"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Saturday, April 30, 2011

විසිතුන් වෙනි පහන් කණුව යට සිට ලියමි.

"මම මොකෙක්ද?" කියන ප්‍රශ්නෙට සමහරු පිස්සෙක් කියයි. තවත් සමහරු එක එක දේවල් කියයි. අන්තිමට ඉතුරුවෙන උත්තරේ "මොකෙක් හරි". ඉස්සර අහලා තිබ්බා වෙන්නන් වාලේ මොකෙක් හරි නොවී අරමුණකට ජීවත් වෙන්න කියලා. ඒත් මට ඕක පේන්න බැරි දෙයක්. එනිසා ඉස්සරත් "ලොකු උනාම කවුරු වෙන්නද ආසා?" ඇහුවම, මම මොකෙක්ද වගේ බලාගෙන ඉන්නැති.ඒත් ඔය "මොකෙක් හරි" කියන භූමිකාවේ මම වෙනස් වෙවී චරිත රඟපාන එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. ප්‍රදර්ශන තියලා නැතත් ඇහැට සෙට් වෙන පින්තූර දෙක තුනක්වත් මම අරගෙන තියෙනවා. සම්මාන හම්බෙලා නැතත් හිතට වදින ලිපියක් දෙකක්වත් මම ලියලා තියෙනවා. තරඟ දිනලා නැතත් ලාවට සින්දුවක් දෙකක් කියාගන්න, බෙරේකට තලාගන්න පුලුවන්කමක් තියෙනවා. ඔය මොක නැතත් මගේ ගෑණිට හිත පිරෙන්න ආදරේ කරන්න මට පුලුවන් වෙලා තියෙනවා. ඒ හැම එකක්ම සාර්ථක මට්ටමට ගැනෙන්නේ මට අනුව. මට මං ගැන හිතිච්ච විදිහ. ඒක සමහරවිට ඕනවට වඩා වැඩි වෙන්නත් පුලුවන් නැත්තං ඕනවට වඩා අඩු වෙන්නත් පුලුවන්.

ආදරේ..., මම ආදරේ කියන හැඟීමට හුඟක් අසාධාරණකං, වැරදි කරපු එකෙක් වෙන්න පුළුවන්. ඒත් මං අද වෙද්දි ඒක තේරුම් අරගෙන ඒකට අනුව හැඩගැහිලා තියෙන එක ගැන  මට අමු සතුටක් තියෙනවා. ඒ ආදරේ ඒ විදියට ගොඩනගන්න පුළුවන් උනෙත් ඒ ආදරේ අනිත් පාර්ශවකාරිය නිසාමයි කියන මතෙත් මම ඉන්නවා. ඒ ආදරේට අදට අවුරුදු එකහමාරක්. අද වෙනකොට හිතේ කොනකවත් කුහුලක් නැතුව මගේ ගෑනිට හිත පුරා ආදරෙයි කියලා කට පුරා කියන්න පුලුවන් වෙලා තියෙන එක සම්බන්ධයෙන් මට මං ගැන ලොකු සතුටක් තියෙනවා. මගේ සම්පූර්ණ නසරාණි අතීතය දැන දැනත් මට හිත පුරා ආදරේ කරන ගමන්ම, වැරදිම කරන්න පෙලඹෙන හිතත් වගේම කුණුහරුපම කියවෙන කටත් ඉවසගෙන ඉන්න උඹට ලොකු හයියක් තිබ්බ විත්තිය සහ තියෙන විත්තිය මම දන්නවා. මම උපන්න දවස වෙච්ච අදට විතරක් නැතුව හැමදාටමත් උඹේ ආදරෙත්, උඹේ හිනාවත්, උඹේ ආශිර්වාදෙත් තුනම මගෙත් එක්ක කියලා මම දන්නවා.

