"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Friday, November 26, 2010

තැඹිලි කීර්ති


දැන් හවස හයයි. ඇඳේ ඇලවුනේ දෙකයි තිහට උනාට නින්ද ගියේ නෑ. ඇහැ පියවගෙන එයා ගැන හිතුවා. අරයා ගැනත් හිතුවේ නැතුව නෙමෙයි. ඒ අස්සේ මෙයාවත් මතක් උනා. මම නැගිටලා සාලෙට යද්දී මේසේ මැද්දේ ෆ්ලාස්ක් එක තියලා තිබ්බා. අම්මා එහෙම තියලා යන්නේ මට තේක අමතක වෙනවට. "අද තනියම හින්දා වෙන්නැති", මෙච්චර වෙලාවක් මට නින්ද නොයන්න හේතුව හොයපු හිත කිව්වා. ඒ අඩහඳයද දන්නෙත් නෑ. සමහරවිට මගේ නිවුන්නා මගේ ඇතුලෙම ඉන්න නිසා වෙන්නැති මගේ මල්ලි ජීවයක් නැතුව උපන්නේ. බණ අහන්න ගෙදර මිනිස්සු ඔක්කොම ගියපු හින්දා රෑ දහය විතර වෙනකන් මොනවා කරනවද කියලා හිත හිත අම්මා හදලා ගිය කිරි තේක කෝප්පෙට වක්කලා. අම්මා ඒ විදියට කිරිතේක හදන්නේ මට විතරයි. කහට වැඩියෙන්, පිටියි සීනියි අඩුවෙන් තියෙන කිරිතේක අතේ තියෙද්දිත් මගේ කටට කෙල ඉනුවා.


පුරුදු විදියටම මම ඉස්සරහා දත් පේලි දෙක තද කරගත්තා. තොල් ලොකුවට ඇරලා තේ ටික දත් මූට්ටු වෙච්ච තැන් වලින් ඇතුලට යැව්වා. ඒක තමයි මම මෙතුවක් හොයාගත්තු හොඳම රසම තේ බොන විදිහ. ඒ අස්සේ ගේට්ටුවට තට්ටු කරන සද්දයක් ඇහුනා. හරි හෙමීට තට්ටු කලේ; මම ගේට්ටුවත් ඇරගෙන ගියා ඒ කීර්ති අන්කල්. ගේට්ටුවට උඩින් වවපු හාතවාරිය වැලේ කටු අත්තක් මගේ නළලේ ඇනුනා. ඒ කීර්ති අන්කල්. හන්දියේ තැඹිලි විකුණන මනුස්සයා.

අහ් පුතා. . . මේ බුලත් වල සල්ලි ගෙනාවා. බුලත් අත් දහනමයක් තිබ්බා. අත් දෙකක විතර බුලත් විසි කරන්නත් උනා. මෙතන තුන්සියාසූවක් තියෙනවා. මේක තාත්තට දීලා කියන්න අනිත් ටික කඩන්න මම බදාදට එන්නං කියලා.
හරි අන්කල්
ඒ කිව්වේ අපේ අම්මයි තාත්තයි හිටවපු බුලත් වැල් දෙකෙන් විකුණන බුලත් ගැන. ඒ සල්ලි අම්මා වෙන්කලේ පන්සල් වැඩ වලට. මම ඒවට පිං අතේ වැඩ කියන්න අකමැතියි. ඒවා පන්සල් වැඩ. පඬුරු දාන්න, තෙල් මල් ගන්න. වගේ දේ වලට. අපි ඒවා විකුණුවේ කීර්ති අන්කල්ට. නැති තැන තැඹිලි කීර්ති. තැඹිලි කීර්ති තමයි හන්දියේ තැඹිලියි, බුලතුයි විකුණුවේ. අසාධාරණයක් නැති හොඳ මිනිහෙක්. හැබැයි මම ඒ මනුස්සයට වෙන එක අසාධාරණයක් ගැන දුක් උනා.

