මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Showing posts with label ආදරේ. Show all posts
Showing posts with label ආදරේ. Show all posts

Monday, January 17, 2011

මම එයාට ලියපු කවි

හැඩවූ විජ්ජුලතාවෝ

කට්ට කළුවරේ
හඳක් බයෙන් වලාකුලක් එක්ක
නිදිවදින වෙලේ...
මම හැඩ මැව්වා
උඹගේ...
දඩාං ගාගෙන
රටා මවපු
විජ්ජුලතාවක් ඇතුලේ...



ඔබේ ආදරේ

[තාලය හොයලා දීපු ලිෂාන්ට ස්තුතියි.]

විඳින පැතුම් සොඳුරු සිතුම්
දකිනා සිහිනන් මනරම්
බලන බැලුම් නිරන්තරෙන්
ඔබ වෙනුවෙන් මා සැමදත්

කලෙක වැනුම් සොඳුරු දෙසුම්
ආලය වඩවයි තවමත්
ඔබත් එක්ක ලොව දකින්න
ආසයි මං මේ ලෙදටත්

සුදූ මැණිකේ මයේ *****
ආදර කම්මැලි නිදිමත
ඇහැරි බලන් තවත් වරක්
මා ඉත්දැයි ඇඳට යටින්

කොට්ටේ බදං තුරුලේ විකං
මැණික් හොයං උණත් බලං
පොඩි ආදර දඟලනවද?
දෙන්න දෙකක් පස්සේ කිරිත්



මම වෙමි

ඔඹේ කඳුල සිනහවක් වන තුරුත්
පරාජය ජයග්‍රහනයක් වන තුරුත්
ඔබ අසලින් නොසෙල්වෙන එකම මිනිස් පුළුට මම වෙමි.

පින්සරු ගැහැනියක්
සොඳුරු හදක්
සුසුඳු වතකට
රෙජිස්ටර් වීමට පොරකන එකම වාසනාවන්තයා මම වෙමි.

Monday, December 27, 2010

අප්පා ඉප්ප සාප්පාටීංගලා?

මා හාන්සි පුටුවේ ඇලවී හිස ඒ මත කුෂන් කැබැල්ලට බර කලෙමි. මහත් සිසිලක් ගත මෙන්ම සිත පුරාද උඩුදුවමින් ඇත. එකල මගේ දෙමව්පියන්ද පැවසූ ලෙසක දරුවන්ගේ විවාහය දෙමව්පියනට කොතරම් අස්වැසිල්ලක්දැයි දැණුනි. මාගේ විවාහයෙන් පසු මාගේ දෙමව්පියන් කෙරෙන් දුටු ඒ සිහිලස මගෙන්ද විහිදෙනු මට දැණිනි. එහෙත් සිතෙහි යම් කුහුලක් දැනෙයි. ඒ කුහුලක්ද? මා සිස්ටම් එක සුණු විසුණු කරන්නට අණුබල දුනිද? මිතුරන් යමක් සිත්හී සඟවා මා සමග සාමීචියේ යෙදෙන්නේද? පියඹගේ මුහුණෙන් යම් උත්තේජිත තිතක් ඉවත්ව ඇති බවක් මා ඇය දෙස බලන සෑම මොහොතකම සිත කියන්නේ ඇයි? මගේ ලේලිය අඩු පාඩුද? නැත. ඇයට දරුවන් වැදිය නොහැකි බවක් වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත්ද? නැත. තිබූ කුහුලද සඟවමින් ඇය ලේලියක ලෙස මා ඍණෙන් ධනට ඇද ඇත.

