මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Wednesday, August 10, 2011

රතු ලේ පාරක්!


සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ගවුමටත් පාර වැදිලා ඇද්ද? තව කවුරුවත් දකින්නැද්ද? නිසලිගේ හිත ඇතුලේ තිබිච්ච ප්‍රශ්න වුනා. රෑට කෑම කනකනුත් ඇයට කල්පනා කරන්න ඒ ප්‍රශ්නය ප්‍රමානවත් වුනා. සායෙන් ලේ පාර හේදිලා ගියත්, ලේ පාර නිසලිගේ හිතෙන් හේදිලා ගියේ නෑ. ඒ දේ ගැනම කල්පනා කරපු නිසලි මහ රෑ දෙකට විතර ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ගේ අවසන් නිගමනේ කොලේක ලිව්වා.
හැමෝගෙම ලේ තියෙනවා. ඒත් පේන්නේ දුප්පතාගේ ලේ විතරයි.
නිසලිට එහෙම හිතන්න හේතුවක් තිබ්බා. දුක් මහන්සියෙන් ක්ලාක් රස්සාවෙන් ගෙදර රෝල ගහන තාත්තගෙන් "ලේ නොපෙන්නන්න" සල්ලි ගන්න නිසලිට හිතුනේ නෑ. ඈත් ඇගේ අම්මත් තීරණය කලා සනීපාරක්ෂක තුවායේ සනීපේ වෙනුවට නවපු කපු රෙද්දක් ඒ වෙනුවෙන් යොදාගන්න. එහෙත් අත්‍යවශ්‍ය දින වලින් සියේට බර ගානකම ලැජ්ජාව, කපු රෙද්ද විසින් නිරාවරණය කරනු ලදුව තිබුනා. අධ්‍යාපනයත් ක්‍රීඩාවත් දෙකම සම මට්ටමක තියාගෙන යන්න නිසලිට හැකි වීමම, ඇගේ උසස් පෙළ අධ්‍යාපනය "පුරාජේරු පාසලකින්" ලබන්නට පිටුවහලක් වුනා. 

සුදු ගවුමේ රතු ලේ පාරක්. "ඒකේ අමුතුම ලස්සනක් තියෙනවා.." සීට් එකේ ඇතුලට යන්නට නිසලිට ඉඩ දීපු තරුණයාගේ කටින් කියවුනා. නිසලිට අතීතය මතක් වෙච්ච නිසා ගවුම දිහා නොබලාම හිතට ලැජ්ජාව ආවා. තරුණයා ඇගෙන් සමාව ඉල්ලුවා. දෙන්නම කතා කලා. හිනත් වුනා. හිනා වෙවී කතා කලා. බස් එකෙන් බැහැලා ත්‍රී වීලරේක ලැජ්ජාව වහගෙන ගෙදර යන්න නිසලිට සල්ලිත් හම්බුනා. අන්තිමට ඔහු නිසලිගේ සුළැඟිල්ලත් තදට මිරිකලා තිබ්බා. එක දිගට ගත වෙච්ච පලවෙනි සතියෙදි නිසලිගේ හිත දිනාගන්න ඔහු සමත් වුනා. දෙවනි සතිය වෙද්දි ඔහුගේ භාවිතය අත් හල ජංගම දුරකතනයක් නිසලිට මහාර්ඝ වස්තුවක් වුනා. මිදුලේ අඹ ගහට පිටුපාලා ඉන්නකොට පේන දම් පාට ඕකිඩ් පොකුරු දිහා බලාගෙන නිසලි ඔහුත් එක්ක කතා කලා. නිසලි කතා කලා. දිගින් දිගටම. එහෙම කතා කරපු මුල් කාලයේ තමන්ගේ අනාගතේ හදාගන්න හැටි ගැන නිසලි ඔහුත් එක්ක හීන මැව්වා. මාස පහක් හයක් ගත වෙද්දි ඇහැට පෙන දම් පාට ඕකිඩ් පොකුරු වලින් හිත ඉවතට ගත්තු නිසලි ඔවුන්ගේ ප්‍රේම කතාවේ වර්තමානය ගැන කියමින් ඔහු හා වැලපුනා. අවසානයේ ඇය තම ප්‍රේමයේ අතීත ගුණ කියමින් ඔහුත් සමග රණ්ඩු කලා. ඒ වෙද්දිත් දම් පාට ඕකිඩ් මල් ඉස්සර විදිහටම පිපිලා තිබුනා. ප්‍රේමය අවසන් වුනා. ඒත් ප්‍රේමයෙන් ඉතිරි වුනු මතක සැමරුම් වෙච්ච විලාසිතා ඈත් සමග එහෙමම තිබුනා. ඈ ඩ්‍රෙස් මේකින් කර තිබුනා. කේක් බේකින් කර තිබුනා. අවසානයේ බියුටි කල්චරින් සමයේ දිවියට එකතු වූ නව මැදි වියේ පෙම්වතා හේතුවෙන් ඈ නිළි මාවතට පිවිසෙමින් සිටියා.

සුදු කලිසමේ රතු ලේ පාරක්. ඈ එය දුටුවේ නිවසට පැමිණියාට පසු. ඇයව නිවසට ගෙනත් ඇරලූ ඇගේ නවමු පෙම්වතා එය දුටුවා දැයි ඇයගේ සිතේ සැකයක් තිබුනා. ඔහුගේ රියේ අසුන් කවර වල රතු පැහැය රැඳී ඇත් දැයි ඇය කල්පනා කලා. එය වඩාත් කැපී පෙනේදැයි ඇය කල්පනා කලා. ඔහුගේ මෝටර් රියේ අසුන් කවර ලා දුඹුරු පැහැ බව ඇයට මතක් වුනේ, පාළු වීදියේ වාහනය නවතා පෙම්වතා ඇගේ දෙතොල් රිදවුව අවස්ථාවේ ඈ නිසොල්මනේ බලා සිටියේ ඔහුගේ හිසට පිටුපසින් වූ ඒ දෙස නිසාවෙන්. ඇගේ කලමණාකරු තනන ලද කාල සටහනේ ඈ දිව ගියා. නවීන පන්නයට ශරීර කවරයම වෙනස් කලත් පෙර පුරුදු කපු රෙද්ද ඉවත් කිරීමට ඇයට හැකි වුනේ නෑ. සනීපාරක්ෂක තුවායේ මහත් අඩු පාඩුවක් ඇයට දැණුනා. වෙනදා දැණුනු බරම ඇයට උවමනා උනා. ඇයට සැහැල්ලුවක් උවමනා වූයේ නෑ. ඇයගේ විලාසිතා උපදේෂකවරුන්ගෙන් එයට බාධාවක් වූයේද නෑ. ඈ පෙර පුරුදු කපු රෙද්දම භාවිතා කල අතර, පෙර ලෙසටම එය විසින් ඇගේ ලැජ්ජාව නිරාවරණය කරනු ලදුව තිබුනා. එක්තරා අමාත්‍යවරයෙකුගේ වක්‍ර අනුග්‍රහයෙන් පැවැත්වෙන සිනමා සම්මාන උළෙලක ඇය පිට පිටම දෙවරක් ජනප්‍රියම නිළිය වීමම සමහරුන්ගේ සැකයට හේතු වුනා. සියලු කසු කුසු එළි පිට කියවන්නට ඉඩ සලසමින් ඈ වේදිකාවක සාරියකින් සැරසී අමාත්‍යවරයාගේ දෑත් ශක්තිමත් කරමින් සිටියා.

සුදු සාරියේ රතු ලේ පාරක්. සාරිය රත් පැහැ වීමට තරම් විශාල වැගිරීමක් ඇතුලතින් සිදු විය නොහැකියැයි ඔබ සිතන්නට ඇති. ඔව් එයින් ඇයත් පුදුම වන්නට තිබුනා. නමුත් ඇයට පුදුම වන්නට හැකියාවක් නුවූයේ ඈ ඒ බව නුදුටූ බැවින්. ඇයට එය විඳීමට හැකියාවක් වූයේ නෑ. ඈ මියැදෙමින් සිටියා. ඈ විසින් දෑත් ශක්තිමත් කල අමාත්‍යවරයාගේ බිරිය යෙදවූ නාඳුනන වෙඩික්කරුවෙකු නිසලිගේ යෝනිය පසා කරමින් වෙඩි තබා තිබුනා. ඇයට එය කණ්නාඩියෙන් බැලීමට නොහැකි වුනා. කවුරුත් එය පෙන්වා ඇයට විහිළු කලෙත් නෑ. ඇයට ඒ පිළිබඳ ලැජ්ජාවක් ඇති වූයෙත් නෑ.

Monday, July 18, 2011

පරිපූර්ණත්වයේ අසම්පූර්ණ එකතුවක්


ඒ කර්කෂ වූ දේශයකි. සුලඟටද සිරුර රත්වේ. පාවහන් රහිත මිනිසුන් වේගයෙන් ඇවිද ගියේ දාච්ච පොලොව දෙපා දවන බැවිනි. සිඟනුන් සෙවනක් අයදිමින් සිටියහ. සිඟනුන්ට සෙවනක් දීමට ඉදිරිපත් වූ ධානපතියෙකු, ඒ සෙවනෙහි හිඳ සිඟන මුදලින් කොටසක් ඩැහැගත්තේය. පෙම්වතුන් අධික ලෙස චුම්බනයට හුරුව සිටියහ. තම අනාගත ගමන් සගයා කෙරෙහි වූ ආදරය හේතු කොට ඔවුනොවුන් ඔවුනොවුන්ගේ දෙතොල් නහවමින් සිටියහ. සියලු වාසීන්ගේ ගත පුරා වූ දුහුවිල්ල පෙම්වතුන්ගේ දෙතොලේ පමණක් නොවූ අතර, විෂබීජ හේතුවෙන් පෙම්වතුන්ගේ රෝගී වීමේ ප්‍රතිශතයද ඉහල අගයක් ගෙන තිබිණි. ලිපිකරුවන් කාර්‍යාල කෙරෙන් මිදීමට අකමැත්තක් දැක්වූ අතර, ඔවුන් ඒ සඳහා ඇඳිරි වැටෙන තෙක් ඉවසා සිටියහ. රස්නය ඉවසාගත නොහී පොලීසිය සහ සමහරෙක් රජයේ ආයතන තාප්ප කඩා සියලු දොරවල් හැර බලා සිටියහ. අතරින් පතර වැහි පොදක් වැටුනු දිනෙක සිඟනුන් තම උපරිම ආදායම ලැබූ අතර, චුම්බනයෙන් හෙම්බත් වූ පෙම්වතුන් පෙම්බස් දොඩන්නටද ඇරඹූහ. ලිපිකරුවන් වේලාසන නිවෙස් බලා ගිය අතර, තාප්ප කැඩුනු ආයතන වල දොරවල් වැසී තිබිනි.

