"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Thursday, October 10, 2019

එයා නිසයි මේ සේරම

ඔවු එයා හින්දයි මට ‍මේ ඔක්කොම ලැබුනෙ. එයාට මම ආදරෙයි. මම බුදුන් ගාව දණ නමන්න හිතුවෙ එයා නිසා. ඊට කලින් මට සුරපුරේට යන විත්තිය තේරුනේ එයා මගේ ලඟ දණ ගහපු දවසෙ. කොනක ඉඳන් හැමදේම ගානට මිම්මට. ඒක සිද්ධ වුනේ වොෂ්රූම් එකක් ඇතුළෙ. කොළඹ ප්‍රසිද්ධ ෂොපින් ‍මෝල් එකක. ඇඳ උඩ සිද්ධ වෙච්ච අටෝරාසියක් රති කෙලිවලට වඩා ඒක මගේ හිත්ගත්තා. එයාගෙයි මගෙයි සද්දෙ ඇහෙයිද? කොමෝඩ් සීට් එක කැඩෙයිද? අපේ ඇඳුම්වල වතුර ගෑවෙයිද? දොර අරිනකොටම මොකෙක් හරි දහයෙ ටිකට් එකට ගෙවලා මේක ඇතුළට රිංගයිද? ඒ ත්‍රාසය නිසාම ඒක තමයි මං සුරපුරේට ලස්සනටම ගිය වතාව. මාසෙ තුන්වෙනි සතිය වෙද්දි ලාබ හෝටල් වගේම යාලුවන්ගෙ ගෙවල් අස්සෙ ලැග්ගට, අපි පඩි ලැබුනු ගමන් ඒසී තියෙන කාමරවලත් නිරුවත් වුනා. එයා ලොකු හුස්මක් ගන්න ගමන් ලස්සනටම කෙඳිරි ගෑවෙ එයා අපේ ගෙදර ආපු දවසෙ. එදා අම්මලා හිටියෙ නෑ. මගේ නීත්‍යානුකූල පෙමත් එක්ක බොරුවට තරහා වෙලා මම ෆෝන් ඕෆ් කරාට පස්සෙ හාවා අපේ ගෙදර ආවා බතුත් උයාගෙන. අපි බත් කෑවා, එයා මට සරම විතරක් ලිහන්න උදවු කළා. මම එයාගෙ ඇඳුම් ගොඩක් ගැලෙවුව. ඒ එයාගෙ උපන්දිනේ. ජනවාරි 24.

එයාට හිටියා සැර පෙම්වතෙක්. පුදුම කේන්තියක් ඒ මනුස්සයගෙ තිබුනෙ. මම උගේ ගෑනිට ආදරේ කරපු වරදට උට හොඳටම කේන්ති ගියා. මං ඒ කේන්තිය දවන්න පුළුවන් තරමෙ ශාන්ත බවකින් ඌ දිහා බලං හිටියා. හාවා නාලාගිරිටයි මටයි මැදිවෙලා හිටියෙ. හාවා කවදත් නාලාගිරිට තමයි කඩේ ගියේ. හාවා තමන්ට වෛර කරගත්තා. හැබැයි හාවා මගේ ගාව හිටියා. ඒ වෛරක්කාරයා ටිකෙන් ටික මේ කතාවෙන් දුරස් වුනා. හාවත් මගෙන් දුරස් වුනා. හාවා දුක් වින්දා. හාවා මගේ ලඟට එන්න කලින් නාලාගිරියා වෙනිං කෙනෙක් ලඟට ගිහින් තිබුනලු. හාවා මගෙත් එක්ක දුකෙන් කිවුව. කමක් නෑ ඉතිං... අපිත් ඒ වරදම කළානෙ. මම හාවගෙ ඔලුව අතගෑවා. හාවට කේන්ති ගියා. ආයෙ කතා කරන්නෙපා මට. හාවා ගියා.