ඒ සොඳුරු ආදරය ජාතියකින් යට නොවී මා පුතුට ලැබෙන අපූරුව මා හට සිහියට නංවන්නේ මා ජීවිතයේ වසත් කාලය නොවෙත්ද? රැකියාවට පිටවන මාඅ පුතුගේ අතක් වට කොට ඇගේ අතින් බදා උරිස්සට බරව තොඳොල් වන්නේ තවත් මොහොතක හෝ ලබන උණුසුම ඇයට මහෝඝයක් බැවින් නොවෙත්ද? මොණර නිලැති සාරියද, එය වට කල රත්‍රන් රේන්ද ගෙත්තමද ඇයගේ දිස්නයට වැඩිමනත් යමක් එක් කලේය. පතිනයක් බවට ආඩම්බරයෙන් ඇයගේ පුළුල් නළල් තලය මත වැජඹෙන රතු තිලකය ඒ ගර්වය මෙන්ම කෙතරම් ප්‍රියයක් සිතට නගනවාද? තබන තබන පියවරක් පාසා සළඹ නගන රාවය ඇය තරුණ ලැසි ගමනට කෙතරම් රිද්මයක් සපයනවාද? ඇගේ වැල ගැහෙන දෙකොපුල්, ඉරියව් සහ සුහදකම් මගින් මතු කරවන ලාලිත්‍ය මින් තිස් සතලිස් වසරකට පෙර මා පියඹගෙන් මා දුටු ඒ සොඳුරු ලාලිත්‍යම නොවේද? 

දිනෙක උළුවස්සෙන් මිදුල බලා සිටින මට ඉස්තෝප්පුවේ සොඳුරු රූ රටා දකිනු සිත් විය. මා ඒ ක්‍රමයට අනුගත වෙමින් පැවතීම පිලිබඳ මා හද සියුම් සතුටක් මිශ්‍ර වූ චකිතයක්ද ඇති විය. මීලඟ තෛපොංගල් දිනට පුතු අත එම යෝජනාව එක්කර බැලිය යුතුය. මා හට අවැසි දේ කියන්නට තවමත් සිතේ චකිතයක් ඇත. ඇගේ ඇඟිලි තුඩින් පනින පාට කල හාල් පිටි වලින් නැගෙන හැඩ රටා අප නෙතට සොඳුරු දසුනක් මෙන්ම ඈ සිතටද කෙතරම් සිහිලක් උපදවයිද? මදහසක් නගා ඇය මා වෙත පාන ඇඟිලි පුච්චන උළුඳු වඩේ මාගේ රස නහර පිනවන බව මා පෙර සතියේ ලද අත්දැකීමෙන්ම දනිමි. අද උදෑසන ඈ පිළිගැන්වූ පිඟාන මා පිළිගත්තේ එදාට වඩා ගර්වයෙනි. ඈ මා පුතුගේ බිරිඳයි. මාගේ දියණියක් තරමටම කුළුපග සොඳුරු ලේලියයි. දියණියයි.

ඈ මා පුතු සමග සයනේ සුරතල් වී ලොවට තිළිණ කරන අග්‍රඵලය, මුවින් නගන කිරිකැටි සිනහවක මා දෙමල කම සොයන්නේද? ඒ බිලිඳු කැත කුණු කිසිඳු පැකිලීමකින් තොරව මේ සීයා අත නොගාන්නේද? උප්පැණ්නයේ අග නම මගෙන් පුතුටද, පුතුගෙන් මුණුබුරුටද උරුම වීම මා හට කෙතරම් සතුටක් දනවන්නේද? මාගේ පියාද මේ සතුට විඳීමට සිටියානම් යෙහෙකැයි මට සිතිනි. පොඩ්ඩා විසින් මා හට සීයා කිව්වද, පෙරියප්පා කිව්වද එය මාහට සම සතුටක් කැඳවනු ඇත. මුල නම් සඳහා හුරුබුහුටි සිංහල නමකුත් දෙමල නම් පොඩියකුත් තිබීම ඉතා සුන්දර නොවන්නේද? කුමන නමක් යෙහෙක්දැයි සෙවීමට මා සිත උගහට විය.

  • මිත්‍ර රාජන් ජයවර්ධන
  • හිරූ නෙයොමාල් ජයවර්ධන
  • රචින්ත ශක්ති ජයවර්ධන
පෙරදින අමතකව ඇසුවා සේ "අප්පා ඉප්ප සාප්පාටීංගලා?" යැයි විමසන තෙක් මා ගත හාන්සි පුටුවේම තබා සිටියේය. "තාත්තා දැන් කමුද?" යැයි මෙවර පැණය නැගුනු සොඳුරු සිංහල ඌරුවට මද සිනහවක්ද කට කොනට නගාගෙන මා නැගිට්ටෙමි. ප්‍රියඹද පිටුපසින් විත් මා හා කෑම කාමරය දිහාවට යාමට එක්වූවාය. අතුරුදහන් වූ උත්තේජිත තිත ඇගේ මුහුණේ යලිඳු නැගී තිබුණි.

