"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, March 20, 2023

ඔයත් එනවද යන්න?

එයයි මායි පාරට බැස්සෙ එකට. එයාගෙ මූනෙ තිබ්බ හිනාවක්. මගේ මූනෙ තිබ්බෙ බලාපොරොත්තුවක්. අපි මග දිගට එනකං කතා කළේ එක දෙයක් ගැන. ඒ අපි දෙන්නම හොරෙන් හිනාවෙන තනි මිනිහෙක් ගැන. එයත් හිනා වුණා මං කියපු ඒවට. මාත් එයාගෙ උත්තරවලට හිනා වුණා බලාපොරොත්තුව දල්වාගන්න ඕන නිසා. අපි දෙන්නා ආවා බස් හෝල්ට් එකට. මං එතනින් නැවතුනු එකට එයාට පුදුමයි. එයා හිතුවෙ මං එයාව බස් හෝල්ට් එකට දාලා යන්න ආවා කියලා. මට පුළුවන්නං මං එයා එක්ක එයාගෙ ජීවිතේ යන තරං දුරක් යන්න බලාගෙන ඉන්නෙ. එහෙව් මම බස් හෝල්ට් එකක් ගාවින් හැරිලා එන්නෙ නෑ. 

මෙතනට එනවද හිස් බස්?

ඔව්...

ඩබල් සීට් හිස් තියෙයිද?

ඒ ඇයි?

මාත් යන්න හිතුවා.

ඔයා?

ඔව් ඇයි එපාද?

එහෙම යන්න ඔයාට කමක් නැද්ද?

කමක් නෑ.

එහෙමනං එන්න.

එයයි මායි ඒ දෙබසෙන් පස්සෙ ටික වෙලාවක් හිටියෙ දෙබසක් නැතුව. වෙලාවට බස් එකක් ආවා. අපි බස් එකට නැග්ගා. සෙනග නෑ. මං ඉස්සරහට යන්න හැදුවා. එයා අතින් මට පිටිපස්සෙ මුල්ලෙ සීට් එක පෙන්නුවා.

ඇයි මෙතන වාඩි වුණේ?

නිකං

නිකං වෙන්න බෑ

නෑ ඉතිං කාටවත් පේන්නෑනෙ

අපි අනිත් අය දැක්කම අවුල් දෙයක් කරන්නෑ නේද?

(එයාට ගියා හිනාවක්) නෑ මගෙ හිතට බයයි

එහෙමනං කමක් නෑ.

ඒකනං කිවුවෙ හොඳකින් නෙමෙයි.

නෑ ඉතිං...

නෑ ඉතිං මොකද්ද?

මෙතන වාඩි වෙන්නෙ ලව් කරන කපල්නෙ

ඉතිං?

ඉතිං අපි ලව් කරන්නෑනෙ.

එහෙමද?

මං කියන්නෙ මං ලව් කරාට ඔයා ලව් කරන්නෑනෙ.

මාත් කරන්නං....

එතනින් පස්සෙත් ආයෙ ගෙවුණෙ දෙබස් රහිත කාලයක්. ටික වෙලාවකින් මං ආසා විදියෙ දෙයක් වුණා. එයා දාගත්තා එයාගෙ අත මගෙ අත වටේට. අල්ලගත්තා මගේ ඇඟිලිවලින්. මගෙ හිතට දැණුන සතුට කියාගන්න විදියක් මට දැණුනෙ නෑ. මං බලං හිටියා එයා දිහා. එයාගෙ ග්‍රහණයේ නොතිබ්බ මගේ නිදහස් අතින් මං එයාගෙ කොණ්ඩෙ මූනෙන් අයින් කරලා ඒ ඔළුව මගෙ උරහිසට තියාගත්තා. එයා ලොකු හුස්මක් හෙළුවා. එයා බයෙන් ඇත්තෙ එයාගෙ මනුස්සයා දකියි කියලා. මාත් බයෙන් හිටියේ මගේ ගෑනි දකියි කියලා. හැබැයි ආදරෙන් ඒ බය වැහිලා ගිහින් වගේ. මගෙ මුළු හිත ම එයාගෙ. එයාගෙ ඇඟ ගැහෙනවා කියලා අතට තද වෙලා තිබ්බ පියයුරක උණුහුමට යටින් මට තේරුණා. මං ඒ අත තද කරගත්තා.

