මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Showing posts with label ගැහැණු. Show all posts
Showing posts with label ගැහැණු. Show all posts

Wednesday, September 14, 2011

පෝ දින සාකච්ඡා


අද දින මේ වාහිණිය ඇවිල්ලා මේ ගමේ සජීවීව කරන මේ පොහෝ දින ධර්ම සාකච්ඡාව ශ්‍රවනය කරන්න ආපු පිංවතුන්ව පිංවතියන්ව අපි බැති සිතින් පිලිගන්නවා. එසේනම් මා නමස්කාර පූර්වකව මයික්‍රෆෝනය භාර කරනවා අති පූජ්‍ය බඹරැන්දේ සුමනසාර නාහිමිපානන්ට අප ඔබ සැම තිසරණ සහිත පංච සීලයේ පිහිටුවීමට.

ස්.. සා.. ධූ... උපාසකම්මා දන්නවද අද හුඟක් උන් මෙතන ටැක් ගැහිලා ඉන්නේ බණකට දහමකට ආසාවකට නෙමෙයි. ටීවී එකේ මූන පෙන්න ගන්නනේ.

නොදකින්වත් මුං... මං අහගෙන සමහරක් කතාවෙනවා අද දවල් දානේ හුඟක් හොඳ තැනකින් කියලත්. ඇත්තටම උඹට ආරංචියක් නැද්ද උපාසකම්මේ කොහෙන්ද කියලා?

ඔය මහ හෝටලේකින් කියන්නේ. බත් පාර්සල්ලු දෙන්නේ. මං ලොකු කෙලීට කියලමයි ආවේ දවාලට මෙහාට වරෙන් පුලුවන් උනොත් තව පාර්සලයක් අරන් දෙන්නං කියලා.

නොලැබෙන දේ පසුපස එලවීමත්
ලැබෙන දෙයට සීමා නැති වීමත්
අන්සතු දේ නොකියා ඩැහැගැනුමත්
පව් පුරවයි මනු දිවියට කවදත්

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...

******************************************************

ආන් දැක්කැයි අද ජිනසීලී තනියෙං..

හ්ම්ම්ම්... මාත් අහන්නමයි හිටියේ. හැබෑටම කෝ රත්නවතී..

දන්නැතෙයි, උන්ගේ ලමයි පිටරට වල අරාබිකාරයොන්ට කඹුරලා කඹුරලා අම්මට ගෙනත් දීලා නෙව මහ විසාල ටීවී, රේඩියෝ. ඒ මදිවට හාමුදුරුවන්ගේ බණ තියෙන ටේප් රාසියක් ගෙනල්ලලු. මහ උන්දෑ දැන් ඒකෙන් බණ අහන්නේ. බිම ඉඳගන්න අමාරුයි කියලලුනේ ඒ අම්මණ්ඩි ගෙදරට වෙලා ඉන්නේ.

හැබෑටම නාකි වෙන්ඩ වෙන්ඩ මුංගේ මල කෝලං..
කොහෙදෑ හැබෑටම ඒ අම්මණ්ඩිගේ ලමයි ඉන්නවා කියන්නේ.

ඔය අරාබිකරේලු. බැංකුවක කියලා තමයි කියන්නේ. ඒ වුනාට අහල පහල නං කතා වෙන්නේ ඕකුන් ගෙවල් වල වැඩ කරනවය කියලයි.

කවුරු දන්නවද නංගියේ..

හැබැයි එකත් එකටම මෙහෙදි හරියට වැඩක් පලක් කරපු නැති උන්ව එහේ හොඳ රස්සා වලට ගනීවියැ. සමහර විට බැංකුවල උනත් හෝදන කරන වැඩ වෙන්නැති. රත්නවතී උඩ දාගෙන කියෙව්වට.


අනුන් ඇසෙහි රොඩු කුණු අවුලන්නේ
තමන් ඇසෙහි පොල් අතු නෑ දන්නේ
පිහාටුවක් පක්ෂි රැලක් කරන්නේ
පවක් කියා දුදනෝ නෑ දන්නේ

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...


******************************************************

හප්පේ දවාලෙ භෝජනේ නං පංකාදු පහයි.ඉස්මුරුත්තෙට එනකංම කෑවා. භාවනා වැඩසටහන වෙලාවේ සනීපෙට දෙහෝරාවක් විතර ඇහැත් පියවුනා ඕං. ඈ උපාසකම්මේ ඔහේගේ ඇහැ පියවුන්නැතෙයි?

කොහෙ පියවෙන්නද උපාසකම්මේ.. මේ ගැටිස්සියොන්ගේ සිරික්කිය දැකලා මට මාරයාවේස වෙලා උන්නේ..

අර මක්කෙයි... අපරාදේ මමගේ ඇහැ පියවුනේ නැත්තං..

හ්ම්ම්... දහම් පාසලේ කොල්ලෝ කෙල්ලෝ ටිකටත් දැන් මනමාල විසේ ඔලුවට ගහගෙන එනවා.
අඩු තරමේ සීල වියාපාරේ දවසටවත් මුං හැදෙන්න දැනගන්නෝන්නැද්ද මං අහන්නෙ?
එහෙං සිරික්කි.. මෙහෙන් සිරික්කි.. අර ගුණපාලයගේ ලොකු කෙලී මං දැක්කා අර සමන් කොලුවගේ පිටටත් ගහනවා

සමන් කොලුවා කිව්වේ?

අර ඉන්ද්‍රසිරියගේ මද්දුමයා. ඌ නං අහිංසකයා.

අහිංසක හොඳ අහිංසක. අප්පා වගේම නැතෑ පුතත්.
අපේ අල්ලපු වැටනේ ඕං. මම නොදන්නවැයි ඕකුන්ගේ කැරැට්ටුව. මහම මහ කුම්මැහියෙක්. උදේකට දැක්කොත් දවසම ඉවරයි.
එදා අපේ මද්දුමී අරාබි යන වැඩේ හබක් වුනෙත් ඕකුංගෙන් මොකෙක්හරි එකෙක් මුලිච්චි වෙලාම තමා මූනට... නෙද්දකින්වත් තුඃ!
අපේ ගහේ කොස් ගෙඩිය හොරාට කඩාගන්නවා.
තව කරන තරමක් තුච්ඡ වැඩ කරලා බබ්බු වගේ ඉන්න හැටි.
මං විස්තරේ නොකිව්වනං උඹ එහෙම හිතන්නෙත් නැහැනොව නංගියේ..
ඕකුංගේ කවරේනං සුදුයි..

වෛරෙට වෛරය නෑ යටවෙන්නේ
එරවිලි ගැරහිලි නෑ සැපදෙන්නේ
කියන කියුම් නිසි ලෙස හිතපන්නේ
බිඳෙන සිතක් නෑ සුවපත් වන්නේ

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...

හම්මේ යාන්තං පවාරණේට තව හෝරාවයි..



Wednesday, August 10, 2011

රතු ලේ පාරක්!


සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ගවුමටත් පාර වැදිලා ඇද්ද? තව කවුරුවත් දකින්නැද්ද? නිසලිගේ හිත ඇතුලේ තිබිච්ච ප්‍රශ්න වුනා. රෑට කෑම කනකනුත් ඇයට කල්පනා කරන්න ඒ ප්‍රශ්නය ප්‍රමානවත් වුනා. සායෙන් ලේ පාර හේදිලා ගියත්, ලේ පාර නිසලිගේ හිතෙන් හේදිලා ගියේ නෑ. ඒ දේ ගැනම කල්පනා කරපු නිසලි මහ රෑ දෙකට විතර ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ගේ අවසන් නිගමනේ කොලේක ලිව්වා.
හැමෝගෙම ලේ තියෙනවා. ඒත් පේන්නේ දුප්පතාගේ ලේ විතරයි.
නිසලිට එහෙම හිතන්න හේතුවක් තිබ්බා. දුක් මහන්සියෙන් ක්ලාක් රස්සාවෙන් ගෙදර රෝල ගහන තාත්තගෙන් "ලේ නොපෙන්නන්න" සල්ලි ගන්න නිසලිට හිතුනේ නෑ. ඈත් ඇගේ අම්මත් තීරණය කලා සනීපාරක්ෂක තුවායේ සනීපේ වෙනුවට නවපු කපු රෙද්දක් ඒ වෙනුවෙන් යොදාගන්න. එහෙත් අත්‍යවශ්‍ය දින වලින් සියේට බර ගානකම ලැජ්ජාව, කපු රෙද්ද විසින් නිරාවරණය කරනු ලදුව තිබුනා. අධ්‍යාපනයත් ක්‍රීඩාවත් දෙකම සම මට්ටමක තියාගෙන යන්න නිසලිට හැකි වීමම, ඇගේ උසස් පෙළ අධ්‍යාපනය "පුරාජේරු පාසලකින්" ලබන්නට පිටුවහලක් වුනා. 