මට මම කර කර හිටපු සිකියුරිටි රස්සාව ඇති වුනා. මේ කරුමෙ කරන්න බෑ. මහ රෑට තුවක්කුව බදාගෙන ඉද්දි හාවා මතක් වෙනවා. එහෙම වෙලාවකට සීතල වෙච්ච ගිනි බටෙත් අමුතු සැරක් තියෙනව. මං තුවක්කුව අත ගානව. තුවක්කුව වෙඩි තියන්න ලං වෙද්දි බල්ලො යන්න ගන්නව. වාහන යන්න ගන්නව. උන්ට දෙස් තියල, උන්ගෙ අම්මලට හෙන ඉල්ලල ආයෙ හාවව මතක් කරගෙන මම තුවක්කුව අතට ගන්නව. මේ කෙලිය හැමදාම කරන්න ගිහින් අහසට වෙඩි තියවෙයි කියල හිතිච්ච දවසක මම සිකියුරිටි රස්සාව අතෑරියා.

මං පටන් ගත්තා පේන්ට් කරන්න. පේන්ට් කරන රස්සාවෙ පඩියක් කියල දෙයක් නෑ. මුලින්ම යාලුවොන්ගෙ පුංචි පුංචි කන්ට්‍රෑක්ට්. අතට ගානයි.. බඩට කෑමයි.. අරක්කුයි.. මගේ ප්‍රොෆෙෂනල් ගතිය පෙන්නන්න මං විසින්ම බලෙන් සුදු තීන්ත ඉහගත්තු කළු ඇඳුමක් මං ඇඳගෙන ගියා. වැඩ හම්බුනා. යාලුවො. යාලුවොන්ගෙ යාලුවො. උන්ගෙ නෑදෑයො. ෂේප් එකේ ගෙදරක ගෑනු දෙන්නෙක් විතරත් මේ වැඩෙන් අමතර වාසි විදියට සෙට් වුනා. එකෙක් මනුස්සයා පූර්ව රති කෙලිය මහන්සියෙන් නොකිරීම නිසා පීඩාවට පත් තිස්පහක ගැහැනියක්. දෙවැනියා පාසල් කාලයේ පටන් පෙමින් වෙලුනු පෙම්වතා කැම්පස් සිලෙක්ට් වීමෙන් පසු බත් කොක්කට සින්න වූ නිසා අගතියට පත් විසිවියැති තරුණියක්. ඒ දෙන්න‍ එක්ක හිටියා. ඒ දෙන්නගෙ ඇ‍‍ඟ හාවගෙ ඇඟ වගේ මතකයේ නැහැ. හැබැයි ෂේප්. මට මේ වැඩ තියෙන කාලෙට පඩි ලබන වැඩේ එච්චර අල්ලලා ගියේ නෑ. මං බැඳුනා ලොකු බාසෙක් ගාව වැඩට. හැමදාම ලොකු බාසාගෙන් කෑම. ඉඳුම් හිටුම් සහ ප්‍රවාහන. මාසික පඩි. වැඩ නොතිබ්බත් පඩි. තිබ්බොත් කමිෂන්. මේකනෙ යකෝ රස්සාව. තව චූටි චූටි පෙම් පළහිලවු දෙක තුනකුත් තිබ්බා. සිකියුරිටි වැඩේ වගේද මේක. හැබැයි අම්ම කැමති නෑ පේන්ට් රස්සාව කරනවට. අම්මට ලැජ්ජයි අම්මගෙ යාලුවෙකුගෙ ගෙදර පේන්ට් කරාවි කියල. අම්ම දන්නෙ නෑ මං මුලින් කළේ සිකියුරිටි රස්සාවක් කියල. මං ලස්සනට මල්ටිනැෂනල් කම්පනි බොරුවක් කියල තිබුනෙ අම්මට.

