මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Showing posts with label අදහසක් දෙන්න. Show all posts
Showing posts with label අදහසක් දෙන්න. Show all posts

Friday, July 29, 2011

ආත්මීය සාහිත්‍යයේ පරස්පර දැක්වීම්


රසමසවුළු නැති මින් බත් පතට සරූ
නිසි සැලකුම් නැති ගෙරවිලි රැවිලි පිරූ
චන්ද්‍රෝ නුඹ වෙතට මගෙ පෙම මහත් සරූ
ඇතිමුත් යනෙමි බිඳි සිත මගෙ හදනු බොරූ

තිලක්! තිලක් මේ කතාවේ කථා නායකයා. තිලක් මේ කවිය ලියනව අන්තිමේ බාර් එකෙන් අතට ලැබිච්ච බිලේ. තිලක් පොරක්. තිලක් අඳින්නෙක්. රූප අඳින්නෙක්. ඉඳල හිටලා කවිත් ලියවෙන. වයලින් වාදකයෙක්. රැකියා නාමයට ක්ලාක් කෙනෙක්. තිලක් වෛද්‍ය විද්‍යාලෙ දෙවෙනි වසරට වෙනකං ශිෂ්‍යයෙක්. මනුස්සයට විශ්ව විද්‍යාල ජීවිතේ එපා වෙනව. වෙනදට අම්මලා ගෙදර නැති දවසට තේකෙ හිටන් හදලා දීපු නැන්දා මුව නොසෑහෙන්න බනිනවා. ගෙදර මිනිස්සුන්ගෙ කේන්තිත් අවුස්සනවා. තිලක්ගෙ ජීවිතේ සංක්‍රාන්ති කාලයක් තියෙනවා. උදේ ඇහැරෙන, තේකෙන්ම කට හෝදල බඩත් පුරවන, උදේට කාපං කියනකං ලියන, උදේට කන, දවල්ට කාපං කියනකං චිත්‍රයක් එක්ක හැප්පෙන, දවල්ට කන, බඩට එපාවෙච්චි කෑම පුකට ඕනිවෙච්චි වෙලාවට එලියට දාන, හිතට හරියනකං නිදියන, රෑට වොලී බැස්ටියන්ගෙ සින්දු ටිකක් වයලින් එකෙන් අතුල්ලලා නිදි ඇඳට වැටෙන තිලක් රෑට කන්න ඇහඇරෙන්නෙ රෑ දහයට. එහෙම්මම දවස ඉවර කරන තිලක්ට කාලෙන් කාලෙට ගෑනු පරාන සම්බන්ධ වෙනවා.


සීගිරිය! සීගිරිය මේ කතාවෙ කතා නායකයට, තමන්ගේ ජීවිතේ මුදල්මය වටිනාකමක් නැති එහෙත් සතුට උපරිම කරවන්න මග පාදවපු තමුන්ගේ නිර්මාණ වල උල්පත. තිලක් සීගිරිය ගැන හැදෑරුවෙ නෑ. ඒත් තිලක් සීගිරිය ගැන හිතුවා. තමුන් දන්න පොඩි පොඩි සීගිරිමය තොරතුරු ඇතුලේ තිලක් සීගිරි සාහිත්‍යයක් ගොඩනැගුවා. ඒක දවසින් දවස අලුත් උනා. තමුන්ගෙ සංක්‍රාන්ති අවධියේ ඒ ඒ ගෙවිච්ච දවස් වල ඒ ඒ හැඟීම තිලක්ගේ මනෝ මූලික සීගිරියේ පිට කවරය උනා. තිලක්ගේ කලිසං සාක්කුවේ තිබිච්ච නවපු කොලේක මෙහෙම තිබුනා.


-කාෂ්‍යප-                                                                            -අප්සරා-
සිත් තැවුල් හද ඉගිල යනු මිස                                             පිතු මරා දුරැරා සිතින් එය
ඇස් කෙවෙනි අග බිඳු තියා                                                සිටින මුත් නොසිඳුනු ලෙසේ
බොඳවූ දෑසින් විඳිමි මම රූ                                                රාගධික බැල්මන් විදියි මයෙ
ලඳුන් සෙල මත විහිදියා                                                     නිරුවත්වු දෙතනේ රසේ


-තිලකේ-
තම පියාගේ නික්ම යෑමෙන්
රිදුම් දෙන හද දර දරා
සිටින කුමරුට දෙතන් පෙන්වන
නොහික්මුණු වන අප්සරා