අපි කතා කළා අපි ඉස්සරහට මුණගැහෙන විදිය ගැන. අනිත් අයට සැක නොහිතෙන්න ඉන්න විදිය ගැන. අපේ ආදරණීයයන්ට අහු නොවෙන්න මෙසේජ් කරන විදිය ගැන. කොටිම්ම වෙන්න පුළුවන් නරකම දේ හිතලා, ඒ නරකම දේ හොඳම විදියට විසඳගන්න පුළුවන් විදියත් අපි හිතුවා. මගෙ පපුව පිච්චිලා යනවා ඒ මූනෙ හිනාව දැක්කම. ඒ අතරතුරදිත් එයාට ආවා කෝල් එයාව අයිති අයගෙන්. මටත් ආවා කෝල් මට අයිති අයගෙන්. ඒ හැම වෙලාවකම අපි හුස්මක්වත් නොගෙන වගේ නිහඬව හිටියා, මුළු බස් එකම සහරා ෆ්ලෑෂ් දෙදරවද්දිත්. 

මට මේක තේරෙන්නෑ

මොකද්ද?

ඇයි ඔයා මට ආදරේ වෙලත් ඒ ගැන නොකිවුවෙ?

මම දැනුයි දන්නෙ මම ඔයාට ආදරෙයි කියලා

මෙච්චරකල්?

මෙච්චරකල් අපි හිනා වෙලා කතා කළේ අරූ ගැනනෙ...

මගදි එයා මගේ මූන දිහා බැලුවා. අපි පහු කරමින් හිටියෙ බොරලැස්ගමුව. තව ටික දුරයි අපි වෙන්වෙන්න. ඒ ඇස් කිවුවෙ මං තව මදියි කියලා. මටත් තව හිතුනෙ එයා තව මදියි කියලා. බඩගිනියි වගේ නේද කියලා හිත් රවට්ටගෙන අපි බොරලැස්ගමුවෙන් බස් එකෙන් බැහැලා කඩයකට වැදුනා. තරමක් සෙනග පිරුණු අවන්හලක්. අපි කෑවා තනි පිඟානකින්. ගොඩක් වෙලා. හෙමින් හෙමින්. අතරින් පතර ඒ කකුලක් මගෙ කකුල දිගේ උඩට ගියා. එයා මට කවද්දි මගේ නිදහස් අතත් දඟ කළා කියල මට මතකයි. එයා කිවුවා එයා ගැන බර කතාවක්. මාත් කිවුවා මං ගැන ඊට නොදෙවෙනි කතාවක්. ඒ ඇස් අග කඳුළකුත් තිබුණා මතකයි. ආදරේ සතුට හිතේ තිබ්බ. කවුරුවත් දකියි කියන බය හිතේ තිබ්බා. අපිට අපි ගැන උපන්න දුකක් හිතේ තිබ්බා. සතුටයි බයයි දුකයි අතරමං වෙලා හිටියෙ ඊළඟට මොනවගේ හැඟීමක් අපිට දැනෙයිද කියල. අපි එතනින් නැගිට්ටා.

*************************************

එයාව ගෙදර ගාවින් දාලා මම ත්‍රීවීල් එකකට නැග්ගා. මග දිගට එයා මෙසේජ් එවුවා. ගෙදර ගියාම මෙසේජ් කරන්න බැරි බව මම එයාට කිවුවා. හෙට අපි මොකද කරන්නෙ කියලා එයා ඇහුවා. ගෙදර තත්ත්වෙ බලලා ඒකට උත්තරයක් කියන්නං කියලා මම කිවුවා. රෑට හොරෙන්වත් කතා කරන්න විදියක් නැද්ද කියලා එයා ඇහුවා. මොනවහරි ගේමක් ගහලා කෝල් එකක් ගන්නං එතකං ඇහැරිලා ඉන්න කියලා මම කිවුවා. මේ සිද්ධ වෙන්නෙ කාලෙකට කලින් තව කෙනෙක් එකක් ගිය දෙබසක්ම නේද කියලා මගේ හිත කිවුවා. ඒ හුරුපුරුද්ද හිතේ තියාගෙන මම මෙයාට උත්තර යැවුවා. එයත් ඒවට උත්තර එවුවා. උත්තර යවලා උත්තර ගන්න ප්‍රශ්න නැති ලෝකෙක ඉන්න අපේ හිත්වල, ඇයි බයයි දුකයි වගේ හැඟීම් තියෙන්නෙ කියලා හිත මගෙන් ඇහුවා. මට ඒක ගැන හිතට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ. මං සාමාන්‍යයෙන් බොරුවක් හෝ උත්තරයක් විදියට කියන මිනිහෙක්.

