මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Showing posts with label නිකමට හිතිච්ච. Show all posts
Showing posts with label නිකමට හිතිච්ච. Show all posts

Friday, June 10, 2011

අමරණීයත්වය නිශ්ප්‍රභා වීමට පෙර...

ආදම් සපමින් සිටි ඇපලය අතට ගෙන බැලීය. හේ ඊඩ්න් උයණේ පණුවන් කෙරෙහි උපන් කුසගිනි ශෝකයෙන් එය බිම දැමීය. එහෙත් ඒ වන විට ඒ ඇපල් ගෙඩියේ වූ දත් පහරවල් වලින් කැපුනු ඇපල්, තවමත් ආදම්ගේ දත් අතර සිරව තිබූ අතර ඉතිරිය හේ ආමාශයේ තැම්පත්ව තිබිණි. පණුවන් වූ කලී ආදම් ඇපල් ගෙඩියේ රස බැලූ බවට සර්ව බලධාරී දෙවියනට සපථ කිරීමට සිටි සපථ කරුවන්ය.  පණුවන් තමන් ගැන දයාව දැක්වූ ආදම් කෙරේ අනුකම්පා කොට, සාක්ෂි නසනු වස් ඇපල් ගෙඩිය ටයිග්‍රීස් ගංගාවට තල්ලු කර දැමීය. එය ටයිග්‍රීස් නිල් දිය මත පොලා පනිමින් අපූරු සලරූ දර්ශන මවන්නට විය. මේ සියල්ල දෙවියන් වහන්සේ නිලැති වළාකුලට ඉහලින් වූ හිරු මත හිඳ බලා සිටින්නට විය.

වේගය එන්න එන්නම වැඩිවූ අතර කෙදිනකවත් මෙතරම් චණ්ඩ නොවූ ගං දියේ බැස්ම, පෙරලි ගසමින් දෙවරක් සැපුම් පහර ලත් ඇපල් ගෙඩිය මුහුද දෙසට ඇදගෙන ගියේය. තමන්ගේ රැහේ පව්කාර පණුවන් කිහිප දෙනෙකු ගංදියේ මාලුන්ට බිළි දුන් පණුවන්, ඊට සලකා සපන ලද ඇපල් ගෙඩිය නොහොත් මනුෂ්‍යයාගේ අමරණීය බව නසන සාක්ෂිය විනාශ කරන ලෙස මාලුන්ගෙන් ඉල්ලූහ. එහෙත් මේ සියලු බලයන් නස්න කරමින් හිරු මත හිඳ සර්ව බලධාරී දෙවියන් වහන්සේ, සාක්ෂිය බේරා ගැනීමේ උත්සහයක නිරත විය. කෙසේ හෝ එය සාගර ගත විය. එය ලොව පලමු ඇපල් ගෙඩිය වූ අතර, සියලු මුහුදු ජීවීන් බියෙන් ඒ දෙස බලා සිටියහ. ලොව පලමු ඇපල් ගෙඩිය වූ එය අපරිමිත බලයකින් යුක්ත විය. එය මුහුදු රළ මත සෙමෙන් පැද්දෙමින් තිබූ අතර, හදිසියේ ඉහල නැගි වේගවත් රළ අතර දෝලනය වෙමින් දුරින් දුරට යන්නට විය. එය ඉන්දියන් සාගරය වෙත ලඟා වෙමින් තිබිණි. ඒ සඳහා ඒ රතු ඇපල් ගෙඩිය දිය මත නොගිණිය හැකි තරම් බොහෝ කාලයක් පෙරලි කල අතර, එහි වූ අසීමිත බලය හේතු කරගෙන ඇපල් ගෙඩියට කිසිඳු හානියක් නොවී තිබිණි.