බාස් එක්ක ගියා වැල්ලවත්තෙ අලුත් බිල්ඩිමක පේන්ට් ගාන්න. ඒකට පේනව වැල්ලවත්තෙ ඕකිඩ් ඉන් එක. දෙයියනේ ඕකිඩ් ඉන් එක ඉස්සරහම හාවගෙ මනුස්සයගෙ කාර් එක. මම හිතේ දුක මැකෙන්න හාවා ෆේස්බුක් එකේ බ්ලොක් කරලා තිබුනෙ. නිකමට ආයෙ අන්බ්ලොක් කරලා ගියා ප්‍රොෆයිල් එකට. හාවා ඉන්නව බැබලි බැබලි වෙනිං මිනිහෙක් එක්ක ප්‍රොෆයිල් පික්චරේ. ඒ දෙන්නත් එක්ක ගිහින් පන්සල්. මම අනිත් උන් පේන්ට් කරන අස්සෙ හාව දිහා බලාගෙන අනිමිසලෝචනේ. නිකමට ආය හාවා දිහා ෆේස්බුක් එකෙන් බැලිල්ල පැත්තකින් තියලා බලන්න ගත්ත හාවාගෙ කලින් මනුස්සයගෙ කාර් එක දිහා. අනේ... ඕකිඩ් ඉන් එක ඇතුළ‍ෙ ඉඳන් හිනා වේගන එළියට ආවා හාවා. හාවගෙ මනුස්සයත් ආවා. හාවා ආයෙ පරණ මනුස්සයගෙ හොර ගෑනි වෙලා. තාමත් ආවෙ නෑ හිතට හාවා ගැන කේන්තියක්. අනේ නාලාගිරියා ගැන ඉස්සෙල්ලා තිබ්බ පුංචි තරහත් නැතිවෙලා ගියා මේක දැක්කම. ඌ උගේම ගෑනිගෙ හොර මිනිහා වෙලා. මටම දුකයි ඌ මගේ රෝල් එක රඟපානව දැක්කම. පිරිමි වැඩියෙම්ම ආදරේ අම්මටයි හොර ගෑනිටයි කියල කියන්නෙ බොරුවට නෙමෙයි.

මේ කෙලි හරියන්නෙ නෑ. පේන්ට් කරන්න හිත හදාගන්න බෑ. පිළිවෙලකට පින්සල් පාර ගහන්න බෑ. විටෙක තදයි විටෙක බුරුලයි. බිත්ති නිකං බොරුල්ලෙ හිඟන්නො වගේ. මං ගියා පන්සලකට. දවසක් ගියා. දෙකක් ගියා. මං තීරණය කරා මහණ වෙන්න. මුලින්ම කිවුවෙ යාලුවොන්ට. උන් කිවුව පුක පරිස්සං කරගනිං කියල. මං හිත හීලෑ කරගෙන පුක පරිස්සං කරගන්න පුළුවන් තැනකට ගිහින් හිස මුඩු කරා. පුදුම නිස්කාන්සුවක් දැනෙන්නෙ ජීවිතේට. මුල් කාලෙදි හිතුනා හාවා අර ප්‍රොෆයිල් පික්චරේ තිබ්බ විදියට මේ පන්සලටත් ඒවිද කියල අලුත් මනුස්සයත් එක්ක. ආවෙ නෑ. දැන් මං බලං ඉන්නෙත් නෑ. හැඟීම් ඇතුළෙම මත්වෙන්න පුළුවන් ආශ්‍රමයක් ඒක. දවසක් මගේ ඉස්සරහට ආවා ශ්‍රමනයෙක්. දැකලා පුරුදු නෑ. මං හිටියෙ මගේම හීලෑ හිත ඇතුළෙ මත් වෙලා. හැඟීම් එක්ක මහා දුරක ගියේ නෑ. තනි දෙයකට හිත තියාගෙන. හුස්ම ඉහළට. හුස්ම පහළට. මෙන්න මහා ශ්‍රමණයා. ඔවු මේ ඉස්සෙල්ලා හිටපු ශ්‍රමණයාම තමයි. හැබැයි මහා රූපයක්. ප්‍රශ්න තියෙනවද? එරමිනියා ගොතාගෙන හිටියම කකුල් හිරි වැටෙන ප්‍රශ්නෙත් දැන් නැහැ. එනිසා මට අහන්න ලොකු දෙයක් තිබුනෙ නෑ. මං ඇහුවා අහන්න තිබුන එකම ප්‍රශ්නය.

ඇයි මං කරන්නෙ මෙහෙම?
හාවා නිසා නේද මේ සේරම?

ප්‍රශ්නෙට ප්‍රශ්නයක්. මං හුස්ම ගැනිල්ල ආයෙත් අනිච්ඡානුගවම වෙන්න දීලා ඇස් පියාගත්තා හාවා නිසාද මේ සේරම කියලා හිතන්න පටන් ගන්න. මට ඇත්ත තේරුම් ගිහින් ඇස් ඇරලා බලද්දි ඒ මහා ශ්‍රමණයා අහලකවත් හිටියෙ නෑ. හරිම සීතලයි. මගේ අත්වල ඇටකටු මට පෙණුනා. මේ ලෝකෙ හාවා නොඑන එකම තැන මේක. මම ආයෙ ඇස් පියාගත්තා.




Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

0 ක්ම තියෙනවා අදහස්:

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!