මේ විදියට අපිට උත්තර විතරක් හුවමාරු කරගන්න තිබුණු දවස් කීපයක්ම පහු වුණා. ඒ ඇඟේ නිරුවත හරිම ලස්සනයි. එයාගෙ මූනත් ඒ වගෙයි. ඒකත් ඒ ඇඟ තරමටම හරිම ලස්සනයි. ඒ හිතේ නිරුවතත් හරිම ලස්සනයි. එයා ඒක මා ඉස්සරහා ලිහලා දාපු වෙලාවෙ මං ආසාවෙන් ඒ හිතේ නිරුවත වින්දා. යහනක මුනිං අතට බලාගෙන නිසොල්මනේ ඉන්න සමහර වෙලාවට මට දැනෙනවා එයාගෙ අත දඟ කරන හැටි. ඊටපස්සෙ අපිට නිසොල්මනේ ඉන්න බැරි වෙනවා. ලොකු සුසුමකට පස්සෙ එයා නිසොල්මනේ ඉන්න වෙලාවක මගේ අතත් මටත් හොරා දඟ කරනවා ඒ ලස්සන පියයුරක් එක්ක. ඒක මගේ අතට හරි හීලෑයි. ඒ හීලෑ ගතිය දැනුනෙ කාලෙකින්. මේ විදියට උදේට ටිකක් පරක්කු වෙලා ඔෆිස් ගියා. ඒ පොඩි පරක්කුව ෂෝට් ලීව් වුණා. ෂෝට් ලීව් හාෆ් ඩේ වුණා. හාෆ් ඩේ ෆුල් ඩේ වුණා. අන්තිමට ඇනුවල් ලීව් ගන්න තැනටම වැඩේ දුර දිග ගිහින් තිබ්බ කාලෙක, අපි කතා කරන්න පටන් ගත්තා ප්‍රශ්න ගැන. මෙච්චර කල් උත්තර විතරක් ෂෙයා කරගත්ත මිනිස්සුන්ට ප්‍රශ්න ෂෙයා කරගන්න එක අලුත් එක්ස්පීරියන්ස් එකක්. එයාගෙ සමහර ප්‍රශ්නවලට මම දීපු උත්තරවලට එයා හිනා වුණා. මං ඒ හිනාවට ආසා නිසාම වැඩි වැඩියෙන් ඒ විදියෙ උත්තර දුන්නා.

*************************************

අපි තාමත් අපේ ජීවිතේ වැඩිපුරම හිනාවෙන දෙයක් ගැන තමයි මම මේ කතාව පටන් ගද්දිම කිවුවෙ. අපි දෙන්නා වැඩිපුරම ළං වුණෙත් ඌ නිසා. තාමත් කතා කරන්නෙ ඌ ගැන. ඒ තරමට උගෙ ජීවිතේ හිනාවෙන්න දේවල් අපිට තිබ්බා. ඒ අපි නරක මිනිස්සු හින්දම නෙමෙයි. ඒ අපි කියන මනුස්සයා තරමක පම්පෝරිකාරයෙක් හින්දා. ඌ  වගේ පම්පෝරිකාර අවුල් දේකට වුණත්, මොනතරම් වටින හොඳ දෙයක් අපේ ජීවිතේට ගේන්න පුළුවන්ද? ඒක තමයි මම අරූ ගැන හිතන හැම පාරකදිම මට දැණුනු දේ. ඌ නොවෙන්න මේ ආදරේ මගේ ජීවිතේ නෑ. එහෙම ඉන්න දවසක තමයි ඌව ආයෙත් මට හම්බුණේ.