මම කලින් වතාවේ මගේ උපන්දිනේට ලිව්වා කවි ටිකක්. ඒවයේ තිබ්බ දේවල් අද වෙනකොටත් ඒ විදියටම නිසා මට ලොකු සතුටක් තියෙනවා. යාළුවෝ..., යාළුකං ඇති වෙච්cඅ විදි ගොඩක්. ගෙවල් පැත්තේ, ඉස්කෝලේ, උසස් අධ්‍යාපනේ කියන මගුල කරපු තැන වගේම අන්තර්ජාලෙත් ඒකට උදව් උනා. ඒ වගේම නෑදෑ පරපුරේ මගේ වයස් මට්ටමේ අංකුරත් සහෝදරකමකට එහා ගිය යාළුකමකින් මගෙත් එක්ක හිටියා. උඹලට බොහොම පිං එදා ඉඳන් අද වෙනකං මට හොඳ යාළුවෙකුට වගේ සලකන එකට. මගේ යාළු මිත්‍රයෝ ගොඩේ හැකියාවෙන් අග තැම්පත් වෙච්ච වගේම වයසින් අත්දැකීම් වලිනුත් ගොඩක් ඉස්සරහින් හිටපු මිනිස්සු හිටියා. ඒ දීපු උපදෙස්, ගුරුහරුකං වගේ ප්‍රශංසාත් මම අදටත් පටා ආසාවෙන් මතක් කරනවා. ඒ හැමදේකටම උඹලට බොහොම ස්තූතියි නොකියන්නේ මම උඹලගේ යාළුවෙක් නිසා.

මගේ අම්මට තාත්ත්ට වගේම උඩ සඳහන් කරපු උඹලා හැමෝටම පිං මගේ වැටීම් වලදි වගේම නැගිටීම් වලදිත් මගේ ලඟින් හිටියට. මේ හිටපු නිදහස් කාලේ බොහෝවිට හෙටින් පටන් ගන්න මාසෙන් පස්සේ ඉවරයක් වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙනුත් මට සතුටුයි. උඹලට සදා ජය!

Wednesday, April 20, 2011

ආදරය ගුල්ගත වීම

ඔබත් කොටුව ඇතුලෙද?

සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, සම්මතය තුල ඔබ හැසිරෙන්නේද? ආදරය කරන්නේද? ඒ තුල ඔබ සුවයෙන් සිටීද? විවේක ගනීද? මේ ලෑලි සතරෙන් බැඳි රාමුව, ඒ මැද පිහිටි ඔබේ ජීවිත රූපයට නිදහසක් දේද? සංස්කෘතිය අනුව විවාහයට පෙර නිවසින් අනුනොදැන ඔබත් ඇයත් උද්‍යානයකින් එළියට ඒම ඇස් කීයකට රැවීමට බලකරයිද? කොල්ලුපිටියේ වීදි ලාම්පු එළි මැද ඔබත් ඇයත් දහසකුත් බිසී ජීවිත අතර නිදහස්ව වෙසෙන කල, ඒ බිසී වූ සදාචාරවාදියෝ සියළු වැඩ නවතා ඔබ දෙස අවඥ්ඥාවෙන් නොබලන්නේද? ඔබේ පෙම්වතිය හැඩවූ දෙදන තෙක් කොට කලිසමට සහ අත් කැපූ ටී ෂටයට සභ්‍යත්වය විසින් ගල් නොගසයිද? අවසානයේ, සම්මතය සුදු රෙද්දේ ලේ වූ කල ඔබේ අම්මා ඔබේ බිරිඳට අනුකම්පා කරයිද?

Posh ද? [ආදරේ]

ඔබත් ඇයත් posh ජෝඩුවක්ද? ඔබට Billabong ටී ෂටයක්, Arugambay සෙරෙප්පු කුට්ටමක්, හිරට මැසූ ලොකු චෙක් ෂෝටක්, early 70's designer made සඟා කුට්ටමක් තිබේද? ඔබ ඇයට ආදරය ප්‍රකාශ කලේ Cinnamon Lakeside හිදීද? ඔබ ඇයට Mondy වෙතින් Pencil-cut වස්තරයක් ගෙනදුන්නේද? ඔබත් ඇයත් පැලමුවරට ඇස ගැටුනේ Uniform පාටියකදීද? ඔබත් ඇයත් ගාලුමුවදොර කාලතුවක්කු යට සෙවන සොයන ජෝඩු දෙස අවඥ්ඥාවෙන් බැලුවාද? කවරය පොෂ් ඇතුල පුස් වීම ගැන ඔබට ආඩම්බරයක් මිස ලැජ්ජාවක් නැතිද? පොෂ් ආදරයක හිමිකරුවෙකු වීමට ඉහත සුදුසුකම් ඔබට තිබේද?

