"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, April 11, 2011

ආටා අජේ

හේ අජිත් විය. මුල් කාලයේ පටන් අජියා වුවද, වසර පහක පමණ සිට අජේ බවට පත් වූයේ ඔහු ධාවනය කර ඉපැයූ තුන් රෝද රියේ ඇතුලත පසුපස අජේ දේව්ගන් ගේ රුවෙන් හැඩව තිබීමයි. ස්ටෑන්ඩ් එකේ සීඩී ප්ලේයරයක් තිබූ එකම රිය මෙය වූ අතර, ඒ සඳහා ඔහුට කදිම හේතුවක්ද විය.

"සින්දුවක් නැතුව වීල් එකක් පදින එක එපාම කරපු වැඩක් මල්ලී. එහෙම උනත් දැන් ඉන්න උන්ගේ කුණු සින්දු අහනවට වඩා හොඳයි කන්න හොයලා දෙන වීල් එකට පොල්ලකින් ගහන එක. ඒ නිසාම තමයි මේ සින්දු ටිකක් සෙට් කරගෙන, ඒ ටිකම අහ අහා යන්නේ.."

ආටා අජේ. . . ඕනම කෙනෙකුට හිනාවක් දාලා වීල් එකට නග්ගගත්තු බස්සපු හිත හොඳ මිනිහෙක්. සමාජ භාෂාවෙන් ත්‍රීවීල් කාරයෙක්. කොයිවෙලෙත් සින්දු ඇහිච්ච ත්‍රීවීලරයක අයිතිකාරයෙක්.

"මන්දා මල්ලී මේවා උඹලා ඕනතරම් අහලා ඇති. මහ ඒකාකාර කතා. එච්චර ගැලපෙන ගෑනියෙක්ව අතෑරලා දාන්න උනේ අම්මලාගේ විරෝදෙට. මං ඒ මිනිස්සුන්ගේ පුතා උනාට මං එපැයි මල්ලී මගේ අනාගතේ හදාගන්න. ඊටපස්සේ කසාදෙනුත් විඳෝපුවා මතක් වෙද්දී තමයි, මිනියක් දෙකක් මැරිලා හරි මගේ ගෑනිව මගේම කරගන්න තිබ්බනං කියලා හිතෙන්නේ. මම කියන්නේ නෑ දෙමව්පියෝ වැරදියි කියලා. ඒත් මට හරියි කියලා දන්න දෙයක් ඒගොල්ලෝ නිසා වෙනස් කරා. ඒකට මම තාම විඳෝනවා."


බැඳි මාසිත් නුඹ ලඟ ඇති වෙයි දෙවෙලේ
පණ ගිය මුත් නොහරිමි නුඹ වෙත ආලේ..
***************

ඒකනං මහ නරුම අතීතයක්! මං ඒ දවස් වල වීල් කුලියට දිවෙව්වා.කසාද ගෑනි මගේම වීල් එකක් එලවපු එකෙක් එක්ක ඒ වීල් එකෙන්ම පැනලා ගියා. හැබැයි ගෑනි අමාරු කාරි. ඌට ලේසි වෙන එකක් නැහැ. හැබැයි අරූ හොඳ උත්සහවන්ත කොල්ලා. මොනව උනත් ඒකි ඌත් එක්ක හොඳින් ඉන්නවනං ඇති. ඒ ඒ දේවල් වලින් අපි ඒ ඒ පාඩං ඉගෙනගන්න ඕන මල්ලී. ආදරේ එහෙමයි දේවල් කැපකරන්න වෙනවා. ඔය ඔක්කොම තියෙන්නේ ආදරේ හින්දා. නැති දාට විඳව විඳව ඉන්නවට වඩා යන එක හොඳයි. කොයි මිනිහද ගෑනිද කැමති මල්ලි රන්ඩු වෙවී ඉන්න. ඉන්න තැනක දෙමහල්ලෝ හොඳින් ඉන්නනවනං ඇති.

