මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Showing posts with label සහෝදරකම්. Show all posts
Showing posts with label සහෝදරකම්. Show all posts

Saturday, April 30, 2011

විසිතුන් වෙනි පහන් කණුව යට සිට ලියමි.

"මම මොකෙක්ද?" කියන ප්‍රශ්නෙට සමහරු පිස්සෙක් කියයි. තවත් සමහරු එක එක දේවල් කියයි. අන්තිමට ඉතුරුවෙන උත්තරේ "මොකෙක් හරි". ඉස්සර අහලා තිබ්බා වෙන්නන් වාලේ මොකෙක් හරි නොවී අරමුණකට ජීවත් වෙන්න කියලා. ඒත් මට ඕක පේන්න බැරි දෙයක්. එනිසා ඉස්සරත් "ලොකු උනාම කවුරු වෙන්නද ආසා?" ඇහුවම, මම මොකෙක්ද වගේ බලාගෙන ඉන්නැති.ඒත් ඔය "මොකෙක් හරි" කියන භූමිකාවේ මම වෙනස් වෙවී චරිත රඟපාන එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. ප්‍රදර්ශන තියලා නැතත් ඇහැට සෙට් වෙන පින්තූර දෙක තුනක්වත් මම අරගෙන තියෙනවා. සම්මාන හම්බෙලා නැතත් හිතට වදින ලිපියක් දෙකක්වත් මම ලියලා තියෙනවා. තරඟ දිනලා නැතත් ලාවට සින්දුවක් දෙකක් කියාගන්න, බෙරේකට තලාගන්න පුලුවන්කමක් තියෙනවා. ඔය මොක නැතත් මගේ ගෑණිට හිත පිරෙන්න ආදරේ කරන්න මට පුලුවන් වෙලා තියෙනවා. ඒ හැම එකක්ම සාර්ථක මට්ටමට ගැනෙන්නේ මට අනුව. මට මං ගැන හිතිච්ච විදිහ. ඒක සමහරවිට ඕනවට වඩා වැඩි වෙන්නත් පුලුවන් නැත්තං ඕනවට වඩා අඩු වෙන්නත් පුලුවන්.

ආදරේ..., මම ආදරේ කියන හැඟීමට හුඟක් අසාධාරණකං, වැරදි කරපු එකෙක් වෙන්න පුළුවන්. ඒත් මං අද වෙද්දි ඒක තේරුම් අරගෙන ඒකට අනුව හැඩගැහිලා තියෙන එක ගැන  මට අමු සතුටක් තියෙනවා. ඒ ආදරේ ඒ විදියට ගොඩනගන්න පුළුවන් උනෙත් ඒ ආදරේ අනිත් පාර්ශවකාරිය නිසාමයි කියන මතෙත් මම ඉන්නවා. ඒ ආදරේට අදට අවුරුදු එකහමාරක්. අද වෙනකොට හිතේ කොනකවත් කුහුලක් නැතුව මගේ ගෑනිට හිත පුරා ආදරෙයි කියලා කට පුරා කියන්න පුලුවන් වෙලා තියෙන එක සම්බන්ධයෙන් මට මං ගැන ලොකු සතුටක් තියෙනවා. මගේ සම්පූර්ණ නසරාණි අතීතය දැන දැනත් මට හිත පුරා ආදරේ කරන ගමන්ම, වැරදිම කරන්න පෙලඹෙන හිතත් වගේම කුණුහරුපම කියවෙන කටත් ඉවසගෙන ඉන්න උඹට ලොකු හයියක් තිබ්බ විත්තිය සහ තියෙන විත්තිය මම දන්නවා. මම උපන්න දවස වෙච්ච අදට විතරක් නැතුව හැමදාටමත් උඹේ ආදරෙත්, උඹේ හිනාවත්, උඹේ ආශිර්වාදෙත් තුනම මගෙත් එක්ක කියලා මම දන්නවා.