සුදු ගවුමේ රතු ලේ පාරක්. "ඒකේ අමුතුම ලස්සනක් තියෙනවා.." සීට් එකේ ඇතුලට යන්නට නිසලිට ඉඩ දීපු තරුණයාගේ කටින් කියවුනා. නිසලිට අතීතය මතක් වෙච්ච නිසා ගවුම දිහා නොබලාම හිතට ලැජ්ජාව ආවා. තරුණයා ඇගෙන් සමාව ඉල්ලුවා. දෙන්නම කතා කලා. හිනත් වුනා. හිනා වෙවී කතා කලා. බස් එකෙන් බැහැලා ත්‍රී වීලරේක ලැජ්ජාව වහගෙන ගෙදර යන්න නිසලිට සල්ලිත් හම්බුනා. අන්තිමට ඔහු නිසලිගේ සුළැඟිල්ලත් තදට මිරිකලා තිබ්බා. එක දිගට ගත වෙච්ච පලවෙනි සතියෙදි නිසලිගේ හිත දිනාගන්න ඔහු සමත් වුනා. දෙවනි සතිය වෙද්දි ඔහුගේ භාවිතය අත් හල ජංගම දුරකතනයක් නිසලිට මහාර්ඝ වස්තුවක් වුනා. මිදුලේ අඹ ගහට පිටුපාලා ඉන්නකොට පේන දම් පාට ඕකිඩ් පොකුරු දිහා බලාගෙන නිසලි ඔහුත් එක්ක කතා කලා. නිසලි කතා කලා. දිගින් දිගටම. එහෙම කතා කරපු මුල් කාලයේ තමන්ගේ අනාගතේ හදාගන්න හැටි ගැන නිසලි ඔහුත් එක්ක හීන මැව්වා. මාස පහක් හයක් ගත වෙද්දි ඇහැට පෙන දම් පාට ඕකිඩ් පොකුරු වලින් හිත ඉවතට ගත්තු නිසලි ඔවුන්ගේ ප්‍රේම කතාවේ වර්තමානය ගැන කියමින් ඔහු හා වැලපුනා. අවසානයේ ඇය තම ප්‍රේමයේ අතීත ගුණ කියමින් ඔහුත් සමග රණ්ඩු කලා. ඒ වෙද්දිත් දම් පාට ඕකිඩ් මල් ඉස්සර විදිහටම පිපිලා තිබුනා. ප්‍රේමය අවසන් වුනා. ඒත් ප්‍රේමයෙන් ඉතිරි වුනු මතක සැමරුම් වෙච්ච විලාසිතා ඈත් සමග එහෙමම තිබුනා. ඈ ඩ්‍රෙස් මේකින් කර තිබුනා. කේක් බේකින් කර තිබුනා. අවසානයේ බියුටි කල්චරින් සමයේ දිවියට එකතු වූ නව මැදි වියේ පෙම්වතා හේතුවෙන් ඈ නිළි මාවතට පිවිසෙමින් සිටියා.

සුදු කලිසමේ රතු ලේ පාරක්. ඈ එය දුටුවේ නිවසට පැමිණියාට පසු. ඇයව නිවසට ගෙනත් ඇරලූ ඇගේ නවමු පෙම්වතා එය දුටුවා දැයි ඇයගේ සිතේ සැකයක් තිබුනා. ඔහුගේ රියේ අසුන් කවර වල රතු පැහැය රැඳී ඇත් දැයි ඇය කල්පනා කලා. එය වඩාත් කැපී පෙනේදැයි ඇය කල්පනා කලා. ඔහුගේ මෝටර් රියේ අසුන් කවර ලා දුඹුරු පැහැ බව ඇයට මතක් වුනේ, පාළු වීදියේ වාහනය නවතා පෙම්වතා ඇගේ දෙතොල් රිදවුව අවස්ථාවේ ඈ නිසොල්මනේ බලා සිටියේ ඔහුගේ හිසට පිටුපසින් වූ ඒ දෙස නිසාවෙන්. ඇගේ කලමණාකරු තනන ලද කාල සටහනේ ඈ දිව ගියා. නවීන පන්නයට ශරීර කවරයම වෙනස් කලත් පෙර පුරුදු කපු රෙද්ද ඉවත් කිරීමට ඇයට හැකි වුනේ නෑ. සනීපාරක්ෂක තුවායේ මහත් අඩු පාඩුවක් ඇයට දැණුනා. වෙනදා දැණුනු බරම ඇයට උවමනා උනා. ඇයට සැහැල්ලුවක් උවමනා වූයේ නෑ. ඇයගේ විලාසිතා උපදේෂකවරුන්ගෙන් එයට බාධාවක් වූයේද නෑ. ඈ පෙර පුරුදු කපු රෙද්දම භාවිතා කල අතර, පෙර ලෙසටම එය විසින් ඇගේ ලැජ්ජාව නිරාවරණය කරනු ලදුව තිබුනා. එක්තරා අමාත්‍යවරයෙකුගේ වක්‍ර අනුග්‍රහයෙන් පැවැත්වෙන සිනමා සම්මාන උළෙලක ඇය පිට පිටම දෙවරක් ජනප්‍රියම නිළිය වීමම සමහරුන්ගේ සැකයට හේතු වුනා. සියලු කසු කුසු එළි පිට කියවන්නට ඉඩ සලසමින් ඈ වේදිකාවක සාරියකින් සැරසී අමාත්‍යවරයාගේ දෑත් ශක්තිමත් කරමින් සිටියා.

සුදු සාරියේ රතු ලේ පාරක්. සාරිය රත් පැහැ වීමට තරම් විශාල වැගිරීමක් ඇතුලතින් සිදු විය නොහැකියැයි ඔබ සිතන්නට ඇති. ඔව් එයින් ඇයත් පුදුම වන්නට තිබුනා. නමුත් ඇයට පුදුම වන්නට හැකියාවක් නුවූයේ ඈ ඒ බව නුදුටූ බැවින්. ඇයට එය විඳීමට හැකියාවක් වූයේ නෑ. ඈ මියැදෙමින් සිටියා. ඈ විසින් දෑත් ශක්තිමත් කල අමාත්‍යවරයාගේ බිරිය යෙදවූ නාඳුනන වෙඩික්කරුවෙකු නිසලිගේ යෝනිය පසා කරමින් වෙඩි තබා තිබුනා. ඇයට එය කණ්නාඩියෙන් බැලීමට නොහැකි වුනා. කවුරුත් එය පෙන්වා ඇයට විහිළු කලෙත් නෑ. ඇයට ඒ පිළිබඳ ලැජ්ජාවක් ඇති වූයෙත් නෑ.

