"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, June 13, 2021

එයයි මායි අහසට පො​ළොව වගේ වෙනස්

එයයි මායි අහසට පො​ළොව වගේ වෙනස්. එයා ආසම පැණි රස කන්න. මම ආසම දැවිල්ල කන්න. එයා ආසම වතුරෙ පීනන්න. මම වතුරට බයයි ෂවර් එකක් යටදි ඇරෙන්න. එයා ආසම ඇවිදින්න. මං ආසම ගුලි වෙලා නිදියන්න. එයාට හිටියා යාළුවො ගොඩක්. මට හිටියෙ එයා විතරයි. එයා හැම තිස්සෙම හිනා වෙලා හිටියෙ. මගේ මූන හරිම උදාසීනයි. එයා කැමති නෑ කාටවත් බනින්න. මං නං නොදන්න මිනිහෙකුට හරි බනින්න බලාගෙන හිටියෙ. එයා ආසා තේවලට. මං ආසා කෝපිවලට. එයා ආසම ළා පාටවල් ​වලට. මම ආසම කළු පාටට. එයා අහස වගේ ඉමක් නෑ. යන්න යන්න තව දුරයි. හැබැයි තියෙනව කියල පේනව. මම පොළව වගේ; ටොයිලට් වලවල්, නෙළුම් කුළුණු, පුංචි ගෙවල්, රජ මාලිග මගෙ උඩ. අල්ලන්න පුළුවන්. දණ ගහලා ඉඹින්න පුළුවන්. ඉඹලා විකුණන්න පුළුවන්. එයයි මායි අහසට පොළොව වගේ වෙනස්.

එයාට දවසක් මං ඉස්සරහ ඇඬුනා. එදා තමයි මට එයාගෙ හිතේ මට පොඩියට හරි ආදරයක් තියෙනව කියල තේරුංගත්තෙ. මට පුදුම අස්වැසිල්ලක් දැණුනා. මාත් ආදරේ කරපු ගෑනි, මටත් ආදරෙයිනෙ. එයා තමයි මං කැමැත්තෙන් ඉඳලත්, මතක් කරගෙන අතට ගත්තු නැති එකම ගෑනි. සමහරු කියනව වගේ ප්‍රේමය රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයිද කියලත් හිතුණා මට. හැබැයි එහෙම නෑ. මගෙ හිතේ එයා ගැන අනුරාගයක් තියෙනවා. මං එයා ගැන හීන දැකලා තියෙනව. එයා මාව ඉඹිනවා. එයා මගේ ඔළුව අතගානවා. එතන තිබුණෙ ප්‍රේමයට වඩා බර දෙයක්. ඒක රාගයම වෙන්න ඕන. ආසාවක් නැතුව කොහෙද ආදරයක් උපදින්නෙ. මං මගෙ හිත හදාගත්තා. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය නෑ. හැබැයි මම එයා ගැන මතක් කරලා ස්වයං මෛථුන්‍ය කරේ නෑ. කවදාහරි එයා ලඟින්ම ඇඳට වැටෙන්න මට ඕන වුණා. එතන ලෝකෙ නිදහස්ම තැන වෙයි කියල මට හිතුණා. මං මෙච්චර හීන දැක්කට එයා එහෙම හිතන්නෑ නේද කියල මතක් වෙනවා ඒ වෙලාවට. මොකද එයයි මායි අහසට පොළොව වගේ වෙනස්.