Wednesday, September 29, 2010

පිරුනු වසර


කියපු වැරදි වගේම නොකියපු වැරදිත් තොගයක් තියෙන මිනිහෙක් මම. නොකියපු වැරදි නොකියපු කැටගරියෙම තියෙන්නේ මතක් කරන්න, ඒ ගැන කතා කරන්න අකමැතිවට මිසක් හංගන්න ඕනවට නෙමෙයි.හිතන් හිටියා මේ ගැන ලියන්න බ්ලොග් එකක්. ඒක කවි සෙට් එකක් කරනවද, කතාවක් කරනවද කියලා හිත දෙගිඩියාවෙන් තාමත්. මෙතන ඉඳන් ලියවෙන්නේ හිතේ තියෙන ටික තමයි කතාවෙනුත් කවියෙනුත්.

මම තාමත් මතක් කරනවා. . .

මිනිස්සුන්ගේ පොරත්වයට අපි හිනා වෙච්ච හැටි

අපේ ලැජ්ජාවක් නැතිකමට මිනිස්සු හිනාවෙච්ච හැටි

කොල හැලිච්ච ගස් වල ලස්සන විඳපු හැටි

මූදු රළක් උඩ නගින හැටි බලන්න වරු ගානක් අපි මානගෙන හිටපු හැටි

සූස් සූස් ගගා දැවිල්ල කාපු හැටි

රබර් කුට්ටං, කිළුටු ඩෙනිම් දාගෙන ලොකු රෙස්ටූරන්ට් වලින් කාපු හැටි

විසි පහේ ටිකට් දෙකකට මියුසියම් එක ඇතුලේ පිළිම වලට මුවාවෙච්ච හැටි

පාක් ඇතුලේ විසිල් වලින් බේරිච්ච හැටි

කොටින්ම අද මෙහෙම දෙයක් කියන්න ඕන උනේ "ඈ"ත් "මා"ත් "අපි" වෙලා අවුරුද්දක් අදට. මම ආසා කරා. . .

ඒ සිම්පල් විදිහට

ඇඟට වඩා බර බඩු මුට්ටු අතේ පයේ නැති එකට

සත්තුන්ට තිබිච්ච ආදරේට

පොත් වලට තිබ්බ ආසාවට

පෙට්‍රල් සුවඳට ආසාවට

සල්ලි වියදම් කරන විදිහට

අහන්න කැමති පරණ ලස්සන හින්දි සින්දු වලට

මට කතා කරපු "අමු" විදිහට

මගේ ඉස්සරහා ලැජ්ජාවක් නැති කමට

ඒ ඉවසීමට

මගේ කඳුළු යට දාපු විදිහට

මිනිහෙක්ට තවත් මිනිහෙක් අඳුරගන්න අවුරුද්දක් මදිවෙන්න පුළුවන්. මාත් තාම අඳුරගෙන නැතුව ඇති. ඒත් මේ අඳුරගත්තු ටිකට මම කැමතියි! අද සමරන්න ගත්තු සැමරිල්ල තවත් පනස් වතාවක්වත් සමරන්න මම කැමතියි. එහෙම වෙන්නේ මමත් එයත් තව අවුරුදු පනහක් ජීවත් උනොත් විතරයි. ඒක විතරයි අවුරුදු පනහක අපේ ආදරේට යන්න නොදෙන්න තියෙන එකම බාධකේ. ඒ වෙනකං අපේ ආදරේ තියෙයි කියලා, අවුරුද්දක් තිස්සේ අඳුරගත්තු උඹ ගැන මට විශ්වාසයි.