Monday, July 18, 2011

පරිපූර්ණත්වයේ අසම්පූර්ණ එකතුවක්


ඒ කර්කෂ වූ දේශයකි. සුලඟටද සිරුර රත්වේ. පාවහන් රහිත මිනිසුන් වේගයෙන් ඇවිද ගියේ දාච්ච පොලොව දෙපා දවන බැවිනි. සිඟනුන් සෙවනක් අයදිමින් සිටියහ. සිඟනුන්ට සෙවනක් දීමට ඉදිරිපත් වූ ධානපතියෙකු, ඒ සෙවනෙහි හිඳ සිඟන මුදලින් කොටසක් ඩැහැගත්තේය. පෙම්වතුන් අධික ලෙස චුම්බනයට හුරුව සිටියහ. තම අනාගත ගමන් සගයා කෙරෙහි වූ ආදරය හේතු කොට ඔවුනොවුන් ඔවුනොවුන්ගේ දෙතොල් නහවමින් සිටියහ. සියලු වාසීන්ගේ ගත පුරා වූ දුහුවිල්ල පෙම්වතුන්ගේ දෙතොලේ පමණක් නොවූ අතර, විෂබීජ හේතුවෙන් පෙම්වතුන්ගේ රෝගී වීමේ ප්‍රතිශතයද ඉහල අගයක් ගෙන තිබිණි. ලිපිකරුවන් කාර්‍යාල කෙරෙන් මිදීමට අකමැත්තක් දැක්වූ අතර, ඔවුන් ඒ සඳහා ඇඳිරි වැටෙන තෙක් ඉවසා සිටියහ. රස්නය ඉවසාගත නොහී පොලීසිය සහ සමහරෙක් රජයේ ආයතන තාප්ප කඩා සියලු දොරවල් හැර බලා සිටියහ. අතරින් පතර වැහි පොදක් වැටුනු දිනෙක සිඟනුන් තම උපරිම ආදායම ලැබූ අතර, චුම්බනයෙන් හෙම්බත් වූ පෙම්වතුන් පෙම්බස් දොඩන්නටද ඇරඹූහ. ලිපිකරුවන් වේලාසන නිවෙස් බලා ගිය අතර, තාප්ප කැඩුනු ආයතන වල දොරවල් වැසී තිබිනි.

එක්තරා රටක නිෂ්පාදනය උනා ගෑනු නැති චිත්‍රපටියක්. වෙනසක් බලාපොරොත්තුවෙන් හිටපු චිත්‍රපටකාමියෝ ඒ චිත්‍රපටය බලන්න ගියා. ඇත්තටම එය නවමු වෙනසක් උනා. ඒත් ඒ නවමු වෙනස නිසා ඇතිවෙච්ච සතුට චිත්‍රපටය පටන් අරං මිනිත්තු පහලොවක් ඇතුලත සිඳී ගියා. කර පළල් උඩුකය වස්ත්‍රයකින් දෙතනේ කැපුම දැකීම, වෙනසක්  බලාපොරොත්තුවෙන් එහි ගිය රසිකයන්ගේ සිත්වල හටගෙන තිබුනා. පිරුණු වටොරක් දැකීමේ නොතිත් ආශාව ඔවුන් කෙරෙන් ඉස්මතු වෙමින් තිබුනා. බොහෝමයක් ප්‍රේක්ෂකයින් මද අඳුරේ දෙ ඇස් වසාගෙන ඔවුන් පෙර අත්විඳි දෑ යලි යලිත් මවාගන්නට වුනා. ස්ත්‍රියකගේ සේයාවක්වත් නැති චිත්‍රපටයක් විසින් පිරිමි සිතෙහි රාගය ඇති කිරීමට සමත් උනා. චිත්‍රපටය නැරඹීමට ගැහැණුන් කණ්ඩායම් වශයෙන් පැමින සිටියා. ශාලාව අසලින් ගිය වැඩිහිටියන් ඔවුන්ට දෝෂාරෝපන එල්ල කරමින් උන්නා. පිරිමින් පමණක් රඟන චිත්‍රපටය නැරඹීමට පැමිණි බැවින් ඔවුන් ටිකට් කවුන්ටර පෝලිමේ ලේන්සුවෙන් මුහුන වසාගෙන සිටියා. ඔවුන්ගේ සිහින කුමරුන් සැම දෙනා පාහේ එකම චිත්‍රපටයක රඟමින් සිටියා. වෙනදා නිළියගේ දෙබස් කොටසේදී දෙ ඇස් වටපිටාවට යොමු වූවන්ගේ දෑසට අද නිදහසක් තිබුනේ නෑ. දර්ශනයෙන් දර්ශනය ඔවුන් ඒ කෙරේ වශීවෙමින් සිටියා. දෝෂාරෝපන මධ්‍යයේ වුවත් යලි යලිත් චිත්‍රපටය නැරඹීමට පැමිනෙන්නට මිතුරු කණ්ඩායම් අතරේ ඔවුන් ගිවිස ගත්තා. ඔවුන් රාගී දෑසින් ඒ දෙස බලා සිටියා. නොපවතින දේ සහ හිමිනොවන දේ එක හැඟුමක උත්පාදකයන් දැයි මොහොතකට හැඟුනා.

දරුවන් සමාජයේ බොහෝ අවධානයක් ලබන පිරිසක් වෙලා. වයසත් සමග දරුවා ඉදිරියට යාමේදී, අවධානය පමණක් තිබූ තැනම තිබීම හේතුකොට ගෙන "අවධානය" නැමති ඊතලය ඉදිරියට ඊලඟට පැමිණි පිරිස දරුවන් ලෙස අභිෂේක ලැබ වරප්‍රසාද ලත් පිරිසක් බවට පත් කෙරුනා. දරුවන් කෙරෙහි වන අසාධාරණයන්ට විරුද්ධව සංවිධාන බිහිවුනා. වෙනම අමාත්‍යාංශයක්ද වෙන්වුනු අතර එහි ප්‍රධාන ඇමතිනිය ආඩම්බරකාර අම්මා කෙනෙක් වුනා. දිනක් බාලාංශ පන්තියක් අසල ගැවසෙමින් සිටි නන්නාඳුනන්නෙකු ලමෝ සෙල්ලම් කරන දෙස ආශාවෙන් බලා සිටියා. හේ අත තිබූ අවසන් රුපියල් විස්සෙන් දහයක් වියදම්කොට ලබාගත් ටොපි ලමුන් වෙත දුන්නා. ලමෝ ඔහුගෙන් "අයිස් ක්‍රීම්" ඉල්ලා සිටියා. ඔහු අසරණ සිනාවක් මුහුණතට නගාගෙන ලමයින්ගේ මුහුණු අතගා නැගිට යන්නට සූදානම් වුනා. නන්නාඳුනන්නාගේ හැසිරීම දුටු පාලු කපන මව්වරුන් පිරිසක් ඔහුට අභූත චෝදනා එල්ල කලා. ඔහු බාල අපරාධාකාරයෙක් ලෙස හංවඩු ගැහුනා. දිනක් දරුවෙකු තනිවම නිවසේ සිටින මොහොතක එහි පැමිණි දරුවාගේ මවගේ යෙහෙලියක, ඕපාදූප මල්ල එලෙසම තබාගෙන ආපසු යන්නට පිටත් වුනා. එහෙත් දරුවාගෙන් ඊට ඉඩක් නොලැබුණු අතර, එම ගැහැණිය තම යෙහෙලියගේ දරුවාගෙන් අපයෝජනයට ලක්වුනා. මුල පමණක් දැන සිටි දරුවා අගට යන තෙක් උගෙන තිබුනා. එය දරුවාගේ නොදැනුවත්කමට සිදුවූවක් ලෙස සමාජයෙන් ප්‍රත්‍යක්ෂ වූ අතර, දුසිරිත අඩංගු බ්ලොග් අඩවි කිහිපයක්ද සමග ස්ත්‍රීන්ට මාසයක් යන තුරු කොටට ඇඳීමද තහනම් වුනා.

එක්තරා රටක පාවිච්චියට ගැණුනු පොතක වෙන වෙනම පිටු තුනක ලිවීම් තුනක් තිබුනා. මැදියම් රැයත් පසුවී හෝරාවක් දෙකක් යන තුරු පෑනක්ද අතැතිව එම ලිවීම් හී අයිතිකාර ලියන්නා ඒවා දෙස බලා උන්නා. ඒ ලිවීම් තුන එක්කිරීමට ගත් උත්සහයකදී, පරිපූර්ණ දෑයින් තැනුනද ඵලය අසම්පූර්ණ විය හැකි බව ඔහුට සඵථ වුනා. ඔබ කියවා අවසන් කලේ ඒ අසම්පූර්ණ ලියමනයි. ජය!

Thursday, July 7, 2011

කාල රේඛාව අස හිඳ හුන්නෙමි.