එය තවත් ඉන්දියන් සාගරය වෙත ලඟා වෙමින් තිබිණි. අවසානයේ එය ඉන්දියන් සාගරයේ රළ සුව විඳින්නට විය. ඒ රාහුල උපත සිදුවූ සමයයි. උදෑසනම ඉන්දියන් සාගරයේ සොඳුරු සුව රැළි මත දිය කෙළියට පැමිණි මල්වර වියෙහි වූ කුමාරිකාවන් විය. බොහෝ දුරට ඒ සුද්ධෝදන රාජ සභාවේ අමාත්‍ය පුරෝහිතයන්ගේ දියණියන් වීමට පුලුවන. ඔවුන් සයුරු දියේ ඔවුන් දෙසට ඇදී එන රතු පැහැති වස්තුව දෙස උද්යෝගයෙන් බැලූහ. රංචුවේ විසේකාරම කුමරිය එය වෙත ගොස් එය රැගෙන බැලූ අතර එහි ඇති මිනිස් දත් පහරවල් දෙක දෙස විමසිලිමත්ව බැලූහ. මේ විශ්මිත සොබාදහම් නිෂ්පාදනයෙන් කුතුහලයට පත් කුමරියන් එය රෙදි කඩක ඔතාගෙන සයුරු දියේ ගොඩට පැමිණ නගරය වෙත පිටත් වූහ. ඒ වනවිටත් කිඹුල්වත් නුවර දෙදුරුම් කවන සිද්ධියක් සිදුව තිබුනා. පෙරදින රාත්‍රියේ සිද්ධාර්ථයන් ගිහිගෙය හැරගොස් තිබුනා. ඇපල් ගෙඩියද අතැතිව කිඹුල්වත් නුවරට යන කුමරියනට අනෝමා ගංතෙර ලය පැලී මියගොස් හුන් කන්ථක අසු හමුවුනා. තවමත් කිරිපිඬු පූජා කරන ලද තලිය උඩුගං බලා යමින් තිබුනා. එය කුඩා තිතක්ව කුමරියනට පෙනුනා. කුමරියන්ගේ ආදරය දිනූ හැඩැති සවියැති කන්ථක අසුගේ වියෝව කුමරියනට දරාගත නොහැකි උනා. සිහිසුන් වූ කුමරිය අතින් ඇපල් ගෙඩිය අනෝමා ගං දියට වැටුනා.

තවමත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නෙත් ඇපල් ගෙඩියෙන් ඉවත්ව තිබුනේ නෑ. එසේම අපරිමිත බලයක් ගැබ්ව තිබූ රක්ත වර්ණ පලතුර පුෂ්ඨිමත්ව නිසොල්මනේ ගං දියේ පාවී ගියා. නැවත සාගර ගත වූවාට සැක නැහැ. තවත් වසර දෙදහස් හයසිය හයක් ගත වුනා. ඒ වන විට ඇපල් ගෙඩිය මදක් අව පැහැ ගැන්වී තිබුනා. ඒ, ලෝකයෙහි ඇපල් බහුල කාලයක්. අත්තික්කා කොලයෙන් විළි වසාගනු වෙනුවට, ගොරෝසු රෙදි කඩක් ඇඟ දවටා ගනු වෙනුවට, දුහුල් රෙද්දෙන් මසා නිමකල ඇඳුම් බොහෝ තිබුනා.

