මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Showing posts with label සංගීතය. Show all posts
Showing posts with label සංගීතය. Show all posts

Monday, April 11, 2011

ආටා අජේ

හේ අජිත් විය. මුල් කාලයේ පටන් අජියා වුවද, වසර පහක පමණ සිට අජේ බවට පත් වූයේ ඔහු ධාවනය කර ඉපැයූ තුන් රෝද රියේ ඇතුලත පසුපස අජේ දේව්ගන් ගේ රුවෙන් හැඩව තිබීමයි. ස්ටෑන්ඩ් එකේ සීඩී ප්ලේයරයක් තිබූ එකම රිය මෙය වූ අතර, ඒ සඳහා ඔහුට කදිම හේතුවක්ද විය.

"සින්දුවක් නැතුව වීල් එකක් පදින එක එපාම කරපු වැඩක් මල්ලී. එහෙම උනත් දැන් ඉන්න උන්ගේ කුණු සින්දු අහනවට වඩා හොඳයි කන්න හොයලා දෙන වීල් එකට පොල්ලකින් ගහන එක. ඒ නිසාම තමයි මේ සින්දු ටිකක් සෙට් කරගෙන, ඒ ටිකම අහ අහා යන්නේ.."

ආටා අජේ. . . ඕනම කෙනෙකුට හිනාවක් දාලා වීල් එකට නග්ගගත්තු බස්සපු හිත හොඳ මිනිහෙක්. සමාජ භාෂාවෙන් ත්‍රීවීල් කාරයෙක්. කොයිවෙලෙත් සින්දු ඇහිච්ච ත්‍රීවීලරයක අයිතිකාරයෙක්.

"මන්දා මල්ලී මේවා උඹලා ඕනතරම් අහලා ඇති. මහ ඒකාකාර කතා. එච්චර ගැලපෙන ගෑනියෙක්ව අතෑරලා දාන්න උනේ අම්මලාගේ විරෝදෙට. මං ඒ මිනිස්සුන්ගේ පුතා උනාට මං එපැයි මල්ලී මගේ අනාගතේ හදාගන්න. ඊටපස්සේ කසාදෙනුත් විඳෝපුවා මතක් වෙද්දී තමයි, මිනියක් දෙකක් මැරිලා හරි මගේ ගෑනිව මගේම කරගන්න තිබ්බනං කියලා හිතෙන්නේ. මම කියන්නේ නෑ දෙමව්පියෝ වැරදියි කියලා. ඒත් මට හරියි කියලා දන්න දෙයක් ඒගොල්ලෝ නිසා වෙනස් කරා. ඒකට මම තාම විඳෝනවා."


බැඳි මාසිත් නුඹ ලඟ ඇති වෙයි දෙවෙලේ
පණ ගිය මුත් නොහරිමි නුඹ වෙත ආලේ..
***************

ඒකනං මහ නරුම අතීතයක්! මං ඒ දවස් වල වීල් කුලියට දිවෙව්වා.කසාද ගෑනි මගේම වීල් එකක් එලවපු එකෙක් එක්ක ඒ වීල් එකෙන්ම පැනලා ගියා. හැබැයි ගෑනි අමාරු කාරි. ඌට ලේසි වෙන එකක් නැහැ. හැබැයි අරූ හොඳ උත්සහවන්ත කොල්ලා. මොනව උනත් ඒකි ඌත් එක්ක හොඳින් ඉන්නවනං ඇති. ඒ ඒ දේවල් වලින් අපි ඒ ඒ පාඩං ඉගෙනගන්න ඕන මල්ලී. ආදරේ එහෙමයි දේවල් කැපකරන්න වෙනවා. ඔය ඔක්කොම තියෙන්නේ ආදරේ හින්දා. නැති දාට විඳව විඳව ඉන්නවට වඩා යන එක හොඳයි. කොයි මිනිහද ගෑනිද කැමති මල්ලි රන්ඩු වෙවී ඉන්න. ඉන්න තැනක දෙමහල්ලෝ හොඳින් ඉන්නනවනං ඇති.

