"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Tuesday, November 13, 2018

ටොපිය දිය වී යෑ​ම

පූර්ව සටහනක් - මේක උඹලට නිකං කතාවක් වුනාට මට ෂොක් එකක්. ඒ නිසා මේක ඉවර වෙනකං මේක කතාවක් කියල මම දැනගෙන උන්නෙත් නෑ. එනිසා මම දවසක ලියලා නවත්තපු තැනින් පහුවදා ලියන්න පටන්ගත්ත. එනිසා හැමදාටම අද කියලා පාවිච්චි කරලා තිබුනට මේවා දවසක් ගානකදි සිද්ධ වෙච්ච කාලකන්නි වැඩ.

ටොපි දිය වෙන්න ඕන තමයි. හැබැයි ටොපි දිය වෙන්න ඕන දිවක් මත කටක් ඇතුළෙදි. එහෙම දිය නොවෙන ටොපි කාලකන්නි ටොපි. දැන් මගේ ජීවිතෙත් කාලකන්නි ටොපියක් වගේ. පිරිමියක් දියවෙන්න ඕන ගෑනියෙක් ඇතුළෙ. ඒ ඇතුළෙ තියන රහට සුවඳට තියෙන පෙරේත කමෙන් පිරිමියෙක් දියවෙන්න ඕන. දිගින් දිගටම එකින් එකට දිව යටට එක්වෙන ලුමිනස් පැහැ කොටහකට මේ පිරිමි ජීවිතේ දිය වේවී යනවා. හීන පේනව. ඇඟ ඇතුළෙ එලියක් යනව වගේ. ගොඩාක් ඈත තියෙන දේවල් ලඟින් පේනව. ඇය​ගේ මාසික ඔසප් චක්‍රය සති තුනක් තිස්සෙත් නැවතිලා නැහැ කියලයි මතක. දරුවො නැති නිසා අපි ගත්තු බෙහෙතක් නරක විදියට ඇඟ ඇතුළෙ වැඩ කරනවද? කියල එයා හිතුවෙ. හැබැයි එයා දොස්තරල ගාවට යන්න කැමති වුනේ නැහැ. නැත්තං ඇය මැරෙන්න ලං වෙනවද? ඇගේ මුහුනෙන් ඒ බවක් පෙනෙන්නෙ නෑ, වෙනදටත් වඩා ක්‍රියාශීලියි. වෙනදටත් වඩා මට ආදරෙයි. හැබැයි පහනක් වැඩියෙම්ම දීප්තිමත්ව දැල්වෙන්නෙ නිවෙන්න ලංවුනාම නිසා මං දුක්වෙන්න පටන් අරගෙන.


පිටවෙන ලේ ගුලියක් ගානෙ ඇයවත් මාවත් දුරස් වුනා. අපි අතරෙ බන්ධනයක් හදන්න දරුවෙක් හිටියෙ නැහැ. එයා කවදාවත් මගෙත් එක්ක බීලත් නැහැ. මම බොනවට එයා මොකුත් කිවුවෙත් නෑ. ඒ අහලකවත් හිටියෙත් නැහැ. ඒ නිසා මම දිගටම බිවුවා. එයා මගෙන් තවත් දුරස් වුනා. මං කලින් කසාද බැඳපු එකෙක් නිසා අපිට පැනලා එන්න සිද්ධ වුනා. එයා ප්ලෑන් කරලා පැනලා ආවෙම දරුවෙක් හදාගෙන ගිහින් ගෙදර කට්ටියව ෂේප් කරගමු කියල හිතලා. ඒ වෙද්දි කලින් කසාදෙ මට නැතිවුනේ මට ළමයි හදන්න බැරි නිසා බව මම එයාට කිවුවෙ නැහැ. අපිට දරුවෙක් හදන්න බැරි බව තීන්දු කරන ටෙස්ට් රිපෝට්ස් ආපු දවසෙ එයා ඇඬුවා. මං කල්පනා කරා. මං සාමාන්‍යයෙන් කල්පනා කරොත් කරන්නෙ ඔය විදියෙ උත්තර නැති ප්‍රශ්නවලට. හොඳට හිතලා මතලා විකල්ප තෝරලා ගන්න ඕන තීරණ මම කල්පනා නොකර කරලා වැඩ වරද්දගන්නව. අපිට දරුවො නැත්තං.. හරිම සරළයි. අපිට දරුවො ඕන නැහැ. හදනව බල්ලෙක්.