එකෙකුට බාගයක් සේ සරිලන ලෙස මිලදී ගෙන තිබූ අරක්කු නිමවී තිබුනා. මා සහ අනෙකුන් පස් දෙනා ගල්කිස්සේ අපේ මුහුදු වාඩියෙන් නික්ම වෙරළේ ඉබාගාතේ ඇවිදිමින් සිටියා. සැන්දෑවේ හතර පසුවෙමින් තිබුනා. වෙරිය වැඩි කරගනු වස් සියල්ලෝ දුම් උරමින් උන්නා. බාගෙට හප කල පුහුල් දෝසි කැබලි සියල්ලෝ අතේ උනා. රතු පැහැති යමක් මා වෙත මුහුද දිගේ ඇදී එමින් තිබුනා. එය මා වෙත ඇදී එමින් තිබුනා. මා බමණ මතින් මුහුදේ ඉදිරියට ඇවිද ගොස් එය අතට ගත්තා. ඇපල් ගෙඩියක්! හපාපු ඇපල් ගෙඩියක්! රක්ත වර්ණ සරල වටපිටාවේ නිල් පැහැයක් මවමින් සර්ව බලධාරී දෙවියන් වහන්සේ මතු වුනා. ඒ වන විට මා අතේ කූරක් දැල්වෙමින් තිබුනා. තැම්බූ සෝගම් දේව පානය බව බමණ මත ඔස්සේත් මට සිහියට නැගුනා. මා අත තිබූ රසෝඝය දෙස අවඥ්ඥාවෙන් බැලුවා. මා නැවත වෙරළ දෙස හැරී බැලුවා. සගයින්ගෙන් එකෙකු මා දෙස බලමින් කෝපාග්නිය පිට වෙන දෑසින් සිනහා වෙමින් උන්නා. තවකෙකු මා පසුපසින් ඇවිත් සිටි අතර ඌ මුහුදු ජීවියෙකු හා කතා කරමින් උන්නා. දෙදෙනෙක් අනවරත රිද්මයකට ගල් තලාවකට පිටදී වෙරළට සිනහා වෙමින් සිටියා. අනෙකෙක් ගල් බෝතලයක අවසන් බිඳු දාහතර එක්කරමින් සිටියා. නැවත දෙවියන් දෙසට හැරුණු මා අව පැහැ ඇපල් ගෙඩිය දෙවියන් වහන්සේ දෙසට විසි කලා. එය, මාගේ රක්ත වර්ණ ලෝකය මැද වූ නිල් පැහැ දුමාරයේ සැඟව ගියා. අවසානයේ සාක්ෂිය විනිසුරුතුමා අතට පත් වුනා.

ජීවීන්ගේ අමරණීයත්වය ගිලිහෙමින් තිබුනා. අමරණීයත්වය නිෂ්ප්‍රභා වීමට පෙර සිටම මාගේ මලණුවන් මිය ගොස් සිටි අතර, මාගේ අම්මාගේ එකම සහෝදරයා ඝාතනය කරනු ලැබ තිබුනා. මා කේන්තියෙන් නිල් පැහැ දුමාරය සොයමින් සිටියා... කේන්තියෙන්!

Thursday, July 29, 2010

කොල ඇපල්, වැගන් පාක් සහ මහේල

කොල ඇපල්, මා ඉදුනු මී අඹයකට පසු වැඩියෙන්ම රස විඳින පලතුරයි.එහෙත් පහසුවෙන් ගන්නා ප්‍රනීතම පලතුර ලෙස කොල ඇපල් මගේ තීරුවේ ඉහලින්ම සිටී.මා ඇපල් ගෙඩියට හුරු වූයේ Apple a day keep the doctor away නිසා නොවේ.කොපමන ඇපල් කෑවද මා මසකට වරක් වත් බඩේ අමාරුව හේතු කොටගෙන දොස්තර හමු වෙමි.