හැංගීම

ඔබත් ඇයත් සැඟව සිටීද ලෝකයෙන්, ඔබත් ඇයත් එක්ව තනන්නට යන ලෝකය සුනුවිසුනු කරන්නට බලා සිටින; ඉරිසියාකාර ඥාතියාගෙන්? කනවැන්දුම් අසල්වැසියාගෙන්? ආදරය නොවිඳි මිතුරාගෙන්? අතට අසු වන සොඳුරු වදන් පිරි ලියුම් වලට බියෙන් ඔබ ඉලෙක්ට්‍රොනික සිංග්‍රීසියෙන් ඇය හා ආදරය කරයිද? ඔලුවටත් ඉහල ලැජ්ජාව, සයිවර් කඩයක් දිවා ආහාරයක් සඳහා ඔබව වලකයි ද? කෙදිනක හෝ ඔබ දිනිය යුතු ආදරය.. අග්‍රඵලයට පැමිණිය යුතු ආදරය.. බලා සිටී යැයි සැක සිතන මිනිස් පිරිසක් නිසා ඔබ මුදල්, කාලය වැය කරමින් කැප්සියුල් ගත කර ඇත්ද? 

ගර්භිතයිද?

ඔබත්.. උදයට හමුවන, එක්ව ආහාර ගෙන, බොක්ස් එකක් තුල පොරබදා, කේඑෆ්සී යෙන් හිත් පුරවන්, උම්මා එක දී ඇමතුම නවතන, එසේ නැතිදා රන්ඩු කරන ජෝඩුවක්ද? එක්වී පවුලක් ලෙස යහපත් දරුවන් සාදා, සතුටින් වැඩඵල කොට, සතුටින් උපයා, සතුටින් මියයන්නට පෙරුම් පුරන්නේ නම් ලෝකයා හමුවේ නොවෙනස් විය යුතුය. අවශ්‍ය වන්නේ විශ්වාසය හමුවේ ඔබ දිනාගත් ඔබේ ආදරය, අධ්‍යාපනය, විවාහය, රැකියා, දරුවන් යන මං සලඛුනු ඔස්සේ ඉදිරියට ගෙන යාමයි. ආදරයම ආදරයෙන් ඉදිරයට යාමය. ලොවක සිත් සනසා තබන්නට, ඔබ ඔබේ ආදරය පුද කලේද? විමසන්න.

Monday, April 11, 2011

ආටා අජේ

හේ අජිත් විය. මුල් කාලයේ පටන් අජියා වුවද, වසර පහක පමණ සිට අජේ බවට පත් වූයේ ඔහු ධාවනය කර ඉපැයූ තුන් රෝද රියේ ඇතුලත පසුපස අජේ දේව්ගන් ගේ රුවෙන් හැඩව තිබීමයි. ස්ටෑන්ඩ් එකේ සීඩී ප්ලේයරයක් තිබූ එකම රිය මෙය වූ අතර, ඒ සඳහා ඔහුට කදිම හේතුවක්ද විය.

"සින්දුවක් නැතුව වීල් එකක් පදින එක එපාම කරපු වැඩක් මල්ලී. එහෙම උනත් දැන් ඉන්න උන්ගේ කුණු සින්දු අහනවට වඩා හොඳයි කන්න හොයලා දෙන වීල් එකට පොල්ලකින් ගහන එක. ඒ නිසාම තමයි මේ සින්දු ටිකක් සෙට් කරගෙන, ඒ ටිකම අහ අහා යන්නේ.."