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න
***************

ඔය සිද්ධි වෙලා මුල් කාලේ මම බිව්වා මල්ලී බිවිල්ලක්. . . දිවේ රහ නැතිවෙනකංම. ඒ බීපු බීමටද මන්දා බීමත් එපා උනා. කොයිවෙලෙත් වෙරි වෙලා හිටියේ. හප්පා. . . ඒ තරං ගොන් වැඩක් මගේ ජීවිතේ මම කවදාවත් කරලා නැතුව ඇති. බිව්වට කමක් නෑ මල්ලී... අනුන්ට කරදරයක් නිවෙන්න, මත් ගතිය තියෙන්න බිව්වම ඇතිනේ. අනික ප්‍රශ්න වලට බොනවා කියන එක මහ මෝඩ වැඩක්. වෙරි හිඳෙද්දි ප්‍රශ්නේ එහෙමමයි. සමහරවිට ප්‍රශ්නේ තවත් ලොකු වෙලා. ඒක තේරෙන්නත් ප්‍රශ්නෙකදි බීලම බලන්න ඕන.. මල්ලි ප්‍රශ්න වලට බීලා නැද්ද?

මීවිතකින් ගත උණුසුම් වූවද... සිත උණුසුම් වේදෝ..
***************

මම බීම නවත්තලම දැම්මා මල්ලී. එක නැවැත්තුවත් එක්ක හුඟක් සල්ලි ඉතුරුවක් උනා. තනි මම හින්දා එහෙමට හම්බුකරන්න ඕනෙත් නෑ. අපි මැරෙන මිනිස්සුනේ. මම දැන් දවල් දෙකෙන් පස්සේ ස්ටෑන්ඩ් එකේ නෑ. උදේ හයර් ටික ගියා; දවල්ට බත් පැකට් පහක් අරං, හතරක් අර කුරුඳුවත්ත පාර මුල ගාමන්ට් එක ගාව ඉන්න පොඩි කොල්ලෝ හතර දෙනාට දීලා අනික අරං ගිහින් කාලා නිදාගන්නවා. පව් මල්ලි උන්! මටත් දරුවෝ නැති එකේ උන්ටවත්.. හ්ම්ම්ම්... උන් හරි අසරණ වෙලා ඉන්නේ මල්ලි.. අම්මෙක් අප්පෙකුත් නැහැනේ.

පයිප්පයේ දුඹුරු වතුර බෙලෙක් පිඟානේ පුරවා...
මුවින් උරාබොන්නෝ සෝපාකලා...
***************

"ඉතින් දැන් කසාදයක් ආපහු කරගත්තොත් හොඳ නැද්ද ලොකු අයියෙ?"

හ්ම්ම්.. මම නිදහස් මිනිහෙක් මල්ලී. මට දැණ් කිසිම බරක් නෑ. මට ඕනෙ වෙනකං හයර් යනවා. ඕනනැත්තං නවත්තනවා. ඒත් ගෑනියෙක් ගත්තොත් ඔය ජීවිතේ ලේසි නෑ. කන්න අඳින්න, ළමයින්ට කන්න අඳින්න.. එහෙම උනොත් තව ලොකු ගේකුත් ගන්න වෙනවා. අනික ඕන කාලෙදි නොහිටපු ගෑනු දැන් මොකටද මල්ලි. නිදිවදින්න හිතුනොත් ඕන තරං මඩං තියෙන එකේ, මම ඕක හිතින් අහක්කරං ඉන්නේ. මාත් හිත ඇතුලේ ඔය ආදරේ ගොඩක් හිරකරං ඉන්න මනුස්සයෙක් මල්ලී. මොකෙක්වත් තමුන්ගේ ලඟ නෑ.. තමුන්ට ආදරේ නෑ.. කියලා දැනෙනකොට එන වේදනාව සුළුපටු නැහැ. මම මේ දෙපැත්තටම හිරවෙලා.

අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන
සැමරුම් මේ කුළු අතර නිරන්තර...
නිදහස ඇත කාටත් පිවිසෙන්නට
එන්න එපා එළිපත්තේ ආදරේ...
***************

අවසානයේ ජීවිතය පිලිබඳ නිශ්චිත නිගමනයක් නොමැතිව මා ත්‍රීවීල් ස්ටෑන්ඩ් එකෙන් පිටවන්නට සිතුවෙමි. ප්‍රතිවිරුද්ද දිශානති වලට අදින හේතු මත මිනිසුන් වල්මත්ව ඇත. නිශ්චිත පිළිතුරු නැත. වැරදි මග වැරදි ලෙසටත්, වැරදි මග හරි ලෙසටත්, හරි මග වැරදි ලෙසටත් නොගොස්, හරි මග හරි ලෙසට යන ක්‍රමය සොයාගත යුතුව ඇත. අජේ අයියාට හිස නමා මා නවතා තිබූ ත්‍රීවීලරයෙන් බැසීමි. සීඩී ප්ලේයරය වැඩ කරමින් තිබිණි.

