මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Monday, January 17, 2011

මම එයාට ලියපු කවි

හැඩවූ විජ්ජුලතාවෝ

කට්ට කළුවරේ
හඳක් බයෙන් වලාකුලක් එක්ක
නිදිවදින වෙලේ...
මම හැඩ මැව්වා
උඹගේ...
දඩාං ගාගෙන
රටා මවපු
විජ්ජුලතාවක් ඇතුලේ...



ඔබේ ආදරේ

[තාලය හොයලා දීපු ලිෂාන්ට ස්තුතියි.]

විඳින පැතුම් සොඳුරු සිතුම්
දකිනා සිහිනන් මනරම්
බලන බැලුම් නිරන්තරෙන්
ඔබ වෙනුවෙන් මා සැමදත්

කලෙක වැනුම් සොඳුරු දෙසුම්
ආලය වඩවයි තවමත්
ඔබත් එක්ක ලොව දකින්න
ආසයි මං මේ ලෙදටත්

සුදූ මැණිකේ මයේ *****
ආදර කම්මැලි නිදිමත
ඇහැරි බලන් තවත් වරක්
මා ඉත්දැයි ඇඳට යටින්

කොට්ටේ බදං තුරුලේ විකං
මැණික් හොයං උණත් බලං
පොඩි ආදර දඟලනවද?
දෙන්න දෙකක් පස්සේ කිරිත්



මම වෙමි

ඔඹේ කඳුල සිනහවක් වන තුරුත්
පරාජය ජයග්‍රහනයක් වන තුරුත්
ඔබ අසලින් නොසෙල්වෙන එකම මිනිස් පුළුට මම වෙමි.

පින්සරු ගැහැනියක්
සොඳුරු හදක්
සුසුඳු වතකට
රෙජිස්ටර් වීමට පොරකන එකම වාසනාවන්තයා මම වෙමි.

Friday, January 7, 2011

අර්බුද අසිරිය

සරසවි සිසුන් හට ඇමතිය නොවී පමා
Army train දුනි ඇසු දුටු පමණටමා
සරසවි කෙරෙන් සිප් නගනට ඉන්න තෙමා
තුවක්කුවක් ඇල්ලුවාට කරුණ කිමා

ගෙඩිය හැටැයි බාගය තිහකට දුන්නා
මිල අඩු බිත්තරේ කේරලයෙන් එන්නා
කොළඹින් නැවක් හම්බන්තොට වෙත යන්නා
තෙල් ගහගෙන ඒ නැව ආපහු එන්නා

ගාලු සිරිය රැකගමු පෙම නවතාලා
දුමට කොටු දාමු අරක්කු බිමට හලා
සුද්දට නැවෙමු රට විනිමය උපදවලා
ගොන්නු හිරේ යනවට මැති එරෙහිවෙලා

රජයේ පඩිය හරි ගොඩකින් වැඩිවෙන්නා
විදුලි බිලත් නොදැනෙන ලෙස උඩ යන්නා
ආපහු ටිකක් ජනපති අඩු කරදෙන්නා
දෙයියොම බලා අපේ ඇමතිලා රැක දෙන්නා


මැරවරයෝ කෙලපු දාට
බඩු මිල උඩ ගියපු දාට
ලාංකීය සිත් තුල සතුටක් මතුවෙන්නා
එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා

සම්බන්ධ ලිපි:

Monday, December 27, 2010

අප්පා ඉප්ප සාප්පාටීංගලා?

මා හාන්සි පුටුවේ ඇලවී හිස ඒ මත කුෂන් කැබැල්ලට බර කලෙමි. මහත් සිසිලක් ගත මෙන්ම සිත පුරාද උඩුදුවමින් ඇත. එකල මගේ දෙමව්පියන්ද පැවසූ ලෙසක දරුවන්ගේ විවාහය දෙමව්පියනට කොතරම් අස්වැසිල්ලක්දැයි දැණුනි. මාගේ විවාහයෙන් පසු මාගේ දෙමව්පියන් කෙරෙන් දුටු ඒ සිහිලස මගෙන්ද විහිදෙනු මට දැණිනි. එහෙත් සිතෙහි යම් කුහුලක් දැනෙයි. ඒ කුහුලක්ද? මා සිස්ටම් එක සුණු විසුණු කරන්නට අණුබල දුනිද? මිතුරන් යමක් සිත්හී සඟවා මා සමග සාමීචියේ යෙදෙන්නේද? පියඹගේ මුහුණෙන් යම් උත්තේජිත තිතක් ඉවත්ව ඇති බවක් මා ඇය දෙස බලන සෑම මොහොතකම සිත කියන්නේ ඇයි? මගේ ලේලිය අඩු පාඩුද? නැත. ඇයට දරුවන් වැදිය නොහැකි බවක් වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත්ද? නැත. තිබූ කුහුලද සඟවමින් ඇය ලේලියක ලෙස මා ඍණෙන් ධනට ඇද ඇත.