12 ශ්‍රී නිසාන් මෝටර් රියක පිටුපස අසුනේ හිඳි තරුණියට, චැලියක අන්තරායේ ගමන් කල තරුනයෙකු ඉඟි කරන්නට විය. ඇගේ පිළිතුරු ඉඟිය ඔහුගේ මනස සුවපත් කලා විය හැක. මා ඌ කෙරේ සතුටු වුනෙමි. ඌ කෙරෙහි වූ අන්තරාය ඇගේ ඉඟියෙන් තවත් වැඩි වූවා විය හැක. ඔවුන් ඉදිරියට ගිය අතර මා කාල රේඛාව අසල හිඳ බලා හුන්නෙමි. දුහුවිලි සුලං හමා ගිය අතර සංස්කරණ ශිල්පියා උදාසීන බවින් යුතුව කැරකෙන පුටුවේ කැරකෙමින් සිටියේය. චලිත පටයේ පාලුව ඉවසාගත නොහී මා, ගෝල්ඩ්ලීෆ් ඇසුරුමේ රන් පත්‍රයේ පසුපස පෑනකින් කුරුටු ගාන්නට විය.

මලින් පිරිනු තුරුනු වතේ
හලින් හලත රසය වෙතේ
තුඩින් තුඩඟ මුව පහසේ
වෙසෙත් සොඳුර නුඹම වෙතේ

චාන්දනී සෙනෙවිරත්න ඇස් මානයට පිවිසියේය. කලු පැහැති කොට්න් උඩ ඇඳුමක් සහ තද පැහැති ඩෙනිමක් හැඳ සිටි ඇය රබර් සෙරෙප්පු කුට්ටමකින් දෙපා සරසා සිටියේය. ඈ, පසුපසින් පැමිණි යමෙකුට බැන වදිමින් සිටියේය. ඒ හඬ තුල ආදරයක් විය. චාන්දනී විශිෂ්ඨත්වය මා දෙ ඇස් ඉදිරියේ පිම්බෙමින් තිබිනි.

"එන්න බදාගන්න"

මෙතෙක් වෙලා පසුපස හිඳ ආදර බැණුම් රස විඳිමින් හුන් ඒ මහත තරුනයා ඈ තුරුලට විය. ඒ කෙට්ටු අස්ථි වටා පිරුනු මහත් වූ ආදරය එම තරුනයා මත දඟලන්නට විය. චාන්දනී සෙනෙවිරත්න මා ප්‍රියතම නිළිය විය.  ඇගේ දක්ෂතාවයට අමතරව, මා ප්‍රියතම රුව ඈ කෙරේ විය. දිගැති කෙට්ටු ශරීරයක් ඇති, පිට මැදට කොණ්ඩයක් වූ, මුහුනු ඉරියව්වෙන් වැඩිපුර කියවන, සරල සුන්දරත්වයෙන් ඇඳිවත පහසුව සලසා ගත්, ආදරය පිරි ගැහැනු රුව චාන්දනීට සහ මා ආදරවන්තියට පොදු විය. මා ආදරවන්තියගේ සුපහස මට දැනෙන්නට විය. රන් පත්‍රයේ පසුපස තවත් ඉඩ ඉතුරුව තිබිනි.

කලට සැලකුම්ද නිසි ආදර පෑය
මලට බඳු පෙම්ද රුව රූසිරු බෝය
නිතර සිටියෙම්ද මගෙ සරි මග ඈය
සොඳුර නුඹ වෙතම පෙම් කෙරුවේ මාය

තරුනයෙකු බිම වැටී කෙඳිරිගාමිනි. ඔහුගේ හිස පසාරු කරගෙන නයින් මිලිමීටර් උන්ඩයක් ගමන් කර තිබිනි. හේ ලේ විලක් මැද මරණාසන්නව සිටියේය. හේ යමක් මුමුණනු මට ඇසිනි. නමුදු මට කාල රේඛාව මතින් පැන එහි යාමට නොහැකි බාධකයක් විය. සංස්කරණ ශිල්පියා දෙ ඇස් දුනි. මරණාසන්න තරුනයා ඉතාලි බසින් කල මිමිනිල්ල සිංහල උපසිරැසි ලෙස චලන පටය මත ඇඳී තිබිනි.

"ම්හ්... මේ මාස හයටම උඹ මට දීපු එකම සැනසීම.. බැල්ලි!"

අඳුරු පසුබිමක යමෙකු නැගී සිටියි. ඔහු වෙත ඉහලින් එල්ල වූ ආලෝක ධාරාවකි. ඔහුගේ අතපය හැසිරවීම, සාත්වික අභිනයන් සහ සියල්ල ජයලත් මනෝරත්න අනුගමනයකි. හඬ පවා එමමය. මතකයට නැගුනේ "සුද්දෙක් ඔ අමතයි" හී මනෝරත්නයන්ගේ භූමිකාවයි. හේ කතාවක් කල අතර කාල රේඛාව අස හුන් මා සමග කැරකෙන පුටුවේ සිටි සංස්කරණ ශිල්පියාද දෙ ඇස් නොහෙලා දෙකන් අයා එය විඳිමින් සිටියෙමු.

"මිනිස්සු! ලංකාවේ චැලියේ ගිය කොල්ලටත්, චාන්දනී එක්ක රඟපාපු තඩියටත්, මැරිච්ච ඉතාලි කාරයටත් ආසාව පොදුයි. කොටින්ම බුදුන්ටත්. සිදුහතුන් ගිහිගෙය හැරියෙත් ආධ්‍යාත්මික සුවයට තිබිච්ච ආසාව නිසා. කටට රහට කෑම කන්න, අරක්කු බොන්න, නිදිවදින්න, ජීවිතේ විඳින්න මිනිස්සු ආසයි. සල්ලි! ඒ ආසාවට මිනිස්සු යා කරන ඊ තලේ වෙලා. හැමදාම හන්දියෙන් කොත්තු නොකා ඇමරිකන් බ'ගර් කන්න, ගල් වෙනුවට ග්‍රීන් ලේබල් වඩියක රහ බලන්න, කොටට අඳින එච්.එස්.බී.සී වැඩ කරන කෑල්ලක් කරන්න, දිලිසෙන්න. බස් දොරෙන්ම බැහැපු උන් ආසයි, බෙන්ස් දොරක් ඇරෙන "ක්ලක්" ගාන සද්දෙ අහන්න. අඩු තරමේ දවස් දහයකටවත් රෝද හතරක් ගෙදරට ගේන්න. එදාටවත් ගෙදර ගෑනි නෑ බෑ නොකියා නයිටිය ගලවයි.. නැද්ද?"

"පයිසෙ හොයන්න මිණී මරන, මරවන, රවට්ටන, කොල්ලකන, නැහෙන, පිච්චෙන එවුන් කියන්නෙ මිනිස්සුන්ට. තිරිසන්නුන්ට සල්ලි වැඩක් නැහැනෙ. අඩුම තරමෙ අත්සනක්වත් නොගහා සල්ලි හොයන්න බෑ; ඒ කියන්නෙ කන්නත් බෑ, බොන්නත් බෑ, නිදිවදින්නත් බෑ. ඒක මටත් පොදුයි. මාත් මට හිතෙන දේවල් මෙතන වපුරන්නේ ගෙදට්ට සල්ලි ටිකක් ගෙනියන්න. නැතුව මේක අහන තමුසෙලට ආදරේට නෙමෙයි."

සියල්ල මැකී යයි. මා පසුපසින් හඬක් ඇසේ.

"සමාවෙයන්. මම උඹව මකනවා. උඹ කියපුවත් එක්කම. උඹේ සද්දෙ එලියට ගියොත් මටත් පයිසෙ නෑ.ලමයින්ට කෑමත් නෑ. ගෑනි ලඟට එන්නෙත් නෑ."

සංස්කරණ ශිල්පියා කැරකෙන පුටුවෙන් නැගිට පිටවිය.

Tuesday, June 21, 2011

මට දැනෙන දේ ඔබට විඳිය හැකි නම්...

