"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Thursday, February 10, 2011

බිසී වීමම . . .

කොයියෝගේ මිනිත්තු එකොලහ අවසන් අඩියට පැමිණ  ඇත. කොට්ටය ඇඳ විට්ටමෙන් උස්ව තබාගෙන අවසන් පිටු දෙකද කියවා හමාර කලෙමි. වෙනදා පුරුදු පරිදි පොත පසෙක තබා සරම ලිහුවද; සිතක් නැත. එයට සිතක් නැත. ඒ පොත නිසාදැයි නොදනිමි. නමුදු මට ගැහැනුන් අප්‍රිය වී නැති බව පමණක් දනිමි. ලොවටම තිබූ එකම එළියද නිවා සිරුර ඇඳෙහි මුදා හලෙමි. හොඳ හුස්ම උගුරු තුනක් නහයෙන් ගිලගත් පසු සිරුර තුල වූ සියලු ජීවී අංශු ඇඳට ලම්බකව සිරුරේ අඩියට වැටෙනු දැණිනි. ඒ ආතල් එක තුල මම බිසී වීමි. එම මොහොත තුල දුරකතනය නාද වීම මට කරදරයකි. දොරට තට්ටු වීම වදයකි. විදුලි විසංදිය මල වදයකි. පැහැදිලි කලහොත් අනෙක් පසට හැරීමටත් නොහැකි තරමට ඒ ආතල් එක තුල මා බිසී වී ඇත.

පසු දින ඉරිදාවකි මා උදෑසන ඇහැරී ඇත. පාන්දර වැඩි බවක් නොදැනීමම දවසට සුබ ලකුණකි. සුපුරුදු ක්‍රියාව ලෙස කැමරාව සුවෙන්දැයි බැලීමි. අතට ගෙන සකසා එහි සුවඳ බැලීමි. පෙර දින වූ සුවඳම එහි ඉතිරිය. මිදුලේ ගහක් කොලක් නෑරම මතකයට ඇල්ලුවෙමි. කාලය ගෙවීම සහ ලෝකය කැරකීම හේතු ගෙන  සෑම රූපයක්ම අනිකට වෙනස්ය. රූපයකට රූපයක් වෙනස් වීමට තවත් උප හේතුද බලපායි. අත් වෙව්ලීම, සුළඟ සහ සෙවනැලි පවා රූපයකට රූපයක් සම නොවීමට උඩ ගෙඩි දෙයි.
[මේ එක් තත්පරයක් තුල ගත් ඡායාරූප හතරකි(4fps).]

රූපගත භාවනාවක් මා ගිලී ඇත. විටෙක ISO සකසයි. විටෙක ෂටර වේගය බෙහෙවින් අඩු කරයි. කැමරාව තුල විකාර රූප චිත්‍රණය කරයි. එළිමහනක කැමරා භාවනාවක බිසී වී සිටින මට වැස්ස දේව ශාපයකි. තේකක් ගෙන ඉදිරියට එන අම්මා, කැමරාවක් තුල රාජ්‍යයක් තනා සිටින මට පහර එල්ල කරන පරදේසක්ක්කාරයෙකි.

පරිසරයෙන් මුදාහරින දැඩි සීතල හේතුවෙන් රස්නයක දැඩි අවශ්‍යතාවක් නැගින. සිතද ගතද ඉල්ලන්නේ ඇයයි. එහෙත් ඈ දැකීම අපහසුය. රුපියල් විසිපහක දුර ගෙවා යා යුතුය. මා පියන්ද රැකවල්ලා සිටී. සිත් කොනට අනියමී තට්ටු කරන්නට විය. දින දෙකකට පෙර හිතමිතුරු සෙට්වීමක අවශේෂයක් පොත් රාක්කය පිටුපස හිඳ බැලුම් හෙලන්නට විය.
කඩෙන් වැඩමවූ ස්ප්‍රයිට් බාගයක් සමග එකමුතුවූ තවත් ජාති කිහිපයක් මා බිසී කරමින් ඇත. ගිටාර් බඳට වදින තට්ටුවෙන් නැගෙන සිහින් තාලයක් සමග සිරුරද මනසද එක්තැන් කොට සමරන මහා නිදහසට මා වහල් වී සිටිමි. ඇගේ දෙ අතට මැදිව ඇගේ හෘද සඵන්දනය විඳීමේ ආහ්ලාදය මනසේ රූපගත වෙමින් ඇත. මෙකල බාධා නොවිය යුතුයැ. මෙකල බාධා නොකල යුතුයැ. කියවා ඇති ලෙස විඳීම් ඉන්ද්‍රජාලිකය. ඉන්ද්‍රජාලයේ ගිලී ඇති විට කූද්දනු ලැබීම කුපිත කරවයි. මා බිසී වීමට විධි සොයමින් ඇත.

