන්න නිසා මිසක් අපි දෙන්නාව ඈතට වෙන් කරලා අඳුනගන්න සාධකයක් වෙන නැති තරම්. මට ඌව පාටියකදි හඳුන්වලා දෙන්නෙ අපි දෙන්නගෙම යාළුවෙක්. ඒ කාලෙ මමත් කොණ්ඩෙ වවලා හිටියෙ. මට ඒ යාළුවා කරපු හඳුන්වා දීම තාම මතකයි. "උඹ මූව අඳුනාගෙන ඉන්න එක හොඳයි. මොකද උඹලා දෙන්නගෙ පෙනුමත් එක්ක දවසක මුගේ හොර වැඩකට උඹේ අත් කැපෙන්නත් ඉඩ තියෙනවා" එවෙලෙට ඒක විහිළුවක් වුණා. මං ඌත් එක්ක තරමක් වෙලා කතා කරා. ඌ බහුලව භාවිතා කරන නම, මගෙත් උප්පැන්නෙ සඳහන් එහෙත් අත්හැර දාපු නමක්. කපිල. 

මං කපිලයාගේ හොර වැඩක් කියලා දෙයක් හොයාගන්නවත් නැතත්, ඒ කපිලයා අරක්කු බෝතලේ ඉඳන් වීසා එකට වෙනකං මගෝඩි වැඩ කරන එකෙක්. ඌ ඒවා හංගන්නෙත් නෑ. යම් වීරත්වයක් ඒ නිසා ගොඩනගාගෙන ඉන්නෙ. ලංකාවෙ උන් විතරක් නෙමෙයි, ඉන්දියන් බංගලි එවුනුත් ඌ දාන මෝඩ ජෝක්වලටත් බඩ ඉස්සරහට දාලා හිනාවෙන තත්ත්වෙක තියාගෙන හිටියෙ. ඉතිං මං කපිලයගෙන් ඇහුවා වගතුග. කපිලයට තරහකාරයොත් නැත්තෙම නෑ. උගේ බිස්නස් ටික කරගෙන ඉන්න අරාබිකරේ එවුන්, කපිලයා එක්ක තරමක් නොහොඳ වුණත්, පිරිස් බලය සහ ඒ පිරිසේ බලය අතින් මේ කපිලයා ඉස්සරහින්. හැබැයි කපිලයා යාළුවොන්ටත් ඉඳහිට හොර වැඩ කරා. ඒ නිසාම ඒ කපිලයාගෙයි මගෙයි ඇයි හොඳැයියක් තිබ්බට අවංක මිත්‍රත්වයක් තිබුණෙ නෑ. එදා බ්‍රහස්පතින්දා දවසක්. කපිලයා මාව මුණගැහෙනව කලබලෙන්.

කපිල සහ කපිල

 

"මචං මොකක්හරි පත්තු වෙලා, මට වට කරලා ෂොට් එක දෙන්නලු යන්නෙ. මාව බේරගන්න මොකක්හරි කරපං." ඌ ඒක කියද්දිම මට අවුලක් තේරුණා. ඌට මට කලින් කතා කරන්න ඕන තරම් යාළුවො හිටියා. හැබැයි ඌ මගේ ගාවට ආවෙම උගෙයි මගෙයි පෙණුමෙ සමානකම හින්දාමයි. උගේ ප්ලෑනක් තියෙන්න පුළුවන් ඌ වෙනුවට මාව පාවලා දෙන්න. මං ඒ හින්දා මං විහින්ම උගේ උගුළේ පැටළුනා. ඌට මගේ කාමරේ ඉන්න ඉඩ දුන්නා විතරක් නෙමෙයි, උගේ සන්තකේට මගේ සියළු විස්තර සහිත බලපත්‍රත් දුන්නා. මං ඌට නොකියපු දේකට කියලා කරේ, ඌ මගේ කාමරේ නිදාගත්තට පස්සෙ ගිහින් කොණ්ඩෙ කපාගත්තු එක විතරයි. විතරමයි. මං කොණ්ඩෙ කපලා නිකං හිටියෙ නෑ. අඳින පළඳින විදිය එක්ක පෙනුමත් තරමක් වෙනස් කරගත්තා.