තිලක්ට ගෙවෙන මොහොතක් ගැන පැති ගොඩකින් හිතන්න පුලුවන්. ඒක හොඳ දෙයක් කියලා කියවන ඔබට හිතුනට, එහෙම හිතෙන එකෙක්ට ඒක හරිම වදයක් වෙන්නත් පුලුවන්. තමුන් තනියෙන් රසවිඳපු අප්සරාවො දිහා වෙනින් ඇස් කන්දරාවක් පස්සෙ කාලෙක යොමු වෙයි කියලා කාෂ්‍යපට හිතෙන්නෙ නැතුව ඇති. තමුන්ගෙ රාජධානිය පින්තූර කරලා විකුනගෙන කයි කියලා කාෂ්‍යපට හිතෙන්නේ නැතුව ඇති. අප්සරාවන්ට වඩා ලස්සන ලැමක් තියෙන ගෑනු අප්සරාවන්ගෙ ලැමට ඊරිසියා කරයි කියලා කාෂ්‍යපට හිතුනෙ නැතුව ඇති. මෙව්වට මෙහෙව් උනැයි කියලා කාෂ්‍යප රජ්ජුරුවො දැනගත්තනං මනුස්සයට ලැජ්ජත් හිතෙයි. ඔබ හිතන්න කාමරේ දොර වහගෙන සෙක්ස් ෆිල්ම් එකක් බලද්දි තාත්ත කාමරේට ඔලුව දැම්මොත් ඔබේ මූනෙ හැඟීම. තමුන් බිව්වයි කියලා මතක් කරන්න දීපු බිලක පිටිපස්සේ තිලක් කුරුටු ගාපු කවි කෑල්ලක්, බ්ලොග් එහෙක යයි කියලා තිලක් හිතන්නැතුව ඇති. එහෙම උනානම් තිලක් තමුන්ගෙ නම තිලකේ කියලා නොලියයි. ඒ තිලක් තමුන් විඳින්න කැමති විදිය. ඒක අනෙකෙකුට කියලා විඳවගන්න බෑ. ඔබ විසින්ම මතක් කරගන්න කවුරුන්හෝ තමුන්ට මේ නමින් කතා කරන්නය කියලා වෙනස් නමක් කිව්වම් ඔබේ මුහුනට ආපු උපහාසාත්ම ඉඟිය. ඒක තමයි මිනිහගේ ඇතුල. ඒක රහසක් වෙන තරමට ඒක ඒ ඒ අදාල මිනිහට රහයි. තමන්ගෙ කවි කෑල්ලට මෙහෙව් වෙච්ච විත්තිය තිලක් දැණගත්තොත් තිලක්ට ලැජ්ජත් හිතේවි. මොකද කාෂ්‍යප වගේම තිලකුත් මේක බෙදාගෙන රසවිඳින්න කරපු දෙයක් නෙමෙයි.

ඔබ තාමත් හිතනවද ඔබ දෙයක් දිහා බලන විදිහේ ගැම්ම මදියි කියලා. ඔබ කුමක් හෝ අවස්ථාවකදි මුලදි ගත්තු තීරණයක් වෙනස් කරලා තියෙනවද? පිලිතුර "ඔව්" නම් ඔබ යම් අවස්ථාවක් දෙස අවම වශයෙන් දෙවිදිහකින් බලලා තියෙනවා. ඔබ ඒ මුලු සිද්ධිය ගැන පේලි හතරක් ලියන්න හිතුවද? ලියලා තියෙනවද? ඔබ මුලු සිද්ධිය විස්තර කරන්න තනි වාක්‍යයක් හිතුවද? ඔබ එය කොලේක ලියන්න බය හිතුනද, මිතුරන් එය දකීවියි සැකයට? ඔබට ලැජ්ජා හිතෙයිද? ඒ වෙනකොට ඔබේ ආත්මීය නිර්මාණය ඔබේ මතකෙන් ගිලිහිලා නේද? දැන් අපරාදෙ කියලා හිතුනද?

අවට වෙච්ච සිද්ධි ගැන ඔබේ ආත්මීය ප්‍රකාශන ඔබ විසින්ම එකතු කරන්න.
එය ඔබට මහත් සතුටක් වේවි. අස්වැසිල්ලක් දේවි.

හැබැයි අවසාන වශයෙන්! එය ඔබ පමණක් රසවිඳින්න.

මගේ සිතුවිල්ල පරස්පර විරෝධීයි කියලා තිලක්, කාෂ්‍යප සහ ඔබ ඇසුරෙන් ඔබට සිතුනාද?