ආදරය සුන්දර වරදක් නොවේ. එය ආශ්වාදනීයය. හේ අත්දැකීම් ගෙන එයි. පෝෂණය කරයි. සතුට දැන්වීමේ උපරිමය මවයි. වැටීම් බිඳීම් පාඩම් කියා දෙයි. ආදරයේ මුල් පාඩම් ජීවිතයේ ඉදිරිය තනයි. ආදරය විඳවිය යුතු නොහේ. ආදරයේ චැප්ටරයන් තුල එකිනෙකට වෙනස් සිහිවටන ඉතිරි කරයි. නාම පද, ක්‍රියාපද, විශේෂණ පද බොහෝමයකි. මා ආදරය නැති කල එය හඹා යයි. ආදරය මත ඇති ගැලපීම් සොයා ඒ සඳහා ජීවත් වෙයි. ආදරයේ සොඳුරුතම අවධියක් මා ගෙවමින් හිඳිමි. ඈ මැණික් සොයයි. විටෙක උණ බලයි. නොයෙකුත් සුරතල් වීම් මැද අප එකිනෙකා කෙරෙහි හැඳිනිමින් සිටිමු. ආදරය තුල අනාගතය, රතිය සහ සමාජය; සකසමින්, පාලනය කරමින් සහ හැඳිනගනිමින් සිටිමු. ඈ හා එක්ව ගොඩනගන ආලය තුල මා බිසී වී ඇත. කෝපය උලුප්පන ඕපාදූප කටවල් මැද අප අපේ ආලයේ කාර්‍යබහුලය. බාධා නොකරනු මැන.

ගීතය. එය රුධිරගතව ඇත. සිතට එකඟ අදහසකට රිද්මය දෙන කනට මිහිරි නද මට අතිශය ගීතවත්ය. විරහවද රසයකි. පෙර කිවූ පරිදි අත්දැකීමකි. ගීත, අත්දැකීම් අවුස්සයි. නෙත් අයවයි. තොල් වියලි කරයි.

  • උණුහුම මත හෙමිහිට අඩි තිය තිය.. තාලෙට ඇවිදින්නේ ඔබ කොහොමද..
  • පෙනෙයි සඳේ සේයා සඳ පායා.. හද අරං ගියා මගේ රත්තරං මායා..
  • රතු හැට්ටේ පළල් මදි දෙතන පෙනෙන්නට.. තිසරුන් ආසයි මුහුන බලන්නට..


මේ සිරිලක වෙනස් තාලවලට, වෙනස් කාණ්ඩ ඔස්සේ එකම වස්තුවක් පිලිබඳ තෙවිදියකට නොහොත් රාමු තුනකින් ගැයෙන ගී තුනකි. ඔබට මේ මත බිසී විය නොහැකිද?

බිසී වීමෙහි අග්‍රඵලය මුදල් හෝ දහදියම නොවේ. . .

ඒ මාගේ මතයම පමණකි. වෙනස් අදහස් ඇත්නම් දක්වන්න. ජය!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

22 ක්ම තියෙනවා අදහස්:

Supun Sudaraka said...

මචන් මේක මාර ලිවිල්ලක්. මට කියන්න දෙයක් තේරෙන්නෙ නෑ. හැබැයි උඹ ලියල තියෙන මේක,

"ආදරය සුන්දර වරදක් නොවේ. එය ආශ්වාදනීයය. හේ අත්දැකීම් ගෙන එයි. පෝෂණය කරයි. සතුට දැන්වීමේ උපරිමය මවයි. වැටීම් බිඳීම් පාඩම් කියා දෙයි. ආදරයේ මුල් පාඩම් ජීවිතයේ ඉදිරිය තනයි. ආදරය විඳවිය යුතු නොහේ. ආදරයේ චැප්ටරයන් තුල එකිනෙකට වෙනස් සිහිවටන ඉතිරි කරයි. නාම පද, ක්‍රියාපද, විශේෂණ පද බොහෝමයකි. මා ආදරය නැති කල එය හඹා යයි. ආදරය මත ඇති ගැලපීම් සොයා ඒ සඳහා ජීවත් වෙයි. ආදරයේ සොඳුරුතම අවධියක් මා ගෙවමින් හිඳිමි. ඈ මැණික් සොයයි. විටෙක උණ බලයි. නොයෙකුත් සුරතල් වීම් මැද අප එකිනෙකා කෙරෙහි හැඳිනිමින් සිටිමු. ආදරය තුල අනාගතය, රතිය සහ සමාජය; සකසමින්, පාලනය කරමින් සහ හැඳිනගනිමින් සිටිමු. ඈ හා එක්ව ගොඩනගන ආලය තුල මා බිසී වී ඇත. කෝපය උලුප්පන ඕපාදූප කටවල් මැද අප අපේ ආලයේ කාර්‍යබහුලය. බාධා නොකරනු මැන."