මම කලින් වතාවේ මගේ උපන්දිනේට ලිව්වා කවි ටිකක්. ඒවයේ තිබ්බ දේවල් අද වෙනකොටත් ඒ විදියටම නිසා මට ලොකු සතුටක් තියෙනවා. යාළුවෝ..., යාළුකං ඇති වෙච්cඅ විදි ගොඩක්. ගෙවල් පැත්තේ, ඉස්කෝලේ, උසස් අධ්‍යාපනේ කියන මගුල කරපු තැන වගේම අන්තර්ජාලෙත් ඒකට උදව් උනා. ඒ වගේම නෑදෑ පරපුරේ මගේ වයස් මට්ටමේ අංකුරත් සහෝදරකමකට එහා ගිය යාළුකමකින් මගෙත් එක්ක හිටියා. උඹලට බොහොම පිං එදා ඉඳන් අද වෙනකං මට හොඳ යාළුවෙකුට වගේ සලකන එකට. මගේ යාළු මිත්‍රයෝ ගොඩේ හැකියාවෙන් අග තැම්පත් වෙච්ච වගේම වයසින් අත්දැකීම් වලිනුත් ගොඩක් ඉස්සරහින් හිටපු මිනිස්සු හිටියා. ඒ දීපු උපදෙස්, ගුරුහරුකං වගේ ප්‍රශංසාත් මම අදටත් පටා ආසාවෙන් මතක් කරනවා. ඒ හැමදේකටම උඹලට බොහොම ස්තූතියි නොකියන්නේ මම උඹලගේ යාළුවෙක් නිසා.

මගේ අම්මට තාත්ත්ට වගේම උඩ සඳහන් කරපු උඹලා හැමෝටම පිං මගේ වැටීම් වලදි වගේම නැගිටීම් වලදිත් මගේ ලඟින් හිටියට. මේ හිටපු නිදහස් කාලේ බොහෝවිට හෙටින් පටන් ගන්න මාසෙන් පස්සේ ඉවරයක් වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙනුත් මට සතුටුයි. උඹලට සදා ජය!

Tuesday, November 9, 2010

මට තනියක්! දැනෙනවා. . .

අමරදේවයන්ගේ මා වවුලන් ගීතය දෙකන් තුල දෙදරයි. තවමත් මා බොරැල්ලෙන් නැගි ගමන්මය. අතක් දිගුකරන් චම්ලි අයියා එහෙමත් නැත්තන් එකසිය පනස් හතරේ හිතවත් කොන්දයියා බෙරිහන් දෙනු පෙනේ. එහෙත් බෙරිහන් දෙනු නො ඇසේ. දෙකන් මෙන්ම සිතද මා වවුලන් හී අරුතට යොමුවී ඇත. එය ලීවේ කවුදැයි මා අසා නැත. අසා තිබුනද මේ වෙලාවේ මතක් වන්නේද නැත. එය පෞද්ගලික අත්දැකීමක් නම් අවම වශයෙන් රචකයාට ඈතකට ගොස් පාළුව දැනෙන්නට සහෝදරයෙකු හිඳ ඇත. එහෙමකටවත් මොකෙක්වත් නැති මම එය මෙතරම් විඳින්නේ ඇයි දැයි තවමත් සිතට නො ඒ. එතෙකුත් නොදැණුනු විඳීම තේරුම් ගියේ බසය තුම්මුල්ල ලක්සල පසු කරද්දීය. ඒ මටද උන්නු මලයා මීට දවස් සම්පූර්ණ නැතත් අවුරුදු විස්සකට පෙර ජනක මහබෙල්ලනට අනුව මහ දුරක ගියේය.

