මගේ මරණය සහෝදරයට බීම වගේ,කෑම කියන්නේ මගේ ජීවිතයේ මාව ජීවත් කරවන ප්‍රධාන සාධක වලින් එකක්.පරිප්පු හොද්දක්වත් හදාගන්න බැරිවුනාට වෙළඳපොලට අළුතෙන් එන ඕනෑම කෑම ජාතියක් රස බලන්න මම පැකිලෙන්නේ නෑ.කොටින්ම කිව්වොත් ලාබම දේ වෙච්ච ටොපියක් වත් මට හොරා තාමත් වෙළඳපොලට ඇවිල්ලා නැතුව ඇති.කෑම ගැන මගේ තියෙන ආදරය සහ භක්තියේ ඉමහත්කම ගැන කියනවානං,අඩි 5'10ක් උස වෙච්ච කිලෝ 97ක් බර වෙච්ච අවුරුදු 21ක් වෙච්ච මම ජනාකීර්ණ මාවත් වල ටිපිටිප් කකා යන්න තරං ලැජ්ජාවක් නැතිකමේ අනන්තය අතගාලා තියෙනවා.ඉතිං කතාව පටන් ගමු.මේ ටොපිය නං රහ දැනුනට ටිකාක් විතර දිගයි.
මුලින්ම ප්‍රධාන ආහාරය වෙච්ච බත් වලින් පටන් ගමු.සමහරු බිරියානි කියලා කිව්වට හැමෝගෙම ව්‍යවහාරයේ බුරියානි කියන්නේ මගේ ආසම කෑමක්.බුරියානි කන්න ලංකාවේ තියෙන හොඳම තැන තමයි බුහාරි එක.බුහාරියෙන් බුරියානියක් නොකාපු කටක් හුඹස් කටක්.වැල්ලවත්තේ MARZ එකත් උපරිම විදිහ බුරියානියක් දෙනවා.ඒක තියෙන්නේ ඩෙල්මන් ඉස්පිරිතාලේ ඉස්සරහා.පීසා මඩුව හඳුන්වලා දීපු බිරිස්සාවත් හොඳ මට්ටමක තිබ්බට බුහාරියට ගහන්න බෑ.කෙන්ටකි මාමගෙ කඩේ නං ගන්න දෙයක් නෑ බුරියානි වල.ඕගොල්ලෝ ඔරිජිනල් බුරියානි රසවිඳින්න ආසානං එක තැනක් තියෙනවා.ගල්කිස්සේ හන්දියේ උසස් බාලිකාව ඉදිරිපිට.කඩේ නම නං මතක නෑ.ඒත් අපිට පුරුදු බුරියානි වලට වඩා ගොඩාක් වෙනස් ඒක.මෙලෝ රහක් නෑ.කෙහෙල් කොලේ ඔතපු බත,එහෙමත් නැත්තං ලම්ප්‍රයිස් කන්න නං කියාපු තැන තමයි බම්බලපිටියේ Sapid එක.ඔය ෆ්‍රයිඩ් රයිස්ම සමහරු නානාප්‍රකාර නං වලින් දෙනවනේ.Naasi Goreng Rice එකත් එහෙම තමයි.හැබැයි මාර රහයි.මම අහලා තියෙනවා නියම Naasi Goreng රහ තියෙන කඩයක් තියෙනවාලු පැපිලියානේ.ඕගොල්ලෝ වෙජිටේරියන් නං වෙජි බුරියානි තියෙනවා සරස්වතී ලොජ් එකේ බම්බලපිටියේ.පහසු මිලකට උපරිම රහක්.ඒකේ කඩල කරි එක දෙන්නේ බදාදට විතරලු.ඒක හින්දා බදාදට ගිහින් බලන්න.හැබැයි ඒ ඉස්සර;දැන් කොහොමද දන්නේ නෑ.එහෙමත් නැත්තං Queens Cafe එකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න.උපරිම රහක් විඳින්න පුළුවන්.සද්ද බද්ද නැතුව,A/C එකේ වාඩි වෙලා,සුහද ශීලී සේවය මැද්දේ කෑමට 10%ක් ස'විස් චාජ් ගන්න බවත් මතක තියාගන්න හොඳේ.මම මේ කියලා තියෙන කඩ වලින් අඩුත් නැති වැඩිත් නැති මුදලකට උපරිම කොලිටියකින් ඕගොලොන්ට බත් ජාති කන්න පුළුවන්.බත් ගැන මෙතනින් නවත්තමු නේ.