ඇපල් ගෙඩියට මා ෂැන්ඩි ලෙස භාවිත කරන්නේ වැගන් පාක් ය.වැගන් පාක් වනාහී මා අතරැඳි මුවට දිවෙන ඇපලයේ සැර බාල කරන ඔසුවකි.කනට ඔබාගෙන සිටින ඇබ දෙක වැගන් පාක් සංගීතය එහි පුරවාලයි.එය කෙතරම් මිහිරිදැයි විඳින්නට නම් ඔබ අත කොල ඇපල් ගෙඩියක්ද, ඔබ ඉදිරිපිට මහේල ක්‍රීඩා කරමින් සිටිය යුතුය.වැගන් පාක් මා ජීවත් වන නො එසේනම් මා ආඩම්බරයෙන් ජීවත් වන මොරටු පුතෙකුගේ සහ ඔහු මිතුරු කැලකගේ වැඩකි.පාසල් ජීවිතය අවසන් කාලයේ මා අතිශය රොක් පිස්සෙකු විය.නොනැවතී උඩ බිම පැද්දුනු හිස නිසොල්මන් කලේ වැගන් පාක් හී බුද්ධි ඩිමෙල්ය.ඔහුට මෙන්ම ඔවුනට නීති නැත.නිශ්චිත ප්‍රක්ශක පිරිසක් නැත.හොඳ පැණි බේරෙන වචන නැත.ඇත්තේ හැකියාව සහ විඳීම් පමනකි.රොක් ඇන්ඩ් රෝල්/බ්ලූස් මා මොලය තුල පිරී ඇත.සින්දුවක් මවුත් ඕගනයෙන් සහ රිදම් එකට වදින බොක්ස් ගිටාරයෙන් කෙලින්නට බුද්ධිට හැක.තවත් ගිටාර, ඕගන් ඩ්‍රම්ස් සහ බේස් එක්වූ විට අපිත් දැන් ඇත්ත වෙනුවෙන් ඇත්ත හොයාගෙන ඇත්තට ජීවත් වනවා යන හැඟීම ඔබටද ඉපදිය හැක.
Now I walking down the street
යාලුවෙක්වත් නැද්ද මා ලඟ...
ඔන්න ඔහොම යනකොට
ලොල්ලෙක් දැම්මා සීන් එක
මං දුන්නා හක්කට...  
කැරකිලා බිමට වැටෙන්න
 ඔවුනට භාෂා ප්‍රශ්නයක් නැත. දෙමල පුලුවන් වූ කලෙක උන් දෙමලෙන්ද සින්දු කියනු ඇත.උන් රැඩිකල් නැත.නමුත් සිම්පල්ය.මා ඒ වචන ඒ විඳීම වලට ආසා වූයේ මා චාල්ස් බුකොව්ස්කි ගේ තැපල් කන්තෝරුව ප්‍රිය කරන්නෙක් නිසාවෙනි."වැගන් පාක්" කරත්ත නැවතුමේ නොනැවතී ඉදිරියටම යනු ඇත.බලන්න වැගන් පාක්!

අපි ඉන්නේ ලංකාවේ මොරටුව අපි ජයගත් නගරේ!
ජීවිතේ සුන්දරයි කියන්නේ ටීවී එකේ
අපේ මේ ජීවිතේ නෑ කිසිම හීනයක් දැක්කේ
සිහිනයෙනුත් අපි දුටුවේ සූස්තියක ආතල් එකනේ!
 මට වැගන් පාක් විඳිය හැක.මොරටුවේ අපට ඇති ආඩම්බරය, දේශපාලනය, ඇල්කොහොල් ගංජා සබ්ජෙක්ට් නොයෙකුත් දෙයින් වැගන් පාක් අප වින්දනය කරයි.නොකියා යැයි බ්‍රෑන්ඩ් කර ඇති ඇබ දෙකෙන් මාගේ කනට ඇතුල් වන වැගන් පාක්, මුවෙහි රැඳි කොල ඇපලය ඩයලූට් කරයි.මට ඉතිරිව ඇත්තේ බයිට් එකට අත පෙවීම පමනි.රිමෝටයේ අංක නමය එබූ විගස "සං" ගා පත්තු වූයේ වූයේ මාගේ බයිට් එකයි.මහේල ජයවර්ධන.මාද තවත් එක් ජයවර්ධනයෙකූ වීම පිළිබඳ ආඩම්බරයක් මාහට ඇති කරවයි.මහේල මෙන්ම මාද නාලන්දාව පාසල කොට ගත්හ.මහේල මෙන්ම මාගේද බාල සහෝදරයා කුඩා කලම මිය ගියේය.නමුත් මහේල මෙන් මට ක්‍රිකට කෙලිය නොහැක.කොටින්ම බ්‍රැඩ්මන් ටවත් මහේල මෙන් ක්‍රිකට් කෙලිය නොහැක.වාර්තා වලින් මට තඹයක වැඩක් නැත.ඔහු බිංදුවට ගියද දැවී යන්නේ ක්ලාස් එක තබාගෙනය.ෆොටෝ ගැහිල්ලට කැසිල්ල ඇත්තෙකු ලෙස මා දන්නා කරුණක් වෙයි.ඒ මාහට ෆොටෝ එකක් ගැසීමට හොඳම හැඩය ලබා දෙන්නේ මහේල ජයවර්ධන හෝ ජිම් කේරි බවයි.

