සදා දුඹුරු වත මගටම සසල වුණේ
පතා සුවහසම තම තමන් වෙනුවෙනේ
විටෙක විරිඳු තවිටෙක කවි ගයමිනේ
සිඟනුන් වීදියේ වැඩි කිමද නිරිඳුනේ
දෑසේ දුක මවා රැවටුවද කෙනෙකුත්
දෙකකුල් කොර කරං නැම්මුවද හිතකුත්
දරුවෙකු වඩං යහමින් හැඬුවද කොතෙකුත්
කෙසේ පුදනු වෙද මගියා නොහැකි මුකුත්
තේකට පෙඟුණු පාන් වේල සරිද සිරිනිණේ
දා පෙරුණු මිණිසුන් ලුහු අතින් නෙවෙද විසිරුණේ
බැලුවත් නොදුටු මෙන් උඩ බලනවාද සිඟනුනේ
මරණයෙහි සුවඳ නුඹටත් දැනුනාද සකියනේ
ටයි පොලු දමා යටි මඩිකම් තොරක් නැතී
සළුපට ලිහා දෙන වත වෙත අධි මිලැතී
කාකි ඇඳුම වෙත පගාව ඇවිද එතී
සිඟමන උඩට ඔය පක්කලි යටට යතී
පන්සල් රෝහල්ද මහ සැල් අසල හිනැහුණේ
දුකම උරුමයද යට ගිලි නෙතු තුල තිබුණේ
රුපියල දෙකට එක්වුණු අත් බිම නැමුණේ
හෙටක් නැති රටක ධජය නුඹලාද සිඟනුනේ
"මංජුල වෙඩිවර්ධන කවියක්" පාදක විය.
ඡායාරුව අයත් වෙබ් අඩවියට යෑමට ඒ මත ක්ලික් කරන්න.