"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Friday, July 29, 2011

ආත්මීය සාහිත්‍යයේ පරස්පර දැක්වීම්


රසමසවුළු නැති මින් බත් පතට සරූ
නිසි සැලකුම් නැති ගෙරවිලි රැවිලි පිරූ
චන්ද්‍රෝ නුඹ වෙතට මගෙ පෙම මහත් සරූ
ඇතිමුත් යනෙමි බිඳි සිත මගෙ හදනු බොරූ

තිලක්! තිලක් මේ කතාවේ කථා නායකයා. තිලක් මේ කවිය ලියනව අන්තිමේ බාර් එකෙන් අතට ලැබිච්ච බිලේ. තිලක් පොරක්. තිලක් අඳින්නෙක්. රූප අඳින්නෙක්. ඉඳල හිටලා කවිත් ලියවෙන. වයලින් වාදකයෙක්. රැකියා නාමයට ක්ලාක් කෙනෙක්. තිලක් වෛද්‍ය විද්‍යාලෙ දෙවෙනි වසරට වෙනකං ශිෂ්‍යයෙක්. මනුස්සයට විශ්ව විද්‍යාල ජීවිතේ එපා වෙනව. වෙනදට අම්මලා ගෙදර නැති දවසට තේකෙ හිටන් හදලා දීපු නැන්දා මුව නොසෑහෙන්න බනිනවා. ගෙදර මිනිස්සුන්ගෙ කේන්තිත් අවුස්සනවා. තිලක්ගෙ ජීවිතේ සංක්‍රාන්ති කාලයක් තියෙනවා. උදේ ඇහැරෙන, තේකෙන්ම කට හෝදල බඩත් පුරවන, උදේට කාපං කියනකං ලියන, උදේට කන, දවල්ට කාපං කියනකං චිත්‍රයක් එක්ක හැප්පෙන, දවල්ට කන, බඩට එපාවෙච්චි කෑම පුකට ඕනිවෙච්චි වෙලාවට එලියට දාන, හිතට හරියනකං නිදියන, රෑට වොලී බැස්ටියන්ගෙ සින්දු ටිකක් වයලින් එකෙන් අතුල්ලලා නිදි ඇඳට වැටෙන තිලක් රෑට කන්න ඇහඇරෙන්නෙ රෑ දහයට. එහෙම්මම දවස ඉවර කරන තිලක්ට කාලෙන් කාලෙට ගෑනු පරාන සම්බන්ධ වෙනවා.


සීගිරිය! සීගිරිය මේ කතාවෙ කතා නායකයට, තමන්ගේ ජීවිතේ මුදල්මය වටිනාකමක් නැති එහෙත් සතුට උපරිම කරවන්න මග පාදවපු තමුන්ගේ නිර්මාණ වල උල්පත. තිලක් සීගිරිය ගැන හැදෑරුවෙ නෑ. ඒත් තිලක් සීගිරිය ගැන හිතුවා. තමුන් දන්න පොඩි පොඩි සීගිරිමය තොරතුරු ඇතුලේ තිලක් සීගිරි සාහිත්‍යයක් ගොඩනැගුවා. ඒක දවසින් දවස අලුත් උනා. තමුන්ගෙ සංක්‍රාන්ති අවධියේ ඒ ඒ ගෙවිච්ච දවස් වල ඒ ඒ හැඟීම තිලක්ගේ මනෝ මූලික සීගිරියේ පිට කවරය උනා. තිලක්ගේ කලිසං සාක්කුවේ තිබිච්ච නවපු කොලේක මෙහෙම තිබුනා.


-කාෂ්‍යප-                                                                            -අප්සරා-
සිත් තැවුල් හද ඉගිල යනු මිස                                             පිතු මරා දුරැරා සිතින් එය
ඇස් කෙවෙනි අග බිඳු තියා                                                සිටින මුත් නොසිඳුනු ලෙසේ
බොඳවූ දෑසින් විඳිමි මම රූ                                                රාගධික බැල්මන් විදියි මයෙ
ලඳුන් සෙල මත විහිදියා                                                     නිරුවත්වු දෙතනේ රසේ


-තිලකේ-
තම පියාගේ නික්ම යෑමෙන්
රිදුම් දෙන හද දර දරා
සිටින කුමරුට දෙතන් පෙන්වන
නොහික්මුණු වන අප්සරා