එක්තරා රටක නිෂ්පාදනය උනා ගෑනු නැති චිත්‍රපටියක්. වෙනසක් බලාපොරොත්තුවෙන් හිටපු චිත්‍රපටකාමියෝ ඒ චිත්‍රපටය බලන්න ගියා. ඇත්තටම එය නවමු වෙනසක් උනා. ඒත් ඒ නවමු වෙනස නිසා ඇතිවෙච්ච සතුට චිත්‍රපටය පටන් අරං මිනිත්තු පහලොවක් ඇතුලත සිඳී ගියා. කර පළල් උඩුකය වස්ත්‍රයකින් දෙතනේ කැපුම දැකීම, වෙනසක්  බලාපොරොත්තුවෙන් එහි ගිය රසිකයන්ගේ සිත්වල හටගෙන තිබුනා. පිරුණු වටොරක් දැකීමේ නොතිත් ආශාව ඔවුන් කෙරෙන් ඉස්මතු වෙමින් තිබුනා. බොහෝමයක් ප්‍රේක්ෂකයින් මද අඳුරේ දෙ ඇස් වසාගෙන ඔවුන් පෙර අත්විඳි දෑ යලි යලිත් මවාගන්නට වුනා. ස්ත්‍රියකගේ සේයාවක්වත් නැති චිත්‍රපටයක් විසින් පිරිමි සිතෙහි රාගය ඇති කිරීමට සමත් උනා. චිත්‍රපටය නැරඹීමට ගැහැණුන් කණ්ඩායම් වශයෙන් පැමින සිටියා. ශාලාව අසලින් ගිය වැඩිහිටියන් ඔවුන්ට දෝෂාරෝපන එල්ල කරමින් උන්නා. පිරිමින් පමණක් රඟන චිත්‍රපටය නැරඹීමට පැමිණි බැවින් ඔවුන් ටිකට් කවුන්ටර පෝලිමේ ලේන්සුවෙන් මුහුන වසාගෙන සිටියා. ඔවුන්ගේ සිහින කුමරුන් සැම දෙනා පාහේ එකම චිත්‍රපටයක රඟමින් සිටියා. වෙනදා නිළියගේ දෙබස් කොටසේදී දෙ ඇස් වටපිටාවට යොමු වූවන්ගේ දෑසට අද නිදහසක් තිබුනේ නෑ. දර්ශනයෙන් දර්ශනය ඔවුන් ඒ කෙරේ වශීවෙමින් සිටියා. දෝෂාරෝපන මධ්‍යයේ වුවත් යලි යලිත් චිත්‍රපටය නැරඹීමට පැමිනෙන්නට මිතුරු කණ්ඩායම් අතරේ ඔවුන් ගිවිස ගත්තා. ඔවුන් රාගී දෑසින් ඒ දෙස බලා සිටියා. නොපවතින දේ සහ හිමිනොවන දේ එක හැඟුමක උත්පාදකයන් දැයි මොහොතකට හැඟුනා.

දරුවන් සමාජයේ බොහෝ අවධානයක් ලබන පිරිසක් වෙලා. වයසත් සමග දරුවා ඉදිරියට යාමේදී, අවධානය පමණක් තිබූ තැනම තිබීම හේතුකොට ගෙන "අවධානය" නැමති ඊතලය ඉදිරියට ඊලඟට පැමිණි පිරිස දරුවන් ලෙස අභිෂේක ලැබ වරප්‍රසාද ලත් පිරිසක් බවට පත් කෙරුනා. දරුවන් කෙරෙහි වන අසාධාරණයන්ට විරුද්ධව සංවිධාන බිහිවුනා. වෙනම අමාත්‍යාංශයක්ද වෙන්වුනු අතර එහි ප්‍රධාන ඇමතිනිය ආඩම්බරකාර අම්මා කෙනෙක් වුනා. දිනක් බාලාංශ පන්තියක් අසල ගැවසෙමින් සිටි නන්නාඳුනන්නෙකු ලමෝ සෙල්ලම් කරන දෙස ආශාවෙන් බලා සිටියා. හේ අත තිබූ අවසන් රුපියල් විස්සෙන් දහයක් වියදම්කොට ලබාගත් ටොපි ලමුන් වෙත දුන්නා. ලමෝ ඔහුගෙන් "අයිස් ක්‍රීම්" ඉල්ලා සිටියා. ඔහු අසරණ සිනාවක් මුහුණතට නගාගෙන ලමයින්ගේ මුහුණු අතගා නැගිට යන්නට සූදානම් වුනා. නන්නාඳුනන්නාගේ හැසිරීම දුටු පාලු කපන මව්වරුන් පිරිසක් ඔහුට අභූත චෝදනා එල්ල කලා. ඔහු බාල අපරාධාකාරයෙක් ලෙස හංවඩු ගැහුනා. දිනක් දරුවෙකු තනිවම නිවසේ සිටින මොහොතක එහි පැමිණි දරුවාගේ මවගේ යෙහෙලියක, ඕපාදූප මල්ල එලෙසම තබාගෙන ආපසු යන්නට පිටත් වුනා. එහෙත් දරුවාගෙන් ඊට ඉඩක් නොලැබුණු අතර, එම ගැහැණිය තම යෙහෙලියගේ දරුවාගෙන් අපයෝජනයට ලක්වුනා. මුල පමණක් දැන සිටි දරුවා අගට යන තෙක් උගෙන තිබුනා. එය දරුවාගේ නොදැනුවත්කමට සිදුවූවක් ලෙස සමාජයෙන් ප්‍රත්‍යක්ෂ වූ අතර, දුසිරිත අඩංගු බ්ලොග් අඩවි කිහිපයක්ද සමග ස්ත්‍රීන්ට මාසයක් යන තුරු කොටට ඇඳීමද තහනම් වුනා.

එක්තරා රටක පාවිච්චියට ගැණුනු පොතක වෙන වෙනම පිටු තුනක ලිවීම් තුනක් තිබුනා. මැදියම් රැයත් පසුවී හෝරාවක් දෙකක් යන තුරු පෑනක්ද අතැතිව එම ලිවීම් හී අයිතිකාර ලියන්නා ඒවා දෙස බලා උන්නා. ඒ ලිවීම් තුන එක්කිරීමට ගත් උත්සහයකදී, පරිපූර්ණ දෑයින් තැනුනද ඵලය අසම්පූර්ණ විය හැකි බව ඔහුට සඵථ වුනා. ඔබ කියවා අවසන් කලේ ඒ අසම්පූර්ණ ලියමනයි. ජය!

Thursday, July 7, 2011

කාල රේඛාව අස හිඳ හුන්නෙමි.

12 ශ්‍රී නිසාන් මෝටර් රියක පිටුපස අසුනේ හිඳි තරුණියට, චැලියක අන්තරායේ ගමන් කල තරුනයෙකු ඉඟි කරන්නට විය. ඇගේ පිළිතුරු ඉඟිය ඔහුගේ මනස සුවපත් කලා විය හැක. මා ඌ කෙරේ සතුටු වුනෙමි. ඌ කෙරෙහි වූ අන්තරාය ඇගේ ඉඟියෙන් තවත් වැඩි වූවා විය හැක. ඔවුන් ඉදිරියට ගිය අතර මා කාල රේඛාව අසල හිඳ බලා හුන්නෙමි. දුහුවිලි සුලං හමා ගිය අතර සංස්කරණ ශිල්පියා උදාසීන බවින් යුතුව කැරකෙන පුටුවේ කැරකෙමින් සිටියේය. චලිත පටයේ පාලුව ඉවසාගත නොහී මා, ගෝල්ඩ්ලීෆ් ඇසුරුමේ රන් පත්‍රයේ පසුපස පෑනකින් කුරුටු ගාන්නට විය.

මලින් පිරිනු තුරුනු වතේ
හලින් හලත රසය වෙතේ
තුඩින් තුඩඟ මුව පහසේ
වෙසෙත් සොඳුර නුඹම වෙතේ

චාන්දනී සෙනෙවිරත්න ඇස් මානයට පිවිසියේය. කලු පැහැති කොට්න් උඩ ඇඳුමක් සහ තද පැහැති ඩෙනිමක් හැඳ සිටි ඇය රබර් සෙරෙප්පු කුට්ටමකින් දෙපා සරසා සිටියේය. ඈ, පසුපසින් පැමිණි යමෙකුට බැන වදිමින් සිටියේය. ඒ හඬ තුල ආදරයක් විය. චාන්දනී විශිෂ්ඨත්වය මා දෙ ඇස් ඉදිරියේ පිම්බෙමින් තිබිනි.

"එන්න බදාගන්න"

මෙතෙක් වෙලා පසුපස හිඳ ආදර බැණුම් රස විඳිමින් හුන් ඒ මහත තරුනයා ඈ තුරුලට විය. ඒ කෙට්ටු අස්ථි වටා පිරුනු මහත් වූ ආදරය එම තරුනයා මත දඟලන්නට විය. චාන්දනී සෙනෙවිරත්න මා ප්‍රියතම නිළිය විය.  ඇගේ දක්ෂතාවයට අමතරව, මා ප්‍රියතම රුව ඈ කෙරේ විය. දිගැති කෙට්ටු ශරීරයක් ඇති, පිට මැදට කොණ්ඩයක් වූ, මුහුනු ඉරියව්වෙන් වැඩිපුර කියවන, සරල සුන්දරත්වයෙන් ඇඳිවත පහසුව සලසා ගත්, ආදරය පිරි ගැහැනු රුව චාන්දනීට සහ මා ආදරවන්තියට පොදු විය. මා ආදරවන්තියගේ සුපහස මට දැනෙන්නට විය. රන් පත්‍රයේ පසුපස තවත් ඉඩ ඉතුරුව තිබිනි.

කලට සැලකුම්ද නිසි ආදර පෑය
මලට බඳු පෙම්ද රුව රූසිරු බෝය
නිතර සිටියෙම්ද මගෙ සරි මග ඈය
සොඳුර නුඹ වෙතම පෙම් කෙරුවේ මාය

තරුනයෙකු බිම වැටී කෙඳිරිගාමිනි. ඔහුගේ හිස පසාරු කරගෙන නයින් මිලිමීටර් උන්ඩයක් ගමන් කර තිබිනි. හේ ලේ විලක් මැද මරණාසන්නව සිටියේය. හේ යමක් මුමුණනු මට ඇසිනි. නමුදු මට කාල රේඛාව මතින් පැන එහි යාමට නොහැකි බාධකයක් විය. සංස්කරණ ශිල්පියා දෙ ඇස් දුනි. මරණාසන්න තරුනයා ඉතාලි බසින් කල මිමිනිල්ල සිංහල උපසිරැසි ලෙස චලන පටය මත ඇඳී තිබිනි.