මට හිතාගන්න බෑ දවසක එයා මේක කියවයි කියල. එහෙම වුණොත් කියාගෙන කියාගෙන යයි එයාගෙයි මගෙයි සමානකං. මට බයයි ඒවා අහන්න. ඒවා මතක් වෙන පාරක් ගානෙ මට එයාව දාලා යන්න බැරි කමක් දැනෙනවා. ලොකු බැඳීමක් දැනෙනවා. මං ඒ නිසා ඒවා අමතක කරලා එයාගෙයි මගෙයි වෙනස් ගති ගැන විතරක් හිතනවා. කොටිම්ම මං ඒවා ඔයාලටවත් කියන්නෙ නෑ. කවදාක හරි එයා මට ලැබෙයිද? එහෙම හිතුණු කාලයකුත් මට තිබුණා. ඒ මේ මාසෙකට විතර කලින්. එහෙම ලැබෙන්න නං මේ​ ලෝකෙ හුඟක් වෙනස් වෙන්න ඕන. අපිට දැනට ලඟ ගොඩක් දෙනෙක් අපේ ඇහැට දකින්න නැති වෙන්න ඕන. අපි වෙනස් වෙන්නෝන. එයයි මායි ඉන්නෙ දුර. ඒත් හිතාගන්න බැරි තරං ලඟ. 

දවසක් මං එයාව දකිද්දි එයා තුවාල වෙලා. මට රිදුනා වගේ වුණා. මං ආදරේ කරන ගෑනිට තුවාල වෙලා. මං පෙන්නුවෙ නෑ එයාට ඒ දුක. මං පුළුවන් තරං එයාගෙන් හැංගුවා එයාට ආදරේ බව. සමහරවිට තරමක් හරි මගෙ හිතේ තියෙන දේවල් පෙන්නුව නං එයා වුණත් විවෘත වෙන්න ඉඩක් තිබුණා. ඒත් මං හැංගුවා. මොකද මං බයයි. මං ඒකයි මේ කතාව බ්ලොග් එකක් ඇතුළෙ හංගන්නෙ. මං බයයි එයා මේක දකිනවට. මේ කියන්නෙ එයා ගැනද කියල හිතනවට. හිතලා මගෙන් ඒ ගැන අහනවට. අහද්දි මට දෙන්න උත්තරයක් නැති වෙනවට. ඊටපස්සෙ මට එයාට බොරු කියන්න වෙනවට. මං බයයි. 

කවදාකහරි එයා දැකලා මේ ගැන ඇහුවොත් මං එයාට කියනව ෆික්ෂන් කියල දෙයක් තාම ලෝකෙ තියෙන විත්තිය. දවසක් එයයි මායි ඇවිදගෙන ගියා පාර දිගේ. මට වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ. මං ඇවිදගෙන ගියා. වාහන අපිව පහුකරගෙන ගියා. මම වාහන දිහා බල බල ගියා. එයා දිහා දකින්න දකින්න ආසාව දැනෙනව වැඩියි. එයා යන්නෙ ගෙදර. මාත් යන්නෙ ගෙදර. මං මගදි හම්බෙන්න හිටියෙ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව. එයාත් හම්බෙයි එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව. ඒකට ඉරිසියා කර කර මං එයා එක්ක යනව ඉස්සරහට. එයාගෙ කටට නිවනක් නෑ. කියවනව ගොඩක් ජාති. එයාගෙ යාළුවො ගැන, එයාගෙ කැම්පස් එක ගැන. අතොරක් නැති විස්තර. මට දරාගන්නම බැරි තරමට එයා ලං වෙනවා මගේ හිතට. මේක ඉක්මනටම නවත්තගන්න ඕන. හිත කියනව මට. මං එයා එක්ක යන්න හිටපු දුරට කලින් මගින් හැරෙනව. බොරුවක් කියල. එයා හා කියනව. මං එයා පස්ස වන වන ඇවිදගෙන යන දිහා බලං ඉන්නව. ලෑලි පස්සක් ඒක. ඒත් මට හරිම ලස්සන.