ඕන්න ඊලඟ මාතෘකාව මස්.ලංකාවේ මිනිස්සු කන මස් ජාති එච්චරම නැති උනත් ඔය කොයිකත් කාලා බලන එක හොඳයි.මම දැනට මස් ජාති හතක් කාලා තියෙනවා.ඒවායින් ජාති තුනක් එක පාරයි මම කාලා තියෙන්නේ.එහෙම එක පාරක් කාලා තියෙන්නේ රහ බලන්න විතරයි.විඳින්න නෙමෙයි.අශ්ව මස් නං මෙලෝ රහක් නෑ.ඒකනං ඉතාලි කෑමක්.හා මස් නං ෂේප්.රහම මස් ජාතිය තමයි දඩ මස්.ඒක කන්න හම්බුනේ යාළුවෝ සෙට් එකක් එක්ක ගිය ට්‍රිප් එකකදී.අපිට වස්ගමුව වනෝද්‍යානෙට මාතලේ පැත්තෙන් තියෙන ප්‍රවේශයක දවල් කෑම ලැබුනේ.එතනින් තමයි අපිට මේ ගෝන මස් කන්න ලැබුනේ.මාර රහයි.ඔය දැනට තියෙන මස් ජාති වලින් වැඩකටම නැති මස් ජාතිය තමයි කුකුල් මස්.බාබකියු පාරක් දැම්මොත් හරි,ශවර්මා විදියට හරි ඇරෙන්න චිකන් කියන්නේ මෙලෝ රහක් නැති දෙයක්.පොදුවේ අපි අනුභව කරන රසම මස් ජාතිය තමයි එළු මස්.හරක් මස් සහ ඌරු මස් වල රහ නං තීරණය වෙන්නේ නං උයන කෙනා අනුව.ඔය ජාති දෙක නං මට දැනට තහනං.මම සුරයක් දාලා නේ ඉන්නේ.දැන් තියෙන මීට් බෝල්ස්,සොසේජස් ජාති නං කාලා වැඩක් නෑ.දැන් කිසිම රහක් වත් කොලිටියක් වත් නෑ.කනවමනං ඉතින් ටිකක් ගනන් වැඩි උනත් එලිෆන්ට් හවුස් තමයි.ඒත් දැනට කීල්ස් ලගේ විකුනන බේකන් එහෙමනං හොඳ මට්ටමක තියෙනවා.මස් ජාති ගැනත් කතා කලා ඇති වගේ නේද ?....