*****************************************************************
මනුස්සයා නැහිලා නැහිලා සල්ලි හෙව්වේ පුතෙකුගෙනුයි දුවෙකුගෙනුයි ගෑනියෙකුගෙනුයි පිරිච්ච පවුලකට. තැඹිලි කීර්තිගේ දුවයි ගෑනියි මම කලින් ඉඳන් දැනන් හිටියා. හැමදාම උදේට තැඹිලි කීර්තිගේ එහා පැත්තේ කැඳ පොට් එක කලේ තැඹිලි කීර්තිගේ නෝනා. මම දුවව දැනගත්තේ මම උදේ බස් එකට නගින්න ඉන්නකොට කොන්ඩ කරල් දෙක ගොතපු ඉස්කෝල කෙල්ලෙක් තැඹිලි කීර්තිගේ ගෑනිගෙන් කැඳ එකක් බීලා තැඹිලි කීර්තිටත්, ගෑනිටත් වැඳලා යනවා මම පලවෙනියට දැක්ක දවසේ. ඒත් මම පුතෙක්ව නං දැකලා තිබ්බේ නෑ.

මේ මම එන්.අයි.බී.එම් එකෙන් කලින් ආව දවසක්. දෙකයි තිහ වෙද්දිම ගොළුමඩම හන්දියට බැහැලා හිටියා. පුරුදු රුපියල් විස්ස පර්ස් එකෙන් අරගෙන මම තැඹිලි කීර්තිගේ කරත්ත කඩේට ලං කලා. මම ලී තට්ටුව උඩින් විස්ස තියන්නත් කලීන් තැඹිලි කීර්ති මෝරපු නැති තැඹිලි ගෙඩියක කට කපලා අතට දුන්නා. මම පුරුදු විදියටම තනි අත පටලෝලා තැඹිලි ගෙඩිය මූන උඩ තියාගත්තත් ආපහු එකපාරටම බිම බැලුනේ තැඹිලි ගෙඩිය ඉස්මත්තෙන් ඉර එළිය මූනට ආපු නිසා. ඒ වෙද්දි දිලිසෙන බාච්චු ටී ෂර්ට් එකක් ගහලා කොල්ලෙක් ඇවිත් තැඹිලි ගෙඩියක් ඉල්ලුවා. මට සතුටුත් හිතුනා රැප් අහන කොල්ලොත් තැඹිලි බොන එකට. ඒ කොල්ලා තැඹිලි ගෙඩියකුත් බීලා තැඹිලි කීර්තිගෙන්ම රුපියල් දෙසීයකුත් අරගෙන යන දිහා මම බලන් හිටපු නිසා "ඒ මගේ පුතා" කියලා තැඹිලි කීර්ති අමාරුවෙන් වගේ කිව්වා.


එයා මට පිට මිනිස්සු ඉන්න තැන කතා කරන්න කැමති නෑ පුතේ. දන්නැද්ද දැන් කාලේ ළමයි හැදෙන හැටි..
 කියලා පැහැදිලි කරපු ටිකට මට ඒ වෙලාවේ කියවුනේ "හ්ම්ම්" කියලා විතරද කොහෙද.

මේ වෙනකොට බුලත් කීර්ති ගිහින් තිබුනා. මම ආපහු ගෙට යන්න හැරුනා. හාතවාරිය අත්ත ආපහු මගේ නළල හීරුවා. මම මිදුලට අඩිය තියලා ගේට්ටුව වහගත්තා. මම හිතන්නේ ඒ වෙනකොටත් කීර්ති අන්කල් හන්දියට ගිහින් ඇති. Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

25 ක්ම තියෙනවා අදහස්:

said...

ඕකම මට දවසක් හිතුනා මේ හංදියේ කුලී වැඩ කරන මනුස්සයාගේ පුතා දැක්කම. අර මනුස්සය දවල්ට කන්නේ සීනි බනිස් එකයි ප්ලේන්ටියයි කොල්ල දවසක් තව යාලුවෙකුත් එක්ක ඇවිත් කාලා ගියා අර මනුස්සය කඩේට කිව්ව සල්ලි දෙන්නම් කියලා. ඌ මෙලෝ වැඩක් කරන්නේ නැතුව බයිසිකලේක රස්තියාදු ගහනවා.