ඌ මා හා හුරතල් වීමට උත්සහ දරයි. උගේ වලිගය මා සිරුරේ දැවටෙන බැවින්, ඌ මා වටා සුපුරුදු දෛනික පැදකුනුව අරඹා ඇති බව මා දනිම්. ඌ උගේ සුපුරුදු උදෑසන හුරතලය අරඹන්නේ එලෙසය. බීරිඳ අත තබා ගිය තේ කෝප්පය මා බිම තැබුවෙමි. රේඩියෝවේ වාදනය වූයේ "පෙනුණු සුව දසුන්" ගීතයයි. බලු සුරතලය අමතකව ගියේ ඒ මා ප්‍රියතමයක් බැවිනි. ඒ අමතක වීම ඌ කෙරෙහි වූ නොසන්සුන්තාවයට හේතුව විය. හෙන්‍රි කල්දේරා මා ප්‍රියතම ගායකයෙකු විය. ඒ ඔහුද දෘෂ්‍යාබාධයකින් පෙළුනු නිසාම නොව, ඔහුට පද රචනය සහ තනු නිර්මාණයේද හැකියාවන් වූ බැවිනි. මර්වින් පෙරේරාත්, කපුගේ මහත්තයත්, වික්ටර් මහත්තයත් අන්ධ වූවා නම් මා ඔවුනට තවත් ආශා වන්නට තිබිණි. මා නැවත ඌ සුරතල් කරන්නට පටන් ගතිමි. ඌ මට බෙල්ල අත ගෑමට දී ඔහේ බලාගත් අත් බලාගත්වනම සිටියේය. ලේලිය ලඟට පැමිණි බව දැණුනතර, ඈ ආපසු හැරී ගියේ තේ කෝප්පය තවමත් හිස්ව නැති බැවින් විය යුතුය.

විවාහ වූ සමය ඉතා සොඳුරු පරාසයක් විය. පෙම්වතුන්ව හැසිරෙන සමයේ අප, ආදරය තුලින් නැගී සිටි ලිංගිකත්වයේ අත්දැකීම් ලබා තිබුණද, වැසුනු කුටීරයක් එකිනෙකා නග්නව දඟ කර තිබුනේ නැත. එහෙයින් මධුසමය කාලය සහ එයින් පසුවත් මා ඇය රුව අඳුනා ගැනීමට අනවරථ උත්සහයක යෙදුනෙමි. "මෙය නුඹලාගේ මධුසමය" යැයි නාමිකව වෙන්වූ සතියේ මා රාත්‍රීන් තුනක් පමණ ඇයගේ මුහුනේ ඉරියව් ඇඟිලි තුඩින් පිරික්සමින් සිටියෙමි. එසේ ගෙවුනු වරක ඈ මා ඇඟිල්ලක් සපා කෑ බව සිහියට නැගුනේ, දකුණත මැදඟිල්ලට සිහින් රිදුමක්ද දනවමිනි. මා ඇගේ ළමැදේ උණුසුමට ඉතා ආශා විය. තවමත් එසේමය. මා මවගේ උකුල් තලය මත වෙසීමටද ඉතා ප්‍රිය කල බව මට මතකය. එසේම අත්තම්මාගේ බොකු ගැහුනු විටෙක පිම්බෙන උදර කුහරයද මා හට ඉතාමත් සුවදාය විය. මා දෑතින් කියවා ඇති පරිදි, ඉතා සුන්දර මගේ බිරිඳ මා මහත් ආයාසයකින් දිනූවක් නොවීය. ඈ කිසිදා නොදුටු ප්‍රාණියෙකු සොයා පැමිණතර, කිසිදා ලොව නොදකින ඒ ප්‍රාණියා තම ආදරවන්තයා ලෙස තෝරාගැනීමට බාධාවක් කර නොගත්තේ සතිපතා නිකුත්වුනු කවිකම් කෙරෙන් මා හඳුනා සිටි බැවිනි.

මා නිරතවෙමින් සිටියේ දුලබ රැකියාවකය. මා හට සතියකට කවි හතක් ලිවීමට තිබිණි. ඒවා එකම සඟරාවේ විවිධ නම් වලින් පලවී තිබිණි. මාසික වේතනය වූයේ රුපියල් දසදහසකි. තවමත් පුරුද්දට කවි ලියවෙන මුත් පුතු දෙදෙනා රැකියා වල නිරත වෙන බැවින්, වෙනදා මෙන් ඒ කවි බිරිඳ තැපැල් නොකරයි. මුල් කාලයේ කතෲ තුමා නිවසට පැමිණ මෑණියන්ගෙන් මා කවි ලියූ කඩදාසි ඉල්ලාගෙන ගිය අතර, සඟරාව ප්‍රසිද්ධ වූ පසු මවට ඒවා තැපැල් කරන්නට සිදු විය. ලොකු පුතු මා ලේලියගේ සිත දිනාගෙන තිබුනේද මාගේ කවියක් ඈ වෙත ඊ මේල් කිරීමෙනි. මාධ්‍ය කුමක් වුව ඈ ද කවියට මහත්වූ බන්ධූතාවයන් ඇත්තියක් විය. මා ඇයගේ සුහදත්වය මහත් ආහ්ලාදයකින් පිලිගතිමි. ඇයට තිබුනේ මා මවගේ කටහඬයි. ඒ බව ඈ දැනගත්දා සිට ඈ මා අමතන්නේ "ලොකු පුතා" ලෙසිනි. එය ඇසෙන ඇසෙනවර මට, මා මවගේ සුවැති උකුල සිහිපත් වෙයි. ඈ ආහාර පිසින විට ඇඳිවතට උඩින් හැඳි චීත්තයේ වූ මිහිරි ඉඳුල් සුවඳ නැවතත් දැනෙයි. මගේ කවි කියවා සතුටු වන ඇගේ ගතේ වූ වෙව්ලීම සිහිවෙයි.

මා මතට හුරු වූයේ සඟරාවේ කතෘතුමා නිසාවෙනි. මා පිළිබඳ මිතුරෙකුගෙන් දැනගත් ඔහු, නිවසට පැමිණ මා කටුව ඔහුගේ කාරයෙන් අවන්හලකට සේන්දු වූයෙමු. එහිදී මා පලමු වරට විස්කි බිවූ අතර සංවාදය අවසන් වන විට මා විස්කි වඩි හතරකින් පමණ මත්වී සිටීමි. තවමත් බ්ලැක් ලේබල් බෝතලයක් තුල සතියක කාලයක් සැරිසරණ මා ඒ තුල මහත් ආශ්වාදයක් ලබයි. මුල් පාවිච්චි කල පානයන් අතරින් රෙඩ් ලේබල් පානය නවතා තිබිණි. එහි වූ වහතු රහ "මා නොදකින" ශෘංඝාරාත්මක රතු පැහැයටද නිගාවක් විය. "රතු, රත, නොරත, විරිත, රතිය" උච්ඡාරණයට මා ඉතා ආශා කල බැවින් එම වචනය සහ එම ඌරුවේ වචන මට ශෘංඝාරාත්මක විය.

දැහැන බිඳුනේ තේ කෝප්පය පෙරලෙන හඬිනි. ලේලිය ලඟට දිව ආ අතර, ඈ "ෂීබා"ට බනිනු ඇසිනි. උගේ අන්ධ බව තවමත් ඌට හුරු නැතුවා විය හැක. මා ඌ උකුලට ගතිමි.

Friday, June 10, 2011

අමරණීයත්වය නිශ්ප්‍රභා වීමට පෙර...

ආදම් සපමින් සිටි ඇපලය අතට ගෙන බැලීය. හේ ඊඩ්න් උයණේ පණුවන් කෙරෙහි උපන් කුසගිනි ශෝකයෙන් එය බිම දැමීය. එහෙත් ඒ වන විට ඒ ඇපල් ගෙඩියේ වූ දත් පහරවල් වලින් කැපුනු ඇපල්, තවමත් ආදම්ගේ දත් අතර සිරව තිබූ අතර ඉතිරිය හේ ආමාශයේ තැම්පත්ව තිබිණි. පණුවන් වූ කලී ආදම් ඇපල් ගෙඩියේ රස බැලූ බවට සර්ව බලධාරී දෙවියනට සපථ කිරීමට සිටි සපථ කරුවන්ය.  පණුවන් තමන් ගැන දයාව දැක්වූ ආදම් කෙරේ අනුකම්පා කොට, සාක්ෂි නසනු වස් ඇපල් ගෙඩිය ටයිග්‍රීස් ගංගාවට තල්ලු කර දැමීය. එය ටයිග්‍රීස් නිල් දිය මත පොලා පනිමින් අපූරු සලරූ දර්ශන මවන්නට විය. මේ සියල්ල දෙවියන් වහන්සේ නිලැති වළාකුලට ඉහලින් වූ හිරු මත හිඳ බලා සිටින්නට විය.