ඒ සොඳුරු ආදරය ජාතියකින් යට නොවී මා පුතුට ලැබෙන අපූරුව මා හට සිහියට නංවන්නේ මා ජීවිතයේ වසත් කාලය නොවෙත්ද? රැකියාවට පිටවන මාඅ පුතුගේ අතක් වට කොට ඇගේ අතින් බදා උරිස්සට බරව තොඳොල් වන්නේ තවත් මොහොතක හෝ ලබන උණුසුම ඇයට මහෝඝයක් බැවින් නොවෙත්ද? මොණර නිලැති සාරියද, එය වට කල රත්‍රන් රේන්ද ගෙත්තමද ඇයගේ දිස්නයට වැඩිමනත් යමක් එක් කලේය. පතිනයක් බවට ආඩම්බරයෙන් ඇයගේ පුළුල් නළල් තලය මත වැජඹෙන රතු තිලකය ඒ ගර්වය මෙන්ම කෙතරම් ප්‍රියයක් සිතට නගනවාද? තබන තබන පියවරක් පාසා සළඹ නගන රාවය ඇය තරුණ ලැසි ගමනට කෙතරම් රිද්මයක් සපයනවාද? ඇගේ වැල ගැහෙන දෙකොපුල්, ඉරියව් සහ සුහදකම් මගින් මතු කරවන ලාලිත්‍ය මින් තිස් සතලිස් වසරකට පෙර මා පියඹගෙන් මා දුටු ඒ සොඳුරු ලාලිත්‍යම නොවේද? 

දිනෙක උළුවස්සෙන් මිදුල බලා සිටින මට ඉස්තෝප්පුවේ සොඳුරු රූ රටා දකිනු සිත් විය. මා ඒ ක්‍රමයට අනුගත වෙමින් පැවතීම පිලිබඳ මා හද සියුම් සතුටක් මිශ්‍ර වූ චකිතයක්ද ඇති විය. මීලඟ තෛපොංගල් දිනට පුතු අත එම යෝජනාව එක්කර බැලිය යුතුය. මා හට අවැසි දේ කියන්නට තවමත් සිතේ චකිතයක් ඇත. ඇගේ ඇඟිලි තුඩින් පනින පාට කල හාල් පිටි වලින් නැගෙන හැඩ රටා අප නෙතට සොඳුරු දසුනක් මෙන්ම ඈ සිතටද කෙතරම් සිහිලක් උපදවයිද? මදහසක් නගා ඇය මා වෙත පාන ඇඟිලි පුච්චන උළුඳු වඩේ මාගේ රස නහර පිනවන බව මා පෙර සතියේ ලද අත්දැකීමෙන්ම දනිමි. අද උදෑසන ඈ පිළිගැන්වූ පිඟාන මා පිළිගත්තේ එදාට වඩා ගර්වයෙනි. ඈ මා පුතුගේ බිරිඳයි. මාගේ දියණියක් තරමටම කුළුපග සොඳුරු ලේලියයි. දියණියයි.

ඈ මා පුතු සමග සයනේ සුරතල් වී ලොවට තිළිණ කරන අග්‍රඵලය, මුවින් නගන කිරිකැටි සිනහවක මා දෙමල කම සොයන්නේද? ඒ බිලිඳු කැත කුණු කිසිඳු පැකිලීමකින් තොරව මේ සීයා අත නොගාන්නේද? උප්පැණ්නයේ අග නම මගෙන් පුතුටද, පුතුගෙන් මුණුබුරුටද උරුම වීම මා හට කෙතරම් සතුටක් දනවන්නේද? මාගේ පියාද මේ සතුට විඳීමට සිටියානම් යෙහෙකැයි මට සිතිනි. පොඩ්ඩා විසින් මා හට සීයා කිව්වද, පෙරියප්පා කිව්වද එය මාහට සම සතුටක් කැඳවනු ඇත. මුල නම් සඳහා හුරුබුහුටි සිංහල නමකුත් දෙමල නම් පොඩියකුත් තිබීම ඉතා සුන්දර නොවන්නේද? කුමන නමක් යෙහෙක්දැයි සෙවීමට මා සිත උගහට විය.

  • මිත්‍ර රාජන් ජයවර්ධන
  • හිරූ නෙයොමාල් ජයවර්ධන
  • රචින්ත ශක්ති ජයවර්ධන
පෙරදින අමතකව ඇසුවා සේ "අප්පා ඉප්ප සාප්පාටීංගලා?" යැයි විමසන තෙක් මා ගත හාන්සි පුටුවේම තබා සිටියේය. "තාත්තා දැන් කමුද?" යැයි මෙවර පැණය නැගුනු සොඳුරු සිංහල ඌරුවට මද සිනහවක්ද කට කොනට නගාගෙන මා නැගිට්ටෙමි. ප්‍රියඹද පිටුපසින් විත් මා හා කෑම කාමරය දිහාවට යාමට එක්වූවාය. අතුරුදහන් වූ උත්තේජිත තිත ඇගේ මුහුණේ යලිඳු නැගී තිබුණි.