මහේල ඉහල ඉමවල් කරා යනවාට මා කැමති නැත.ඒ මගේ බයිට් එක පල් වෙනවාට මා අකමැති හෙයිනි.ඔහුගේ ලකුනු පනහක් මගේ Don, මොරටුව, Cohomothe(Flat), කොහෙද යන්නේ මල්ලේ පොල් කියන වැගන් පාක් සින්දු හතරකට සහ කොල ඇපල් දෙකකට හොඳටම සෑහේ.

Wednesday, April 14, 2010

Dreaming Star | සිහින දකින තාරකාව

ඒහ්. . . මුචා! කී දවසද මල්ලී තියෙන්නේ. . .
ඇවිද ඇවිද ඉඳලා හරියනවද? නරකද ප්‍රැක්ටිස් පාරක් දැම්මොත්?

එළ එළ. . .කොහොමහරි ගොඩ දාල දෙන්නංකෝ අයියා!

මදක් බොඳවී ඇත.වටපිට ඝෝෂාව ද ඇසේ.රැහැයි හඬක් මෙනි.දොරක් ඇරගෙන එළියට ආපු ගමන් යාළුවෝ සෙට් එක චූන් විය.

එළනේ ඩෝ. . . මම දන්නව උඹ කොහොමත් ඕකෙන් ගොඩයනවා කියලා.ඊලඟ ටික තමා ගේම.

බොලා කොහොමද දැනගත්තේ මම ගොඩ කියලාහ්?

ඇයි බොල රට මී හරකෝ! ඔය කොලේ දෙන්නේ වටේ ඔතාගෙන දකුණු අත හොල්ලන්නද? තෝ හිතුවද අපිත් තෝ වගේ රට මී හරක් කියලා. . . කොලේ අරං එළියට එන එකා පාස් කියලා අපි දන්නවා බොලඃ.

හම්මෙඃ . . . සීයට පැනගත්තොත් ඇති.එතනින් එහා ගමේ එවුන්ට ගේම බාරදෙන්න පුළුවන්.මදි පාඩුවට ඉස්කෝලේ මනාප ටිකත් කඩාගත්තනං. . .! මටත් ඕන ජිලක් ප්‍රීති වෙසක් තමයි.

ෂඃ නදිනි බදාගත්තම තියෙන සනීපේඃ

ඔව් මුචලින්ද, ඔයා අද තෝරගෙන තියෙන්නේ නිහාල් නෙල්සන් මහත්තයාගේ, "රෝස මලකුයි නෙළුම් මලකුයි" ගීතය.අද අපගේ ගීත තේමාව වන බයිලා ගීත යටතේ, ඔබ හිතනවාද ඔබට මේ ගීතය සාර්ථකව ගායනා කරන්න හැකිවේවි කියලා.

ඔව්.

කන් කඩාගෙන යන විසිල් පාරකුත් එක්ක, කෙල්ලෝ සන්තෝසේ එළියට දාගන්න බැරුව පොරකනවා.රිතික් රෝෂන් ටී ෂර්ට් එක ගැලෙව්වා වගේ.

ඔව් චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය.
මයේ පුතේ,මගේ පුතා මේ රට වාසනාවක්. ලක් එකක්. පුතා මේ පඩි පෙලේ ඉහලටම යන්න ඕන. මයේ පුතාට ජයෙන් ජය!

ඉත්තූතියි මැඩම්!

ඔව් සමිතා මුදුන්කොටුව මහත්මිය.
ඇත්තටම මුචලින්ද, ඔයා අද ඔප්පු කලා ඔයා කව්ද කියලා. ඔයාට කොච්චර හැකියාවක් තියෙනවද කියලා. මට කියාගන්න වචන නෑ මුචලින්ද. . . මට කියාගන්න වචන නෑ. මට කරන්න තියෙන්නේ මෙච්චරයි.

