"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Thursday, March 11, 2021

ප්‍රියයන්ගෙන් වෙන් වීම සැපයකි!

කතාව පටන්ගන්නෙ මාතරින්. මාතරින් අපි එන්න හ​දද්දි හවස් වුනා. කෝච්චියට විතරක් සල්ලි ඉතුරු කරගත්තම අපි තුන්දෙනාටම කන්න සල්ලි තිබුනෙ නෑ. ඉතිං දුවට විතරක් බත් එකක් අරං දීලා වයිෆ් මාත් එක්ක ෆෘට් සැලඩ් එකක් ෂෙයා කරගෙන කෑවා. කොහොමත් බත් කන්න ලොකු ආසාවක් නැති දූ මගෙන් ඇහුව "ඇයි තාත්ති බත් නොකන්නෙ?" කියල. "කෙට්ටු වෙන්න ඕන නිසා" කියල අපි බොරු කිවුව. ඇත්තටම වුණේ මේකයි.

මාතරට ආවෙ ගිය සතියෙ. එයාබීන්බී එකෙන් විලා එකක් බුක් කරලා කාලෙකින් හම්බෙන නිවාඩුව නිදහසේ ඉන්නයි ආවෙ. මාතරදි වාහනේ කැඩුනා. වාහනේ හදන්න දැම්මම ඒක හදන්න සතියක්වත් යයි කිවුව. කොහොමත් මට ඔය සර්විස් කිරිලි ගැන ඒ තරං නිච්චියක් නෑ. ඒ වගේම එතනට වාහන ගැන හොඳට දන්න මගේ යාළුවෙකුත් ආපු නිසා ගැරෑජ් එකෙන් මාව ඇන්දුවා වෙන්නත් බෑ. ඉතිං අපි ඒ සතියම මාතර ඉන්න තීරණය කරා. දවස් දෙකකට බුක් කරපු විලා එකේ පීරියඩ් එක එක්ස්ටෙන්ඩ් කරා. ආයෙ එයාබීඑන්බී එකට ගාණක් නොකැපෙන නිසා අපිට අඩු රේට් එකකට ඉතුරු දවස් පහ දෙන්න මැනේජර් කැමති වුනා. ඊයෙ කෝල් කරාම වාහනේ හදන්න තව දවස් තුනක් යයි කිවුව. ඉතිං වාහනේ හැදුවම යාළුවට අරගන්න කියලා අද අපි ආපහු කොළඹ එන්න තීරණය කරා. දවල් ස්ටේෂන් එකට ගියාම කෝච්චියක් තියෙන්නෙ තව පැයකින් කිවුව. ඒ නිසා අපි හවස් වෙනකං ඉන්න හිතාගෙන ටිකක් ෂේප් රෙස්ටුරන්ට් එකකට යන්නයි ගියේ. ඒ වෙද්දි ම​ගෙ අතේ සල්ලි තිබුනෙ රුපියල් හත්සීයයි. කොහොමත් ක්‍රෙඩිට් කාඩ් පිහිටෙන් ඉන්න හිතාගෙනයි ගියේ. රෙස්ටුරන්ට් එකට යන්න ටුක් එකක් හොයන්න හදන ඩිංගට එකෙක් අපේ බෑග් එක උස්සගෙන ගියා. ඒ පස්සෙන් දුවලා මහන්සි වෙලා වැඩේ අතෑරලා දාලා රෙස්ටුරන්ට් එකකට යන්න ටුක් එකක් නවත්තද්දි පිටිපස්සෙ සාක්කුවෙ පර්ස් එක නෑ කියල මතක් වුනා. පර්ස් එකත් බෑග් එකේ නිසා අතේ සල්ලිත් නෑ. වයිෆ්ගෙ සාක්කුවෙ නවපු රුපියල් දාහක් තිබුනා. මාතරට තර්ඩ් ක්ලාස් ටිකට් අරගෙන, එතනින් ගෙදරට යන්න ත්‍රීවීලරේට සල්ලි තියාගත්තම අපිට බත් කන්න සල්ලි ඉතුරු වුනේ නෑ.

