"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Wednesday, October 5, 2011

කැමරාවකින් පන්නරය ලදීමි.


අම්මාගේ සිත් සතුට වෙනුවෙන් බෙල්ලේ එල්ලාගෙන සිටි සුරය, මා ගලවා දැමීමි. බසයෙන් බසින විට එය බෙල්ලේ නොතිබූ බව මම ඇයට කිවූ අතර, එය බොරුවක් බව දැන දැනත් "තදට බැඳගන්න තිබුනනේ" යැයි කියා ඇය නිහඬ විය. සුරය මට හිසරදයක් විය. ඒ අනෙකක් නිසා නොව එය බැඳ තිබූ නූලේ වටප්‍රමානය වටා දුවමින් පවතින බැවිනි. කැමරාව බෙල්ලේ එල්ලා සිටින අතර, එය කැමරා පටියට තද වූ විට ඇතිවන වේදනාව මෙන්ම අවධානය ඉවත යාමද මා ඒ කෙරෙන් මිදීමට හේතුවක් විය. එවකට මා තරුණියන් දෙදෙනෙකු සමග පෙම්පලහිලව් ඇතිකරගෙන සිටි අතර කාලය විසින් මා හට වඩාත් සරිලන තරුණිය ඉස්මතු කොට තිබුණි. ඈ, මා බොහෝ සෙයින් තේරුම් ගෙන සිටි අතර, අප අතර වූ යම් යම් නොගැලපීම් වලට අප එක්ව පිළිතුරු සපයා ගනිමින් සිටි කාලයකි. හැකි වේලාවල මා අනෙක් තරුණියද මුණ ගැසීමට ගිය අතර ඈ හට සත්‍ය පැවසීමේ දෙගිඩියාවකින් මා ලතවෙමින් සිටියෙමි. එදින ඈ හට අලුත් මාතෘකාවක් විය. බාලිකා පාසලක උත්සවයක් ඡායාරූප ගත කිරීමට අහම්බෙන් ලැබුනු අවස්ථාව මා විසින් ප්‍රයෝජනයට ගැනීම ඇයට ප්‍රශ්නයක් විය. "ඔයා තවත් මෙහෙම තැන් වල පින්තූර ගන්න යනවනම් මට ඔයත් එක්ක ඉන්න බෑ." යනු ඇයගේ දෙලොවක් අතර ප්‍රකාශය විය. ඇයත් බාලිකා පාසලක උගත්තියක් වූවාය. ඒ සඳහා මා ඇස් උපයෝගී කොට ගෙන දුන් පිළිතුරෙන් පසු, නොසැනහුණු හුස්මක් පිට කල ඈ මා හැර ගියාය. මා ඇය ආපසු හැරී යනයුරු ඡායාරූප ගත කලෙමි. පසෙකින් පෙම් යුවලක්ද, අනෙක් පස සුරා සැලක්ද විය.


"අම්ම තාත්තගේ සල්ලි නාස්ති කරන්නෙපා. මෙව්වා අරං දෙනවට අම්මා තාත්තටයි ගහන්න ඕනා." ඒ දිනක් මා කැමරාවක් ගෙලෙහි ලා මාවතක ඇවිද යනු දුටු පිය පාර්ෂවයෙන් ඥාති ස්ත්‍රියක් කී කතාවකි. මා කැමරාවට ආදරය කරන තරමටම පියා ඒ වෙනුවෙන් සතුටු වන අතර, සැමදා මා නිශ්චල කරන ලද රූ රැගෙන ආ පසු ඒ දෙස බලා සිටින අම්මා කාමරයෙන් පිට වන්නේ සතුටු කඳුලකින් නෙත් සරසාගෙනය. මා ඒ ඥාතිවරිය ආශ්‍රයෙන් ඉවත් කර දැමුවෙමි. මාගේ පෙම්වතිය මවිසින් පලමු වරට දුටුවේ භක්ති ගීත තරඟයකිනි. මා එම උත්සවයේ ඡායාරූප ශිල්පියාව සිටි අතර, ඈ ඉදිරිපෙල ගායිකාවක් විය. උත්සවය අවසන තරුණයෙකුගේ කටින් පිටවූ "කැමතිද?" යන්නට, තරුණිය "හා" යැයි පවසා තිබිණි. ඉන් තුටුවූ මා උත්සවයෙන් මා හට ලැබීමට නියමිතව තිබූ මුත් නොලැබුනු ගෙවීම වෙනුවෙන්ද තර්ක නොකර ගෙදර ආමි. ඒ වන විටද පෙම්වතියක් මා ජීවිතයේ සිටි අතර, ඇයගෙත් මගෙත් නොගැලපීම මතු දිනයක කැමරාව විසින් පහදනු ඇතැයි මා කිසිවිටකත් නොසිතුවෙමි. මා උසස් පෙළ ගණිත අංශයෙන් අසමත් විය. දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් තැවුණු අතර, "දැන් මොකද්ද කරන්න හිතුවේ?" ඔවුන්ගෙන් මා වෙත එල්ල වූ ප්‍රශ්නය විය. මගේ මුවින් පිලිතුරක් නිකුත් වූ අතර වැඩිමනත් නොහිතා එයට හිස සැලූ ඔවුන් මගේ උසස් අධ්‍යාපනය සඳහා වෙන්කර තිබූ මුදලින් මාගේ කැමරාවක අවශ්‍යතාව සපිරවීය. මාගේ පලමු ඡායාරූපය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය සතුටුදායක වූ අතර, ගතවන දිනයක් පාසා මේ මොහොත තෙක් ඡායාරූපකරණයෙහි නව මානයක් සොයා ගැනීමෙහි මා නිරතව සිටියි. මීලඟ ඡායාරූප දස දහස තුල හෝ එම අරමුණ ඉටු කරගැනීමේ කාර්‍‍යයේ මා වෙහෙසෙමින් සිටිමි.

