මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Showing posts with label Lavender. Show all posts
Showing posts with label Lavender. Show all posts

Friday, December 17, 2010

[ස්පර්ෂය+රසය+රිද්මය+සුවඳ+ආලෝකය]

මා දවසේ ප්‍රියතම කුල්මත්ම මොහොත ගත කරමින් සිටිමි. බිත්තියේ හරි මැදින් උඩ කොටස ළා කොල පැහැයකි. එහි යට කොටසට ළා නිල් පැහැ ටයිල් අල්ලා ඇත.බිම ක්‍රීම් පැහැති ටයිල් මත මාගේ අඩි සළකුණු රටා මවා ඇත. මෙය මා උපරිම නිහඬ බවකින් සහ සුවඳවත්ව ගත කරන කාලයයි. ඒ ලැවෙන්ඩර් සුවඳ විය යුතු යැයි මා සැක කලෙමි. හැඩ කැටයම් කපා ආලෝකයන් වට කර ඇති මැටි බඳුනෙන් සිවිලිම මත රටා මවා ඇත.
ජලය ප්‍රවාහයක් මෙන් නොව, සුමට පෘෂ්ඨයක් දිගේ විත් සිහින් හඬක් නංවමින් වැඩිමනත් ජලයට එක්වේ. සැහැල්ලු රිද්මයක් ලබාගනු වස් මා ෂවරය තුල එළි බසිනු තැතනූ ජල බිඳු නිදහස් කලෙමි. හුස්ම ඉහල පහල වැටෙන වාරයක් පාසා ඉන් ශරීරයට ලබා දෙන උත්තේජනය පවා මට දැනෙයි. මෙතුල එතරම් නිස්කලංකය. දැන් මා පිට විය යුතුය. මා මන්දිරයෙන් එළියට බැසීමි.

දොර හැර නිවසින් එළියට බට මා දෙවරක් නොහැරී යලිඳු කාමරයට දිව ගියෙමි. නැවත මා පැමිණියේ කැමරාව සමගිනි. එසේ සිදු වූයේ මිදුලේ වූ තුරුපත් මත පිණි නිසාවෙනි. තුරුපතක් මත පිණිබිඳක් එවන් හැඩයක් නගනු මා අතිශයින් වින්දෙමි. පිණි බිඳට එබී බැලූ මා එතුලින් දුටු ඡායාරූපය සටහන් කරගැනීමට මාගේ කැමරාව තරම් නොවීය.
කලකට පසු එලිමහනේ ඇඟ සෝදන්නට සිත් විය. ලොකු බාල්දියක වතුර පුරවා, එයින් කුඩා බාල්දියකින් වතුර ඇද ඇඟ සේදුවෙමි. පලමු දිය පහර දෙවුරිස් මත්තේ සිට බිමට වැටීම සිතට ලෝබය ඉපදවීය. එම ස්පර්ෂය මා ගැහැණියගේ ළය මත හිස හොවා ඇගේ දෑතෙන් ලත් රැකවරණයේ සහ උණුසුමේ පහසට පමණක් දෙවනි විය. ජලය අපතේ යමින් ඇත. එහෙත් එය නැවත නැවතත් විඳීමට යමක් ඉතිරි කලේය.
සරමක් හැඳ මිදුලට බැසීමි. වයස්ගත කොට්ටෝරුවෙකු ගසක් සමග පොරබදනවා විය යුතුය. මන්දයත් ක්ෂණයක් තුල තරුණ කොට්ටෝරු හොටෙන් ඇතිවන ශබ්දය සහ මා දැන් අත්විඳින ශබ්දය අතර වෙනසක් දැණුනි. නැත! හේ මිනිසෙකි. පවුල සහ තමන්ගේ පැවතීම හේතු කොට ගස් කපන්නෙකි. නිල් පැහැ අහස් කැන්වසය මත ඔහු මට චිත්‍රයක් විය. 
මා කුස්සියට වැදුනෙමි. මේසය මත දිගහැරුනු රතු දැල් මල්ලකි. මා ඒ තුල වූ දෑ මින් පෙරද රස විඳ ඇත. කොටුවේ එය විකුණන්නේ "මිනි මැන්ඩරින්" නමින්ය. ඒ කුඩා ප්‍රමාණයේ දොඩම් ගෙඩියකි.
මා විශාල ප්‍රමාණයේ දොඩම් නොකන මුත් මේවාට ආසාය. පලතුර සුද්ද කර බික් ගැලවීම මා ඉතා ආශාවෙන් කරන්නකි. කනට නෑසුනද මිනි මැන්ඩරින් ගෙඩියක බික දෙකක් ලෙහෙන විට "ශ්‍රීස්" ශබ්දයක් ඇති කරයි. එය මසිතින් ඇතිවන්නක්ද යන්න මා නොදනී. සමහරෙක් මිනි මැන්ඩරින් ගෙඩි වල බික් හී කවරය ඝනය. ඒවා ආහාරයට ගැනීම කුඩා කල බීම පැකට් සිහියට නංවයි. කෙසේවෙතත් මෙය විසින් මා හට විටමින් සී පෝෂණය සහ රස ලබා දීම හැරුණු කොට වැඩ රහිත පැයක කාලයක් ගෙවා දැමීමට උදව් කරයි.