තිලක්ට ගෙවෙන මොහොතක් ගැන පැති ගොඩකින් හිතන්න පුලුවන්. ඒක හොඳ දෙයක් කියලා කියවන ඔබට හිතුනට, එහෙම හිතෙන එකෙක්ට ඒක හරිම වදයක් වෙන්නත් පුලුවන්. තමුන් තනියෙන් රසවිඳපු අප්සරාවො දිහා වෙනින් ඇස් කන්දරාවක් පස්සෙ කාලෙක යොමු වෙයි කියලා කාෂ්‍යපට හිතෙන්නෙ නැතුව ඇති. තමුන්ගෙ රාජධානිය පින්තූර කරලා විකුනගෙන කයි කියලා කාෂ්‍යපට හිතෙන්නේ නැතුව ඇති. අප්සරාවන්ට වඩා ලස්සන ලැමක් තියෙන ගෑනු අප්සරාවන්ගෙ ලැමට ඊරිසියා කරයි කියලා කාෂ්‍යපට හිතුනෙ නැතුව ඇති. මෙව්වට මෙහෙව් උනැයි කියලා කාෂ්‍යප රජ්ජුරුවො දැනගත්තනං මනුස්සයට ලැජ්ජත් හිතෙයි. ඔබ හිතන්න කාමරේ දොර වහගෙන සෙක්ස් ෆිල්ම් එකක් බලද්දි තාත්ත කාමරේට ඔලුව දැම්මොත් ඔබේ මූනෙ හැඟීම. තමුන් බිව්වයි කියලා මතක් කරන්න දීපු බිලක පිටිපස්සේ තිලක් කුරුටු ගාපු කවි කෑල්ලක්, බ්ලොග් එහෙක යයි කියලා තිලක් හිතන්නැතුව ඇති. එහෙම උනානම් තිලක් තමුන්ගෙ නම තිලකේ කියලා නොලියයි. ඒ තිලක් තමුන් විඳින්න කැමති විදිය. ඒක අනෙකෙකුට කියලා විඳවගන්න බෑ. ඔබ විසින්ම මතක් කරගන්න කවුරුන්හෝ තමුන්ට මේ නමින් කතා කරන්නය කියලා වෙනස් නමක් කිව්වම් ඔබේ මුහුනට ආපු උපහාසාත්ම ඉඟිය. ඒක තමයි මිනිහගේ ඇතුල. ඒක රහසක් වෙන තරමට ඒක ඒ ඒ අදාල මිනිහට රහයි. තමන්ගෙ කවි කෑල්ලට මෙහෙව් වෙච්ච විත්තිය තිලක් දැණගත්තොත් තිලක්ට ලැජ්ජත් හිතේවි. මොකද කාෂ්‍යප වගේම තිලකුත් මේක බෙදාගෙන රසවිඳින්න කරපු දෙයක් නෙමෙයි.

ඔබ තාමත් හිතනවද ඔබ දෙයක් දිහා බලන විදිහේ ගැම්ම මදියි කියලා. ඔබ කුමක් හෝ අවස්ථාවකදි මුලදි ගත්තු තීරණයක් වෙනස් කරලා තියෙනවද? පිලිතුර "ඔව්" නම් ඔබ යම් අවස්ථාවක් දෙස අවම වශයෙන් දෙවිදිහකින් බලලා තියෙනවා. ඔබ ඒ මුලු සිද්ධිය ගැන පේලි හතරක් ලියන්න හිතුවද? ලියලා තියෙනවද? ඔබ මුලු සිද්ධිය විස්තර කරන්න තනි වාක්‍යයක් හිතුවද? ඔබ එය කොලේක ලියන්න බය හිතුනද, මිතුරන් එය දකීවියි සැකයට? ඔබට ලැජ්ජා හිතෙයිද? ඒ වෙනකොට ඔබේ ආත්මීය නිර්මාණය ඔබේ මතකෙන් ගිලිහිලා නේද? දැන් අපරාදෙ කියලා හිතුනද?

අවට වෙච්ච සිද්ධි ගැන ඔබේ ආත්මීය ප්‍රකාශන ඔබ විසින්ම එකතු කරන්න.
එය ඔබට මහත් සතුටක් වේවි. අස්වැසිල්ලක් දේවි.

හැබැයි අවසාන වශයෙන්! එය ඔබ පමණක් රසවිඳින්න.

මගේ සිතුවිල්ල පරස්පර විරෝධීයි කියලා තිලක්, කාෂ්‍යප සහ ඔබ ඇසුරෙන් ඔබට සිතුනාද?

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

12 ක්ම තියෙනවා අදහස්:

malansamarawickrama said...

මචන් ඔය බුලට් පරිස්සමින් කරලා තියා ගනින් පස්සේ දවසක වෙඩි තියන්න, සද්දෙට.
Maxxxa!!!

Prasanna said...

පෞද්ගලිකත්වය සෑහෙන වටිනවා මුචා...

හූනා .. said...

මැක්සා ආයෙ කියන්න වචන නෑ.ඔබට ජය!

Lishan Puwakowita said...

මනුස්සයා කියන රූපේ තවත් පුලුල් කරලා ඒ කස්ටමයිස් කරපු චරිතෙට නමක්දීලා ඒ චරිතේ තමන්ට ඕනේ විදියට හරව හරව හසුරවලා ලියවන කතා ලියන එක කෙනෙකුට හරි ලේසී ගේමක් කියලා කියන්න පුලුවන් ඇති..!
ඒත් චරිතයක් හිත ඇතුලේ ඩිවෙලොප් කරනවා කියන එක හරි පරිස්සමින් කරන්න ඕනේ සීන් එකක්.., හරියට අම්මෙක් දරුවෙක්ව උප්පත්තීයේ ඉඳන් අගට වෙනකල් ජීවිතේ ගොඩදානවා වගේ..,
මිනිහෙක් ට හිතන්න පතන්න, තමන්ගේ මනෝභාව ඇතුලේ අතපය දිගෑරලා හැසිරෙන්න ඉඩ තියෙන්නේ ඕනේ එහෙම උනාම තමා ඌ පෑන නියම කගපතක් කරගන්න තනන්නේ..!
මේ අකුරු අස්සේත් උඹ කරන්න හදලා තියෙන්නේ ඒ ටික කියලයි මට හිතෙන්නේ..!