"ම්හ්... මේ මාස හයටම උඹ මට දීපු එකම සැනසීම.. බැල්ලි!"

අඳුරු පසුබිමක යමෙකු නැගී සිටියි. ඔහු වෙත ඉහලින් එල්ල වූ ආලෝක ධාරාවකි. ඔහුගේ අතපය හැසිරවීම, සාත්වික අභිනයන් සහ සියල්ල ජයලත් මනෝරත්න අනුගමනයකි. හඬ පවා එමමය. මතකයට නැගුනේ "සුද්දෙක් ඔ අමතයි" හී මනෝරත්නයන්ගේ භූමිකාවයි. හේ කතාවක් කල අතර කාල රේඛාව අස හුන් මා සමග කැරකෙන පුටුවේ සිටි සංස්කරණ ශිල්පියාද දෙ ඇස් නොහෙලා දෙකන් අයා එය විඳිමින් සිටියෙමු.

"මිනිස්සු! ලංකාවේ චැලියේ ගිය කොල්ලටත්, චාන්දනී එක්ක රඟපාපු තඩියටත්, මැරිච්ච ඉතාලි කාරයටත් ආසාව පොදුයි. කොටින්ම බුදුන්ටත්. සිදුහතුන් ගිහිගෙය හැරියෙත් ආධ්‍යාත්මික සුවයට තිබිච්ච ආසාව නිසා. කටට රහට කෑම කන්න, අරක්කු බොන්න, නිදිවදින්න, ජීවිතේ විඳින්න මිනිස්සු ආසයි. සල්ලි! ඒ ආසාවට මිනිස්සු යා කරන ඊ තලේ වෙලා. හැමදාම හන්දියෙන් කොත්තු නොකා ඇමරිකන් බ'ගර් කන්න, ගල් වෙනුවට ග්‍රීන් ලේබල් වඩියක රහ බලන්න, කොටට අඳින එච්.එස්.බී.සී වැඩ කරන කෑල්ලක් කරන්න, දිලිසෙන්න. බස් දොරෙන්ම බැහැපු උන් ආසයි, බෙන්ස් දොරක් ඇරෙන "ක්ලක්" ගාන සද්දෙ අහන්න. අඩු තරමේ දවස් දහයකටවත් රෝද හතරක් ගෙදරට ගේන්න. එදාටවත් ගෙදර ගෑනි නෑ බෑ නොකියා නයිටිය ගලවයි.. නැද්ද?"

"පයිසෙ හොයන්න මිණී මරන, මරවන, රවට්ටන, කොල්ලකන, නැහෙන, පිච්චෙන එවුන් කියන්නෙ මිනිස්සුන්ට. තිරිසන්නුන්ට සල්ලි වැඩක් නැහැනෙ. අඩුම තරමෙ අත්සනක්වත් නොගහා සල්ලි හොයන්න බෑ; ඒ කියන්නෙ කන්නත් බෑ, බොන්නත් බෑ, නිදිවදින්නත් බෑ. ඒක මටත් පොදුයි. මාත් මට හිතෙන දේවල් මෙතන වපුරන්නේ ගෙදට්ට සල්ලි ටිකක් ගෙනියන්න. නැතුව මේක අහන තමුසෙලට ආදරේට නෙමෙයි."

සියල්ල මැකී යයි. මා පසුපසින් හඬක් ඇසේ.

"සමාවෙයන්. මම උඹව මකනවා. උඹ කියපුවත් එක්කම. උඹේ සද්දෙ එලියට ගියොත් මටත් පයිසෙ නෑ.ලමයින්ට කෑමත් නෑ. ගෑනි ලඟට එන්නෙත් නෑ."

සංස්කරණ ශිල්පියා කැරකෙන පුටුවෙන් නැගිට පිටවිය.

Monday, December 27, 2010

අප්පා ඉප්ප සාප්පාටීංගලා?

මා හාන්සි පුටුවේ ඇලවී හිස ඒ මත කුෂන් කැබැල්ලට බර කලෙමි. මහත් සිසිලක් ගත මෙන්ම සිත පුරාද උඩුදුවමින් ඇත. එකල මගේ දෙමව්පියන්ද පැවසූ ලෙසක දරුවන්ගේ විවාහය දෙමව්පියනට කොතරම් අස්වැසිල්ලක්දැයි දැණුනි. මාගේ විවාහයෙන් පසු මාගේ දෙමව්පියන් කෙරෙන් දුටු ඒ සිහිලස මගෙන්ද විහිදෙනු මට දැණිනි. එහෙත් සිතෙහි යම් කුහුලක් දැනෙයි. ඒ කුහුලක්ද? මා සිස්ටම් එක සුණු විසුණු කරන්නට අණුබල දුනිද? මිතුරන් යමක් සිත්හී සඟවා මා සමග සාමීචියේ යෙදෙන්නේද? පියඹගේ මුහුණෙන් යම් උත්තේජිත තිතක් ඉවත්ව ඇති බවක් මා ඇය දෙස බලන සෑම මොහොතකම සිත කියන්නේ ඇයි? මගේ ලේලිය අඩු පාඩුද? නැත. ඇයට දරුවන් වැදිය නොහැකි බවක් වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත්ද? නැත. තිබූ කුහුලද සඟවමින් ඇය ලේලියක ලෙස මා ඍණෙන් ධනට ඇද ඇත.

ඒ සොඳුරු ආදරය ජාතියකින් යට නොවී මා පුතුට ලැබෙන අපූරුව මා හට සිහියට නංවන්නේ මා ජීවිතයේ වසත් කාලය නොවෙත්ද? රැකියාවට පිටවන මාඅ පුතුගේ අතක් වට කොට ඇගේ අතින් බදා උරිස්සට බරව තොඳොල් වන්නේ තවත් මොහොතක හෝ ලබන උණුසුම ඇයට මහෝඝයක් බැවින් නොවෙත්ද? මොණර නිලැති සාරියද, එය වට කල රත්‍රන් රේන්ද ගෙත්තමද ඇයගේ දිස්නයට වැඩිමනත් යමක් එක් කලේය. පතිනයක් බවට ආඩම්බරයෙන් ඇයගේ පුළුල් නළල් තලය මත වැජඹෙන රතු තිලකය ඒ ගර්වය මෙන්ම කෙතරම් ප්‍රියයක් සිතට නගනවාද? තබන තබන පියවරක් පාසා සළඹ නගන රාවය ඇය තරුණ ලැසි ගමනට කෙතරම් රිද්මයක් සපයනවාද? ඇගේ වැල ගැහෙන දෙකොපුල්, ඉරියව් සහ සුහදකම් මගින් මතු කරවන ලාලිත්‍ය මින් තිස් සතලිස් වසරකට පෙර මා පියඹගෙන් මා දුටු ඒ සොඳුරු ලාලිත්‍යම නොවේද? 

දිනෙක උළුවස්සෙන් මිදුල බලා සිටින මට ඉස්තෝප්පුවේ සොඳුරු රූ රටා දකිනු සිත් විය. මා ඒ ක්‍රමයට අනුගත වෙමින් පැවතීම පිලිබඳ මා හද සියුම් සතුටක් මිශ්‍ර වූ චකිතයක්ද ඇති විය. මීලඟ තෛපොංගල් දිනට පුතු අත එම යෝජනාව එක්කර බැලිය යුතුය. මා හට අවැසි දේ කියන්නට තවමත් සිතේ චකිතයක් ඇත. ඇගේ ඇඟිලි තුඩින් පනින පාට කල හාල් පිටි වලින් නැගෙන හැඩ රටා අප නෙතට සොඳුරු දසුනක් මෙන්ම ඈ සිතටද කෙතරම් සිහිලක් උපදවයිද? මදහසක් නගා ඇය මා වෙත පාන ඇඟිලි පුච්චන උළුඳු වඩේ මාගේ රස නහර පිනවන බව මා පෙර සතියේ ලද අත්දැකීමෙන්ම දනිමි. අද උදෑසන ඈ පිළිගැන්වූ පිඟාන මා පිළිගත්තේ එදාට වඩා ගර්වයෙනි. ඈ මා පුතුගේ බිරිඳයි. මාගේ දියණියක් තරමටම කුළුපග සොඳුරු ලේලියයි. දියණියයි.

ඈ මා පුතු සමග සයනේ සුරතල් වී ලොවට තිළිණ කරන අග්‍රඵලය, මුවින් නගන කිරිකැටි සිනහවක මා දෙමල කම සොයන්නේද? ඒ බිලිඳු කැත කුණු කිසිඳු පැකිලීමකින් තොරව මේ සීයා අත නොගාන්නේද? උප්පැණ්නයේ අග නම මගෙන් පුතුටද, පුතුගෙන් මුණුබුරුටද උරුම වීම මා හට කෙතරම් සතුටක් දනවන්නේද? මාගේ පියාද මේ සතුට විඳීමට සිටියානම් යෙහෙකැයි මට සිතිනි. පොඩ්ඩා විසින් මා හට සීයා කිව්වද, පෙරියප්පා කිව්වද එය මාහට සම සතුටක් කැඳවනු ඇත. මුල නම් සඳහා හුරුබුහුටි සිංහල නමකුත් දෙමල නම් පොඩියකුත් තිබීම ඉතා සුන්දර නොවන්නේද? කුමන නමක් යෙහෙක්දැයි සෙවීමට මා සිත උගහට විය.

  • මිත්‍ර රාජන් ජයවර්ධන
  • හිරූ නෙයොමාල් ජයවර්ධන
  • රචින්ත ශක්ති ජයවර්ධන
පෙරදින අමතකව ඇසුවා සේ "අප්පා ඉප්ප සාප්පාටීංගලා?" යැයි විමසන තෙක් මා ගත හාන්සි පුටුවේම තබා සිටියේය. "තාත්තා දැන් කමුද?" යැයි මෙවර පැණය නැගුනු සොඳුරු සිංහල ඌරුවට මද සිනහවක්ද කට කොනට නගාගෙන මා නැගිට්ටෙමි. ප්‍රියඹද පිටුපසින් විත් මා හා කෑම කාමරය දිහාවට යාමට එක්වූවාය. අතුරුදහන් වූ උත්තේජිත තිත ඇගේ මුහුණේ යලිඳු නැගී තිබුණි.