ඉස්කෝලේ ගිහින් ඉවර වෙනක්ම් දෙමව්පියන්ගෙන් යැපුනට කමක් නැහැ ඊට පස්සේ දිගටම ඉගෙන ගන්නේ නැත්නම එහෙම එයාලාගේ සල්ලි නාස්ති කරන එක මහ පවුකාර වැඩක්. සමහර විට මේක දෙමව්පියන්ගේ වැරැද්ද වෙන්නත් පුලුවන්

Hasitha said...

සංකීර්ණ සමාජයේ තවත් අද්දර ජීවිතයක්.................

roylyfernando said...

වට පිටේ තව මේ වගේ ජීවිත කීයක් ඇද්ද?

පිස්සා පලාමල්ල said...

ඔව්වොන්ගෙ මොලවලට හෙන ගහලද මන්දා... ඒත් එහෙම හිස් මොල ගෙඩි අනන්ත අපේ සමාජේ තියෙනවා නොවැ...

Il mondo di una povera pazza said...

මේක නම් සුපිරි.
ඒත් අවාසනාවකට අපි හැමෝටම මේවා දකින්න පුළුවන් තවම හැමතැනම. අම්මලා තාත්තලාගේ මහන්සි වෙලා හොයන සල්ලි වලින් කීයෙන් කී දෙනාද හරියටම යමක් කරන්නේ?
කලකට ඉස්සරදි කරපු සමහර දේවල් හින්දා මම අදටත් මාගැන දුක් වෙනවා. ඔය වගේම නොකලත් අපි වුනත් දරුවෝ විදියට හරිම දේ කරනවද කියලා දෙපාරක් හිතනවා.

Ansh Lucky Sri Jay said...

ඔය වගේ චරිතයක් තමයි අපේ ගෙදර ඉස්සර උන්න සේවිකාවගේ පුතත්.. ඉගෙන ගත්තේ 5 පන්තියට, අම්මා ගුරු දෙගුරු රැස්වීමකට ඉස්කෝලෙට ආවා කියලා ලැජ්ජයි කියලා, පාසල් ගමන අත්හැරියා. තාමත් ඒ කොල්ලා එහෙම්මයි, දැන් කසාදත් බැඳලා ඒ පුතාටත් පුතෙක් ඉන්නවා අම්මා මොකක් හරි කුලී වැඩක් කරලා පුතාටයි, ලේලිටයි, මුණුබුරාටයි කන්න දෙන්නේ.

මේ වගේ චරිත තව කීයක් ඇද්ද.., පව්, ඒ දෙමව්පියන්ට කවදාවත් තමන්ගේ දරුවගෙන් සැනසීමක් දකින්න හම්බ වෙන්නේ නෑ.

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

Il mondo di una povera pazza ගේ අදහසට එකඟ වෙමි. ඔහොම නැතත් ඔයිට වඩා වෙනස් ‍ෆ්‍රීක්වන්සි එකක අපි කරන වැඩ ගැනත් දෙපාරක් හිතන්න වෙනවා...

sameerausa said...

මටත් කියන්න තියෙන්නේ ඉතින් "හ්ම්ම්ම්" කියල තමයි. කවදහරි දරුවට තේරෙයි. එතකොට පරක්කු වැඩි වෙයිද දන්නේ නෑ.

පූසා said...

"එයා මට පිට මිනිස්සු ඉන්න තැන කතා කරන්න කැමති නෑ පුතේ. දන්නැද්ද දැන් කාලේ ළමයි හැදෙන හැටි.."