තැනක් නොතැන නැති සිත්වුනු ඇසිල් ලේ
නුඹත් මමත් පිරි වසරක් මුළුල් ලේ
මොකා වෙතත් නුඹ මම ගැන විමසිල් ලේ
තවත් ගොඩක් දුර යමු නිවිහැනහිල් ලේ

Friday, August 27, 2010

ඒ හින්දා යලි සෙනෙහේ සිතින් අපි. . .

වෙල්වට් රෙද්දට කොල ඇමිනූ ලකුණු පුවරුවේ එල්ලී සිටියේ දැක පුරුදු රුවකි. රුවැත්තියකි. එකල, එනම් වසර තුනකට පමණ පෙර එක පන්තියේ එකට උගත්තද වචනයකුදු කතා නොකල අප අපගේ වාචික මිතුරු සම්බන්ධය පටන්ගත්තේ සිනහවකින් සහ "හලෝ" යනුවෙනි.

මා: අපි කෝපි එකක් බොනගමන් කතාකරමු.

ඈ: මම කෝපි බොන්නේ නෑ.
මා: මමත් කැමති නෑ.

ඈ: එහෙනං ඇහුවේ ?
මා: මම අහලා තිබ්බා කෝපි බොන කට්ටිය ලස්සනයි කියලා. . . ඒකයි!

ඈ: බොරු. ..
මා: ඔව් බොරු.. දැන් මම දන්නවා කෝපි නොබොන කට්ටියත් ලස්සනයි කියලා.

ඈ: ඔයානං මොකුත් දන්නේ නෑ. .
මා: ඔයා මොකුත් නොදන්නෙත් නෑ.

මා: මේ !
ඈ: ම්ම්ම්. . .

මා: මම ඔයාගෙන් හෙන කට්ටක් කාලා නොම්බරේ ඉල්ලගන්නවට වඩා. . . ඔයා ඒක මට එක පාරින් දෙන එක ලේසියි නේද?
ඈ: ඒ මොකටද?

මා: ලේසි නිසා. ..
ඈ: ලේසි හැමදේම කරන්න ඕන නැහැනේ. .
මා: එහෙනං මං අමාරුවෙන් ගන්නං.. . ෂිහ්!

ඈ: ඇයි?
මා: හෙට විභාගෙකුත් තියෙනවා.

ඈ: ඉතින්?
මා: ඉතින් අද ඔයාගෙන් නම්බරේ ඉල්ල ඉල්ල ඉන්නකොට මට පාඩං කරපුවා අමතක වෙනවනේ.

ඈ: හාපෝ! හොරා..
මා: මට ඉස්සර එක්කෙනා කිව්වේනං හොරගෙඩියා කියලා!

ඈ: දැන් කෝ එයා?
මා: හොයාගන්න නෑ!

ඈ: ඇයි ඒ?
මා: මගේ හිතෙන් ගියාට පස්සේ කොහොම හොයන්නද?

ඈ: එහෙනං දැන් මතක් උනේ?
මා: ඒ ඔයා මතක් කරපු නිසානේ!

ඈ: හ්ම්ම්...
මා: ම්ම්හ්...

ඈ: ඇයි ඇස් වහගෙන; එයාව මතක් උනාද?
මා: නෑ මම ඉස්සරහට ඉන්න විදිහ ගැන හිතුනා!

ඈ: ඒ කොහොමද?
මා: ඒක ඔයාට Surprise එකක්!

ඈ: අනේ මන්දා මුචලින්ද
මා: මෙච්චර වෙලා වචන නාස්ති කරන්න මට මොකද්ද වගේ.

ඈ: ඒ කිව්වේ?
මා: මම කියන්න යන දෙයක් මෙච්චර වෙලා හිර කරං ඉඳලා මට පුරුදු නෑ.

ඈ: ඉතින් මොකද්ද? කියන්න!

සතුටින් නිමි.