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න
***************

ඔය සිද්ධි වෙලා මුල් කාලේ මම බිව්වා මල්ලී බිවිල්ලක්. . . දිවේ රහ නැතිවෙනකංම. ඒ බීපු බීමටද මන්දා බීමත් එපා උනා. කොයිවෙලෙත් වෙරි වෙලා හිටියේ. හප්පා. . . ඒ තරං ගොන් වැඩක් මගේ ජීවිතේ මම කවදාවත් කරලා නැතුව ඇති. බිව්වට කමක් නෑ මල්ලී... අනුන්ට කරදරයක් නිවෙන්න, මත් ගතිය තියෙන්න බිව්වම ඇතිනේ. අනික ප්‍රශ්න වලට බොනවා කියන එක මහ මෝඩ වැඩක්. වෙරි හිඳෙද්දි ප්‍රශ්නේ එහෙමමයි. සමහරවිට ප්‍රශ්නේ තවත් ලොකු වෙලා. ඒක තේරෙන්නත් ප්‍රශ්නෙකදි බීලම බලන්න ඕන.. මල්ලි ප්‍රශ්න වලට බීලා නැද්ද?

මීවිතකින් ගත උණුසුම් වූවද... සිත උණුසුම් වේදෝ..
***************

මම බීම නවත්තලම දැම්මා මල්ලී. එක නැවැත්තුවත් එක්ක හුඟක් සල්ලි ඉතුරුවක් උනා. තනි මම හින්දා එහෙමට හම්බුකරන්න ඕනෙත් නෑ. අපි මැරෙන මිනිස්සුනේ. මම දැන් දවල් දෙකෙන් පස්සේ ස්ටෑන්ඩ් එකේ නෑ. උදේ හයර් ටික ගියා; දවල්ට බත් පැකට් පහක් අරං, හතරක් අර කුරුඳුවත්ත පාර මුල ගාමන්ට් එක ගාව ඉන්න පොඩි කොල්ලෝ හතර දෙනාට දීලා අනික අරං ගිහින් කාලා නිදාගන්නවා. පව් මල්ලි උන්! මටත් දරුවෝ නැති එකේ උන්ටවත්.. හ්ම්ම්ම්... උන් හරි අසරණ වෙලා ඉන්නේ මල්ලි.. අම්මෙක් අප්පෙකුත් නැහැනේ.

පයිප්පයේ දුඹුරු වතුර බෙලෙක් පිඟානේ පුරවා...
මුවින් උරාබොන්නෝ සෝපාකලා...
***************

"ඉතින් දැන් කසාදයක් ආපහු කරගත්තොත් හොඳ නැද්ද ලොකු අයියෙ?"

හ්ම්ම්.. මම නිදහස් මිනිහෙක් මල්ලී. මට දැණ් කිසිම බරක් නෑ. මට ඕනෙ වෙනකං හයර් යනවා. ඕනනැත්තං නවත්තනවා. ඒත් ගෑනියෙක් ගත්තොත් ඔය ජීවිතේ ලේසි නෑ. කන්න අඳින්න, ළමයින්ට කන්න අඳින්න.. එහෙම උනොත් තව ලොකු ගේකුත් ගන්න වෙනවා. අනික ඕන කාලෙදි නොහිටපු ගෑනු දැන් මොකටද මල්ලි. නිදිවදින්න හිතුනොත් ඕන තරං මඩං තියෙන එකේ, මම ඕක හිතින් අහක්කරං ඉන්නේ. මාත් හිත ඇතුලේ ඔය ආදරේ ගොඩක් හිරකරං ඉන්න මනුස්සයෙක් මල්ලී. මොකෙක්වත් තමුන්ගේ ලඟ නෑ.. තමුන්ට ආදරේ නෑ.. කියලා දැනෙනකොට එන වේදනාව සුළුපටු නැහැ. මම මේ දෙපැත්තටම හිරවෙලා.

අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන
සැමරුම් මේ කුළු අතර නිරන්තර...
නිදහස ඇත කාටත් පිවිසෙන්නට
එන්න එපා එළිපත්තේ ආදරේ...
***************

අවසානයේ ජීවිතය පිලිබඳ නිශ්චිත නිගමනයක් නොමැතිව මා ත්‍රීවීල් ස්ටෑන්ඩ් එකෙන් පිටවන්නට සිතුවෙමි. ප්‍රතිවිරුද්ද දිශානති වලට අදින හේතු මත මිනිසුන් වල්මත්ව ඇත. නිශ්චිත පිළිතුරු නැත. වැරදි මග වැරදි ලෙසටත්, වැරදි මග හරි ලෙසටත්, හරි මග වැරදි ලෙසටත් නොගොස්, හරි මග හරි ලෙසට යන ක්‍රමය සොයාගත යුතුව ඇත. අජේ අයියාට හිස නමා මා නවතා තිබූ ත්‍රීවීලරයෙන් බැසීමි. සීඩී ප්ලේයරය වැඩ කරමින් තිබිණි.