ඊට පස්සෙයි අපි කාලා ස්ටේෂන් එකට ආවෙ. ඒ වෙද්දි අපි කෝල් දීලා ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් කැන්සල් කරලා තිබුනෙ. බෑග් එකේ තිබුනෙ අපේ ඇඳුම් විතරයි. "හොඳ වෙලාවට ඔයාගෙ ලැප්ටොප් ගෙදර දාලා ආවෙ." වයිෆ් මගේ හිත හදන්න කිවුව. මාත් ඔළුව වැනුවා. මම ලැප්ටොප් දාලා ආවෙ මේ දවසෙත් වැඩ කරන්න ඕන නැති නිසා. ඒත් දවස් දෙකේ නිවාඩුව දවස් හතක් වුනු නිසා මට ෆෝන් එකෙන් වැඩ ටිකක් කරන්න වුනා. එක්කෙනෙකුගෙ චාජර් විතරයි බෑග් එකට දාගෙන ආවෙත්. ඒ නිසා නැති වුනාට දුක තියෙන්නෙ පර්ස් එකේ නවලා දාගෙන තිබුනු පෝස්ට් කාඩ් එකක් විතරයි.

ඒක මගේ අම්මයි තාත්තයි ඉන්දියාවෙ ගිහින් එවපු පෝස්ට් කාඩ් එකක්. ඒ පෝස්ට් කාඩ් එක තමයි එයාලගෙයි මගෙයි තිබුනු අන්තිම සම්බන්ධය. ඒ මං ඒ ලෙවල් ලියන දවස්. එයාලා ඒ ගමනෙදි ඉන්දියාවෙදි ජීවිතෙන් අයින් වුනා. අක්කා මාව බලාගත්තෙ අක්කගෙ රස්සාවෙන්. මං ඒලෙවල් ඉවර වෙලා රස්සාවකට ගියා. දැන් අක්කා ඔස්ට්‍රේලියාවෙ. මං කසාද බැඳලා අවුරුදුම 5ක්. අක්කව දැකල නෑ අවුරුදු දෙකකින්. මං කෝච්චිය එනකං කල්පනාවට වැටිලා හිටියෙ. මොකද දැන් බෑග් උස්සන් යන්න දෙයක් නෑ. දූව වඩාගෙන කෝච්චි සීට් එකක් අල්ලගත්තොත් ඇති. ඒක වයිෆ්ට දීලා මට හිටගෙන යන්න පුළුවන්. යාළුවා හෙට අනිද්දට කොළඹ එන නිසා, එද්දි වාහනේ අරගෙන එයි. එතකොට ආයෙ මෙහෙම පොදු ප්‍රවාහනේ කටු කන්න ඕන නෑ දුවට. මගේ කල්පනාව බිඳුනෙ වයිෆ් කෑගහපු සද්දෙට. මං හිතුවෙ කෝච්චිය එනව කියල. ඔවු ඇත්තටම කෝච්චිය එනව.



දුව කෝච්චිය පැත්තට යනව. දුවට ඉස්සරහින් දුවගෙ අතේ තිබුනු ෆුට්බෝලයක් කීටැග් එකට දාපු ගෙදර යතුර පෙරලි පෙරලි යනව. දුව ඒක පස්සෙන් යනව. වයිෆ් දුව පස්සෙන් යනව. මිනිස්සු කෑගහනව. වයිෆ් කෑගහනව. කෝච්චියත් කෑගහනව. මාව ගල්ගැහුනා. යකඩ රාමුව ගහල ස්ටේෂමේ තිබ්බ ලී බංකුවෙන් නැගිටින්න හදද්දිත් එයාලා හැප්පිලා ඉවරයි. මට නැගිටගන්න බැරව ආයෙ පුටුවෙම වාඩි වුනා. මිනිස්සු වට වුනා. ප්ලැට්ෆෝම් එක අයිනෙ ගෙදර යතුර නැවතිලා තිබුනා. දුව ගෙදර යතුරත් පහු කරගෙන ගිහින්. එයාලා දිහා බලන්නවත් මට පුළුවන් වුනේ නෑ. කෝච්චිය තව ගොඩක් ඉස්සරහට ගිහින් නැවතුනේ. මිනිස්සු එයාලව උස්සලා අරගත්තා. එයාලා දෙන්නටම පණ තිබුනෙ නෑ. මං යතුර අරගෙන සාක්කුවෙ දාගත්ත.