පුටුවෙන් නැගී සිට ආයුබෝවන් කියයි. සභාවේ විසිල් හඬ දෙගුණ තෙගුණ වෙයි.පස්සෙයි දැනගත්තේ හේතුව සමිතගේ සල්වාර් එක පිටිපස්සේ හිලක් ලු!

ඉත්තූතියි මැඩම්!

ඔව් අවසාන වශයෙන් ඔබතුමා.
මුචලින්ද ඔබගේ වයස කීයද?

විසි එකයි බුදු සිංහල සර්!

ඇත්තටම මුචලින්ද, මේ පශ්චාත් නූතන සංධර්භය තුල එය ඇදහිය නොහැකි කරුණක් වගේම; ධනවාදයේ තුන්වෙනි කාර්තුවේ විභේදනයන්ගෙන් විශ්ලේෂණය වන ව්‍යුත්පන්නයන්ගෙන් සහ භාව්‍යමය ප්‍රපංචියන්ගේ අනුභූතීන්ගෙන්. . .

ඇති සර්! ඉත්තූතියි සර්!

ඔව් මුචලින්ද, ඔබට මේ වෙලාවේ මොනවාද හිතෙන්නේ?

හ්ම්ම්ම්. . .. චූ බරයි

ඔව්ව්ව්ව්. . .අවසන් පස්දෙනාගේ වටය සඳහා ඉදිරියට යන්නේ මුචා ද? ශිහාන් ද? අපි කෙටි විරාමයකට ගිහින් එමු.

ඔව් නැවතත් කෙටි විරාමයෙන් අනතුරුව.මෙතෙක් කල් මෙම වේදිකාවේ කරටකර තරඟ වැදුනි අතිදක්ෂ ගායකයින් දෙදෙනෙක්.ඔබ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි ඉදිරි වටයට යා හැකි වන්නේ ශිහාන් ද? මුචාද? ඔව්ව්ව්ව්ව් මුචා!

අප්පටඉඩි මොකෝ මචං ශිහාන්.අඬන්නෙපා යකෝ.මොකෝ බඩ අවුල්ද? මලහත්ඉල්ලව්වයි! අන්න ශිහාන්ගේ අම්මත් අපේ අම්මව බදං අඬනවා. හුටාඃ! සමිතාට කලන්තේ දාලා.

හඃ. . .යාන්තන් අන්තිම වටේ!

ඔව් මුචලින්ද, ඔබ මේ අවසන් තර්ඟයෙන් ජයග්‍රහණය නොකෙරුවොත්; ඔබටත් මතක් කිරීමට උදව් කල පිරිසක් ඇති.අප මේ අවස්ථාව ඔබට ඒ සඳා ඔවුන් වෙනුවෙන් ස්තූති කරන්නට උදාකර දෙනවා.

ඔව්ව්. . .මේ තාක් දුරට මා ගෙන ආ ලක්වසී සහ ලෝක වාසී ඔබ සැමට ස්තූතියි.පළමුව මෙම රූපවාහිනී ආයතනය වෙනුවෙන් මා ස්තූති කරනවා,මෙම රූපවාහිනී ආයතනයේ ප්‍රචාරක කටයුතු සඳහා පෝස්ටර් ප්‍රචාරය ගෙන ගිය සුදු නිමල් අයියාව.

ඒ වගේම දේශ දීපංකර වල මාගේ හැකියාව පිළිබඳ ජනතාව උනන්දු කල හෂිත අබේවර්ධන අයියාට, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී පුෂ්පා රම්ලනී මහත්මියට, රංගි හැරිස් අක්කට, බින්කු නාරද තෝමස්, දිනුෂ්ක උදාර, සුභාෂ් ගුණවර්ධන සහ රසික සූරියාරච්චි මහතාට.

මාගේ ප්‍රචාරණ කටයුතු සඳහා දැඩි ලෙස කැපකිරීම් කල ලඟදී විවාහ වීමට සිටින සඳුන් ලක්මාල්ට සහ උදේ හයයි පහට රාත්‍රියට දත් මදින ලිෂාන් පුවකෝවිට ට.

