ෂානකගෙ කතාව
ඇහැරුනේම ඔළුවෙ කැක්කුමක් එක්ක. ඊයෙ රෑට බොන්න ගත්තු ජින් බෝතලෙන් පුංචි කොටයක් විතරක් ඇඳ ගාව තිබුනා. ෂානකට මතක එතනින් බාගයක් වෙනකං ඉවර වෙන විත්තිය විතරයි. සිගරට් පැකට් එකත් සැළකිය යුතු තරමක් ඉවර වෙලා තිබුනෙ. තරින්දි උයලා ගිය කිසිම දෙයක් කෑවෙත් නැති නිසා ෂානකට තවත් අමාරුයි. තාමත් ඇඳ එහා පැත්තෙ තරින්දි හිටියෙ නෑ. ඒ හින්දා ඔළුවෙ තිබුනු බර ගතියෙ අඩුවක් දැනුනෙත් නෑ. ජින් බිවුවම උදේට එන දරන්න බැරි පිපාසෙ නිසා වතුර වීදුරුව හෙවුවත් වතුර වීදුරුව තිබුනෙ නෑ. වතුර ටිකක් බොන්න කුස්සියට යන්න ඇඳ දිගේ ඇදිල බිමට බැහැපු ෂානක සරමෙ ගැටේ තද කරගෙන කුස්සියට ගියා. තාම පාන්දර හතරයි. කළුවරත්. ගෙදර ලයිට් දාලත් නෑ. පුරුද්දටම වැනි වැනි කුස්සියට ගිය ෂානක කුස්සියෙ උළුවස්ස මුල පෙරලිලා වැටුනා. ඒ වෙරි මතෙන් නෙමෙයි. කකුල පැටළුනු නිසා. කකුල පැටලුනේ මනුස්සයෙකුගෙ. ඒ මනුස්සය පෙරලිලා හිටියෙ. ෂානක බය වුනු පාර නැගිට්ට. අර මිනිහට පයින් ගහල බැලුවා. හෙල්ලෙන්නෙ නෑ. ලයිට් එක දාලා බැලුවා. ඒ මිනිහගෙ කටින් සෙම වගේ දෙයක් එළියට ඇවිත්. ඒ මිනිහා හිටියෙ මැරිලා.
මේ ඔක්කොම වෙන්න පටන් ගත්තෙ ඊයෙ හවස. ඊයෙ හවස ෂානක වැඩ ඇරිලා ගෙදර එද්දි ෂානක දකින්න ආසම රූපෙ ගෙදර තිබුනෙ නෑ. ඒ ෂානකගෙ බිරින්දෑ තරින්දි. තරින්දි ලියලා ගිය සටහනක් විතරක් ෂානකට ලැබුනා. ඒකෙ තිබුනෙ මෙහෙම.
මං හිත රිදිලා ඉන්නෙ ඔයා නිසා. මට මොකුත් කියන්න එපා. මට කෝල් කරන්නත් එපා. කෝල් කරන්නත් බෑ ඔයාට. මං හිත හදාගන්න ගියා. මං හෙට එනව. රෑට උයලා තියලයි යන්නෙ. ඔයා ආසම බීෆ් කරිය එක්ක පරිප්පු. ඒකත් එක්ක බත් කාලා නිදාගන්න.
තරින්දි
ෂානක පොලිසියට කෝල් කළා. ඇත්ත විස්තරේ කිවුව. හැබැයි ලියුම ගැන කිවුවෙ නෑ. පොලිසියෙන් ආවා. "දොර ඇරගෙන හොරු එනවද? අපිව තම්බන්න හිතුව මදියි" කියල ෂානක ඇරෙස්ට් කළා. ෂානකව පොලිසියෙන් අරගෙන ගියා.
තරින්දිගෙ කතාව
තරින්දිට ෂානකව එපා වෙලා තිබුනෙ. ෂානක එක්ක ගෙවන ජීවිතේ තරින්දිට හරිම බෝරිං. ඔය අස්සෙ ෆේස්බුක් ගෲප් එකකින් හම්බුනු අශාන් නිසා තරින්දි හිටියෙ හරිම සතුටින්. අශාන් මුරණ්ඩුකාරයෙක්. තරින්දිට ඕන වුනේ හොඳ යාළුවෙක් වෙලා අශාන්ව හොඳ මිනිහෙක් විදියට හදාගන්න. දවසක් බීලා බීලා බෝඩිමේ වැටිලා හිටපු අශාන්ට කන්න උයලා දෙන්න ගිය තරින්දි එදා ආවෙ ජීවිතේ කාලෙකින් ලබපු සතුටකින් පපුව පුරවගෙන. එදා ඉඳන් ෂානක වැඩට ගිය සමහර දවසට අශාන් ආවා ගෙදරට. අශාන් තරින්දිට අශාන් ගාවට එන්න කියලත් කිවුව. තරින්දිත් ආසාවෙන් හිටියෙ යන්න. ඒත් ෂානක ගැන තරින්දිට දුකයි. ෂානක මේ ගැන දැනගත්තොත් පපුව පැළිලා මැරෙයි. ඒ නිසා තරින්දි තීරණය කළා ෂානකට දුකක් නොදෙන්න. ඒ නිසා ෂානකව එයාගෙ අතින්ම මරන්න. මේ වෙනුවෙන් අශාන්ගෙන්වත් උදවු නොගන්න තරින්දි තීරණය කළා.