Friday, November 26, 2010

තැඹිලි කීර්ති


දැන් හවස හයයි. ඇඳේ ඇලවුනේ දෙකයි තිහට උනාට නින්ද ගියේ නෑ. ඇහැ පියවගෙන එයා ගැන හිතුවා. අරයා ගැනත් හිතුවේ නැතුව නෙමෙයි. ඒ අස්සේ මෙයාවත් මතක් උනා. මම නැගිටලා සාලෙට යද්දී මේසේ මැද්දේ ෆ්ලාස්ක් එක තියලා තිබ්බා. අම්මා එහෙම තියලා යන්නේ මට තේක අමතක වෙනවට. "අද තනියම හින්දා වෙන්නැති", මෙච්චර වෙලාවක් මට නින්ද නොයන්න හේතුව හොයපු හිත කිව්වා. ඒ අඩහඳයද දන්නෙත් නෑ. සමහරවිට මගේ නිවුන්නා මගේ ඇතුලෙම ඉන්න නිසා වෙන්නැති මගේ මල්ලි ජීවයක් නැතුව උපන්නේ. බණ අහන්න ගෙදර මිනිස්සු ඔක්කොම ගියපු හින්දා රෑ දහය විතර වෙනකන් මොනවා කරනවද කියලා හිත හිත අම්මා හදලා ගිය කිරි තේක කෝප්පෙට වක්කලා. අම්මා ඒ විදියට කිරිතේක හදන්නේ මට විතරයි. කහට වැඩියෙන්, පිටියි සීනියි අඩුවෙන් තියෙන කිරිතේක අතේ තියෙද්දිත් මගේ කටට කෙල ඉනුවා.


පුරුදු විදියටම මම ඉස්සරහා දත් පේලි දෙක තද කරගත්තා. තොල් ලොකුවට ඇරලා තේ ටික දත් මූට්ටු වෙච්ච තැන් වලින් ඇතුලට යැව්වා. ඒක තමයි මම මෙතුවක් හොයාගත්තු හොඳම රසම තේ බොන විදිහ. ඒ අස්සේ ගේට්ටුවට තට්ටු කරන සද්දයක් ඇහුනා. හරි හෙමීට තට්ටු කලේ; මම ගේට්ටුවත් ඇරගෙන ගියා ඒ කීර්ති අන්කල්. ගේට්ටුවට උඩින් වවපු හාතවාරිය වැලේ කටු අත්තක් මගේ නළලේ ඇනුනා. ඒ කීර්ති අන්කල්. හන්දියේ තැඹිලි විකුණන මනුස්සයා.

අහ් පුතා. . . මේ බුලත් වල සල්ලි ගෙනාවා. බුලත් අත් දහනමයක් තිබ්බා. අත් දෙකක විතර බුලත් විසි කරන්නත් උනා. මෙතන තුන්සියාසූවක් තියෙනවා. මේක තාත්තට දීලා කියන්න අනිත් ටික කඩන්න මම බදාදට එන්නං කියලා.
හරි අන්කල්
ඒ කිව්වේ අපේ අම්මයි තාත්තයි හිටවපු බුලත් වැල් දෙකෙන් විකුණන බුලත් ගැන. ඒ සල්ලි අම්මා වෙන්කලේ පන්සල් වැඩ වලට. මම ඒවට පිං අතේ වැඩ කියන්න අකමැතියි. ඒවා පන්සල් වැඩ. පඬුරු දාන්න, තෙල් මල් ගන්න. වගේ දේ වලට. අපි ඒවා විකුණුවේ කීර්ති අන්කල්ට. නැති තැන තැඹිලි කීර්ති. තැඹිලි කීර්ති තමයි හන්දියේ තැඹිලියි, බුලතුයි විකුණුවේ. අසාධාරණයක් නැති හොඳ මිනිහෙක්. හැබැයි මම ඒ මනුස්සයට වෙන එක අසාධාරණයක් ගැන දුක් උනා.

*****************************************************************
මනුස්සයා නැහිලා නැහිලා සල්ලි හෙව්වේ පුතෙකුගෙනුයි දුවෙකුගෙනුයි ගෑනියෙකුගෙනුයි පිරිච්ච පවුලකට. තැඹිලි කීර්තිගේ දුවයි ගෑනියි මම කලින් ඉඳන් දැනන් හිටියා. හැමදාම උදේට තැඹිලි කීර්තිගේ එහා පැත්තේ කැඳ පොට් එක කලේ තැඹිලි කීර්තිගේ නෝනා. මම දුවව දැනගත්තේ මම උදේ බස් එකට නගින්න ඉන්නකොට කොන්ඩ කරල් දෙක ගොතපු ඉස්කෝල කෙල්ලෙක් තැඹිලි කීර්තිගේ ගෑනිගෙන් කැඳ එකක් බීලා තැඹිලි කීර්තිටත්, ගෑනිටත් වැඳලා යනවා මම පලවෙනියට දැක්ක දවසේ. ඒත් මම පුතෙක්ව නං දැකලා තිබ්බේ නෑ.

මේ මම එන්.අයි.බී.එම් එකෙන් කලින් ආව දවසක්. දෙකයි තිහ වෙද්දිම ගොළුමඩම හන්දියට බැහැලා හිටියා. පුරුදු රුපියල් විස්ස පර්ස් එකෙන් අරගෙන මම තැඹිලි කීර්තිගේ කරත්ත කඩේට ලං කලා. මම ලී තට්ටුව උඩින් විස්ස තියන්නත් කලීන් තැඹිලි කීර්ති මෝරපු නැති තැඹිලි ගෙඩියක කට කපලා අතට දුන්නා. මම පුරුදු විදියටම තනි අත පටලෝලා තැඹිලි ගෙඩිය මූන උඩ තියාගත්තත් ආපහු එකපාරටම බිම බැලුනේ තැඹිලි ගෙඩිය ඉස්මත්තෙන් ඉර එළිය මූනට ආපු නිසා. ඒ වෙද්දි දිලිසෙන බාච්චු ටී ෂර්ට් එකක් ගහලා කොල්ලෙක් ඇවිත් තැඹිලි ගෙඩියක් ඉල්ලුවා. මට සතුටුත් හිතුනා රැප් අහන කොල්ලොත් තැඹිලි බොන එකට. ඒ කොල්ලා තැඹිලි ගෙඩියකුත් බීලා තැඹිලි කීර්තිගෙන්ම රුපියල් දෙසීයකුත් අරගෙන යන දිහා මම බලන් හිටපු නිසා "ඒ මගේ පුතා" කියලා තැඹිලි කීර්ති අමාරුවෙන් වගේ කිව්වා.


එයා මට පිට මිනිස්සු ඉන්න තැන කතා කරන්න කැමති නෑ පුතේ. දන්නැද්ද දැන් කාලේ ළමයි හැදෙන හැටි..
 කියලා පැහැදිලි කරපු ටිකට මට ඒ වෙලාවේ කියවුනේ "හ්ම්ම්" කියලා විතරද කොහෙද.

මේ වෙනකොට බුලත් කීර්ති ගිහින් තිබුනා. මම ආපහු ගෙට යන්න හැරුනා. හාතවාරිය අත්ත ආපහු මගේ නළල හීරුවා. මම මිදුලට අඩිය තියලා ගේට්ටුව වහගත්තා. මම හිතන්නේ ඒ වෙනකොටත් කීර්ති අන්කල් හන්දියට ගිහින් ඇති.

Friday, August 6, 2010

මදහස

සැමදා මා ඇහැරවන තුනවන එලාමයට මා දිරිගෙන නැගී සිටියේ තවත් වරක් එය පස්සට යැවීමට සිත පස්ස ගැසූ බැවිනි. පෙරදින මත තවමත් මා පෙලන මුත් පෙරදින සිත් කාංසි දුරලීම හේතු කොට මත ගැන ඇත්තේ හිතකි.

මිල්ලේ සෙවිය යුතුව ඇත. කෙසේ හෝ සෙවිය යුතුව ඇත. අත් පා නොකඩා සෙවිය යුතුව ඇත. හිතකට දුකක් නොදී සෙවිය යුතුව ඇත. කොටින්ම පොලීසි ගත නොවී මිල්ලේ සෙවිය යුතුව ඇත. මගේ බල්ලත් නොයන පොලීසි. . . එහ්

අඳයට වැඩ කරන කොන්දෙකු බැවින් තවකෙකුට හදිසි වෙනකම්ම ඉවසිය යුතුය.

මුදලා. . ලී..

හ්ම්

ඒ අද වැඩ කරපන් යැයි විධානයයි. පෑ කාලක් යන්නට මත්තෙන් සිරි අයියා ගාල් කෙරූ 7538යේ වාඩි උනේ, ආපහු පුක තියාගන්න ඉඩක් ලැබෙන්නේ දවල් කෑමට බැවිනි.

**********************************************************************************

අයියේ ඉතුරු

දෙන්නං මල්ලී

ප්‍රේමදාස රුපියලකුත් රත්තරං රුපියලකුත් පමනක් ඉතිරිව තිබූ අත ඔහු වෙත පෑයේ පොඩි උන් නහයට නාහන බැවිනි. පිටිපස්සේ හීනියට උන්ගේ බජව්වකි. මගේ එකාද මෙලහට මේ බජව්වම දාගෙන යනවා විය හැකිය. දැන් මුන් මුමුනන්නේ රම්බරීය. මටත් යන්න ඉස්කෝලයක් තිබ්බනං එමෙස් ගේ මුතු මැණික් මුමුන මුමුන යන්න තිබිනි.

කේ හත්සියපනහ තියේද?

හ්ම්ම්

කීයද ?

හයාමාරක්

යකෝ උස්සපුවැයේ ගනං.

පෙරේදා කෝල් කරපු වෙලේ ලොක්කා නාහෙන් ඇඬුවේ කේ හත්සියපනහක ටය.කුඩ්ඩෝ දාහට හමාරට ගෙනත් දෙන එව්වා වෙලත් මුන් විකුනන්නේ පහක් වත් තියාගෙනය.

අම්මප මුන්ට ගහන හෙණත් අපරාදෙ!

**********************************************************************************


කොළඹ කැම්පස් බහින්ඩා. . . !

සිරි අයියා ඉස්සරහට එන්නට සන් කලේ මොකාක් හෝ ටිප් එහෙකට විය යුතුය.

එහ්! කෝට් එක දාගෙන ටිකට් කඩපං ඉක්මනටඃ. ජයසිංහ ලොක්ක ඊයේ කිව්වා අද ටික්කෝ සෙට් වෙනවැයි කියලඃ. මම තව ටිකක් ගහං ඉන්නං, උඹ කඩහං.

පැත්තාට වෙන්ඩා.. කෝ අයින් වෙන්ඩඃ.. ඔය නෝනට බහින්ඩ ඉඩ දෙන්ඩ මහත්තයා.. ටිකට් ගත්තනං ඉස්සරාට යන්ඩා.. මාරු නෑ මහත්තයා.. තව ඉස්සරහ නෝනඃ මම ආවම කියන්නං.. හරේඃ

**********************************************************************************

ටොරිංටන් බීඑමයිසීඑච් ටිකට් ගත්තාට්ටිය බහින්ඩා. . . !