Thursday, May 26, 2011

නුඹටත් දැනුනාද සකියනේ


සදා දුඹුරු වත මගටම සසල වුණේ
පතා සුවහසම තම තමන් වෙනුවෙනේ
විටෙක විරිඳු තවිටෙක කවි ගයමිනේ
සිඟනුන් වීදියේ වැඩි කිමද නිරිඳුනේ

දෑසේ දුක මවා රැවටුවද කෙනෙකුත්
දෙකකුල් කොර කරං නැම්මුවද හිතකුත්
දරුවෙකු වඩං යහමින් හැඬුවද කොතෙකුත්
කෙසේ පුදනු වෙද මගියා නොහැකි මුකුත්

තේකට පෙඟුණු පාන් වේල සරිද සිරිනිණේ
දා පෙරුණු මිණිසුන් ලුහු අතින් නෙවෙද විසිරුණේ
බැලුවත් නොදුටු මෙන් උඩ බලනවාද සිඟනුනේ
මරණයෙහි සුවඳ නුඹටත් දැනුනාද සකියනේ

ටයි පොලු දමා යටි මඩිකම් තොරක් නැතී
සළුපට ලිහා දෙන වත වෙත අධි මිලැතී
කාකි ඇඳුම වෙත පගාව ඇවිද එතී
සිඟමන උඩට ඔය පක්කලි යටට යතී

පන්සල් රෝහල්ද මහ සැල් අසල හිනැහුණේ
දුකම උරුමයද යට ගිලි නෙතු තුල තිබුණේ
රුපියල දෙකට එක්වුණු අත් බිම නැමුණේ
හෙටක් නැති රටක ධජය නුඹලාද සිඟනුනේ


"මංජුල වෙඩිවර්ධන කවියක්" පාදක විය.
ඡායාරුව අයත් වෙබ් අඩවියට යෑමට ඒ මත ක්ලික් කරන්න.

Wednesday, April 20, 2011

ආදරය ගුල්ගත වීම

ඔබත් කොටුව ඇතුලෙද?

සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, සම්මතය තුල ඔබ හැසිරෙන්නේද? ආදරය කරන්නේද? ඒ තුල ඔබ සුවයෙන් සිටීද? විවේක ගනීද? මේ ලෑලි සතරෙන් බැඳි රාමුව, ඒ මැද පිහිටි ඔබේ ජීවිත රූපයට නිදහසක් දේද? සංස්කෘතිය අනුව විවාහයට පෙර නිවසින් අනුනොදැන ඔබත් ඇයත් උද්‍යානයකින් එළියට ඒම ඇස් කීයකට රැවීමට බලකරයිද? කොල්ලුපිටියේ වීදි ලාම්පු එළි මැද ඔබත් ඇයත් දහසකුත් බිසී ජීවිත අතර නිදහස්ව වෙසෙන කල, ඒ බිසී වූ සදාචාරවාදියෝ සියළු වැඩ නවතා ඔබ දෙස අවඥ්ඥාවෙන් නොබලන්නේද? ඔබේ පෙම්වතිය හැඩවූ දෙදන තෙක් කොට කලිසමට සහ අත් කැපූ ටී ෂටයට සභ්‍යත්වය විසින් ගල් නොගසයිද? අවසානයේ, සම්මතය සුදු රෙද්දේ ලේ වූ කල ඔබේ අම්මා ඔබේ බිරිඳට අනුකම්පා කරයිද?

Posh ද? [ආදරේ]

ඔබත් ඇයත් posh ජෝඩුවක්ද? ඔබට Billabong ටී ෂටයක්, Arugambay සෙරෙප්පු කුට්ටමක්, හිරට මැසූ ලොකු චෙක් ෂෝටක්, early 70's designer made සඟා කුට්ටමක් තිබේද? ඔබ ඇයට ආදරය ප්‍රකාශ කලේ Cinnamon Lakeside හිදීද? ඔබ ඇයට Mondy වෙතින් Pencil-cut වස්තරයක් ගෙනදුන්නේද? ඔබත් ඇයත් පැලමුවරට ඇස ගැටුනේ Uniform පාටියකදීද? ඔබත් ඇයත් ගාලුමුවදොර කාලතුවක්කු යට සෙවන සොයන ජෝඩු දෙස අවඥ්ඥාවෙන් බැලුවාද? කවරය පොෂ් ඇතුල පුස් වීම ගැන ඔබට ආඩම්බරයක් මිස ලැජ්ජාවක් නැතිද? පොෂ් ආදරයක හිමිකරුවෙකු වීමට ඉහත සුදුසුකම් ඔබට තිබේද?

හැංගීම

ඔබත් ඇයත් සැඟව සිටීද ලෝකයෙන්, ඔබත් ඇයත් එක්ව තනන්නට යන ලෝකය සුනුවිසුනු කරන්නට බලා සිටින; ඉරිසියාකාර ඥාතියාගෙන්? කනවැන්දුම් අසල්වැසියාගෙන්? ආදරය නොවිඳි මිතුරාගෙන්? අතට අසු වන සොඳුරු වදන් පිරි ලියුම් වලට බියෙන් ඔබ ඉලෙක්ට්‍රොනික සිංග්‍රීසියෙන් ඇය හා ආදරය කරයිද? ඔලුවටත් ඉහල ලැජ්ජාව, සයිවර් කඩයක් දිවා ආහාරයක් සඳහා ඔබව වලකයි ද? කෙදිනක හෝ ඔබ දිනිය යුතු ආදරය.. අග්‍රඵලයට පැමිණිය යුතු ආදරය.. බලා සිටී යැයි සැක සිතන මිනිස් පිරිසක් නිසා ඔබ මුදල්, කාලය වැය කරමින් කැප්සියුල් ගත කර ඇත්ද? 