Tuesday, June 22, 2010

ලඳුන් මැද "ඔ"යන්න "බ"යන්න

පහුගිය කාලෙම ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒ ඔක්කොම හරියටම කිව්වොත් ඉවර උනේ ඊයේ. මගේ කම්පියුටරේ මාසයක් තිස්සේ මගේ ගාව නැතුව තිබුනා.එක ෆෝන් එකක් කැඩුනා.ප්‍රොජෙක්ට් ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, එක්සෑම් ප්‍රශ්න වගේ ප්‍රශ්න අස්සේ වෙනින් එවුන්ට මුලින්ම කියවෙන ලව් එකේ ප්‍රශ්නේ විතරක් මට තිබුනේ නෑ. ඒකට මගේ ගෑණිට පිං. මගේ ගෑණිගේ තාත්තගේ ඔපරේෂන් එක ඊයෙයි කරලා ඉවර උනේ. ඒකත් සාර්ථක නිසා දැන් ඔලුව නිදහස්. ලියන්න අදහසකුත් නැතුව මොලේ අල වෙලා ඉන්නකොට මං වෙනුවෙන් මෙච්චර මෙහෙව් කැපකිරීම් කරපු ගෑණි ගැන ලියන්න හිතුනා. මට උඩින් කඩා පාත් වෙච්ච පාඨක පිරිසක් නෑ. මට ඉන්නේ යාලුවෝ ටිකක් විතරයි. මාසයක් විතර තිස්සේ නෙට් එකේ සද්ද නැතුව හිටපු මම ගැන හෙව්ව උඹලට පිං. ගෑණි ගැන කතාවක් ලියන එක දිග වැඩි හින්දා ලියන්නම් කවියක්!

සපිරිවර ලඳුන් මැද ඔබ දුටුවේයා
කුළුනු ගුණෙන් පිරි මුහුනට සිත්වූයා
මෙතෙකැයි කියා නොගිනි ලඳුන් මට වීයා
එනමුදු වදන් නොමැතිව සිත ස්ටක් වූයා

කලුවට දිගට මහතට ගෙතූ කොන්ඩයෙනී
දත් පොඩි පෙලින් පිරිපුන් ඒ සිනහයෙනී
මිටට ගත හැකිවූ උකුලට ප්‍රියාවෙනී
අඩුවක් නොමැති කමටම හිත පිනායෙනී

වරදක් කල කලට උරහිස ඇදුම් කතී
ලැජ්ජා සිතුනු විට හෘදය විකා යතී
ආදර පිරී විටදී කට කොන හපා කතී
ඒ මද රිදුමකට මම කෑදරෙන් වෙතී

හිරට කොටට නැති ලේසිය විළි වහනා
කන බිම නොඇදෙන්න අබරණ එල්ලන්නා
තද රතු නැතුව රෝසට තොල හැපවෙන්නා
මේකප් නොමැති දුඹුරට සිත ඈඳෙන්නා

දහසක් වැරදි ඇති මට වූ ආදරෙනී
"බබා" "ස්වීට්" නැති ආදර ඇමතුමෙනී
ලෙහෙසි පහසු ජීවිතයට ප්‍රියාවෙනී
"මගේ ආදරේ" හට සිත පිරි ආදරෙනී

ලඟට ගෙන බදන්නට සිත ආසාය
කවියට දෙකට ඔබ ගැන ගුණ දෙනු බෑ ය
හමු වුනු විටක දෙන්නට තව ඇතිවාය
ඔබට සම වෙන්න වෙන කෙනෙකුට බෑ ය

Monday, May 10, 2010

පුංචි විසි දෙකේ මං

මේක ටිකක් පහු වෙලා දැම්මා උනත් මේක දාන්නේ පහුගිය අප්‍රේල් තිස් වෙනිදට ලබපු මගේ විසි දෙවෙනි උපන්දිනේ නිමිත්තෙන්.හොඳ වෙලාවට අප්‍රේල් තිහ ඉපදුනේ.බැරිවෙලාවත් මැයි පලවෙනදා ඉපදුනානං මටත් ඉපදෙන්න වෙන්නේ "ලෝක වාසී කාන්තාවන්ගේ ශෝක දිනය" දවසෙයි.ඒක ශෝක දිනය වෙන්න හේතුව දැනගන්න "මැයි පලවනදා" අනිත් පැත්ත හරවලා බලන්නකෝ.සහෝදරියෝ ටික කේන්ති ගන්න එපෝ.කේන්ති යන්නත් එක්ක කියවන්නකෝ මේක.