ෂික් පොකට් කාරයෙක්. මේ හැතිකරෙත් සෙට් වෙන්නෙම මේ වෙලාවට. අම්මපා හොඳ හයිය කොල්ලෙක් හොයලා යකඩ පොල්ල අතට දුන්නනං නෙලවන්න තිබ්බා මුගේ ඔලුවේ කිරි කටට වැටෙන්න. තාම අතට හුරු නැති ටිකට් මැෂිම නොපිටට හැරෙයි.

බඩුවක් ටයි මහත්තයෙකුට හඳ පෙන්නන ගමන් ය. අවජාතක වලත්තයෙක් කිරි දෙන අම්මා දිහාට ඇහැ හරෝගෙනය. ජැකාලා වැඩට යන ගෑනු පස්සේ වැටීගෙනය.අම්මපා මේ පොල්ලක් හින්දනේ මුන්ට මේ කැසිල්ල!

බොරැල්ලෙන් සුදාගේ චකාට ටර්න් එකේ ගාන දික්කලේ, අද දවසට සුමේ ඉවර වෙච්ච එක ගැන සතුටු වෙමිනි.

**********************************************************************************


කිරිබත්ගොඩින් බසය බාරදී දෙදාස් පන්සීයත්, බෙදිච්ච මාටි දෙදාහත් ඔබාගෙන බෝඩිමට ගොස්. ෆෝන් එක චාජරයට ගසා ඉහට වතුර කෝප්ප දෙකක් හලාගෙන චොක්කාගේ ඉස්තරං මස් කොත්තුව ලං කරගත්තේ කලින්දා තියපු කාලට පොඩ්ඩක් වැඩි ගල් බෝතලෙත් සමගමිනි.

බොහෝ කලකට කලින් තාත්තා යාලුවෙකුට මිමිනූ පරිදි පලවෙනි ෂොට් එක රහට ගැසිය යුතුය. සෝඩා බිඳක් හලා හුස්මට ගිල දැමූ වීදුරු බාගය බඩ ලඟින් නතර වූයේ මා ඉඳ සිටි නිසා විය යුතුය.

හහ්. . .

මට මදහසක් නැගිනි!

Monday, May 10, 2010

පුංචි විසි දෙකේ මං

මේක ටිකක් පහු වෙලා දැම්මා උනත් මේක දාන්නේ පහුගිය අප්‍රේල් තිස් වෙනිදට ලබපු මගේ විසි දෙවෙනි උපන්දිනේ නිමිත්තෙන්.හොඳ වෙලාවට අප්‍රේල් තිහ ඉපදුනේ.බැරිවෙලාවත් මැයි පලවෙනදා ඉපදුනානං මටත් ඉපදෙන්න වෙන්නේ "ලෝක වාසී කාන්තාවන්ගේ ශෝක දිනය" දවසෙයි.ඒක ශෝක දිනය වෙන්න හේතුව දැනගන්න "මැයි පලවනදා" අනිත් පැත්ත හරවලා බලන්නකෝ.සහෝදරියෝ ටික කේන්ති ගන්න එපෝ.කේන්ති යන්නත් එක්ක කියවන්නකෝ මේක.

සපුරත් දෙවිසි වසරක් ගිහි ජීවිතයේ
නොතිත් කම්කටොළු ඇති වුනි එක කලයේ
අතහැර නොදා මා සමගම සිටි තලයේ
දිරි දුන් සැමට තුති පුදනෙමි මෙම කවියේ

ගෙදර වටපිටද නාලන්දය මෙන්ම
වෑන් එකට, බස් එකටත් පිං වෙන්න
NIBM ද වලකිය සෙට් වෙන්න
සෙට් වුනු බොක්කවල් හට තුති පුදනෙමි ඔන්න

සාපෙට උපෙට සහ අනෙකුත් විෂයන්ට
ටියුටරි තොගයකට ගිය හේතුව වන්ට
ලකුණු නැතත් මා හට ඉන් ගොඩ යන්ට
මිතුරන් පිරී ඇත දිවි මං ගොඩවන්ට

මූණු පොතත්, ට්වීටරයත් සමගින්නා
සයිබර් මිතුරු කැල මා සමගම ඉන්නා
බ්ලොගින් ජීවිතෙත් යහමින් ගතවෙන්නා
උඹලා නැති කලට මට විපතක් වෙන්නා

සොඳුරු කොනිති, ගුටි, බැණුමුත් පිරී ඇතී
මැරියන් නමට මා හද ආදරෙන් වෙතී
මෙතෙකැයි කියා නැති අපේ ආදර කැටිතී
නොදරුවා මෙන්ම දවසක හිර කෙරෙනු ඇතී

අදරින් ලඟට ගෙන මා සනසන අම්මා
සිතින් පමණකිය අපේ අප්පගේ පෙම්මා
දිවිතුරු රැකගතිය ආදර පුත්තම්මා
විසිදෙක සපුරන්න දිරිදුන්නේ සැවොමා

Wednesday, April 14, 2010

Instant අවුරුද්ද


සූරිය මංගල්‍යය ජන කවි සමග තෙද
අවුරුදු කූජනය නැවුමකි ඉතා සොඳ
කොහා නැතත් හඬනට සිට කොළඹ බද
ටෙලියෙන් වැයෙයි ඒ මංගල්‍යයේ නද

විද්වත් මඩුලු රට හැමතැන පොකුරු පිටින්
කියයි අසිරි ඉතිරෙන කිරි මුට්ටි වෙතින්
"වන් ටූ ත්‍රී බම්බල් බී" කියූ කටින්
"එළුවන් කයි" ඊයේ පුරුදුවූ ලෙසින්

බැලු බැලූ අතට ගැමි ජන කෙලි උළෙල් ඇත
ඒවට තෑගි දෙන්නන් තොග පිටින් ඇත
ලාඕජී සමග අලියා බීම මැත
දොඩවයි උනුන් ගුණ කලඳක් නැතුව කැත

තරු පිරිවර නටවති ටෙලියට ගෙන්නා
පොඩි උන්, නටන උන්, ගයනා උනුත් වෙනා
කලාබරිත සංවේදී සියළු දනා
අපිත් බොමුකෝ වීවා සිත් සනසමිනා

පිටි උවමනා නැත තම්බන්නට කැවුම
රබං ඕන නැත සීඩී එක දැම්ම
උණ වෙඩි, කැට ගැහිලි වැනි බොරු ගොං වැඩම
ටෙලියට මූණු දාගෙන ඉමු විසිපැයම

නෑගම් ඕන නැත පෙට්‍රල් පිච්චේයා
ස්කයිප් එකෙන් දිව දිව ගෑ හැක්කේයා
නානු නුවමනයි අපි හර්බල් ගෑයා
අවුරුදු කුමරු හෙට පොලේදි විකිනේයා

Thursday, February 25, 2010

මැරිච්ච වීරයා

මම ෂාරුක් ඛාන් වෙමි.
මම කමල් අද්දරාරච්චි වෙමි.
මම ජෝ, ජිම් කේරි හෝ ගාමිණී වෙමි.

කය සහ රුව එයාකාර නොවුවද
මට ඔවුනට වඩා හැකියාවක් ඇත.

ප්ලාස්ටික් ස'ජරි නොකලත්
මා සිනාසෙන මුහුණක් සාදා ඇත.

කුණු කතා, කුප්ප කතා, විහිළු කතා කියමින්
ඉලිප්පෙන හෙල්ලෙන මුචාගේ මූණත්තහඩුව
යට කඳුළු බිඳු ගැලීමට තැන් නොමැතිව සිටී.

නැවතත් මා සොයාගත යුතුව ඇත.
මීලඟ බ්ලොගට පෙර මම විසින් මා උපද්දවමි.

Friday, December 25, 2009

අදහසක් දෙන්න


අද මට මාර අත්දැකීම් ගොඩක් ලැබිච්ච දවසක්.සමහරවිට මට කලිනුත් ඔය කියන අත්දැකීම් ලැබිලා ඇති;ඒත් අද තමයි තේරුම් ගියේ.මේ කියන අද දවස ගැන දිගට ලියන්න බැරිවෙයි.සමහර දේවල් හංගන්නත් තියෙනවා.ඒකට හේතුව මගේ බ්ලොග් එක මහ ගොඩක් නොකියෙව්වට,කියවන ටික දෙනා මම කවුද කියලා දන්න නිසා.ඒවගේම අද අමුතු සිද්ධි ගොඩක් උනා.එකකට එකක් නොගැලපුනත්. . .ඒවා මාවම හොයාගෙන ආපු ගතියක් මට දැනුනා.මේක ඕගොල්ලෝ කිසිකෙනෙක්ට වැදගත් ලියමනක් නොවෙන්න පුලුවන් (මම කලිනුත් එහෙම එවුවා ලිව්වේ නැහැනේ.).මම ඉතින් අද මුල ඉඳන්ම කියන්නම් දවස ගැන.

අද දවස පටන් ගන්නේ දරුණු හීනෙකින්.ඒක මුලින්ම වෙන්නේ මම මගේ තරහාකාරයෙක් එක්ක දරුණු ලෙස සටන් කරනවා කඩු දෙකකින්.ඒ එක්කම මට ඒ හතුරා පිටු පානවා.ඒ එක්කම මම පිටුපස්සට කඩුවෙන් අනින්න ගියත්,මගේ හිතෙන් ඒක වලක්වනවා.ඊට පස්සෙ කොහොමහරි මම හතුරගේ ඉදිරිපසට පිහියෙන් අනිනවා.හතුරා කිසිම දෙයක් කරන්නේ නෑ.ඒක මට පුදුමයක්.ඒ නිසා මම මූම බැලුවම. . .ඒ මට අතිශය සමීප,මම ගොඩක් ගරු කරන,ඒත් සමහර දේවලට එකඟතාවයන් නැති කෙනෙක්.මට දරාගන්න බැරිවෙනවා.එයා මගේ මූන දිහා බලාගෙන ඉන්නවා.ඒ හිනාවෙල නෙමෙයි..,තරහකිනුත් නෙමෙයි...,හරිම උදාසීන මූනක්.ඔය අද දවසේ මුලින්ම වෙච්ච දේ.ඉතින් ඕක මට දැනෙන විදිහට අනුවමහම මහ අසුබ හීනයක්.මොකද මම කවමදාවත් මගේ මිතුරෙක්ට එහෙම දෙයක් කරන්නේ නෑ.මොකඛරි හිතරිදෙන්න දෙයක් කලත්;එහෙම කරන්නේ අනාගතයේදී වෙන්න තියෙන අනතුරකින් බේරන්න මිසක් තරහකට නෙමෙයි.කොහොමත් ඔය වගේ හීන ගැන සමහරු එක එක දේවල් කිව්වත්. . .මම කොහොමහරි අද තාත්තත් එක්ක පාටියකට යන්න ගෙදරින් එලියට බැස්සේ ඔය ඔක්කොම අමතක කරලා.