දු
අතේ වැඩිපුර සල්ලි ගැවසෙන දවසක පිටකට ගොස් කන්න බොන්නට ලිෂාන් ට ලොකු අයියෙකු ඇත. එසේ ගොස් නැවත නිවෙස්ගත වන විට රැගෙන එන දේ සොයා බලන්නට නංගියෙකු ලිෂාන්ට ඇත. ජංගමයට මුහුණ ඔබා සිටින කලක එයට ඔලුව ඔබා ඕපදූප සොයන්නට විසල්ට අක්කෙකු ඇත. කල කී දෑ සොයන්නට, බැණුම් අසන්නට, අතේ එල්ලී ෆොටෝවකට සිටින්නට ලසිතටද නංගියෙකු ඇත. කුඩාකල සිනාසෙමින් අඬමින්ද, වැඩිහිටි කල එකමුතුවෙන්ද ඉන්නට මෙන්ම කඳුළු උනන බ්ලොග් පුරවන්නට සුභාෂ් අයියට නංගිලා අක්කලා ඇත. තමන්ගේ වැරදි තුරුම්පු ලෙස තබාගෙන අවශ්‍ය කලට ප්‍රයෝජනයට ගන්නා මල්ලියෙකු සිටින බැවින් ගයාන් හැම විටම පරෙස්සම් විය. බසය වැල්ලවත්තේ නවතා ඇත.

ලඟක නැති කල මුන් හට දුක දැනුනද, දුටු කලෙක එම සතුට එසේම දෙගුණ තෙගුණ වන බැවින් උන් මා අතර වෙනසක් ඇත. මා හට "අ"යන්නක් නොතේරෙන කලෙක ඉපදී අඬන්නත් පෙර මිය ගිය මාගේ සහෝදරයා දුක දනවන්නේ වෙනකෙකුට නොවූ විලසිනි. වෙනකෙකුට මෙන් නොව මහ දුරක ගොස් සිටින ඔහුට කතා කිරීමට උපාංගයක් තවම සාදා නැත. කලක් ජීවත් වූවෙකු මෙන් නොව ඔහුගේ මතකයක් ඉතිරිව නැත. ඔහුගේ අහිමි වීමට වගකියන්නට එකෙකු නැත. අම්මාත් තාත්තාත් ඔහු ගැන මතකයක් අවදි කරන්නට කැමති නැත. ඔවුනටද අවදි කරන්නට ඒ හැටි මතකයක් නැත. ඒ ගැන ඇසීමද ඔවුන්ගේ සිතට දුකක් දනවනවා ඇත. තමන් තුල හැදී, තමන් තුල දඟ කල කිරි කැටියාගේ ජීවය දැකීමට මාගේ අම්මාට නොහැකි විය. තමන් ජාතක කල දෙවැනි ජීවියා හඬනු අසන්නට මාගේ තාත්තාට නොහැකි විය. ඉදින් මට ඔවුන්ගෙන් ඒ ගැන ඇසිය නොහැක. තවමත් මා දෙහිවලය. දැන් දෙකන් පුරවන්නේ වොලී බැස්ටියන්ගේ "අයිරින් ජොසපින්" ය. ඌ සිටියා නම් මා මෙන් ඌද මෙයට ආසා වනු ඇත. අම්මත් තාත්තාත් ගෙදර නැති කලෙක බියරයක් අත ලඟ තබාගෙන, ඌ අතට බොන්ගෝව දී මට අයිරින් ජොසපින් හඬ තලන්නට තිබිණි. මට අයිරින් ජොසපින් හී වචන පාඩම් අතර, මා හට බොන්ගෝවක්ද ඇත. අම්මත් තාත්තාත් ගෙදර නැති වෙලාවල් එමටව එලඹෙන අතර බියර් යනු සපයා ගත හැකි දෙයකි. ඒත් ඌ අඩුවක් වී ඇත. ඌ අඩුවක් වනු ඇත.