Friday, December 17, 2010

[ස්පර්ෂය+රසය+රිද්මය+සුවඳ+ආලෝකය]

මා දවසේ ප්‍රියතම කුල්මත්ම මොහොත ගත කරමින් සිටිමි. බිත්තියේ හරි මැදින් උඩ කොටස ළා කොල පැහැයකි. එහි යට කොටසට ළා නිල් පැහැ ටයිල් අල්ලා ඇත.බිම ක්‍රීම් පැහැති ටයිල් මත මාගේ අඩි සළකුණු රටා මවා ඇත. මෙය මා උපරිම නිහඬ බවකින් සහ සුවඳවත්ව ගත කරන කාලයයි. ඒ ලැවෙන්ඩර් සුවඳ විය යුතු යැයි මා සැක කලෙමි. හැඩ කැටයම් කපා ආලෝකයන් වට කර ඇති මැටි බඳුනෙන් සිවිලිම මත රටා මවා ඇත.
ජලය ප්‍රවාහයක් මෙන් නොව, සුමට පෘෂ්ඨයක් දිගේ විත් සිහින් හඬක් නංවමින් වැඩිමනත් ජලයට එක්වේ. සැහැල්ලු රිද්මයක් ලබාගනු වස් මා ෂවරය තුල එළි බසිනු තැතනූ ජල බිඳු නිදහස් කලෙමි. හුස්ම ඉහල පහල වැටෙන වාරයක් පාසා ඉන් ශරීරයට ලබා දෙන උත්තේජනය පවා මට දැනෙයි. මෙතුල එතරම් නිස්කලංකය. දැන් මා පිට විය යුතුය. මා මන්දිරයෙන් එළියට බැසීමි.

දොර හැර නිවසින් එළියට බට මා දෙවරක් නොහැරී යලිඳු කාමරයට දිව ගියෙමි. නැවත මා පැමිණියේ කැමරාව සමගිනි. එසේ සිදු වූයේ මිදුලේ වූ තුරුපත් මත පිණි නිසාවෙනි. තුරුපතක් මත පිණිබිඳක් එවන් හැඩයක් නගනු මා අතිශයින් වින්දෙමි. පිණි බිඳට එබී බැලූ මා එතුලින් දුටු ඡායාරූපය සටහන් කරගැනීමට මාගේ කැමරාව තරම් නොවීය.
කලකට පසු එලිමහනේ ඇඟ සෝදන්නට සිත් විය. ලොකු බාල්දියක වතුර පුරවා, එයින් කුඩා බාල්දියකින් වතුර ඇද ඇඟ සේදුවෙමි. පලමු දිය පහර දෙවුරිස් මත්තේ සිට බිමට වැටීම සිතට ලෝබය ඉපදවීය. එම ස්පර්ෂය මා ගැහැණියගේ ළය මත හිස හොවා ඇගේ දෑතෙන් ලත් රැකවරණයේ සහ උණුසුමේ පහසට පමණක් දෙවනි විය. ජලය අපතේ යමින් ඇත. එහෙත් එය නැවත නැවතත් විඳීමට යමක් ඉතිරි කලේය.
සරමක් හැඳ මිදුලට බැසීමි. වයස්ගත කොට්ටෝරුවෙකු ගසක් සමග පොරබදනවා විය යුතුය. මන්දයත් ක්ෂණයක් තුල තරුණ කොට්ටෝරු හොටෙන් ඇතිවන ශබ්දය සහ මා දැන් අත්විඳින ශබ්දය අතර වෙනසක් දැණුනි. නැත! හේ මිනිසෙකි. පවුල සහ තමන්ගේ පැවතීම හේතු කොට ගස් කපන්නෙකි. නිල් පැහැ අහස් කැන්වසය මත ඔහු මට චිත්‍රයක් විය. 
මා කුස්සියට වැදුනෙමි. මේසය මත දිගහැරුනු රතු දැල් මල්ලකි. මා ඒ තුල වූ දෑ මින් පෙරද රස විඳ ඇත. කොටුවේ එය විකුණන්නේ "මිනි මැන්ඩරින්" නමින්ය. ඒ කුඩා ප්‍රමාණයේ දොඩම් ගෙඩියකි.
මා විශාල ප්‍රමාණයේ දොඩම් නොකන මුත් මේවාට ආසාය. පලතුර සුද්ද කර බික් ගැලවීම මා ඉතා ආශාවෙන් කරන්නකි. කනට නෑසුනද මිනි මැන්ඩරින් ගෙඩියක බික දෙකක් ලෙහෙන විට "ශ්‍රීස්" ශබ්දයක් ඇති කරයි. එය මසිතින් ඇතිවන්නක්ද යන්න මා නොදනී. සමහරෙක් මිනි මැන්ඩරින් ගෙඩි වල බික් හී කවරය ඝනය. ඒවා ආහාරයට ගැනීම කුඩා කල බීම පැකට් සිහියට නංවයි. කෙසේවෙතත් මෙය විසින් මා හට විටමින් සී පෝෂණය සහ රස ලබා දීම හැරුණු කොට වැඩ රහිත පැයක කාලයක් ගෙවා දැමීමට උදව් කරයි.