මං මුලා වෙලා අඳුරේ මේ...
යන්නේ කොහේ දැන් අප සැමා...

Friday, October 15, 2010

පෙරේරා තුන් හවුල සහ බයිලා

කතා කිරීමට අවැසි වූයේ සිංහල ගීතයට කෙල වන ආකාරය සහ මා අතිශයින් රස විඳින සහ ආශා කරන සැබෑ මානුෂීය හැඟුමින් සහ රසයෙන් පිරි බයිලා ප්‍රමුඛව ලාංකීය පෙරේරා වරුන්ගේ සංගීතය පිළිබඳවයි.

මාතෘකාවට බයිලා ප්‍රමුඛ වුවද පෙරේරා අනු කොටසක් වුවද බයිලාවට නැති අතිශය සුන්දර කළාකරුවෙකු සිහියට නැගෙන්නේ එතෙක් මෙතෙක් සහ මා මියෙන තෙක් මා ප්‍රියතම ගායක ම'වින් පෙරේරා ය. මෙම ලිපියේ පලමු කොටස මොහුගෙන් පුරවන්නට සිත් වූයේ, පෙර දින මා කැමතිම ගීත එක ගොණුවකට ගෙන ඒමට යෑමේදී "ම'වින් පෙරේරා" නැමති ෆෝල්ඩරය තුල මා පත්වූ අසීරුවයි. ආදරේ රන් බිඟුන් නැසූ, අකුරු සතරකින්, දියළුම දිය ඇලි, කතරක තනිවී, මා සනසා, මේ නගරය, ඔබ දේදුන්න ආකාසයේ, රන් මීවිත පුරවා... වැනි සියල්ල එක්වර පැනනැග මා ප්‍රියතම ෆෝල්ඩරයට පැනීමට උත්සුක විය. එකෙකුගෙන් අනිකාට තම ප්‍රියතම ගායකයා බොහෝවිට වෙනස් වන අතර මා පෙරද අත්විඳි පරිදි කපුගේ සහ ම'වින් ඒ සැවොම අතර වැඩි ප්‍රතිශතයකින් සිත් විය. මා දැනට අවුරුද්දක පමන කාලයේ සිට ප්‍රියතම ගීය තත්වයා තබා ඇති ගීත අතර අකුරු සතරකින් මුල් තැන රැඳී සිටී.


""ආ"යන්නෙන් මා පැතු ආදරේ
"ද"යනු ගිනි තියාලා දව දවා ගින්දරේ
"ර"යනු රළු බැවින් සවන් යුග වසා
"ය"යනින් කීවේ යන්න ඔබ හැරා


"වි"යනු වියෝගේ මැව්වා සිතේ
"වා"යනු වාවන්නට පෙලඹුවා නිරතුරේ
"හ"යනු හසරැලී නගන්නෙමි කියා
"ය"යනින් යලි කීවේ එන්න ඔබ කරා"


බයිලාව තුලට ලිපිය හැරවීමට පෙර තවත් දෙදෙනෙකු මතක් කල යුතුව ඇත. ඒ අනිත් පෙරලි කල පෙරේරාවන් යුගලයයි. ඒ ජිප්සීස් සුනිල් සහ මේරියන්ස් නලීන් ය. මා දෙවනියට ආසාම කරන පිය ගුණ ගීය බොහෝවෙකු රස්තියාදු යැයි කියන සුනිල්ගේ "තාත්තා මට ඇනපු ටොක්කයි".

සුනිල් පෙරේරා, "සයිමා කට් වෙලා" සහ "ගිණි අඟුරු ගොඩේ" මා ප්‍රධාන වශයෙන්ම ආශා කරන සුනිල් පෙරේරා ගී යුගලයයි. බටහිර සංගීතය දැඩි හිතට වදින පිරිමි කටහඬකින් සහ තාලයකින් ගයනා සුනිල් පෙරේරා නොහොත් සුනිල් අයියා මේවායේ බටහිර ඌරුව අසන්නාට අමතක කරවයි. කළාකරුවෙකු සතුවිය යුතු නිහතමානී ගතිගුණ මෙන්ම සෘජු සහ අවංක අදහස් ඔහුගේ ගී කෘති තුල මෙන්ම සජීව සංවාද තුලද පැන නගින තර්ක තුලිනුත් ඔප්පු වේ.