තාත්තයි මමයි කාලෙකින් තමයි කතාවකට වැටුනේ.මොකද එයාගේ රාජකාරි වැඩකටයුතු(ප්‍රෝඩාව 1)ත් එක්ක වගේම මගේ වැඩකටයුතු(ප්‍රෝඩාව 2)ත් එක්ක. . .අපිට කතාකරන්නවත් වෙලාවක් නොතිබීම අද අපිට හොඳ අවස්තාවක් අරං දුන්නා.තාත්තයි මමයි මීට කලින් ගොඩක් දේවල් කතා කරලා තියෙනවා.කලාව,ඉගනීම,දේෂපාලනය,වාහන,ගෑණු,අරක්කු,කාමය වගේ. . . .ඔය කියන හැම දෙයක් ගැනම.තාත්තයි මමයි ඒ තරමටම සමීපයි.ඉතින් අද අපි දෙන්නා කතා කලේ විවාහය ගැන.ඒකට ප්‍රධානම හේතුව ඔය කවුරුත් වගේ දන්න "මැරියන්".තාත්තා මොනවා කිව්වද කියලා මට මතකයක් නෑ.ඒත් අද තාත්තා කියපු දේවල් ඇතුලේ ගෑනියෙක්ව තෝරගන්නේ කොහොමද?,විවාහෙට කලින් හැසිරෙන්නේ කොහොමද?,විවාහෙන් පස්සේ හැසිරෙන්නේ කොහොමද?...,ඕන්න ඔය වගේ නානාප්‍රකාර දේවල්තොගයක් මගේ මොලේට රිංගුවා.සමහරවිට මම තාත්තත් එක්ක කතා කරපු වැදගත්ම මාතෘකාව වෙන්නැති.කොහොමහරි ඔය ටික කතා කරන්න අපි පැය එකහමාරක් ගත්තා.ඒ වගේම වෙනද විනාඩි 45න් මොරටුවේ ඉඳන් හෝමගමට යන්න පැය එකහමාරක් විතර ගියාද කොහෙද. . .

හෝමගමින් අපේ නැන්දා කෙනෙක්වත් වාහනේට ගොඩනග්ගගෙන අපි මිරිස්වත්තට ගියා.ඒ තමයි අද අපිට පාටිය තිබ්බ තැන.වෙනදත් අපි ඒ ගෙදරට නත්තල් පාටිය ගන්න ගියාට. . .අද හුඟක් වෙනස්කං වෙලා තිබා.ඒ අපි(හෙවත් නෑදෑයෝ)ට අමතරව තව පිරිසක් එහේ ඇවිල්ලා හිටපු එක.ඒ වගේ මෙච්චර කල් ඩෙල් තඩියකින් වැඩ කර කර හිටපු අපේ අක්කා HP ලැපක් අරගෙන තිබීම.ඒකත් මාරයි. . . .කට්ටියම හලෝ කියාගෙන යන්නේ ලැප ගාවට.එතනට ජේසුතුමා ආවත් ගනන් ගන්නේ නැති සයිස් එකේ.ඊටත් වඩා. . .මෙච්චර කාලයක් ෆිල්ම් බාවපු,සින්දු අහපු,අසයින්මන්ට් කරපු ඩෙල් තඩිය පැත්තකට විසිකරලා.ලැප්ටොප් චාජර් එක දිගාඑරලා දාල තියෙන්නේ ඩෙල් එක උඩ.කොටින්ම කිව්වොත් අපේ අයියගේ ලඟදී ගත්තු VAIO එක(HP එකටත් වඩා වැඩ තියෙන)ත් පැත්තකට ගිය ගානයි.මමත් ඉතිං ඕවා දිහා බලාගෙන හිටියා.දැන් අපේ අක්කගේ ප්‍රධානම අභිප්‍රාය ලැපට රෝස පාට ස්ටිකරයක් ගහන එක.ඉතින් මේක නිසා. . ."ලූලා නැති කලට කනය පණ්ඩිතයා" කියන පිරුළ "ලූලා ඉන්න කලටත් අලුත් කනයා පණ්ඩිතයාලු" ලෙස වෙනස් වෙනවා.හැබැයි දැන් දේශපාලනයට මේක ඈඳාගන්න එපා.මොකද දැන් ඉන්නේ පොඩි මාලු ඔක්කෝම කකා. . .ලූලෝම විතරක් මුලු විලේම වපුරන මාලුවෙක් හින්දා.(දේශපාලණික අදහස සම්බන්ධයෙන් එරෙහිකම් ඇත්නම් එම අදහස් සඳහා සදාහරිතය විවෘතයි.)

ඒ වගේම අද දවසේ අර මම කලින් කියපු පිටින් ඇවිල්ලා හිටපු කට්ටිය (අපිට සාපේක්ෂව) සමග පොඩි ළමයි වගයකුත් ඇවිල්ල හිටියා.ඒ අතර මට ඉඩක් ලැබුනු වෙලාවල් වලදී දැකගන්න හම්බුවෙච්ච විගඩම් ටිකක් පහත ගොණු කරමි.
  • දරුවා රිලවෙකු කිරීම.(නැටීමට බල කිරීම,පපඩම් කියා කීමට අණ කිරීම,ආපු ගමනුත් ප්‍රදර්ශනාත්මක වශයෙන් එතන ඉන්න උන්ට වඳින්නට අණ කිරීම)
  • දරුවාගේ ඇස් ඉදිරිපිට දරුවාගේ මවට පහර දීම සහ දරුවාගේ සහෝදරිය කෙනිත්තීම.(දරුවාගේ ප්‍රතිචාර නැරඹීමේ ආසාවෙන්)
  • දරුවාගේ තොලේ බියර් බිඳක් ගෑම.(මෙය දරුවාගේ මවට හොරෙන් සිදුකරන ලදී)
මෙවන් මෝඩ ආතල් තොගයක් ගන්න ලදී.අවසන උන් සිඟිති ආතල් විඳ විසිර ගියෝය.

එසේම අද දින දරුණු රිය අනතුරු තුනකින් ගැලවුනෙමි.එක රිය අනතුරු තුනෙන් දෙකක් හයිලෙවල් පාරේදී සිදුවන්නට ගිය අතර,අනෙක් එක කොට්ටාව-හොරණ පාරේදී සිදුනොවී බේරුනේ අනූනමයෙනි.මා දැනුදු අන්ධ විශ්වාස දැඩි ලෙස පිලිකෙව් කරන මුත්. . .උදයේ දුටු සිහිනයේ සහ මෙම රිය අනතුරු සම්බන්ධව යමක් බැඳී ඇතැයි හැඟේ.ඕගොල්ලොන්ටත් සිහින සම්බන්ධව අත්දැකීම් ඇති.කරුණාකර නොවලහා කියලා දාන්න.රහස්‍යබාවය බොක්කෙන් රකිමි!

Friday, November 20, 2009

ගුරුවිරුවෝ

කවුරු කවුරුත් මාකට් වෙන මේ මාකටින් ලෝකයේ. . .තමුනුත් මාකට් වෙන ගමන් අපිටත් මාකටින් උගන්නන අපේ මාකටින් සර් කියපු හිතට වැදිච්ච මාකටින් වලින් තොර කතාවක් ඇසුරෙනි.පහලින් ව්‍යුත්පන්න කරන සිද්ධිය උඹ බටයේද ඇත.සියල්ල කියවා අවසන මෙතැනින් එය නරඹන්න.

ගුරුන් නම්
බුදුද වේ. . .පසේ බුදුද වේ. . .
PHD ගැහුවට උගන්නන්ට නොතේරේ. .පසේ බුදු නම් වෙයි
යන්තං ඩිග්‍රිය තිබ්බත් උගන්නන්ට තේරේ. . බුදු නම් වෙයි
සමහරුන්ට වෙයි එසේ

ඇ ඒ ජනපදයේ
කානගී මෙලන් වේ
මේ ඒ සරසවියේ
කලකට පෙර වුනු දේ වේ. .. .

ගුරුගේ නම රැන්ඩි සකී
ඒ බුදු වරයෙකී
බිංදුවයි අටේ සිදුවූවකකී
අහෝ ඛේදයකී!

සිරුරේ පිලිකා පැතිරිනි
තෙමසක් කල් ඉකුත් වෙති
හිතට ගෙන එඩි
මියයන දිනෙත් මොහු ලෙක්චරයේ වෙති. . .

දනිති සියල්ලෝ මෙය අවසානය බව
අවසන ඉගැන්නුවේ කෙසේද අරමුණකට යන වග
ගෝලයන් හා සමකාලීනයන් එක තැනක සිට
හිටියානං මටත් ඇඬේවි පිරිණිවන් මංගල්‍යයක ලෙස. . . .

සැබෑ උත්තම ගුණෙන් යුත් එම ගුරුවරයාට මම කවියකැයි කියාගන්නා මේ කවිය උපහාරයක් වේවා !

Sunday, November 8, 2009

මචං


එකම අවුරුද්දේ.. කුසවල් දෙකක. . .
එකම ඉස්කෝලේ..ඩෙස්ක් දෙකක. . .
එකම කවිය..පොත් දෙකක. . .
එකම දේ..විදි දෙකකට. . .
උඹයි..මමයි. . .

උඹ ගහ එහා පැත්තේ ගිරවා දානකොට. . .
මම මෙහා පැත්තේ ගහක් උරනවා. . .

ඒයි ඉක්මං කරලා දෙවනි ප්‍රශ්නෙට උත්තරේ එවහන් බං. . .
මම තාම නමයි අංකෙයි විතරයි ලිව්වේ. . .

ඔව්වා වෙලා ගොඩාක් කල්නේ බං. . . .
මොකෝ මේවැයේ.. .ඇයි වන්ඩිය කැඩිලද ???

අයිතිකාරයට කැඩුවත් උඹට ටිකට් කඩන්නේ නැහැ යකෝ.. .
ඔය විස්ස ගහගනින් **. . .


මට උඹව බස් අයිතිකාරයටත් වඩා වටිනවා මචං !

Wednesday, October 28, 2009

පඩිය


ඕලෙවල් ගොඩ කරගෙන
ඒලෙවල් කෙලකරගෙන
ඉහල අධ්‍යාපනේට අතගහපු මගේ
එකම හීනේ උඹ. . .

පළවෙනි අවුරුද්ද ෂේප් එකට තිබිලත්
දෙවනි අවුරුද්දත් අනිත් අතට තිබිලත්
ප්‍රොජෙක්ට් එක නැති නිසා
පහුබහින හීනේ උඹ. . .

ටකරමට බොරළු ගහන්නා වගේ ඇහුනත්
අමාරුවෙන් කන්දීගෙන ඉන්න
කොහොමහරි සබ්ජෙක්ට් එක ගොඩදාන්න දිරිගන්වපු
ලොකුම අරමුණ උඹ. . .