මා ජීවත් වන්නේ රත්මලාන ගුවන් තොටුපල අසලය. එබැවින් මා කුඩා කල, ගුවන් යානා දකින අන් දරුවන් මෙන් මා කරේ තබාගෙන් ගුවන් යානා පෙන්වීම මාගේ දෙමාපියන්ට නොකල යුතු විය. අපමණ ගුවන් යානා ප්‍රමාණයක් දිනකට දකින බැවින් ඒවායේ ඡායාරූප ගැනීමක්ද මෙතෙක් සිදු නොවිනි. හදිසියේ උපන් සිතුවීල්ලකින් මා ඩිජියද උස්සාගෙන මිදුලට බැස අහස බලා සිටියෙමි. නිවස ඉදිරිපිටින් ඇදුනු කරන්ට් වයර් එක ඡායාරූපයට බාධාවක් නොකරාවි යැයි සිතුවද, එය එසේ නොවීය. සියයට සියයක්ම එය එසේ විය.
ආහාර වේල් ක්‍රමයට ආහාර ගන්නා සමාජයක, මටද එයට හැඩගැසෙන්නට සිදුව ඇත. නොයෙක්වර, සැඟව ඇති ගති පිටට එන නමුදු මමද වේල් ක්‍රමයට අනුගතව ඇත. ප්‍රධාන ව්‍යාංජන හතරක් තිබුනතර, මට ඉන් දෙකක් සෑහෙනුයේ ඒ මා ප්‍රියතම ඒවා බැවිනි.
ඒ උයන ලද රතු ළුනු සහ පොලොස් ය.

මා නැවතත් මිදුලේය. අම්මා වවන ලද මල් ගස් බොහෝමයක් වූ අතර ලියවැලක් මෙන් ඈරී තිබූ දම් පැහැ ඕකිඩ් රෑන කවදත් දෙවරක් මා හැරී බලවන්නට සමත්ය.

නැවතත් පටන්ගත් වැස්ස නිසාවෙන් මා කාමරයට වී සිටි අතර එහි වූ ජනේලයෙන් මට මැද මිදුල සහිත කොටස දිස් විය. එහෙත් එයට සියුම් බාධාවක් වූ අතර, ඒ අනෙකක් නොව මකුළු දැලකි. අපිරිසිදුකමද වාසනාවක් වන්නේ මෙවිටය.
සවස හයට පමණ වර්ෂාව නැවතුනු අතර , මා යලිඳු මිදුලට බැසීමි. අද සවස හය වෙනදා සවස හයට වඩා කලුවර විය. මේ හිරු බසින ඉම නොවෙත්දෝයි හැඟිනි. එහෙත් එය ස්ථීර කරන්නට හිරු නොසිටි අතර ඉතිරිව තිබුනු නිල් සහ කලු සුසංයෝගය මා සිත් ගත්තේය.
තවමත් වැස්ස අවසන් නැත. මා උළුවස්සට හේත්තු වී ඈත බලා සිටි අතර වැඩි ඈතක ඇස් නොගොස්ම තවත් දසුනක් ඇසට සමුවිය. ඒ එහා ගෙදර ඉදිරිපිට වූ ලයිට් කණුවයි. තවත් හතට විනාඩි දහයක් පමණ ඇති මුත් මේ ගෙන දුන් කලුවරම එම දර්ශනයට ආශිර්වාදයක් විය.
රාත්‍රී හතකුත් ගණනකට ඉටිපන්දම් අපගේ පිහිටට පැමිණියේ විදුලි විසන්ධිය නිසාවෙනි. දොර හැර තිබූ නිසාවෙන් වැස්සත් සමග පිටතින් පැමිණි සුලං කෝඩෙට ඉටිපන්දම් එළි නළියයි.
රාත්‍රී අටහමාරත් පසුව ඇත. රාත්‍රී ආහාරයද ගෙන හමාරය. තවමත් විදුලිය නොමැත. කැමරාවේ බැටරිද ඉතිරිව ඇත. මාගේ ආශාවද පෙරසේම දඟ කරයි. මේ Light Circus නම් වූ සොඳුරු රටාවන්ට වේලාවයි.
එතෙකින් නිමි!

Friday, November 26, 2010

තැඹිලි කීර්ති


දැන් හවස හයයි. ඇඳේ ඇලවුනේ දෙකයි තිහට උනාට නින්ද ගියේ නෑ. ඇහැ පියවගෙන එයා ගැන හිතුවා. අරයා ගැනත් හිතුවේ නැතුව නෙමෙයි. ඒ අස්සේ මෙයාවත් මතක් උනා. මම නැගිටලා සාලෙට යද්දී මේසේ මැද්දේ ෆ්ලාස්ක් එක තියලා තිබ්බා. අම්මා එහෙම තියලා යන්නේ මට තේක අමතක වෙනවට. "අද තනියම හින්දා වෙන්නැති", මෙච්චර වෙලාවක් මට නින්ද නොයන්න හේතුව හොයපු හිත කිව්වා. ඒ අඩහඳයද දන්නෙත් නෑ. සමහරවිට මගේ නිවුන්නා මගේ ඇතුලෙම ඉන්න නිසා වෙන්නැති මගේ මල්ලි ජීවයක් නැතුව උපන්නේ. බණ අහන්න ගෙදර මිනිස්සු ඔක්කොම ගියපු හින්දා රෑ දහය විතර වෙනකන් මොනවා කරනවද කියලා හිත හිත අම්මා හදලා ගිය කිරි තේක කෝප්පෙට වක්කලා. අම්මා ඒ විදියට කිරිතේක හදන්නේ මට විතරයි. කහට වැඩියෙන්, පිටියි සීනියි අඩුවෙන් තියෙන කිරිතේක අතේ තියෙද්දිත් මගේ කටට කෙල ඉනුවා.