මා ජීවත් වන්නේ රත්මලාන ගුවන් තොටුපල අසලය. එබැවින් මා කුඩා කල, ගුවන් යානා දකින අන් දරුවන් මෙන් මා කරේ තබාගෙන් ගුවන් යානා පෙන්වීම මාගේ දෙමාපියන්ට නොකල යුතු විය. අපමණ ගුවන් යානා ප්‍රමාණයක් දිනකට දකින බැවින් ඒවායේ ඡායාරූප ගැනීමක්ද මෙතෙක් සිදු නොවිනි. හදිසියේ උපන් සිතුවීල්ලකින් මා ඩිජියද උස්සාගෙන මිදුලට බැස අහස බලා සිටියෙමි. නිවස ඉදිරිපිටින් ඇදුනු කරන්ට් වයර් එක ඡායාරූපයට බාධාවක් නොකරාවි යැයි සිතුවද, එය එසේ නොවීය. සියයට සියයක්ම එය එසේ විය.
ආහාර වේල් ක්‍රමයට ආහාර ගන්නා සමාජයක, මටද එයට හැඩගැසෙන්නට සිදුව ඇත. නොයෙක්වර, සැඟව ඇති ගති පිටට එන නමුදු මමද වේල් ක්‍රමයට අනුගතව ඇත. ප්‍රධාන ව්‍යාංජන හතරක් තිබුනතර, මට ඉන් දෙකක් සෑහෙනුයේ ඒ මා ප්‍රියතම ඒවා බැවිනි.
ඒ උයන ලද රතු ළුනු සහ පොලොස් ය.

මා නැවතත් මිදුලේය. අම්මා වවන ලද මල් ගස් බොහෝමයක් වූ අතර ලියවැලක් මෙන් ඈරී තිබූ දම් පැහැ ඕකිඩ් රෑන කවදත් දෙවරක් මා හැරී බලවන්නට සමත්ය.

නැවතත් පටන්ගත් වැස්ස නිසාවෙන් මා කාමරයට වී සිටි අතර එහි වූ ජනේලයෙන් මට මැද මිදුල සහිත කොටස දිස් විය. එහෙත් එයට සියුම් බාධාවක් වූ අතර, ඒ අනෙකක් නොව මකුළු දැලකි. අපිරිසිදුකමද වාසනාවක් වන්නේ මෙවිටය.
සවස හයට පමණ වර්ෂාව නැවතුනු අතර , මා යලිඳු මිදුලට බැසීමි. අද සවස හය වෙනදා සවස හයට වඩා කලුවර විය. මේ හිරු බසින ඉම නොවෙත්දෝයි හැඟිනි. එහෙත් එය ස්ථීර කරන්නට හිරු නොසිටි අතර ඉතිරිව තිබුනු නිල් සහ කලු සුසංයෝගය මා සිත් ගත්තේය.
තවමත් වැස්ස අවසන් නැත. මා උළුවස්සට හේත්තු වී ඈත බලා සිටි අතර වැඩි ඈතක ඇස් නොගොස්ම තවත් දසුනක් ඇසට සමුවිය. ඒ එහා ගෙදර ඉදිරිපිට වූ ලයිට් කණුවයි. තවත් හතට විනාඩි දහයක් පමණ ඇති මුත් මේ ගෙන දුන් කලුවරම එම දර්ශනයට ආශිර්වාදයක් විය.
රාත්‍රී හතකුත් ගණනකට ඉටිපන්දම් අපගේ පිහිටට පැමිණියේ විදුලි විසන්ධිය නිසාවෙනි. දොර හැර තිබූ නිසාවෙන් වැස්සත් සමග පිටතින් පැමිණි සුලං කෝඩෙට ඉටිපන්දම් එළි නළියයි.
රාත්‍රී අටහමාරත් පසුව ඇත. රාත්‍රී ආහාරයද ගෙන හමාරය. තවමත් විදුලිය නොමැත. කැමරාවේ බැටරිද ඉතිරිව ඇත. මාගේ ආශාවද පෙරසේම දඟ කරයි. මේ Light Circus නම් වූ සොඳුරු රටාවන්ට වේලාවයි.
එතෙකින් නිමි!