ෆෝකසින් මෝටරය ක්‍රියාකරන ශබ්දයෙහි දෙසවන් ගැලී ඇත. ඡායාරූපය තුල අවධානය රඳවා ගැනීමට එම අනවරත ශබ්ධය අතිශය පහසුවකි. මා ඡායාරූපයක ආලෝකය පිලිබඳ ප්‍රශ්නයකට මැදිව සිටි
යෙමි. ප්‍රශ්නය පසෙකලා ඊට අදාල ක්ෂේත්‍රයේම වෙනත් දෙසකට සිත යොමු කිරීම ප්‍රශ්නයට පිළිතුරක් ගෙන දේ යැයි විශ්වාස කිරීම මා කුඩා කල සිටම මවෙතින් සිදුවුනකි. මා මෙතෙක් දැක ඇති මතකයේ බැඳුනු ඡායාරූප දෙසට සිත යොමු කලෙමි. අතිශය විශාල ගසක් අභියස කුඩා ලමුන් කිහිප දෙනෙක් විය. ඔවුන් ඒ සෙවනේ කෙලිදෙලෙන් සිටින ආකාරය ඡායාරූපයේ සටහන්ව තිබිණි. ඡායාරූපයේ මාතෘකා "තාත්තා" විය. තවද, රෝහල් ඇඳක් මත සුදු රෙද්දකින් ආවරණය වූ දෙපා සහිතව, නිරාවරණය වූ යටි පතුල් වල ඡායාරූපයක් විය. එය ඇඳ මට්ටමින් පාදාන්තයේ සිට ගත් ඡායාරූපයකි. නිරාවරණය වූ රෝස පැහැති කුඩා යටි පතුල් වල ඉහල කෙලවරේ මහපටැඟිලි සුදු හුයකින් ගැට ගසා තිබුනතර රූපයේ මාතෘකාව "ඩෙංගු" නම් විය. තවද මූට්ටු කරන ලද ලෑලි අතර පරතරය බොහෝ වැඩි මේසයක් මත, කුප්පි ලාම්පුවක් දල්වා ගෙන පාඩමේ නිරත වන ලමයෙකුගේ රුවකි. ලාම්පු එලියෙන් ඡායාරූපයට කැපී පෙනුනේ වරිච්චි බිත්තියකි. ලමයාගේ මුහුනෙන් බාගයකටද එලිය වැටී තිබුනතර, ඔහුගේ නිකටේ රැඳී තිබුනේ දහඩිය බිඳකි. ඡායාරූපයේ නම "CFL" විය. මා හට අවශ්‍ය පිලිතුර සිහියට ආ අතර, එහාට මෙහාට මනාසේ හැරවිය හැකි විදුලි ලාම්පුවක් මාගේ ආලෝකකරණ ප්‍රශ්නය විසඳීය.