පුරුදු විදියටම මම ඉස්සරහා දත් පේලි දෙක තද කරගත්තා. තොල් ලොකුවට ඇරලා තේ ටික දත් මූට්ටු වෙච්ච තැන් වලින් ඇතුලට යැව්වා. ඒක තමයි මම මෙතුවක් හොයාගත්තු හොඳම රසම තේ බොන විදිහ. ඒ අස්සේ ගේට්ටුවට තට්ටු කරන සද්දයක් ඇහුනා. හරි හෙමීට තට්ටු කලේ; මම ගේට්ටුවත් ඇරගෙන ගියා ඒ කීර්ති අන්කල්. ගේට්ටුවට උඩින් වවපු හාතවාරිය වැලේ කටු අත්තක් මගේ නළලේ ඇනුනා. ඒ කීර්ති අන්කල්. හන්දියේ තැඹිලි විකුණන මනුස්සයා.

අහ් පුතා. . . මේ බුලත් වල සල්ලි ගෙනාවා. බුලත් අත් දහනමයක් තිබ්බා. අත් දෙකක විතර බුලත් විසි කරන්නත් උනා. මෙතන තුන්සියාසූවක් තියෙනවා. මේක තාත්තට දීලා කියන්න අනිත් ටික කඩන්න මම බදාදට එන්නං කියලා.
හරි අන්කල්
ඒ කිව්වේ අපේ අම්මයි තාත්තයි හිටවපු බුලත් වැල් දෙකෙන් විකුණන බුලත් ගැන. ඒ සල්ලි අම්මා වෙන්කලේ පන්සල් වැඩ වලට. මම ඒවට පිං අතේ වැඩ කියන්න අකමැතියි. ඒවා පන්සල් වැඩ. පඬුරු දාන්න, තෙල් මල් ගන්න. වගේ දේ වලට. අපි ඒවා විකුණුවේ කීර්ති අන්කල්ට. නැති තැන තැඹිලි කීර්ති. තැඹිලි කීර්ති තමයි හන්දියේ තැඹිලියි, බුලතුයි විකුණුවේ. අසාධාරණයක් නැති හොඳ මිනිහෙක්. හැබැයි මම ඒ මනුස්සයට වෙන එක අසාධාරණයක් ගැන දුක් උනා.

*****************************************************************
මනුස්සයා නැහිලා නැහිලා සල්ලි හෙව්වේ පුතෙකුගෙනුයි දුවෙකුගෙනුයි ගෑනියෙකුගෙනුයි පිරිච්ච පවුලකට. තැඹිලි කීර්තිගේ දුවයි ගෑනියි මම කලින් ඉඳන් දැනන් හිටියා. හැමදාම උදේට තැඹිලි කීර්තිගේ එහා පැත්තේ කැඳ පොට් එක කලේ තැඹිලි කීර්තිගේ නෝනා. මම දුවව දැනගත්තේ මම උදේ බස් එකට නගින්න ඉන්නකොට කොන්ඩ කරල් දෙක ගොතපු ඉස්කෝල කෙල්ලෙක් තැඹිලි කීර්තිගේ ගෑනිගෙන් කැඳ එකක් බීලා තැඹිලි කීර්තිටත්, ගෑනිටත් වැඳලා යනවා මම පලවෙනියට දැක්ක දවසේ. ඒත් මම පුතෙක්ව නං දැකලා තිබ්බේ නෑ.

මේ මම එන්.අයි.බී.එම් එකෙන් කලින් ආව දවසක්. දෙකයි තිහ වෙද්දිම ගොළුමඩම හන්දියට බැහැලා හිටියා. පුරුදු රුපියල් විස්ස පර්ස් එකෙන් අරගෙන මම තැඹිලි කීර්තිගේ කරත්ත කඩේට ලං කලා. මම ලී තට්ටුව උඩින් විස්ස තියන්නත් කලීන් තැඹිලි කීර්ති මෝරපු නැති තැඹිලි ගෙඩියක කට කපලා අතට දුන්නා. මම පුරුදු විදියටම තනි අත පටලෝලා තැඹිලි ගෙඩිය මූන උඩ තියාගත්තත් ආපහු එකපාරටම බිම බැලුනේ තැඹිලි ගෙඩිය ඉස්මත්තෙන් ඉර එළිය මූනට ආපු නිසා. ඒ වෙද්දි දිලිසෙන බාච්චු ටී ෂර්ට් එකක් ගහලා කොල්ලෙක් ඇවිත් තැඹිලි ගෙඩියක් ඉල්ලුවා. මට සතුටුත් හිතුනා රැප් අහන කොල්ලොත් තැඹිලි බොන එකට. ඒ කොල්ලා තැඹිලි ගෙඩියකුත් බීලා තැඹිලි කීර්තිගෙන්ම රුපියල් දෙසීයකුත් අරගෙන යන දිහා මම බලන් හිටපු නිසා "ඒ මගේ පුතා" කියලා තැඹිලි කීර්ති අමාරුවෙන් වගේ කිව්වා.