වේගය එන්න එන්නම වැඩිවූ අතර කෙදිනකවත් මෙතරම් චණ්ඩ නොවූ ගං දියේ බැස්ම, පෙරලි ගසමින් දෙවරක් සැපුම් පහර ලත් ඇපල් ගෙඩිය මුහුද දෙසට ඇදගෙන ගියේය. තමන්ගේ රැහේ පව්කාර පණුවන් කිහිප දෙනෙකු ගංදියේ මාලුන්ට බිළි දුන් පණුවන්, ඊට සලකා සපන ලද ඇපල් ගෙඩිය නොහොත් මනුෂ්‍යයාගේ අමරණීය බව නසන සාක්ෂිය විනාශ කරන ලෙස මාලුන්ගෙන් ඉල්ලූහ. එහෙත් මේ සියලු බලයන් නස්න කරමින් හිරු මත හිඳ සර්ව බලධාරී දෙවියන් වහන්සේ, සාක්ෂිය බේරා ගැනීමේ උත්සහයක නිරත විය. කෙසේ හෝ එය සාගර ගත විය. එය ලොව පලමු ඇපල් ගෙඩිය වූ අතර, සියලු මුහුදු ජීවීන් බියෙන් ඒ දෙස බලා සිටියහ. ලොව පලමු ඇපල් ගෙඩිය වූ එය අපරිමිත බලයකින් යුක්ත විය. එය මුහුදු රළ මත සෙමෙන් පැද්දෙමින් තිබූ අතර, හදිසියේ ඉහල නැගි වේගවත් රළ අතර දෝලනය වෙමින් දුරින් දුරට යන්නට විය. එය ඉන්දියන් සාගරය වෙත ලඟා වෙමින් තිබිණි. ඒ සඳහා ඒ රතු ඇපල් ගෙඩිය දිය මත නොගිණිය හැකි තරම් බොහෝ කාලයක් පෙරලි කල අතර, එහි වූ අසීමිත බලය හේතු කරගෙන ඇපල් ගෙඩියට කිසිඳු හානියක් නොවී තිබිණි.

එය තවත් ඉන්දියන් සාගරය වෙත ලඟා වෙමින් තිබිණි. අවසානයේ එය ඉන්දියන් සාගරයේ රළ සුව විඳින්නට විය. ඒ රාහුල උපත සිදුවූ සමයයි. උදෑසනම ඉන්දියන් සාගරයේ සොඳුරු සුව රැළි මත දිය කෙළියට පැමිණි මල්වර වියෙහි වූ කුමාරිකාවන් විය. බොහෝ දුරට ඒ සුද්ධෝදන රාජ සභාවේ අමාත්‍ය පුරෝහිතයන්ගේ දියණියන් වීමට පුලුවන. ඔවුන් සයුරු දියේ ඔවුන් දෙසට ඇදී එන රතු පැහැති වස්තුව දෙස උද්යෝගයෙන් බැලූහ. රංචුවේ විසේකාරම කුමරිය එය වෙත ගොස් එය රැගෙන බැලූ අතර එහි ඇති මිනිස් දත් පහරවල් දෙක දෙස විමසිලිමත්ව බැලූහ. මේ විශ්මිත සොබාදහම් නිෂ්පාදනයෙන් කුතුහලයට පත් කුමරියන් එය රෙදි කඩක ඔතාගෙන සයුරු දියේ ගොඩට පැමිණ නගරය වෙත පිටත් වූහ. ඒ වනවිටත් කිඹුල්වත් නුවර දෙදුරුම් කවන සිද්ධියක් සිදුව තිබුනා. පෙරදින රාත්‍රියේ සිද්ධාර්ථයන් ගිහිගෙය හැරගොස් තිබුනා. ඇපල් ගෙඩියද අතැතිව කිඹුල්වත් නුවරට යන කුමරියනට අනෝමා ගංතෙර ලය පැලී මියගොස් හුන් කන්ථක අසු හමුවුනා. තවමත් කිරිපිඬු පූජා කරන ලද තලිය උඩුගං බලා යමින් තිබුනා. එය කුඩා තිතක්ව කුමරියනට පෙනුනා. කුමරියන්ගේ ආදරය දිනූ හැඩැති සවියැති කන්ථක අසුගේ වියෝව කුමරියනට දරාගත නොහැකි උනා. සිහිසුන් වූ කුමරිය අතින් ඇපල් ගෙඩිය අනෝමා ගං දියට වැටුනා.

තවමත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නෙත් ඇපල් ගෙඩියෙන් ඉවත්ව තිබුනේ නෑ. එසේම අපරිමිත බලයක් ගැබ්ව තිබූ රක්ත වර්ණ පලතුර පුෂ්ඨිමත්ව නිසොල්මනේ ගං දියේ පාවී ගියා. නැවත සාගර ගත වූවාට සැක නැහැ. තවත් වසර දෙදහස් හයසිය හයක් ගත වුනා. ඒ වන විට ඇපල් ගෙඩිය මදක් අව පැහැ ගැන්වී තිබුනා. ඒ, ලෝකයෙහි ඇපල් බහුල කාලයක්. අත්තික්කා කොලයෙන් විළි වසාගනු වෙනුවට, ගොරෝසු රෙදි කඩක් ඇඟ දවටා ගනු වෙනුවට, දුහුල් රෙද්දෙන් මසා නිමකල ඇඳුම් බොහෝ තිබුනා.

එකෙකුට බාගයක් සේ සරිලන ලෙස මිලදී ගෙන තිබූ අරක්කු නිමවී තිබුනා. මා සහ අනෙකුන් පස් දෙනා ගල්කිස්සේ අපේ මුහුදු වාඩියෙන් නික්ම වෙරළේ ඉබාගාතේ ඇවිදිමින් සිටියා. සැන්දෑවේ හතර පසුවෙමින් තිබුනා. වෙරිය වැඩි කරගනු වස් සියල්ලෝ දුම් උරමින් උන්නා. බාගෙට හප කල පුහුල් දෝසි කැබලි සියල්ලෝ අතේ උනා. රතු පැහැති යමක් මා වෙත මුහුද දිගේ ඇදී එමින් තිබුනා. එය මා වෙත ඇදී එමින් තිබුනා. මා බමණ මතින් මුහුදේ ඉදිරියට ඇවිද ගොස් එය අතට ගත්තා. ඇපල් ගෙඩියක්! හපාපු ඇපල් ගෙඩියක්! රක්ත වර්ණ සරල වටපිටාවේ නිල් පැහැයක් මවමින් සර්ව බලධාරී දෙවියන් වහන්සේ මතු වුනා. ඒ වන විට මා අතේ කූරක් දැල්වෙමින් තිබුනා. තැම්බූ සෝගම් දේව පානය බව බමණ මත ඔස්සේත් මට සිහියට නැගුනා. මා අත තිබූ රසෝඝය දෙස අවඥ්ඥාවෙන් බැලුවා. මා නැවත වෙරළ දෙස හැරී බැලුවා. සගයින්ගෙන් එකෙකු මා දෙස බලමින් කෝපාග්නිය පිට වෙන දෑසින් සිනහා වෙමින් උන්නා. තවකෙකු මා පසුපසින් ඇවිත් සිටි අතර ඌ මුහුදු ජීවියෙකු හා කතා කරමින් උන්නා. දෙදෙනෙක් අනවරත රිද්මයකට ගල් තලාවකට පිටදී වෙරළට සිනහා වෙමින් සිටියා. අනෙකෙක් ගල් බෝතලයක අවසන් බිඳු දාහතර එක්කරමින් සිටියා. නැවත දෙවියන් දෙසට හැරුණු මා අව පැහැ ඇපල් ගෙඩිය දෙවියන් වහන්සේ දෙසට විසි කලා. එය, මාගේ රක්ත වර්ණ ලෝකය මැද වූ නිල් පැහැ දුමාරයේ සැඟව ගියා. අවසානයේ සාක්ෂිය විනිසුරුතුමා අතට පත් වුනා.

ජීවීන්ගේ අමරණීයත්වය ගිලිහෙමින් තිබුනා. අමරණීයත්වය නිෂ්ප්‍රභා වීමට පෙර සිටම මාගේ මලණුවන් මිය ගොස් සිටි අතර, මාගේ අම්මාගේ එකම සහෝදරයා ඝාතනය කරනු ලැබ තිබුනා. මා කේන්තියෙන් නිල් පැහැ දුමාරය සොයමින් සිටියා... කේන්තියෙන්!