ආටා අජේ. . . ඕනම කෙනෙකුට හිනාවක් දාලා වීල් එකට නග්ගගත්තු බස්සපු හිත හොඳ මිනිහෙක්. සමාජ භාෂාවෙන් ත්‍රීවීල් කාරයෙක්. කොයිවෙලෙත් සින්දු ඇහිච්ච ත්‍රීවීලරයක අයිතිකාරයෙක්.

"මන්දා මල්ලී මේවා උඹලා ඕනතරම් අහලා ඇති. මහ ඒකාකාර කතා. එච්චර ගැලපෙන ගෑනියෙක්ව අතෑරලා දාන්න උනේ අම්මලාගේ විරෝදෙට. මං ඒ මිනිස්සුන්ගේ පුතා උනාට මං එපැයි මල්ලී මගේ අනාගතේ හදාගන්න. ඊටපස්සේ කසාදෙනුත් විඳෝපුවා මතක් වෙද්දී තමයි, මිනියක් දෙකක් මැරිලා හරි මගේ ගෑනිව මගේම කරගන්න තිබ්බනං කියලා හිතෙන්නේ. මම කියන්නේ නෑ දෙමව්පියෝ වැරදියි කියලා. ඒත් මට හරියි කියලා දන්න දෙයක් ඒගොල්ලෝ නිසා වෙනස් කරා. ඒකට මම තාම විඳෝනවා."


බැඳි මාසිත් නුඹ ලඟ ඇති වෙයි දෙවෙලේ
පණ ගිය මුත් නොහරිමි නුඹ වෙත ආලේ..
***************

ඒකනං මහ නරුම අතීතයක්! මං ඒ දවස් වල වීල් කුලියට දිවෙව්වා.කසාද ගෑනි මගේම වීල් එකක් එලවපු එකෙක් එක්ක ඒ වීල් එකෙන්ම පැනලා ගියා. හැබැයි ගෑනි අමාරු කාරි. ඌට ලේසි වෙන එකක් නැහැ. හැබැයි අරූ හොඳ උත්සහවන්ත කොල්ලා. මොනව උනත් ඒකි ඌත් එක්ක හොඳින් ඉන්නවනං ඇති. ඒ ඒ දේවල් වලින් අපි ඒ ඒ පාඩං ඉගෙනගන්න ඕන මල්ලී. ආදරේ එහෙමයි දේවල් කැපකරන්න වෙනවා. ඔය ඔක්කොම තියෙන්නේ ආදරේ හින්දා. නැති දාට විඳව විඳව ඉන්නවට වඩා යන එක හොඳයි. කොයි මිනිහද ගෑනිද කැමති මල්ලි රන්ඩු වෙවී ඉන්න. ඉන්න තැනක දෙමහල්ලෝ හොඳින් ඉන්නනවනං ඇති.

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න
***************

ඔය සිද්ධි වෙලා මුල් කාලේ මම බිව්වා මල්ලී බිවිල්ලක්. . . දිවේ රහ නැතිවෙනකංම. ඒ බීපු බීමටද මන්දා බීමත් එපා උනා. කොයිවෙලෙත් වෙරි වෙලා හිටියේ. හප්පා. . . ඒ තරං ගොන් වැඩක් මගේ ජීවිතේ මම කවදාවත් කරලා නැතුව ඇති. බිව්වට කමක් නෑ මල්ලී... අනුන්ට කරදරයක් නිවෙන්න, මත් ගතිය තියෙන්න බිව්වම ඇතිනේ. අනික ප්‍රශ්න වලට බොනවා කියන එක මහ මෝඩ වැඩක්. වෙරි හිඳෙද්දි ප්‍රශ්නේ එහෙමමයි. සමහරවිට ප්‍රශ්නේ තවත් ලොකු වෙලා. ඒක තේරෙන්නත් ප්‍රශ්නෙකදි බීලම බලන්න ඕන.. මල්ලි ප්‍රශ්න වලට බීලා නැද්ද?