ඊට පස්සෙ ඉතිං අපි බොහෝමයකගෙ ප්‍රධාන රාත්‍රී ආහාරය ගැන කතා කරමු.මොනවද මුලින්ම හිතුනේ. . .කොත්තුයි තෝසෙයි නේද ? තෝසේ උපරිම කොලිටියකට කන්න නං ඉතිං දැනට තියෙන්නේ Greenlands තමයි.ඉස්සර කොල්ලුපිටියේ ඉන්ඩෝසිලෝන් එකෙත් හොඳට තිබ්බා.ඒත් දැන් එච්චර හරි නෑ.කොත්තු ජාතිත් ගොඩාක් තියෙනවානේ.හැබැයි ඕවැයින් ජාති ගොඩාක් කාලා වැඩක් නෑ.වෙජි කොත්තු,බිත්තර කොත්තු,මාලු කොත්තු,ඉඳිආප්ප කොත්තු එයින් ප්‍රධානයි.මොකද ඒවා කෑවට දැනෙන්නේ නෑ.චීස් කොත්තු වලනං කොලිටියක් තියෙනවා.ඒවගේම ඕනම කොත්තුවක් ගෙදර ගෙනල්ලා කනවනං නෙස්කැෆේ හෝ මයිලෝ කුඩු ටිකක් උඩින් හලාගෙන කාලා බලන්න.අමුතු රසයක් තියෙනවා.ඒක මම අත්හදාබලපු දෙයක්.හැබැයි වැඩිය දාන්න එපා.පෝඩ්ඩක් දැම්මම ඇතී වගේම සමහර තැන්වල කොත්තු කන්න අප්පිරියා වෙනවනේ.ඒවගේ වෙලාවට ළුුනු පෙත්තක් හරි ඇඹුල් කෙසෙල් ගෙඩියක් හරි එක්ක කාලා බලන්න.නියම රහ දැනෙන්න පටන් ගනීවි.කොත්තු කාලා ස්ප්‍රයිට් බොන්න පුරුදු වෙලා තියෙනවානං ස්ප්‍රයිට් බෝතලේට ලුණු චුට්ටක් දාගෙන බොන්න.කොත්තුවේ රහ දෙගුණ තෙගුණ වෙයි.කොත්තුවල උපරිම රහ තියෙන කඩනං ගොඩාක් නෑ.ඒත් කොටුව ස්ටේෂන් එක ඉස්සරහා මුස්ලිම් කඩේ,බොරලැස්ගමුවේ ෆැමිලි ෆුඩ් කැබින් වගේම ඔය කට්ටිය පොශ් වෙන්න කොත්තු කන පිලාවුස් එකත් හොඳයි.ඒවගේම KFC කොත්තුවෙත් නරකක් නෑ....මදිකම මිසක්.
ඉතිං ඊලඟට කතා කරන්නේ බඩට අඩුවෙනුත්,පොකට් එකට වැඩියෙනුත් දැනෙන කෑම ගැන.මුලින්ම කතා කරමු කට්ටිය පිස්සු හැදීගෙන කන පීසා.පීසා වල වෙනස් වෙනස් ඉමවල් අපි විසින් හොයාගෙන යන එක හොඳයි.ඒ කියන්නේ ආසියාතික මිනිස්සු කැමති ටිකක් දැවිල්ලට තියෙන පීසා හොයාගෙන යන එක..ඔය සාම්ප්‍රදායික බටහිර පීසා රසවිඳින්නේ නැතුවම.ඒ අතින් Dominoz යම් හොඳ මට්ටමක ඉන්නවා වගේම ඒ වෙනකල් වගේම මේ වෙනකලුත් ලංකාවේ පීසා වලට රජ කරං හිටපු පීසා මඩුවේ රෙසිපියෙනුත් පොඩ්ඩක් ඈතට ගිහින් තියෙනවා.එච්චර ජනප්‍රිය නොවුනත් Dominozලගේ මම අළුත් රසයක් අත්වින්දා.එහෙමත් නැත්තං ඉතින් එකෙන් පීසා කන එක තමයි හොඳ.ඊලඟ එක තමයි පිඟන් උඩ එන සබ්මැරීන්.රහයි තමයි.Queens Cafe එකෙන් හරි Dinemore එකෙන් හරි උපරිම රහක් විඳින්න පුළුවන් තමයි.ඒත් සබ්මැරීන් ජාති වල තියෙන චිකන් කිප්ලි නං කන්න එපා.කිසිම වැඩකට නෑ.ඊලඟට කියන බ'ගර් ඇමරිකාවට කොච්චර බඩ පිරෙව්වත් ලංකාවට නං එච්චර නැගලා යන්නේ නෑ.ඒත් මැක්ඩොනල්ඩ්ස්ලගේ බ'ගර් පරාසයම ගොඩාක් රස දෙන ඒවා.ඒත් ලාබෙට රහට බ'ගර් එකක් රසවිඳින්න නං කොම්පඤ්ඤවීදියේ බ'ගර් කිං එකට යන්න.මමත් තාම එතනින් එකපාරක් විතරයි කාලා තියෙන්නේ.ආපහු පාරක් යන්නයි හිතාගෙන ඉන්නේ.