Saturday, May 14, 2011

ලස්සන නගරය

සාෂා: කෝ ඉඩ දෙන්න මේ මේසේ ගන්න.

දිමිත්‍රි: මම වැඩකට ආවොත් ඔහොම්මමයි.

සාෂා: මම මේසේ ඉල්ලුවේ රෑ කෑම මේසෙට අරින්න.
         දැන් දුයිෂෙන් පහලට එනවත් ඇති.

දිමිත්‍රි: මමත් "ලස්සන" නගරේ රස්සාවකට ෆෝම් පුරවන ගමන්.
         ඒක වැදගත් නැද්ද?
         ලස්සන නගරයේ ගන්න රෑ කෑම වේලක් කොච්චර ලස්සනද කියලා දන්නවද?


තරප්පු පෙලෙහි ලී කිරි කිරිය ඇසේ. දුයිෂෙන් පහල තට්ටුවට පැමිණේ.

දිමිත්‍රි: ආහ් දුයිෂෙන්, අද රෑ කෑම පරක්කුදත් මන්දා..
         සමාවෙන්න ඒ ගැන.

දුයිෂෙන්: අහ්, ඒකට කමක් නෑ.
              මොකෝ දිමිත්‍රි මහත්තයා හැමතැනම කොල දිගෑරලා.
              වැදගත් වැඩක් වගේ.

දිමිත්‍රි: ඔව්... මේ "ලස්සන" නගරේ රස්සාවකට යන්න කියලා.

දුයිෂෙන්: "ලස්සන" නගරේ?

දිමිත්‍රි: ඔව්! ඇයි දුයිෂෙන් අහලා නැද්ද ඒ ගැන?
         ලස්සන ගෙවල්.. ලස්සන වාහන වලින් උඩට යන දුම් රොටු..
         ලස්සන කුමාරවරු කුමාරියෝ ඉන්න.
         එහේ කපුටොත් සුදුයි ලස්සනයි.

දුයිෂෙන්: අහන්නත් සතුටුයි! එහේ මිනිස්සු සතුටෙන්ද?

දිමිත්‍රි: නැත්තං තමා පුදුමෙ. දුයිෂෙන් දකින්න තිබ්බේ මිනිස්සු එහේ යන්න වෙන මහන්සිය.
         ඒක නෙමෙයි කොහොමද කෑම?

දුයිෂෙන්: වෙනදා වගේමයි. හොඳයි!
              එහෙනම් දිමිත්‍රි මහත්තයා මම උඩට යන්නම්.
              මෙන්න මේ මාසෙ කුලී සල්ලි. දවස් තුනක් පහු උනාට සමා වෙන්න ඕන.

දුයිෂෙන් පිටව යයි. සාෂා දෙ අත් පිසදමමින් පැමිණෙයි.



සාෂා: මොකෝ දුයිෂෙන් කියන්නේ?

දිමිත්‍රි: මම මිනිහට ලස්සන නගරේ ගැන කිව්වා.
          මිනිහගේ ඇස් ආශාවෙන් දිලිසුනා.

සාෂා: නෑ... මම කියලා තියෙනවා හිතට එන හැම අදහසම පිට උන්ට කියන්නෙපා කියලා.

දිමිත්‍රි: ඔව් මටත් එහෙම හිතුනා.
         මිනිහත් එහේ ගියොත් අපිට කුළී කාරයෝ නැතිවෙනවා.

සාෂා: ඒකනේ. මිනිහා උත්සහවන්තයා. රස්සාවත් හොඳයි.
         තාම සම්බන්ධෙකුත් නෑ මයෙ හිතේ.
         දැන් එතකොට ඔයා වැඩට ගියොත් ඒ මිනිහයි මායි මෙහේ තනියමද?


සාෂා දොර වසාගෙන පිටව යයි. දිමිත්‍රි මේසය මත හිඳගෙන දෙ අත් වාරුවට හිස බර කරගනී.


ඇඳ: මෙච්චරකල් ඔයාගේ වෙහෙසිල්ලට ලී අතුල්ලපු මට ඔයා නගරෙට ගියාට පස්සේ,
        වෙනින් එකෙක්ට හයියට හිටින්න වේවිද?
        ඒකත් කමක් නෑ කියමුකෝ.
        එතකොටත් මගේ උඩ ඉන්නේ කලින් හිටපු සාෂාමනේ.
        සාෂාගේ උඩ ඉන්න කෙනා විතරයි වෙනස්.

දිමිත්‍රි: මොකක්?

පොත් රාක්කය: මොකක් තමයි.
                         කොහොමද ඔයා අමාරුවෙන් එකතු කරං මගේ අතුරපු පොත්,
                         වෙන උන්ගේ ළමයි කියවනකොට.
                         ප්‍රශ්නයක් නෑ ඒ සාෂාගෙත් ළමයි නේ.

දිමිත්‍රි: නෑ..!

මේසය: නැතිවෙන්නේ කොහොමද?
           මගේ උඩ තියෙන බන්දේසි වලින් අරගෙන ඔයා කැමතිම බටු මෝජු,
           සාෂා අතින් දුයිෂෙන් ගේ පිඟානට බෙදද්දි මට උහුලන්න බැරි වේවි.

දිමිත්‍රි තවමත් එලෙසමය. සාෂා මගුල් පින්තූරය පිස දමයි. දිමිත්‍රි හදිසියේ මේසය මත විසිරි කොල එක් රැස් කරයි. දුයිෂෙන් දොර හැර පැමිණේ.



දිමිත්‍රි: ආහ්.. දුයිෂෙන්! අදනම් මහන්සි පාටයි මිත්‍රයා.

දුයිෂෙන්: දන්නැද්ද හවසට බස් වල එන එක ඉතිං!

දිමිත්‍රි: වද වින්දා ඇති නැද්ද? මට ඔයාටම හරියන රස්සාවක් හම්බුනා.

දුයිෂෙන්: මොකද්ද? පඩි කොහොමද? කොහේද?

දිමිත්‍රි: දෑතේ වැඩ තමා.
         ගෙවීම් හොඳයි කියලයි ආරංචිය.
         වෙන කොහෙද "ලස්සන" නගරේ මිසක්!

දුයිෂෙන්: අහ්.. මාත් ආසාවෙන් හිටියේ.. ස්තුතියි දිමිත්‍රි මහත්තයා.

දිමිත්‍රි: මෙතන තියෙනවා තොරතුරු.
           ඔය පහල නොම්බරේට sms එකක් ගැහුවම ඒ මිනිස්සු අපිට කෝල් කරනවා.
           අන්න එහෙමයි "ලස්සන" නගරේ වැඩ.

දුයිෂෙන්: ඉතින් දිමිත්‍රි මහත්තයා නොයන්නේ?

දිමිත්‍රි: කොහේ යන්නද අයිසේ..
         සාෂා කැමති නැහැනේ මොහොතක්වත් මම නැතුව ඉන්න.


නිමි.

Monday, November 2, 2009

ස්විච් එක


බඩ වැඩි හින්දා උඩ පනින්න බැරිවුනත්
පෙරලි පෙරලි පිස්සු නටපු මාව
එක තැන ගල් කරපු ස්විච් එක උඹ. . .

ආසාව වැඩිකමට
නැවතිල්ලක් නැතුව කොත්තු කාපු මාව
වතුරෙන් විතරක් ජීවත් කරවන් ස්විච් එක උඹ. . .

කෙටි කරගන්න බැරිකමට
වැල වගේ ඇදිච්ච කතා ලියපු මගෙන්
එකලඟ කැටි වෙච්ච කවි ලියවපු ස්විච් එක උඹ. . .

දහයට ඇඳට ගියත්
දොලහ වෙනකන් මනෝ ගහපු මාව
වැටිච්ච ගමන් දොයි කරවපු ස්විච් එක උඹ. . .

කොච්චර ටෝච් කෑලි,හුළු අතු තිබ්බත්
කලුවරේ තිබිච්ච මගේ ජීවිත පොජ්ජට
එළි පොජ්ජ මන්දු කරපු ස්විච් එක උඹ. . .