එමෙන්ම විශ්ව විද්‍යාල තුල, මනාප මෙහෙයුමෙහි නියැළුනු ලසිතට සහ උගේ කන් ගොඩ කරන දම්මිනීට, චමිලට, නිලැස්ට, දීපිකා සහ අරවින්දට.

තවද අන්තර්ජාලය තුල මා හට විශාල රසික පිරිසක් ඇති කරමින් සහයෝගය දුන් මලී අක්කා,මගේ මරණය,රවා සහ බ්ලොග් කරුවන්ගේ එකී මෙකී නොකී හැම එකාටම.

තවද කෙදිනකවත් මා අත් නොහැර ගිය මගේ මිතුරු කැල සහ නෑදෑ පරපුරට.

ඔව් අපි දැන් මද විරාමයකට යමු.

ෆුඃ

ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .!

හුටාඃ. Alarm එකෙත් Snooze එක. හයහමාරට ලෑස්තිවෙලා එලියට බැස්සේ නැත්තං ට්‍රැෆික් තමයි. ෂික්! කෝ යකෝ මගේ සරම. සරම නැතත් කමක් නෑ; කෝ යකෝ මගේ සම්මානේ??? කමක් නෑ අද රෑටම ඇවිල්ලා හොයනව එක්කෝ.

Sunday, April 4, 2010

කෙළගැණුම අවසන කෙළවීම.

දෙදෙනෙකු කෙලගති
මයික් එකෙන් කියවති
වටේ පිටේ උන්ටද කෙලවති
ටයිටල් හම්බෙති
උඩින් පනිති
පයින් ගසති
හොර කරති
කර අරින්නෝද වෙති
ලොක්කෝද සෙට් වෙති
සල්ලි දමති
ගේම නැගලා යති.
මේ ලාංකීය දේශපාලනය නොවේ.

පහේ එකා ටූම්බ්ස්ටෝන් ගසති
තීන්ත ගෑ ගමන් බිත්තියේ
ඔරලෝසුවටත් කලින් පෝස්ටර් වදිති
පච්ච කොටා ඇත.
නෙක නෙක ඇඟිලි හැඩය.
ජෝන් සීනා පොඩි එකාගේ ඔලුවට ගහලාය.

බයිට් වෙති
කොමඩිද ඇත
තොග පිටිං අසාධාරණකංය
බයද හිතෙයි
නාට්‍යමයයි
හැබැයි මෙගා නොවෙයි.

උන්ට ඩොලර් පෙරෙති
නෙට් බිලයි, විදුලි බිලයි,
අපිට වින්දනයයි.
ඒත් ඩවුන්ලෝඩ් වෙති.
ස්‍රීස්...!
දැන්ත් සී.ඩී එකක් පයට පෑගුනි.

Tuesday, March 30, 2010

මහිත හා එහිත

ඒ හඬ දුක්මුසුය
පොතෙහි වෙලෙන්නට එළියක් නොමැතී
මාමයිට් බෝතල් අඩිය
බූමි තෙලෙන් සිඹියි

මටද අද දවස හරි නැත
ෆිට් නැත
කමෙන්ට්ස් බලන්නට
කරන්ට් නොමැතී

ඈ මුහුණතද
ඇඹුලක් දිව ගෑ සේය
වැඩි ගානට ගත්තු උඩ කෑල්ල
අනිත් එකියෙක් ඇඟලාගෙන වගේ එකක්

Friday, January 29, 2010

මම ඔහේ ගියා. . .

















වීදුරු අතගගා අඬන
පන්තියේ දෙවනියා වෙන
සෙල්ලමේදී ඇඳුම් ඉරෙන
උඹ කන ගුටි. . .

කුප්පිය සෙට් උනේ නැතිව
අල වෙවීම ඉන්න
ආණඩුවට පාඩං උගන්නපු
උඹ මැරිලා ගිය හැටි. . .

වැඩ අඩු උනාම බොසාගෙනුයි
පඩි මදි උනාම ගෑණිගෙනුයි
කොල අඩු උනාම වේසිගෙනුයි
උඹ බැනුම් අහපු හැටි. . .