තමන්ගේ තාත්තා මොන රස්සාව කලත් ඇයි ඒක ගැන ලැජ්ජ වෙන්නේ. තමන්ගේ ළමයින්ට ඉගෙන ගන්න පුලු පුලුවන් විදිහට සල්ලි දෙන්න තියන ඒ රස්සාව කරන තැනට ගිහින් තාත්තත් එක්ක කතා කරන්න ලැජ්ජ උන් ඕන තරම් රටේ ඉන්නවා. ඒ වගෙ උන් තමන් ගැනයි ලැජ්ජ වෙන්න ඕනේ

Uditha Umesh said...

සමාජය සංකීර්ණයි කොල්ලො.. මේ කතාවෙත් හැම කතාවක වගේම දෙපැත්තක් තියෙනව..

රාළ said...

විසමාකාර සමාජය
මම නම් ඔය වගේ එව්ව වගේම ඔයිට හතේ එව්වත් දැකල තියනව.

dinesh said...

දුක තුනිකරගන්ඩ ''''තැතිකරන්න බැරි දුක'''''

මුචලින්ද said...

අදහස් වලට ස්තුතියි! ජය!

Editor said...

හරිම රසවත් ලිවීමක්
W3Lanka

දුකා said...

කියවන උන්ගේ බොක්කට වදින්න උඹ ලියලා තියෙනවා කොල්ලෝ . .

නියමයි හැමදාම වගේ මේකත් නියමයි . .

දවස ගානේ උඹේ ලිවීමේ ශෛලිය වැඩිදියුනු වෙනවා දැක්කාම මාර සතුටක් මට දැනෙන්නේ . . ඇත්තමයි මළේ . .

මේ ලිපියේ ඉන්න ජාතියේ පුත්තු ටිකක් ඉන්න කෙනෙක් මගේ ලඟම ඥාතියෙක්.

මම නම් පුලුවන් හැම වෙලාවෙම උදව් කරනවා . .

අම්ම නම් කියනවා මේ උදව් වලින් ඒ මනුස්සයට වැඩක් නෑනේ කියලා . .

මම කියන්නේ . . කමක් නෑ ඒ මනුස්සයා උන්ගෙන් කලින් ආත්මෙක ගත්තු නය ගෙවලා ඉවර වෙයිනේ කියලා . .

malee_msg said...

නියමයි මල්ලියේ ලියවිල්ල..! මෙතන දි මට වැදගත් උනේ උඹ ලියපු ලියවිල්ල වත්.. මොන කෙහෙල්මලක් වත් නෙවෙයි.. උඹේ සමාජය ගැන තියන සංවේදීත්වය..! හේතුව දැන් කාලේ කොල්ලන්ගෙන් ඒක ‍ෆාස්ට්ෆෝවඩ් නැතිවේගෙන යනවා ගො‍ඩක් වෙලාවට..!
මෙහෙම මිනිස්සු නම් අනන්තවත් ඉන්නවා..! තමන්‍ දුක් විදගෙන තමන්ගේ දරුවන්ගේ සතුට හොයන.. කොටින්ම අපේ දෙමාපියොත් එහෙමයි... හැබැයි අපි ටිකක් හොදයි.. මොකෝ කොහේ ගියත් අපේ කටවල් වලින් අම්මා අප්පා කියලා කට පුරෝලා කියවෙන නිසා.!

මුචලින්ද said...

අදහස් වලට ස්තුතියි! ජය!

Ranga said...

ගමේ ගියාම ඔය වගේ උන් අනන්ත දකිනව. ඒ වෙලවට නම් ඉස්සෙල්ලම හිතන්නෙ අල්ලල දෙකක් අනින්න. ඊට පස්සෙ ලොකු කලකිරීමක් තම ඇති වෙන්නෙ. ගමේ ගියාම සමහර වෙලාවට මම කොල්ලො ටික අල්ලගෙන කන්න බොන්න දෙනවා. හැබැයි එතෙන්ට ගන්නෙ අඩුම තරමෙ කුලී වැඩක් හරි මොනවම හරි කරන එකෙක් විතරයි. අම්මල තාත්තල මරවල දවසෙම වල බහින එකෙක්වත් ගන්නෙ නෑ.

hsnuwan said...