මං මුලා වෙලා අඳුරේ මේ...
යන්නේ කොහේ දැන් අප සැමා...
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

19 ක්ම තියෙනවා අදහස්:

hare :-) said...

හරි මග සහ වැරදි මග... මේක අපට හිටු කියා ලියන්නට හැකි මාතෘකාවකි. ඒත් ජීවත් වෙන්න පටන්ගත් විට අපි ලියන චරිතත් අපත් අතර මහ ලොකු වෙනසක් නැත. අනික ඔය හරි හෝ වැරදි පැත්ත කුමක්ද කියා ඒ මාවතට පිවිසෙන තෙක්ම බොහෝවිට පෙනෙ‍න්නේ නැත. අවසානයේ ආටා අජේ මෙන් ජීවිතේට මුහුණ දීමට සිදුවන විට මතවාද සියල්ල අතහැර එයට මුහුණ දිය යුතුය. ආටා අජිත් මට ඒ කතාව නැවත කීවේය...

ආගන්තුකයා | Stranger said...

හරි වැරදි කියන එක කොහොම වුනත් අපි කරන්න ඕනි අපිට කැමති දේ. මොකද ජීවිතේ කියන්නෙ අපේ දෙයක්. ඒක කාටවත් උවමනා විදිහට වෙනස් කරන්න ඕනි නෑ. එහෙම කරනවා කියන්නේ අපි විඳවනවා කියන එක..

Dee said...

ජාතක කතාවක් වගෙ, ස0ක්ෂිප්තයි-සම්පූර්ණයි!

කතන්දර Kathandara said...

කාර් ගන්නට බර නොමැත්තෝ ආටා වලින් හයර් යති.
කසාද බැඳිමත් කාර් එකක් ගැනීම හා සමානද?

Lishan Puwakovitage said...

යකෝ මේ එහෙම් පිටින්ම ජීවිතේ ගැන ලියාපු දින වකවානු නැති පොතක් වගේ චරිතයක් නේ.., ආත්ම ප්‍රකාශන මාධ්‍යයක් විදියට සිංදු කියන දේ යොදාගැනීම හරිම ප්‍රායෝගිකයි කියන දේ පෙන්නන්න මේ ලියුම මරු.., මම දන්නේ නෑ මේ මනුස්සයාගේ අයිඩෙන්ටිටි එක උඹ හංගලාද කොහොමද කියලා., මොනවා උනත් මචන්.., ජීවිතයක් අත්දැකීම් නිසා වල් මත් උනාම සිතුවිලි කියන දේ අපිටත් නොදැනිම අපි වැඩිපුර පරිහරනය කරන දේ තුලින් එලියට එනවා.., අජේ මේ සංකල්පයට මරු පෙරවදනක් සපයනවා..!

Shaminda Ekanayaka said...

අපි‍ට මචං හරි මග හරියට යන්න පුළුවනුත් යම් කිසි ප්‍රමානෙකට විතරයි. නියම ලිපිය මචං. ජයවේවා.

පිටස්තරයා said...

හරි මග කියල දෙයක් තියෙන්නෙ තමන් ඇතුලෙ මිසක් තමන්ගෙන් පිට නෙවෙයි කියලයි මම හිතන්නෙ. අනිත් අයගෙ හරි මගේ අපිට යන්න බැහැ. අපිට හරි කියල හිතෙන දේ තමයි හරි මග. ඒ මාර්ගයේ සිත් තැවුලක් නැතුව හිතට එකඟව යන්න පුලුවන් නම් අන්න මිනිහා!

දුමී said...

ජීවිතයේම පැති කඩක්, ඩිග්‍රි ගහපු දාර්ශනිකයෙක් වෙන්න ඕනෙ නෑ ජීවිතය ගැන තේරුම් ගන්න. ජීවිත අත්දැකීම් මිනිසුන් දාර්ශනිකයින් කරනවා කියන්නෙ මේ නිසා වෙන්න ඇති. නියම සටහන මුචා මලේ....!

