"අන්නාසේ... අන්නාසේ... කොස්ස නහන්න විස්සට තියට... විස්සට තියට"
හේ අන්නාසි වෙලෙන්දෙකි. ගාලු වුවදොර පිටියේ වෙලදාම් කරන්න්නෙකි. ඔහුගේ ලොකු පුතා ඉස්සො වඩේ විකුණයි. මා ඔහු ඇසෙන මානයේ ඔහු පිලිබඳ නිරීක්ෂණයෙන් උනිමි. ලොකු පුතා විටින් විට ගොස් මොහුගෙන් කැරට් අලයක්, ළුණු ගෙඩියක් රැගෙන යයි. පසුව දැනගත් පරිදි ඒ ආරක්ෂාව පිණිසය. මහජනාරක්ෂාවට සිටින ඇත්තන් ඉස්සො වඩේ වෙලෙන්දන්ගේ කරට් අලයට, ළුණු ගෙඩියට බලහත්කාරයෙන් විදින බැවින් ඔවුන් ඒවා ආරක්ෂිතව ගබඩා කිරීමට ක්‍රම සොයාගෙන ඇත. අන්නසි වෙලෙන්දාගේ ලොකු පුතා ඒ සඳහා අන්නාසි වෙලෙන්දාගේ නොහොත් සිය පියාගේ රැකවරණය තෝරාගෙන ඇත. හේ තම අන්නාසි ජනාකීර්ණ ස්ථාන වල සිට මාකට් කරයි.
"නෝනල මහත්තයල කාලම බලන්න. අන්නාසි කියන්නේ ආහාර කපන අසිපත කියන එක. දිරවන්නේ නැති කෑම දිරවගන්න, බඩේ අමාරු, බඩේ පිපුම ඔක්කොටම, ඕන කොස්සකට හොඳයි. කෑමක් ගනිද්දි දේවල් තුනක් බලන්න ඕන. රහේ ගුණේ වගේම ලාබේ. තුනම මෙතන තියනව මහත්තයා. විස්සෙ පැකට්......තියේ පැකට්...... හරිම රසයි. ලුණු මිරිස් කුඩු පොඩ්ඩක් එක්ක උඩුතල්ලේ ගෑවිගෙන බඩට බහිද්දි, අමා රසේ පරාදයි."
හේ අවට සිටින උන්ට කෙල ගිල්ලවයි. ඔහුගේ වදන් වලින් මැවූ අන්නාසි කැබලි අවට සිටින උන්ගේ දිව මත දඟ කරයි. මමද සන්තකයටම වූ අවසන් රුපියල් පනහ එලියට ඇද එයින් විස්සේ අන්නාසි පැකට් එකක් මිලට ගතිමි. "කෙට්ටු වෙනවා මහත්තයා මේවට" හේ මට ඉතිරි තිහ මිට මොලවන ගමන් කීය. ඒ මම මහත නිසා විය යුතුය. මා ඔහු අසලින් හිඳිමින් ඔහුගේ මාකටින් ස්ට්‍රැටජිය අධ්‍යනය කරමින් උනිමි.
ලී බංකු පේලියේ එකක හේත්තු වී, දකුණු ඇලයට ඉහ අතකට බර කර හිදිනා තරුණයෙකි. ඔහු අනවරත රළ රටා දෙස හිස් දෑසින් බලා හිඳින අතර යමක් මුමුණයි. බොහෝ විට ඒ මිල්ටන් මල්ලවාරච්චි ගේ ගීතයක් විය හැක. අන්නාසි වෙලෙන්දා ඔහු වෙත ගොස් ඔහුගේ දැහන බින්දේය.
"පුතා, හිතේ අමාරුවකින් වගෙයි. ඔහොම තමයි පුතා. ඔය වයසට සතුටු හිතෙන විදිහටම තමා දුකටත්. මං පොඩිකාලේ, මේ තැනම වාඩි වෙලා හිටිය ජෝඩුවල පොකට් එකට විදිනකොට මම කවදාවත් හිතුවේ නෑ මං මෙතනම සාධාරණ රස්සාවක් කරයි කියලා. මාව වෙනස් කරේ මගේ ගෑණි. කොයි මිනිහටත් ජීවිතේ හරියන කාලයක් වගේම හරියන්න ක්‍රමේකුත් එනවා. ඒ මිනිහට පුළුවන් වෙන්න ඕන, ඒ ගොඩ යාම අතුලේ නැගිටගන්න. කන්න පුතා අන්නාසි කෑල්ලක් දෙකක්. ඕවා අමතක වෙලා යයි."