ඊලඟට ඉතින් පොඩි පොඩි කෑම ගැන ලියමු.ඒ කිව්වේ මේ ෂෝට් ඊට්ස්,ඩෙස'ට්ස් සහ ඔය පොඩි පොඩි පැණි රස කෑම ජාති.ෂෝට් ඊට්ස් මම රසටම කාපු කඩේ තමයි කොළඹ Pagoda එක.ලෝක වෙලඳපොලට එහා පැත්තේ පාරේ ඇතුලට යනකොට තමයි Pagoda එක තියෙන්නේ.ඇත්තටම සුද්දගේ විදිහට රහට ශෝට් ඊට්ස් කන්න නං Pagoda යන්නම වෙනවා.එහෙමත් නැත්තං ඒකේ ශාඛාවක් වෙච්ච Green Cabin එකට යන්න ඕනේ.හැබැයි ඒකේනං ඇතුලත එච්චර සමීප බවක් නෑ.ඊලඟට ඉතින් ඩෙස'ට් ජාති.වටලප්පං කියද්දිම මතක්වෙන ගොඩක් කඩ තියෙනවා.කටුබැද්දේ රසවිමන,බම්බලපිටියේ මැජස්ටික් මම වටලප්පං රසටම කාපු කඩ දෙකක්.රසම පලතුරු සලාදයක් කන්න පුළුවන් බම්බලපිටියේ Banana Leaf එකෙන්.අළුත් මීකිරි කන්න හැමදාම තිස්සමහාරාමේ යන්න බැරි හින්දා මීකිරි රසම කඩයක් තියෙනවා කැස්බෑව නගරයේ.ඒක ගොඩාක් ප්‍රසිද්ධයි.කේක් ජාති රසවිඳින්න ආසානං යන්න වටින කඩයක් තමයි රත්මලානේ Meal Cart එක.පුදුම රහක් තියෙන කේක් ජාති ඒකේ තියෙනවා.පුඩිං ජාති,එහෙමත් නැත්තං Genuine Dessert ජාති ගැන කතා කරනවානං Mount Lavinia Hotel එකේ Chocolate Moose එක වගේම Upsidedown Pineapple Cake එක මාර රහයි.ඒ වගේම මාර ගනං.හැබැයි කන්න වටිනවා.ගෙදර හදලා කනවානං ඉතින් කැරමල් පුඩිං තමයි.දේශීය පැණිරහ කෑම වලින්,මම නං ආසම වැලිතලප වලට.අපේ පුත්තම්මා හදන වැලිතලප වලට පස්සේ රසම වැලිතලප කෑවේ,මගේ යාළුවෙක් වෙච්ච විසල්ගේ ගෙදරදී.