මාව ඇඬෙව්වා. :)

මරු මචන්!

පිටස්තරයා said...

නියම විඳීමක්... ඒ විදියටම අකුරු වලට හරවන්න උඹෙ තියෙන දක්ෂතාවය නියමයි මචං. අලසව එක තැනකට වෙලා හිත විතරක් වැඩ කරන ආතල් එක සමහර වෙලාවට විඳල තියෙනවා. උඹ කියනන විදියටම ඒක අමුතුම දෙයක්. වෙන දේවල් වලින් විඳින්න බැරි ආතල් එකක්.

කැමා දැන් මගෙත් මූලිකම දින චර්යාව වුනා. උදේ පාන්දර බබා බලන්න තමයි යන්නෙ :)

hare :-) said...

මටත් මුලින්ම කියන්න තියෙන්නෙ පිටස් කියපු එක තමයි. මේක මේ විධියටම කරන්න පුළුවන් තව එකෙක් ඉන්නවා නෑෂ් නෝඩ් කියලා මලීගෙ බ්ලොග් එකේ. අනිත් එකා උඹලත් එක්ක උණවටුණෙ ගියා දාර්ශනික ටී ෂර්ට් එකක් ඇඳන්. හැඟීමක මොහොතින් මොහොත අකුරු කරන මම දන්න උන් තමයි ඔය.

සුපුනට ඇඬුන එක වගේම එකකට මටත් ඇඬුණා...

" සිතද ගතද ඉල්ලන්නේ ඇයයි. එහෙත් ඈ දැකීම අපහසුය. රුපියල් විසිපහක දුර ගෙවා යා යුතුය."

යකෝ මම රුපියල් තුන්සීයකටත් වඩා ගෙවල ඇවිල්ල තවත් එකසිය පණහක් විතර දෙන්න ඕන ඔය ආතල් එකේ බිසි වෙන්න.. ඔහෑ....

අර සින්දු තුනෙන් එකයි තුනයි මගේ ප්‍රියතම. :P දෙක නං ෂුවර් නෑ... නීලා කියන එකක් වගේ මතකයි...

කැමරා ගැන කියන්න තියෙන්නේ... නෙද්දකින් මේ ඩිජිටල්!

Uditha Umesh said...

"....ඈ හා එක්ව ගොඩනගන ආලය තුල මා බිසී වී ඇත...."

සුපිරි මචං, කොල්ලෙක් නිකන් ඉන්නකොට පිටින් ඉන්න කෙනෙක්ට ඌ මහ කාලකණ්නියෙක් වගේ පේනවා. කාලයක ඔය ආතල් එක මම වින්දත් දැන් ඒ පිණ මට නැහැ. මම ජීවිතේ ගැන එළඹුනු වැදගත් නිගමන බොහොමයක් ගත්තෙ ඔය "නිකන්" ඉන්න කාලෙදි තමා..

කෙල්ල්ගෙ ලෝකෙ, දෙමව්පියන්ගෙ ලෝකෙ, ඉගෙනීමෙ ලෝකෙ හා රස්සාවෙ ලෝකෙ විතරක් නෙවෙයි මට දැන් ග්‍රහ ලෝක එක්කත් ගැටෙන්න වෙලා තියෙන්නෙ..

ඔය ඔක්කොම එක්ක මම බිසි..

ඒත් මම මට බිසී නැහැ..

Pirate Bunny said...

මං දන්නැ ඔව්වා..

Raven said...

සිරා සටහන.

එකම රූපයක් එක විදිහකට නෑ. වෙනස් වෙන හෑම රූපයක්ම වෙනස් විඳීමක් ගෙන එන නිසා ඒකත් කොයි තරම් වාසනාවක්ද.

හැඳිනීම කියන දේ ආදරයෙ චැප්ටර් තුළින් උදුරා ගැනීමක් නොවිය යුතුයි. කියවීමත් එක්ක ඒක ඉබේම අපි තුළ ටිකෙන් ටික ඉතිරි විය යුතු දෙයක්.

ආයෙත් සැරයක්..මරු ලිපිය.