ඊට මොහොතකට පස්සෙ මට මුණගැහෙනව මගෙ පෙම්වතියව. මට බඳින්න ඕන ඔයාව. මේ මොකද හදිස්සියෙම. එයා කලබල වෙනව. එයා වද දෙනවා මට ඇයි කියල අහගන්න. එදා මගේ ඒ ආදර සම්බන්ධෙ ඉවර වෙනවා. හිතට පිස්සු වැටෙන්න දෙන්න බෑ. ආදරේ කරන්න කෙනෙක් හොයාගන්නෝන ඉක්මනටම. ඒත් කාවද? මං හිතින් තවත් පෙම්වතියක් ලං කරගන්නවා. එයා මගෙ හිතේ පෙරළි කරනව නිතරම. රෑට රෑටත් කතාබහ. උදේට ගුඩ් මෝනිං එක්ක අලුත් පෙම් හබයක තියෙන විකාර ඔක්කොම. හැබැයි මං බඳින්න අහන්නෑ එයාව. එයා හරියටම හරියනව මගෙ වැඩේට. මෙයාව අමතක කරන වැඩේට. ඒත් පැය ගානක පරතරයකින් ආයෙත් මුළු හිතම අයිති කරගන්නවා එයා ම. මං අසරණයි ඒ හැම වෙලාවෙම. 

මේක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැම මොහොතකම මේ විදියට වෙද්දි මං තේරුං ගන්නව ඇත්ත. තවත් මේක නවත්තන්න ඕන නෑ. මං ආදරේ කරනව එයාටම. වෙනදා වගේම එයාට නොකියම. එයත් ඒ මොකුත් නොදැනම ඉන්නව මගෙ ලඟින් හිනැහීගෙන. දැන් වෙනිං පෙම්වතියො නෑ මට. ඉන්නෙ එයා විතරයි සන්තකේටම. හැබැයි මං එයාට කියන්නෑ කවදාවත්ම. එයා හිනාවෙන දිහාම බලං ඉන්නයි අදහස. මට මගෙ හිත හගිස්සවන්න පුළුවන්. කාලෙකින් මං නොවෙනස්ව ආදරේ කරපු ඉස්කුරුප්පුව තමයි ඇය. මට බයයි දවසක එයාට මාව නොරිස්සයිද කියල. මොකද එයයි මායි අහසට පොළොව වගේ වෙනස්.




සීතලට ඇති ඇහැක බිහිවුණු කඳුලක

නිහඬ නිසසල හුලඟකින් පිරි තරුවක

තරමට ම නිස්සද්ද ගුණය පිරි ඔළුවක

ජල කලතමින් ලඳක් යනවා ඔරුවක


ලොක්ඩවුන් කළ රටක පන්සලේ මළුවක

මහ රෑක රැහැයියන් සද්ද දෙන වරුවක

සද්ද ගොඩ මැද වුණත් නිස්සද්ද අඳුරක

ජල කලතමින් ලඳක් යනවා ඔරුවක


උණු වෙන්නෙ නෑමයි කියූ රළු පපුවක

සීරුවට හීනි වෙන මත පිරුණු උගුරක

මත් ගතිය බිඳලමින් නොදැනීම තරමක

ජල කලතමින් ලඳක් යනවා ඔරුවක






Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

1 ක්ම තියෙනවා අදහස්:

Randev Ranasinghe said...

අහසයි පොලවයි කවදාවත් යා නොවෙන දෙයක්, හැබැයි ඉතින් පරිකල්පනය ඇතුලෙදි අහසයි පොලවයි යාවෙනවා. හැබැයි ඒ මුහුදේදී ක්ෂිතිජයේදී. උඹ පොලව නම් එයා අහස නම්, උඹ අහසයි පොලවයි කියන එක හා කරන්න මහන්සි වෙන්න එපා. ජීවිතය කියන බෝට්ටුව මුහුදට දාලා ක්ෂිතිජයටම පැදපන්. අහසයි පොළවයි කොච්චර දුර වුනත්, වලාකුළු නැති අහසක් නම් උඹට තරු වලින් පෙන්නාවි යන්න ඕන තැන. එතකොට අහසයි පොළවයි එකට යා නොවුනත්, ඒක වලාකුළු නැති අහසක් නම් හැමතිස්සෙම උඹත් එක්ක ඉදිවී යන්න ඕන පාර පෙන්නගෙන ක්ෂිතිජය මායිමටම තරු වලින් හිනැහිගෙන.

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!