Unknown said...

විවිධ ජීවිත දිහා තුන්වැනි ඇසකින් උඹ කරන විග්‍රයන් මම අගය කරනවා. තැඹිලි කීර්ති, ආටා අජේ උඹෙත් අපෙත් ජීවිතවලට පොඩි දෙයක් හරි එකතු කරනවා, උඹට පින්..

ප.ලි. හොඳ සැරට තියෙනවා.. :D

Rachintha Jayawardhana said...

සද්දයක්, වටින සද්දයක් දාලා ගියාට බොහොම ස්තූතියි මචංලා! කොහොමත් ඔය කමෙන්ට් ටික එක පැත්තකට යන කතාවක් කියනවා. ඒ පැත්තෙන් මමත් හිතන නිසා සතුටුයි! ජය වේවා!

Udara || උදාර ධර්මසේන said...

අම්මෝ.. කාලෙකින් බ්ලොග් එකක් කියෙව්වේ.. ඒකත් මේ මුචාගේ ටොපියක්.. එක හුස්මට ගහලා දැම්මා අමුවෙන්ම.. නියමයි කොල්ලෝ.. පල්ලෙහායින් තියෙන කමෙන්ටු ටිකත් මරු.. කතන්දරකාරයාගේ කමෙන්ටුව ටිකක් අඩියට වැදු‍නා.. ආටා අජේ අයියාව මතක් කලා කියන්ඩ.. ජය කොල්ලෝ..

ප.ලි: මාත් දැන් අමද්‍යප කියපං.. පිනට මද්‍යප තාම ඒ වුනාට.. ;)

Anonymous said...

මනරම් ජීවිත විවරණයක්... මෙවන් බ්ලොග් දැක තිබේ නම් ඒ කිහිපයක්ම පමණි... ඒ කිහිපයද ටොපිය හා ටොපි මුදලාලි වටා සැරිසරනු දුටිමි.. ජය ජය ...ප්‍රීති !

තමන් උදෙසා නොව, අනුන් උදෙසා , වඩා යහපත් ලෝකයක් උදෙසා බ්ලොග්කරණය ධාවනය කරන නුඹ වන් බ්ලොග්කරුවන්ගෙන් මේ බ්ලොග් අවකාශය පිරී ඉතිරේවා... !

ආත්ම වර්ණනා, තම ෆැන්ටසි, බොලඳ හීන , අඳෝනා , මල් කවි කතා , මඩ , පර්සනල් ඩයරි පබ්ලික් බ්ලොග් ලෙස ලියන්නන් සහ කමකට නැති ඕපදූප ලියන්නන් අතර ටොපිය තෑබිය නොහේ...

ජයෙන් ජය! ලෝකය වඩාත් යහපත් තැනක් කරන්නට ටොපි හදන නුඹ හොඳින් දන්නා කෙනෙකු වන මම ,මේ කොමෙන්ටුව සඳහා ඈනෝ වෙමි.. නෑතිනම් මට විසුමක් නැතිවෙනු ඈත...

අනුරාධ said...

අමුතුවෙන් කමෙන්ට් එකක් දාලා එකතු ක‍රන්න දෙයක් ඉතුරු වෙලා නෑ. හැබැයි පැත්තකට වෙලා හිතන්න ගොඩක් දේවල්නම් ඉතුරු කලා අවසානයේදි.

Rachintha Jayawardhana said...

@ ඇනොනිමස්: මුලින්ම ඇනොනිමස් ඔප්ෂන් එක නිවැරදිව පාවිච්චි කලාට ස්තූතියි මිත්‍රයා. මම අනුන් ගැන හිතලා ලියන මිනිහෙක් නෙමෙයි. මට එලියට දාගන්න ඕන දේ මම අවට චරිතයක දවටලා ගේන එක විතරයි වෙන්නේ. ඒ වගේම මිත්‍රයා, මල් කතා, මඩ සහ ඩයරිත් මේ අවකාශයේම තිබිය යුතුයි. වෙන්න ඕන කැටගරිය මොකක් උනත් අන්තර්ගතේ හෝ ලියන විදිහ දැනෙන එක විතරයි. විශේෂයෙන් ඩයරි ටයිප් එකට බ්ලොග් ලියන ෆා ද බ්ලොගී සහ මලී ඒකට හොඳම නිදසුන්. ඒ දෙන්නම ලියන්නේ තමුන්ගේ ජීවිතේ එදිනෙදා දේ උනාට ඒවා හරිම රසවත්; ඒ ලියන විදිහ නිසා. එහෙම නැති බ්ලොගුත් නැතුව නෙමෙයි. ගොඩක් තියෙන්න පුලුවන්.