උඹලා තොල් හෙලෙව්වේ
රහ ගැන කියන්නද?
"නොකරන්!" කියන්නද?
මම ඔහේ ගියා. . .

Thursday, January 21, 2010

ඩ්‍රයිවර්ගේ අඳෝනාව


රියදුරු දෑතට දෙවි පිහිටයි
දිලිසෙන දේව රූප ගොඩ මැද්දෙන්
රතු පාටට කොටලා
තිබ්බට. . .

හෙමින් ගියත්
හයියේ ගියත්
බත් පත ගන්න නැවැත්තුවත්
ගැස්සුනත්
හෙල්ලුනත්
බුලත් විඩට නැවැත්තුවත්

ගෙදරින් දුහුල් සරමට
දාගත්තු ටී ෂර්ට් කෑල්ලට
ඩක්කුවට නැග්ගම දාගන්න වෙන
තවත් දුඹුරු පාට ඕවර් කෝටයක්

නළලේ උනන දා බිඳු
දිවෙන් ලෙව කකා
උඹලයේ කුණු කතාත් අහගෙන
මම දත කාගෙන ඉන්නේ. . .
හවසට ගහන බාගේ මතක් කරගෙන.

Monday, January 11, 2010

හැටි


වැන්දා නොවැන්දා
මුවින් පිටවෙන බුදු සරණ
කටක් කාපං පුතේ. . .කටක්
දුවන්න දුවන්න. . .එලවං එන
ඒක ඉතින් ඔය ජාතියේ හැටි

මොකද ඔය කොන්ඩේ
පැයකට දෙපාරක් දොරට තට්ටු
කවද්ද විභාග
ඒක ඒ ජාතියේ හැටි

එනකං මගබලං
ඉන්නකං කන් පුරවන්
යනකොට ඇස් තෙත් කරං
පපුවට තුරුලෙන් ආසාවෙන්
ඒක මෙයාගේ හැටි

යමු එකට. . .එමු එකට. . .
ඉමු එකට. . .
අනිත් උන්ගේ ආදරේ දියර උනාට
මේ ආදරේ කුට්ටියක්
මගේ ආදර කුට්ටිය

අරයා. . .එයා. .මෙයා
ඇතුලේ ගැටි ගැටී
හුස්ම ගන්න එක
මගේ හැටි. . .

Tuesday, November 24, 2009

හඳ
















කන්ද කපාගෙන පායන හඳ
මිදුලට එන හඳ
නොදන්න මුත් හිරුගෙන් එළිය වෙන හඳ
බැද්ද වටින් මඩල පිටින් මෝදුවෙන හඳ

පිරිපුන් මූනට කියන්නෙත් හඳ
මූනේ වලවල් නං එකට කියන්නෙත් හඳ
මලක් ඇද්දම යන තැනත් හඳ
මැද්දට කෙස් නැත්තං ඒකට කියන්නෙත් හඳ

පොලොවේ ඉඩ මදි උනාම යන්න ඉන්නෙත් හඳට
ලෝකේ වටේ ගිහින් එපා උනාම යන්න ඉන්නෙත් හඳට
ක්ලාක් මහත්තයා සෙන්චරිය සමරන්න යන්න හිටියෙත් හඳට
වැඩි හරියක් සින්දු කියලා තියෙන්නෙත් හඳට

පුංචි එවුන් කතාකරන්නෙත් හඳට
නිදිවදිද්දී යන්න හදන්නෙත් හඳට
මල් කුමාරයෝ පාවෙන්නෙත් හඳට
අපේ ඇමති ලාටත් තව යන්න ඉතුරු වෙලා තියෙන්නෙත් හඳට

පසලොස්වකට පිරිලා පායන්නෙත් හඳ
රාමසාන් වලට ෆාතිමා බලන්නෙත් හඳ
අප්පච්චී අකමැති උනාම පැනලා යන්න එළිය දෙන්නෙත් හඳ
කාලෙකට සැරයක් ඉර වහගෙන ඉඳලා දවාලට කළුවර කරවන්නෙත් හඳ