දැන් හවස හයයි. ඇඳේ ඇලවුනේ දෙකයි තිහට උනාට නින්ද ගියේ නෑ. ඇහැ පියවගෙන එයා ගැන හිතුවා. අරයා ගැනත් හිතුවේ නැතුව නෙමෙයි. ඒ අස්සේ මෙයාවත් මතක් උනා. මම නැගිටලා සාලෙට යද්දී මේසේ මැද්දේ ෆ්ලාස්ක් එක තියලා තිබ්බා. අම්මා එහෙම තියලා යන්නේ මට තේක අමතක වෙනවට. "අද තනියම හින්දා වෙන්නැති", මෙච්චර වෙලාවක් මට නින්ද නොයන්න හේතුව හොයපු හිත කිව්වා. ඒ අඩහඳයද දන්නෙත් නෑ. සමහරවිට මගේ නිවුන්නා මගේ ඇතුලෙම ඉන්න නිසා වෙන්නැති මගේ මල්ලි ජීවයක් නැතුව උපන්නේ. බණ අහන්න ගෙදර මිනිස්සු ඔක්කොම ගියපු හින්දා රෑ දහය විතර වෙනකන් මොනවා කරනවද කියලා හිත හිත අම්මා හදලා ගිය කිරි තේක කෝප්පෙට වක්කලා. අම්මා ඒ විදියට කිරිතේක හදන්නේ මට විතරයි. කහට වැඩියෙන්, පිටියි සීනියි අඩුවෙන් තියෙන කිරිතේක අතේ තියෙද්දිත් මගේ කටට කෙල ඉනුවා.
පුරුදු විදියටම මම ඉස්සරහා දත් පේලි දෙක තද කරගත්තා. තොල් ලොකුවට ඇරලා තේ ටික දත් මූට්ටු වෙච්ච තැන් වලින් ඇතුලට යැව්වා. ඒක තමයි මම මෙතුවක් හොයාගත්තු හොඳම රසම තේ බොන විදිහ. ඒ අස්සේ ගේට්ටුවට තට්ටු කරන සද්දයක් ඇහුනා. හරි හෙමීට තට්ටු කලේ; මම ගේට්ටුවත් ඇරගෙන ගියා ඒ කීර්ති අන්කල්. ගේට්ටුවට උඩින් වවපු හාතවාරිය වැලේ කටු අත්තක් මගේ නළලේ ඇනුනා. ඒ කීර්ති අන්කල්. හන්දියේ තැඹිලි විකුණන මනුස්සයා.
අහ් පුතා. . . මේ බුලත් වල සල්ලි ගෙනාවා. බුලත් අත් දහනමයක් තිබ්බා. අත් දෙකක විතර බුලත් විසි කරන්නත් උනා. මෙතන තුන්සියාසූවක් තියෙනවා. මේක තාත්තට දීලා කියන්න අනිත් ටික කඩන්න මම බදාදට එන්නං කියලා.
හරි අන්කල්ඒ කිව්වේ අපේ අම්මයි තාත්තයි හිටවපු බුලත් වැල් දෙකෙන් විකුණන බුලත් ගැන. ඒ සල්ලි අම්මා වෙන්කලේ පන්සල් වැඩ වලට. මම ඒවට පිං අතේ වැඩ කියන්න අකමැතියි. ඒවා පන්සල් වැඩ. පඬුරු දාන්න, තෙල් මල් ගන්න. වගේ දේ වලට. අපි ඒවා විකුණුවේ කීර්ති අන්කල්ට. නැති තැන තැඹිලි කීර්ති. තැඹිලි කීර්ති තමයි හන්දියේ තැඹිලියි, බුලතුයි විකුණුවේ. අසාධාරණයක් නැති හොඳ මිනිහෙක්. හැබැයි මම ඒ මනුස්සයට වෙන එක අසාධාරණයක් ගැන දුක් උනා.
*****************************************************************මනුස්සයා නැහිලා නැහිලා සල්ලි හෙව්වේ පුතෙකුගෙනුයි දුවෙකුගෙනුයි ගෑනියෙකුගෙනුයි පිරිච්ච පවුලකට. තැඹිලි කීර්තිගේ දුවයි ගෑනියි මම කලින් ඉඳන් දැනන් හිටියා. හැමදාම උදේට තැඹිලි කීර්තිගේ එහා පැත්තේ කැඳ පොට් එක කලේ තැඹිලි කීර්තිගේ නෝනා. මම දුවව දැනගත්තේ මම උදේ බස් එකට නගින්න ඉන්නකොට කොන්ඩ කරල් දෙක ගොතපු ඉස්කෝල කෙල්ලෙක් තැඹිලි කීර්තිගේ ගෑනිගෙන් කැඳ එකක් බීලා තැඹිලි කීර්තිටත්, ගෑනිටත් වැඳලා යනවා මම පලවෙනියට දැක්ක දවසේ. ඒත් මම පුතෙක්ව නං දැකලා තිබ්බේ නෑ.
මේ මම එන්.අයි.බී.එම් එකෙන් කලින් ආව දවසක්. දෙකයි තිහ වෙද්දිම ගොළුමඩම හන්දියට බැහැලා හිටියා. පුරුදු රුපියල් විස්ස පර්ස් එකෙන් අරගෙන මම තැඹිලි කීර්තිගේ කරත්ත කඩේට ලං කලා. මම ලී තට්ටුව උඩින් විස්ස තියන්නත් කලීන් තැඹිලි කීර්ති මෝරපු නැති තැඹිලි ගෙඩියක කට කපලා අතට දුන්නා. මම පුරුදු විදියටම තනි අත පටලෝලා තැඹිලි ගෙඩිය මූන උඩ තියාගත්තත් ආපහු එකපාරටම බිම බැලුනේ තැඹිලි ගෙඩිය ඉස්මත්තෙන් ඉර එළිය මූනට ආපු නිසා. ඒ වෙද්දි දිලිසෙන බාච්චු ටී ෂර්ට් එකක් ගහලා කොල්ලෙක් ඇවිත් තැඹිලි ගෙඩියක් ඉල්ලුවා. මට සතුටුත් හිතුනා රැප් අහන කොල්ලොත් තැඹිලි බොන එකට. ඒ කොල්ලා තැඹිලි ගෙඩියකුත් බීලා තැඹිලි කීර්තිගෙන්ම රුපියල් දෙසීයකුත් අරගෙන යන දිහා මම බලන් හිටපු නිසා "ඒ මගේ පුතා" කියලා තැඹිලි කීර්ති අමාරුවෙන් වගේ කිව්වා.
එයා මට පිට මිනිස්සු ඉන්න තැන කතා කරන්න කැමති නෑ පුතේ. දන්නැද්ද දැන් කාලේ ළමයි හැදෙන හැටි..කියලා පැහැදිලි කරපු ටිකට මට ඒ වෙලාවේ කියවුනේ "හ්ම්ම්" කියලා විතරද කොහෙද.
මේ වෙනකොට බුලත් කීර්ති ගිහින් තිබුනා. මම ආපහු ගෙට යන්න හැරුනා. හාතවාරිය අත්ත ආපහු මගේ නළල හීරුවා. මම මිදුලට අඩිය තියලා ගේට්ටුව වහගත්තා. මම හිතන්නේ ඒ වෙනකොටත් කීර්ති අන්කල් හන්දියට ගිහින් ඇති.