ගර්භිතයිද?

ඔබත්.. උදයට හමුවන, එක්ව ආහාර ගෙන, බොක්ස් එකක් තුල පොරබදා, කේඑෆ්සී යෙන් හිත් පුරවන්, උම්මා එක දී ඇමතුම නවතන, එසේ නැතිදා රන්ඩු කරන ජෝඩුවක්ද? එක්වී පවුලක් ලෙස යහපත් දරුවන් සාදා, සතුටින් වැඩඵල කොට, සතුටින් උපයා, සතුටින් මියයන්නට පෙරුම් පුරන්නේ නම් ලෝකයා හමුවේ නොවෙනස් විය යුතුය. අවශ්‍ය වන්නේ විශ්වාසය හමුවේ ඔබ දිනාගත් ඔබේ ආදරය, අධ්‍යාපනය, විවාහය, රැකියා, දරුවන් යන මං සලඛුනු ඔස්සේ ඉදිරියට ගෙන යාමයි. ආදරයම ආදරයෙන් ඉදිරයට යාමය. ලොවක සිත් සනසා තබන්නට, ඔබ ඔබේ ආදරය පුද කලේද? විමසන්න.

Monday, April 11, 2011

ආටා අජේ

හේ අජිත් විය. මුල් කාලයේ පටන් අජියා වුවද, වසර පහක පමණ සිට අජේ බවට පත් වූයේ ඔහු ධාවනය කර ඉපැයූ තුන් රෝද රියේ ඇතුලත පසුපස අජේ දේව්ගන් ගේ රුවෙන් හැඩව තිබීමයි. ස්ටෑන්ඩ් එකේ සීඩී ප්ලේයරයක් තිබූ එකම රිය මෙය වූ අතර, ඒ සඳහා ඔහුට කදිම හේතුවක්ද විය.

"සින්දුවක් නැතුව වීල් එකක් පදින එක එපාම කරපු වැඩක් මල්ලී. එහෙම උනත් දැන් ඉන්න උන්ගේ කුණු සින්දු අහනවට වඩා හොඳයි කන්න හොයලා දෙන වීල් එකට පොල්ලකින් ගහන එක. ඒ නිසාම තමයි මේ සින්දු ටිකක් සෙට් කරගෙන, ඒ ටිකම අහ අහා යන්නේ.."

ආටා අජේ. . . ඕනම කෙනෙකුට හිනාවක් දාලා වීල් එකට නග්ගගත්තු බස්සපු හිත හොඳ මිනිහෙක්. සමාජ භාෂාවෙන් ත්‍රීවීල් කාරයෙක්. කොයිවෙලෙත් සින්දු ඇහිච්ච ත්‍රීවීලරයක අයිතිකාරයෙක්.

"මන්දා මල්ලී මේවා උඹලා ඕනතරම් අහලා ඇති. මහ ඒකාකාර කතා. එච්චර ගැලපෙන ගෑනියෙක්ව අතෑරලා දාන්න උනේ අම්මලාගේ විරෝදෙට. මං ඒ මිනිස්සුන්ගේ පුතා උනාට මං එපැයි මල්ලී මගේ අනාගතේ හදාගන්න. ඊටපස්සේ කසාදෙනුත් විඳෝපුවා මතක් වෙද්දී තමයි, මිනියක් දෙකක් මැරිලා හරි මගේ ගෑනිව මගේම කරගන්න තිබ්බනං කියලා හිතෙන්නේ. මම කියන්නේ නෑ දෙමව්පියෝ වැරදියි කියලා. ඒත් මට හරියි කියලා දන්න දෙයක් ඒගොල්ලෝ නිසා වෙනස් කරා. ඒකට මම තාම විඳෝනවා."


බැඳි මාසිත් නුඹ ලඟ ඇති වෙයි දෙවෙලේ
පණ ගිය මුත් නොහරිමි නුඹ වෙත ආලේ..
***************

ඒකනං මහ නරුම අතීතයක්! මං ඒ දවස් වල වීල් කුලියට දිවෙව්වා.කසාද ගෑනි මගේම වීල් එකක් එලවපු එකෙක් එක්ක ඒ වීල් එකෙන්ම පැනලා ගියා. හැබැයි ගෑනි අමාරු කාරි. ඌට ලේසි වෙන එකක් නැහැ. හැබැයි අරූ හොඳ උත්සහවන්ත කොල්ලා. මොනව උනත් ඒකි ඌත් එක්ක හොඳින් ඉන්නවනං ඇති. ඒ ඒ දේවල් වලින් අපි ඒ ඒ පාඩං ඉගෙනගන්න ඕන මල්ලී. ආදරේ එහෙමයි දේවල් කැපකරන්න වෙනවා. ඔය ඔක්කොම තියෙන්නේ ආදරේ හින්දා. නැති දාට විඳව විඳව ඉන්නවට වඩා යන එක හොඳයි. කොයි මිනිහද ගෑනිද කැමති මල්ලි රන්ඩු වෙවී ඉන්න. ඉන්න තැනක දෙමහල්ලෝ හොඳින් ඉන්නනවනං ඇති.