මොන ගුණ්ඩුව ගහලා හරි
ඩිග්‍රිය ගත්තොත් කියලා හීනෙන් පෙනුනම
හීනියට හිනාවක් ගිහින් ඇහැරිලා
රෑ පුරා මනෝ ගස්සපු සංසිද්ධිය උඹ. . .

කොරොල්ලා එකෙන් ගෙදර යනකොට
ළමයි දෙන්නව වඩාගෙන ඉන්න මැරියන්ට
කිස් එකකුත් එක්ක
අළුත් බ්ලවුස් එකක් දෙන්න
කවදාහරි උදව් කරන්නේ උඹ. . .

Sunday, October 18, 2009

රෝමය ගිනි අරං


අත්දුටු මිතුරන්,

ඒ මේ අත දිව්වෝය...

දෑත් ඔළුවේ ගසාගෙන හැඬුවෝය. .

රැය පහන් වනතුරු DCSL පිහිට පැතුවෝය. ..

සමහරු කලක් අතුරුදන් වී සිටියහ. . .

සමහරු අරකිට පොල් ගැසුවෝය.. .

අත්විඳි මම වයන්නට වීණාවක් සොයමින් සිටිමි.

Friday, October 16, 2009

පුත්තම්මා.. .


දෙනියාය දුර වැඩි වූයෙන්
පියාගේ මව මොරටුවේ උන් මට..
වැඩිය ලං නොවූවත්. . .

මම අතපයක් හොලවන
සියළු ඇසිල්ලක් පාසා..
මම ඔබේ සෙවනේ. . .

කිරි අම්මා,අත්තම්මා,ආච්චි අම්මා,
ග්‍රැනී,අම්මම්මා වෙනුවට..
මම ම හදාගත්තු නම. . .

පුතාගෙම අම්මා වුනා නුඹ මට
තාමත් එකෙකුවත්..
ඒක පාවිච්චි කරනවා ඇහුනේ නෑ මට. . .

ආඩම්බරයි මම
සිංහලේට වචනයක් අලුත් හොයාගත්තට නෙමෙයි..
වැදුවේ එක අම්මෙක් උනාට
හදන්න දෙන්නෙක් උන්නු එකට. . .

මගේ එකම අදිටන
පළවෙනි පඩියෙන් ෆෝන් ගන්න නෙමෙයි..
අම්මට සාරියකුත් නෙමෙයි
තාත්තට ෂර්ට් එකකුත් නෙමෙයි. . .
නුඹ මේ ලෝකේ ආසාවෙන්ම එකතු වෙන උත්සවේ වෙච්චි
බැඳපු මනුස්සයාගෙයි..එකම පුතාගෙයි..
දාන පිංකම කරන්න. . .

ඉස්සර තරං බදාගෙන මිරික මිරික
ආදරේ කරන්න බැරිවුනත්..
තාමත් මම වලි කන්නේ උඹේ තුරුලේ නිදාගන්න. . .

Tuesday, October 13, 2009

මගේ මැරියන්

ඉස්සර දැක්කේ රොබින් හුඩ්ගේ ගෑනී වගේ.. .
ඉතින් මම උඹට මැරියන් කිව්වා. .
එදා ඉඳන් මගේ හිතේ වීරයා වෙච්ච රොබින්ට ඊරිසියා කලා. . .
ඉනික්බිති ආවා අළුත් රොබින්.. .
ඒකේ මැරියන් සුදුයි මහතයි..ඊරි වගේ.. .
ඒක හින්දා ආපහු මගේ හිතේ වීරයගේ මුල් පුටුව රොබින් ට. . .

දැන් පේන්නේ උඹ ක්ලියෝපැට්‍රා වගේ. . .
එයත් මරු..ඇයි ඉතින් කිරි වලින්නේ නෑවේ. ..
අනේ රෝමය මගේ උනානං.. .
හැමදාම නිදාගන්න කලින් උඹ මට දෙන. . .
කෝලන්(:) එකයි තරුවයි(*) . .
උඹව හොඳින් නිදි කෙරෙව්වට. . .
රැයක් පුරා මාව කිති කැව්වා . . (එහෙම කියලා නොදී ඉන්න එපා.)

උඹ කියලා කතා කරන්නේ හදට ලංවෙලා වැඩි හින්දා. . .
උඹ මගේ පපුවට තුරුල්වෙලා ඉන්න හැටි හිතේ මවාගෙන. .
මට මම ආසම නැති කැරට් උනත් කන්න පුළුවන්. . ..

මූණු පොතට,යාහු එකට,ස්කයිප් එකට. . .
පිං සිද්ධ වෙන්න මගෙත් එක්ක අළුත් ජීවිතයක් ගොඩනගන්න පටන් ගත්තු උඹට. . .
මම මගේ වැඩිපුරම ආදරය කරන අවයවය වෙච්චි බඩටත් වඩා ආදරෙයි !!!

Thursday, September 3, 2009

ලෙක්චරෙක්සෑම් සහ ස්ටඩී ලීව්

ඔවුන්,
එයි..
ස්ලයිඩ් දමයි.. වු
මයික්‍රෆෝනයෙන් බෙරිහන් දෙයි.. න්
කෑගහන්න එපා කියයි..
බනියි..
නැවත බනියි..
ආපහුත් බනියි.. ඩි
ගෙදර ගිහින් පොත් බලපාං. .වැඩ කරපාං. .කියයි.. .
යයි. .

අපි,
එයි..
කයි.. පි
ඇඹරෙයි..
ඈනුම් අරියි..
ආගිය තොරතුරු කියවයි.. පො
රොබෝවන් සේ කියනා දෙයම කරයි..
ගෙදර ගිහිනුත්. .කයි.. ට්
නිදාගනියි..
බීච් එකේ සෙට් වෙයි..
කෙල කරගනියි. නී
.

එහෙව් අපිට ඉතිරිවෙන අන්තිම කාලය තමයි ස්ටඩී ලීව් කියන්නේ.එහෙනං මම පාඩමට යනවා මාසයකට විතර.විභාගේ මේ මාසේ දාහතර වෙනිදා පටන් ගත්තහම ලබන මාසේ නම වෙනිදා වෙනකන් තියෙනවා.ඉතිං මම ටික කාලෙකට විතර මේ පැත්තේ එන්නේ නැති වෙයි.ආපහු මම එන්නේ ටොපියටයි සදාහරිතෙටයි කරුණු හා අත්දැකීම් ගොඩාක් අරගෙන.එතකං මේක කියවපු නොකියවපු සිංහල බ්ලොග් සංසදයේ සහෝදර සහෝදරියන්ට සහ මගේ අනෙකුත් සියළු මිතුරන්ට බුදු සරණයි ! (මගේ ආගමට අනුව)

Friday, August 21, 2009

පිය සෙනෙහසට බ්ලොග් ළිපි ලියැවුනා මදී. .

මෙහෙම කිව්වහම පිය සෙනෙහස ගැන බ්ලොග් ළිපි ලියපු සහෝදර සහෝදරියෝ මගෙත් එක්ක පුෂ්පය පන්න ගන්න එපා.ඉස්සර පාරකදී කවුරුහරි මුණගැහුනම හෝ ගෙදරට ආවම මුලින්ම අහන්නේ "පුතා වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද ?" කියන එක.ඒ ප්‍රශ්නය මහ බලුම බලු ප්‍රශ්නයක්.ඒ ප්‍රශ්නෙට පුළුවන් පවුල් අවුල් ඇතිකරන්න.ඒ ප්‍රශ්නෙන් තනිකරම සිද්ධ වෙන්නේ දෙමාපිය විරසක වීමක්.ඒ මම හිතන විදිහට.සමහරු මාත් එකඟ වෙන්නේ නැතිවෙන්න පුළුවන්.ඒත් මම හිතන විදිහට දෙමව්පියන්ගෙන් කෙනෙකුට තමුන්ගේ දරුවාගෙන් ඒකට සෘජු පිළිතුරක් ආවෝතින් ඔවුන් එක්කෙනෙකුගේ හිත යම් තරමකට රිදෙන්න පුළුවන්.අපි හැමෝම මිනිස්සුනේ ඉතිං. . .ඒ නිසා මම හිතන විදිහට ඒ ප්‍රශ්නය කට තියාගෙන ඉන්න බැරුවට ඇහුවට එච්චර හොඳ ප්‍රශ්නයක් නෙමෙයි.මේ වැරැද්ද පාසල් බාලාංශ ගුරුවරුත් කරනවා.ඉතිං මේ ප්‍රශ්නෙට පොඩි එවුන් හැම එකාගෙම උත්තරේ "මම දෙන්නටම ආදරෙයි".

පිය සෙනෙහස ගැන කියන්න ගත්තට මොකද දෙමාපියන් සම්බන්ධව කතා කරද්දී සමාජය ඇතුලේ සිද්ධවෙන පලවෙනි වැරැද්ද ගැන කතා කලා වැඩිද මන්දා.මේක මම ලියන්න ගත්තේ මගේ තාත්තාගේ උපන් දිනේ දවසේ.ඒ කියන්නේ අගෝස්තු දහසය වෙනිදා.මේ ළිපිය ලියන්න උදාහරණ විදිහට ගන්න සහ ප්‍රධාන භූමිකාව මගේ පියාට දී තිබීම ගැන සමාවෙන්න ඕන.එහෙම කලේ ඇස් ඉදිරිපිට මට දකින්න තියෙන උදාහරණේ එයා නිසා වගේම මේ ළිපිය පුදකරන්නේ මගේම පියාට නිසා.

මම එයාගෙන් දැකපු ගොඩාක් හොඳ ගුණාංගයක් තමයි එයා මගේ සුළු වැරදි වලට දරුණු ලෙස බැන්නත් මගේ ලොකු ලොකු වැරදි වලට පොඩ්ඩක්වත් බනින්නේ නැතුව ගොඩාක් වෙලා උපදෙස් දීපු එක. .එහෙමත් නැත්තං හොඳින් කියපු එක.ඇත්තටම ඒදේ බැන්නට වඩා මගේ හිතට වැදුනත් ඒ දෙයින් මගේ හිතට කේන්තියක් ආවේ නැතුව. .මම පුළුවන් තරම් පෙළඹුනේ මම කරපු වැරැද්ද හදාගන්න.ඒ වගේම තවත් දෙයක් වුනේ එයා ඕනම දේකට මාව දිරිමත් කරන විදිහ.මාව පළවෙනි පාරට ජාතික කෞතුකාගාරෙට එක්ක ගියාට පස්සේ. . .ඒකේ හිටපු මිනිස්සු ඒකේ පින්තූර ගන්න හැටි දැකලා;මට ඇතිවෙච්ච ආසාව ගැන ඉවෙන් වගේ දැනගෙනමට Sony 4.1 මෙගා පික්සලිත කැමරාවක් ගෙනත් දුන්නා වගේම අපි නෑදෑ ගෙදරක ගියත් "කැමරාව අරගෙන යමු කියලා කිව්වෙත්" ,ඒ වෙනකොට එච්චර ෆොටෝ ගත්තේ නැතත් ලඟ තියෙන කොට ආදරේ වැඩිවෙයි කියලා වෙන්න ඇති.පස්සේ කාලෙක මගේ කාමරේ ඉඳලා සාලෙට ආවත් කැමරාව අරගෙන එන තරමට මට ආසා හිතුනෙත් ඒක හිඳා වෙන්න ඇති.ඒකට මගේ ඔරිජිනල් මූණු පොත් අඩවියේ "නිකමට" ඇල්බමය සාක්කි.බලපු එවුන් දන්නවා ඇති නෙව,ඒකේ තියෙන්නේ මගේ සාලේ තියෙන දේවල් සහ වෙනින් නිකමට ගත්තු දේවල් විත්තිය.