මාතරදිම වැඩ කටයුතු අවසන් කරන්න හිත හදාගත්තා. සීල් කරපු පෙට්ටිවල දාලා, සෙනග නැති මල් ශාලාවක පහුවදා හවස් වෙනකං තිබ්බෙ වයිෆ්ගෙ සහෝදරයොන්ට එන්න ලේසි වෙන්න. එයාලා ඇවිත් ගියා. මං යාළුවගෙ ගෙදර ගියා. වාහනෙත් අරගෙනම යමු කියලයි යාළුවා කිවුවෙ. "අපරාදෙ උඹ වැඩිපුර දවස් පහක් සල්ලි ගෙවල ඉන්නෙ නැතුව අපිත් එක්ක අපේ ගෙදර ඉන්න තිබුනා. එහෙම වුනානං උඹල වාහනෙත් අරගෙනම ගෙදර යනව. මෙහෙම දෙයක් වෙන්නෙත් නෑ." යාළුවා පසුතැවිලි වුනා. යාළුවා මුලින් කතා කරද්දි වයිෆ් එහෙම කරන්න අකමැති වුනා. වයිෆ් මට කිවුවෙ "එයාලට අපිව කරදරයක් වෙන්න ඕන නෑ" කියල. හැබැයි වයිෆ්ට හිත යටින් යාළුවගෙ වයිෆ් ගැන නොකමැත්තක් තියෙනව කියල මට තේරුණා.

යාළුවට ළමයි නෑ. උන් ට්‍රයි කළා. ඒත් ළමයි නෑ. ඉතිං හොඳට සල්ලි තියෙනව. වයිෆ් ලස්සනට ඇඟ මේන්ටේන් කරගෙන ඉන්නව. හිතෙන හිතෙන දවසට දෙන්න එක්ක ඇවිදින්න යනව. මට කතාවලින් තේරුනු විදියට ඔවුව තමයි ඉරිසියාව​ට හේතු. මං ඔවුව හාරවුස්සන්න ගියේ නෑ. 

වයිෆ්ගෙ අයියල තුන්දෙනා ඇවිල්ල පෙට්ටි දෙකට වැඳලා, මාව බදාගෙන ඉ​ඹල ගියා. මං යාළුවගෙ ගෙදර ගිහින් ආපහු එදාම යනව කියල කිවුව. මං ඇඳන් ඉන්නෙත් යාළුවගෙ ඇඳුමක්. යාළුවා මාව නවත්තන්න හැදුවෙ නෑ. එයා වාහනේ අරගෙන එන්නං කිවුව. මගේ අතට සල්ලිත් දුන්නා. යන ගමං බඩගින්නක් ආවොත් කන්න කියල යාළුවගෙ වයිෆ් රෝල්ස් වගයක් බෑග් එකක දාලා දුන්නා. ඒ බෑග් එක ඇතුළෙ ලොකු නාරං ජූස් බෝතලේකුත් තිබුන. යාළුවගෙ ෂර්ට් සාක්කුවෙ යාළුවා දීපු සල්ලි දාගත්ත. අතට රෝල්ස් බෑග් එක ගත්ත. දකුණු සාක්කුවෙ ෆෝන් එක තිබ්බා. වම් සාක්කුවෙ ගෙදර යතුර තිබ්බ. මං ආයෙත් ස්ටේෂම ගාවට ආව. කෝච්චියට තව වෙලාව තියෙනව.