ඒ වගේම ඕන මිනිහෙක්ට ඕන ඇහැකින් දඉන්න පුලුවන්. උඹ මගේ හිතවතෙක් වෙන හින්දා උඹ මේක හොඳ විදිහකට දැක්කා වෙන්න පුලුවන්. ඒත් මාව රුස්සන්නේ නැති එකෙක්ට මේක "මුගේ ජීවිතේ මෙලෝ රහක් නැති එකක් නිසා, වටේ පිටේ කතා ලියනවා.." කියලා හිතන්නත් පුලුවන්.

මම නම් හිතන විදිඅහට බ්ලොග් එක වැදගත් වෙන්නේ කැටගරිය නිසා නෙමෙයි. ලියන විදිහ සහ ලියන දේ නිසා. අන්න එතනදි උඹත් මමත් ටිකක් පරස්පරයි.

කමෙන්ට් එකට ස්තූතියි. අනිත් කමෙන්ට් කරපු උන්ටත් ජය!

රංග - මගේ ලෝකය said...

ඇත්තටම පට්ට පෝස්ට් එකක්. මේක කියෙවුවම ආයෙ ජීවිතේ දිහා හැරිල බලන්න හිතෙනවා.

Yasasi Rajapakse said...

ඇත්තමයි මොනාද වගේ.. මේ ලියන විදිහ නම් වෙනස් කරන්න එපා රචියෝ.. හිත ගැඹුරටම වදිනවා..

සහ ඇනෝට ජය... මටත් ඔනි උනේ ඕක කියන්න තමයි.

Anonymous said...

@මුචලින්ද
නෑ ... මම අදහස් කල හර සුන් බ්ලොග් අතර ෆාද බ්ලොගී හෝ මලී කෙසේවත් නෑ.. ඒ දෙකම මම ඉතා ආසාවෙන් කිය්වන විනෝදාස්වාදය උපරිමයෙන් තියන දේවල්...

කෙසෙවත් මගේ මිත්‍රයා , මම උඹේ බ්ලොගේ උඩ තබන්නටවත් , අන් අයගේ බ්ලොගය පාත දාන්නටවත් නෙවෙයි මේ කාරණාව ඉස්මතු කලේ...

විවිධාකාර කැටිගරි තිබිය යුතුමයි. ලෝකය අසම්පූරණත්වයෙන් ගිලිහෙන සුන්දරත්වයෙන් පිරෙන්නේ ඔය කියන විවිධත්වය මතමයි..ඒ විවිධත්වයට මා ඉතා ඉහලින් ගරු කරනවා..

මගේ පුද්ගලික අදහස නම්, විනෝදාස්වාදය හෝ , ජීවිතය ගැන හෝ කුමන අරමුණෙන් හෝ අකුරු ඇමිණෙනවා නම් ඒ ඇමිණුම කියවා අවසානයේ කියවන්නාට කුමන හෝ තෘප්තියක්, කියවීම පිලිබඳ සන්තුෂ්ටියක් අත් කරදිය යුතුයි.

මට ඒ ඇනෝ කමෙන්ටුවෙන් කිසිවෙකුගේ හිත් නම් රිද්දන්නට ඕනෙ වුනේ නෑ. පුද්ගලික මතයක් පැවසුවා විනා මතභේදයක්නම් කිසිසේත්ම ඕනෙ වුනේ නෑ. :-)

ටොපිය තුල මගේ පුද්ගලික හැඟීම නම් , කියවීමේ තෘප්තිය ඉහලයි. ඒ ගැන මගේ ආචාරය උඹට !

Rachintha Jayawardhana said...

@ඇනොනිමස්: ඔව් මමත් ඒ ස්ථාවරයෙමයි ඉන්නේ. ජය වේවා!

සද්දයක් දාපු අනිත් උන්ටත් ජය!

Sihina Ekathukarannek said...

සිරා !

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!