නලින් පෙරේරා, අතිශය අමුවෙන් කතා කරන්නෙකු සහ අති සුන්දර තනු නිර්මාණකරුවෙකු මෙන්ම වසර විස්සක් වන මේරියන්ස් නම් මහා පවුලේ මූලිකයාද වේ. අංජලීකා, මුදුකෝමල ගෑණු ළමයිනේ, මරියසිලෝ, ආලේ සුන්දරයි සුන්දරී, සඳළු තලේ... එකකට එකක් බෙදිය නොහැකි සුන්දරත්වය, සොඳුරු ස්ත්‍රී රුව. . .

"බෝර්ච්චි හැට්ට දාලා
ඇට මාල කොට්ට බැඳලා
කම්බාය වටොර හැඩලා
යන උජාරු නලවාලා"

සංගීතය, කැපිලි, කුණු කතා, සල්ලි, සම්මාන, ගැරහිලි, විචාර, චරිත සහතික මැද පෙරේරා තුන් හවුල නොසැලී ස්ථාවරව සිටී.

අවසන ලිපියේ බයිලා කොටසට එළඹිය යුතුව ඇත. වොලී බැස්ටියන්, ඇන්ටන් ජෝන්ස්, එම්. එස්. ෆර්නෑන්ඩු, සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන් ගෙන් පසු ලංකාවේ බයිලා කලාව ලහිරු පෙරේරාට දිය යුතුද?

යන්න පලමුව ඇසීමට ඇති ප්‍රශ්නයයි. ඉහත පලමුව සඳහන් කල ශ්‍රේෂ්ඨයින් පස් දෙනා බයිලාව තුලින් ඉතිරි කල අර්ථ තාල සෘංගාරය කොපමණද?

"මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද බට නලාවේ
හමුවෙමූ අපි දෙන්නා ස්වර්ගේ
වියෝලේ වියෝලේ මාගේ"
-වොලී බැස්ටියන්-

"රම්‍ය මනහර දලදා මැදුරේ
අපි යමුකෝ සුමිතුර බලන්න නුවර පෙරහැරේ"
-ඇන්ටන් ජෝන්ස්-

"මුතු මැනික් ආදරේ නොවේ
මිල මුදල් ආදරේ නොවේ
ආදරේ මෙතරම් බාල නොවේ
ඔයා දන්නේ නෑ"
-එම්. එස්. ෆර්නෑන්ඩු-

"ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එළි වෙනකන් බජව් දැම්මා හිතේ ජොලියට"
-සුනිල් පෙරේරා-

"දන්නවා ගේමේ වතගොත
හරියට ජෙමා හිතවත
කවදාවත් පැරදිලා නැත


බූරුවා කුට්ටමේ පොත
තෝ මට පරාජය නැත
ගහන එවුන්ටයි හතේ හත"
-නිහාල් නෙල්සන්-

ඉහත බයිලා පහට සම කරන්නට බයිලාව මෙකල බිහිවී ඇත්දැයි සිතිය යුතුව ඇත. එය රම්බරීට හෝ එය කියන එකාගේ රට කජ්ජට සමාන වන්නේද නොවන්නේද යන්න ඔබට බාරය. තවද ඇල්බම් එකට සින්දු මදි වෙච්ච පිණිබාතිය සන්තුෂ්ඨිය වැන්නන්ට රීමිx කරන්නට ගත්තු සින්දු හිට් වෙන ලෝකෙක මෙව්වාට වන සෙතකුත් නැත. මින්පසු "බයිලා ගහන්නෙපා යකෝ" යැයි යමෙකුට දෙසන්නට පෙර දෙවරක් සිතන්න. මෙහෙව් ශ්‍රේෂ්ඨ බයිලාව වෙනුවෙන් කරන පුංචි ඉල්ලීමකි!