මා හට ආලපුරන්නට ආදරවන්තියක් ඇත. මිතුරන්ද බොහෝ ඇත. නිවෙස් අවට මිතුරන් ඇත. ආගිය තැන් වල මිතුරන් ඇත. පාසල් මිතුරන් එමටය. එයිනුත් කල්ලි ගැසුනු මිතුරන් සත් දෙනෙකුද ඇත. අන්තර්ජාලයේද මිතුරන් එමටය. එයිනුත් සැමදා සෙට් වෙන පුලුවන් සැමවිට කතා බහ කරන සෙට් එකක් ඇත. අනන්ත නෑදෑ කන්දරාවක් ඇත. එහෙත් ඌ නැත. ඌ කොහේ හෝ ඉපදී වන්නට හැක. ඌ මට මුනගැසෙනවාද විය හැක. මුනගැසුනත් වැඩක් නැත. ඒ ඌ නොවන බැවිනි. ඌ පෙර ආත්මයේවත් මා ගැන අසා නැත. ඌ නොආ අඩුව දරුණුව විඳින අයියෙකු ඌට සිටින බව ඌ නොදන්නවා ඇත. මා ඌ දැක නැති මුත් සිටියා යැයි අසා ඇත. එහෙත් ඌ එසේ අසා නැත. රත්මලාන ගුවන් තොටුපල පසුවන බැවින් මා බසයෙන් බැසිය යුතුව ඇත. ඌ මා අසලකම සිටිනවා විය හැක. සින්දු ගොඩේ සින්දු තවමත් ඔහේ වැයෙන අතර ඒ ගැන සොයන්නට මේ පැයක ගමනේ මට නොහැකි විය. මා බසයෙන් බැසීමි.

Wednesday, January 27, 2010

උඹයි මායි

උඹයි මායි
අරක්කු නැහැදුව එක විතරයි
කෑලි පස්සෙන්මයි
ඉස්කෝලෙදි හැමදාමත්
කොරිඩෝවට වාරුවෙච්ච උං

උඹයි මායි
ගියා පාටි වලට
නැටුවා රෑ එළිවෙනකං
මොනවද කෑවේ
මොනවද බිව්වේ

උඹයි මායි
ආවා මූණු පොතට
ඒකෙත් වල බැස්සා. ..
නොකරපු තක්කඩිකමක්
කළුනික වගේ

උඹයි මායි
දැම්මනේ ඡන්දේ
දෙන්නම එක පිහිපාරෙන් බිම
අසරණයි උඹයි මායි
පැති දෙකක වෙලත්

Sunday, December 27, 2009

තුරුදැලේ උඹලා

නිකමට විහිළුවක් කරන්න
ලේ කැක්කුමට කරදරේකින් බේරගන්න
දුකාට වගේ දිග ගුණ වර්ණනාවක් ලියන්න
වැරැද්දකදී රිදෙන්න පාරක් ගහන්න

අපේ අම්මගේ බඩෙන්
මට ඉස්සරෙන් හරි
පස්සෙන් හරි
තව එකෙක්වත් හිටියනං

කොච්චර වදයක් උනත් නංගියෙක් නැතිකම
පොර ටෝක් දැම්මත් මල්ලියෙක් නැතිකම
කන කඩාගත්තත් අක්කෙක් නැතිකම
පාරක් ගැහුවත් අයියෙක් නැතිකම

මේ ලෝකේ දරං ඉන්න අමාරුම දේ වෙන්නැති
ඒත්,
ප්‍රශ්නයක් උනාම,දුකක් හිතුනම කියන්න
මෙච්චර උඹලා ගොඩක් තුරුදැලේ ඉන්න එක
කොච්චර දෙයක්ද. . . .

Sunday, August 16, 2009

ඔබට අවැදගත්. . මට වැදගත්. . .