එයා මට පිට මිනිස්සු ඉන්න තැන කතා කරන්න කැමති නෑ පුතේ. දන්නැද්ද දැන් කාලේ ළමයි හැදෙන හැටි..
 කියලා පැහැදිලි කරපු ටිකට මට ඒ වෙලාවේ කියවුනේ "හ්ම්ම්" කියලා විතරද කොහෙද.

මේ වෙනකොට බුලත් කීර්ති ගිහින් තිබුනා. මම ආපහු ගෙට යන්න හැරුනා. හාතවාරිය අත්ත ආපහු මගේ නළල හීරුවා. මම මිදුලට අඩිය තියලා ගේට්ටුව වහගත්තා. මම හිතන්නේ ඒ වෙනකොටත් කීර්ති අන්කල් හන්දියට ගිහින් ඇති.

Monday, November 22, 2010

දේශීයත්වය, දේසීයත්වය, දේෂිඃයත්වය

චොකලට් බිස්කට් මැද්දට හෙයා ජෙල් යොදා ආහාරයට ගෙන කටෙහි ඉතිරි වූ ජෙල් තට්ටු කොරෙක්ස් ඩී වලින් බඩ තුලට සෝදා හැර අතුරුපසට හාන්ස් ටිකක් තොල් වැටියේ තබාගෙන දේශානුරාගය සිත්හී උපදවා කියවනු මැනවි!


හවස හයටද පාන්දරටද පිරිත් අහන, කොටට ඇඳගත්තු බඩු උදේ පාන්දරට ටීවී එකේ ආයුභෝවණ් කියන දේශීයත්වයෙන් පිරිච්ච රටක කඩයකට වැද කන්නට ඉඹුල් කිරිබත්, වැලි තලප, අග්ගලා සෙවූ කලෙක. . . කොටුවට රුපියල් තිහක් ගාල්ල පැත්තට දුරින් තියෙන කඩවලත් පිරී තිබුනේ ඔම්ලට් බන් සහ චිකන් පේස්ට්‍රිය. මා පලමු වරට ඉඹුල් කිරිබත් කෑවේ මාගේ ගම වෙච්ච දෙනියායේදීය. සීනිසම්බෝලද, පැනි පොල්ද දමා දෙවිදියකට අපේ නැන්දා විසින් සාදා තිබූ ඒවා තරම් තවත් කෑමක් එදා මට නොමැති විය. එසේ වූයේ මා දේශීයත්වය අගය කරන්නෙකු නොව සිතට සරිලන්න අගයන්නෙකු බැවිනි. ඕනෑම මිනිසෙකුට තම දේශය සහ ඒ දේශීයත්ව පිලිබඳ ආඩම්බරයක් තිබිය යුතු නමුදු එය හත්පොලේ ගාගත යුතු නැත. තමන්ගේ අවශ්‍යතාවයට සරිලන විකල්ප දේශීයව ගොඩ නැගී ඇත්නම් යමෙකු ඒ කරා යා යුතු නමුදු දේශීයත්වය කරේ තබාගෙන වලේ වැටිය යුතු නැත.

කොන්ඩම් උදාහරණයක් වශයෙන් ගත්කල, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ආරක්ෂක උපත් පාලන ක්‍රමයක් නොමැතිනම් ඒ සඳහා අප විදේශීය නිෂ්පාදිතයක් භාවිතා කල යුතුය. මන්දයත් දේශීය නිෂ්පාදන කර ගසා ඒ තුල ඒඩ්ස් පිළිලයක් කරගත නොහැකි නිසාවෙනි. නොමැතිනම් අවුරුදු විස්සේදී ළමයෙකුත් සමග අවුරුදු තිහක ගැහැනියක් බාර ගත නොහැකි බැවිනි. මා කොන්ඩම් උදාහරණයකට පමණක් ගෙනහැර පෑ බැවින්, ලංකාවේ නිෂ්පාදිත කොන්ඩම් ගැන අදහස් තීරුවේ නිෂ්ඵල දේශන දී පිම්පියෙකු තත්වයට ඇද නොවැටීමට වග බලාගන්න.

එකල චමින්ද වාස් බෝලය දැමීමට පෙර හත් අට වරක් කලිසමේ බෝලය උලන බැවින්, මමද හත අට වසරේ ක්‍රිකට් ගසද්දී ටෙනිස් බෝලය තුන් හතර වරක් උලා එල්ල කල අතර එහෙ දෝලනයක් නොතිබිනි. එහෙත් අතිවිශිෂ්ඨ චමින්ද වාස් ආකාරයෙන් බෝල දැම්මා යැයි සිතා මා වාස් උස්මූර්තියට පත්විය. දැනුදු ශ්‍රී ලාංකීය රැප් කලාවේ සිදුවන්නේ එය වන අතර, අන්තර්ජාතික මට්ටමේ රැප් සංගීතකරුවන් අඳින පලඳින ආකාරයට ඇඳ, ඔවුන් ආකාරයට ඇඟිලි සකසා මෙලෝ රහක් නැති කුණුහරුප තොගයක් ඉරාජ් ප්‍රමුඛ ලංකාවේ අනෙකුත් සිපයි කණ්ඩායම් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කරමින් සිටියි.