අන්තිම ස්ටෑම්ප්ස් ඕඩර් එක මගේ අතට ආවෙ පොතක් ඇතුළෙ. ඒ පොත දැන් මගේ ගාව තියෙනව. ඒකෙ තියෙන්නෙත් බල්ලො ගැන. බල්ලො ගැන හැම දෙයක්ම. ඒත් බල්ලෙක් හැදුවොත් හිත නිදහසේ ට්‍රිප් එකක්වත් යන්න වෙන්නැති නිසා මං ඒ අදහසත් අතෑරියා. දැන් ඒ පොතෙන් වැඩකුත් නෑ. සෑට්ම්ප් එකෙන් මුළු ඇඟම නිශ්ක්‍රීය කරලා. ජේසු මරියාගෙ අත් උඩ වැටිලා හිටියා වගේ මං සෝෆාව උඩ දියවෙලා. මං කේන්තියෙන් පොත විසික් කළා. විසික් වුනේ නෑ. සමහරවිට විසික් වෙන්න ඇති. මට දුර දේවල් ලඟට පේන නිසා විසික් වුනා කියල නොතේරෙනව ඇති. අරක්කු බොන එක නැවැත්තුවෙ සති තුනක​ට කලින්. ආයෙ බොන්නෙ නෑ. බොන එක නවත්තනව කියල හිතපු දවසෙම කෝල් එකක් ආව අඩියක් ගහමුද කියල අහල. මං බොරුවක් කිවුව. පහුවදා මගේ දික්කසාද වෙච්ච කලින් ගෑනිගෙ මිනිහා කතා කළා අඩියක් ගහන්න. ඌත් ඒකිව දික්කසාද කරනවලු. දික්කසාද පෙම්බරීද මං... තමයි.


කලින් කසාදෙ ගෑනි මාව දික්කසාද කළේ මට දරුවො හදන්න බෑ කියල. ඒ කාලෙ මං අරක්කු බිවුවෙ. දැන් වගේ මයික්‍රො ඩෝපින් නෙමෙයි. මයික්‍රො ඩෝපින් මට හුරු කළේ සිලිකන්වැලීවල මාස දෙකක් රස්සාව කරල ආපු මගේ යාලුවෙක්. එහෙ ටෙක් බුවා​ලගෙ ජනප්‍රියම ඩෝපිං මෙතඩ් එක ස්ටෑම්ප් එක කෑලි විසිපහකට කපලා චුට්ට චුට්ට අහසෙ ඉන්න එකලු. මං අද දිවේ මුළු කෑල්ලම සතපවාගෙන හිටියට පුරුද්දට කරන්නෙ මයික්‍රො ඩෝපිං. කොහොමහරි මාව දික්කසාද කරන්න ඕන නිසාම කලින් ගෑනි මගේ රිපෝට්ස් බොරු කළාද කියල හිතෙන්නෙ දැන් මට ළමයි හදන්න පුළුවන් වුනාට මගේ දැන් ගෑනිට බැහැ කියලා රිපෝට්ස් ආපු නිසා. එදා වැරදුනාද? අද වැරදුනාද? දෙපාරම වැරදුනාද? ඔහොමත් බොරු රිපෝට්ස් දෙන්න හොඳයිද?


එයා අද මට ලියුමක් තියලා ගිහින්. එයාගෙ සයිකල් එක හරි දවසටම සිද්ධ වුනාට එයා ලේ එලියට අරගත්තෙ මට හොරෙන් එයාවම තුවාල කරගෙනලු. ඒක කියෙවුවම ඔලුවම කැරකෙන්න ගත්ත. ඒ මොහොත මං හිටියෙ ඩෝප් පිට නෙමෙයි. ජනෙල් කන්ඩිය උඩ ඔතල තිබ්බ ජොයින්ට් එකෙන් පෆ් එකෙන් ගහල ආයෙ මම ඒ කොලේ කියෙවුව. ඇස් බොර වෙලා කොලේ පේන්නෙ අඩුවෙන් වගේ. මට ඇඬෙනවද? එයා මාව දාලා යනවලු. කලින් ගෑනි මාව දාලා ගියේ මට දරුවො හදන්න බැරි නිසා. මෙයා මාව දාලා යන්නෙ මෙයාට ළමයි හදන්න බැරි නිසා. මොක්කු මොකාව දාලා ගියත් අන්තිම​ට මම මාව දාලා යන තැනට එයි කියල මම හිතුවෙ නෑ. ඒකයි මම කලින් දවසකත් මෙහෙමම කිවුවෙ. ටොපි දිය වෙන්න ඕන තමයි. හැබැයි ටොපි දිය වෙන්න ඕන දිවක් මත කටක් ඇතුළෙදි. එහෙම දිය නොවෙන ටොපි කාලකන්නි ටොපි. දැන් මගේ ජීවිතෙත් කාලකන්නි ටොපියක් වගේ. 