මුචලින්ද මල්ලි ලියල තියෙන දේ අන්තර්ගතය අද සමාජයේ බහුලව දකින්න තියෙන දෙයක්, සහ ඔබතුමාගේ අදහසේ විදියට එය දෙමවුපියන්ගෙත් වරදක් වෙන අවස්ථා බොහොමයි, ආදරය දරුවන්ට ඕනිවට වඩා පෙන්නන එක තමයි ලොකුම ප්‍රශ්නය. ඒක අපේ සංස්කෘතියෙන් ලබපු පරිහානියට මග පාදන දෙයක්! මගෙ පෞද්ගලික අදහස !

මුචලින්ද said...

අදහස් වලට ස්තුතියි! ජය!

arunishapiro said...

දැනුයි ආවේ කියවන්න. කතාව වගේම පින්තූරයත් අගෙයි.

ඔය වගේ දරුවො සහ දෙමාපියෝ මෙහෙත් ඉන්නවා. ලැජ්ජා වෙන්න ඕන දේවල් වලට නෙමේ ලැජ්ජා වෙන්නෙ.

දුමී said...

මුචලින්ද මලේ, මම ඊයේ තමා පෝස්ට් එක හෙන හේමක් දීල කියව ගත්තෙ. මොකද උඹේ "ටොපිය" ඇවිල්ලා පෝස්ට් එක උඩ බ්ලොක් කරගෙන හිටියේ. ඉතින් යන්තම් දන්න සෙල්ලං දාල ස්ක්‍රීන් එක එහෙ මෙහෙ කොරගෙන කියෙව්වා.

උඹ ඔය කියල තියෙන කතාව අද සමාජයේ දුලබ දෙයක් නෙමෙයි. ඉස්කෝලෙ යන කාලේ මම දන්න එකෙක් හිටියා ඌ උගේ අම්මට හරි තාත්තට හරි ඉස්කෝලෙට එන්න දෙන්නෙ නැහැ මොකද තාත්තා සරමයි, අම්මා රෙද්දයි හැට්ටෙයි ඇඳලා නුගේගොඩ පොලේ පලා විකුනන හින්දා.

ඒ අම්මයි තාත්තයි කොහොම හරි මූව වෛද්‍ය විද්‍යාලෙ යැව්වා නොකා නොබී. තාත්තා ඌ මෙඩිකල් කොලේජ් එකේ ඉන්නකොටම නැති උනා ක්ෂය රෝගය හැදිලා.

අම්මා පාර මාරුවෙනකොට ප්‍රයිවෙට් බස් එකකට අහුවෙලා ඉඳලා කළුබෝවිල ඉස්පිරිතාලේ මාසයක් විතර සිහි නැතිව ඉඳලා මැරිලා. ඉස්පිරිතාලෙන්ම මිනිය වැලලුවා. පුතා දැන් කොළඹ ඉස්පිරිතාලෙ දොස්තර කෙනෙක්. බැඳලා ඉන්නෙත් දොස්තරවරියක්ලු. පැත්ත පලාතෙ ඇවිල්ල නැහැ අම්මගෙයි තාත්තගෙයි මරණ වලට.

මුචලින්ද said...

ස්තුතියි අදහස් වලට.. ඒ වගේම මතකයන් බෙදාගත්තට!
දුමී අයියා කිව්වේ තීම් එකේ අවුලක් ගැනද කියලා මට හරියට තේරුනේ නෑ.

දුමී said...

ඔව් මල්ලියේ, "ටොපි" කියලා ඉමේජ් එකක් බ්ලොග් පෝස්ට් එක උඩින් ඇවිල්ල තිබුනා පෙරේදා දිහාවෙ අකුරු ඔක්කොම බ්ලොක් කරගෙන.

ඒක දැන් නැහැ....!

Anonymous said...

අ‍ටවක පුත්තු??????

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!