මීවිතකින් ගත උණුසුම් වූවද... සිත උණුසුම් වේදෝ..
***************

මම බීම නවත්තලම දැම්මා මල්ලී. එක නැවැත්තුවත් එක්ක හුඟක් සල්ලි ඉතුරුවක් උනා. තනි මම හින්දා එහෙමට හම්බුකරන්න ඕනෙත් නෑ. අපි මැරෙන මිනිස්සුනේ. මම දැන් දවල් දෙකෙන් පස්සේ ස්ටෑන්ඩ් එකේ නෑ. උදේ හයර් ටික ගියා; දවල්ට බත් පැකට් පහක් අරං, හතරක් අර කුරුඳුවත්ත පාර මුල ගාමන්ට් එක ගාව ඉන්න පොඩි කොල්ලෝ හතර දෙනාට දීලා අනික අරං ගිහින් කාලා නිදාගන්නවා. පව් මල්ලි උන්! මටත් දරුවෝ නැති එකේ උන්ටවත්.. හ්ම්ම්ම්... උන් හරි අසරණ වෙලා ඉන්නේ මල්ලි.. අම්මෙක් අප්පෙකුත් නැහැනේ.

පයිප්පයේ දුඹුරු වතුර බෙලෙක් පිඟානේ පුරවා...
මුවින් උරාබොන්නෝ සෝපාකලා...
***************

"ඉතින් දැන් කසාදයක් ආපහු කරගත්තොත් හොඳ නැද්ද ලොකු අයියෙ?"

හ්ම්ම්.. මම නිදහස් මිනිහෙක් මල්ලී. මට දැණ් කිසිම බරක් නෑ. මට ඕනෙ වෙනකං හයර් යනවා. ඕනනැත්තං නවත්තනවා. ඒත් ගෑනියෙක් ගත්තොත් ඔය ජීවිතේ ලේසි නෑ. කන්න අඳින්න, ළමයින්ට කන්න අඳින්න.. එහෙම උනොත් තව ලොකු ගේකුත් ගන්න වෙනවා. අනික ඕන කාලෙදි නොහිටපු ගෑනු දැන් මොකටද මල්ලි. නිදිවදින්න හිතුනොත් ඕන තරං මඩං තියෙන එකේ, මම ඕක හිතින් අහක්කරං ඉන්නේ. මාත් හිත ඇතුලේ ඔය ආදරේ ගොඩක් හිරකරං ඉන්න මනුස්සයෙක් මල්ලී. මොකෙක්වත් තමුන්ගේ ලඟ නෑ.. තමුන්ට ආදරේ නෑ.. කියලා දැනෙනකොට එන වේදනාව සුළුපටු නැහැ. මම මේ දෙපැත්තටම හිරවෙලා.

අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන
සැමරුම් මේ කුළු අතර නිරන්තර...
නිදහස ඇත කාටත් පිවිසෙන්නට
එන්න එපා එළිපත්තේ ආදරේ...
***************

අවසානයේ ජීවිතය පිලිබඳ නිශ්චිත නිගමනයක් නොමැතිව මා ත්‍රීවීල් ස්ටෑන්ඩ් එකෙන් පිටවන්නට සිතුවෙමි. ප්‍රතිවිරුද්ද දිශානති වලට අදින හේතු මත මිනිසුන් වල්මත්ව ඇත. නිශ්චිත පිළිතුරු නැත. වැරදි මග වැරදි ලෙසටත්, වැරදි මග හරි ලෙසටත්, හරි මග වැරදි ලෙසටත් නොගොස්, හරි මග හරි ලෙසට යන ක්‍රමය සොයාගත යුතුව ඇත. අජේ අයියාට හිස නමා මා නවතා තිබූ ත්‍රීවීලරයෙන් බැසීමි. සීඩී ප්ලේයරය වැඩ කරමින් තිබිණි.

මං මුලා වෙලා අඳුරේ මේ...
යන්නේ කොහේ දැන් අප සැමා...