මේක මම අද පළකරන්න හිටපු ළිපිය නෙමෙයි.අද පළකරන්න හිටියේ පසුගිය ඉරිදා මට වෙච්ච සිද්ධි ගැන.ඒත් මේක කරන්න උනේ. . මගේ ජීවිතේ එක බඩවැල කඩාගෙන නොආවත් තමුන්ගේ සහෝදරයෙකුට තරම් ආදරය කරන,උපදෙස් දෙන,බනින,ගහ,මේ බ්ලොග් එකෙත් විශේෂ ස්තූතියක් හිමිවෙලා තියෙන නිදර්ෂනී අක්කා මගෙත් එක්ක තරහා වෙලා ඉන්න එක හේතුවෙන්.අන්න එතනදියි මේ ළිපිය ඔබට අවැදගත් වෙලා මට වැදගත් වෙන්නේ.මේක ලියන වෙලාව වෙනකොට මගේ හිතේ තියෙන දුක දන්නේ මම විතරයි.ඒ දුක අඩු කරගන්නයි මේක මගේ බ්ලොග් එකට ලියන්න හිතුවේ.එහෙම නැතුව ඕගොල්ලොන්ටත් මේක මුලින්ම කියවගෙන යනකොට හිතෙන,ෂේප් කරගැනීමේ න්‍යායෙන් නෙමෙයි මේක ලියන්නේ.

ක්ලාස් එකේදී පලවෙනි පාරට හිනාවුනාම,පස්සේ කාලෙක මේ තරම් ළෙන්ගතු සහෝදරියෙක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.මුලින්ම පාර මට කෙමිස්ට්‍රි කියලා දෙනකොට (ඒක කිසිම වැදගම්මකට නැති විෂයක් උනත්)මම බොහෝම උනන්දුවෙන් අහගෙන හිටියා.එදා මට කියලා දුන්නේ Fe නොහොත් යකඩ ගැන.හැමදාමත් කෝල් කරා.දුක සැප හෙව්වා.මූණු පොතට එයා ආවට පස්සේ අපි තවත් ලං වුනා.මේක ලියනකොට මට හිතුනා මගේ කලින් ළිපියක් වෙච්ච ත්‍රී සිස්ටර්ස් ළිපිය ෆෝ සිස්ටර්ස් කරානං හොඳයි කියලා.ඒකේ සඳහන් කරපු සහෝදරියන්ගෙන් මට ලේ නෑකමක් වත් තිබුනත්,එහෙම සම්බන්ධයක් හෝ නොතිබී එයා මට මට මෙච්චර ලෙන්ගතු වෙච්ච එක ගැන මට ආඩම්බරයි වගේම පුදුමයි.

මගේ කලිං ළිපියකත් සඳහන් වෙච්ච මගේ හත් දෙනාගේ මිතුරු කැලේ එකෙක් එක්කම ආදරෙන් වෙලිලා ඉන්න මගේ අක්කා. . .(මට පොඩ්ඩක් ආඩම්බරයි. .මොකද ඒ දෙන්නා සෙට් උනෙත් මම හින්දා).එයාගේ ඕනම ප්‍රශ්ණයක්. .කොටින්ම කිව්වොත් වැඩකරන තැන,යාළුවොත් එක්ක ගමන් බිමන්,ගෙදර දේවල්,ඒ වගේම එයාගේ කම්පියුටරේ කැඩුනහමත්,කොටින්ම කිව්වොත් ඔවුන්ගේ ප්‍රේමාන්දරය ගැනත් මගෙත් එක්ක කියලා තියෙනවා.අපි කොච්චර රණ්ඩු වෙලා තිබ්බත් කවදාවත් තරහා වෙලා නැති හින්දා මේක මට හුඟාක් දැනෙනවා.

කවදාවත්ම එයා මට මල්ලී කියලා විතරක් කතා කරලා නෑ.මගේ මල්ලියෝ කියන සුපුරුදු ආදර බර වචන මතක් වෙද්දී දැන් හරිම දුකයි.මම දන්නේ නෑ ඒක මම කොහොම දරා ගන්නද කියලා.මගේ ෆොටෝ එකකට මුල්ම කමෙන්ටුව දාන,මගේ ඕනම නින්දිත වැඩකට මුලින්ම බනින,මගේ විභාගයකට මුලින්ම සුභ පතන මගේම අක්කාව නැතුව හිතට දැනෙන පාළුව හුඟාක් දරුණුයි.මගේ මැරියන්වත් හිටියේ නැත්තං මම ඉවරයි.