Lishan Puwakowita said...

මිනිස්සු විවේකය කියලා විඳින දේතුල බිසී වීම මාරම මාර දෙයක්.., මොකද මම දන්නවා තමන්ගේ පිස්සුව ඇතුලේ බිසී වීම මොන තරම් ආතල වැඩක් ද කියලා.., ඒ ආතල් එක වචන වලට හරවන්න මම උඹ තරමට ම පොරක් නොවෙන්න ඇති.., ඒත් ඒ ආතල් එක මම විඳලා තියෙන නිසා මම දන්නවා ඒක කොහොමද කියලා..!
මාර ලිවිල්ලක් මචන්..!
ජය!

මුචලින්ද said...

මට ඇත්තටම මේක ලියද්දි හිතුනා ඇඟිල්ලෙන් ඇනලා නොකිව්වට සුදාරකයා මේක කියෙව්වොත් හොඳයි කියලා. ඌට දැණුනා නම් මේක ඒ අතින් සාර්ථකයි. තමුන් වෙනුවෙන් තමුන්ගේ ආතල් එකක් වෙනුවෙන් නොවෙන බිසිය කන්නද?

අනික කැමරාව කියන ෆන් එක විඳින්න ඒක අතගාන්නම ඕන. ඒකෙන් එන ඇමරිකන් සුවඳ, එබෙනකොට ඇහෙන සද්ද ඒ ආතල් එක ලඟින්ම දැනෙන දෙයක් තමයි කැමරාව.

නෑ හරේ දෙවනි සින්දුව ධර්මරත්න සහෝදරයෝ. මම කිව්වේ සල්ලි ගැන නෙමෙයි බං. හිතිච්ච ගමන් හම්බෙන්න අමාරු එක. මම දන්නව උඹටත් එහෙමයි කියලා.

රස්සා, නැන්දම්මා මාමණ්ඩි, කාලයක් ඇතුලෙත් මිනිහෙක්ට මේ දේ ගොඩනගන්න පුලුවන් වෙන්න ඕන මට හිතෙන විදිහට. ඒක ඔටෝ වෙන්න ඕන දෙයක්.

ඔව් හැඳිනීම ඉබේ වෙන්නේ. බෝම කිව්වා වගේම එක ඉබේ හැඳිනෙද්දි පට්ට ආතල්.

ලිෂාන්, උඹ එකී ආතල්, මෙකී ආතල්, එතනත් මෙතනත් නොකී ආතල් හැම එකක් විඳලා තියෙන විත්තිය මම දන්නවා. ඒ වගේම මම තොට වඩා පොරක් කියන ගොන් මෝඩ බණේ නවත්තගනින්. ඒක එහෙම නොවෙන විත්තිය උඹ උඹේ හිතින් දන්නවා.

සමස්තයක් වශයෙන් මට පට්ට සතුටු ලියවිල්ලක්. ඒකට උඹේලගෙන් සෙට් වෙච්ච හයියත් උපරිමයි. උඹලට තැන්කියු මේක සිරා පෝස්ට් එකක් කලාට! ජය!

pamod said...

මචන් කියන්න වදන් නෑ.. පට්ට ලියවිල්ල... keep it up machoo

Ansh Lucky Sri Jay said...

මේ ලියවිල්ල ගැන කියන්න වදන් නෑ..
ඇත්තටම සුපිරි..!

CD Athuraliya said...

කාලෙකින් original මුචලින්ද ලියලා තියෙනවා!

පූසා said...

එක වචනයක් කියන්නම්.... මැක්සා!

හිස් අහස said...

කියන්න වචන නෑ මුචා ...ටොපේ ටොප් !

හෙනම හයිය බස් වහරක් තමයි උඹට තියෙන්නේ . උඹ ලියන ඒව එක්ක බලනකොට අපි මොක්කුද ? ලියනවනම් මෙන්න මෙහෙම ..

Il mondo di una povera pazza said...

i may agree with haresh. u have an excellent talent man

yasith said...

උඹේ කතාව ඇතුලේ මම බිසී උනා මචන්. කියන්න දෙයක් නෑ සුපිරි විඳීමක්

yasasi said...

niyamaaaayi :)

දුමී said...

මල්ලියෝ, උඹට ජීවිතය විඳින්න ඇවැසි සෑම අඩු වැඩියම තියෙනවා..... උඹේ ඇඟිලි තුඩින් මේ වැක්කෙරෙන්නෙ උඹේ විඳිමේ ප්‍රථිඵල.....සමහර විට මම උඹේ වයස පහු කරලා ගිහිල්ලා දැනට දශකයක් වගේ ඇති. ඔය කාලේ ආපහු ගෙන්න ගන්න පුළුවන්නම් මගේ දරු පවුල හැර අනිත් ඕනෙම දෙයක් ඒ වෙනුවෙන් මම පූජා කරනවා.....