ඌ දැන් සෙට් වෙලා ඉන්නෙ සුද්දියෙක් එක්කලු. ලංකාව වටේ යනවලු. සුද්දියි ඌයි බොනවලු. බිවුවම සුද්දිට මොකුත් මතක නෑලු. වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙනවලු. දවසම සෙක්ස් කරන එකලු වෙන්නෙ. ඉඳලා හිටලා කන්දක් නගින්න යනවලු. මං අහගෙන හිටියා පුරුදු විදියට ම උගේ කතා. එක තැනකින් නොනවතින පම්පෝරි. ඒ කතන්දර අතරෙ ඌ කිවුවා මගේ කුතුහලය අවුස්සන කතාවක්. අපේ ඔෆිස් එකට අලුතෙන් ආපු කෙල්ලෙක් ගැන. ඌ කියපු විස්තර එක්ක ඒ කියන්නෙ මගේ අලුත් ආදරවන්තිය ගැන. ඌ කරන්න තියෙන ඔක්කොම කරාලු එයාට. කුතුහලය හිතේ තිබුණත් මං විස්තර අහන්න නොගියෙ, මූ සැක කරයි කියලා හිතිලාමයි.

මගේ හිතේ පිරුණු ආදරේ කියන නිම්න භූමිය නොහිතපු හැම පැත්තකින්ම දෙදරලා ගියේ අරූ කියපු කතා එක්ක මෙයා කියපු කතා මගේ හිතින් සම්බන්ධ කරගෙන. අරූ ගැන කියද්දි මෙයා හිනා වුණේ අනුකම්පාවක් හිතේ හංගාගෙන කියලා, අර දෙදරාගෙන ගිය පොළොව යටින් උඩට ආපු ඉරිසියාව කියන නාගයා මට තට්ටු කරලා කිවුවා. මං තවත් හෙව්වා මේ මට නොකියූ සම්බන්ධය ගැන සැක හිතන්න, ඒ සැකයෙන් දුක හිතන්න, ඒ දුකෙන් තරහ හිතන්න දේවල්. මොකුත්ම ඇහුවෙ නෑ මම කාගෙන්වත්. එයාත් මෙයාත් කියූ කතා ගලපමින් මම කාමරේ හිස් බිත්තියක් දිහා බලාගෙන බිවුවා. කසාද ගෑනි අහනවා මගෙන් බීලා ඉවරයි නං ඇඳට එන්නෙ නැත්තෙ ඇයි? කියලා. ඒ අස්සෙ මේ ඔක්කොටම හේතුව වුණු එයා ම අහනවා මගෙන් ඉස්සර වගේ දැන් වල්පල් කතා කරන්නෙ නැත්තෙ ඇයි? කියලා. බොස් අහනවා මගෙන් උඹේ වැඩ පරක්කු ඇයි? කියලා. යාළුවො අහනවා මගෙන් ෂොට් දෙකක් දාද්දි සික් එක ගහලා වගේ පැත්තක් බලාගෙන ඉන්නෙ ඇයි? කියලා. මම ඒ හැම වෙලාවකම කල්පනා කළා අරුන් දෙන්නා ගැන.

මුළු ජීවිතේම එපා වගේ දැනුනෙ නොහිතපු තරමේ ඉක්මනකින්. ඒ අතරෙ තමයි මගේ කසාද ගෑනි මගෙන් ඇවිත් සමාව ඉල්ලුවෙ. මං එයාගෙන් ඇහුවා ඇයි මගෙන් සමාව ඉල්ලන්නෙ කියල. එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තලු. ඒකට එයාට සමාව දෙන්නලු. මං සමාව දීලා එයාට යන්නත් දුන්නා. එයා ගියා. මගෙ කසාද ගෑනි පිට මිනිහෙක් එක්ක ගිය එකට වඩා දුකක්, මං ආසාවෙන් ඉන්න මගේ හොර ගෑනි කලින් මිනිහෙක් එක්ක හිටපු නිසා මගේ හිතට දැනෙන්නෙ ඇයි? මං ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න හිතුවා.