මේ ඔක්කෝම සිද්ධි උනේ මගේ කරුම කට හින්දා.මේක ගැන අපේ සහෘදයෙක් වෙච්ච ක්‍රිශාන් හොඳටම දන්නවා.නිදර්ෂනී අක්ක හැමදාම මට කියන "ඔයාගේ ෆොටෝ වලින් Exhibition එකක් තියමු මගේ මල්ලියෝ" කියන වචන පේළිය කිව්වම ඉස්සර මගේ කටින් පිට වෙච්ච "පිස්සුද අක්කේ. .මගේ එව්වත් ෆොටෝ ද?" කියන පිළිතුර වෙනුවට දාහතර වෙනිදා මගේ කටින් "රෙද්ද" කියන වචනේ කියවුනේ මොන කරුමයකටද මන්දා.ඒක ගැන මම දැනටත් හුඟාක් පසුතැවෙනවා වගේම දහස් වාරයක් මගේ අක්කාගෙන් සමාව ඉල්ලනවා.

ප:ළි :- මේක Draft කරලා මොහොතක් යන්නත් කලින් සතුටු හිතෙන සිද්ධියක් වුනා.මගේ අක්කා මූණු පොතෙන් පණිවුඉඩයක් එව්වා මෙහෙම.

"මම හැමදාමත් ඔයාගේ අක්කා !!
ඒක වෙනස් වෙන්නේ නෑ මගේ මල්ලියෝ."

Wednesday, July 22, 2009

ත්‍රී සිස්ටර්ස්

පියාගේ වැඩිමහල් සොහොයුරියගේ දියණියන් තිදෙනා. ..

හමුවෙන සෑම මොහොතකම මා හට වද දුන්නෝය..
පෙම් සබඳකම් ගැන සොයා බැලුවෝය..
අධ්‍යාපනය ගැන සොයා බැලුවෝය..
මගේ Gel Tub එකට සිද්ධාලේප මුසු කලෝය..
මගේ කොන්ඩය කැපුවෝය..
හිසේ සිට පාදාන්තය තෙක් මයිල් ඉස්මයිල් වෙනතුරු නානාප්‍රකාර විකාර කලෝය..
ලෙඩ දුකකදී සෑම සත්කාරයක්ම කලෝය..
ඔවුන්ගේ දෙමාපියන්ට,පෙම්වතුන්ට හා අනෙකුත් සහෝදරකම් වලට වඩා මට ආදරය කලෝය..
එහෙත් දැන් ඔවුන් බොහෝ දුරකය..

ඔවුන් නැති දුක අඩුව මට මරණීය වේදනාවකි. ..

අපි හත

මින් පෙරද හතක් සිටි අතර.. ඔවුන් ඔවුන්ව G7 යැයි හඳුන්වා ගත්තෝය.
එයිනුත් පොඩි අදහසක් හිතට වැදුනු අතර.. කල්ලියක සිහිනයද ඉහට වැදී තිබුනු නිසා එය ඇරඹුවෙමි.
දෙදෙනෙකුගෙන් පටන්ගත් පසු.. හිතට ආපු ගැම්ම කියා නිමකල නොහැකි විය.
එකට කෑවෙමු,බිව්වෙමු,බැනුම් ඇසුවෙමු.. හොඳම මිතුරෝ වුනෙමු.
අපිත් හතේ කල්ලියක් හදමු.. ඒත් කට්ටිය කොහෙන්ද ?

පූරුවේ පිණකට තවත් උපරිම පිස්සෝ පහක්ද සෙට්විය.

"එතැන් සිට වසන්තය උදාවිය"

රූපයෙන් වෙනස් නිවුන් සහෝදරයින් සත්දෙනෙක්. ..