කැමරාව හේතුකොට ගෙන එයට හිතැති සහ උනන්දු බොහෝ මිතුරු පිරිසක් ආශ්‍රයට ලැබුනු නමුත් ඔවුන් බොහෝමයකගේම සියල්ල ඒ වෙතම නොවීය. එයට හේතු ලෙස ඔවුනට පවුල, රැකියාව, තත්වය, ප්‍රේමය යනාදී බොහෝ දේ වූ අතර, ඔවුන් තමන්ගේම හෝ මින්පෙර වූවෙකුගේ යම් ආකෘතියක් තුල ඡායාරූපකණය සිටුවා තැබීය. තමන්ගේ ආකෘතියක් තුල පවා සැරි සැරීමේ නිදහසක් ඔවුන්ට හමු නොවූ අතර ඒ සඳහා කාලයක්ද ඔවුන්ට නොවීය. තවමත් මාගේම වූ ආකෘතීන් බිඳිමින් ඡායාරූපකරණය වෙහෙසවන, මා පියාගේ මුදලින් යැපෙන අතර අනෙකුන් විවිධ වූ රැකියා වල නිරත වෙමින් සිටියහ. ඔවුන් ආර්ථිකමය අතින් මා හට ඉදිරියෙන් වූ අතර ඡායාරූපකරණයට මා වෙතින් ඇති ආශාවම ඔවුනට ඊර්ෂ්‍යා කිරීමේ සහ ආර්ථිකමයව ඔවුන් අභිභවා යාමේ ආශාවේ අවධානමෙන් මා මිදවීය. සමහරවිට මෙය ඔබේ අතීත කතාව විය හැක. නොඑසේනම් අනාගතයේ මෙය විඳීමේ නොතිත් ආශාවකින් ඔබ පෙලෙනවා විය හැක. මා ජීවිතයේ බොහෝමයක් කඩයිම් කැමරාව තුලින් දිනා ඇත්තෙමි. එන්න! මේ ඉන්ද්‍රජාලිකය ස්පර්ෂ කර බලන්න. ඔබ තුල ඇති ආශාව මතින් නැගී එය ඔබව වසඟයට ගනු ඇත. වරදන්න.. හදාගන්න.. ගොඩනැගෙන්න.. ඔබගේ වටිනාකම තීරණය කරන්න.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

15 ක්ම තියෙනවා අදහස්:

Umesh said...

තැන්ක්-යූ :)

Lishan Puwakowita said...

වෙල්කම් :)

ආගන්තුකයා | Stranger said...

මම ඔය මොන කොටසටද අයිති කියලා මම මේ කල්පනා කරන්නේ.. හැබැයි.. මම නම් ඔය අංශයේ දුර්වලයෙක්..

Anonymous said...

කතාව හොඳයි වගේම කැමරාවක් අල්ලලා බලන්න ආසාවක් ඇතිවුනා. ජීවිතේ දේවල් කැමරාවත් එක්ක ගැටගහගෙන තියෙන විදිය මරු. ඒත් මට කේන්ති මට මේකට මගේ නමින් කමෙන්ටුවක් දාන්න බැරි වීම. මොකද මමත් හොඳින් දන්න අඳුරන අර මුල් කමෙන්ටුව දාපු එකා, ඒ දාලා තියෙන ගොන්පාට් එක මොකද්ද කියලා තාමත් මට හිතාගන්න බෑ. මේ ලියුමේ අගය වෙනින් පැත්තකට යනවා ඒ ගොන් පාට් එක නිසා.

සහෝධරයා said...

මාද කැමරාව නිසා බොහෝ දේ ලගාකරගත්තෙක්මි..මගේ මතකය නිවැරදි නම් කොටින්ම ඔබද මුනගැසුනේ දැනහදුනාගෙන මිතුරන් වූයේ කැමරාව නිසාය.ජීවිතේ බොහෝදේ ගෙන දුන් කැමරාව.ඔබට පිං !

Umesh said...

ඇනෝනිමසා වෙත: කොමෙන්ට් යනු සිංහලෙන් ප්‍රතිචාරයි. ඒ මගේ ප්‍රතිචාරයයි. මම රචියාට ස්තූති කලේ "වරදන්න.. හදාගන්න.. ගොඩනැගෙන්න.. ඔබගේ වටිනාකම තීරණය කරන්න." කියන වදන කීව නිසයි. දැන් වැටහෙන්න ඇතිනෙ, ඒ කෙසේවෙතත් පාඨකයො දාන ප්‍රතිචාර තේරුම් ගන්න එක කතුවරයා සතු දෙයක් කියලයි මම හිතන්නෙ.

චමිල said...

ජීවිතේ තුන්වන දශකයට යමින් ඉන්න මට, මට කියා කැමරාවක් කිසිදාක තිබිල නෑ. සමහරවිට යාලුවන්ගේ කැමරාවලින් සරල පොටෝ සහ වීඩියෝ අරගෙන තිබුනත් මේක මට නම් ආගන්තුක විෂයක්.
ඒක ගැන ආපහු හිතන්ඩ සලස්වන සටහනක්...!

Indranatha Thenuwara said...

ඡායාරූප ශිල්පියෙක් වෙන්න කලින් මනුස්සයෙක් වෙන්න..ඊට පස්සෙ ඡායාරූප ශිල්පියෙක් උනා ම ඔහු අනෙක් අයට "උවමනා මනුස්සයෙක්" වේවි...!!