තරින්දි හැදුවා ෂානක ආසම බීෆ් කරිය. ඒකට මිනිහෙකුව එකවර මරා දාන්න පුළුවන් තරමට වහ පිරෙවුව. ඒ තමයි තමුන්ගෙ මිනිහට දුකක් නොදී, තමුනුත් පොලිසි නොගිහින් මරන්න පුළුවන් ක්‍රමය. ලිවුවා ලියුමක්. ඒ ලියුමෙ සාක්කිය මකන්නත් උපදෙස් දුන්නා. ඉතින් තරින්දි බේරුනා.
තරින්දි පහුවදා උදේ ගෙදර එද්දි ගෙදර පොලිසියෙන් පිරිලා. නොදන්නා මිනිහෙක් මැරිලලු. ඒ මිනිහට ගෙදරට එන්න කියලා වහ දාපූ කෑම කවලා මරා දැම්මට ෂානකව පොලිසියෙන් අරං ගිහින්ලු. තරින්දි අශාන්ට කෝල් කළා. අශාන් ආන්සර් කළේ නෑ. කට උත්තර ගන්න තරින්දිවත් පොලිසියෙන් අරගෙන ගියා.
අශාන්ගෙ කතාව
කවි ගෲප්වල දුක විකුනලා, ආදරේ පුරවලා කෙල්ලෙක් සෙට් කරගන්න සෙල්ලම අශාන් කරන්නෙ අද ඊයෙක ඉඳන් නෙමෙයි. ඒ නිසා අශාන්ට සෙක්ස් අතින්වත් සල්ලි අතින්වත් අඩුවක් තිබුනෙ නෑ. අශාන් වෘත්තීය හොරෙක්. ඉස්සර කුඩුත් ගැහුවා. දැන් නං හොඳ හොඳ මත්පැන් ජාති විතරයි පාවිච්චිය. ලඟදි සෙට් වෙච්චි තරින්දි කියන පට්ට ලස්සන ඇඟක් තියෙන ගෑනිට අශාන්ගෙ හිත ගියා. මේකිව බැඳලා මේ අවලං මගුල් නවත්තල දාන්න ඕන කියල අශාන් හිතුව. ඒකි එක්ක ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕන කියල අශාන් හිතුව. ඒත් ඒකට බාධාවක් තිබුනා. තරින්දිගෙ කසාද මිනිහා, ෂානක.
ඉතිං අශාන් අශාන්ට පුරුදු වැඩේ ප්ලෑන් කළා. ඒක හොරකමක්. මුලින්ම ෂානක ඉන්න ගෙදරට පනින්න. පැනලා ශානකව මරන්න. ඊටපස්සෙ මේක හොරකමක් විත්තිය පේන්න ගෙදරින් බොරුවට සල්ලි ටිකක් හොරකං කරන්න. ඒ ටික අරගෙන මේ ගැන තරින්දිටවත් නොකියා ගෙදරින් පැනලා යන්න. ටික දවසකින් තරින්ද මුණගැහිලා මොකුත් නොවුනු ගානට තනිවුනු තරින්දිව කසාද බඳින්න. බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න අශාන් තීරණය කළා. කාටත් රහසේ ගෙට ඇතුළු වෙන්න තරින්දිම දීපු අමතර යතුර නිසා පුළුවන්. අශාන් ගෙදරට ඇතුළු වුනා. තරින්දි ඇඳ උඩ හිටියෙ නෑ. වැඩේට එද්දි ෆෝන් අරං ආපු නැති නිසා කෝල් කරන්න විදියකුත් නෑ, හැබැයි මේ නිසා වැඩේ තවත් ලේසි විත්තිය අශාන්ට තේරුනා. ෂානක සිහියකින් හිටියෙත් නෑ. ජින් බෝතල් බාගයක්ම බීලා හිටියෙ. අශාන් ෂානක බීපු ජින් බෝතලෙන්ම උගුරක් කටට හලාගත්තා. කටගැස්මට හෙවුවට මොකුත් තිබුනෙ නැති නිසා ටෝච් එකත් ගහගෙනම කුස්සියට ගියා. ලිප උඩ තිබුනු භාජනේ නියමට හොද්ද හින්දලා බොරේට උයපු ගම්මිරිස් යහමින් දාපු බීෆ් කරියක් තිබුනා. පහුවදා උදේ අශාන්ගෙ දේහය පොලිසියෙන් අරගෙන ගියා.






2 ක්ම තියෙනවා අදහස්:
හ්ම්ම්......
සැහ්.. බීෆ් කරිය නං රහට තියෙන්න ඇති...
මරු ඈ..
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!