අන්න ඒ විදියටයි දවස් 4කට පස්සෙ ලංකාවට මේ කපිලගෙ බොඩි එක නමින් ඒ කපිලගෙ බොඩි එක ගියේ. මෙහෙ පොලීසියෙන් ඒ කපිලව​ හෙවුවා. මං කපිල නැති වුණු දවසෙම ඒ කපිලගෙ අතුරුදන් වීමත් සිදුවීම මෙහෙට තරමක ආන්දෝලනයක් වුණා. ඒ කපිලගෙ අවුල් වැඩ දන්න නිසාම බොහෝදෙනෙක් සැක කරේ ඒ කපිල කියලා හිතාගෙන මාව මරාදාපු බවත්, ඒ කපිල පැනගිය බවත්. මෙහෙ යාළුවොත් එකතු වෙලා අපෙ ගෙදරට සල්ලි යවලා තිබුණා. මගේ ඔෆීසියෙන් මාසිකව යම් මුදලක් මගේ පවුලට යවන ගිවිසුමකුත් වෙලා තිබුණා. මේ දේවල් සිද්ධ වෙද්දිත් මං හිටියෙ ළඟපාත. හැබැයි තරමක් වැඩ දන්න එකෙක් එක්ක. ඌ මට හැදුවා බොරු බලපත්‍ර. මං දාගත්තා ඉන්දියන් නමකුත්. මොකද්දෝ මන්දා හේතුවකට මං ඒ ඉන්දියන් නමට Kapil කියලා කෑල්ලකුත් දාගත්තා. දැන් බළාපොරොත්තුව මාව මෙහෙන් පිටමං කරන්න. ඒ වෙනුවෙන් මං පෙනීහිටියා ඉන්ටවිව් ගණනාවකට. වයස තමයි තිබුණු ප්‍රධාන ප්‍රශ්නය. නමුත් ඉන්දියන් වීම නිසා ගොඩක් තැන්වල ඉන්දියානුවන් සිටීමේ වාසිය මටත් ලැබුනා.

අන්න ඒ විදියටයි මං හිම වැටෙන රටකට ආවෙ. මෙතන ඉඳන් කියන්න තියෙන්නෙ තරමක් හැංගුණු කතාවක්. නැත්තං මට අන්අවේලබල් වෙන්න බැරි වෙනව. මාසෙකට පාරක් මං පයින් ගිහින් දේශසීමාවක් පනිනවා. පැනලා බිරින්දෑගෙත් දුවගෙත් ගිණුමට සල්ලි ටිකක් දානව. මගේ ගැන හොයන තුරුම්පුවකට ඉතුරු ගෑනිට සල්ලි වැ​ටෙන රටට කිට්ටු යුරෝපෙ රටක් සහ කපිල් කියන ඉන්දියන් නම විතරයි. මං හිතනවා ඒ වැඩේ අමාරුයි කියලා. මොකද මේක පබ්ලිෂ් වෙන්න දාලා තියෙන්නෙ තව අවුරුදු ගානකට පස්සෙ. පබ්ලිෂ් වෙද්දි මං මැරිලද දන්නෙත් නෑ. 

ලංකාවෙ එකෙක් නෑ මෙහෙ. කෑමත් රහ නෑ. ගෑනුන්ගෙත් මහ රහක් නෑ. මටත් දැන් හැටක්නෙ. උන්ටත් රහ නැතුව ඇති. මහ ලොකුවට සල්ලිත් නෑ. හොයපු බර ගානක් මගේ මේ අන්අවේලබල් වීම වෙනුවෙන් වියදං කරා. දැන් මං කිසිම ප්‍රශ්නයක් කිසිවෙක් නොඅහන, මං ආසා සින්දු, ෆිල්ම්, මැච්, කෑම, බීම, ගෑනු පිරිච්ච ලෝකෙක තනි වෙලා ඉන්නෙ. ළඟපාත මැච් එකක් තියෙන දවසට බලන්න යන්න ආසයි. ඒත් ඒවයෙ කැමරා තියෙන නිසා බයයි. ඉඳලා හිටලා ගෑනිගෙ කටහඬ අහන්න කෝල් එකක් දෙන්න හිතයි. ඒත් මේ පැත්තෙන් කතා නොකර ඉද්දි සැක හිතෙයි කියලා බයයි. ආයෙ කටහඬට ලෝබ වෙලා යන්න හිතෙයිද කියලා බයයි. කාටවත් ණය නං නෑ. හැබැයි බය තියෙනවා. මට ආයෙ කවදා හෝ අවේලබල් වෙන්න හිතෙයිද කියලා බයයි. එදාට අවේලබල් වෙන්න බැරි තරමට මං දැන් දුරක් ඇවිල්ලා නිසා බයයි. ඇත්තටම මං අන්අවේලබල්ද කියලා මට සැකයි.


Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

2 ක්ම තියෙනවා අදහස්:

නවීන් සංදීප කුමාර said...

😥😥😥😥

චතුවා said...

වෙලාවකට මටත් හිතෙනවා, එ⁣හෙම අන්අවේලබල් වෙන්න.

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!