එයට වරදක් නොකිව හැක්කේ මේ ගොලහන්ත ජාතිය සොයන්නේ වින්දනයක් නොව ඇමරිකන් උස්මූර්තියට පත්වීමක් පමණක් බැවිනි. උන්ට ඇමරිකාවට සාපේක්ෂව දළ ජාතික නිෂ්පාදිතය වැඩිකරගැනීමට උවමනාවක් නැත.


එසේ ගත්කල සලකා බැලිය යුතු දේශීයත්ව ඉදිම්මවීම් තවත් ඇත.
  • කැසිනෝ සූදුව නීතිගත වන රටේ, මළ ගෙවල් වල හීනියට තෙල් අංශයකුත් එක්ක යන බූරු පැදුර නීත්‍යානුකූල විය යුතුය.
  • A. සුනීත හිමි, B. සෝභිත හිමි සමග එක්ව ඇබ්බැහිය නවත්වන, කොටලා පැනපු එවුන් ගෙන්වන, කැඩිච්ච පෙට්ටි රීකන්ඩිෂන් කරන රටක මදක් පාවිච්චියට අබිං පොට්ද, මසාජ් සෙන්ටර් ද, ග්‍රාම සේවා වසමකට එක බැගින් ඉදි කල යුතුය.
  • විශේෂ අවස්තාවකදී පොඩ්ඩක් ගැනීම අනුමත කරන පුරාවිද්‍යා සුවාමීන් ඉන්න රටක වෙල් ෆැන්ටා නොහොත් සුදුවා නීතිගත විය යුතුය.
  • පෙට්ටි කඩාගත් සුද්දියන්ගේ පෙට්ටි ආපහු කැඩේයැයි බියෙන් ගාල්ලෙන් පෙම්වතුන් දුරු කරන උරුමයක් ඇති රටක, පත්තිනි විදෙශිකයන්ට නොපෙනෙන්ට පෙම්වතුන්ට නොමිලේ රිංගන්න තැන් පිහිටුවිය යුතුය.
සංස්කෘතික ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!
  • පත්තරේට මූනු දමා දේශීය වෙසඟනන් අල්ලන රටක , කොටු කාමරයක තනිව රැය ගෙවන පිරිමියෙකුට ස්වයං වින්දනය සඳහා නෝටි ඇමරිකාවට සරිලන දේශීය විකල්පයක් සාදා දෙනු මැනවි.
  • Iraj with ILL Noize සහ Fill-Tලට Fansලා වැඩිවන යුගයක "ස" ප්‍රසංගයට, "ශ්වේත රාත්‍රිය" ටද බලෙන් හෝ රසික පිරිසක් අද්දවා දෙනු මැනවි.
  • ලණුව පැන්නූ විට හෝ පොලු කැඩුනු විට ගජගා වයා කස්තිරම් අල්ලවන වෙස් Cheer Leadersලා වෙනුවට, පනින රිලව් කිහිප දෙනෙකු වත් ආදේශ කරනු මැනවි.

Tuesday, November 9, 2010

මට තනියක්! දැනෙනවා. . .

අමරදේවයන්ගේ මා වවුලන් ගීතය දෙකන් තුල දෙදරයි. තවමත් මා බොරැල්ලෙන් නැගි ගමන්මය. අතක් දිගුකරන් චම්ලි අයියා එහෙමත් නැත්තන් එකසිය පනස් හතරේ හිතවත් කොන්දයියා බෙරිහන් දෙනු පෙනේ. එහෙත් බෙරිහන් දෙනු නො ඇසේ. දෙකන් මෙන්ම සිතද මා වවුලන් හී අරුතට යොමුවී ඇත. එය ලීවේ කවුදැයි මා අසා නැත. අසා තිබුනද මේ වෙලාවේ මතක් වන්නේද නැත. එය පෞද්ගලික අත්දැකීමක් නම් අවම වශයෙන් රචකයාට ඈතකට ගොස් පාළුව දැනෙන්නට සහෝදරයෙකු හිඳ ඇත. එහෙමකටවත් මොකෙක්වත් නැති මම එය මෙතරම් විඳින්නේ ඇයි දැයි තවමත් සිතට නො ඒ. එතෙකුත් නොදැණුනු විඳීම තේරුම් ගියේ බසය තුම්මුල්ල ලක්සල පසු කරද්දීය. ඒ මටද උන්නු මලයා මීට දවස් සම්පූර්ණ නැතත් අවුරුදු විස්සකට පෙර ජනක මහබෙල්ලනට අනුව මහ දුරක ගියේය.