අද මම දියවෙන්නෙ ගෑනියෙක් ඇතුළෙ නෙමෙයි. මම මං ඇතුළෙම දියවෙනවා. ගෑනියෙක් ඉස්සරහ නිරුවත් නොවී මම මටම නිරුවත් වෙනවා. අදහස් වලින් නිරුවත් වීම ඩෙනිමක් ගලවනව තරං ලේසි නෑ. ඒකෙ අමුත්තක් නෑ. මගේ නිරුවත ගැන මම නොදන්න දෙයක් නෑ. කවුද තමුන්ගෙ නිරුවත ගැන නොදන්නෙ. තමුන්වම රවට්ටගන්න මිනිහෙක් පවා එක් මොහොතක පොඩ්ඩක් සැලෙනවා. මේ බොරුව කරගන්නෙ මටම නේද කියල මතක් වෙලා. කරන්න දෙයක් නෑ. හැබැයි නිරුවත් වීම දිය වීමම නෙමෙයි. දියවීම කියන්නෙ බාර වීමක් වගේ දෙයක්. ඔය සරණ යනව කියන්නෙ එහෙම දේකට. කොච්චර කිවුවත් මොන පකයද බුදුන්ගෙ සරණ ගියේ. සූර් වෙච්ච එකෙකුගේ කාලකන්නි කතා කියල උඹල අමතක කලත්, කන්න හම්බෙන නිසා, ලවු කේස් නිසා, ඉගෙනගන්න ලේසි නිසා යනව මිසක බුදුන්ගෙ සරණ ගිය උන් ඉන්නවද? ඒත් අපි කවුරුත් සරණ යනව. මම ආසම ගෑනියෙකුගෙ සරණ යන්න. හැම ගෑනිම හරියන්නෙ නෑ. එක ගැහැනියක්. ඇය දෙවඟනක් වගේ. ජීවිතයම ඈ තුළ සතපවන්න පුළුවන්.

ම​ගේ කතාවෙ පළවෙනි ඡේදෙට වගේම අන්තිම ඡේදෙටත් හැඟීම විස්තර කරවන්න පුළුවන් පින්තූරයක් නෑ. ඒක අරුමයක් නෙමෙයි. මේ කාලකන්නිකම වෙනිං කෙනෙකුට මීට කලින් අත්දකින්න නොලැබිලා ඇති. ගැහැනියක් තමුන්ගෙ පිරිමියා වෙනුවෙන් දරුවෙක් දෙන්නට බැරි නිසා තමුන්ගෙ ලිංගය තුවාල කරගන්නව. ඒ තුවාලය නිසාම දුරස් වෙන ඔවුන් දරුවෙකුටත් වඩා වටින ආදරේ දුරස් කරගන්නව. දිගින් දිගටම දකින ලෙයින් ඔද්දල් වුනු ඔලුවක් වැඩ කරන්නෙ මොනවගේද කියල හිතාගන්න බැහැ. තව ටික දවසකින් අපි ඩිවෝස් වෙනව. ඒක එයාගෙ තීරණයක්. එතකොට මාත් නිදහස් වෙනවද? තව කෙනෙක්ව හොයනවද? තාමත් ලයිටරේ මං ගාව. ඈත තිබ්බ බල්ලො ගැන පොතක් ඇතුළට ඉතුරු ස්ටෑම්ප්ස් ටික දාලා මං ලයිටරේ පත්තු කළා. කවරෙ හිටපු බල්ලගෙ ලස්සන ඇස් ගාවින් තමයි උගේ ඇඟට ගින්න ඇතුළු වුනේ. පිච්චිලා ඉවරවෙනකංම බල්ලා බිරුවෙ නැහැ. ආයෙ බොන්නෙ නෑ කියල ටෙස්ට් රිපෝට්ස් ආපු එදා එයාගෙ පරණ හෑන්ඩ්බෑග් එක​කට දාපු ඩීඩී බෝතලේ මගේ අතට ගත්ත. මුල්ම රත්තරං වතුර ඩිංග උගුර දිගේ බහිද්දිත් මං හිටියෙ සරණ යන්න හිතෙන ගෑනියෙක්ව ෆේස්බුක් එකේ හොයන ගමන්.

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

0 ක්ම තියෙනවා අදහස්:

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!