තරුණයා අන්නාසි මල්ල ගෙන, පසුම්බියෙන් ඉවතට ගත් මුදල් දිගු කල මුත් ඔහු එය පිලිගත්තේ නැත.
"සල්ලි එපා පුතා. මට අද සතුටු වෙන්න පුළුවන්. කැම්පස් කොල්ලෙක්ගෙ හිතෙන් පොඩ්ඩක් හරි දුක තුනී කරන්න පුලුවන් වෙච්ච එකට."
ක්ෂණයකින් තරුණයා හැඳ සිටින ජ'පුර විශ්වවිද්‍යාල ටී ෂර්ටයට මගේ ඇස ගියේය.
"අනික, පුතා ආපහු දවසක ගෑණු ලමයෙක් එක්ක ගෝල්ෆේස් ඇවිත් මගෙන් අන්නාසි මල්ලක් ගන්න. එදාට මම ඔයාගෙන් සල්ලි ගන්නම්."
"මේ දැන් කාලෙ හැටිනෙ මහත්තයෝ. ගෑණු දරුවෙක් හම්බුනොත් "නරකක් වෙයි" හිතලා ආරක්ෂා කරන්න ඕන. පිරිමි දරුවෙක් හම්බුනොත් "නරකක් කරයි" කියල ආරක්ෂා කරන්න ඕන. හැබැයි ඕවැයෙ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. දැන් කාලේ ළමයෙක් හදන එක හරිම අමාරුයි ඉස්සරට වඩා. සමාජෙත් එක්ක ගැටෙන්න යවන්න බයයි. එහෙමයි කියලා නොයවත් බෑ. මොකද නැත්නම් ළමයාට දැනුමක් තේරුමක් නැති වෙනවා සමාජෙ ගැන. ඒක ඊටත් භයානකයි. මේවා තහංචි දාල හදන්නත් බෑ. මහත්තයලටත් තේරේවි මේ දූ සිඟිත්ත ලොකු වෙද්දි. ඉස්සර අපේ අම්මල අපිව වැලැක්කුවේ සිගරට් බොන්න යන එකෙන්. ඒත් දැන්, සිගරට් බිව්වත් කමක් නෑ කුඩු ගහන්න එපා කියලයි කියන්න වෙන්නේ. ගෑණු ලමයින්ටත් ඒ සෙතේමයි. ඉස්සර කියන්න වුනේ නරක චිත්‍රපටි බලන්න එපා කියලා. ඒත් දැන් කියන්න වෙලා තියෙන්නෙ නරක චිත්‍රපටි වල රඟපාන්න එපා කියලා. මම මෙතන හැමදාම අන්නසි විකුණන නිසා දන්නවා මහත්තයෝ. එක ලඟ බංකුවල වාඩි වෙලා හිටි ජෝඩු, සතියකින් එනවා එහා බංකුවේ කොල්ලයි මෙහා බංකුවේ කෙල්ලයි එකට. දැන් සමාජේ ඔක්කොම නරක ටික සුද්දෝ විදිහට ගිහින්. හැබැයි දියුණුව විතරයි සුද්දගේ විදියට නැත්තේ. දැන් මිනිස්සු අන්නාසි කන්නෙත් නෑ. ලොකු ලොකු ජාති. මහත්තයලා කනවද අන්නාසි පැකට් එකක්."
දැරියගේ පියා අන්නාසි මල්ලක් ගනී. දැරියට වෙනම අන්නාසි මල්ලක් ඉල්ලා සිටියා විය යුතුය. ඔහු ඇයටද අන්නාසි මල්ලක් ගෙන දෙයි. දැරිය හුලං පෙත්ත බිම අතහැර අන්නාසි කමින් සරුංගලය දෙස බලාසිටියි. ඇගේ දෙමව්පියන් අසල සිටි පෙම් යුවලක් දෙස බලාසිටියා විය යුතුය. ඔවුන්ගේ දැහැණ බිඳුනේ දියණිය අත දිගු කර පෙන්වූ සරුංගලයෙන් විය යුතුය. වැඩි වෙලාවක් නොසිට ඉදිරියට ඇදෙමින් සිටි අන්නාසි වෙළෙන්දා පසුපස මා ඇවිද ගියෙමි.
ඡායාරූපය මෙතනින්