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න
***************

ඔය සිද්ධි වෙලා මුල් කාලේ මම බිව්වා මල්ලී බිවිල්ලක්. . . දිවේ රහ නැතිවෙනකංම. ඒ බීපු බීමටද මන්දා බීමත් එපා උනා. කොයිවෙලෙත් වෙරි වෙලා හිටියේ. හප්පා. . . ඒ තරං ගොන් වැඩක් මගේ ජීවිතේ මම කවදාවත් කරලා නැතුව ඇති. බිව්වට කමක් නෑ මල්ලී... අනුන්ට කරදරයක් නිවෙන්න, මත් ගතිය තියෙන්න බිව්වම ඇතිනේ. අනික ප්‍රශ්න වලට බොනවා කියන එක මහ මෝඩ වැඩක්. වෙරි හිඳෙද්දි ප්‍රශ්නේ එහෙමමයි. සමහරවිට ප්‍රශ්නේ තවත් ලොකු වෙලා. ඒක තේරෙන්නත් ප්‍රශ්නෙකදි බීලම බලන්න ඕන.. මල්ලි ප්‍රශ්න වලට බීලා නැද්ද?

මීවිතකින් ගත උණුසුම් වූවද... සිත උණුසුම් වේදෝ..
***************

මම බීම නවත්තලම දැම්මා මල්ලී. එක නැවැත්තුවත් එක්ක හුඟක් සල්ලි ඉතුරුවක් උනා. තනි මම හින්දා එහෙමට හම්බුකරන්න ඕනෙත් නෑ. අපි මැරෙන මිනිස්සුනේ. මම දැන් දවල් දෙකෙන් පස්සේ ස්ටෑන්ඩ් එකේ නෑ. උදේ හයර් ටික ගියා; දවල්ට බත් පැකට් පහක් අරං, හතරක් අර කුරුඳුවත්ත පාර මුල ගාමන්ට් එක ගාව ඉන්න පොඩි කොල්ලෝ හතර දෙනාට දීලා අනික අරං ගිහින් කාලා නිදාගන්නවා. පව් මල්ලි උන්! මටත් දරුවෝ නැති එකේ උන්ටවත්.. හ්ම්ම්ම්... උන් හරි අසරණ වෙලා ඉන්නේ මල්ලි.. අම්මෙක් අප්පෙකුත් නැහැනේ.

පයිප්පයේ දුඹුරු වතුර බෙලෙක් පිඟානේ පුරවා...
මුවින් උරාබොන්නෝ සෝපාකලා...
***************

"ඉතින් දැන් කසාදයක් ආපහු කරගත්තොත් හොඳ නැද්ද ලොකු අයියෙ?"

හ්ම්ම්.. මම නිදහස් මිනිහෙක් මල්ලී. මට දැණ් කිසිම බරක් නෑ. මට ඕනෙ වෙනකං හයර් යනවා. ඕනනැත්තං නවත්තනවා. ඒත් ගෑනියෙක් ගත්තොත් ඔය ජීවිතේ ලේසි නෑ. කන්න අඳින්න, ළමයින්ට කන්න අඳින්න.. එහෙම උනොත් තව ලොකු ගේකුත් ගන්න වෙනවා. අනික ඕන කාලෙදි නොහිටපු ගෑනු දැන් මොකටද මල්ලි. නිදිවදින්න හිතුනොත් ඕන තරං මඩං තියෙන එකේ, මම ඕක හිතින් අහක්කරං ඉන්නේ. මාත් හිත ඇතුලේ ඔය ආදරේ ගොඩක් හිරකරං ඉන්න මනුස්සයෙක් මල්ලී. මොකෙක්වත් තමුන්ගේ ලඟ නෑ.. තමුන්ට ආදරේ නෑ.. කියලා දැනෙනකොට එන වේදනාව සුළුපටු නැහැ. මම මේ දෙපැත්තටම හිරවෙලා.

අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන
සැමරුම් මේ කුළු අතර නිරන්තර...
නිදහස ඇත කාටත් පිවිසෙන්නට
එන්න එපා එළිපත්තේ ආදරේ...
***************

අවසානයේ ජීවිතය පිලිබඳ නිශ්චිත නිගමනයක් නොමැතිව මා ත්‍රීවීල් ස්ටෑන්ඩ් එකෙන් පිටවන්නට සිතුවෙමි. ප්‍රතිවිරුද්ද දිශානති වලට අදින හේතු මත මිනිසුන් වල්මත්ව ඇත. නිශ්චිත පිළිතුරු නැත. වැරදි මග වැරදි ලෙසටත්, වැරදි මග හරි ලෙසටත්, හරි මග වැරදි ලෙසටත් නොගොස්, හරි මග හරි ලෙසට යන ක්‍රමය සොයාගත යුතුව ඇත. අජේ අයියාට හිස නමා මා නවතා තිබූ ත්‍රීවීලරයෙන් බැසීමි. සීඩී ප්ලේයරය වැඩ කරමින් තිබිණි.

මං මුලා වෙලා අඳුරේ මේ...
යන්නේ කොහේ දැන් අප සැමා...

Tuesday, July 6, 2010

දෙබස

........
ඈ: කොන්ඩේ කැටි ගැහිලා.නාගන්න තිබ්බානං!

මා: ඔය දවසට නාන්න එපා!

ඈ: ආ. . .!

මා: ආ. . . තමයි.ඇඟ සීතල උනාම හොඳ නෑ.යන එක නවතියි.

ඈ: පණ්ඩිතයා

මා: පණ්ඩිතකමක් නෙමෙයි.දවස් තුනයිනේ ඉවසලා ඉන්න.

ඈ: දන්න දේවල්.. .

මා: එහෙම තමයි!

ඈ: කොහොමද ඔච්චර දන්නේ ?

මා: පොත් කියවලා (ඉඟි මරමින්)

ඈ: පොත්? කීයක්ද?? (දෙතොලග සිනහවක්)

මා: ගොඩක්! පුස්තකාලයක්ම

ඈ: හ්ම්ම්ම්... දැන් කියවන්නේ මොකද්ද?

මා: මගේම පොතක්. ..කියවන්නෙත් මම ම විතරයි
මගේම විතරයි. පුස්තකාල පොත් වගේ නෙමෙයි.

ඈ: පොතත් එහෙමයි.
වෙන කට්ටියට කියවන්න බෑ.

මා: අහලා නැද්ද ශ්ලෝකේ ??

ඈ: අහ්. . . මොන?

මා: ස්ත්‍රී රත්නං
පුස්තක රත්නං
පරහස්ත ගතං
ගතං ගතං

ඈ: තේරුම?

මා: ගැහැනුන් මෙන්ම පොත් අන් අය අතට පත් උනොත් ආපහු ලැබීමක් නෑ!

Wednesday, January 27, 2010

උඹයි මායි

උඹයි මායි
අරක්කු නැහැදුව එක විතරයි
කෑලි පස්සෙන්මයි
ඉස්කෝලෙදි හැමදාමත්
කොරිඩෝවට වාරුවෙච්ච උං

උඹයි මායි
ගියා පාටි වලට
නැටුවා රෑ එළිවෙනකං
මොනවද කෑවේ
මොනවද බිව්වේ

උඹයි මායි
ආවා මූණු පොතට
ඒකෙත් වල බැස්සා. ..
නොකරපු තක්කඩිකමක්
කළුනික වගේ

උඹයි මායි
දැම්මනේ ඡන්දේ
දෙන්නම එක පිහිපාරෙන් බිම
අසරණයි උඹයි මායි
පැති දෙකක වෙලත්

Monday, January 11, 2010

හැටි


වැන්දා නොවැන්දා
මුවින් පිටවෙන බුදු සරණ
කටක් කාපං පුතේ. . .කටක්
දුවන්න දුවන්න. . .එලවං එන
ඒක ඉතින් ඔය ජාතියේ හැටි

මොකද ඔය කොන්ඩේ
පැයකට දෙපාරක් දොරට තට්ටු
කවද්ද විභාග
ඒක ඒ ජාතියේ හැටි

එනකං මගබලං
ඉන්නකං කන් පුරවන්
යනකොට ඇස් තෙත් කරං
පපුවට තුරුලෙන් ආසාවෙන්
ඒක මෙයාගේ හැටි

යමු එකට. . .එමු එකට. . .
ඉමු එකට. . .
අනිත් උන්ගේ ආදරේ දියර උනාට
මේ ආදරේ කුට්ටියක්
මගේ ආදර කුට්ටිය

අරයා. . .එයා. .මෙයා
ඇතුලේ ගැටි ගැටී
හුස්ම ගන්න එක
මගේ හැටි. . .