නෙරංජි සුලක්ඛනා said...

උඹේ අන්තිම ඡේදෙ නම් පිස්සු හැදෙනවා ලොක්කා ...මට අදටත් හිතෙන ගොඩක් දේවල් ලියා ගන්න විදිහක් නැතිව ඉන්නෙ..

උඹ කියන්න හදන්නෙ හිතන්න ලියන්න නිදහසක් දීපන් කියලා ....වගේ හැගීමක් පළමු කියවීමෙන් මට ආවෙ ..ආයෙ කියෙව්වාම වෙන දෙයක් හිතෙයි... හරි උඹ උපරිමෙන් අකුරු හරඹෙ කරනවා ...ජය වේවා පොඩි අයියෙ ...සන්තෝසයි

පූසා said...

අද ආව පාර උඹ මුල්ම කාලේ දාපු පෝස්ට් ටිකක් කියෙව්වා. උඹේ ලියවිල්ල දියුණු වෙලා ඒ කිව්වේ පට්ට වෙලා..ඒත් උඹ හැම දෙයක්ම ලියලා. මේ බ්ලොග් කෙරුවාව පටන් ගත්තු දවස් වල ලැජ්ජාවට මම නොලීව දේවල් උඹ උඹේ බ්ලොග් කෙරුවාව පටග් ගත්තු දවස් වලම ලියලා... ඔව් මටනම් දැන් අපරාදේ කියලා හිතෙනවා....

මුචලින්ද said...

සද්දයක් හලලා ගියාට හෙන ස්තූතියක්!

Il mondo di una povera pazza said...

රටාවකින් එහාට යන මුචා ....
අපූරුයි.

නොදරුවා said...

හැම කොටුවක් ඇතුලෙම රවුමක් අඳින්න පුලුවන්, හැම කොටුවක් ඇතුලෙම ත්‍රිකෝණයක් අඳින්න පුලුවන්. ජය!

ආගන්තුකයා | Stranger said...

හැමදේකටම ඒකේ කතාවක් තියෙනවා. ඒක නිකං සඳුනා කිව්වා වගේ. කොටුවක් ඇතුලේ තියෙන ත්‍රිකෝණයක් රවුමක් වගේ. නියමයි මචං...

hare :-) said...

මම මෙතන කියන එකත් වෙන උන් ඇව්ත් දූෂණය කරයි කියල බයයි මට ;-) ඒත් ඒක එහෙම තමයි. දෙයක් ගැන අපි හීනෙන්වත් නොහිතපු පැත්තක් බලන්න අපි ගණන්වත් නොගන්න වෙන එකෙක්ට පුළුවන්. එහෙම කියලා තමන්ට කියන්න ඕන දේ හංගන එකට වඩා අඩු තර‍මෙ තමන් ඒක විඳින එක වටිනවා... මම හිතන්නෙ දේවල් එලියට නොදාන ගොඩක් උන් ඔය විඳීම විඳිනවා.

ජීවිතේ මල් said...

බලන හැම පැත්තම ජීවිතය පිලිබඳ , කතා නොකල රහසක් !

සහෝ, උබ වචන වලින් නිකම් සෙල්ලම් කෑලි පෙන්නලා තෙරුම් ගන්ඩ බෑරි හරුපයක් ඈදබාලා , කියවන එවුන්ව නන්නත්තාර කරලා , 'අන්න බලපන් මන් වෑඩර්' කියන ඔලමොට්ටලයො අස්සේම ඉඳගෙන , ජීවිතේ පතුලටම කිමිදෙන්ඩ එක් නොගෑඹුරු ඉසව්වක් ඈඟිල්ල දික් කරල පෙන්නන 'නියම වෑඩ්ඩෙක්!'

උබෙ මේ ලිපිය වගෙම අනික් ලිපිත් , කියවද්දි,උබට අපිට කලින් හරියටම දෑනුනු තෙරුනු දෙයක් හරි පරිස්සමට අපිට කියන්නේ කියා දෑනෙනවා... ඒ නිසාම උබෙ මේ ලියවිලි 'චික්!වචන ගොඩක් !' නෙමෙයි මට නම්...

අපේ ජීවිත දර්ශනය පුලුල් කර ගන්න , තව එක් අඩියක් ඉස්සරහට තියන්ඩ , උබෙ හෑම ලියවිල්ලකට වගෙම මේකටත් හෑකි වුනා..

ජය! ජය!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!