දු
අතේ වැඩිපුර සල්ලි ගැවසෙන දවසක පිටකට ගොස් කන්න බොන්නට ලිෂාන් ට ලොකු අයියෙකු ඇත. එසේ ගොස් නැවත නිවෙස්ගත වන විට රැගෙන එන දේ සොයා බලන්නට නංගියෙකු ලිෂාන්ට ඇත. ජංගමයට මුහුණ ඔබා සිටින කලක එයට ඔලුව ඔබා ඕපදූප සොයන්නට විසල්ට අක්කෙකු ඇත. කල කී දෑ සොයන්නට, බැණුම් අසන්නට, අතේ එල්ලී ෆොටෝවකට සිටින්නට ලසිතටද නංගියෙකු ඇත. කුඩාකල සිනාසෙමින් අඬමින්ද, වැඩිහිටි කල එකමුතුවෙන්ද ඉන්නට මෙන්ම කඳුළු උනන බ්ලොග් පුරවන්නට සුභාෂ් අයියට නංගිලා අක්කලා ඇත. තමන්ගේ වැරදි තුරුම්පු ලෙස තබාගෙන අවශ්‍ය කලට ප්‍රයෝජනයට ගන්නා මල්ලියෙකු සිටින බැවින් ගයාන් හැම විටම පරෙස්සම් විය. බසය වැල්ලවත්තේ නවතා ඇත.

ලඟක නැති කල මුන් හට දුක දැනුනද, දුටු කලෙක එම සතුට එසේම දෙගුණ තෙගුණ වන බැවින් උන් මා අතර වෙනසක් ඇත. මා හට "අ"යන්නක් නොතේරෙන කලෙක ඉපදී අඬන්නත් පෙර මිය ගිය මාගේ සහෝදරයා දුක දනවන්නේ වෙනකෙකුට නොවූ විලසිනි. වෙනකෙකුට මෙන් නොව මහ දුරක ගොස් සිටින ඔහුට කතා කිරීමට උපාංගයක් තවම සාදා නැත. කලක් ජීවත් වූවෙකු මෙන් නොව ඔහුගේ මතකයක් ඉතිරිව නැත. ඔහුගේ අහිමි වීමට වගකියන්නට එකෙකු නැත. අම්මාත් තාත්තාත් ඔහු ගැන මතකයක් අවදි කරන්නට කැමති නැත. ඔවුනටද අවදි කරන්නට ඒ හැටි මතකයක් නැත. ඒ ගැන ඇසීමද ඔවුන්ගේ සිතට දුකක් දනවනවා ඇත. තමන් තුල හැදී, තමන් තුල දඟ කල කිරි කැටියාගේ ජීවය දැකීමට මාගේ අම්මාට නොහැකි විය. තමන් ජාතක කල දෙවැනි ජීවියා හඬනු අසන්නට මාගේ තාත්තාට නොහැකි විය. ඉදින් මට ඔවුන්ගෙන් ඒ ගැන ඇසිය නොහැක. තවමත් මා දෙහිවලය. දැන් දෙකන් පුරවන්නේ වොලී බැස්ටියන්ගේ "අයිරින් ජොසපින්" ය. ඌ සිටියා නම් මා මෙන් ඌද මෙයට ආසා වනු ඇත. අම්මත් තාත්තාත් ගෙදර නැති කලෙක බියරයක් අත ලඟ තබාගෙන, ඌ අතට බොන්ගෝව දී මට අයිරින් ජොසපින් හඬ තලන්නට තිබිණි. මට අයිරින් ජොසපින් හී වචන පාඩම් අතර, මා හට බොන්ගෝවක්ද ඇත. අම්මත් තාත්තාත් ගෙදර නැති වෙලාවල් එමටව එලඹෙන අතර බියර් යනු සපයා ගත හැකි දෙයකි. ඒත් ඌ අඩුවක් වී ඇත. ඌ අඩුවක් වනු ඇත.

මා හට ආලපුරන්නට ආදරවන්තියක් ඇත. මිතුරන්ද බොහෝ ඇත. නිවෙස් අවට මිතුරන් ඇත. ආගිය තැන් වල මිතුරන් ඇත. පාසල් මිතුරන් එමටය. එයිනුත් කල්ලි ගැසුනු මිතුරන් සත් දෙනෙකුද ඇත. අන්තර්ජාලයේද මිතුරන් එමටය. එයිනුත් සැමදා සෙට් වෙන පුලුවන් සැමවිට කතා බහ කරන සෙට් එකක් ඇත. අනන්ත නෑදෑ කන්දරාවක් ඇත. එහෙත් ඌ නැත. ඌ කොහේ හෝ ඉපදී වන්නට හැක. ඌ මට මුනගැසෙනවාද විය හැක. මුනගැසුනත් වැඩක් නැත. ඒ ඌ නොවන බැවිනි. ඌ පෙර ආත්මයේවත් මා ගැන අසා නැත. ඌ නොආ අඩුව දරුණුව විඳින අයියෙකු ඌට සිටින බව ඌ නොදන්නවා ඇත. මා ඌ දැක නැති මුත් සිටියා යැයි අසා ඇත. එහෙත් ඌ එසේ අසා නැත. රත්මලාන ගුවන් තොටුපල පසුවන බැවින් මා බසයෙන් බැසිය යුතුව ඇත. ඌ මා අසලකම සිටිනවා විය හැක. සින්දු ගොඩේ සින්දු තවමත් ඔහේ වැයෙන අතර ඒ ගැන සොයන්නට මේ පැයක ගමනේ මට නොහැකි විය. මා බසයෙන් බැසීමි.