Sunday, February 14, 2010

වික්ටර්. . .සියල් සපිරි හඬ

චාරිකාවෙන් පසු ඇහැරුනේ දැන්ය.
ගී තාලයන් තවමත් සිතේ ඇත.
ගිගිරි ගීත රාවයෙන් තලන්න ගත් බෙරය
හිත මිතුරු සුළඟින් තලා නිමකලෙමු.

මවකගේ මළගමකි.
හීන් මියුරු හඬක් ඇතුලින් ඇසුනි
ඇඬුම් දුක් සුසුම් වලට මුසුව
"ආදරයේ උල්පත වූ අම්මා"ය.

ඒ සොඳුරු ගැහැණිය සහ මම
දෙනෝදහක් මැද අතරමංව ඇත.
ආදරය ගෙන යන නහර ගොඩ මැද
බිය සැක නහරද යයි.
සිත දෙඩූයේ. . .
ඉඳුල් නොවේ නම් රුදු මිනිස් ඇසින්

වෙසඟ පැමිණ ඇත.
සුපිරි සිහින තාරකාවෝ වෙසඟ තේමා කරති.
සුරේන්ද්‍රට "දෙවුරම් වෙහෙරේ" දී
ෂාන් "බුදු හාමුදුරුවො" ගයයි.

උස් නිදහසය.
වාහන පේළි,ලොක්කන්ගේ ආගමන
සහ බඩු විකිනිල්ලට අමතරව
දෑ බැති ගීයටද අඩහෝරාවක් ටෙලියේ වෙන්විය.
ගොළු මුහුදේ මුතු ඇටේ තුල
අපි ඔක්කොම රජවරු වූයෙමු.

වැලන්ටයිනට සතයක් අතේ නොතිබිච්ච මං
ලාබ කොලයක රනින් වටින පෙළක් ලීමි.
"හිනැහෙන්න රෝමියෝ මමයි"
නමුත් ඇයට මා රාමරාජයෙකි.

ඔබ සහ ඔබගේ සදා තරුණ හඬ සදා කල් අප අතර පවතින්නට පතමි!

Sunday, October 18, 2009

මර්වින් නම් ඔහු. . .


ඔහු වත්මන් රජා වෙනුවෙන් හෝ වෙනත් කිසිවෙකුත් වෙනුවෙන් ස්ටේජ් නැග්ගෙකු නොවීය.ඔහුරටට රජෙකු උරුම වී ඇති බවවත් හෝ එම රජාගේ දෑත් ශක්තිමත් කිරීම සම්බන්ධවවත් ගැයුවේ නැත.

කෙසේ වුවද මෙම ළිපිය ආරම්භ කලේ ඔහුගේ දේශපාලනික වශයෙන් ස්වාධීන බව හෝ නිවහල් බාවය පැහැදිලි කිරීමට නොවේ.මෙයට හේතුව වූයේ මා ප්‍රියතම ගීත වැඩි ප්‍රමාණයක් ගායනා කර ඇත්තේ ඔහු නිසාවෙනි.

බොහෝමයක් ඔහුගේ ගීත වල තනුව සහ සංගීතයද ඔහු විසින්ම සපයා තිබීමද පැසසුමට කරුණකි.එසේම ඒවා සිත් ඇදගන්නා සුළු අනර්ඝ තනු වීමද නොරහසකි.

කෙසේ වුවද විනෝද චාරිකාව හෝ සාදයක සමාජ තත්වය කුමක් වුවද,ගැයෙන පළමු ගීත දහය ඇතුලත් මෙතුමාගේ ගීත අඩුම වශයෙන් දෙකක් වත් තිබීම නිරායාසයෙන් සිදුවන්නකි.

කතරක තනිවී,මේ නගරය,නිළුපුල් යුවලේ,රන් මීවිත,දියලුම දියඇලි,ආදරේ රන් බිඟුන්,අකුරු සතරකින් මේ ගීත අතර මෙන්ම ලාංකීය සංගීතයේද ඉතා ඉහලින් ඇත.

මෙතුමාගේ ගුණ වැයීමට පෙර මෙතුමා අභාවප්‍රාප්ත වුවද,සෑම ශ්‍රී ලාංකිකයෙකුම මේ ගීත ගයන ගයන වාරයක් පාසා මෙතුමාට සදා සුවය අත්වීමට පතමි.

එසේම මෙතුමාගේම ගීතයකින් පද පේලියක් මා ආදරය කරන මගේම මැරියන්ට පැවසීමට ඇත.ඒ...

සඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි. . .