අයිස් ගහලම දාඩිය පිරිච්ච
මගේ ඇඟට
සිසිල ගෙනපු ෆෑන් එකේ ස්විච් එක උඹ. . .

කව්ද මේ උඹ ?

Sunday, October 18, 2009

රෝමය ගිනි අරං


අත්දුටු මිතුරන්,

ඒ මේ අත දිව්වෝය...

දෑත් ඔළුවේ ගසාගෙන හැඬුවෝය. .

රැය පහන් වනතුරු DCSL පිහිට පැතුවෝය. ..

සමහරු කලක් අතුරුදන් වී සිටියහ. . .

සමහරු අරකිට පොල් ගැසුවෝය.. .

අත්විඳි මම වයන්නට වීණාවක් සොයමින් සිටිමි.

Tuesday, October 13, 2009

මගේ මැරියන්

ඉස්සර දැක්කේ රොබින් හුඩ්ගේ ගෑනී වගේ.. .
ඉතින් මම උඹට මැරියන් කිව්වා. .
එදා ඉඳන් මගේ හිතේ වීරයා වෙච්ච රොබින්ට ඊරිසියා කලා. . .
ඉනික්බිති ආවා අළුත් රොබින්.. .
ඒකේ මැරියන් සුදුයි මහතයි..ඊරි වගේ.. .
ඒක හින්දා ආපහු මගේ හිතේ වීරයගේ මුල් පුටුව රොබින් ට. . .

දැන් පේන්නේ උඹ ක්ලියෝපැට්‍රා වගේ. . .
එයත් මරු..ඇයි ඉතින් කිරි වලින්නේ නෑවේ. ..
අනේ රෝමය මගේ උනානං.. .
හැමදාම නිදාගන්න කලින් උඹ මට දෙන. . .
කෝලන්(:) එකයි තරුවයි(*) . .
උඹව හොඳින් නිදි කෙරෙව්වට. . .
රැයක් පුරා මාව කිති කැව්වා . . (එහෙම කියලා නොදී ඉන්න එපා.)

උඹ කියලා කතා කරන්නේ හදට ලංවෙලා වැඩි හින්දා. . .
උඹ මගේ පපුවට තුරුල්වෙලා ඉන්න හැටි හිතේ මවාගෙන. .
මට මම ආසම නැති කැරට් උනත් කන්න පුළුවන්. . ..

මූණු පොතට,යාහු එකට,ස්කයිප් එකට. . .
පිං සිද්ධ වෙන්න මගෙත් එක්ක අළුත් ජීවිතයක් ගොඩනගන්න පටන් ගත්තු උඹට. . .
මම මගේ වැඩිපුරම ආදරය කරන අවයවය වෙච්චි බඩටත් වඩා ආදරෙයි !!!

Monday, August 24, 2009

Online ආදරයෙන් මට්ටු වුනෙමි. . .

ඇය මාගේ අපොස සා.පෙළ පන්ති වල සිට මිතුරියක් වූවාය.

ඒ දින වල සිට ඇගේ රූපයට ආශා කලද. . .ඇය ගැන ආදරයක් මසිතේ කෙළවරක හෝ නොතිබ්බේය. . .

ලඟ ඇසුරක් නොතිබුනු නිසාවෙන් සා.පෙළින් පසු අපට අප අමතක වී තිබුනි. .

කෙසේ හෝ තුන් අවුරුද්දකට පසු මූණු පොත විසින් අපව යලිඳු මිතුරන් ලෙස එක් කලේය. . .

ඇයගේ සොඳුරු අදහස් කතා බහ විලාශය මා සිත් ගත්තේය. . .

කිසිඳු පැකිළීමකින් තොරව මම ඇයට ආදරය පුද කලෙමි. .ඇයගෙ පිළිතුර "අනේ" විය. . .

ඇය මුසා කියන චරිතයක්ද නොවේ (මම වගේ :කැපිටල් ඩී)

හේතුව වූයේ,ඇයට තවමත් ආදරය වැනි හැඟීමක් ඇතිවී නොමැති බවයි. .අනික Online ආදරයද ඇයට රිස්සුවේ නැත. . .

මට දුක සිතුනේ,ඇගේ ආදරය දිනා ගැනීමට නොහැකි වූ නිසා පමණක් නොව. .වයස 21ක් වුවද ආදරය නොපිවිසුනු ඇගේ ළාමක සිතට කුළුඳුලේම ආදරය කිරීමට හා ඇයව එසේ පෙලඹවීමට තරම් මා පාපතරයකු වූ බැවිනි. . .

සියල්ල අමතක කොට මා නැවතත් සුවෙන්...

මෙම කෙටි සටහන මාගේ එක් ඒක-පාර්ශවික ආදරයක මතක සුවඳ ඔබ හමුවේ තැබීමටය. ..

Monday, July 27, 2009

කාලකන්ණි ජීවිත

උදයට බසයේ එයි..
බසයේදී ඕනෑම චීත්ත රෙද්දකට කල හැකි උපරිම පුද සත්කාර කරයි...

තමුන් උගන්නා තැනට එයි.. දිය රෙදි සඳහා පමණක් අහවල් එක කටේ ගෑවෙන පමණට නැමී සුභ උදෑසනක් පතයි...
ඔවුන් අසලම හිඳගනියි..
ඔවුන්ගේ ස්පර්ෂය ලැබීමට උපරිම උත්සහයක් දරයි..
ඒ සඳහා නානාප්‍රකාර වූ උපක්‍රම යොදයි..

විටෙක විකටයන් වෙයි.. විටෙක ආබාධිතයන් වෙයි...විටෙක වීරයෙකි. විටෙක උගතෙකි.. තවත් විටෙක ධනවතෙකි..

එසේ අසලින් හිඳගත් අවස්ථාවේ සිටම දිය රෙදි වෙනුවෙන් කලහැකි උපරිමය කිරීමට යත්න දරයි..
මෙහිදී..
කෑමට යමක්,Note එකක්,Tute එකක්...

දැරිය නොහැකිම දේනම්...
මුන් කණ්ඩායමක් වශයෙන් සිටියද,එතුලද සිදුවන උනුන් කපාගැනීමයි.

මෙසේ මොවුන් සපයන සියළු සැප සම්පත් විඳ,අදාල දිය රෙදි අවසන ගේට්ටුව අසල සිටින්නා සමග සතොසින් අත්වැල් බැඳ යාම මොවුන් නොදකින්නේ කිනම් අරුමයක් නිසාදැයි මෙම ළිපිය ලියන අවස්ථාව වන විටත් මට සොයාගැනීමට නොහැකිව ඇත.

මේසා සිදුවන ක්‍රියා දැකීමෙන්..එක විනාඩියක් තුල කටින් පිටවන කුණුහරුප ප්‍රමාණයේ දැඩි වර්ධන වේගයක් දැකිය හැක.
කෙසේ හෝ එය අවම කරගැනීම සඳහා කියනු ලබන එක ටීඊඊඊඊඊඊක් වචනයකට රුපියල් පහ බැගින් දඩ ගසා ගැනීමට මමත් මගේ හිතමිතුරාත් කතිකා කරගත්තද,ඛේදනීය තත්වය නම් එම තත්වය මතද අද දින තුල ගතවූ පළමු පැය 3ක කාලය තුල මම රුපියල් විසිපහකත්,මිතුරා රුපියල් විස්සකත් වචන පිටකර තිබීමය..

ප:ලි :- සමහරෙකු විසින් මෙය කොලුකමට කරන ලද්දක් ලෙස සාධාරණය කිරීමට ඉඩ ඇත.සැළකියයුතු කරුණ නම්,මෙවැනි "***"උන්ගේ කම් කොලුකම් වන්නේ කෙසේද යන්නයි.

මෙය ඊර්ෂ්‍යා සහගත්ව ලියන ලද්දක් නොව,දුක සහ කේන්තිය මුසු හැඟීමකින් ලියන ලද්දකි.
දුක නම් ලිංගය පුරුෂ වූවත්( මතුපිටින් පෙනෙන පරිදි ) මෙසේ ස්ත්‍රීවූ දෙයකට බාල්දුවීමය.

මෙයට සියල්ලෝ දන්නා පරිදි "Balcony Guys" පිරිස සාක්ෂි දරති.