මෙතන කතා කරන්නේ අනංමනං කෑම ජාති ගැන.ඒ කිව්වේ තැනක් නොතැනක් නැති,රැයක් දවාලක් නැති ඒවා.මේක කියවන ඕගොල්ලෝ ඔක්කෝම වගේ කතරගම ගිහින් ඇතිනේ.ඉතින් ඔය කතරගම ගිහින් ඕගොල්ලෝ බොහෝදෙනෙක් රෑට කන්නේ ආප්ප බිත්තර ආප්පනේ.ඔය ආප්ප කඩ ගොඩ අස්සේ දර ලිපේ ආප්ප පුච්චන තැනක් තියෙනවා.මටත් හොයාගෙන යන්න පුළුවන්,ඒත් කියන්න තේරෙන්නෑ.ඒක හින්දා ලේක් හවුස් නිවාඩු නිකේතනයේ පරිපාලනයෙන් පාර අහන්න.ඒ තැන ආප්ප අමුතුම රහයි.හුඟාක් කිරි රහයි.වෙනසකටත් එක්ක ඊලඟ පාර එතනින් ඩයට් එකක් දාලා බලන්න.ඒවගේම ඉතිං තැනක් නොතැනක් නැතුව කන දෙයක් තමයි පලතුරු.ඒ අතර අඹ සහ අන්නාසි මුල්තැනක් ගන්නවා.පාඩං කරන දවස් වලට නින්ද නොයන්න නං සියඹලා කන එක හොඳයි.ඒවගේම තමයි කොළඹ හරියේ වැඩිය නැතත් නියමම පලතුරක් තමයි සීනි කැකිරි.ඒ වගේම තමයි ගඩුගුඩා,රඹුටන් සහ මැන්ගුස්.වාරෙට විතරක් උනත් මාර රහක් තියෙන්නේ.ලොවි ගැනයි අච්චාරු ජාති ගැනයි නං කියන්නේ නෑ.මලී අක්කා නියම රසබර ලිපියක් ලියලා තියෙනවනේ ඒ ගැන.
ඉතිං ලිපියත් ටිකාක් දිග වැඩි හින්දා අන්තිමට මගේ කතාවේ පොඩි සංෂිප්තයක් දෙන්නයි හදන්නේ.මේක මම ලිව්වේ මේ මම ආසම මාතෘකාවක් නිසාත්,මම වගේම ගොඩාක් කට්ටියත් කෑමට ආසා නිසාත්,සමහරු වැඩිපුර සල්ලි ගෙවලා රහ ගුණ නැති තැන් වලින් කන නිසාත්,මම කෑම සම්බන්ධයෙන් කරපු යම් යම් පරීක්ෂන එලියට දාන්න ඕන නිසාත් යන මූලික පරමාර්ථයෙන්.ඉතිං අන්තිම වශයෙන් කෑම ටිකක් රහට කන්න හොඳ තැන් ගැන කියනවානං. . . .Chinese Dragon Cafe - Mount Lavinia & Bambalapitiya,Meal Cart - Rathmalana,Buhari - Maradana,Green Lands - Bambalapitiya,Queens Cafe - Bambalapitiya & Mount Lavinia කියන ප්‍රධාන කඩ පහ ගොනු කරන්න පුළුවන්.ඒ වගේම මම ආසම කරන සිම්පල්ම ආහාර වට්ටෝරු ගැනත් සඳහනක් කලොත්. . . .සුදු බතුයි,නිවිතියි,කරවලයි..ඒවගේම කිරිකොසුයි,සුදු බතුයි,කරවලයි..එහෙමත් නැත්තං අන්නාසි උයලා සුදු බතුත් එක්ක..තව කියනවානං චිකනුයි සුදුබතුයි..තවත් කියනවානං රතුළුනු උයලා සුදු බතුත් එක්ක..වගේම අවසාන වශයෙන් හොඳට බැදලා ඊට පස්සේ මිරිස් වැඩිපුර දාලා උයපු මාලුත් එක්ක සැර පොල් සම්බෝලෙකුයි රතු කැකුළු බතුයි තිබ්බානං ලංකාවේ මහ රජ කමත් එපා කියන්න මම ලෑස්තියි! තව මේවා ගැන අදහස් සහ විස්තර තියෙනවානං මටයි අනිත් අයටයි දැනගන්නත් එක්ක ලියන්න.
මේක කියවපු උන්ට සසර ගමන අවසන් වන තෙක් මතු උපදින සෑම භවයකම කෑම බීමෙන් නං අඩු පාඩුවක් නොවේවා !