ඒ වගේම කොහේ හරි පාටියකට හරි උත්සවයකට ගිහිල්ලා ආවත් එයා හොඳ තැනකින් කාලා එන නිසා අපිට නොකා ඉන්න කියලා එන ගමන් මග කඩේකින් මොනවා හරි අරගෙන එන දවස් වගේම. . .එහෙම ගේන්න බැරිවුනොත් එයත් රෑට ගෙදර ඇවිල්ලා ආපහු කන දවස් එමටයි.ඒ වගේම මෙච්චර අවුරුදු 21ක් වෙච්ච මට හැම පඩි අරගෙන එන දවසකම;මම රස විඳපු දවසේ ඉඳන් අදවෙනතුරු වගේම මැරෙනතුරුත් කන්න කැමති Giselle චොකලට් එකක් අරගෙන එනවා.ඒ වගේම පිටතට නොපෙන්නුවට තාත්තා කෙනෙක් හුඟක් සංවේදියි.මම ඒක හොඳටම තේරුම් ගත්තේ,මම පෝඩ්ඩක් බීලා ගෙදරට ආපු දවසේ (ඇත්තටම පළවෙනි දවස නෙමෙයි. .අහුවෙච්ච පළවෙනි දවස. . .) මට ඒවෙලාවේ වචනයක් වත් නොකිව්ව තාත්තා අම්මට කියලා අම්මා බනින එක නතර කරවලා මට දෙහි එකකුත් හදලා ගෙනල්ලා දුන්නා.අම්මා මට පස්සේ දවසක කිව්ව විදිහට අම්මයි තාත්තයි එදා රෑ ඒක ගැන කතා කරනකොට තාත්තට කඳුළු ආවලු.

හොඳ රසාඥතාවයක් තිබිච්ච අපේ තාත්තා මම පොඩි කාලෙදි මාව ලංකාවේ ඒ වෙනකොට තිබිච්ච රෝයි ද සිල්වා ගේ අවර ගනයේ විගඩම් බලන්න ගෙනියන්නේ නැතුව හොඳ පණිවුඩයක් දීපු දේශීය නාට්‍ය පෙන්නන්න එක්කගෙන ගිහිල්ලා. . . බලලා ඇවිල්ලා ඒ නාට්‍ය ගැන මගෙත් එක්ක කතා කරපු දේවල්..මගේ බ්ලොග් පිදුමේ සඳහන් කරලා නොතිබ්බට ටොපිය සහ සදාහරිතය සම්බන්ධව විශේෂ ස්තූතියක් මගේ තාත්තටත් හිමිවෙනවා.සදාහරිතය පටන් ගත්තු අළුත ඒකේ ළිපි ගැන අදහස් දක්වමින්. .සහ එයාගේ රැකියා ස්ථානයේ කට්ටියගේ අදහස් දක්වමින් අපිව දිරිගන්වපු විදිහ.

මම විශ්වාස කරන විදිහට නං. . .පිය සෙනෙහසට ලියවෙච්ච හොඳම සහ හිතට වදිනම ගීය තමයි ජිප්සීස් සංගීත කණ්ඩායමේ "තාත්තා මට ඇනපු ටොක්ක" ගීතය.මම ඒක එක පාරක් මගේ තාත්තා ඉස්සරහා කියලා තියෙනවා(ගායනා කරලා එහෙම නෙමෙයි..).ඒ එක පැදුරු සාජ්ජයකදී.මොනවා වුනත් මම මගේ ජීවිතේ අම්මාට වැඩිපුරම ආදරේ කරාට. .දෙවනියට මම මගේ පාසල් මාතාවට ආදරේ කරාට. . .මම අදටත් හැමදාටමත් වැඩිපුරම ගෞරව කරන්නේ මගේ තාත්තාට.

Sunday, August 16, 2009

මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නං නෙවෙයි. . .

මේ ළිපියට මුලින් දාලා තිබිච්ච නම තමයි අද දවස.මේක සතියක් පරක්කු නිසාත්,අද දවස කිව්වම නිකන් ජ්‍යෝතිෂය පැත්තට බරයි වගේ දැනෙන නිසාත් එම්.එස්. මහත්තයගේ සින්දුවක කෑල්ලක් සංස්කරණය කරලා දැම්මා.ඔන්න ඉතිං මෙහෙමයි ගිය ඉරිදා කතාව.ඒ මදිවට දුකා අයියාගේ කථා කියවලා . . .කථාව මැද්දේ දිගට හරහට තිත් පේළි.හැබැයි ඒකත් මරු වැඩේ.ඒකේ ලොකු හැඟීමක් තියෙනවා.

සුපුරුදු පරිදි පාන්දර 11ට විතර නැගිටලා තත් තුනක් විතර තිබිච්ච ගිටාරයෙන් සරිගම කකා ඉන්නකොට අපේ ගෙදර බුදුන්ගෙන් නියෝගයක් නිකුත් වුනා.
"කිරි එක බීපාන්. . . "
මමත් ඉතිං සුනඛයා වගේ ඒක බොන්න කියලා කුස්සිය පැත්තට ඇදෙනකොට පියාණෝ මහා කැත හිනාවක් දාගෙන කාමරේට ගියා.මලහතිල්ලව්වයි. . සරොං කටට වඩා ලොකු හිලක් මගේ සරම මැද්දේ වැජඹෙනවා.ගැලෙව්වා සරම. . ඇඳගත්තා ෂෝටක්.බිව්වා කිරි එක.ආවා කාමරේට (පියාණෝ කියන විදිහටනං ගුබ්බෑයමට).ඉරිදා දවසනේ. . .දැම්මා ඔළුව ටීවී එකට,අක්කා නගෝ ඉන්නවද බලන්න.එතකොට උං දවල්ට කාලා බුදිලු.මම ඒක දාද්දී දොලහමාරට විතර ඇති.මොකද්දෝ හින්දි කුණුහරුපයක් තියෙනවා කියලා තිබ්බත්,මම ඔය කෙහෙල්මල් බලන්නේ නැති හින්දා ගියා මූණු පොතට ඇබ්බැහි වෙන්න.ආතල් එකේ වත්තකට පැනලා පලතුරක් කඩාගෙන ඉන්නත් පුළුවන්නේ.

දෙයියනේ කියලා නදීක ගුරුගේ ගේ උත්ථානය අහගෙන ඉන්නකොට ලිලානයගෙන් කෝල් එක ආවා ගයානයගේ ගෙදර යන්න ලෑස්ති වෙයන් කියලා.බුදු තාත්තේ. . ඊට පස්සෙනේ මතක් වුනේ ඌ ගෙදරට ගෙවදිනවා කියලා.ඉතිං උගේ අපාය සහය මිත්‍රයෝ වෙච්ච අපි නොගිහින් බැහැනේ.අපිත් ඉතිං පොඩ්ඩක් හරි ගෙදරට ගොඩවදින්න එපැයි.දවල්ටත් බත් පාරක් කාලා,රුපියල් දාහකුත් ගෙදරින් කොටාගෙන ලිලානයයි මායි ආපිකෝ එක ළඟදියි සෙට් වුනා.ඉතිං ආපිකෝ එක ඇතුලේ රවුමක් ගහලා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා රුපියල් දාහකට බිත්ති ඔරලෝසුවක්.අනේ හැබෑටම මෙහෙමත් නාටක කියලා. . .දෙන්නා ගාවම පන්සීය ගානේ ඉතුරුයි.ඕක ගෙදර ගෙනිච්චොත් තාත්තගෙන් බැණුම් අහන්න වෙනවානේ. .සමහරවිට ගුටිත් කන්න වෙයි(මොකෝ හිනාවෙන්නේ ?).ඉතිං ගියා රැජිණ කැෆේ එකට.ඒවටත් ගැලපෙන්න නං දානවා නේද. .කැෆේ නෙමෙයි කැපේ.අපිත් සබ්මැරීන් දෙකක් ගිලලා පෙප්සි දෙකක් ඇදලා දාලා. .දෙයියනේ කියලා රුපියල් අටසීයක් ගෙවලා ආවා.

ඊට පස්සේ ඉතිං පුරුදු පරිදිම තියෙන දුරම පාරෙන් උන්ගේ ගෙදරට ගියා.ගිහිල්ලා ආපහු පාරක් කෑවා.කාලා කූල් ඩ්‍රින්ක්ස් දෙකකුත් බිව්වා.යාළුවෝ කියන කතාව හරි.මට තියෙන්නේ රබර් බොක්කක්(කන්න කන්න ඇදෙනවා).ඕන්න ඉතින් සුපුරුදු පිස්සෝ සෙට් එක සෙට් වුනා.ඔමා,මම, චංකයා,ලිලී,ජෝන්,ගයියා සෙට් වෙච්ච තැනක පාළු නෑ.බිව්වෙත් නෑ.බෙඩ්ෂීට් පාටියකුත් දාලා මහන්සි හින්දා අටට විතර රෑට කෑවා.කෑවා කිව්වට කෑවෙම නෑ ගිල්ලා.ෆ්‍රයිඩ් රයිස්,චිලී චිකන්,චොප්සුඉයි,චිලී පේස්ට්. .ඊට පස්සේ දැවිල්ල හින්දා වටලප්පං පෝඩ්ඩකුත් කෑවා.

ආපහු බෙඩ්ෂීට් පාටියකුත් දාලා. . බොරු ටිකකුත් කියලා. . . ගෙදරට මංගැච්චුවා.චංකයාගේ වාහන එලවිල්ලත් හොඳ හින්දා අවුලක් නැතුව දොලහා වෙද්දී ගෙදර ආවා.ඊට පස්සේ ඉතින් මාතෘත්වයෙනුයි,පීතෘත්වයෙනුයි අහපු බැණුම් ගැන ලියන්න ඕන නෑ.හොඳකට තිබ්බේ මගේ මැරියන් බැනපු නැති එක විතරයි.