Friday, December 25, 2009

අදහසක් දෙන්න


අද මට මාර අත්දැකීම් ගොඩක් ලැබිච්ච දවසක්.සමහරවිට මට කලිනුත් ඔය කියන අත්දැකීම් ලැබිලා ඇති;ඒත් අද තමයි තේරුම් ගියේ.මේ කියන අද දවස ගැන දිගට ලියන්න බැරිවෙයි.සමහර දේවල් හංගන්නත් තියෙනවා.ඒකට හේතුව මගේ බ්ලොග් එක මහ ගොඩක් නොකියෙව්වට,කියවන ටික දෙනා මම කවුද කියලා දන්න නිසා.ඒවගේම අද අමුතු සිද්ධි ගොඩක් උනා.එකකට එකක් නොගැලපුනත්. . .ඒවා මාවම හොයාගෙන ආපු ගතියක් මට දැනුනා.මේක ඕගොල්ලෝ කිසිකෙනෙක්ට වැදගත් ලියමනක් නොවෙන්න පුලුවන් (මම කලිනුත් එහෙම එවුවා ලිව්වේ නැහැනේ.).මම ඉතින් අද මුල ඉඳන්ම කියන්නම් දවස ගැන.

අද දවස පටන් ගන්නේ දරුණු හීනෙකින්.ඒක මුලින්ම වෙන්නේ මම මගේ තරහාකාරයෙක් එක්ක දරුණු ලෙස සටන් කරනවා කඩු දෙකකින්.ඒ එක්කම මට ඒ හතුරා පිටු පානවා.ඒ එක්කම මම පිටුපස්සට කඩුවෙන් අනින්න ගියත්,මගේ හිතෙන් ඒක වලක්වනවා.ඊට පස්සෙ කොහොමහරි මම හතුරගේ ඉදිරිපසට පිහියෙන් අනිනවා.හතුරා කිසිම දෙයක් කරන්නේ නෑ.ඒක මට පුදුමයක්.ඒ නිසා මම මූම බැලුවම. . .ඒ මට අතිශය සමීප,මම ගොඩක් ගරු කරන,ඒත් සමහර දේවලට එකඟතාවයන් නැති කෙනෙක්.මට දරාගන්න බැරිවෙනවා.එයා මගේ මූන දිහා බලාගෙන ඉන්නවා.ඒ හිනාවෙල නෙමෙයි..,තරහකිනුත් නෙමෙයි...,හරිම උදාසීන මූනක්.ඔය අද දවසේ මුලින්ම වෙච්ච දේ.ඉතින් ඕක මට දැනෙන විදිහට අනුවමහම මහ අසුබ හීනයක්.මොකද මම කවමදාවත් මගේ මිතුරෙක්ට එහෙම දෙයක් කරන්නේ නෑ.මොකඛරි හිතරිදෙන්න දෙයක් කලත්;එහෙම කරන්නේ අනාගතයේදී වෙන්න තියෙන අනතුරකින් බේරන්න මිසක් තරහකට නෙමෙයි.කොහොමත් ඔය වගේ හීන ගැන සමහරු එක එක දේවල් කිව්වත්. . .මම කොහොමහරි අද තාත්තත් එක්ක පාටියකට යන්න ගෙදරින් එලියට බැස්සේ ඔය ඔක්කොම අමතක කරලා.

තාත්තයි මමයි කාලෙකින් තමයි කතාවකට වැටුනේ.මොකද එයාගේ රාජකාරි වැඩකටයුතු(ප්‍රෝඩාව 1)ත් එක්ක වගේම මගේ වැඩකටයුතු(ප්‍රෝඩාව 2)ත් එක්ක. . .අපිට කතාකරන්නවත් වෙලාවක් නොතිබීම අද අපිට හොඳ අවස්තාවක් අරං දුන්නා.තාත්තයි මමයි මීට කලින් ගොඩක් දේවල් කතා කරලා තියෙනවා.කලාව,ඉගනීම,දේෂපාලනය,වාහන,ගෑණු,අරක්කු,කාමය වගේ. . . .ඔය කියන හැම දෙයක් ගැනම.තාත්තයි මමයි ඒ තරමටම සමීපයි.ඉතින් අද අපි දෙන්නා කතා කලේ විවාහය ගැන.ඒකට ප්‍රධානම හේතුව ඔය කවුරුත් වගේ දන්න "මැරියන්".තාත්තා මොනවා කිව්වද කියලා මට මතකයක් නෑ.ඒත් අද තාත්තා කියපු දේවල් ඇතුලේ ගෑනියෙක්ව තෝරගන්නේ කොහොමද?,විවාහෙට කලින් හැසිරෙන්නේ කොහොමද?,විවාහෙන් පස්සේ හැසිරෙන්නේ කොහොමද?...,ඕන්න ඔය වගේ නානාප්‍රකාර දේවල්තොගයක් මගේ මොලේට රිංගුවා.සමහරවිට මම තාත්තත් එක්ක කතා කරපු වැදගත්ම මාතෘකාව වෙන්නැති.කොහොමහරි ඔය ටික කතා කරන්න අපි පැය එකහමාරක් ගත්තා.ඒ වගේම වෙනද විනාඩි 45න් මොරටුවේ ඉඳන් හෝමගමට යන්න පැය එකහමාරක් විතර ගියාද කොහෙද. . .