සපුරත් දෙවිසි වසරක් ගිහි ජීවිතයේ
නොතිත් කම්කටොළු ඇති වුනි එක කලයේ
අතහැර නොදා මා සමගම සිටි තලයේ
දිරි දුන් සැමට තුති පුදනෙමි මෙම කවියේ

ගෙදර වටපිටද නාලන්දය මෙන්ම
වෑන් එකට, බස් එකටත් පිං වෙන්න
NIBM ද වලකිය සෙට් වෙන්න
සෙට් වුනු බොක්කවල් හට තුති පුදනෙමි ඔන්න

සාපෙට උපෙට සහ අනෙකුත් විෂයන්ට
ටියුටරි තොගයකට ගිය හේතුව වන්ට
ලකුණු නැතත් මා හට ඉන් ගොඩ යන්ට
මිතුරන් පිරී ඇත දිවි මං ගොඩවන්ට

මූණු පොතත්, ට්වීටරයත් සමගින්නා
සයිබර් මිතුරු කැල මා සමගම ඉන්නා
බ්ලොගින් ජීවිතෙත් යහමින් ගතවෙන්නා
උඹලා නැති කලට මට විපතක් වෙන්නා

සොඳුරු කොනිති, ගුටි, බැණුමුත් පිරී ඇතී
මැරියන් නමට මා හද ආදරෙන් වෙතී
මෙතෙකැයි කියා නැති අපේ ආදර කැටිතී
නොදරුවා මෙන්ම දවසක හිර කෙරෙනු ඇතී

අදරින් ලඟට ගෙන මා සනසන අම්මා
සිතින් පමණකිය අපේ අප්පගේ පෙම්මා
දිවිතුරු රැකගතිය ආදර පුත්තම්මා
විසිදෙක සපුරන්න දිරිදුන්නේ සැවොමා

Wednesday, April 7, 2010

සර්පයා

මෙච්චර ගස් ගොඩ මැද්දේ හිටියත්
කොලයක් ඔළුවට වැටුන්නැතී
කපුටෝ හතර වටේටම
ඒත් වසුරු පිඩක් හෙලුන්නැතී

ගස්මුල පස් කාගෙන ඉන්න මාව
හොරැහින් බලලා හිනැහුන
ඔයාගේ කෙහෙ රොදක්
කන වටේට අහක් කරලා
ලස්සන තලෙළු හම මැද්දේ
එම්බොස් වෙච්ච රෝස තොල් පට
හපන්න හදනකොටම

කොල ගොඩක් අස්සෙන්
ඔළුව උස්සලා
ගෑණිව බය කරපු
මාවත් ගස්සපු
සර්පයා
උඹයි ගැරඬි පැටියෝ. . .

Sunday, February 14, 2010

වැලන්ටයින් පැතුම්


හිතට සැනසුම දෙන
ඔබගෙ නමටම අදරින
හදපිරි සතුටකින
වැලන්ටයිනෙට පැතුම් ගෙන එන

කන්නට නිවන තෙක් පවුල්
තොසින් නොමව සිත් තැවුල්
වෙන්නට අවුල් නිරවුල්
මත්වෙමි ඔබටම තුරුල්

සුන්දර සිරුර මත්කර රාගික රසයෙන්
තුරුළුව සිතින් ගිලෙමින් ආදර හැඟුමෙන්
ලෝ සැම දනා විඳිනා මෙය රිසි අයුරෙන්
තොසින් විඳින්නෙමි අදරින් සහ සෙනෙහෙන්

දෙනෝදහක් මැද රස තොල් සිපගනිමින්
පෙම්වත් යුවල් මැද විළිබිය තොර කරමින්
විඳිනෙමි ඔබව ඒ අන් හැමටම වැඩියෙන්
තව එක් වරක් අතගෑනම් හිස අදරින්

එක්වුනි, සතුටු වූයෙමු ගැලපෙන සිත් වූයෙන්
විටෙක වැළපුනෙමු ගිලිහෙනු නොහී කෙරෙන්
සෙව්වේ බැලුවෙහිය කරදර නොවන සෙයින්
මට නුඹ, නුඹට මම වෙන්නට පතා යෙහෙන්