සමහරවිට ඒ අපි දෙන්නා වැඩිපුරම ලං වුණේ අරූ නිසා වෙන්නැති. මුළ ඉඳම්ම මේ කියන්නෙ කවුරු ගැනද කියලා දැන දැනත් එයා මට නොකියා හිටපු එකට මගේ හිතට දුක ඇති. අන්තිමට මේ ඔක්කොම මම දැනගත්තේ අපේ ආදරේ එකිනෙකාට ප්‍රත්‍යක්ෂ වුණාට පස්සෙ වෙන්නැති. මිනිස්සු කියන වචනවලින් නෙමෙයි අපි රිද්දගන්න ඕන. මිනිස්සු අපිට ඒ වචන කියන්න හේතු වුණු එයාලගේ හැඟීම නිසායි අපි රිද්දගන්න ඕන. එහෙමනං මුලින්ම අපිට ඒ හැඟීම තේරෙන්න ඕන. දරුවෙකුත් හිටියෙ නැති නිසා අපිට දික්කසාදය ඉක්මනින් ගන්න පුළුවන් වුණා. කසාද ගෑනිත් නැති මට, දැන් හොර ගෑනියෙකුත් ඕන නෑ කියලා හිතුනා. ඒ නිසාම මේ අවුල එයාට කියලම විසඳගන්න හිතුව ම​ම.

*************************************

අරූ මට කිවුව ඔයත් එක්ක උගේ සම්බන්ධයක් තිබ්බලු කාලයක්

ඉතිං?

ඇයි ඔයා අපි මෙච්චර ඌ ගැන කතා කරලත්, එහෙම දෙයක් ගැන කලින් මට නොකිවුවෙ?

කොච්චර කල්ද ඌ ඔයාට ඕක කියලා?

මාස දෙකක් විතර

මෙච්චර කල් හිතේ තියං හිටියද, තරහෙන් පුපුර පුපුර?

ඔව්! 

එයාගෙ මූනෙ හිනාවෙක්. හිත ගැස්සුනු බවක් පෙණුනෙ නෑ. මගේ හිතේ සැකේ වැරදිද? මං මෙච්චර කල් හිතෙන් විඳවලාද? මේ කතාවට ඌට ගහන්න විදියක් නැත්තෙ, එතකොට ඌ මේ සම්බන්ධෙ ගැන දැනගන්න නිසා. එහෙම වෙලාවක වෙන්න තියෙන නරක ම දේත් ඒක. එයා ෆෝන් එක බලනවා. මම හිතුවෙ මට හොරෙන් එයා අරූ එක්ක ගිය චැට් ටික මකනවා කියලා. එහෙම නැත්තං, එහෙම මොකුත් නෑ කියලා මට පෙන්නන්න හදනවද? එයා තරමක් ලොකු හුස්මක් හෙළුවා. මං ඒ ඇස් දිහා බැලුවා.

        මාස දෙකකට කලින් ඌ මට මෙසේජ් එකක් එවලා තිබ්බා

        මොනවා කියලද?

        එයා ඔයාගෙ හොඳ යාළුවෙක් කිවුවා. මම ඔයාගෙ පෝස්ට්වලට රියැක්ට් කරන නිසා තමයි රික්වෙස්ට් එකක්        දැම්මෙ කිවුවා.

        ඔයා මොකද කිවුවෙ?

        මම ඌව බ්ලොක් කළා.

        ඇයි මට නොකිවුවෙ?

        මං දැනගත්තා ඌ ඔයාට මෙහෙම කතාවක් හදලා කියයි කියලා. 

        ඉතිං...

        ඉතිං ඔයා ඒ කතාව මට කියනකං මං ආසාවෙන් බලං හිටියා.

        ඇයි ඒ?

        ඔයා ඉරිසියාවෙන් පිපිරෙනවා දකිද්දි මට යන්න හිතෙනව දුර ගමනක්.

        ඉතිං යන්න.

        ඔයත් එනවද යන්න?



Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

4 ක්ම තියෙනවා අදහස්:

සූටික්කා said...

මාරයි

Anonymous said...

රචින්ත මහත්තයා මානසික ව්‍යාධියකින් පෙළෙනවා ද?

Lalith said...

Good one....

Anonymous said...

චුවා

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!