හෝමගමින් අපේ නැන්දා කෙනෙක්වත් වාහනේට ගොඩනග්ගගෙන අපි මිරිස්වත්තට ගියා.ඒ තමයි අද අපිට පාටිය තිබ්බ තැන.වෙනදත් අපි ඒ ගෙදරට නත්තල් පාටිය ගන්න ගියාට. . .අද හුඟක් වෙනස්කං වෙලා තිබා.ඒ අපි(හෙවත් නෑදෑයෝ)ට අමතරව තව පිරිසක් එහේ ඇවිල්ලා හිටපු එක.ඒ වගේ මෙච්චර කල් ඩෙල් තඩියකින් වැඩ කර කර හිටපු අපේ අක්කා HP ලැපක් අරගෙන තිබීම.ඒකත් මාරයි. . . .කට්ටියම හලෝ කියාගෙන යන්නේ ලැප ගාවට.එතනට ජේසුතුමා ආවත් ගනන් ගන්නේ නැති සයිස් එකේ.ඊටත් වඩා. . .මෙච්චර කාලයක් ෆිල්ම් බාවපු,සින්දු අහපු,අසයින්මන්ට් කරපු ඩෙල් තඩිය පැත්තකට විසිකරලා.ලැප්ටොප් චාජර් එක දිගාඑරලා දාල තියෙන්නේ ඩෙල් එක උඩ.කොටින්ම කිව්වොත් අපේ අයියගේ ලඟදී ගත්තු VAIO එක(HP එකටත් වඩා වැඩ තියෙන)ත් පැත්තකට ගිය ගානයි.මමත් ඉතිං ඕවා දිහා බලාගෙන හිටියා.දැන් අපේ අක්කගේ ප්‍රධානම අභිප්‍රාය ලැපට රෝස පාට ස්ටිකරයක් ගහන එක.ඉතින් මේක නිසා. . ."ලූලා නැති කලට කනය පණ්ඩිතයා" කියන පිරුළ "ලූලා ඉන්න කලටත් අලුත් කනයා පණ්ඩිතයාලු" ලෙස වෙනස් වෙනවා.හැබැයි දැන් දේශපාලනයට මේක ඈඳාගන්න එපා.මොකද දැන් ඉන්නේ පොඩි මාලු ඔක්කෝම කකා. . .ලූලෝම විතරක් මුලු විලේම වපුරන මාලුවෙක් හින්දා.(දේශපාලණික අදහස සම්බන්ධයෙන් එරෙහිකම් ඇත්නම් එම අදහස් සඳහා සදාහරිතය විවෘතයි.)

ඒ වගේම අද දවසේ අර මම කලින් කියපු පිටින් ඇවිල්ලා හිටපු කට්ටිය (අපිට සාපේක්ෂව) සමග පොඩි ළමයි වගයකුත් ඇවිල්ල හිටියා.ඒ අතර මට ඉඩක් ලැබුනු වෙලාවල් වලදී දැකගන්න හම්බුවෙච්ච විගඩම් ටිකක් පහත ගොණු කරමි.
  • දරුවා රිලවෙකු කිරීම.(නැටීමට බල කිරීම,පපඩම් කියා කීමට අණ කිරීම,ආපු ගමනුත් ප්‍රදර්ශනාත්මක වශයෙන් එතන ඉන්න උන්ට වඳින්නට අණ කිරීම)
  • දරුවාගේ ඇස් ඉදිරිපිට දරුවාගේ මවට පහර දීම සහ දරුවාගේ සහෝදරිය කෙනිත්තීම.(දරුවාගේ ප්‍රතිචාර නැරඹීමේ ආසාවෙන්)
  • දරුවාගේ තොලේ බියර් බිඳක් ගෑම.(මෙය දරුවාගේ මවට හොරෙන් සිදුකරන ලදී)
මෙවන් මෝඩ ආතල් තොගයක් ගන්න ලදී.අවසන උන් සිඟිති ආතල් විඳ විසිර ගියෝය.

එසේම අද දින දරුණු රිය අනතුරු තුනකින් ගැලවුනෙමි.එක රිය අනතුරු තුනෙන් දෙකක් හයිලෙවල් පාරේදී සිදුවන්නට ගිය අතර,අනෙක් එක කොට්ටාව-හොරණ පාරේදී සිදුනොවී බේරුනේ අනූනමයෙනි.මා දැනුදු අන්ධ විශ්වාස දැඩි ලෙස පිලිකෙව් කරන මුත්. . .උදයේ දුටු සිහිනයේ සහ මෙම රිය අනතුරු සම්බන්ධව යමක් බැඳී ඇතැයි හැඟේ.ඕගොල්ලොන්ටත් සිහින සම්බන්ධව අත්දැකීම් ඇති.කරුණාකර නොවලහා කියලා දාන්න.රහස්‍යබාවය බොක්කෙන් රකිමි!