මං ස්ටේෂම ගාවින් සිගරට් පැකට් එකක් අරගෙන, ලයිටරේකුත්, බ්‍රෙත්ග මින්ට් පැකට් එකකුත් ගත්​ත. අන්තිම පැය විසිහතරටම දුමක් නොදා හිටිය කියලත් නිච්චි නැතුව තිබ්බෙ. මං සෙනග අඩු පාරක, තාප්පෙකට හේත්තු වෙලා ඩන්හිල් ස්විච් එක පත්තු කළා. පළවෙනි දුම් උගුර පපුවට බහිද්දිම අමුතු සෙනෙහසක් දැණුනා. මගේ මැරිච්ච ගෑනිගෙ තුරුළෙ ඉන්නව වගේ දැණුනා. මං ඒක පපුවෙ ටික වෙලාවක් තියාගෙන හිටියා. වෙනදට වඩා තියාගෙන හිටියා. මට එයා කෑගහනව ආයෙ ඇහුනා. කැස්සකුත් එක්ක දුම් ටික නාහෙන් කටින් එළියට පැන්න. මං පාර දිගේ ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා. පා​ර අයිනෙ අ​පේ බෑග් එක. ඒක ඇතුළෙ මොකුත් තිබුනෙ නෑ. ඊට එහායින් මගේ පර්ස් එක තිබුන. සල්ලි තිබුනෙ නෑ. ක්‍රෙඩිට් කාඩ් තිබුනෙත් නෑ. හැබැයි අම්මල එවපු නවපු පෝස්ට් කාඩ් එක තිබුන. අයිඩෙන්ටිය, ලයිසන් එක, ඔෆිස් අයිඩෙන්ටිය තිබුන. මං පර්ස් එකට යාළුවා දීපු සල්ලිවලින් ඉතුරු ටික දාගෙන පර්ස් එක පිටිපස්සෙ සාක්කුවෙ ඔබාගත්තා. එතන බිම තව පර්ස් තිබුනා. සමහරවිට මුං පොකට් ගහපුවා සල්ලි අරං විසිකරන්නෙ මේ පාළු පාරට වෙන්නැති. මං ආයෙ ස්ටේෂමට ගියා.

මං ගත්තෙ සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක්. මූද පැත්තෙ ජනෙල් අයිනක් හම්බුනා මට. දුම්බීම තහනම් නිසා බ්‍රෙත් මින්ට් එකක් හපන්න ගත්ත මම. දැන් මට කවුද ඉතුරු? කියන එකම ප්‍රශ්නයක්. ඊයෙ මුළු රෑම අක්ක එක්ක කතා කරා. අක්ක කිවුවෙ මට එහෙ එන්න කියල. මට එහෙ ගිහින් කරන්න රස්සාවක් නෑ වගේම මට දැන් ලොකු ආසාවල් නැති නිසා මං ඒකට බෑ කිවුව. දැන් ගෙදර ගිහින් ගෙදර අස් කරන්න ඕන. දරුවගෙයි වයිෆ්ගෙයි ඇඳුම් බඩු මුට්ටු සේරම අස්කරන්න ඕන. හිතුනොත් ගෙදරත් විකුණලා දානව. යනව පොඩි ඇනෙක්ස් එකකට රෙන්ට් එකට. ඔෆිස් එකට පයින් යන දුරින් තියෙන එකක් සෙට් වුනොත් හොඳයි. හොරෙන් ගගහ හිටපු ඔෆිස් එකේ නංගියව ඇනෙක්ස් එකට ගෙන්න ගන්නත් පුළුවන්. රස්සාව කරල පොඩි ෂොට් එකක් දාලා නිදහසේ ඉන්නව කියල හිතුව. 

මං නිකමට එහා පැත්ත බැලුවා. දරුවයි ගෑනියි ඉන්නව ප්ලැට්ෆෝම් එකේ. මේක මගේ හිතට මැවිලා පේන දෙයක් කියල මම දන්නව. එයාලව වල දැම්මෙ අද. හැබැයි මගේ හිතත් පොඩ්ඩක් ගැස්සුනා. පොඩි ගැස්සිල්ලක් එක්ක කෝච්චියත් ඇද්දුව ඉස්සරහට. දුව ආවා කෝච්චිය පැත්තට. වයිෆ් ආවා ඒ පිටිපස්සෙන්. දුව ආවෙ පෙරලි පෙරලි ඉස්සරහට එන ෆුට්බෝලයක් දාපු කීටැග් එක අල්ලන්න නෙමෙයි. දුව ආවෙ මාව නවත්තගන්න. මං සාක්කුව උඩින් අල්ලල බැලුව. කීටැග් එක අහුවුනා. ​ප්ලැට්ෆෝම් එකේ සෙනග පිරිලා; මට දුවයි වයිෆුයි දැන් පේන්නෙ නෑ. 

කතාව පටන්ගන්නෙ මාතරින්. මාතරින් අපි එන්න හ​දද්දි හවස් වුනා.

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

0 ක්ම තියෙනවා අදහස්:

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!