Dinesh said...

"වරදන්න.. හදාගන්න.. ගොඩනැගෙන්න.. ඔබගේ වටිනාකම තීරණය කරන්න."

අපුරු ඔවදනක් යාලූවා.. මම ඇත්තෙන්ම හැමතියි ඒකට...

KC said...

හෙ... එ ටොකට මාත් කැමතියි ඕයි.

හූනා .. said...

ආස හිතුන ඒ පින්තූර එකතුව බලන්න. ඔබට ජය!

LishWish said...

කැමරාව කියන්නේ නිකම්ම නිකම් උපාරණයක් උනාට ඒ පිටිපස්සට ඇහැ තියන මනුස්සයාගේ හිතේ ඇඳේන දේ විචිත්‍ර වෙන්න වෙන්න, ඒ උපකරණය හරි ලස්සනට කතා කරාවි. කාලෙකට කලින් නම අගට අකුරු තුකන් එල්ලගන්න විතරක් උපාධියක් පස්සේ ගිය උන් අද මිනිස්සු වෙලා..,ලස්සන අදහස් එක්කලා අකුරු අතරීන් පින්තූර තියලා කතා ගොඩ නගනවා..!
නිහඬව පැත්තක වෙලා ඉන්න කැමරාව මුල් කරගෙන ගොඩනගන අත්දැකීම් කන්ද ගැන අපිට දැනීමක් නැති උනත් ඒක උඹට මහ මෙරක් වෙන වග නම් ශුවර්..! එහෙව් එකේ උඹ උපකරණ එක්ක ජීවිතේ වින්දනය කරන විදිය මේ විදියට ලියපු එක ගැන පට්ට සතුට මෙන්න..!
මරු!

hare :-) said...

කැමරාවයි එකෙන් කරන අනේකවිධ වැඩයි සෑහෙන්න කාලයක් අත්විඳිද්දි මට දැණුන අවුල හෙවත් ගැටළුව විසඳගන්න උඹ (සහ තව කීප දෙනෙක්) දායක වුණා. ඒ ගැටළුව තමයි 'ලංකාවෙ art photography නැද්ද කියන එක?' මොකද මම දැනගෙන හිටපු කැමරාවක් තිබුණ උන් කලේ ඒකෙන් වෙඩි තියල හරි සල්ලිම ‍හොයන්න ගියපු එක. උඔ කැමරාවෙන් ලස්සනට ගෝල් ගහද්දි වචනයක්වත් සමහර විට නොකිය මම අම්බානක් සතුටු වෙනවා. අඩු ගාණෙ මහ මුහුදෙ වතුරෙ රස උඹට තේරෙණවා. දැන් තියෙන්නෙ හොයාගෙන යන එක.

ජය වේවා!

දුමී said...

මල්ලි, ඉන්ද්‍රනාථ මහත්තයා කියපු කාරණය හිතට ගනින්.... ඒ අවවාදය ගොඩක් වැදගත්..... මමත් දැක්ක විදිහට උඹ නූල කැඩිච්ච සරුංගලයක් වගේ.....! උඹේ ටාර්ගට් එක හරියට අරගනින්.....! උඹ දක්ෂයෙක්....! ඒ උඹ දන්නවාටත් වඩා....!

මුචලින්ද said...

පොඩි වලියකුත් ගිහින්. සද්දයක් දාපු හැමෝටම ස්තූතියි.

හරේෂ් අයියගේ කමෙන්ට් එක තමයි මට මෙතන දැනිච්චම එක.

දුමී අයියා, ඉන්ද්‍රනාථ ලොක්කා ඒක කියලා තියෙන්නේ ෆොටෝග්‍රැෆි කරන සහ කරන්න එන ඔක්කොටම. හැබැ‍යි ඒක අරමුණ සම්බන්ධයෙන් ගැලපීමක් නෑ. හැබැයි උඹ කියපු සරුංගල් කතාව මට ෆොටෝග්‍රැෆි ඇතුලෙදි නොගැලපුනාට, මගේ ජීවිතේ ඇතුලෙදි ගැලපෙනවා. තවත් දෙයක් මම ඒ අරමුණ හදාගන්න උත්සහයකුත් නෑ. මොකද ෆොටෝග්‍රැෆි වල මම හිතපු අරමුණට ගියාට පස්සේ මගේ ජීවිතේ අරමුණු නිකන්ම හැදෙයි. ඉන්ද්‍රනාථ ලොක්කගෙ කමෙන්ට් එකේ විදිහට කිව්වොත්, මගේ ෆොටෝග්‍රැෆි අරමුණට යද්දි මම ඉබේම හොඳ මනුස්සයෙක් වෙලා. ජය!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!