උඹ ජීවිතය විඳිමින් ඉන්නෙ.... අමතක කරන්න එපා... සමහර කාලවල ජීවිතය විඳවන්නත් වෙන බව... උඹ ජීවිතය විඳීමෙන් ලබන පණ්නරය තමයි, උඹ ජීවිතය විඳවන කොට උඹේ පණ රකින්නෙ.... ඒ නිසා විඳීම උපරිමයෙන් විඳපන්....

මලේ, උඹේ නිර්මාණය උපරිමයි.... ලේසියෙන් මේවගේ වචන ඇඟිලි තුඩට එන්නෙ නෑ

උඹ විශ්වාස කරයිද මන්දා.... ඔය පොල් ගහ යට කොටිය ඉන්න මහර්ඝ වස්තුවක් මට අද උදෑසනැක්කෙ ලැබුනා... මමත් ඒකෙ පළමු වඩිය රස විඳිනකොට තමයි උඹේ අඩවිය පැත්තෙ ආවෙ....

උඹටයි උඹේ ආදරයටයි, උඹේ විඳීමටයි ජය වේවා...!

Thilina Madhushankha said...

@Uditha Umesh
"කොල්ලෙක් නිකන් ඉන්නකොට පිටින් ඉන්න කෙනෙක්ට ඌ මහ කාලකණ්නියෙක් වගේ පේනවා. කාලයක ඔය ආතල් එක මම වින්දත් දැන් ඒ පිණ මට නැහැ. මම ජීවිතේ ගැන එළඹුනු වැදගත් නිගමන බොහොමයක් ගත්තෙ ඔය "නිකන්" ඉන්න කාලෙදි තමා.."

හ්ම්ම්
මටත් ඔය කියපු ටික බොහොම අදාළයි. මං හිතන්නෙ, මම ගෙවමින් ඉන්නෙ ඔය කාලෙ. මම නම් වැඩිපුරම කරල තියෙන දේ කල්පනා කරපු එක වෙන්න ඇති. හුදෙකලා වීමයි, කල්පනා කිරීමයි එක්ක බිසී වෙන්න මම ගොඩක් කැමතියි. කෙනෙක් "උඹ දවල් හීන බල බල හිටපන්" කිව්වට, මම එහෙම කියන දේවල් ගැන හිතන් නැතුව ඉන්න උත්සහ කරනවා. හේතුව, කල්පන කිරීම පරිකල්පනයට හැරෙව්වම ගොඩක් ප්‍රයෝජනවත්. හිතේ හිරවෙච්ච දේවල් එළියට දාන විවිධ ක්‍රම තියෙනවනෙ, හොඳ සහ නරක. මට සෙට් වුනේ ලියන එක. බ්ලොග් එකේ ලියන එකට අමතරව, ඉන් එහාට (මම බලාපොරොත්තුවෙන් හිටපූ) සංගීත ක්ෂේත්‍රයෙත් පොඩි පොඩි වැඩ කරන්න පුලුවන් වුනා. අවුරුදු ගානක් බලාගෙන හිටපු, ඒ අංශයෙ වැඩක් කර ගන්න ඉදිරියේදී පුලුවන් වෙයි කියල හිතනවා. ඒව ඔක්කොම, නිකං ඉන්නකොට කල්පනා කර කර බිසී වීමේ ප්‍රතිපල තමා. :D

@මුචලින්ද
උඹට නම් විඳවන්නේ නැතිව, විඳින්න පුලුවන් ආදරයක් තියෙනවා. අපිට එහෙම නැති එක ගැන දුකයි.

Hasitha said...

ලියවිල්ල උපරිමයි

ආහ් මාත් කොයියොගේ පොත් කියවන්න සෙට්වෙලා ඉන්නේ...........

මුචලින්ද said...

පට්ට සතුටුයි! සද්දයක් දාලා ගියාට මෙන්න සැලියුට් එක!

හූනා .. said...

මම ෙම් බ්ෙලාග් ඒෙක් අැලුනා.....
මැක්සා අාෙය වචන නෑ...
සිරා වාග් ගලනයක්.. මැක්ස රසයක් අා....

තනෝජා රාජපක්‍ෂ said...

ආවෙමි... කියෙව්වෙම්... වින්දෙමි... හැදින්නෙමි...

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!